කුඩා කතිකීස්මය

Small Catechism

මාර්ටින් ලූතර් තුමාගේ

කුඩා කතිකීස්මය හෙවත් ඥානෝපදේශය

පටුන

පෙරවදන

ප්‍රස්තාවනාව

I. ආඥා දසය

II. ඇදහිලි ක්‍රමය

III. ස්වාමින්වහන්සේගේ යාච්ඤාව

IV. බෞතීස්ම සක්‍රමේන්තුව

V. පාපෝච්චාරණය

VI. අල්තාරයේ සක්‍රමේන්තුව

දිනපතා යාච්ඤාව

යුතුකම් ලයිස්තුව

පෙරවදන

සැම සභාවකටම, සැම සභා පාලකවරයෙකුටම හා සැම කිතුනුවෙකුටම ඥානෝපදේශයක් අත්‍යවශ්‍ය වේ. යේසුස් වහන්සේ කෙරෙහි අදහන අප විසින් දැනගෙන සිටිය යුතු දේ එනම්, අප විශ්වාස කළ යුතු දේ සහ එම විශ්වාසය ප්‍රකාශ කළ යුතු ආකාරය කෙසේද යන්න එයින් දක්වයි. ශුද්ධ බයිබලය අපට මෙසේ පවසයි: “නුමුත් නුඹලාගේ සිත්වලින් ස්වාමින්වහන්සේ කොට ක්‍රිස්තුස්වහන්සේට ගෞරව කරපල්ලා. නුඹලා තුළ ඇත්තාවූ බලාපොරොත්තුව ගැන නුඹලාගෙන් අසන සියල්ලන්ට උත්තර දෙන්නට නිතර සැදී සිටපල්ලා. නමුත් මෘදුකමින්ද යටහත්කමින්ද එසේ කළ යුතුය” (1 පේත්‍රැස් 3:15). මෙම කුඩා ඥානෝපදේශය මාර්ටින් ලූතර් තුමා ඉතා අනර්ඝ අන්දමින් රචනා කර ඇත. ක්‍රිස්තියානි මූලධර්ම පිළිබඳ දැනුම සභා පාලකවරුන්ගේ සිට කුඩා ළමුන් දක්වා සමස්ත ක්‍රිස්තියානි ජනතාවට ඉගැන්වීම සඳහා මෙම පොත සම්පාදනය කර ඇත.

අප ක්‍රිස්තුස්වහන්සේ මෙන් ජීවත් විය යුත්තේ කෙසේද යන්න ආඥා දසයෙන් අපට උගන්වයි. ඒ මගින් අපගේ පසුබැසීම් පෙන්වා දෙන අතරම, අපගේ ගැළවුම්කරුවාණන් වන ක්‍රිස්තුස් වහන්සේගේ උපකාරය අපට අවශ්‍ය බව පෙන්වා දෙයි. විශ්වාස කිරීමේ ගුණාංගය එනම් ඇදහිල්ල තුළින් අපට පියාණන්වහන්සේ, පුත්‍රයාණන්වහන්සේ සහ ශුද්ධාත්මයාණන්වහන්සේ පිළිබඳ උගන්වයි. දෙවියන්වහන්සේ දැනටමත් අප උදෙසා කර තිබෙන දේවල් මෙන්ම මතුවටත් අප වෙනුවෙන් කරන්නට යන්නාවූ කාරණා පිළිබඳ අප දැනුවත් කරයි. ස්වාමින් වහන්සේගේ යාච්ඤාවෙන් අපට යාච්ඤා කිරීමට උගන්වයි. අප ස්වාමින් වහන්සේ තම ගෝලයන්ට ඉගැන්වූ පරිදි බෞතීස්මය, පාපෝච්චාරණය, ස්වාමින් වහන්සේගේ රාත්‍රී භෝජනය ආදිය පිළිබඳ ඥානෝපදේශයෙන් අපට උගන්වන සේක. දෙවියන් වහන්සේ අපට උපකාර කරන අයුරු, ආශිර්වාද කරන අයුරු සහ සමාව දෙන අයුරු මෙයින් අපට උගන්වයි. මාර්ටින් ලූතර් තුමාගේ උදෑසන සහ සවස යාච්ඤා, දෛනික කටයුතු සහ බයිබලයේ පාඨ මගින් අප ජීවිතයට මග සලකුණු ඉදිරිපත් කරමින් ජීවිතයට අවශ්‍ය වන වැදගත් කරුණු රාශියක් උගන්වමින් දෙවියන් වහන්සේට ප්‍රිය උපදවන අන්දමට අප කෙසේ හැසිරිය යුතුද යන්න ඥානෝපදේශයෙන් පැහැදිලි කරයි.

ඥානෝපදේශය භාවිත කළ යුත්තේ කෙසේද? මාර්ටින් ලූතර් තුමාද අපට මෙයපැහැදිලිව උගන්වයි. සැම පවුලකම ප්‍රධානියා විසින් ඔහුගේ භාර්යාව, දරුවන් සහ සේවකයන්ට මෙය ඉගැන්විය යුතුය. සැම සභාවකම සභා පාලක තුමා විසින් ජනතාවට මෙය ඉගැන්විය යුතුය. තම තමාගේ කාර්ය මැනවින් ඉටු කිරීම උදෙසා සැම පුද්ගලයෙකුම ඥානෝපදේශය හොඳින් කියවා මතක තබාගෙන දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළ යුතුය. කුඩා ඥානෝපදේශයෙන් අපට උගන්වා ඇති ඉගැන්වීම් සාමාන්‍ය වුවහොත් මෙම ජීවමාන වචනය අපට නිතරම සිහිපත් කරගත හැකිය.

පෞද්ගලික බැහැදැකීම් සඳහා සභාවන්ට ගිය අවස්ථාවලදී,අනෙක් අයටත් ඥානෝපදේශයක් අවශ්‍ය බව මාර්ටින් ලූතර් තුමා සොයා ගත්තේය.මෙම බැහැදැකීම්වලදී තමා නිරීක්ෂණය කළ දේවල් පිළිබඳව එතුමා ප්‍රස්ථාවනාවේ ලියා ඇත. සාමාන්‍ය ජනතාව, විශේෂයෙන් ගම්වල ජීවත් වන අය කිතුනු මූුලධර්ම පිළිබඳ කිසිවක් නොදනිති. එම මූලධර්ම සම්පූර්ණයෙන්ම ගම්වාසීන්ට ඉගැන්වීමට සභා පාලකවරුන් අසමත් වී ඇති අතර, ඔවුන්ට එසේ ඉගැන්වීමද ප්‍රායෝගිකව කළ නොහැකි බව තේරුම් ගත හැකිය. තවද බෞතීස්මය නම් ශුද්ධ සක්‍රමේන්තුව ලබාගත් බොහෝ කිතුනුවෝ සිටියද, ඔවුහූ ස්වාමින් වහන්සේගේ යාච්ඤාව, ඇදහිල්ල සහ ආඥා දසය නොදනිති. ඥානෝපදේශය නොමැති නම් ශුද්ධ සභාව එම මූලධර්ම ඉගැන්වීමේදී අසීරුතාවට පත් වනු ඇත. එහෙත් එසේ නොවීමට දෙවියන් වහන්සේ උපකාර කරන සේක.

සැබවින්ම මාර්ටින් ලූතර් තුමාගේ කුඩා ඥානෝපදේශයෙහි ඇතුළත් දැනුම අපගේ සභාවේ සහ නිවෙස්වල අනුගමනය කළහොත් කිසිම ගැටුම්කාරී තත්ත්වයන්ට, ඊර්ෂ්‍යාවට හෝ බෙදීමකට හෝ කිසිසේත්ම ඉඩක් නොලැබෙන බව වැඩි වර්ණනාවලින් තොරව කීමට කැමැත්තෙමි. අපගේ ශුද්ධ සභාව අන්ධකාරයෙන් තොරව දීප්තිමත්ව බබළයි. එම නිසා සියලු මනුෂ්‍යයන් එහි ඇති උණුසුම සහ සැනසීම වෙතට ආකර්ෂණය වනු ඇත. දෙවියන් වහන්සේ එවැනි යහපත් ක්‍රියා උදෙසා අප යොමු කරන සේක.

එය මට මහත් සතුටක් ගෙන දෙයි. එමනිසා මාර්ටින් ලූතර් තුමාගේ ඥානෝපදේශය පිටපත ප්‍රකාශයට පත් කරන්නේ සමස්ත ක්‍රිස්තියානි ජනතාවගේ සුභසාධනය සහ විශේෂයෙන් ලූතරන් සභාව උදෙසාය. මෙම පරිවර්තනය සත්‍ය බව විශ්වාස කරන අතර පැහැදිලි, තේරුම් ගැනීමට පහසු නියත සංස්කරණයක් ලබා දෙන මාර්ගයක් බව මම විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ කරුණාවෙන් ක්‍රිස්තුස් වහන්සේගේ ආලෝකය මෙම වර්තමාන යුගයේ අන්ධකාරය නැති කර බැබළේවා. එය එසේ සිදු වේවායි අපි සියලු දෙනා යාච්ඤා කරමු.

එඞ්වර්ඞ් ආතර් නව්මාන්.

එල්.සී.එම්.එස්. දේවධර්ම ශාස්ත්‍රාලය

දකුණු ආසියානු කලාපය.

ආචාර්ය මාර්ටින් ලූතර්තුමා විසින් ලියන ලද

ප්‍රස්තාවනාව

මාර්ටින් ලූතර් වන මම, සියලුම යහපත් දේව සේවකයන්ට, මූලිකයන්ට හා දේශකයන්ට මාගේ සුබ පැතුම් එවමින්, අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහය ද, කරුණාව ද, සමාදානය ද වේවායි යාච්ඤා කරමි.

මා සැක්සනි පළාතේ දේවස්ථාන බැලීමට ගිය අවස්ථාවේ දී එහි වූ කිතු බැතිමතුන්ගේ ඛේදජනක තත්ත්වය මට ඉතා තදින්ම පෙනී ගිය හෙයින්, ආත්මික ව්‍යසනයෙන් ඔවුන් ගොඩගන්නා පිණිස කෙටි වූ ද, ඉතා සරල වූ ද ඥානෝපදේශය (කතිකීස්මයක්), නැතිනම් ක්‍රිස්තියානි ධර්ම නියාමන පිළිබඳ ප්‍රකාශනයක් සැකසිය යුතු යැයි බලවත් ලෙස මට හැඟී ගියේය. මාගේ දෙවියනි, මා දුටුවේ කෙතරම් කාලකණ්ණි තත්වයක්ද? සාමාන්‍ය ක්‍රිස්තියානි ජනයා, විශේෂයෙන් ගම්බදව විසූ කිතු බැතිමත්හු ක්‍රිස්තියානි ඉගැන්වීම් ගැන කිසිම දැනුමක් නැතුව සිටියෝය. අවාසනාවකට මෙන් දේව සේවකයෝ මේ ඇදහිලිවන්ත ජනතාවට ධර්මානුකූල ඉගැන්වීම් දීමට කිසිසේත් නුසුදුසු තත්වයක සිටියහ. ජනතාව කිතු බැතිමතුන් වී ගැළවීම ලැබ, බෞතීස්මය ලැබුවද, ඉරු දින දේව නමස්කාරයට පැමිණ ශුද්ධ සක්‍රමේන්තුව ලැබූවද, අවම වශයෙන් ස්වාමීන් වහන්සේගේ යාච්ඤාව හෝ ඇදහිලි ප්‍රකාශනය හෝ ආඥා දසය හෝ කුමක්දැයි යන්න නොදැන සිටියහ. එබැවින් මෙම කිතුනුවන් ජීවත් වූයේ කිසිවක් වටහා ගැනීමට අසමත් වූ තිරිසනුන් ලෙසය. එහෙත් දැන් ශුභාරංචි පණිවුඩය පැමිණතිබියදී පවා ඔවුහු තම කිතුනු නිදහසට පටහැණිව ජීවත් වෙති.

සභාවේ බිෂොප්වරුන්, මූලිකයන්, සේවකයන් ආදීන් තම තමන්ගේ යුතුකම් හා වගකීම් පැහැර හැරීම නිසා සිදු වී තිබෙන එම ලජ්ජා සහගත විපත්තිය සම්බන්ධව දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් යම් දිනක කෙලෙස ගණන් දෙනු ඇද්ද? හැකි නම් ඔබ මේ දේව උදහසින් ගැලවෙන්න. දෙවියන් වහන්සේගේ නියමයන් මගහැර, මිනිස් නියමයන්ට කීකරු වෙමින්, ස්වාමින් වහන්සේගේ රාත්‍රී භෝජන සක්‍රමේන්තුව දීමේ දී කුසලානය ඇදහිලිවතුන්ට නොපිළිගැන්වීමට තරම් ඉතා ප්‍රවේසමෙන් ක්‍රියා කරන අය, ඊටත් වඩා වැදගත් වූ ඉගැන්වීම් මගහැර තිබීම පුදුමයකි. ස්වාමීන් වහන්සේගේ යාච්ඤාව, ඇදහිලි ප්‍රකාශනය, ආඥා දසය හෝ දේව වචනයේ එක පදයක්වත් තමා භාරයේ සිටින ඇදහිලිවතුන්ට උගන්වන්නේ නැති වීම ඊටත් වඩා පුදුමයකි. එලෙස කරන ඔබට සදාකාලයටම දුක් වේවා!

එබැවින් මාගේ ප්‍රේමණීය සහෝදරවරුන් වන දේව සේවකයන් හා දේශකයන්ගෙන් දෙවියන් වහන්සේගේ නාමයෙන් මා උදක්ම ඉල්ලා සිටින්නේ ඔබගේ නිලයට හිමි යුතුකම් ඔබ භාරදූර ලෙස, ඔබගේ වගකීම යටතේ පසුවන ඇදහිලිවතුන් කෙරෙහි අනුකම්පා කොට, ඔවුන්ට ක්‍රිස්තියානි ධර්ම නියාමන අන්තර්ගත කතිකීස්මය උගන්වන ලෙසටය. විශේෂයෙන් දරුවන්ට කතිකීස්මය ඉගැන්වීම වැදගත් බව සලකන්න. යම් අයෙකුට මෙය ඉගැන්වීමට හැකියාවක් හෝ උගත්කමක් නැත්නම්, අවම වශයෙන් ඇදහිලිවන්ත ජනතාව ඉදිරියේ ඔවුන්ට හොඳින් ඇසෙන සේ සාවධානයෙන් යුතුව මෙම කතිකීස්මය කියවන්න.

පළමුව, මෙම ඉගැන්වීම කරන අවස්ථාවේ දී දේශකයා හෝ ගුරුවරයා විසින් ආඥා දසය සම්බන්ධයෙන්ද, ඇදහිලි ක්‍රමය සම්බන්ධයෙන්ද, ස්වාමීන් වහන්සේගේ යාච්ඤාව සම්බන්ධයෙන්ද, සක්‍රමේන්තු සම්බන්ධයෙන්ද මෙහි දී ඇති ඉගැන්වීම්වලට පටහැණි දේවල් ඉගැන්වීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතුය. මක්නිසාද සියලුම ඇදහිලිවතුන්ට එකිනෙකට පරස්පර වූ වෙනස් ඉගැන්වීම් නොකර, සියලු ඇදහිලිවතුන්ට එකම ඉගැන්වීම සිදු කිරීම වැදගත්ය. එම එකම ඉගැන්වීම පමණක් වර්ෂයක් පාසා වර්ෂයක් සැම දෙනටම ඉගැන්වීම ඉතාමත් වැදගත් බවද සලකන්න.

ළා බාල සහ වැඩි අත්දැකීම් නැති අයට ඉගැන්විය යුත්තේ ක්‍රමානුකූල ලෙස නියම කළ මාතෘකා යටතේ බවද සලකන්න. එක එක ගුරුවරයා තමන් කැමති ප්‍රකාර ඉගැන්වුවහොත් ඇදහිලිවතුන්ට සියල්ල ව්‍යාකූල වනවා පමණක් නොව, ඉදිරියේදී එම ධර්ම නියාමන උගන්වන්නාටද මහත් අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වනු නියතය. එසේ සිදු වුවහොත් සියල්ලන්ගේ වෑයම අසාර්ථක වනු නියතය.

මෙලෙස ක්‍රමානුකූල ඉගැන්වීම සම්බන්ධව ආදී සභා පියවරුන් තේරුම් ගත් නිසා සියල්ලන් විසින් අනුගමනය කළ යුතු ස්වාමීන් වහන්සේගේ යාච්ඤාව ද, ඇදහිලි ක්‍රමය ද, ආඥා දසය ද, එකම ක්‍රමයකට සකස් කොට ඉගැන්වීම නිසා එය පොදු ක්‍රමයක් බවට පත් විය. අප ද විශේෂයෙන් ළා බාල අයට ධර්මය උගන්වන විට මේ උතුම් ක්‍රමය භාවිත කරමින් එක ඉස්පිල්ලක් හෝ ඇලපිල්ලක් හෝ වෙනස් නොකොට මෙම කතිකීස්මය අවුරුදු පතා සියල්ලන්ට ඉගැන්වීම වැදගත්ය. එවිට ක්‍රිස්තියානි සභාවේ මූලික ධර්ම නියාමන සියල්ලන්ගේ සිත් තුළට කා වැදෙනු ඇත. වැඩි දැනුවත් බවක් ඇති උගත් අයට මෙය ඉගැන්වීමේ දී නිදහස් ලෙස කරුණු සාකච්ඡා කරමින් නොයෙක් මාර්ග අනුගමනය කිරීමේ නිදහස අපට ඇත. එහෙත් ළාබාල අයට උගන්වන විට ක්‍රමවත් ලෙස සකසා තිබෙන ක්‍රමයකට පමණක් ඉගැන්විය යුතුය. එම ඉගැන්වීම ආඥා දසයෙන් ආරම්භ කළ හැකිය. ඊ ළඟට ඇදහිලි ප්‍රකාශනය ද, ස්වාමීන් වහන්සේගේ යාච්ඤාව ද ඉගැන්විය හැකිය. ළමයින්ට වචනයක් පාසා වචනයක් කටපාඩම් කිරීමට ඉගැන්වීම යහපත් වේ. මක්නිසාද සිතෙහි සටහන් වන්නා වූ දේ ලෙහෙසියෙන් අමතක නොවන නිසාය.

ඔබ වගකීමෙන් යුක්තව උගන්වන මෙම ධර්ම නියාමන යම් අයෙකු නොපිළිගන්නේ නම් ඔවුන් ක්‍රිස්තුස් වහන්සේ එපා කරන බැවින් ඔවුන් කිතු බැතිමතුන් හැටියට ගණන් ගත යුතු නැත. එබැවින් ඔවුන් සභාවේ ක්‍රියාත්මක ජීවිතයට ඇතුළත් කරගත යුතු නැත. එවැනි අයට ශුද්ධ වූ සහභාගිකමේ සක්‍රමේන්තුව දිය යුතු ද නැත. බෞතීස්මය උදෙසා ඇපකරුවන් විය යුතු ද නැත. එමෙන්ම ක්‍රිස්තියානි සභාවේ කිසිම අයිතිවාසිකමක් දිය යුතු ද නැත. එවැනි අයට කළ යුත්තේ පාප්තුමා සහ ඔවුන්ගේ නිලධාරීන්ට ඔවුන් භාර දීමය. එසේ නැතිනම් යක්ෂයාට ඔවුන් භාර දිය යුතුය. ක්‍රිස්තුස් වහන්සේ එපා කරන තැනැත්තන්ට දෙමවුපියන් විසින් කෑම බීම හෝ ස්වාමිවරුන් විසින් රැකියා හෝ ලබාදිය යුතු නැත. මෙවැනි අය රටින් පිටුවහල් කරන ලෙස රජතුමන්ට දැන්විය යුතුය.

කිසිවෙකු ඇදහීමට පැමිණීමට බලකිරීම අප විසින් කළ යුතු නැත. එහෙත් තමන් ජීවත් වන සමාජය තුළ ද, තමන් සේවය කරන ස්වාමි පක්ෂය ආශ්‍රිතව ද, හොඳ නරක තේරුම් ගැනීමට ඉගෙන ගත යුතු බව අපි එවැනි අයට ඉගැන්විය යුතු වෙමු. නගරයක ජීවත් වන කවුරුන් හෝ හෙතෙම ඇදහිලිවන්තයෙකු වේවා, සොරෙකු හෝ තක්කඩියෙකු හෝ වේවා ඔහු තමන්ට රැකවරණය දෙන නගරයේ නීති රීති දැනගෙන ඒවා පිළිපැදිය යුතුය.

දෙවනුව, ඉන් ඇති වන්නා වූ වාසිය නම් ඇදහිලිවතුන් මේ පද කටපාඩමින් දැනගත් විට මේ පද මොනවාදැයි හොඳින් අවබෝධ කර ගත් විට එම පදවල තේරුම් සහ ඒවායින් මතු වන දේව ධර්මය ඉගැන්වීමට පහසුය. උදාහරණයක් වශයෙන් මෙම කතිකීස්මය පොතෙහි දෙවැනි කොටස විස්තරාත්මක සංග්‍රහය (මෙම විස්තරාත්මක සංග්‍රහය මාර්ටින් ලූතර් තුමාගේ කුඩා කතිකීස්මය පොතෙහි විස්තර කොටසෙහි අන්තර්ගත වී ඇත) ගෙන එහි ඇති ඕනෑම විස්තර සංග්‍රහයක් එහි ඇති එක වචනයක් පවා වෙනස් නොකර එහි අන්තර්ගතය පමණක් ඇදහිලිවතුන්ට ඉගැන්වීමට ඔබට නිදහස ඇත. මේ සඳහා ඔබට බොහෝ කාලයක් ගත කළ හැකිය. සියල්ල එකවර ඉගැන්විය යුතු නැත. ආඥා දසයේ පළමුවන ආඥාව හා එහි විස්තර ඇදහිලිවතුන් ඉතා හොඳින් වටහා ගත් විට පමණක් දෙවන ආඥාවේ විස්තර ඔබ විසින් ඉගැන්විය යුතුය. එසේ නොකළහොත් ඔවුන්ට ඔබ උගන්වන සියල්ල පැටලී, සියල්ල ව්‍යාකූල වී ඔබ උගන්වන කිසිවක් ඉගෙන ගැනීමට නොහැකි වනු ඇත.

තුන්වනුව, ඔබ මෙම කුඩා කතිකීස්මය ඇදහිලිවතුනට හා ළමයින්ට ඉතා පැහැදිලි ලෙස ඉගැන්වූවාට පසු ඔබ විසින් කළ යුත්තේ ලොකු කතිකීස්මය රැගෙන ඔවුන්ට තව දුරටත් ඉගැන්වීමය. ලොකු කතිකීස්මය ඉගෙන ගැනීමෙන් සිදුවන යහපත වන්නේ ඇදහිලිවන්ත සියලු දෙනා ක්‍රිස්තියානි බයිබලීය දේවධර්මය ඉතා පැහැදිලි ලෙස තේරුම් ගෙන බයිබලීය දේවධර්මය මත ශක්තිමත් ලෙස තම ක්‍රිස්තියානි ජීවිතය ගොඩනගා ගැනීමය. මෙසේ කතිකීස්මය ඉගැන්වීමේදී සැම ආඥාවක්ම ඉගැන්වීමක්ම දීර්ඝ ලෙසද විස්තරාත්මක ලෙසද පහදා දෙන්න. දෙවියන් වහන්සේ විසින් අණ කරනු ලබන සියල්ල පිළිපදින ලෙස ඇදහිලිවන්තයා කෙලෙස තදින්ම බැඳී ඇත්තේද, එය පිළිපැදීම නිසා අත්වන ආශිර්වාද සහ ඒවා නොපිළිපැදීම නිසා ලැබෙන ශාප මෙන්ම, එහි ඇති වාසිදායක දේ හා අවාසිදායක දේවල් කවරේදැයි යන්නද උගන්වන්න. ඒ පිළිබඳ වැදගත් විස්තර ඇතුළත් අනිකුත් පොත්පත් හා ලියකියවිලි රැගෙන ඒවාද විස්තර ලෙස ඉගැන්වීමටද ඔබට නිදහස ඇත්තේය. ඔබ මේ කාරණා උගන්වන විට ඉතා වැදගත් ඉගැන්වීම් මොනවාදැයි ඔබම මැනවින් තේරුම්ගෙන ඔබ විසින් උගන්වනු ලබන ඇදහිලිවතුන්ගේ බලවත් අවධානයට ඒවා යොමු කරන්න. උදාහරණයක් වශයෙන් “සොරකම් නොකරව” යන සත්වන ආඥාව ගෙන හැර දැක්විය හැකිය. මෙයින් කියැවෙන්නේ අප සමාජයේ බහුලව සිදු වන සොරකම් සම්බන්ධයෙන් බව අපි දනිමු. ස්වාමිවරුන් වේවා, මෙහෙකරුවන් වේවා, ව්‍යාපාරිකයන් වේවා, පාරිභෝගිකයන් වේවා, ගොවීන් වේවා, කම්කරුවන් වේවා වෙන ඕනෑම කෙනෙක් සොරකම් කිරීමේ වරදට, වංචා කිරීමේ වරදට, වංක වීමේ වරදට, බොහෝ විට වැරදිකරුවෙක් වන්නේය. සොරකම් නොකිරීම පිළිබඳ ආඥාව කුඩා කල සිට ළමයින්ටද, එමෙන්ම සාමාන්‍ය ජනතාවටද ඉගැන්වීම වැදගත් බව සලකන්න. එම ආඥාවට කීකරු වන තැනැත්තා සැම විටම අවංක, සාමකාමී, පිළිවෙලක් අනුව ක්‍රියා කරන යහපත් කීකරු අයෙකු වීම නියතය. දෙවියන් වහන්සේ සොරකම් කළ අයට දඬුවම් කළ අයුරුද, අවංක කීකරු සාමකාමී පිළිවෙලක් ඇතිව ක්‍රියා කරන අයට ආශිර්වාද කළ අයුරුද පෙන්වීමට ඔබ ශුද්ධ ලියවිලිවලින්බොහෝ උදාහරණ සහිතව පහදා දෙන්න.

ඒ සමගම දෙමවුපියන් විසින්ද, ගුරුවරුන් විසින්ද, රජයේ නිලධාරීන් විසින්ද ප්‍රඥාවන්ත ලෙස දරුවන්ට නිසි අධ්‍යාපනය දීම පිළිබඳ වගකිව යුතු අයට ඔබ විසින් පහදා දිය යුතුව ඇත. එම වගකිව යුත්තන් එලෙස කිරීම ඔවුන්ගේ යුතුකමක් බව ඔවුන් ඉතා හොඳින් වටහාගෙන වගකීමෙන් යුතුව ක්‍රියා නොකළහොත් ඔවුන් මහා පාපයකට ගොදුරු වන බව තව දුරටත් පෙන්වා දිය යුතුය. එසේ යුතුකම් පැහැර හැරීම මගින් දේව රාජ්‍යයේ මෙන්ම ලෝකයේ පවතින රජයන් පවා විනාශ කිරීමේ වරදට ඔවුන් පංගුකාරයන් වන බැවින්, එවැනි වගකිව යුතු අය (දෙමවුපියන්, ගුරුවරුන්, රජයේ නිලධාරීන්) දෙවියන් වහන්සේටද රජයටදද්‍රෝහී අය වනු ඇත. ඔවුන් දරුවන් පුහුණු කළ යුත්තේ දේව සේවය සඳහා, දේශකයන්, නොතාරිස්වරුන් හා රජයේ නිලධාරීන් වීම සඳහා වන අතර, එම වගකීම පැහැර හරින අයට දෙවියන් වහන්සේ දරුණු ලෙස දඬුවම් කරන සේක. එබැවින් මේ සම්බන්ධයෙන් ඇදහිලිවතුන්ට දේශනා කිරීම ඉතා වැදගත්ය. මෙම පාපයට වගකිව යුතු අය වැරදිකරුවන් වී ඇත. දෙමවුපියන්, ගුරුවරුන් සහ රජයේ නිලධාරීන් විශාල සැලැස්මක් අනුව යක්ෂයා විසින් මුළා කරනු ලැබ ඇත.

අවසාන වශයෙන්, දැන් පාප්තුමාගේ ඒකාධිපති බලයෙන් ඇදහිලිවන්ත ජනතාව නිදහස් වී තිබේ. එහෙත් එසේ පාප් වියගහෙන් නිදහස ලත් සමහර අය ශුද්ධ සක්‍රමේන්තුව ලැබීමට යාමට අකමැති අතර එයසුළු කොට (නිෂ්ඵල සහ අනවශ්‍ය දෙයක් ලෙස) සලකති. එබැවින් එවැනි අයට මෙහිදී අවවාදයක් දීමද වැදගත් වේ. සක්‍රමේන්තුව ලබා ගැනීම පිළිබඳව සැම දෙනාම දැනගෙන සිටිය යුතුය. සක්‍රමේන්තුව ලබාගත යුතුම බවට හෝ ගත යුතු පිළිවෙල හෝ ස්ථානය පිළිබඳව කිසිම නීතියක් හෝ තහනමක් ඇත්තේ නැත. අප විසින් ඇදහිලිවතුන්ට දේශනා කළ යුත්තේ, කිසිම නීතියකට රීතියකට හෝ බලපෑමකට යටත් නොවී, සිය නිදහස් කැමැත්තෙන් සක්‍රමේන්තුව ගැනීමට කැමති ඕනෑම අයෙකුට ශුද්ධ සක්‍රමේන්තුව පිළිගැන්වීමට අපගේ පූජක පක්ෂය සැම විටම සූදානමින් සිටින බවය. ඒ සමඟම අප ඔවුන්ට කිව යුතු වැදගත් කරුණක්ද ඇත. යම් ඇදහිලිවන්තයෙකු අවුරුද්දකට අවම වශයෙන් සතර පස් වතාවක් හෝ ශුද්ධ සක්‍රමේන්තුව නොගන්නවා නම්, ඔහු නොඅනුමානයෙන්ම ශුද්ධ සක්‍රමේන්තුව ප්‍රතික්ෂේප කරන බවද, එම නිසා ඔහු නියම ඇදහිලිවන්තයෙකු නොවන බවද ඔප්පු වන්නේය. මක්නිසාද ඔහු ශුභාරංචි පණිවුඩය අසන්නේවත් එය විශ්වාස කරන්නේවත් නැත. “මෙය නොකර මඟ හරින්න, මෙය එපා කරන්න” යනුවෙන් ක්‍රිස්තුස් වහන්සේ පවසා නැත. “යම් පමණවර නුඹලා මෙය පානය කරන්නහුද එපමණ වර මා සිහි කිරීම පිණිස මෙය කරපල්ලා” යයි උන් වහන්සේ එය නියම කළ සේක. සැබවින්ම උන් වහන්සේගේ කැමැත්ත වන්නේ අප සක්‍රමේන්තුව ගැනීමය. එහෙත් බල කිරීමක් මත නොවේ. “මෙය කරපල්ලා” යයි උන් වහන්සේ පැවසූ විට ඊට අවනත වී සක්‍රමේන්තුව ලබා ගැනීම අපේ යුතුකමකි.

අප අතරේ සිටින තව අන්දමක මිනිසුන් කොට්ඨාසයක් ගැන මෙහිදී කිව යුතුය. මේ අය ශුද්ධ රාත්‍රී භෝජන සක්‍රමේන්තුවට ගෞරව නොකරති. ඔවුන් සිතන ආකාරයට පාපය යනුවෙන් දෙයක් ඇත්තේ නැත. මාංසික තෘෂ්ණා, යක්ෂයා, ලෞකික දේ, සදාකාල මරණය හෝ නිරය යනුවෙන් දෙයක් ඇත්තේද නැත. කෙටියෙන් පැවසුවහොත්, එවන් දේ පිළිබඳ සිතීමට ඔවුන්ට වුවමනාවක් ඇත්තේද නැත. මේ අය තදින්ම යක්ෂයාගේ ග්‍රහණයට හසු වී සිටිති. තවත් අතකින් තමන්ට දෙවියන් වහන්සේගේ අනුග්‍රහය අනවශ්‍ය බව ඔවුහූ පවසති. ඔවුහූ මරණින් මතු ජීවිතය, ස්වර්ගය, ක්‍රිස්තුස් වහන්සේ හා දෙවියන් වහන්සේ යන කාරණා පිළිබඳ එනම්, කිසි යහපතක් පිළිබඳ විශ්වාස නොකරති. තමා නපුරෙහි තදින්ම ඇලී ගැලී සිටින බැවින් ඔවුන්ට යහපත් දෙයින් වුවමනාවක් නැති බව ඔවුහූ සිතති. එහෙත් පුදුමය නම් මොවුන්ට රාත්‍රී භෝජන සක්‍රමේන්තුව හෝ පූජාව නොගෙන සිටීමට බැරි වීමය. ඔවුන්ට එය අවශ්‍යමය. ඒ අවශ්‍යතාව පැන නැගෙන්නේ බල කිරීම මත නොවේ. එහෙත් සිය කැමැත්ත නිසාම ඔවුන්ට සක්‍රමේන්තුව ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. එබැවින් සක්‍රමේන්තුව තමන්ටද දිය යුතු බව ඔවුහූ පවසති.

පාප්තුමා කරන්නාක් මෙන් මේ අයට වැටවල් බැඳ නීති රීති දැමීම කළ යුතු නැත. ඒ වෙනුවට, වගකිව යුතු දේව සේවකයෙකු ලෙස ඔබ කළ යුත්තේ සක්‍රමේන්තුව පිළිගැනීමේ ආශිර්වාදය එවැනි අයට ඉතා හොඳින් පහදා දීමය. සක්‍රමේන්තුව ගැනීමෙන් අත් වන ආශිර්වාද, සැබෑ සූදානමක් හා ඇදහිල්ලක් නැතිව ගැනීමෙන් ඔහුට අත් වන දෙවියන් වහන්සේගේ උදහස, සක්‍රමේන්තුව ගැනීමේ පදනම, එහි බයිබලීය දේවධර්මය ඇතුළු සියල්ල ගැන මනා අවබෝධයක් ලබා දිය යුතු වේ. එවිට නියම ඇදහිලිවන්තයන් පමණක් තමන්ගේම බලවත් අවශ්‍යතාව අනුව සිය කැමැත්තෙන් සක්‍රමේන්තුව පිළිගැනීම සඳහා පැමිණෙනු ඇත. ඔවුන් සක්‍රමේන්තුව ගැනීමට නොපැමිණෙන්නේ නම් ඊට නිදහස ඔවුන්ට තිබිය යුතුය. එහෙත් ඇදහිලිවන්තයන්ගේ අත්‍යවශ්‍ය දෙයක් පැහැර හැරීමෙන් ඔවුන් ප්‍රකාශ කරන්නේ තමන්ට දෙවියන් වහන්සේගෙන් කිසිම ඵලක් නැති බවත්, ඔහු යක්ෂයා අනුව යන අය බවත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් සිය කැමැත්තෙන්ම එය ප්‍රකාශ කරන බවත් ඔවුන්ට තරයේම ඉගැන්විය යුතුය. ඔබ එවැනි අයට අවවාද අනුශාසනා හෝ තරවටු නොකර, ඔවුන් සම්බන්ධයෙන් දැඩි විනය මාලාවක් අනුගමනය නොකරන්නෙහි නම්, මිනිසුන් ශුද්ධ සක්‍රමේන්තුව කෙලෙසන ආකාරයෙන් එය ලබා ගැනීමේ වරදට ඔබත් හවුල්කරුවකු වනු ඇත. ඔබ දේව සේවකයෙකු නම්, ඔබගේ යුතුකම් ඉටු නොකොට නිශ්ශබ්දව එය පැහැර හරින්නෙහි නම් ඔබ විසින් සක්‍රමේන්තුව කෙලෙසනු ලබයි. එබැවින් මේ සම්බන්ධව වගකීම් දැරිය යුත්තේ සභාවේ පූජක තුමා, නායකයන්, මූලිකයන් සහ ගුරුවරුන්ය. අප දරන පූජකවරය පාප්තුමා යටතේ තිබුණු පූජකවරයට වඩා ඉඳුරාම දැන් වෙනස්ය. මක්නිසාද දැන් අපගේ ස්ථාවරය වන්නේද, අපගේ පූජක නිලය රඳා පවතින්නේද පාප් තුමාගේ දරදඬු පාලනය යටතේ නොව, දෙවියන් වහන්සේගේ අනුග්‍රහය හා අප ලබා තිබෙන ගැලවීම යටතේය. දැන් අපට ලෝකයාගෙන් වැඩි ගෞරවයක් ලැබෙන්නේ කලාතුරකිනි. දැන් අපට විශාල බර දැරීමටද, වෙහෙස වී වැඩ කිරීමටද, අනතුරු පරීක්ෂාවලට ගොදුරු වීමටද සිදු වී තිබේ. එහෙත් අප අවංකව දෙවියන් වහන්සේට සේවය කරන්නේ නම්, උන් වහන්සේට පක්ෂපාතව සේවයෙහි යෙදෙන්නේ නම්, දෙවියන් වහන්සේ අපට සහතික වී තිබෙන ත්‍යාගය හා ආශිර්වාද සුළු පටු නොවේ. සියලු අනුග්‍රහයේ ස්වාමින් වහන්සේ එය අපට ප්‍රදානය කරනු ඇත. අපගේ ස්වාමින් වන ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන සියලු ප්‍රශංසාව හා ස්තුතිය උන් වහන්සේටම අපි පුදමුව. ආමෙන්!

මෙයට
මාර්ටින් ලූතර්.

I. ආඥා දසය

The Ten Commandments

පවුලේ ප්‍රධානියා විසින් තම පවුලේ අයට ඉතා සරල ලෙස ඉගැන්විය යුතු අන්දම මෙසේය.

පළමුවන ආඥාව

මා ඇර අන් දෙවිවරුන් තට ඇතුව නොසිටුව.
කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්වයක් හෝ තට සාදානොගනුව. ඊට නමස්කාර නොකරව, සේවය නොකරව.

මෙයින් අදහස් වන්නේ කුමක්ද?

පිළිතුර:

අප සියල්ලට වඩා දෙවියන් වහන්සේට භය විය යුතු බවත්, ප්‍රේම කළ යුතු බවත්, උන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය යුතු බවත්ය.

දෙවන ආඥාව

නුඹේ දෙවියන් වන ස්වාමින් වහන්සේගේ නාමය නිකරුණේ ව්‍යවහාර නොකරව.

මෙයින් අදහස් වන්නේ කුමක්ද?

පිළිතුර:

අප විසින් දෙවියන් වහන්සේට භය වීම හා ප්‍රේම කිරීම කරණකොටගෙන උන් වහන්සේගේ නාමයෙන් ශාප කරන්ටවත්, දිවුරන්ටවත්, බොරු කියන්ටවත්, රවටන්ටවත් යුතු නැති බවත්ය. එහෙත් හැම විපතකදීම උන් වහන්සේගේ නාමයට හඬගසන්ටත්, ඒ නාමයෙන් යාච්ඤා කරන්ටත්, ප්‍රශංසා කරන්ටත්, ස්තුති කරන්ටත් යුතු බවය.

තුන්වන ආඥාව

සබත් දවස ශුද්ධ ලෙස පවත්වන්ට සිහිකර ගනුව.

මෙයින් අදහස් වන්නේ කුමක්ද?

පිළිතුර:

අප දෙවියන් වහන්සේට භය වීම හා ප්‍රේම කිරීම කරණකොටගෙන උන් වහන්සේගේ වචනය හා වචනය දේශනා කිරීම අවමානයට ලක් කළ යුතු නැති බවත්, එහෙත් එය ශුද්ධ ලෙස සලකා ප්‍රීතියෙන් ඇහුම්කන් දී උගත යුතු බවත්ය.

සතරවන ආඥාව

ඔබගේ දෙවියන් වන ස්වාමින් වහන්සේ ඔබට දෙන දේශයෙහි ඔබ බොහෝ කල් ජීවත්වෙන පිණිස ඔබේ පියාට ද මවට ද ගෞරව කරව.

මෙයින් අදහස් වන්නේ කුමක්ද?

පිළිතුර:

දෙවියන් වහන්සේට අප භය වීම හා ප්‍රේම කිරීම කරණකොටගෙන අපේ දෙමවුපියන්ට හා ස්වාමිවරුන්ට අගෞරව කරන්ට හෝ ඔවුන් කෝප කරවන්ට හෝ යුතු නැති බවත්, ඒ වෙනුවට ඔවුන්ට ගෞරව කරන්ටත්, සේවය කරන්ටත්, කීකරුවන්ටත්, ඔවුන්ට ප්‍රේමයෙන් ගෞරවයෙන් සලකන්ටත් අවශ්‍ය බවත්ය.

පස්වන ආඥාව

මිනී නොමරව.

මෙයින් අදහස් වන්නේ කුමක්ද?

පිළිතුර:

අප දෙවියන් වහන්සේට භය වීම හා ප්‍රේම කිරීම කරණකොටගෙන අපගේ අසල්වැසියාගේ ශරීරයට රිදවන්ට හෝ හානි කරන්ට හෝ යුතු නැති බවත්, ඒ වෙනුවට ඔහුගේ ජීවිතයේ සියලු අවශ්‍යතාවලදී ඔහුට උපකාර කරන්ටත්, ඔහුගේ මිත්‍රයෙකු ලෙස සිටින්ටත් අවශ්‍ය බවත්ය.

සයවන ආඥාව

කාමමිථ්‍යාචාරය නොකරව.

මෙයින් අදහස් වන්නේ කුමක්ද?

පිළිතුර:

අප දෙවියන් වහන්සේට භය වීම හා ප්‍රේම කිරීම කරණකොටගෙන වචනයෙන්ද, ක්‍රියාවෙන්ද නොකැලැල් පිරිසිදු ජීවිත ගත කරන්ටත්, එකිනෙකා තම තමාගේ සහකාරයාට හෝ සහකාරියට හෝ ප්‍රේම කරන්ට හා ගෞරව කරන්ට යුතු බවය. අන් පුරුෂයන් සමඟ හෝ අන් භාර්යාවන් සමඟ වැරදි අන්දමට නොහැසිරිය යුතු බවත්ය.

සත්වන ආඥාව

සොරකම් නොකරව.

මෙයින් අදහස් වන්නේ කුමක්ද?

පිළිතුර:

දෙවියන් වහන්සේට අප භය වීම හා ප්‍රේම කිරීම කරණකොටගෙන අසල්වැසියාගේ මිල මුදල් හෝ බඩු බාහිරාදිය හෝ අප විසින් සොරා නොගත යුතු බවත්, වංචා සහිත මාර්ගවලින් ඒවා ලබාගත යුතු නැති බවත්, ඒ වෙනුවට ඔහුට තමාගේ දේපළ හෝ ව්‍යාපාරය වැඩි දියුණු කරගන්ට හා ආරක්ෂා කරගන්ට අප විසින් උපකාර කළ යුතු බවත්ය.

අටවන ආඥාව

නුඹේ අසල්වාසියාට විරුද්ධව බොරු සාක්ෂි නොකියව.

මෙහි තේරුම කුමක්ද?

පිළිතුර:

දෙවියන් වහන්සේට අප භය වීම හා ප්‍රේම කිරීම කරණකොටගෙන අපගේ අසල්වැසියාට රැවටිලි සහිත ලෙස බොරු කියන්ටවත්, ඔහු පාවා දෙන්ටවත්, ඔහු ගැන බොරු කේලාම් කියන්ටවත්, ඔහු අපකීර්තියට පත් කරවන්ටවත් යුතු නැති බවත්, ඒ වෙනුවට ඔහු ආරක්ෂා කළ යුතු බවත්, ඔහු ගැන හොඳ පමණක් කථා කළ යුතු බවත්, ඔහු පිළිබඳ සියල්ල ඉතාමත් හොඳ අන්දමින් දැක්විය යුතු බවත්ය.

නවවන ආඥාව

නුඹේ අසල්වැසියාගේ ගෙට ආශා නොකරව.

මෙහි තේරුම කුමක්ද?

පිළිතුර:

අප දෙවියන් වහන්සේට භය වීම හා ප්‍රේම කිරීම කරණකොටගෙන අපගේ අසල්වාසීන්ගේ උරුමය හෝ ගෙය කපටි ලෙස ලබාගන්ට උත්සාහ නොකළ යුතු බවත්, අයිතිවාසිකම් පෙන්වා එය ලබා නොගත යුතු බවත්, ඒ වෙනුවට එය ආරක්ෂා කර ගැනීම සඳහා ඔහුට උපකාර කරන්ට හා සේවය කරන්ට යුතු බවත්ය.

දසවන ආඥාව

නුඹේ අසල්වාසියාගේ භාර්යාවටවත්, ඔහුගේ දාසයා හෝ දාසියටවත් ඔහුගේ ගව මහීෂ ආදීන්ටවත්, නුඹේ අසල්වාසියාට අයිති වෙන කොයියම් දෙයකටවත් ආශා නොකරව.

මෙහි තේරුම කුමක්ද?

පිළිතුර:

අප දෙවියන් වහන්සේට භය වීම හා ප්‍රේම කිරීම කරණකොටගෙන අපගේ අසල්වාසියාගේ භාර්යාව හෝ වැඩකරුවන් හෝ ගව මහීෂාදී සතුන් හෝ ඔහු කෙරෙහි ඇති ලැදිකම නැති කරවන්ටවත්, ඔහුගෙන් වෙන්වන්ට ඔවුන්ට බල කරන්ට හෝ ඔවුන් පොළඹවන්ට හෝ යුතු නැති බවත්, ඒ වෙනුවට ඔහු සමඟ නැවතී තමාගේ යුතුකම් ඉටු කරන්ට ඔවුන්ට අනුබල දිය යුතු බවත්ය.

සාරාංශයක් ලෙස දෙවියන් වහන්සේ මේ සියලු ආඥාවන්ගෙන් කුමක් ප්‍රකාශ කරන සේක්ද?

පිළිතුර:

උන්වහන්සේ නික්මයාම 20:5-6හි මෙසේ පවසන සේක:
තාගේ දෙවි වූ ස්වාමින් වහන්සේ වන මම, අන්‍ය භක්ති නොඉවසන්නාවූ මට වෛර කරන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම් ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නාවූ (හෙවත් ස්වකීය ගෞරවය රක්ෂාකරන්නාවූ) මට ප්‍රේම කරමින් මාගේ ආඥා පවත්වන්නවුන්ගෙන් පැවත එන දහස් ගණන් පරම්පරාවන් දක්වා දයාව පෙන්වන්නාවූ දෙවිකෙනෙක්ය.

මෙයින් අදහස් වන්නේ කුමක්ද?

පිළිතුර:

මේ ආඥා කඩ කරන්නවුන්ට දඬුවම් කරන බවට දෙවියන් වහන්සේ පවසන සේක. ඒ නිසා අප උන් වහන්සේගේ උදහසට භයව උන් වහන්සේගේ ආඥා කඩ නොකළ යුතුය. එහෙත්, මේ ආඥා පවත්වන සියල්ලන්ට සියලුම ආශිර්වාද සහ අනුග්‍රහය දෙන්ට උන් වහන්සේ පොරොන්දු වූ සේක. එහෙයින් අපි උන් වහන්සේට ප්‍රේම කිරීම, උන් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම, අපගේ ස්ව කැමැත්තෙන් උන් වහන්සේගේ ආඥා පිළිපැදීම කළ යුතු වෙමු.

II. ඇදහිලි ප්‍රකාශය

The Creed

පවුලේ ප්‍රධානියා විසින් තමාගේ පවුලේ අයට ඉතා සරල ලෙස ඉගැන්විය යුතු අන්දම මෙසේය.

පළමුවන වගන්තිය
මැවීම

අහසේද, පොළොවේද මැවුම්කාරයාණන්වූ සියලු බලය ඇති පියාණන් වන දෙවියන් වහන්සේ කෙරෙහි අදහමි.

මෙයින් අදහස් වන්නේ කුමක්ද?

පිළිතුර:

දෙවියන් වහන්සේ මා සහ ලොව ඇති සියලු දේ මවා ඇති බවද, උන් වහන්සේ මට මාගේ ශරීරය හා ප්‍රාණය ද, මාගේ සියලු අවයව හා බුද්ධියද, මාගේ සියලු හැඟීම් හා දැනීම්ද මට දී ඇති බවත්, ඒ සියල්ල සමග මා ආරක්ෂා කරන බවත්, තවද මාගේ ඇඳුම් පැලඳුම් හා ආහාරද, නිවහනද, භාර්යාව හා දරුවන්ද, ඉඩකඩම්, ගවයන් හා සියලු බඩු බාහිරාදියද දෙන බව හා ආරක්ෂා කරන බවත්, මේ ශරීරයට හා ජීවිතයට මට අවශ්‍ය සියල්ල දිනපතා බහුල ලෙස උන් වහන්සේ දෙන බවත්, උන් වහන්සේ සියලු අනතුරුවලින් මා රකින බව හා සියලු නපුරෙන් මා වළක්වා ආරක්ෂා කරන බවත්, මේ සියල්ල මාගේ වටිනාකමක් හෝ යහපත්කමක් හෝ නිසා නොව, සම්පූර්ණයෙන්ම පියාණන් වන දෙවියන් වහන්සේගේ යහපත්කමින් හා අනුග්‍රහයෙන් ලැබෙන බවත්, මේ සියල්ල ගැන උන් වහන්සේට ස්තුති කිරීම, ප්‍රශංසා කිරීම, සේවය කිරීම, කීකරු වීම මාගේ යුතුකම බවත් අදහමි. මෙය ඒකාන්ත වශයෙන් සැබෑය.

දෙවන වගන්තිය
මුදා ගනු ලැබීම

උන් වහන්සේගේ එකම පුත්‍ර වූ, අපගේ ස්වාමි වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේද අදහමි. උන් වහන්සේ ශුද්ධාත්මයාණන් කරණකොටගෙන පිළිසිඳ ගනු ලැබ කන්‍යා මරිය තුමියගෙන් ඉපිද, පොන්තියුස් පිලාත් යටතේ වද විඳ, කුරුසියෙහි ඇණ ගසනු ලැබ, මැරී තැන්පත් කරනු ලැබූ සේක. උන් වහන්සේ නිරයට බැස්ස සේක. තුන්වන දින උන් වහන්සේ මළවුන්ගෙන් නැගිට, ස්වර්ගයට නැගී, පියාණන් වන සියලු බලය ඇති දෙවියන් වහන්සේගේ දකුණු පැත්තෙහි වැඩ හිඳින සේක. උන් වහන්සේ ජීවත් වන්නවුන් හා මළවුන් විනිශ්චය කරන පිණිස නැවත වඩින සේක.

මෙයින් අදහස් වන්නේ කුමක්ද?

පිළිතුර:

සැබෑ දෙවියන් වහන්සේ වන, සදාකාලිකත්වයේ සිට පියාණන් වහන්සේ කෙරෙන් ජනිත කරන ලද්දා වූද, එසේම, සැබෑ මනුෂ්‍යයා වූද, කන්‍යා මරිය තුමියගෙන් උපන්නා වූද, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මාගේ ස්වාමින් වහන්සේ වන බව මම අදහමි. උන් වහන්සේ, නැති වී සිටියා වූද, සදාකාල දඬුවමට නියම කරනු ලැබ සිටියා වූද මා, රන් හා රිදීවලින් නොව, තමන් වහන්සේගේ ශුද්ධ වූ මාහැඟි වූ ලේවලින්ද, තමන් වහන්සේගේ දුක් විඳීමෙන් හා මරණයෙන් මා මිල දී ගෙන, සියලු පව්වලින්ද, යක්ෂයාගේ බලයෙන්ද මා මුදා ගත් සේක. එසේ කළේ මා තමන් වහන්සේටම අයිති වන පිණිසත්, උන් වහන්සේගේ රාජ්‍යයෙහි තමන් වහන්සේ යටතේ ජීවත් වන පිණිසත්, සදාකාලික ධර්මිෂ්ඨභාවයෙන්ද, අහිංසකභාවයෙන්ද, ආශිර්වාද ලත්භාවයෙන්ද යුක්තව, උන් වහන්සේ මළවුන්ගෙන් නැගිට ජීවමානව සදාකාලයට සියල්ල පාලනය කරන ලෙසඋන් වහන්සේට සේවය කරන පිණිසත්ය. මෙය ඒකාන්ත වශයෙන් සැබෑය.

තුන්වන වගන්තිය
පාරිශුද්ධ කරනු ලැබීම

ශුද්ධාත්මයාණන් වහන්සේ කෙරෙහිද, ශුද්ධ වූ කතෝලික සභාව කෙරෙහිද, ශුද්ධවන්තයන්ගේ සහභාගිකම කෙරෙහිද, පව් කමාව කෙරෙහිද, ශරීරයේ නැවත නැගිටීම කෙරෙහිද, සදාකාල ජීවනය කෙරෙහිද අදහමි. ආමෙන්.

මෙයින් අදහස් වන්නේ කුමක්ද?

පිළිතුර:

මගේ බුද්ධියෙන්වත්, ශක්තියෙන්වත් මාගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහන්ට හෝ උන් වහන්සේ වෙතට එන්ට හෝ මට බැරි බවත්, ශුද්ධාත්මයාණන් වහන්සේ ශුභාරංචියේ මාර්ගයෙන් මා කැඳවා ඇති බවත්, උන් වහන්සේගේ දීමනාවන්ගෙන් මා ආලෝකවත් කර, පවිත්‍ර කර මා සැබෑ ඇදහිල්ලෙහි තබා ඇති බවත්, ඒ අයුරින්ම උන් වහන්සේ පොළොවෙහි වන මුළු ක්‍රිස්තියානි සභාව කැඳවා එක්රැස් කොට, ආලෝකවත් කොට, පවිත්‍ර කොට එය යේසුස් වහන්සේ හා සමඟ සැබෑ ඇදහිල්ලෙහි තබන බවත්, උන් වහන්සේ ඒ ක්‍රිස්තියානි සභාව තුළ මා හටත් සියලු ඇදහිලිවන්තයන්ටත් දිනපතා අධික ලෙස පව් කමාව දෙන බවත්, අන්තිම දිනයෙහිදී මා ද සියලු මළවුන්ද නැගිටුවා, මටද, සියලු ඇදහිලිවන්තයන්ටද සදාකාල ජීවනය දෙන බවත් අදහමි. මෙය ඒකාන්ත වශයෙන් සැබෑය.

III. ස්වාමීන් වහන්සේගේ යාච්ඤාව

The Lord’s Prayer

පවුලේ ප්‍රධානියා විසින් තමාගේ පවුලේ අයට ඉතා සරල ලෙස ඉගැන්විය යුතු අන්දම මෙසේය.

ස්වර්ගයෙහි වැඩ සිටින අපගේ පියාණන්වහන්ස,

මෙයින් අදහස් වන්නේ කුමක්ද?

පිළිතුර:

අප විසින් සිතේ ධෛර්යයෙන් හා විශ්වාසයෙන් යුක්තව ආදරණීය දරුවන් විසින් තම ආදරණීය පියාගෙන් යමක් ඉල්ලන්නාක් මෙන් තමන් වහන්සේගෙන් ඉල්ලන පිණිස, තමන් වහන්සේ අපගේ සැබෑ පියාණන් වහන්සේ බවද, අප උන් වහන්සේගේ සැබෑ දරුවන් බවද විශ්වාස කරන පිණිස මේ වචනය මගින් මෘදු ලෙස දෙවියන් වහන්සේ අප කැඳවන සේක.

පළමුවන අයැදුම

ඔබගේ නාමයට ගෞරව වේවා!

මෙයින් අදහස් වන්නේ කුමක්ද?

පිළිතුර:

දෙවියන් වහන්සේගේ නාමය ශුද්ධ බව අපට සහතික විය යුතුය. එහෙත් මේ අයැදුමෙන් අප යාච්ඤා කරන්නේ එම නාමය අප අතරද ශුද්ධ ලෙස සලකනු ලබන්ටය.

මෙය කරන්නේ කෙලෙසද?

පිළිතුර:

අප දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස, දෙවියන් වහන්සේගේ වචනය ඉතා පැහැදිලිවද, පවිත්‍ර ලෙසද ඉගැන්වීමෙන් හා ඒ අනුව අප ශුද්ධ ජීවිත ගත කිරීමෙන් මෙය කළ හැකිය. ආදරණීය ස්වර්ගීය පියාණෙනි, ඒ අනුව ජීවත් වෙන්ට අපට පිහිට වුව මැනව! එහෙත් දෙවියන් වහන්සේගේ වචනයෙහි ඇති දෙයට වඩා වෙනස් ලෙස වැඩි යමක් උගන්වන්නා වූද, ඒ අනුව ජීවත් වන්නා වූද තැනැත්තේ අප අතරෙහි දෙවියන් වහන්සේගේ නාමය කෙලෙසා දමයි. ස්වර්ගීය පියාණෙනි, අප මෙයින් ආරක්ෂා කර ගත මැනව!

දෙවන අයැදුම

ඔබගේ රාජ්‍ය ඒවා!

මෙයින් අදහස් වන්නේ කුමක්ද?

පිළිතුර:

සැබවින්ම අපගේ යාච්ඤාවෙන් තොරව දෙවියන් වහන්සේගේ රාජ්‍ය නිතැතින්ම පැමිණෙනවා ඇත. එහෙත් අප මෙසේ ඉල්ලා යාච්ඤා කරන්නේ එය අප වෙතටද පැමිණෙන පිණිසය.

මෙය කරන්නේ කෙලෙසද?

පිළිතුර:

අප මෙහිදී කාලිකවද, මින් පසුව සදාකාලිකවද අපගේ ස්වර්ගීය පියාණන් වහන්සේගේ අනුග්‍රහයෙන් උන් වහන්සේගේ ශුද්ධ වූ වචනය විශ්වාස කරන පිණිසත්, යහපත් ජීවිතයක් ගත කරන පිණිසත් උන් වහන්සේ අපට තමන් වහන්සේගේ ශුද්ධාත්මය දෙන කල්හිය. 

තුන්වන අයැදුම

ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා!

මෙයින් අදහස් වන්නේ කුමක්ද?

පිළිතුර:

සැබවින්ම දෙවියන් වහන්සේගේ යහපත් වූ දයාවන්ත වූ කැමැත්ත අපගේ යාච්ඤාව නැතිව වූවද සිදු කරනු ලැබේ. එහෙත් අප මේ ඉල්ලීමෙන් යාච්ඤා කරන්නේ එය අප අතරද සිදු කරනු ලබන පිණිසය.

මෙය කරන්නේ කෙලෙසද?

පිළිතුර:

දෙවියන් වහන්සේගේ නාමය ශුද්ධ කොට පවත්වන්ට අපට ඉඩ නොදෙන්නාවූ හෝ උන් වහන්සේගේ රාජ්‍යයට මෙහි ක්‍රියාත්මක වීමට ඉඩ නොදෙන යක්ෂයාගේද ලෝකයේද අපගේ මාංසයේද කැමැත්ත වැනි හැම දුෂ්ට අදහසක්ම දෙවියන් වහන්සේ විසින් කඩා බිඳ දමා ඒවාට බාධා කොට, තමන් වහන්සේගේ වචනයෙහිද, ඇදහිල්ලෙහිද අපගේ ජීවිතයේ අවසානය දක්වා අප ශක්තිමත් කොට ආරක්ෂා කරන කල්හි එය සිදු වේ. මෙය උන් වහන්සේගේ දයාවන්තවූද යහපත්වූද කැමැත්තය.

සතරවන අයැදුම

අපගේ දවස්පතා භෝජනය අපට අද දුන මැනව.

මෙයින් අදහස් වන්නේ කුමක්ද?

පිළිතුර:

සැබවින්ම දෙවියන් වහන්සේ අපගේ යාච්ඤා නොමැතිව සියලුදෙනාට, දුෂ්ටයන්ට පවා දවස් පතා ආහාරය දෙන සේක. එහෙත් අප මේ ඉල්ලීමෙන් යාච්ඤා කරන්නේ මේ ආශිර්වාදයපිළිගන්නා පිණිසත්, අපගේ දවස්පතා ආහාරය ස්තුති දීමෙන් යුක්තව ලබා ගන්නා පිණිසත්ය.

දවස්පතා භෝජනය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

පිළිතුර:

අපගේ ජීවිතයට සම්බන්ධ අවශ්‍යතා සහ ආරක්ෂාවට අදාළ සියලු දේ, එනම් කෑම බීම, ඇඳුම් පැලඳුම්, ගේ දොර, ඉඩකඩම්, ගවයින්, මුදල් හදල්, බඩු බාහිරාදිය ද, යහපත් සහකාරයෙකු හෝ සහකාරියක, යහපත් දරුවන්, විශ්වාසවන්ත මෙහෙකරුවන්, යහපත් හා පක්ෂපාත පාලකයන්, යහපත් ආණ්ඩුවක්, යහපත් කාලගුණය, සමාදානය, නීරෝගීත්වය, හික්මීම, ගෞරවය, යහපත් මිත්‍රයින්, විශ්වාසවන්ත අසල්වැසියන් හා එවැනි වෙනත් සියලු දේවල්ය.

පස්වන අයැදුම

අපට වැරදි කරන අයට අප විසින් කමා වෙන්නාක් මෙන් අපේ වැරදිවලටත් කමා වුව මැනව.

මෙයින් අදහස් වන්නේ කුමක්ද?

පිළිතුර:

අපගේ ස්වර්ගීය පියාණන් වහන්සේ අපගේ පව් ගැන නොසලකා අපගේ යාච්ඤාවලට උත්තර දෙන පිණිස අපි මේ අයැදුමෙන් යාච්ඤා කරමු. මක්නිසාද අප ඉල්ලන කිසි දෙයක් ලබා ගන්ට අප වටින්නේවත්, ඒවා ලබා ගන්ට අපට කිසිම සුදුසුකමක් ඇත්තේවත් නැත. එහෙත් උන් වහන්සේගේ අනුග්‍රහයෙන් අපට ඒ සියල්ලම දෙන සේක. මක්නිසාද අපි දිනපතා බොහෝ පව් කරන්නෙමු. සැබවින්ම දඬුවම් මිස වෙන කිසිවක් ලබන්ට නොවටිමු. එසේම අපි ද අපට විරුද්ධව පව් කරන අයට මුළු හදින්ම කමා වී, කැමැත්තෙන්ම යහපත කරමු.

සයවන ඉල්ලීම

අප පරීක්ෂාවට නොපමුණුවා

මෙයින් අදහස් වන්නේ කුමක්ද?

පිළිතුර:

සැබවින්ම දෙවියන් වහන්සේ කිසිවකු පරීක්ෂාවට පත් නොකරන සේක. එහෙත් යක්ෂයා, ලෝකයා සහ අපගේ මාංසය අප නොරවටන පිණිසත්, අප වැරදි විශ්වාසවලට, බලාපොරොත්තු ශුන්‍යභාවයට හා වෙනත් මහත් ලජ්ජාවන්ටද, දුසිරිත්හි ඇලී ගැලීමටද නොපොළඹවන පිණිසත්, අප ඒවායින් පහර දෙනු ලැබුවද අවසානයේදී ඒවා පරාජය කොට ජයගන්නා පිණිසත්, දෙවියන් වහන්සේ විසින් අප ආරක්ෂා කොට රැක බලා ගන්නා පිණිස මේ අයැදුමෙන් අපි යාච්ඤා කරමු.

සත්වන ඉල්ලීම

නපුරෙන් අප ගලවාගත මැනව

මෙයින් අදහස් වන්නේ කුමක්ද?

පිළිතුර:

ශරීරයේ හා ආත්මයේද, ධනයේ හා ආත්ම ගෞරවයේද සියලු නපුරෙන් අපගේ ස්වර්ගීය පියාණන් වහන්සේ අප මුදාගන්නා පිණිසද, අවසාන වශයෙන් අපගේ අන්තිම පැය පැමිණි විට උන් වහන්සේ අපට ආශිර්වාද ලත් අවසානයක් දී, අප මේ දුක්බර ලෝකයෙන් තමන් වහන්සේ වෙත දයාවන්ත ලෙස ස්වර්ගයට පිළිගන්නා පිණිසද, අප මේ අයැදුමෙන් සියල්ල කැටි කිරීමක් වශයෙන් යාච්ඤා කරමු.

මක්නිසාද රාජ්‍යයත්, බලයත්, මහිමයත් සදාකාලයටම ඔබ වහන්සේගේය.

ආමෙන්.

මෙයින් අදහස් වන්නේ කුමක්ද?

පිළිතුර:

“ආමෙන්” යන්නෙන් අදහස් වන්නේ මේ ඉල්ලීම අපගේ ස්වර්ගීය පියාණන් වහන්සේ විසින් පිළිගනු ලැබීමට සුදුසු බවත්, එය උන් වහන්සේ විසින් අසන ලද බවත් මට සහතික වන පිණිසය. මක්නිසාද උන් වහන්සේම අපට යාච්ඤා කරන්ට අණ කොට අපට ඇහුම්කන් දෙන බවට පොරොන්දු වී තිබේ. ආමෙන්. ආමෙන් යන්නෙහි තේරුම සැබවින්ම, නිසැකවම, එය එසේම වේවා යනුය.

IV. ශුද්ධ වූ බෞතීස්ම සක්‍රමේන්තුව

The Sacrament of Holy Baptism

පවුලේ ප්‍රධානියා විසින් තමාගේ පවුලේ අයට ඉතා සරල ලෙස ඉගැන්විය යුතු ආකාරය මෙසේය.

පළමුවැන්න

බෞතීස්මය යනු කුමක්ද?

පිළිතුර:

බෞතීස්මය වනාහි සාමාන්‍ය ජලය පාවිච්චි කිරීමක් පමණක් නොවේ. ඒ වනාහි දෙවියන් වහන්සේ නියම කර ඇති ප්‍රකාරයට දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කිරීම සමඟ වතුර භාවිත කිරීමෙන් කරනු ලබන සක්‍රමේන්තුවයි.

දෙවියන් වහන්සේගේ වචනය කුමක් පවසන්නේද?

පිළිතුර:

අපගේ ස්වාමි වූ ක්‍රිස්තුස් වහන්සේ මතෙව් ශුභාරංචියෙහි මතෙව් 28.19හි මෙසේ පවසන සේක.

“එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා. පියාණන්ගේත්, ප්‍රත්‍රයාණන්ගේත්, ශුද්ධාත්මයාණන්ගේත් නාමයට ඔවුන් බෞතීස්ම කරපල්ලා”.

දෙවැන්න

බෞතීස්මයෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක්ද?

පිළිතුර:

දෙවියන් වහන්සේගේ වචනය සහ පොරොන්දුවල පෙන්වාදෙන ප්‍රකාරයට, මෙය විශ්වාස කරන සියල්ලන්ට පාපවලට කමාව ලබා දෙයි. මරණයෙන් හා යක්ෂයාගෙන් මුදාලයි. සදාකාලික ගැළවීම ගෙන දෙයි.

දෙවියන් වහන්සේගේ ඒ වචන සහ පොරොන්දුව මොනවාද?

පිළිතුර:

අපගේ ස්වාමින් වන ක්‍රිස්තුස් වහන්සේ මාර්ක් 16.16හි මෙසේ වදාළ සේක:

“අදහා ගන්නා වූ බෞතීස්ම ලබන්නා වූ තැනැත්තේ ගළවනු ලබන්නේය. නමුත් අදහා නොගන්නා තැනැත්තේ වරදට පත් කරනු ලබන්නේය”.

තෙවැන්න

ජලයට එබඳු මහත් දේ කළ හැකි වන්නේ කෙසේද?

පිළිතුර:

සැබවින්ම එය සිදු කරන්නේ ජලය නොවේ. එහෙත් ජලයට සම්බන්ධ, ඒ හා සමඟ ප්‍රකාශ කරනු ලබන දෙවියන් වහන්සේගේ වචනය විශ්වාස කරන අපගේ ඇදහිල්ලද වේ. මක්නිසාද යත්, දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කිරීමෙන් තොර ජලය සාමාන්‍ය ජලයය. එවිට බෞතීස්මයක් සිදු වන්නේ නැත. එහෙත් උන් වහන්සේගේ වචනය ඊට සම්බන්ධ කළ විට එය බෞතීස්මයක් වන්නේය. එනම් ශුද්ධ වූ පාවුල් තුමා තීතස් තුන්වන පරිච්ඡේදයේ(5-8 පද)පවසන අන්දමට එය දයාවන්ත වූ ජීවනයේ වතුර සහ ශුද්ධාත්මයාණන් වහන්සේ තුළ නැවත ඉපදීමේ පවිත්‍ර කිරීමක් වේ:

“තමන් වහන්සේගේ දයාව ලෙස නැවත ඉපදීම නමැති සේදීමෙන්ද, ශුද්ධාත්මයාණන් වහන්සේගේ අලුත් කිරීමෙන්ද උන් වහන්සේ අප ගැළවූ සේක. එසේය, උන් වහන්සේගේ කරුණාවෙන් අප ධර්මිෂ්ඨකරනු ලැබ, සදාකාල ජීවනයේ බලාපොරොත්තුවේ හැටියට උරුමක්කාරයන් වන පිණිස, උන් වහන්සේ අපගේ ගැළවුම්කාරයාණන් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන ශුද්ධාත්මය අධික ලෙස අප පිට වැගිරෙ වූ සේක”

සිව්වැන්න

ජලයෙන් බෞතීස්ම කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

පිළිතුර:

දිනපතා ආත්ම දමනය හා පසුතැවීම කරණකොටගෙන අප තුළ වූ පරණ ආදම් එනම්, අප තුළ ඇති සියලු පාපද, දුෂ්ට තෘෂ්ණාද ගිල්වා මැරෙන්ට ඕනෑ බවත්, ධර්මිෂ්ඨකමින් හා පවිත්‍රතාවයෙන් දෙවියන් වහන්සේ ඉදිරියෙහි සදාකාලයට ජීවත් වන පිණිස අලුත් මනුෂ්‍යයෙකු දිනපතා අප තුළ පැන නැගී සිටින්ට ඕනෑ බවත් එයින් අදහස් කෙරේ.

මෙය ලියා ඇත්තේ කොතැනද?

පිළිතුර:

ශු. පාවුලු තුමා රෝම 6:4හි මෙසේ පවසයි:

“එබැවින් ක්‍රිස්තුස් වහන්සේ පියාණන් වහන්සේගේ මහිමය කරණකොටගෙන මළවුන්ගෙන් නැගුටුවනු ලැබුවා සේම, අපිත් ජීවනයේ අලුත්කමෙන් හැසිරෙන පිණිස, මරණය තුළට බෞතීස්ම කරණකොටගෙන උන් වහන්සේ සමඟ තැන්පත් කරනු ලැබුවෙමුව.”

V. පාපෝච්චාරණය

Confession

සාමාන්‍ය ජනතාවට ඉගැන්විය යුතු අන්දම මෙසේය.

පාපෝච්චාරණය යනු කුමක්ද?

පිළිතුර:

පව් කමාකර ගැනීම සම්බන්ධව වැදගත් කොටස් ඇතුළත් වේ: පළමුවැන්න පාපෝච්චාරණය කිරීමය. දෙවැන්න පව්කමාව ප්‍රකාශ කරන්නා හෝ ශුභාරංචිය ප්‍රකාශ කරන්නාගෙන් පව් කමාව ලබා ගැනීමය. ඔහුගේ වචන නොඅනුමානයෙන්ම දෙවියන් වහන්සේගේම වචන වන්නේය. පව් කමාව ප්‍රකාශ කිරීමේ වචන කවුරුන් විසින් කීවද, එය ස්වර්ගීය දෙවියන් වහන්සේ ඉදිරියේ අපට පව් කමාව ලැබුණු බවට අප නිසැකව විශ්වාස කළ යුතුව ඇත.

අප පාපෝච්චාරණය කළ යුත්තේ කුමන පාපද?

පිළිතුර:

දෙවියන් වහන්සේ ඉදිරියේ අප සියලුම පාප සම්බන්ධ වරදකරුවන් වී සිටින බව අප විසින් නොවළහා පිළිගත යුතුය. ස්වාමීන් වහන්සේගේ යාච්ඤාවේදී අප කියන්නාක් මෙන් අප නොදන්නා පාප සම්බන්ධව අප වරදකරුවන් බව අපි පිළිගත යුතු වෙමු. එහෙත් අප යමෙකු ඉදිරියේදී හෝ ප්‍රසිද්ධියේ පාපෝච්චාරණය කරන විට අප ප්‍රකාශ කළ යුත්තේ අප විසින් කරන ලද බව අප හොඳින් දන්නා පාප හා හිතට වද දෙන පාප පිළිබඳවය.

මෙම පාප කුමන ඒවාද?

පිළිතුර:

අප ආඥා දසය කියවන විට ඒ පාප කුමන ඒවාද යන්න අපට දැනගත හැකිය. ඔබ පියෙකු හෝ මවක හෝ වේවා, පුත්‍රයෙකු හෝ දියණියක හෝ වේවා, ඔබ යම් හෙයකින් අකීකරු වී ඇත්නම්, විශ්වාසය කඩකර ඇත්නම්, අලස වී, කෝප වී, රණ්ඩු දබර කොට ඇත්නම්, ඔබ වචනයෙන් හෝ ක්‍රියාවෙන් යම් අයෙකුට හානියක් කර ඇත්නම්, ඔබ සොරකම් කර ඇත්නම්, ඔබගේ යුතුකම ඉටු කිරීම පැහැර හැර ඇත්නම්, ඔබ යම් යම් දේ නිකරුණේ නාස්ති කර ඇත්නම්, අන් අයට නපුර කර ඇත්නම් ඒ සියල්ල පාපෝච්චාරණයේදී ප්‍රකාශ කළ යුතුය.

සාමාන්‍ය ජනයා සඳහා පාපෝච්චාරණය පිළිබඳ සංක්ෂිප්තයක්

පිළිතුර:

ඔබපාපෝච්චාරණය කරන කල මෙසේ පවසන්න.

“ගරු පියතුමෙනි, කරුණාකර මගේ පාපෝච්චාරණය අසා, දෙවියන් වහන්සේ වෙනුවෙන් මාගේ පව් කමා කළ බව ප්‍රකාශ කරන ලෙස මම ඔබගෙන් ඉල්ලාසිටිමි.”

ඒවා මා ඉදිරියේ පවසන්න.

“මම දිළිඳු පව්කාරයෙක් වෙමි. සියලු පාප ගැන මම වැරදිකරුවෙක්ව සිටින බව දෙවියන් වහන්සේ ඉදිරියෙහි ප්‍රකාශ කරමි. විශේෂයෙන් මා ඔබ ඉදිරිපිටදී පාපෝච්චාරණය කරන්නේ මා සේවකයෙකු (සේවිකාවක) ලෙස මගේ ස්වාමියාට ද්‍රෝහී වූ බවය. මම ඔහුගේ විශ්වාසය කඩ කළෙමි. ඔහු විසින් මට කිරීමට අණ කරන ලද දේ නොකොට පැහැර හැරියෙමි. මම මගේ ස්වාමියා කෝප කළෙමි. මගේ යුතුකම් පැහැර හැරීමෙන් ඔහුට අලාභ වූ නිසා ඔහු මට ශාප කළේය. මම වචනයෙන්ද ක්‍රියාවෙන්ද අහංකාර වූයෙමි. මාගේ සහෝදර සේවකයන් සමග මම කලහ කළෙමි. මගේ ස්වාමි දූ ඉදිරියේ සැරපරුෂ වූයෙමි. මේ පාප සියල්ල ගැන මම දුක් වී දෙවියන් වහන්සේගේ කරුණාව හා අනුග්‍රහය සොයමි. මීට වඩා යහපත්ව හැසිරෙන්ට මට අවශ්‍යය.”

ස්වාමියෙක් හෝ ස්වාමි දුවක් මේ ආකාරයට පැවසිය හැකිය.

“මගේ දරුවන්ද, භාර්යාවද, මෙහෙකරුවන්ද පුහුණු කිරීමෙහි ලා මම මාගේ යුතුකම් ඉටු නොකළ බවටවිශේෂයෙන් මා ඔබ ඉදිරිපිට පාපෝච්චාරණය කරමි. මම ඔවුන්ට බැණ වැදී ඇත්තෙමි. අනිසි ලෙස කථා කිරීමෙන් හා ක්‍රියා කිරීමෙන් මම ඔවුන් හට වැරදි ආදර්ශයක් දුනිමි. මම මාගේ අසල්වැසියන්ට විරුද්ධව නපුරු දේවල් කථා කිරීමෙන්ද, ඔවුන්ට විරුද්ධව බොරු චෝදනා ඉදිරිපත් කිරීමෙන්ද, ඔවුන්ට තත්වයෙන් බාල බඩු විකිණීමෙන් හා අඩු බරට කිරා බඩු විකිණීමෙන්ද ඔවුන්ට බරපතළ ලෙස සිත් රිදවීම් කළෙමි.”

එක් එක් පුද්ගලයාගේ රැකියාවේදී, දෙවියන් වහන්සේගේ ආඥාවන්ට විරුද්ධව කළ වෙනත් ඇත්නම් ඒ සියල්ල නොවලහා දෙවියන් වහන්සේ ඉදිරිපිට දී පාපෝච්චාරණයකිරීමට සලසන්න.

එසේ වුවද, යම් හෙයකින් යම් කෙනෙකුට යම් අවස්ථාවකදී එවැනි හෝ ඊට වැඩි හෝ පාප සම්බන්ධව තමන්ගේ හෘදය සාක්ෂියෙහි යම්කිසි තදබල බරක් ඇති නොවුවහොත් ඒ ගැන භය විය යුතුද නැත. පව්බර හැඟීමක් නැති අය තමන් නොකළ පාප ගැන පවා සිතෙන් උපදවා පාපෝච්චාරණ යකිරීමට යෑමෙන් පාපෝච්චාරණය තමන් හට මහත් වේදනා ගෙන දෙන වද හිංසාවක් බවට පත් කර ගනිති. එබැවින් තම පාපෝච්චාරණය කෙටියෙන්ද සාමාන්‍ය වශයෙන්ද ප්‍රකාශ කිරීම යහපති. තමන් කළ බවට හොඳින් දන්නා පව් දෙක තුනක්, එනම් මම එක්වරක් දෙවියන් වහන්සේගේ නාමය දූෂ්‍ය කළෙමි, නැවතත් මම නුසුදුසු වචන භාවිත කළෙමි, මම එය හෝ මෙය නොසලකා හැරියෙමි ආදිය කියා කෙටි පාපෝච්චාරණයක් කිරීම ප්‍රමාණවත්ය.

ඔබ කිසිම පාපයක් නොකළ බව ඔබ දන්නෙහි නම් (එවැන්නක් සාමාන්‍ය වශයෙන් සිදුවන්නේ නැත) ඔබ විශේෂ යමක් කිව යුතු නැත. එහෙත් ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ පව්කරුවෙකු බව පිළිගෙන සාමාන්‍ය පාපෝච්චාරණය කොට කමාව ලබා ගන්න.

මෙලෙස පාපෝච්චාරණය කළ විට පූජකයා විසින් මෙලෙස ප්‍රකාශ කළ යුතුව ඇත:

දෙවියන් වහන්සේ ඔබට කරුණාකොට ඔබගේ ඇදහිල්ල බලවත් ලෙස ශක්තිමත් කරන සේක්වා. ආමෙන්.

ඉන්පසු පූජක තුමා පාපෝච්චාරණය කරන්නාගෙන් මෙසේදඇසිය යුතුය.

“මාගෙන් ලැබූ පව්කමාව දෙවියන් වහන්සේගෙන් ලැබූ පව් කමාව බව ඔබ විශ්වාස කරනවාද?”

පිළිතුර: ඔව් පියතුමනි.

එවිට පූජක තුමා, පිළිගන්නා ඇදහිලිවන්තයාට මෙසේ කියත්වා:

“ඔබ අදහන ලෙස ඔබට වේවා. අපගේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නියමය පරිදි පියාණන්ගේ ද, පුත්‍රයාණන්ගේ ද, ශුද්ධාත්මයාණන්ගේ ද නාමයෙන් මම නුඹේ පව් කමා කරමි. ආමෙන්. සමාදානයෙන් යන්න!

සමහර අය බරපතළ ලෙස පව්කොට ඔවුන්ගේ හෘදයසාක්ෂියේ විශාල බරක් සහිතව පාපෝච්චාරණය සඳහා පැමිණීමට ඉඩ තිබේ. එසේ නැත්නම් සමහර අය බලවත් පරීක්ෂා කිරීම්වලට ලක්ව පාපයෙන් හෙම්බත් වී පාපෝච්චාරණයකිරීමට වේදනාවෙන් යුක්තව එති. එවැන්නන්ගේ ඇදහිල්ල වැඩි කිරීමට උපකාරී වන ලෙස ඔවුන්ට කිව යුතු සුදුසු ශුද්ධ ලියවිලි පද තෝරාගෙන ඒවා කියා දී පාපෝච්චාරණය කිරීමෙන් පසු සර්ව සම්පූර්ණ පව් කමාව ලැබුණු බවට ඔවුන්ගේ සිත් තුළ සහතිකය ඇති කිරීම පූජකයා සතු ඉතාමත්ම වැදගත් කාර්යයකි. අප ඉදිරිපත් කර ඇති ආකෘතික පාපෝච්චාරණය ඉතා සරල වන අතර එය සාමාන්‍ය, නූගත් ජනයා සඳහා ය.

VI. අල්තාරයේ සක්‍රමේන්තුව

Sacrament of the Altar

පවුලේ ප්‍රධානියා විසින් සිය පවුලේ අයට ඉතා සරල ලෙස ඉගැන්විය යුතු අන්දම මෙසේය.


අල්තාරයේ සක්‍රමේන්තුව යනු කුමක්ද?

පිළිතුර:

මෙම සක්‍රමේන්තුව අපගේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ ශරීරය සහ සැබෑ ලේ වන අතර එහිදී රොටි හා මිදි යුස අපට බෙදා දෙයි. එය ක්‍රිස්තුස් වහන්සේ විසින්ම ස්ථාපනය කරනු ලැබ ඇත.

මෙය ලියා ඇත්තේ කොතැනද?

පිළිතුර:

ශුභාරංචි කතුවරුන් (මතෙව් 26.26, මාර්ක් 14.22, ලූක් 22.19) හා ශු. පාවුලු තුමා (1 කොරින්ති 11.23) මෙලෙස ලියයි: “අපගේ ස්වාමීවූ යේසුස් වහන්සේ පාවා දෙන ලැබූ රාත්‍රියේ දී උන් වහන්සේ රොටි රැගෙන, ස්තුති කොට කඩා: නුඹලා උදෙසා දෙන්නාවූ මාගේ ශරීරයය. මා සිහිකිරීම පිණිස මේක කරපල්ලායයි කිසේක.

එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානත් දී: මේ කුසලාන මාගේ ලෙයින් පිහිටුවන අලුත් ගිවිසුමය. නුඹලා සියල්ලෝ මෙයින් බීපල්ලා. පව් කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරුවන ලද අලුත් ගිවිසුමේ මාගේ ලේ මෙයය. මා සිහිකිරීම පිණිස නුඹලා මේක කරපල්ලායයි කීසේක.

එහෙත් මෙලෙස කෑමෙන් හා බීමෙන් අපට කුමන ප්‍රතිඵලයක් අත් වන්නේද?

පිළිතුර:

පාප අහෝසි කිරීම සඳහා, විශේෂයෙන් පාප කමාව, ජීවනය, සහ ගැළවීම දී ඇති බව සක්‍රමේන්තුවේ තිබෙන“දෙන ලද” සහ “ඔබ උදෙසා වගුරුවන ලද”යන වචනවලින් අඟවයි.පව් කමාව ඇත්තේ කොතැනද එතැන ගැළවීම සහ ජීවනයද තිබේ.

ශාරීරික වශයෙන් එම සක්‍රමේන්තු ද්වය කෑමෙන් හා බීමෙන් එවැනි දේ අපට අත්වන්නේ කෙසේද?

පිළිතුර:

හුදෙක් කෑමෙන් හා බීමෙන් නිසැකවම එවැනි දේ අපට කිසි විටක අත් වන්නේ නැති වුවදපාප අහෝසි කිරීම සඳහා, විශේෂයෙන් පාප කමාව, ජීවනය, සහ ගැළවීම දී ඇති බව සක්‍රමේන්තුවේ තිබෙන “දෙන ලද” සහ “ඔබ උදෙසා වගුරුවන ලද” යන වචන ඒවා ලබාදෙයි. මෙම වචන ශාරීරිකව කෑම සහ බීම සමග මේ සක්‍රමේන්තුවේ කේන්ද්‍රය සහ සංක්ෂිප්තය වේ. එසේම මෙම වචන විශ්වාස කරන තැනැත්තා ඒවායින් පැවසෙන හා විදහා දැක්වෙන දේ, විශේෂයෙන් පාප කමාව ලබා ගනී.

එසේනම් මෙම සක්‍රමේන්තුවේ ඵල ප්‍රයෝජන සුදුසු අන්දමින් ලබන්නෝ හෝ අත්කරගන්නෝ කවරහුද?

නිරාහාරයෙන් යාච්ඤාවෙන් යුතුව කෙනෙකුගේ ශරීරය සූදානම් කරගැනීම නිසැකවම බාහිර පුහුණුව සඳහා හොඳය. “දෙන ලද” සහ “ඔබ උදෙසා වගුරුවන ලද”යන වචන කෙරෙහි විශ්වාස කරන තැනැත්තා සැබෑවටම සුදුසු හා හොඳින් සූදානම් වූ කෙනෙකි.

එහෙත්,“දෙන ලද සහ ඔබ උදෙසා වගුරුවන ලද” යන වචන සියලු හදවත් විශ්වාස කළ යුතු හෙයින්මෙම වචන විශ්වාස නොකරන්නා හෝ ඒවා සැක කරන්නා, නුසුදුස්සෙකු හා සූදානම් නොවූ තැනැත්තෙකි.

දිනපතා යාච්ඤාව

Daily Prayers

පවුලේ ප්‍රධානියා තම නිවැසියන්ට උදෑසන සහ සවස යාච්ඤා කිරීමට ඉගැන්විය යුත්තේ මෙසේය.

උදෑසන යාච්ඤාව

Morning Prayer

උදෑසන අවදි වූ විට ශුද්ධවූ කුරුසිය සලකුණු කර ඔබට ආසිරි පතමින් මෙසේ පැවසිය යුතුය:

පියාණන්ගේද, පුත්‍රයාණන්ගේ ද, ශුද්ධාත්මයාණන්ගේ ද නාමයෙන්, ආමෙන්.

ඉන්පසුව දණින් හිඳ හෝ නැගිට සිට ඇදහිලි ප්‍රකාශනය හා ස්වාමීන් වහන්සේගේ යාච්ඤාව ප්‍රකාශ කරන්න. ඊට පසු ඔබ තෝරාගන්නේ නම් ඔබට මෙම කුඩා යාච්ඤාව කළ හැකිය.

පසුගිය රාත්‍රිය මුළුල්ලේදීම ඔබ වහන්සේ සියලුම අනතුරු හා උපද්‍රවවලින් මා ආරක්ෂා කිරීම ගැන ස්වර්ගීය පියාණන් වහන්ස, ඔබ වහන්සේගේ දයාබර පුත්‍ර වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේට ස්තුති කරමි. ඔබ වහන්සේ සතුටු වන ප්‍රකාර මේ දවසේදී මගේ සියලු කල්පනා, ක්‍රියා හා වචන ඉටු කරන්ට මට පිහිටවුව මැනව. අද දවස තුළදී සියලු පාපවලින් හා සියලු නපුරෙන් මා ගලවා ගත මැනව. මාගේ ශරීරය ද ආත්මය හා මා තුළ ඇති සියල්ල මම ඔබගේ අත්වලට භාර දෙමි. නපුරු වූ යක්ෂයා මා කෙරෙහි බලය නොපවත්වන පිණිස ඔබ වහන්සේගේ ශුද්ධ දේව දූතයා විසින් මා ආරක්ෂා කරනු ලැබේවා! ආමෙන්.

ගීතිකාවක්, ආඥා දසය පිළිබඳව හෝ ඔබගේ යාච්ඤා කාලයෙන් පැන නගින ගීතිකාවක් ගායනා කිරීමෙන් පසු ඔබගේ එදිනෙදා කාර්යයෙහි යෙදෙන්න.

සවස යාච්ඤා

Evening Prayer

සවස ඔබ නින්දට යන විට ශුද්ධවූ කුරුසිය සලකුණු කර ඔබට ආසිරි පතමින් මෙසේ පැවසිය යුතුය:

පියාණන්ගේද, පුත්‍රයාණන්ගේද, ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන්, ආමෙන්!

දණින් හිඳ හෝ නැගිට සිට ඇදහිලි ප්‍රකාශයද, ස්වාමීන් වහන්සේගේ යාච්ඤාවද නැවත පවසන්න. ඊට අමතරව ඔබ තෝරාගන්නේ නම්මේ කුඩා යාච්ඤාව කළහැකිය:

ඔබ වහන්සේ අද දිනය තුළ දී මා කරුණාවෙන් යුක්තව සුරක්ෂිත කිරීම ගැන ස්වර්ගීය දෙවි පියාණන් වහන්ස, ඔබ වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන ඔබ වහන්සේට ස්තුති කරමි. මා විසින් අද දින කරන ලද සියලු පාපවලට මට කමාව දෙන මෙන් මම ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ මහත් කරුණාව කරණකොටගෙන මේ රාත්‍රිය මුළුල්ලේ මා ආරක්ෂා කරගත මැනව. මගේ ශරීරය ද, ආත්මය ද, මා තුළ ඇති සියල්ල ද මම ඔබ වහන්සේගේ අත්වලට භාර දෙමි. නපුරු වූ යක්ෂයා මා කෙරෙහි කිසිම බලයක් නොපවත්වන පිණිස ඔබගේ ශුද්ධ දේව දූතයින් විසින් මා ආරක්ෂා කරනු ලැබේවා! ආමෙන්.

ඉන්පසු ඉක්මනින් හා සතුටු සිතින් නින්දට යන්න.

ආශිර්වාදයක් ඉල්ලාසිටීමට හා ස්තූති දීමට

පවුලේ ප්‍රධානියා සිය නිවැසියන්ට ඉගැන්විය යුත්තේ මෙසේය.

ළමයින් ඇතුළු පවුලේ සියලු දෙනා ආහාර ගැනීම සඳහා මේසයෙහි වාඩි වූ විට දෑත් එකට තබා නමස්කාර පූර්වකව මෙසේ කිව යුතුය:

ස්වාමිනි, සියලු දෙනාගේ ඇස් ඔබ වෙත ඔසවමු. නියම කාලයට ඔබ වහන්සේ අපගේ දවස් පතා භෝජනය සපයන සේක. ඔබ වහන්සේ දෑත් ඔසවා ජීවමාන සියල්ලන්ගේ ආශාව ඉෂ්ට කරන සේක”

සැ.යු.
“ආශාව ඉෂ්ට කරන සේක” යන්නෙන්අදහස් වන්නේ, ප්‍රීතියෙන් හා සන්තෝෂයෙන් සිටින පිණිස සියලු සත්වයන්ට ආහාර සපයා දෙන බවය. එහෙත් කෑදරකම හා තෘෂ්ණාව එම ආශිර්වාදය අපගෙන් වළක්වන්නේය.

ඉනප්සු ස්වාමීන් වහන්සේගේ යාච්ඤාව පහත දැක්වෙන යාච්ඤාව කරන්න:

අපගේ ස්වාමින් වන ස්වර්ගීය දෙවි පියාණන් වහන්ස, අපට ද, ඔබ වහන්සේ අපට දී තිබෙන සියලු දීමනාවලට ද ආශීර්වාද කළ මැනව. අධික වූ මේ සියලු යහපත් දේවල් ඔබ වහන්සේ අපට දී තිබෙන්නේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ කරණකොටගෙන බැවින් අපි ඔබට ස්තුති කරමුව, ආමෙන්.”

ස්තුති කිරීම

එමෙන්ම ආහාර ගැනීමෙන් පසුවද සැම දෙනම දෑත් එකට තබා ගෞරවාන්විත ලෙස මෙසේ යාච්ඤා කළ යුතුය:

ස්වාමීන් වහන්සේට ස්තුති කරව්, උන් වහන්සේ යහපත්ය. මක්නිසාද උන් වහන්සේගේ කරුණාව සදාකල්ම පවත්වන්නේය. උන් වහන්සේ මෘගයාටත් අඬන කපුටු පැටවුන්ටත් ආහාර දෙන සේක. අශ්වයාගේ ශක්තියට උන් වහන්සේ ප්‍රිය නොවන සේක. මනුෂ්‍යයාගේ පාදයන්හි උන් වහන්සේට ප්‍රසන්නයක් නැත. ස්වාමීන් වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ටත්, තමන්ගේ කරුණාව ගැන බලා සිටින්නන්ටත් ප්‍රසන්න වන සේක.

ඉන්පසුව ස්වාමීන් වහන්සේගේ යාච්ඤාව සහ පහත දැක්වෙන යාච්ඤාවද කළ යුතුය.

අපගේ පියාණන් වන දෙවි ස්වාමිනි, ක්‍රිස්තුස් යේසුස් වහන්සේ කරණකොටගෙන ඔබ වහන්සේ අපට දී තිබෙන සියල්ල ගැන අපි ඔබ වහන්සේට ස්තුති කරමුව. උන් වහන්සේ පමණක් සදාකාලයෙන් සදාකාලයටම රජකම් කරමින් ජීවත්වන සේක. ආමෙන්.

යුතුකම් ලයිස්තුව

Table of Duties

විවිධ දේවගැතිවරුන් හා නිලතල සිටින අයට, ඔවුන්ගේ තනතුරු හා යුතුකම් පිළිබඳව අවවාද කිරීමට සුදුසු ශුද්ධ ලියවිලි පාඨ කිහිපයක් පහත දැක්වේ.

බිෂොප්වරු, දේවගැතිවරු සහ දේශකයෝ

“එහෙයින් නායක තෙමේ නිර්දෝෂ වූ, එක භාර්යාවකට පුරුෂයා වූ, පමණ දැන හැසිරෙන්නා වූ, සිහියද, පිළිවෙලක්ද ඇත්තා වූ, ආගන්තුක සත්කාරයට කැමැති වූ, උගන්වන්ට සමර්ථ වූ කෙනෙක්ව සිටින්ට ඕනෑය. ඔහු බේබද්දෙක් නොවූ, ගහගන්නෙක් නොවූ, ඉවසිලිවන්ත වූ, ඩබරකාරයෙක් නොවූ, වස්තු තෘෂ්ණාව නැත්තාවූ, තමාගේම පවුල හොඳින් හසුරුවා ගනිමින්, සියලු ආකාර සන්සුන්කම ඇතුව ස්වකීය දරුවන් හික්මවා ගන්නාවූ තැනැත්තෙක්ව සිටිය යුතුය. (නුමුත් යමෙක් තමාගේම පවුල හසුරුවාගන්ට නොදන්නේ නම් ඔහු දෙවියන් වහන්සේගේ සභාව ප්‍රවේසම් කරන්නේ කෙසේද?) ඔහු උඩඟුවී යක්ෂයාට පැමිණි දඬුවමට නොවැටෙන පිණිස අලුත් ගෝලයෙක් නොවිය යුතුය. ඇරත් නින්දාවටද යක්ෂයාගේ මලපතටද නොවැටෙන පිණිස ඔහු පිටත අයවලුන්ගෙන් යහපත් සාක්ෂි ඇතුව සිටින්ට ඕනෑය.” 1 තිමෝති 3:2-6.

“මක්නිසාද නායකයා දෙවියන්වහන්සේගේ ගබඩාකාරයෙක් මෙන් නිදොස්වූ, හිතුවක්කාර නොවූ, නොකිපෙන්නාවූ, බේබද්දෙක් නොවූ, ගහගන්නෙක් නොවූ, නින්දිත ලාභයට ගිජු නොවූ, ආගන්තුක සත්කාරයට කැමතිවූ, යහපතට ප්‍රේමකරන්නාවූ, සන්සුන් සිතක් ඇත්තාවූ, ධර්මිෂ්ඨවූ, ශුද්ධවූ, පමණ දැන ක්‍රියාකරන්නාවූ කෙනෙක්ව සිටින්ට ඕනෑය. තවද ඔහු සාරවත් ගුරුකමින් අවවාදකරන්ටත් විරුද්ධවාදීන් නිශ්ශබ්ද කරන්ටත් පුළුවන්වන පිණිස ඉගැන්වීමට එකඟවූ විශ්වාස වචනය තදින් අල්ලාගෙන සිටින්ට ඕනෑය.” තීතස් 1:7-9.

අසන්නන් ඔවුන්ගේ දේවගැතිවරුන්ට දැක්විය යුතු යුතුකම්

“එසේම ශුභාරංචිය ප්‍රකාශ කරන්නන් විසින් ශුභාරංචිය කරණකොටගෙන ජීවිකාව ලබන්ට ස්වාමීන් වහන්සේ නියෝග කළ සේක.” 1 කොරින්ති 9:14.

“වාක්‍ය ඉගෙනගන්නා උගන්වන්නාට සියලු යහපත් දෙයින් දේවා.” ගලාති 6:6-7.

“යහපත් ලෙස ප්‍රධානකම් කරන වැඩිමහල්ලෝ, ප්‍රධාන කොට වචනයෙහිත් ඉගැන්වීමෙහිත් වැඩ කරන වැඩිමහල්ලෝ දෙගුණයක් ගෞරව ලබන්ට වටින්නෝ යයි ඒත්තුගනු ලබත්වා. මක්නිසාද ගවයෙක් ගොයම් පාගන විට උගේ කට නොබඳින්න කියා ද වැඩකරන්නාට තමාගේ කුලිය ලැබෙන්ට යුතුය කියා ද ලියවිල්ලෙහි කියා තිබේ.” 1 තිමෝති 5:17-18.

“නුඹලාගේ ප්‍රධානියෝ ගණන්දෙන්ට සිටින්නන් මෙන් නුඹලාගේ ආත්ම ගැන රැකබලා සිටිති. ඔවුන් සුසුම්ලමින් එසේ කළොත් නුඹලාට අලාභ බැවින් සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් එසේ කරන පිණිස ඔවුන්ට කීකරුව යටත්වෙයල්ලා.” හෙබ්‍රෙව් 13:17.

රාජ්‍ය බලය ලත් තැනැත්තන්

“හැමදෙනාම බලයලත් මුලාදෑනීන්ට යටත්වෙත්වා. මක්නිසාද දෙවියන් වහන්සේගෙන් මිස කිසි මුලාදෑනිකමක් නැත්තේය. ඇත්තාවූ මුලාදෑනිකම් දෙවියන් වහන්සේ විසින් නියමකර තිබේ. එබැවින් මුලාදෑනිකමට විරුද්ධව සිටින්නන් දෙවියන් වහන්සේගේ නියෝගයට විරුද්ධව සිටියි. විරුද්ධව සිටින්නෝ තමුන් පිටට දඬුවම් පමුණුවා ගන්නෝය. මක්නිසාද ආණ්ඩුකාරයෝ නපුරු ක්‍රියාවට මිස යහපත් ක්‍රියාවට භය උපදවන්නෝ නොවෙති. නුඹ මුලාදෑනියාට භයක් නැතුව සිටින්ට කැමැත්තෙහිද? යහපත් දේ කරපන්න. එවිට ඔහුගෙන් නුඹට ප්‍රශසාව ලැබේ. මක්නිසාද නුඹට යහපත පිණිස ඔහු දෙවියන් වහන්සේගේ සේවකයෙක්ය. නුමුත් නුඹ නපුර කෙරෙහි නම්, භය වෙයන්න, මක්නිසාද ඔහු නිරර්ථකයේ කඩුව නොදරයි. ඔහු දෙවියන්වහන්සේගේ සේවකයෙක්ව, නපුර කරන්නා කෙරෙහි උදහස පමුණුවන පිණිස පළිගන්නා කෙනෙක්ය.” රෝම 13:1-4.

යටත් වැසියන් රාජ්‍ය බලය ලත් අයට කෙරෙහි දැක්විය යුතු යුතුකම්

“එවිට උන් වහන්සේ: එබැවින් කායිසර්ගේ දේ කායිසර්ටත්, දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේටත් දීපල්ලා යයි ඔවුන්ට කීසේක.” මතෙව් 22:21.

“එබැවින් උදහස නිසා පමණක් නොව, හෘදයසාක්ෂිය නිසාද යටත්වෙන්ට ඕනෑය. එසේය, නුඹලා සුංගම් දෙන්නෙත් මේ නිසාය, මක්නිසාද ඔව්හු මේ කාරණයෙහිම නොකඩව යෙදීසිටින්නාවූ දෙවියන් වහන්සේගේ සේවකයෝය. එබැවින් සියල්ලන්ට දෙන්ට යුතු දේ දීපල්ලා. සුංගම් දෙන්ට නිස්සාට සුංගම්ද, අයබදු දෙන්ට නිස්සාට අයබදුද දීපල්ලා. භයවෙන්ට නිස්සාට භයවෙයල්ලා. ගෞරව ලබන්ට නිස්සාට ගෞරවකරපල්ලා.” රෝම 13:5-7.

“ඉතින් අප විසින් සියලු ආකාර භක්තියෙන් සහ සන්සුන්කමින් සමාදාන වූ නිශ්චල ජීවිතයක් ගත කරන පිණිස, රජවරුන් හා උසස් තනතුරු දරන සියල්ලන් ඇතුළුව, සියලු මනුෂ්‍යයන් උදෙසා ඉල්ලීම්ද යාච්ඤාද මැදහත්කම්ද ස්තුතිදීම්ද පවත්වන්ට සියල්ලට පළමුවෙන් අවවාද කරමි.” 1 තිමෝති 2:1-2.

“අධිපතීන්ටත් බලය ඇත්තන්ටත් යටත්වෙන්ටද, කීකරුවෙන්ටද, සියලු යහපත් වැඩවලට සූදානම්ව සිටින්ටද, කිසිවෙකු ගැන අගුණ නොකියන්ටද, ඩබරකාරයන් නොවී ඉවසිලිවන්තව සිට, සියලු මනුෂ්‍යයන් ගැන සියලු ආකාර මොළොක්ගුණය පෙන්වන්ටද ඔවුන්ට සිහිකරවාපන්න.” තීතස් 3:1-2.

“උත්තමයාව සිටින රජුට වේවා, නපුර කරන්නන්ට දඬුවම පිණිසත් යහපත කරන්නන්ට ප්‍රශංසාව පිණිසත්, රජු විසින් එවනලද්දාවූ ආණ්ඩුකාරයන්ට වේවා, සියලු මනුෂ්‍ය නියෝගවලට ස්වාමීන් වහන්සේ නිසා යටත්වෙයල්ලා.” 1 පේත්‍රැස් 2:13-14.

ස්වාමි පුරුෂයන්

“එසේම, පුරුෂයෙනි, නුඹලාගේ යාච්ඤාවලට බාධා නොපැමිණෙන පිණිස, වඩා දුර්වල භාජනවූ භාර්යාවන් සමඟ දැනගැන්මේ හැටියට වාසයකරමින්, ඔවුන් ජීවනයේ අනුග්‍රහයට හවුල් උරුමක්කාරියන්ද බැවින් ඔවුන්ට ගෞරව දීපල්ලා.” 1පේත්‍රැස් 3:7.

“පුරුෂයෙනි, නුඹලාගේ භාර්යාවන් කෙරෙහි කර්කස නොවී ඔවුන්ට ප්‍රේම කරපල්ලා.” කොලොස්සි 3:19.

භාර්යාවන්

“භාර්යාවෙනි, ස්වාමින්වහන්සේට මෙන් නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටපල්ලා.” එපීස 5:22.

“එසේම භාර්යාවරුනි, නුඹලාගේ පුරුෂයන්ගෙන් සමහරෙක් වචනයට අකීකරුව සිටිතත්, ඔවුන් නුඹලාගේ පිරිසිදු වූ යටහත් හැසිරීම දුටුවාම, වචනය නැතුව භාර්යාවන්ගේ හැසිරීම කරණකොටගෙන දිනාගන්නා පිණිස, ඔවුන්ට යටත්වෙයල්ලා. එලෙස සාරා ආබ්‍රහම්ට ස්වාමියා යයි කියමින් කීකරුවුණාය. නුඹලාත් කිසි භීතියක් කරණකොටගෙන භය නොවී යහපත කරන්නහු නම්, ඇගේ දරුවෝව සිටින්නහුය.” 1 පේත්‍රැස් 3:1-2, 6.

දෙමවුපියන්

“පියවරුනි, නුඹලාගේ දරුවන්ට කෝප නූපදවා, ස්වාමීන් වහන්සේගේ හික්මවීමෙන්ද, අවවාදයෙන්ද ඔවුන් ඇතිකරපල්ලා.” එපීස 6:4.

දරුවන්

“දරුවෙනි, නුඹලාගේ දෙමවුපියන්ට ස්වාමීන් වහන්සේ තුළ කීකරුවෙයල්ලා. මක්නිසාද එසේ කරන්ට යුතුය. නුඹට වැඩසිද්ධවන පිණිසද, නුඹ පොළොවෙහි බොහෝ කල් ජීවත්වන පිණිසද, නුඹේ පියාටත් මවුටත් ගෞරවකරපන්න. එය පොරොන්දුවක් ඇති පළමුවෙනි ආඥාවය.” එපීස 6:1-3.

ස්ත්‍රී සහ පුරුෂ මෙහෙකරුවන්, කම්කරුවන් හා කුලී වැඩකරන්නන්

“දාසයෙනි, ක්‍රිස්තුස් වහන්සේට මෙන් මාංසාකාරයෙන් නුඹලාගේ ස්වාමිවරුන්ව සිටින්නන්ට, භයෙනුත් වෙවුලුමෙනුත් නුඹලාගේ සිත්වල ඒකාන්තකමින් කීකරුවෙයල්ලා. මනුෂ්‍යයන් සතුටුකරන්නන් මෙන් පෙනීමට වැඩ නොකොට, ක්‍රිස්තුස් වහන්සේගේ දාසයන් මෙන් සිතින් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරපල්ලා. දාසයෙක් වේවා, නිර්දාසයෙක් වේවා, එක් එක් අය කරන්නාවූ යම් යහපතක් ඇද්ද ඊට ස්වාමීන් වහන්සේගෙන් නැවත විපාක ලැබෙන බව දැන, මනුෂ්‍යයන්ට නොව ස්වාමීන් වහන්සේට මෙන් කැමැත්තෙන් මෙහෙකරපල්ලා.” එපීස 6:5-8.

කොලොස්සි 3:22-24 ද බලන්න.

ස්වාමිවරු හා ස්වාමිදූවරු

“ස්වාමිවරුනි, නුඹලාගේත් ඔවුන්ගේත් ස්වාමීන් වහන්සේ ස්වර්ගයෙහි සිටින බවද උන් වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන බවද දැන, තර්ජනකිරීමෙන් වැළකී, ඔවුන්ට එම දේවල් කරපල්ලා.” එපීස 6:9.

“ස්වාමිවරුනි, ස්වර්ගයෙහි නුඹලාටත් ස්වාමි කෙනෙක් සිටින බව දැන නුඹලාගේ දාසයන්ට ධර්මිෂ්ඨවූ සාධාරණවූ දේ දීපල්ලා.” කොලොස්සි 4:1.

පොදුවේ තරුණ අය

“එසේම, තරුණයෙනි, වැඩිමහල්ලන්ට යටත්වෙයල්ලා. එසේය, නුඹලා සියල්ලෝම එකිනෙකාට මෙහෙකරන පිණිස යටත්කම පැලඳගනිල්ලා. මක්නිසාද දෙවියන් වහන්සේ උඩඟු අයට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙනසේක. එබැවින් දෙවියන් වහන්සේ සුදුසු කාලයේදී නුඹලා උසස්කරන පිණිස උන් වහන්සේගේ බලවත් හස්තයට යටත්වෙයල්ලා.” 1 පේත්‍රැස් 5:5-6.

වැන්දඹුවන්

“ඇත්තටම අසරණව සිටින වැන්දඹු තැනැත්තී, දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වෙමින් රෑ දාවල් කන්නලව්වලද යාච්ඤාවලද පවතින්නීය. නුමුත් සැප සෙල්ලමින් පසුවෙන තැනැත්තී ජීවත්ව සිටියදීම මැරී සිටින්නීය.” 1 තිමෝති 5:5-6.

පොදුවේ බැතිමතුන් සියල්ලන්

“එකිනෙකාට ප්‍රේමවීම මිස, අන් කිසිවක් ගැන කිසිවකුට ණයව නොසිටිල්ලා. මක්නිසාද: කාමමිථ්‍යාචාරය නොකරව, මිනී නොමරව, සොරකම් නොකරව, ලෝභ නොවව යන ආඥාද, වෙන යම් ආඥාවක් ඇත්නම් ඒ ආඥාවද නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේම කරව යන මේ කීමෙහි අන්තර්ගතය.” රෝම 13:8-9.

“සියලූම මනුෂ්‍යයන් උදෙසා ඉල්ලීම්ද, යාච්ඤාද, මැදහත්කම්ද, ස්තුතිදීම්ද පවත්වන්ට සියල්ලට පළමුවෙන් අවවාදකරමි.” 1 තිමෝති 2:1-2.

තම තම කොටසේ නිසි ලෙස සිත් යෙදිය යුතු

හැමටම නිවසේ සැලසෙයි සෙත් එයින් මතු