පොලිකාප්තුමාගේ ප්‍රාණ පරිත්‍යාගය

Based on the English Translation of Alexander Roberts and James Donaldson. You can access the English version by clicking here (NewAdvent.org).

සුබපැතුම්

ස්මර්ණාහි වාසය කරන දෙවියන් වහන්සේගේ සභාව, ෆිලෝමෙලියම්හි වාසය කරන දෙවියන් වහන්සේගේ සභාව සහ සියලුම ස්ථානවල සිටින ශුද්ධ වූ සහ කතෝලික සභාව වෙත: පිය වූ දෙවියන් වහන්සේගෙන් සහ අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් වන දයාව, සාමය සහ ප්‍රේමය වැඩි වැඩියෙන් ලැබේවා.

1 වන පරිච්ඡේදය – අප විසින් ලියනු ලබන විෂය

සහෝදරවරුනි, වේදසාක්ෂිකයින්ට සහ විශේෂයෙන්ම ආශිර්වාද ලත් පොලිකාප්තුමාටසම්බන්ධ වන කරුණු අපි ඔබට ලියා ඇත්තෙමු. එතුමාගේ වේදසාක්ෂික මරණය මගින් පීඩාව අවසන් කරමින් එය මුද්‍රා කර ඇත. (මෙම සිදුවීමට) කලින් සිදු වූ සිදුවීම් සියල්ලම පාහේ සිදුවී ඇත්තේ, වේදසාක්ෂික ප්‍රාණ පරිත්‍යාගය ශුභාරංචිය බවට පත්වීම සම්බන්ධයෙන් ඉහළින් ස්වාමින් වහන්සේ අපට පෙන්වන පිණිසය. ස්වාමින් වහන්සේ විසින් සිදු කරන ලද, ඔහුගේ මුදා ගැනීම උදෙසා ඔහු බලා සිටියාක් මෙන්ම,හුදෙක් අප සම්බන්ධ කාරණා පිළිබඳ සැලකිලිමත් නොවී අපගේ අසල්වැසියන් පිළිබඳ සැලකිලිමත් විය යුතුය. මන්ද එය තමාගේම ආත්මය පමණක් නොව, සියලුම සහෝදරයන්ගේ ආත්ම ගැලවීම ලැබීමට ප්‍රාර්ථනා කිරීමක් වන එය සත්‍ය වූ මෙන්ම ගැඹුරින් මුල් ඇදි ප්‍රේමයේ කොටසක් වන බැවිනි.

2 වන පරිච්ඡේදය – වේදසාක්ෂිකයින්ගේ පුදුම සහගත ස්ථාවර බව

එසේ නම්, සියලුම වේදසාක්ෂිකයෝ, එය දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව සිදු වූ කාරණා හේතුවෙන් ආශිර්වාද ලත් අය සහ උතුම් අය වෙති. මක්නිසාද එය අපට අන් සියල්ලන්ට වඩා භක්තිමත් වීිමට,දෙවියන් වහන්සේට සියල්ල කෙරෙහි බලය පැවරීමට හේතු වන බැවිනි. සැබවින්ම, ස්වාමින් කෙරෙහි ඔවුන් දැක්වූ ප්‍රේමය සමඟින් ඔවුන් විසින් පෙන්නුම් කරන ඔවුන්ගේ උතුම් මනස හා ඔවුන්ගේ ඉවසීම අගය කිරීමට අපොහොසත් වන්නේ කවුරුන්ද?–ඔවුහු පීඩාවලින්, වසංගතයෙන් අපහසුතාවට පත් වූ විට, ඉරා දැමූ විට, ඔවුන්ගේ ශරීර රාමුව, අභ්‍යන්තර නහර සහ ධමනිවලට පවාහානි සිදු වූ කල, තවදුරටත් ඉවසිලිවන්තව විඳදරාගෙන සිටියෝය. ඒ දැක ඔවුන් අසල සිටි අය පවා අනුකම්පාවෙන් හඬා වැලපුණහ. එහෙත්, ඔවුහුකිසිදු සුසුම්ලෑමක් හෝ කෙඳිරිගෑමක් නොමැතිව, ඒ කිසිවකින් පලා නොයන ආකාරයේ උදාර අදහස්වලින් යුක්ත වූහ. ඒ අනුව, එවැනි වධ හිංසාවලට ලක් වූ අවස්ථාවේදීම,ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ වූ වේදසාක්ෂිකයින්,ශරීරයෙන් බැහැරව සිටි බව නොඑසේ නම්, ස්වාමින් වහන්සේ ඔවුන් ළඟ සිටි බව සහ ඔවුන් සමග සහභාගීත්වය පැවැත්වූ බව අපට සියල්ලන්ටම ඔප්පු වේ. ඔවුහු එක පැයක් තුළ [දුක් විඳීමෙන්] තමන්ම සදාකාල දඬුවමින් නිදහස් වෙමින්, ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහය දෙස බලමින් මේ ලෝකයේ සියලු වධ වේදනා පහත් කොට සැලකූහ. මේ හේතුව නිසා, ඔවුන්ගේ ම්ලේච්ඡ ඝාතකයින්ගේ ගින්න ඔවුන්ට සිසිලසක් මෙන්පෙනුණි.මක්නිසාද ඔව්හු ඒ අනුව ඔවුන්ගේ හදවත් නමැති ඇස්වලින් කිසි කනකින් නොඇසූ, කිසි ඇසකින් නොදුටු, මනුෂ්‍යයාගේ සිතට ඇතුළු නොවූ එම යහපත් කාරණා දෙස ඉදිරිය බලමින්, එනම් විඳ දරා ගන්නාවූ අය උදෙසා තබා ඇති දේවල් දෙස බලමින්, සදාකාලික කිසිදා නොනිවෙන ගින්නෙන් මිදීම පිණිස එසේ කළහ.

1 කොරින්ති 2: 9. එහෙත් ස්වාමින් වහන්සේ විසින් ඔවුන්ට එළිදරව් කරන ලදුව, ඔවුන් තවදුරටත් මනුෂ්‍යයින් නොව, දැනටමත් දේවදූතයින් බවට පත් වී ඇත. ඒ නිසා, ඒ ආකාරයට වන මෘගයින් වෙත මුදා හළ අය මහත් වද හිංසනවලට ලක් වූහ. ඔවුන් උල් යකඩ කූරු ගසන ලද ඇඳවල්වල තබන ලද අතර, වෙනත් ආකාරයේ විවිධ වූ වද හිංසනවලට ලක් කරන ලදී. එසේ එම කෲර පාලකයින් විසින් වද හිංසනයන්ට ලක් කළ ඔවුන් විසින් (ක්‍රිස්තුස් වහන්සේ) ප්‍රතික්ෂේප කරනු ලැබීමට යොමු කරන ලදී.

3 වන පරිච්ඡේදය – ජර්මනිකස්හි ස්ථාවර බව; පොලිකාප්ගේ මරණය ඉල්ලා සිටීම

ඇත්තෙන්ම යක්ෂයා ඔවුන්ට විරුද්ධව බොහෝ දේ නිර්මාණය කළේය. එහෙත් දෙවියන් වහන්සේට ස්තුති වේවා, ඔහුට සියල්ලෙන්ම ජයගත නොහැකි විය. මක්නිසාද, උතුම්ජර්මනිකස් තමාගේ ඉවසීමෙන් අන් අයගේ බයාදුකම වැඩි කළ අතර, වන සතුන් සමඟ වීරෝදාර ලෙස සටන් කළේය. මන්ද, ආණ්ඩුකාරවරයා ඔහුට ඒත්තු ගැන්වීමට උත්සාහ කළ විට සහ ඔහුගේ වයස පිළිබඳ සලකන් මෙන් ඔහුගෙන් ඉල්ලා සිටි විට, ඔහු මෘගයෙක් තමා වෙතට ආකර්ෂණය කරගෙන, ඌ කුපිත කර, අධර්මිෂ්ඨ සහ අශිෂ්ට ලෝකයකින් ඉක්මනින් පලා යාමට ආශාවෙන් සිටියේය. එහෙත් ඒ දේ සිදු වූ කල, මුළු සමූහයා භක්තිමත් හා දේවභක්තික පිරිසක් වූ කිතුනුවන් විසින් විදහා දක්වන ලද මනසෙහි උදාරත්වය ගැන මවිතයට පත් වී, පොලිකාප් සොයා ගන්නට ඉඩ දෙන්න!අදේවවාදීන්ගෙන් ඉවත් වන්න, යයි කෑ ගැසූහ.

4 වන පරිච්ඡේදය – අපෝස්තුළු ක්වින්ටස්

එහිදීමෑතකදී ෆ්‍රිජියාවේ සිට පැමිණි ෆ්‍රිජියන් ජාතිකයෙක් වන ක්වින්ටස් නම් අයෙක්, මෘගයින් දුටු විට බියට පත් විය.තමාට සහ වෙනත් අයට (නඩු විභාගය) සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට බල කළ පුද්ගලයා ඔහුය. බොහෝ ඉල්ලීම්වලින් පසු ආණ්ඩුකාරවරයා විසින් දිවුරුම් දීමටත් පූජා ඔප්පු කිරීමටත් ඔහු පොළඹවා ගන්නා ලදී. එබැවින් සහෝදරවරුනි,ශුභාරංචිය එසේ කිරීමට උගන්වන්නේ නැති බව දැකීමෙන් (දුක් විඳීමට) තමන්ම දෙන අයට අපි ප්‍රශංසා නොකරමු. මතෙව් 10:23

5 වන පරිච්ඡේදය – පොලිකාප් නික්මයාම සහ දර්ශනය

එහෙත් වඩාත්ම ප්‍රශංසනීය පොලිකාප්තුමා, [ඔහු සොයනු ලබන බව] මුලින් ඇසූ විට, කිසිසේත් කලබල නොවීය. එසේ වූවත් නගරයේ දිගටම සිටීමට අධිෂ්ඨාන කර ගත්තේය. කෙසේ වෙතත්, බොහෝ දෙනෙකුගේ කැමැත්තට අනුව, ඔහු එම නගරය අත්හැර යාමට පෙළඹුණි. ඒ අනුව ඔහු නගරයෙන් පිට වී, නගරයෙන් දුර බැහැර ග්‍රාමිය පෙදෙසක නිවසකට ගියේය. ඔහු [මිතුරන්] කිහිපදෙනෙකු සමඟ එහි නැවතී සිටියේය. එහිදී ඔහුගේ සුපුරුදු චාරිත්‍රයට අනුව, ලොව පුරා ව්‍යාප්තව සිටින සියලු මිනිසුන් සහ සභාවන් වෙනුවෙන් දිවා රාත්‍රී යාච්ඤා කරනවා හැරෙන්නට වෙන කිසිවක් නොකළේය.

ඔහු යාච්ඤා කරමින් සිටියදී, ඔහුරැගෙන යාමට දින තුනකට පෙර ඔහු දර්ශනයක් දුටුවේය. එහිදී ඔහුගේ හිස යට වූ කොට්ටය ගිනි ගෙන දැවෙන්නාක් මෙන් ඔහුට පෙනුනි. ඒ සමඟ, තමා සමඟ සිටි අය දෙසට හැරී, ඔහු දිවැස්වැකියෙන් මෙසේ පැවසුවේය. මා පණපිටින් පුළුස්සා මරනු ලැබිය යුතුයි.

6 වන පරිච්ඡේදය – සේවකයෙකු විසින් පොලිකාප්තුමා පාවා දෙනු ලැබීය

ඔහු සොයා ආ පිරිස සමීිප වූ කල, ඔහු වෙනත් වාසස්ථානයකට ගියේය. එහිදී ඔහු ලුහුබැඳ ගිය පිරිසද ඔහු පසුපස ආහ. ඔවුන්ට ඔහුහමු නොවූ කල, ඔවුහු (එහි සිටි) තරුණයන් දෙදෙනෙකු අල්ලා ගත්තෝය. ඔවුන්ගෙන් එක් කෙනෙක් වධහිංසාවට ලක්වූ කල පාපොච්චාරණය කළේය. ඔහු පාවා දුන් අය ඔහුගේම නිවසේ අය බැවින් ඔහු දිගටම සැඟවී සිටීම අපහසු විය. එවකට හෙරොද් නම් වූ ඉරෙනාර්ක් (ඔහුගේ නිලය ක්ලෙරොනොමස්ගේ නිලය හා සමානය) ඔහුක්‍රීඩාංගණයට ගෙන ඒමට ඉක්මන් විය. [මේ සියල්ල සිදු වූයේ] ඔහු ක්‍රිස්තුස් වහන්සේගේ හවුල්කරුවෙකු බවට පත්වී ඔහුගේ විශේෂ කොටස ඉටු කිරීම පිණිසත්, ඔහු පාවා දුන් අයට යූදස්ගේ දඬුවමට යටත් වීම පිණිසත්ය.

7 වන පරිච්ඡේදය – පොලිකාප්තුමා හඹා ආ පිරිසට ඔහු හමු විය

සූදානම් වූ දිනයේ රාත්‍රී භෝජන වේලාවේදී අශ්වාරෝහකයන් සහ තරුණයින්ද රැගෙන,සුපුරුදු ආයුධ රැගෙන ඔහු පසුපස ලුහුබැඳ ගිය අය,එසේ ගියේ කොල්ලකරුවෙකුට එරෙහිව යන්නාක් මෙනි. මතෙව් 26:55 සවස් වූ කල [ඔහු සිටි ස්ථානයට] පැමිණි විට, ඔහු යම් කුඩා නිවසක ඉහළ කාමරයේ සැතපී සිටිනු දුටුහ. එම ස්ථානයෙන් ඔහුට වෙනත් ස්ථානයකට පැන යන්නට ඉඩ තිබුණද ඔහු එය ප්‍රතික්ෂේප කළේ මෙසේ පවසමිනි. “දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට වේවා. මතෙව් 6:10; ක්‍රියා 21:14 එබැවින් ඔහු ඔවුන් පැමිණි බව දැනගත් විට පහළට බැස විත් ඔවුන් සමඟ කතා කළේය. පැමිණ සිටි අය ඔහුගේ වයස හා ස්ථාවර බව පිළිබඳ මවිතයට පත් වූහ. ඔවුන්ගෙන් සමහරු මෙ‍සේ පැවසූහ. මෙවන් වූ ගෞරවනීය මිනිසෙකු අල්ලා ගැනීමට මෙතරම් උත්සාහයක් ගත්තාද?ඒ මොහොතේදීම, එම පැයේදීම ඔවුන් ඉදිරියේ කෑමට හා බීමට යමක් තැබිය යුතු යැයි ඔහු අණ කළ අතර, ඇත්තෙන්ම ඔවුන් රැකබලා ගත් අතරම බාධාවකින් තොරව තමාට යාච්ඤා කිරීමට පැයක් ඉඩ දෙන ලෙස ඔහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. ඔවුන් ඔහුට අවසර ලබා දුන් පසුව, දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන් පූර්ණව ඔහු නැගිට සිට යාච්ඤා කළේය. එම නිසා සම්පූර්ණ පැය දෙකක් ඔහු නැවැත්වීමට නොහැකි වූ අතර, ඔහුට සවන් දුන් අය මවිතයට පත් වූහ. එසේ බොහෝ දෙනෙක් මෙතරම් දේවභක්තික හා ගෞරවනීය මහලු මිනිසෙකුට එරෙහිව තමන් පැමිණි නිසා පසුතැවිලි වීමට පටන් ගත්තෝය.

8 වන පරිච්ඡේදය – පොලිකාප්තුමා නගරයට ගෙන එනු ලැබීම

එහිදී, ඔහු සමඟ ඕනෑම කාලයකදී සම්බන්ධ වූ කුඩා හා විශාල, කීර්තිමත් හා අපැහැදිලි ඕනෑම දෙයක් මෙන්ම ලොව පුරා සිටින මුළු කතෝලික සභාවම ගැන සඳහන් කරමින්යාච්ඤා කිරීම ඔහු නැවැත්වූ විගසම, ඔහු පිටත්ව යා යුතු අවස්ථාව පැමිණියේය.

ඔව්හු ඔහු පැමිණ බූරුවෙකු පිට නංවා මහ සබත් දවස වූ ඒ දවසේ නුවරට ගෙන ගියහ. ඉරෙනාර්ක් හෙරොද්, ඔහුගේ පියා වන නිකීට්ස් සමග (දෙදෙනාම අශ්ව රථයක නැගී) ඔහු මුණගැසී අශ්ව රථයට නංවා ගත්තෝය. ඔවුහු තමා අසලින් ඔහු අසුන් ගන්වා, තමාගේ ජීවිතය රැක ගැනීම උදෙසා ස්වාමි වූ සීසර් යයි පැවසීමේ සහ අනෙක් උත්සවවලදී කරන පරිද්දෙන් ඔහුට පූජා පැවැත්වීමේ ඇති වරද කුමක්ද යනුවෙන් පවසමින් ඔහුට ඒත්තු ගැන්වීමට උත්සාහ කළහ. එහෙත් මුලින් ඔහු ඔවුන්ට පිළිතුරක් දුන්නේ නැත. ඔව්හු දිගින් දිගටම ඔහුට බල කළ විට, ”ඔබ මට අවවාද දෙන පරිදි මම ක්‍රියා නොකරමි යයි පැවසීය.එබැවින් ඔවුහු ඔහු ඒත්තු ගැන්වීමේ බලාපොරොත්තුවක් නොමැතිව ඔහුට තදින් කතා කිරීමට පටන් ගත්හ. එසේම ප්‍රචණ්ඩකාරී ලෙස ඔහු අශ්ව රථයෙන් නෙරපා දැමූහ.එසේ අශ්ව රථයෙන් බැස යන විට ඔහු ඔහුගේ කකුල [වැටීම නිසා] කැඩුණි. එහෙත්, කරදර නොවී, කිසිවකින් දුක් විඳින්නේ නැතිව මෙන්, ඔහු ඉතා උනන්දුවෙන් කඩිමුඩියේ ඉදිරියට ගිය අතර, ඔහු ක්‍රීඩාංගණයට ගෙන යන ලදී. එහි විශාල කැලඹීමක් වූ අතර, ඔහුගේ හඬ ඇසීමට හැකියාවක් නොතිබුණි.

9 වන පරිච්ඡේදය – පොලිකාප්තුමා ක්‍රිස්තුස් වහන්සේට නිග්‍රහ කිරීම ප්‍රතික්ෂේප කරයි

ඒ අවස්ථාවේදී, පොලිකාප් ක්‍රීඩාංගණයට ඇතුළු වන විට, ස්වර්ගයෙන් හඬක් ඔහු වෙතට පැමිණ, “ශක්තිමත් වන්න, ඔබමිනිසෙකු බව පෙන්වන්න, අහෝ පොලිකාප්! ඔහු සමඟ කතා කළේ කවුරුන්දැයි කිසිවෙකුත් දුටුවේ නැත. එහෙත් එහි සිටි අපේ සහෝදරයන් හට එම හඬ ඇසුණි. ඔහු ඉදිරියට ගෙන එන අවස්ථාවේදී පොලිකාප්රැගෙන එන බව ඇසූ විට කලබලකාරී තත්ත්වය වැඩි විය. ඔහු සමීපයට පැමිණි විට, ආණ්ඩුකාරවරයා ඔහු පොලිකාප්දැයි ඔහුගෙන් විමසීය. ඔහු ඒ තමා බවට පැවසූ විට, [ආණ්ඩුකාරවරයා] [ක්‍රිස්තුස් වහන්සේ] ප්‍රතික්ෂේප කිරීමට ඔහු පොළඹවා ගැනීමට උත්සාහ කරමින්, “ඔබේ මහලු වියට සහ ඒ හා සමාන අනෙකුත් දේවලට ගරු කරන්න. සම්ප්‍රදායට අනුව සීසර්ගේ නාමයෙන් දිවුරාපසුතැවිලි වී, අදේවවාදීන්ගෙන් දුරස් වන්න යයි පවසන්න. එහෙත් පොලිකාප්, එවකට ක්‍රීඩාංගනයේ සිටි සියලු දුෂ්ට විජාතීන් දෙස තදින් බලා, ඔවුන් දෙසට අත දිගු කරමින්, කෙඳිරිගාමින් ස්වර්ගය දෙස බලා, අදේවවාදීන්ගෙන් දුරස් වන්න යයි පැවසීය. එවිට, ආණ්ඩුකාරවරයා “දිවුරන්න, එවිට මම ඔබට නිදහස ලබා දෙන්නෙමි, ක්‍රිස්තුස් වහන්සේට නින්දා කරන්න¨ යයි බලවත් සේ ඔහුගෙන් ඉල්ලා සිටියේය.

පොලිකාප් මෙසේ ප්‍රකාශ කළේය. “මම උන් වහන්සේට අවුරුදු අසූ හයක් සේවය කර ඇත්තෙමි. උන් වහන්සේ කිසි විටෙකත් මට කිසිදු හානියක් නොකළ සේක. එසේනම් මාගේ රජු සහ ගැලවුම්කරුවා වන උන් වහන්සේට මම කෙසේ අපහාස කරන්නද?”

10 වන පරිච්ඡේදය – පොලිකාප් තමා කිතුනුවෙකු බව පවසයි

ආණ්ඩුකාරවරයා යළිත් වරක් ඔහුට, “සීසර්ගේ නමින් දිවුරන්න,” යයි බල කළ විට,ඔහු පිළිතුරු දෙමින් මෙසේ කීවේය.

“ඔබ නිෂ්ඵල ලෙස හදිසි වී මා සීසර්ගේ නමින් දිවුරුම් දිය යුතු බවත්, මා කවුරුන්ද සහ කුමන තනතුරක සිටීදැයි නොදන්නා බව මවාපාන්නට මට පවමන නිසා, මම ඉතා නිර්භීතව පවසන දෙයට සවන් දෙන්න. මම කිතුනුවෙක් වෙමි. ඔබ ක්‍රිස්තියානි ධර්මයේ මූලධර්ම මොනවාදැයි ඉගෙන ගැනීමට කැමති නම්, මට දිනක් ලබා දෙන්න. මම ඒවා ඔබට පවසන්නම්.”

“ජනතාවට ඒත්තු ගන්වන්න” යනුවෙන් ආණ්ඩුකාරවරයා පිළිතුරු දුන්නේය.

එහෙත් පොලිකාප්තුමා මෙසේ පැවසීය, “[මගේ ඇදහිල්ල] පිළිබඳ ඔබට විස්තරයක් ඉදිරිපත් කිරීම සුදුසු යැයි මම සිතුවෙමි. මක්නිසාද දෙවියන් වහන්සේ විසින් නියම කර ඇති පරිදි බලය ලත්නිලධාරීන්ට නිසි ගෞරවය (එයින් අපට හානියක් ඇති නොවේ) ලබා දීමට අපට උගන්වා ඇත. රෝම 13: 1-7; තීතස් 3: 1. එහෙත් මේ අයට, මාගෙන් කිසිම ගණන් දීමක් ලැබීමට සුදුසු අයය යයි මම කල්පනා නොකරමි.”

11 වන පරිච්ඡේදය – පොලිකාප්තුමාට කිසිදු තර්ජනයකින් බලපෑමක් සිදු නොවීය

එවිට ආණ්ඩුකාරයා ඔහුට කතා කොට, “මා ළඟ වන මෘගයෝ සිටිති; ඔබ පසුතැවිලි නොවන්නෙහි නම් මම ඔබ උන් වෙත දමන්නෙමි.”

එහෙත් ඔහු උත්තර දෙමින්, “එසේ නම් උන් කැඳවන්න. මන්ද, නපුර පිළිගැනීම උදෙසා යහපත් දේ ගැන පසුතැවිලි වීමට අපට පුරුදු නැත. නපුරු දෙයින් ධර්මිෂ්ඨ බවට වෙනස් වීම මට යහපත් දෙයකි.”

එහෙත් නැවත වරක් ආණ්ඩුකාරවරයා ඔහුට කතා කොට, ”ඔබ පසුතැවිලි නොවන්නේ නම්, ඔබ තිරිසනුන් හෙළා දකිනු දැක, මම ඔබ ගින්නෙන් දැවීමට සලස්වන්නෙමි.”

එහෙත් පොලිකාප්තුමා මෙසේ පැවසීය, “පැයක පමණ ගින්නෙන් දැවීමක් පිළිබඳ ඔබ මට තර්ජනය කරන්නෙහිය, ටික වේලාවක් එය නිවී යයි. එහෙත් අභක්තිකයන් සඳහා වෙන් කර ඇති පැමිණෙන්නා වූ විනිශ්චයේ ගින්න හා සදාකාලික දඬුවම පිළිබඳ ඔබ නොදැනුවත්ය. එහෙත් ඔබ ප්‍රමාද වන්නේ ඇයි? ඔබ කැමති දේ සිදු කරන්න.”

12 වන පරිච්ඡේදය – පොලිකාප්තුමා පුලුස්සා මරා දැමීමට දණ්ඩණය නියම වේ

ඔහු ‍මේ හා තවත් බොහෝ දේ කථා කරන අතරතුර, ඔහු නිසැක බවින් හා ප්‍රීතියෙන් පිරී සිටියේය. ඔහුගේ මුහුණේ පෙනුම කරුණාවෙන් පිරී තිබුණි, එබැවින් ඔහුට පැවසූ කාරණාවලින්ඔහු කරදරයට පත් නොවූවා පමණක් නොව, ඊට ප්‍රතිවිරුද්ධව, ආණ්ඩුකාරවරයා මවිතයට පත් වූ අතර, පොලිකාප්තුමා තමා කිතුනුවෙකු බව පැවසූ බවට ක්‍රීඩාංගනය මැදදී තුන් වතාවක් ප්‍රකාශයට පත් කිරීම සඳහා ඔහුගේ පණිවිඩකරුවා යැවීය. පණිවිඩකරුවා විසින් එම ප්‍රකාශය කරනු ලැබීමෙන් අනතුරුව, ස්මර්ණාහි වාසය කළ විජාතීන් සහ යුදෙව්වරුන් සියලුම දෙනාපාලනය කළ නොහැකි කෝපයෙන් කෑ ගසා ඉතා මහත් හඬින් මෙසේ පැවසූහ. “මේ සිටින්නේ ආසියාවේ ගුරුවරයායි, කිතුනුවන්ගේ පියායි, අපගේ දෙවිවරුන් ප්‍රතික්ෂේප කරමින් එම දෙවිවරුන්ට පූජා නොකරන්නටත්, දෙවිවරුන්ට නමස්කාර නොකරන්නටත් බොහෝදෙනෙකුට උගන්වා ඇත්තේ මොහුයි.”

මෙවැනි දේ පවසමින්, ඔවුහු කෑගැසූ අතර පොලිකාප් වෙත සිංහයෙකු මුදා හරින ලෙස ආසියාක් පිලිප්ගෙන් ඉල්ලා සිටියහ. එහෙත් පිලිප් පිළිතුරු දෙමින් කීවේ, වන මෘගයින්ගේ සංදර්ශන ඒ වන විටත් අවසන් වී ඇති බැවින් එසේ කිරීම නීත්‍යානුකූල නොවන බවයි. පසුව පොලිකාප් පණපිටින් පුලුස්සා දැමිය යුතු යැයි එ්කමතිකව කෑගැසීම යහපත් යයි ඔවුන්ට පෙනුණි. මෙසේ ඔහුගේ කොට්ටය පිළිබඳ එළිදරව් වූ දර්ශනය සම්පූර්ණ වීම පිණිස එය යෝග්‍ය වූවකි. එතුමා යාච්ඤා කරමින් සිටියදී, කොට්ටය දැවී ගිනි ගැනීම දුටු අවස්ථාවේදී. ඔහු තමා සමග සිටි ඇදහිලිවන්ත අනෙක් අය වෙත හැරී දිවැස්වැකියෙන් මා පණ පිටින් ගින්නෙන් පුලුස්සනු ලැබිය යුතු යයි පැවසීය.

13 වන පරිච්ඡේදය – අවමංගල්‍ය ටැඹ ඉදිකර ඇත

මෙය, කතා කළ තරමට වඩා වැඩි වේගයකින් ක්‍රියාත්මක කරන ලද අතර, සමූහයා වහාම කඩවලින් සහ නාන ස්ථානවලින් ලී සහ දර මිටි එකතු කළහ; විශේෂයෙන්, යුදෙව්වරු චාරිත්‍රයට අනුව, ඒ සඳහා ඔවුන්ට උනන්දුවෙන් සහාය වූහ. අවමංගල්‍ය ටැඹ සූදානම් වූ කල, පොලිකාප්තුමා, ඔහුගේ ඇඳුම් සියල්ලම පසෙකට දමා, ඔහුගේ ඉඟ පටිය ගලවා, ඔහුගේ පාවහන්ද ගලවන්නට සැරසුණේය. මෙය එතුමාට නුහුරු වූවක් විය. මෙහිදී ඇදහිලිවන්තයින් එකිනෙකා මුලින්ම ඔහුගේ සම ස්පර්ශ කරන්නට උත්සහා කළහ. මක්නිසාද යත්, ඔහුගේ ශුද්ධ ජීවිතය නිසා, ඔහුගේ ප්‍රාණ පරිත්‍යාගයට පෙර පවා, ඔහු සෑම ආකාරයකම යහපත් දේවලින් පිරී සිටි බැවිනි. එසැනින්ම ඔවුහු අවමංගල්‍ය ටැඹට සූදානම් කර තිබූ ද්‍රව්‍යවලින් ඔහු වට කළහ. එහෙත් ඔවුහු ඔහුට ඇණ ගැසීමට සූදානම් වූ අවස්ථාවේදී, ඔහු මෙසේ පැවසීය.“මා මෙසේම අත්හරින්න; මක්නිසාද ගින්න දරාගැනීමට මට ශක්තිය දෙන තැනැන් වහන්සේ, ඇණවලින් මා නොරැඳී ගිනි මැද නොසෙල්වී සිටීමට මට හැකියාව දෙන සේක.

14 වන පරිච්ඡේදය – පොලිකාප්තුමාගේ යාච්ඤාව

එවිට ඔවුහු ඔහුට ඇණ ගැසුවේ නැත. එහෙත් ඔහු ගැට ගැසූහ. ඔහු තමාගේ අත් පිටුපස තබාගෙන, පූජා කිරීම සඳහා විශාල රැළකින් (ගෙන ගිය)ඉතා හොඳ බැටළුවෙකු මෙන් බඳිනු ලැබ, දෙවියන් වහන්සේට පිළිගත හැකි දවන පූජාවක් වීමට සූදානම් වී, ස්වර්ගය දෙස බලා, මෙසේ පැවසීය.

“සර්වබලධාරි දෙවියන් වහන්ස, ඔබගේ ආදරණීය හා ආශිර්වාද ලත් පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පියාණෙනි, උන් වහන්සේගෙන් දේවදූතයන්ගේ හා බලයන්ගේ මෙන්ම සියලු මැවිල්ලේ සහ ඔබ ඉදිරියේ  ජීවත් වන සියලු ධර්මිෂ්ඨයන්ගේ දෙවියන් වහන්සේ වන ඔබ වහන්සේ පිළිබඳ අපි දැනගතිමු. ඔබ වහන්සේගේ වේද සාක්ෂිකයින්ගේසංඛ්‍යාවෙන්, ඔබ වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේ කුසලානෙන්, ශුද්ධාත්මයාණන් වහන්සේ තුළින්නරක් නොවන (බෙදා දෙන ලද) ප්‍රාණය සහ ශරීරය යන දෙකෙහිම සදාකාල ජීවනයේ උත්ථානයට, මා සහභාගි වන පිණිස, අදටත් මේ පැයටත් ඔබ මා සුදුසු යයි ගණන් ගැනීම නිසා මම ඔබ වහන්සේට ස්තූතිවන්ත වෙමි. ඔවුන් අතරින් මා මේ දවසේ පිළිගත හැකි වූ පූජාවක් ලෙස පිළිගත මැනව. ඔබ වහන්සේ, එනම් සදාකාලිකවම සත්‍ය වන දෙවියන් වහන්සේ ‍විසින් පෙර නියම කරන ලදුව, එය මට පූර්වයෙන් එළිදරව් කළ සේක. දැන් එය සම්පූර්ණත්වයට පත් වී ඇත. එබැවින් සියලු දේ ගැන මම ඔබ වහන්සේට ප්‍රශංසා කරමි. මම ඔබ වහන්සේට ආශිර්වාද කරමි. මම ඔබ වහන්සේට ගෞරව කරමි. ඔබ වහන්සේ‍ගේ ආදරණීය පුත්‍රයා වන,සදාකාලික හා ස්වර්ගීය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සහඔබ වහන්සේටත්, ශුද්ධාත්මයාණන් වහන්සේටත්, දැන් සහ මතු පැමිණෙන සියලුම යුගවලදී මහිමය වේවා! . ආමෙන්. ”

15 වන පරිච්ඡේදය – ගින්නෙන් පොලිකාප්තුමාට තුවාල වී නැත

ඔහු ආමෙන් යයි පවසමින් ඔහුගේ යාච්ඤාව අවසන් කළ පසුව, ගින්න දැල්වීමට පත් කරන ලද අය විසින් ගින්න අවුළුවනු ලැබිණි. මහත් උදහසේ ගිනිදැල් නැගෙද්දී, එය දැක බලා ගැනීමට අවස්ථාව ලද අපි, මහා ප්‍රාතිහාර්යයක් දුටුවෙමු. එවකට සිදු වූ දේ අන් අයට වාර්තා කිරීම සඳහා අපි රක්ෂා කළෙමු. ගින්න, සුළඟකින් පිරී ඇති විට නැවක රුවලක් මෙන් ආරුක්කු ස්වරූපයෙන් හැඩ ගැසී, වළල්ලක් සේ වේද සාක්ෂිකයාගේ සිරුර වට කරගෙන දැල්වුණේය. එය තුළ ඔහු දිස් වූයේ පිළිස්සෙන සිරුරක් ලෙසට නොව, ඒ වෙනුවට පිළිස්සූ පාන් මෙන් නැතිනම් උදුනක දිලිසෙන රන් හා රිදී මෙන්ය. එපමණක් නොව, (ගිනි ටැඹ වෙතින් පැමිණි) සුවඳ විලවුන් හෝ එවැනි වටිනා කුළුබඩු එහි දැවෙන්නා සේ සුවඳක් අපට දැනුණි.

16 වන පරිච්ඡේදය – පොලිකාප්තුමාටතියුණු පිහියකින් අනින ලදී

ඔහුගේ ශරීරය ගින්නෙන් විනාශ කළ නොහැකි බවට එම දුෂ්ට මිනිසුන් වටහාගත් විට, ඔවුහුඝාතකයෙකුට ඔහු ළඟට ගොස් තියුණු පිහියකින් ඔහුට අනින ලෙසට අණ කළහ. ඔහු එ‍සේ කළ විට මහත් විලාපයක් නැගුණු අතර, මහත් ලේ ප්‍රමාණයක්ද පැමිණියේය. එවිට එයින් ගින්න නිවී ගියේය. අපේ කාලයේ අපෝස්තලික හා අනාවැකිමය ගුරුවරයෙකු හා ස්මර්ණාහි පිහිටි කතෝලික සභාවේ රදගුරු තුමා ලෙස කටයුතු කළ පොලිකාප් තුමා තේරී පත් වූ අයෙකි. නොඇදහිලිවන්තයන් සහ තේරී පත් වූවන් අතර එවැනි වෙනසක් තිබිය යුතු යැයි සියලු ජනයා කල්පනා කළහ. මක්නිසාද ඔහුගේ මුඛයෙන් නික්මුණු සෑම වචනයක්ම ඉෂ්ට වී ඇත, නොඑසේ නම් අනාගතයේදී ඉෂ්ට වනු ඇත.

17 වන පරිච්ඡේදය – කිතුනුවන්ට පොලිකාප්ගේ දේහය ප්‍රතික්ෂේප කරනු ලැබේ

එහෙත් ඊර්ෂ්‍යාකාරී, ද්වේෂ සහගත හා දුෂ්ටයා වන ධර්මිෂ්ඨයන්ගේ ජාතියේ විරුද්ධවාදියා, ඔහුගේ ප්‍රාණ පරිත්‍යාගයේ ආකර්ෂණීය ස්වභාවය වටහාගත්තේය. එසේම ඔහු මුල සිටම පවත්වාගෙන ගිය නිර්දෝෂී ජීවිතය [සලකා බලා], දැන් ඔහු අමරණීයත්වයේ ඔටුන්නෙන් සරසන ලද බවත්, කිසිම අරගලයක් නොමැතිව ඔහුගේ විපාකය ලබා ගත් බවත්, බොහෝ දෙනා මෙය සිදු කිරීමට කැමති වුවද, එනම් ඔහුගේ ශුද්ධ ශරීරය ලබා ගැනීමටකැමති වූවද, ඔහු පිළිබඳ කුඩාම සිහිවටනයක් හෝ අපට ලබාගත නොහැකි පරිදි ඔහුට හැකි උපරිමය සිදු කළේය. මේ සම්බන්ධයෙන් ඔහු හෙරොද්ගේ පියා සහ ඇල්ස්ගේ සහෝදරයා වන නිකීටස් වෙත ගොස්, ඔහුගේ දේහය භූමදාන කිරීම සඳහා භාර නොදෙන ලෙස ආණ්ඩුකාරයා වෙත ගොස් ඔහුගෙන් ඉල්ලා සිටින ලෙසට යෝජනා කළේය. එසේ නොකළහොත්, කුරුසියේ ඇණ ගසනු ලැබූ තැනැන් වහන්සේ අත්හැර දමා ඔවුන් මොහුට නමස්කාර කිරීමට පටන් ගන්නවා ඇත යයි පැවසීය. අප ඔහු ගින්නෙන් පිටතට ගෙන යාමට සැරසෙන විට අප දෙස බලා සිටි යුදෙව්වන්ගේ යෝජනාව හා හදිසි ඒත්තු ගැන්වීම මත ඔහු මේ බව කියා සිටියේය. මුළු ලෝකය පුරාම සිටින එවැනි අයගේ ගැලවීම උදෙසා දුක් විඳි, සහ මුළු ලෝකයා ගලවනු ලබන (පව්කරුවන් උදෙසා දිවි පුදන නිර්දෝෂී තැනැන්වහන්සේ වන) ක්‍රිස්තුස් වහන්සේ අත්හැර දැමීමට සහ වෙනත් කෙනෙකුට නමස්කාර කිරීම අපට කිසි විටෙකත් කළ නොහැකිය යන්න පිළිබඳඔවුන්ගේ නොදැනුවත්කම නිසා මෙසේ පැවසූහ.‍

උන් වහන්සේ සැබවින්ම දෙවියන් වහන්සේගේ පුත්‍රයා වන බැවින්, අපි උන් වහන්සේට නමස්කාර කරන්නෙමු. එහෙත් වේද සාක්ෂිකයින් වනාහි, ස්වාමින්වහන්සේගේ ගෝලයන් හා අනුගාමිකයන් වශයෙන්, ඔවුන්ගේම රජු හා ස්වාමියා කෙරෙහි ඔවුන් තුළ ඇති අසාමාන්‍ය සෙනෙහස නිසා අපි ඔවුන්ට ගෞරව ආදරය දක්වන්නෙමු. ඔවුන් මගින් අපත් උන් වහන්සේගේ හා අනුගාමික ගෝලයන් බවට පත් වේවා!

18 වන පරිච්ඡේදය – පොලිකාප්ගේ සිරුර පුළුස්සා දමනු ලැබේ

එවිට ශතාධිපතියා, යුදෙව්වන්ගේ කෝලාහලය දුටු විට, දේහය ගින්න මැදට හෙළා එය දවා දැමුවේය. ඒ අනුව, අපි පසුව ඉතා අලංකාර ආභරණවලට වඩා වටිනා, රත්‍රන්වලට වඩා පවිත්‍ර වූ ඔහුගේ ඇටකටු රැගෙන ඒවා සුදුසු ස්ථානයක තැන්පත් කළෙමු. එහිදී, එකට එකතු වී, අපට අවස්ථාව ලැබුණු ආකාරයට, මේ වන විටත් ඔවුන්ගේ සේවය අවසන් කර ඇති අය මෙන්ම, තව දුරටත් ඔවුන්ගේ අඩි පාරේ ගමන් කරමින් ඒ සඳහා සූදානම් වන අය යන දෙපිරිසම වෙනුවෙන්මප්‍රීතියෙන් හා සන්තෝෂයෙන්, ඔහුගේ වේද සාක්ෂික මරණයේ සංවත්සරය සැමරීමට සමිඳාණන් වහන්සේ අපට අවස්ථාව දෙනු ඇත.

19 වන පරිච්ඡේදය – වේද සාක්ෂික පොලිකාප්තුමාට ප්‍රශංසා කිරීම

එසේ නම්, ආශිර්වාද ලත් පොලිකාප්ගේ වාර්තාව මෙයයි. ඔහු ස්මර්ණාහි දොළොස්වැනි වේද සාක්ෂිකවරයායි (මෙහිදී ෆිලඩෙල්ෆියාවේ අයද ගණන් ගැනේ).එහෙත් මෙතුමා සියලු මිනිසුන්ගේ මතකයේ වෙනමම ස්ථානයක් හිමි කරගෙන සිටියි. එය කොතරම්ද යත් විජාතීන් විසින්ද. ඔහු පිළිබඳ කතාබහ කෙරෙන බැවිනි. ඔහු හුදෙක් කීර්තිමත් ගුරුවරයෙකු පමණක් නොව, විශිෂ්ට වේද සාක්ෂිකයෙකුද විය.ඔහුගේ ප්‍රාණ පරිත්‍යාගය ක්‍රිස්තුස් වහන්සේගේශුභාරංචියට සම්පූර්ණයෙන්ම අනුකූල වූවක් බැවින්, සියලු දෙනාම එය අනුකරණය කිරීමට ආශා කරති. මක්නිසාද, ඉවසීමෙන් යුක්තව අයුක්තිසහගත ආණ්ඩුකාරයා අභිබවා අමරණීයත්වයේ ඔටුන්න හිමි කර ගත් ඔහු, දැන් ප්‍රේරිතයන් හා සියලු ධර්මිෂ්ඨයින් සමඟ [ස්වර්ගයේ] දෙවියන් වහන්සේට මහිමය දෙයි. එසේම පියාණන් වහන්සේටද මහිමය දෙමින්, අපගේ ආත්මවල ගැලවුම්කරුවාණන් වහන්සේ, අපගේ ශරීරයේ ආණ්ඩුකාරයාණන් වහන්සේ සහ ලොව පුරා කතෝලික සභාවේ එ‍ඬේරාණන් වහන්සේ වන ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ආශිර්වාද කරයි.

20 වන පරිච්ඡේදය – මෙම ලිපිය සහෝදරයන්ට සම්ප්‍රේෂණය කළ යුතුය

එතැන් සිට, ඔබ ඇත්ත වශයෙන්ම සිදු වූ දේ පිළිබඳව ඔබ දැනුවත් කරන ලෙස ඔබ අපෙන් ඉල්ලා සිටි හෙයින්, අපගේ සහෝදර මාකස් හරහා මෙම සාරාංශමය වාර්තාව අප දැනටඔබ වෙත එවා ඇත. එසේඔබ විසින්ම මෙම ලිපිය කියවා, දුර බැහැර වෙසෙන සිටින සහෝදරයන් වෙත යැවීමට සතුටු වන්න. එවිට ඔවුන්ද තමන් වහන්සේගේ සේවකයින් තෝරා ගන්නා ස්වාමින් වහන්සේ මහිමයට පත් කරනු ඇත. තමන් වහන්සේගේ අනුග්‍රහය හා යහපත්කම කරණකොටගෙනඋන් වහන්සේගේ ඒකජාතක පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින්, අප සියල්ලන්ම උන් වහන්සේගේ සදාකාලික රාජ්‍යයට ගෙන ඒමට හැකි උන් වහන්සේටම, මහිමය, ගෞරවය, බලය හා ගෞරවය සදාකාලයටම වේවා. ආමෙන්. සියලුම ශුද්ධවන්තයින්ට ආචාර කරන්න. අප සමඟ සිටින අයත්, මෙම ලිපිය ලියූ එවරෙස්ටස් සහ ඔහුගේ සියලුම නිවැසියනුත් ඔබට ආචාර කරති.

21 වන පරිච්ඡේදය – ප්‍රාණ පරිත්‍යාගය සිදු කළ දිනය

දැන්, සැන්ටිකස් මාසය ආරම්භ වූ කාලයේම දෙවන දිනයේදී ආශිර්වාද ලත් පොලිකාප්තුමා, මැයි මාසයේ කාලෙන්ඩ්ස්වලට පෙර හත්වන දින, මහා සබත් දිනයේදී, අටවන පැයේදී දිවි පිදුවේය. ඔහු හෙරොද්, ට්‍රැලියන්හි උත්තම පූජකයා වූ පිලිප්, ආණ්ඩුකාරයා වූ ස්ටැටියස් ක්වඩ්‍රාටස් යන අය විසින් මරණයට පත් කරන ලදී. එහෙත් සදාකාලයටම රජ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, එනම් සියලු මහිමය, ගෞරවය, තේජස සහ පරම්පරාවෙන් පරම්පරාවට සදාකාලික සිංහාසනය හිමි තැනැන් වහන්සේට මහිමය වේවා. ආමෙන්.

22 වන පරිච්ඡේදය – ආචාරය

සහෝදරවරුනි, යේසුස් ක්‍රිස්තුස්ගේ ශුභාරංචියේ ධර්ම ඉගැන්වීම්වලට අනුව ඔබ ගමන් කරන අතර, අපි ඔබට සියලු සතුට ප්‍රාර්ථනා කරන්නෙමු. පියාණන් වන දෙවියන් වහන්සේට සහ ශුද්ධාත්මයාණන් වහන්සේ සමග‍‍ උන්වහන්සේටද මහිමය වේවා! උන්වහන්සේගේ තෝරාගත් ශුද්ධ සෙනගගේ ගැලවීම උදෙසා, ආශිර්වාද ලත් පොලිකාප්තුමා දුක් විඳි ආදර්ශය අනුගමනය කරන අප සියලු දෙනාමත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රාජ්‍යයෙහි දක්නට ලැබේවා!

මේ දේවල් කායස් විසින් ඉරේනියස්ගේ (පොලිකාප්තුමාගේ ගෝලයෙකු වූ) පිටපතෙන් සම්පාදනය කරන ලදී. එතුමා ඉරේනියස් සමග ඉතා සමීපව සිටි අයෙකි. සොක්‍රටීස් වන මම කොරින්තියෙහිදී කායස්ගේ පිටපතෙන් ඒවා ලියුවෙමි. අනුග්‍රහය ඔබ සියල්ලන් සමග  පවතීවා.

පියෝනියස් වන මම නැවතත්, ඒවා ගැන හොඳින් සොයා බලා කලින් ලියා ඇති පිටපතෙන් ඒවා ලියුවෙමි. එසේම ආශිර්වාද ලත් පොලිකාප්තුමා විසින් එළිදරව්වක් තුළින් ඒවා මා හට ප්‍රකාශ කරනු ලැබ ඇත. මම මේ දේවල් එක්රැස් කළෙමි. කාලයාගේ ඇවෑමෙන් ඒවා පරිහානියට පත් වී තිබුණද, ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුන් වහන්සේද උන් වහන්සේගේ තෝරාගත් අය සමග මාද උන් වහන්සේගේ ස්වර්ගීය රාජ්‍යයට රැස් කරනු ඇත. පියාණන් වහන්සේ සහ ශුද්ධාත්මයාණන් වහන්සේ සමග උන් වහන්සේටද සදාකාලයෙන් සදාකාලයට මහිමය වේවා.