ශාන්ත ඔගස්ටීන් තුමාගේ ජීවිත කථාව

‘Saint Augustine’ by Michelangelo Caravaggio (c. 1600)

ශාන්ත ඔගස්ටීන් තුමාගේ ජීවිත කථාව

රදගුරු පොසිඩියස් විසින් ලියන ලදී.

සංඥාපනය

මුල් අවධියේදී ගිහියෙකු ලෙසටත්, වර්තමානයේ රදගුරු ලෙසටත්, සර්වබලධාරී දෙවියන් වහන්සේට සහ ශුද්ධ වූ ත්‍රි‍ත්වයට විශ්වාසවන්තව සේවය කිරීමට මා තීරණය කළ අතර, සියල්ල මැවුවා වූ සියල්ලට අධිපති මාගේ ගැළවුම්කරුවාණන් වන උන්වහන්සේ මාගේ අභිප්‍රාය සැලකිල්ලට ගෙන එය සාර්ථකව ඉෂ්ට කිරීමට ප්‍රතිභාපුර්ණ බලය මා හට ලබාදුන්සේක. මා තුළ පිහිටා තිඛෙන හැකියාවන් සහ කථීකත්වයන් උපකාර කරගනිමින් මා ඉතා ඕනෑකමින් බලාසිටින්නේ, ශුද්ධවු සහ සැබෑවූ ක්‍රිස්තුස් දෙවිඳුන්ගේ, කතෝලික දේව සභාව ධෛර්යවත් කිරීමට උපකාරී වීමටය. එහෙයින් ඉතාමත් උදාර වූ රදගුරු ඔගස්ටීන් තුමන්ගේ ජීවිත කථාව සහ ගුණාංග ගැන නිහඬව නොසිට පැවසීමට මම තීරණය කළෙමි. මාගේ ඇදහිල්ලට අනුව එතුමන් උන්වහන්සේ විසින් තෝරාගනු ලැබුවේ, එතුමන් මෙලොව එළිය දකින්නට ද පෙර වූ අතර නියමිත කාලයේදී දේව සැලසුමට අනුව මෙලොවට බිහිවන්නට සලස්වා ඇත. මා ලියනු ලබන්නේ, මා විසින්ම එතුමා පිළිබඳ අධ්‍යයනය කළ දෙය සහ එතුමන් ප්‍රකාශ කළ දෙය ගැන මෙනෙහි කිරීමෙනි. මා කියවා ඇති සාක්ෂිවලට සහ අවබෝධ කරගත් දෑ අනුව ශුද්ධ වූ කතෝලික මවු සභාවේ ජීවත් වූ ශුද්ධවන්තයන්ගේ ජීවිත කථාවන් මෙයාකාරයෙන්ම පෙර අවස්ථාවලදී ලියා දක්වා ඇත. ශුද්ධ වූ ආත්මයාණන්ගෙන් ප්‍රතිභාපූර්ණ වූ එම ලේඛකයන් ද තමාට හුරු බසින් සහ විලාසයෙන් එකී ශුද්ධවන්තයන් ජීවිත ගත කළ අයුරු ඇතුළත් එෛතිහාසික කරුණු ශ්‍රවණය කිරීමට සහ සියැසින් දැක කියවා බලා අධ්‍යයනය කිරීමට ආශා කරන පාඨකයන් වෙනුවෙන් ලියා තිබුණි. මෙසේ ලියා දැක්වූ උසස් ජීවන චරිතයන්,දෙවිඳුන් තමන්ට නොමිලයේ ලබාදෙන අනුග්‍රහය ලැබීමට තරම් සුදුසු වූයේ ඔවුන් මිනිසුන්ගේ ප්‍රශ්න මධ්‍යයේ ජීවත්වීමට සහ එය තම උත්ථාන වීර්යය ද සමඟ අවසාන මොහොත දක්වා පවත්වාගෙන යාම සඳහාය. එම අව්‍යාජ ඇදහිල්ල තුළ ජීවත්වන සෑම ධර්මිෂ්ඨ සහ විශ්වාසවන්ත පුද්ගලයෙකුම සෑම ස්වාමියෙකුගේම ස්වාමීන් වහන්සේට සේවය කළ යුතුවන්නේ උන්වහන්සේ බලාපොරොත්තු වන සහ සතුටට පත්වන ආකාරයටය. උන්වහන්සේගේ කරුණාව යටතේ එතුමන් ප්‍රසන්න වන ආකාරයට කටයුතු කිරීමට බලාපොරොත්තු වන ගෝලයෙකු වශයෙන් කිසිම වටිනාකමක් නොමැති මා ද පෙන්වා දීමට උත්සාහ කරමි. මෙම සාන්තුවරයාගේ උපත, දෙවියන් වහන්සේ සමඟ ගිය ගමන සහ අවසාන කාලය, එතුමන් සමඟ වසර ගණනාවක් සහභාගීකම් පැවැත්වීමෙන් එතුමන් ගැන අවබෝධ කරගත් කරුණු මා විසින් පෙන්වා දෙනු ලැබ ඇත. මම ඉතා බැගෑපත්ව දිව්‍යමය මහානුභාව සම්පන්නත්වයෙන් අයැද සිටින්නේ මා භාරගත් කාර්යය සම්පූර්ණ කිරීමට උන්වහන්සේගේ සහය ලබා දෙන ලෙසය. එසේ නොකළහොත් මා ආලෝකයේ පියාණන් වහන්සේගේ සත්‍යයට විරුද්ධව ද එසේ නැතහොත් දේව සභාවේ කැපවී සේවය කරන අනෙකුත් අයගේ යහපත්, ප්‍රේමණීය බලාපොරොත්තූන් ද බිඳ දමනු ඇත. ආශීර්වාදලත් ඔගස්ටීන් තුමා “පාපෝච්චාරණ”(Confessions) යනුවෙන් ලියු පොත්වල එතුමා ගැන අඩංගු කරුණු සියල්ල ලියා දැක්වීම මගේ අරමුණ නොවේ. එතුමා ඒ තුළ ලියා ඇත්තේ දිව්‍යමය අනුග්‍රහය ලැබීමට පෙර තමාගේ ජීවිතය ගැනත්, උන්වහන්සේට ජීවිතය භාරදුන් පසු එය ගතකළේ කවර අන්දමින් ද යන වගත් ය. තමාගෙන් බලාපොරොත්තු වන දෙය මෙම අපෝස්තුළුවරයාගේම වචනවලින් දක්වන්නේ නම් “එකිනෙකා පමණට වඩා තමන් ගැන ඉහළින් නොසිතන ලෙසත් දෙවියන් වහන්සේ එකිනෙකාට ප්‍රදානය කළ ඇදහිල්ලේ ප්‍රමාණයට තැන්පත් සිතින් සිතන ලෙසත් … ”ය (රෝම 12:3). එහෙයින් එතුමාගේ ශුද්ධ වූ යටහත්පහත් ජීවිතය තුළින් එතුමා කිසිවකු මුළා කළේවත් තමා ගැන වුවද ඒ වන විටත් ලැබී තිබුණ දේවල් ගැන පාරාට්ටු කරගත්තේ වත් නැත. එහෙත් එතුමා නිතරම පැවසුවේ, දෙවිඳුන්ගේ මහිමය නිසා තමා ගැළවීම ලැබීමට ආශීර්වාද ලත් කෙනෙකු පමණක් බවත් තමාගේ අරමුණ කරා ගොස් තමා බලාපොරොත්තු වන දෙය ලබා ගැනීමට සහෝදරයන්ගේ යාච්ඤාව අවශ්‍ය බවත් පමණි. එක් දේව දුතයකු ප්‍රකාශ කළ අන්දමට “රජ කෙනෙකුගේ රහස සඟවා තැබීම හරිය. එහෙත් දෙවියන් වහන්සේගේ ක්‍රියා අනාවරණය කොට ඒවා ප්‍රකාශ කිරීම යුතුය”[තෝබිත් 12:7].

1 වන පරිච්ඡේදය

ශාන්ත ඔගස්ටීන් තුමාගේ උපත, සංවර්තනය සහ බව්තීස්මය.

ඔගස්ටීන් තුමා උපත ලැබුවේ, අප්‍රිකා පලාතේ පිහිටි තගැස්ටේ නගරයෙහිය. එතුමා පෝෂණය කරනු ලැබුවේ සහ පුහුණු කරනු ලැබුවේ වතිකානුවේ රාජ්‍ය මණ්ඩලයේ සේවය කළ ඔහුගේ ගෞරවනීය ක්‍රිස්තියානි දෙමාපියන් විසිනි. ඔවුන්ගේම වියදමින් එතුමාට, මූලික වශයෙන් ලෞකික සාහිත්‍යය ගැන අධ්‍යාපනයක් ලබා දුන්හ. එනම් විපුල කලාවන්ගේ සියලූම විනයයන්ගේ පුහුණුවක් ලැබුවේය. එතුමා මුලින්ම තමා උපන් ප්‍රදේශයෙහිම ව්‍යාකරණ ඉගැන්වීය. ඉන් අනතුරුව අප්‍රිකාවේ ප්‍රධාන නගරය වූ කාර්තේජ්හි දී භාෂා ශාස්ත්‍රය ඉගැන්වීය. ඉන් පසුව එතුමා මුහුදෙන් එතෙර පිහිටි රෝම නගරයෙහි සහ කණිෂ්ඨ වැලන්ටීනියන් අධිරාජයා තම රාජසභාව පිහිටුවා තිබුණු මිලාන් නගරයෙහි තම ඉගැන්වීම් කටයුතු කළේය. එකල නගරයෙහි රදගුරු පදවිය දැරුවේ, දෙවියන් වහන්සේට ඉතාමත් ප්‍රියමනාප වූ පූජකයෙකු වූ ද, එහි ඉතාමත් යහපත් මිනිසුන් අතර ද විශිෂ්ට ලෙස පිළිගත් රදගුරු ඇම්බ්‍රොස් ය. රදගුරු අම්බ්‍රොස් දේවමාලිගාව තුළ දේව වචනය ගෙනෙන විට අනිත් අය අතර මෙම ඔගස්ටීන් කැපී පෙනුණේ ඉතාමත් ඕනෑකමින්ම එතුමන් නිතර නිතර ගෙන එන දේව වචනයට සවන් දී සිටින අයෙකු ලෙසටය. එතුමා යෞවන වියේ පසුවන කාලය තුලදී, රදගුරුවරයා කෙරෙහි ඇදී ගිය හෙයින් වෙන කිසිවෙකුට වඩා අවධානයෙන් සිටියේ මැනිකියානුවාදීන්ගේ දුර්මතයෙන් මුළාව සිටි ඔහු එයට සහය දක්වන පරිදි හෝ එයට විරෝධය පාන කිසිවක් තමාට අසන්නට ලැබේවි ද යන කාරණය නිසාය. එම අවස්ථාවේදී දෙවියන් වහන්සේගේ කරුණාවෙන් උන්වහන්සේට සේවය කරන මෙම රදගුරු තුමාගේ හදවත උන්වහන්සේ ස්පර්ශ කරමින් ව්‍යවස්ථාව වටා ගොනුවී තිබුණු ප්‍රශ්න රාශියකට විසඳුම ලබා දීමට අවස්ථාව දුන්සේක. එහෙයින් ඔගස්ටීන් තුමාගේ සිත තුළ කාවැදී තිබුණු එම වැරදි මතයන් දේව කරුණාව කරණකොටගෙන සම්පූර්ණයෙන් බැහැර විය. කතෝලික ඇදහීම තුළ ප්‍රතිස්ථාපිත වූ එතුමාට එයින් ඉගැන්වෙන දේවධර්මය තුළ ඉතාමත් නිවැරදිව බැඳී කටයුතු කරගෙන යාම සුදුසු යැයි බලවත් ආශාවක් සිතට ආවේය. ඉන්පසු පාස්කු මංගල්‍යය ළඟාවනවාත් සමඟම ශුද්ධ වූ දින පිළිපදින අවධියේදී එතුමා වතුර බව්තීස්මය ලැබුවේ ය. මේ සියල්ල ඔගස්ටීන් තුමන්ට ලබාගැනීමට හැකිවූයේ දේව අනුග්‍රහය තුළින් වූ අතර එතුමන් එම කටයුත්ත ඉටුකළේ ඉතාමත් උසස් සහ සත්කීර්තිමත් නායක දේවගැතිවරයෙකු වන ඇම්බ්‍රොස් රදගුරු තුමන් කතෝලික සභාව සහ දිව්‍යමය සක්‍රමේන්තු ගැන දේශනා කළ යහපත සලසන ධර්මයන් තුළිනි.

2 වනපරිච්ඡේදය

වයසඅවුරුදු 30 ඉක්ම වූ පසුව එතුමා සියල්ල අතහැර දමා දේවසේවය කිරීමට භාර ගනී.

එතුමා හැකිතාක් ඉක්මනින් තම මුළු හදවතින්ම සියලූ ලෞකික ආශාවන් අතහැර දමා භාර්යාවක් ගැන තවදුරටත් බලාපොරොත්තු නොතබා මාංසයෙන් බිහිකළ දරුවන් කෙරෙහි තවදුරටත් ආශාවෙන් උනන්දු නොවී, ලෞකික ධනය හෝ ගරුනම්බු ද නොතකා එම කැපවීම ඉටුකළේය. එතුමා මුළු සිතින්ම දෙවියන් වහන්සේගේ අනෙකුත් සාන්තුවරයන් සමඟ, “කුඩා රැළ බිය නොවන්න, ඔබට රාජ්‍යය දෙන්නට පියාණන් වහන්සේ සැදී පැහැදී සිටිනසේක. ඔබ සතු දේ විකුණා දන් දෙන්න, නොදිරන පසුම්බි ද නොපිරිහෙන වස්තු ද ස්වර්ගයෙහි සපයාගන්න”(ලුක් 12:32-33) යනුවෙන් උන්වහන්සේ පැවසු වදන් සිතෙහි තබාගෙන සේවයට කැපවිය. වෙනත් අවස්ථාවකදී දෙවියන් වහන්සේ පැවසු වදනක් මෙනෙහි කරමින්,තම ජීවිතය කැප කිරීමට මෙම උතුම් ශ්‍රද්ධාවත් පුද්ගලයා තීරණය කළේය. එම වදන නම් “ඔබ සර්ව සම්පූර්ණ වන්න කැමැත්තෙහි නම්, ගොස් ඔබ සතු සියල්ල විකුණා දිළිඳුන්ට දෙන්න, එවිට ස්වර්ගයෙහි ඔබට සම්පත් ඇතිවන්නේය. එන්න,මා අනුගාමී වන්න”ය (මතෙව් 19:21). එතුමා තම ජීවිතය ගොඩනැගීමට ආශා කළේ, ඇදහිල්ල නමැති අත්තිවාරම මත මිස, පිදුරු, ඉපනැලි මත නොවේ. ඇදහිල්ල නමැති අත්තිවාරම ශක්තිමත් වී තිබුණේ රත්තරං, රිදී සහ වටිනා මැණික් ගල් මතය. දැන් එතුමාගේ වයස අවුරුදු 30 ඉක්මවා ගොස් ඇති අතර, එතුමාගේ මව තවමත් ජීවත්ව සිටියේ ඔහු ගත් තීරණයක් වන දෙවියන් වහන්සේට සේවය කිරීම දරුමල්ලන් ගැන බලාපොරොත්තු ඇති කරගෙන ජීවත්වනවාට වඩා යහපත්ය යන තීරණය ගැන ප්‍රීතියෙන් කුල්මත් වෙමිනි. මේ වන විට ඔහුගේ පියා මියගොස් සිටියේය. තමා දෙවියන් වහන්සේට සේවය කිරීමට තීරණය කර ඇති නිසා වෙනත් ගුරුවරයෙකු සොයාගන්නා ලෙස එතුමා උගන්වමින් සිටි භාෂා ශාස්ත්‍ර සිසුන් දැනුවත් කළේය.

3 වන පරිච්ඡේදය

ශාන්ත ඔගස්ටීන් තුමා විශ්‍රාම ගැනීම.

එතුමාට දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ලැබුණු පසු,එතුමාණන් හා සේවය කළ තමාගේ අනෙකුත් අසැල්වැසියන් සහ මිතුරන් සමඟ එක් තීරණයකට පැමිණ, එතුමා උපන් රට වන අප්‍රිකාවේ තම නිවසට සහ භූමිය වෙතට නැවත ගමන් කර වසර තුනක පමණ කාලයක් එහි පදිංචි විය. අනතුරුව එතුමා තමන් සතුව තිබූ මේ සියල්ල අතහැර දමා, නිරාහාරව සිට යාච්ඤා කිරීමෙන් සහ යහපත් දේ කරමින් දවල් සහ රාත්‍රිය පුරා දෙවිඳුන්ගේ ව්‍යවස්ථාව ගැන භාවනාවෙහි යෙදෙමින්, දේව සේවයට කැපවුණු තම කණ්ඩායමේ අනෙක් අය සමඟ ජීවත් වන්නට පටන්ගත්තේය. යාච්ඤාවේ සහ භාවනාවෙහි යෙදී සිටින විට එතුමාට දෙවියන් වහන්සේ එළිදරව් කළ කරුණු තම දේශනා සහ ලියූ පොත්පත්වලින් තමා ඉදිරියේ පෙනී සිටින පුද්ගලයන්ට මෙන්ම සහභාගී වීමට නොහැකිවූ පුද්ගලයන්ට ද දැනගැනීමට සැලසුවේ ය.

මෙම කාලයේදී මෙවැනි දෙයක් ද සිදුවිය. ඇල්ජීරියාවේ හිපෝ රීජියස්හි “රාජ්‍ය කටයුතු විමසන නියෝජිතයන්”යනුවෙන් හඳුන්වනු ලැබූ නිලධාරියෙකු වූ, දෙවියන් වහන්සේට බියෙන් සේවය කළ යහපත් ක්‍රිස්තු භක්තිකයෙකුට ඔගස්ටීන් තුමාගේ ප්‍රසිද්ධිය සහ උගත්කම ගැන අසන්නට ලැබුණි. ඔහු ඉතා ආශාවෙන් එතුමා මුණගැසීමට බලා සිටියේය. ඔහු විසින්ම ප්‍රකාශයට පත්කර ඇත්තේ තමා ඔගස්ටීන් තුමාගේම මුවින් පිටවන දේවවචනය ඇසීමට තරම් වත් වටිනා පුද්ගලයෙකු නම්, තමාගේ සිත තුළ මෙලොව හා බැඳී තිඛෙන සියලූ රාගයන් සහ අනෙකුත් ආකර්ෂණයන් ඉවත්කර දැමීමට තමා සුදානම්ව සිටින බව ය. ඔගස්ටීන් තුමාට මෙම කාරණාව ඉතා විශ්වාසවන්ත මාර්ගයකින් දැනගන්නට ලැබුණු විගසම මේ ආත්මය මෙම අනතුරුදායක ජීවිතයෙන් ද සදාකාලික මරණයෙන් ද මුදවා ගැනීමට මහත් කැමැත්තක් දැක්වීය. එහෙයින් එතුමා සිය කැමැත්තෙන්ම තවත් ප්‍රමාද නොකර ඔහු මුණගැසීමට එම ප්‍රසිද්ධ නගරය කරා පිටත්විය. එහිදී ඔගස්ටීන් තුමාට ඔහු දැකගන්නට ලැබුණ අතර, නිරන්තරයෙන් අවවාදාත්මකව ඔහු දැනුම්වත් කළේ,දෙවියන් වහන්සේ කෙතෙක් දුරට මේ වන තුරු ඔහුට ආශීර්වාද කර තිබේ ද ඔහු දෙවිඳුන්ට වූ බාරය එලෙසම ගෙවිය යුතු බවයි. ඔහු එසේ කිරීමට දිනපතාම වාගේ පොරොන්දු වුවද ඔගස්ටීන් තුමා එහි රැඳීසිටි කාලය තුළදී එසේ ඉෂ්ට නොකළේය. එහෙත් එතුමා ස්වාමින් වහන්සේගේ පාවිච්චියට සුදුසු හා සියලූ යහපත් ක්‍රියාවන්ට සූදානම් කරනු ලැබ ගෞරවය සඳහා පාරිශුද්ධ කරනු ලැබූ ඔහු තුළින් සෑමතැනකම දේව පරිපාලනය කරණකොටගෙන අරමුණු ඉටුකරගත් නිසා මෙම අවස්ථාවේදී එතුමා නිෂ්ඵල සහ අසාර්ථක නොවූ බව නිශ්චිතවම කිවහැකිය.

4 වන පරිච්ඡේදය

එතුමා බලයෙන් පූජක තනතුරට පත්කරනු ලැබීම.

මේ වන විට හිපෝ නගරයෙහි කතෝලික සභාවේ රදගුරු වශයෙන් සේවය කළේ ශුද්ධ වූ වැලේරියස් තුමා ය. එහෙත් විනයානුගත පැවිදි ජීවිතවලින් ලබාගත හැකි අවශ්‍යතා දිනෙන් දින වැඩිවෙමින් පවතින නිසා එතුමා අනුශාසනා කරමින් දෙවියන් වහන්සේගේ සෙනඟගෙන් ඉල්ලා සිටියේ ඔවුන් අතරින් නගරය වෙනුවෙන් සේවයෙහි යෙදී සිටීමට පූජකයෙකු හස්තාලේප කර පත්කරන ලෙසයි. ඒ වනවිටත් ශුද්ධ වූ ඔගස්ටීන් තුමාගේ ජීවිතය සහ ඉගැන්වීම් ගැන පැහැදීමකට පත්වී සිටි කතෝලිකයෝ එම තනතුරට එතුමා ඉදිරිපත් කළහ. එතුමා අනෙක් අය අතරේ සුරක්ෂිතව ජීවත් වූයේ සිදුවන්නට යන්නේ කුමක් ද යන්නවත් නොදැනය. රදගුරුවරයෙකු නැති කිසිදු දේවස්ථානයකට යාමෙන් වළකින බව එතුමා ගිහියකුව සිටිය දී අප හට පැවසූවේය. එවැනි අවස්ථාවල චාරිත්‍රානුකූලව ඉටුකරන ආකාරයට ඔහු මත අත් තබා සියලූදෙනාම ඔහු ආලේප කරන ලෙස රදගුරු වෙතට ගෙනාවෝය. සියලූදෙනාම පොදු ඉල්ලීමක් ලෙස කළේ එම කාර්යය රදගුරු තුමා විසින් ඉටුකර දෙනු ලබන ලෙසය. ඔගස්ටීන් තුමා නිදහසේ කඳුළු සලමින් සිටින අතරතුර ඔවුන් මෙම ඉල්ලීම කළේ බලහත්කාරයෙන්,මහත් උද්යෝගයෙන් සහ කෑමොර ගසමිනි. ඒ අවස්ථාවේ තමා කඳුළු සැලූවේ තමාගේ උඩඟුකමට පහරක් වැදුණු බවට හැඟීමක් එතුමාට ඇතිවුණු නිසා යැයි සමහරු ප්‍රකාශ කළ බව එතුමා පසුව අපට පැවසූවේය. ඔවුහු එතුමන් සැනසීමට මෙන් කියා සිටියේ එතුමා මහත් ගෞරවයක් ලබන්නට සුදුසුව සිටිය ද පූජක තනතුර අඩුවන්නේ රදගුරු පදවියට වඩා අල්ප වශයෙන් බවය. එහෙත් මේ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා අපට පැවසූ ආකාරයට එතුමා හැඬුවේ සභාවට මගපෙන්වීමට හා පාලනය කිරීමට යෑමෙන් ඕනෑම මොහොතක සිය ජීවිතයට තර්ජනයක් විය හැකි භයානක අනතුරු ගැන එතුමාට වඩාත් හොඳින් අවබෝධවූ නිසා බවයි. කෙසේ හෝ ඔවුන්ගේ ආසාව ඔවුහු මුදුන්පත් කරගත්හ. 

5 වන පරිච්ඡේදය

එතුමා තාපසාරාමයක් පිහිටුවයි.

එතුමා සභාවෙහි වැඩිමහල්ලා ලෙස පත් කළ විගසම සභාව තුළ තාපසාරාමයක් ස්ථාපිත කර, ශුද්ධ වූ අපෝස්තුළුවරුන් විසින් පිහිටුවන ලද ආචාර විධි අනුව දෙවියන් වහන්සේගේ සේවකයන් සමඟ එහි ජීවත්වීමට පටන් ගත්තේය. මෙම සමාජය තුළ ප්‍රධාන නීතිය යටතේ කිසිවෙකුට තමාගේ කියා කිසිවක් අයිති කරගැනීම තහනම් කර තිබූ අතර සියල්ල පොදුවේ තබා එකිනෙකාගේ අවශ්‍යතාව අනුව ඛෙදාගත යුතුය. ඔගස්ටීන් තුමා ද මුහුදෙන් එතෙර සිට තම මවු රටට පැමිණීමෙන් පසු මෙම ක්‍රියා පිළිවෙළ අනුගමනය කළේය. එහෙත් එතුමා හස්තාලේප කළ දේව භය ඇති යහපත් මිනිසෙකු වූ ශුද්ධ වූ වැලේරියස් රදගුරු තුමා ඉතාමත් ප්‍රීතියට පත්වී දෙවිඳුන්ට ස්තූති කළේය. එතුමා පවසා සිටියේ දේව වචනය පිළිබඳ සිය යහපත් ඉගැන්වීම් මගින් ස්වාමින් වහන්සේගේ සභාව වර්ධනය කළ හැකි එවන් මිනිසෙකු දිව්‍ය ප්‍රතිපාදන තුළින් තමාට ලබාදෙන ලෙස නොකඩව එතුමා කළ යාච්ඤාවන් ස්වාමින් වහන්සේ අසා ඇති බවය. වැලේරියස් තුමා  උපතින්ම ග්‍රීක ජාතිකයෙකු වූ අතර ලතින් භාෂාව සහ සාහිත්‍යය ගැන එතරම් දැනීමක් ද නොතිබුණු බැවින් මේ සේවය කිරීමට තරම් හැකියාවක් එතුමාට නොතිබිණි. එහෙයින් මෙම රදගුරු තුමා තමා ඉදිරියේ සභාව තුළ ශුභාරංචිය දේශනා කිරීමට හා අප්‍රිකානු සභාවන්හි පුරුද්ද සහ චාරිත්‍රයන්ට පටහැණිව නිතර නිතර ප්‍රසිද්ධ සාකච්ඡා පැවැත්වීමට තම වැඩිමහල්ලාට අවසර දුන්නේය. මේ අවස්ථාවේ දී ඇතැම් රදගුරුවරු එතුමාට දෝෂාරෝපණය කරන්නට වූහ. එහෙත් මෙම ගෞරවනීය සහ ප්‍රඥාවන්ත මිනිසා පෙරදිග සභාවන්හි චාරිත්‍ර ගැන හොඳින් දැනසිටි නිසා එතුමා අරමුණු කරගත්තේ සභාවේ යහපත හා සුභසාධනය ගැන පමණී. එතුමා ගැන අගුණ කියන පුද්ගලයන්ගේ වචන ගැන එතුමා ගණනකට ගත්තේ නැත. එතුමාගේ පූජකයා වුවද එවැනි චෝදනාවක් එතුමාට විරුද්ධව එල්ල කළේ නම් ඔහුගේ රදගුරු තුමන් ලෙසට ඔහු ප්‍රතික්ෂේප කරනු ඇත. මෙසේ දැල්වෙමින් බැබළෙන ආලෝකය ඉටිපහන් කණුවක තබා තිබුණු අතර දේව ගෘහය තුළ සිටි සියලූදෙනාට එයින් ආලෝකය ලබා දුනි.  ඊට පෙර එතුමා ගත කළ ආදර්ශවත් ජීවිතය නිසා මේ ගත් පියවර ඉතා ශීඝ්‍රයෙන් පැතිර ගිය අතර වෙනත් පූජකවරු ද ඔවුන්ගේ රදගුරුවරුන්ගෙන් අවසර ලබාගෙන ඔවුන් අභියස සෙනඟට දේශනා කරන්නට පටන්ගත්හ.

6 වන පරිච්ඡේදය

මැනිකියානුවාදියෙකු වූ ‌ෆෝර්චුනාටුස් සමඟඔගස්ටීන් තුමාගේ ගැටුම.

මේ වන විට හිපෝ නගරය තුළ මැනිකියානුවාදීන්ගේ වසංගතය එහි පුරවැසියන් සහ අමුත්තන් යන දෙපිරිසගෙන්ම බොහෝ දෙනෙකු අතරට බෝවී තිබූ අතර එම දුර්ලබ්ධියේ පූජකයෙකු වූ එම නගරයේ විසූ ෆෝර්චුනාටුස් නමැත්තෙකු විසින් ඔවුන් රවටා නොමග යවනු ලැබ තිබිණි. මේ අතර හිපෝ නගරයෙහි වාසය කළ ක්‍රිස්තියානි පුරවැසියන් සහ අමුත්තන් යන දෙපිරිසම සහ කතෝලික සහ ඩොනාටියානුවන් ද ඔගස්ටීන් නමැති පූජකයා වෙතට පැමිණ එතුමාට මෙම මැනිකියානු පූජකයා ඉතා උසස්, උගත් කෙනෙකු ලෙස ඔවුන් පිළිගන්නා හෙයින්,නීතිය/ ව්‍යවස්ථාව සම්බන්ධව ඔහු සමඟ මුණගැසී තර්ක කරන ලෙසට බලපෑම් කළහ. එතුමා මෙම ආරාධනාව කිසිසේත් ප්‍රතික්ෂේප නොකළේය. එහෙත් ශුද්ධ ලියවිල්ලේ සඳහන් පරිදි “දෙවියන් වහන්සේ කෙරෙහි තිඛෙන බලාපොරොත්තුවත් ඇදහිල්ලත් පිළිබඳ ප්‍රශ්න කරන ඕනෑම කෙනෙකුට පිළිතුරු දීමට තමා සුදානම්ව සිටිය යුතු”[1පේදුරු 3:15-16]අතර එසේ කළ යුතු වන්නේ තමාට දැනටමත් ලබාදී ඇති පළුඳු නැති ධර්මය යොදාගනිමින් දේවවචනයට පටහැණිව කථාකරන අයට අනුශාසනා දීමෙනුත් ඔවුන් අදහස් කරන දේවල් වැරදි බව පෙන්වීමෙනුත් ය. එහෙත් එතුමා ස්ථීරව දැනගැනීමට කැමැත්ත පලකළේ ෆෝර්චුනාටුස් මෙම හමුවීමට එකඟ වේවිද යන කාරණයයි. කරුණු එසේ හෙයින් මේ සියලූදෙනා මේ බව ෆෝර්චුනාටුස් දැනුම්වත් කර, බලවත් පෙළඹවීමකින් යුතුව ඔහුගෙන් ඉල්ලා සිටියේ,කෙසේ හෝ ප්‍රතික්ෂේප නොකර ඔගස්ටීන් මුණ ගැසිය යුතුම බව ය. එහෙත් ෆෝර්චුනාටුස් කලින් වතාවකදී ශුද්ධ වූ ඔගස්ටීන් තුමා කාර්තේජ් හිදී මුණගැසුණු විට එතුමා ද එම වැරදි මතයම අදහමින් සිටි පුද්ගලයකු නිසා එතුමා මුණගැසීමට තැති ගත්තේය. එහෙත් ඔහු පසුපස සිටින සියලූ ඇදහිලිවන්තයන්, ඔහුට තද ලෙස බලපෑම් කිරීමෙන් ඔහු ලජ්ජාවට පත්කරන තත්වයකට ඇද ආ නිසා ඔගස්ටීන් තුමා මුහුණට මුහුණ ලා හමුවී වාද කිරීමට තමා ඉදිරිපත් වන බවට පොරොන්දු විය. ඔවුහු එසේ තීරණය කර එයට වෙන්කර ගත් ස්ථානයක යම් නියමිත වේලාවක, ඒ සම්බන්ධව ඉතා කුතුහලයෙන් සවන්දීමට බලාසිටි කණ්ඩායමක් ද සමඟ රැස්වූහ. වාර්තා කරන කණ්ඩායම් ඔවුන්ගේ සටහන් පොත් දිග හරින විට සාකච්ඡාව පළමු දිනම ආරම්භ විය. එහෙත් දෙවැනි දිනයේදීම එය අවසාන ද විය. වාර්තා වූ සටහන් තුළ අන්තර්ගත කරුණුවලට අනුව කතෝලික සභාව ඉදිරිපත් කරනු ලැබූ තර්ක වැරදි බව පෙන්වීමට එම මැනිකියානු ගුරුවරයාට නොහැකි වී ඇත. එපමණක් නොව ඔවුන් ඉදිරිපත් කළ මතයන් ද නිවැරදි පදනමක් මත ගොඩනැගුණු ඒවා බව ඔප්පු කිරීමට ඔහු අසමත් විය. මෙකී අවසාන පිළිතුර ලබාදීමට නොහැකි වූ නිසා තමාට නිවැරදි ලෙස ඔප්පු කර පෙන්වීමට නොහැකි වූ කාරණා ගැන තමාට ඉහළින් සිටින පුද්ගලයන් මුණගැසී සාකච්ඡා කරන බවත් එයින් ලැඛෙන පිළිතුරුවලින් ද තමා සෑහීමකට පත් නොවන්නේ නම්, තමාගේම ආත්මයෙහි සුභසාධනය ගැන සැලකිල්ලෙන් සිටින බවත් පැවසීය. එහෙයින් මුලදී ෆොර්චුනාටුස් ඉතා උසස් සහ උගත් කෙනෙකු ලෙස පිළිගත් සෑම දෙනාම ඔහුු ගැන දැන් සිතුවේ ඔහු තමාගේම නිකායවත් ආරක්ෂා කරගැනීමට නොහැකි පුද්ගලයකු බව ය. ඉතාමත්ම අවුල් සහගත තත්වයකට පැමිණි ඔහු තවත් ප්‍රමාද නොවී හිපෝ නගරයෙන් පිටත් වූ අතර නැවත කිසිම දිනෙක එහි නොපැමිණියේය. එහෙයින් මෙම අමතක නොවන දෙවියන් වහන්සේගේ සේවකයා මාර්ගයෙන් එවැනි විකල්ප ලබමින් සියල්ල තම සිත් තුළින් බැහැර කරගැනීමට සමත් විය. සාකච්ඡාවට නොපැමිණි සියලූදෙනාටම එහි ප්‍රතිඵල ගැන ආරංචි විය. ඉන්පසු කතෝලික සභාව සත්‍ය ආගම ලෙස ප්‍රකාශයට පත්කර උසස් ලෙස පිළිගනු ලැබිණි.

7 වන පරිච්ඡේදය

දුර්මතවාදීන් පවා ඉතා කැමැත්තෙන් කියවා බැලූ ඇදහිල්ලේ සතුරන්ට විරුද්ධව ඔගස්ටීන් තුමා ලියූ පොත් සහ නිබන්ධනයන්.

අප්‍රිකානු දුර්ලබ්ධීන්ට, විශේෂයෙන් ඩොනාටියවාදීන්ට,මැනිකියානුවාදීන්ට සහ දුර්මතවාදීන්ට එරෙහිව තමා ලියන ලද පොත්වලින් හා හිටිවනම කරන දේශනා තුළින් රහසිගතව සහ ප්‍රසිද්ධියේද නිවසේදී සහ සභාව තුළදී ද ඔගස්ටීන් තුමා සම්පූර්ණ නිසැකකම ඇතිව ගැළවීමේ පණිවිඩය දේශනා කළේය. කිතුනුවෝ නිශ්ශබ්දව නොසිට කිවනොහැකි ප්‍රීතියෙන් සහ ප්‍රශංසාවෙන් පිරී ඔවුන්ට හැකි සෑම තැනම එය පතළ කළෝය. එසේම අප්‍රිකාවේ කතෝලික සභාව එහි හිස ඔසවන්නට පටන් ගත්තේය. දුර්ලබ්ධීන්, විශේෂයෙන් අප්‍රිකානුවන් විශාල සමූහයකින් සමන්විත නැවත බව්තීස්ම කරන ඩොනාටියානුවාදී පක්ෂය ශක්තිමත් වන අතර එය දීර්ඝ කාලයක් මුළාවී, පීඩනයට පත්වී සහ මර්දනයට ලක්වී මුණින් තලාවී වැටී සිටියේය. දුර්ලබ්ධීහු පවා කතෝලිකයන් හා එක්රැස්වී ඒ පොත්වලට සහ නිබන්ධනයන්ට මහත් උද්යෝගයෙන් සවන් දුන්නෝය. ඒවා දෙවියන් වහන්සේගේ විස්මිත අනුග්‍රහයෙන් නිකුත්වී ඉදිරියට ගලා ගියේය. තර්කනයේ බහුලත්වයෙන් හා ශුද්ධ ලියවිල්ලේ අධිකාරිත්වයෙන් පිරී තිබිණි. එසේම අප්‍රිකාව මුළුල්ලේම මහිමාන්විත මූලධර්මය සහ ක්‍රිස්තුස් වහන්සේගේ ඉතාමත් මිහිරි රසය පැතිර යමින් විද්‍යාමාන වූ අතර මුහුදෙන් එතෙර දෙවියන් වහන්සේගේ සභාවලට දැනගන්නට ලැබී ප්‍රීති වූවෝය. එක් සාමාජිකයෙකු දුක්විඳින කල එය සමඟ සියලූ සාමාජිකයෝ දුක්විඳින්නාසේ එක් සාමාජිකයෙකු ගෞරව ලබන කල සියලූම සාමාජිකයෝ එය සමඟ ප්‍රීති සන්තෝෂ වෙති. 

8 වන පරිච්ඡේදය

වැලේරියස් තුමා ජීවත්ව සිටිය දී ම එතුමා තෝරාගනු ලැබ මෙගලියස් ජ්‍යෙෂ්ඨ රදගුරුතුමා විසින් හස්තාලේප කරනු ලැබීම.

එහෙත් මේ සම්බන්ධව අන් අයට වඩා ප්‍රීතියට පත්වූයේ ආශීර්වාදලත් වයස්ගත වූ වැලේරියස් තුමා වන අතර ඔගස්ටීන් තුමාට දෙවියන් වහන්සේ විසින් ප්‍රදානය කර ඇති විශේෂ ආශීර්වාදය ගැන එතුමා දෙවිඳුන්ට ස්තුති කළේය. එතුමන් ඉතා බියෙන් සිටියේ ඔගස්ටීන් තුමාට රදගුරු පදවිය පිරිනමා, එම තනතුර හිස්ව තිබෙන වෙනත් සභාවකට තමන් වෙතින් එතුමා ඇදගනීවි කියා ය. මනුෂ්‍යය ස්වභාවය ගැන වැලේරියස් රදගුරු තුමන් හොඳින් දැන සිටියේය. මෙය වළක්වා ගැනීමට කළ යුතු එකම දෙය වූයේ රදගුරු තුමන් විසින්ම එතුමා රහසිගත ස්ථානයකට ගෙන ගොස් සඟවා තබාගැනීම ය. එවිට එතුමා සොයන අනික් අයට එතුමා ගැන තොරතුරු ලබා ගැනීමට අපහසු වේ. මෙසේ ක්‍රියාත්මක නොවුවහොත් සිදුවීමට යන දෙය වළක්වා ගැනීමට කිසිසේත් බැරි බව රදගුරු වැලේරියස් තුමන් හොඳහැටි දැනගෙන කටයුතු කළේය. මෙම ගෞරවනීය වයස්ගත වූ රදගුරු තුමාටම තමා දැන් වයසට ගොස් ඇති බවත් ශරීරය ඉතා දුර්වල වී ඇති බවත් අවබෝධ වූ හෙයින් එතුමා සිටියේ සෑහෙන බියකිනි. එතුමා කාර්තේජ්හි රදගුරුතුමාට රහසිගතව ලිපියක් යැවීය. කාර්තේජ්හි රදගුරු අග්‍රරදගුරු තනතුර දැරූ පුද්ගලයෙකු විය. එම ලිපියේ සඳහන් වූයේ තමා ශාරීරිකව ඉතා දුර්වලතාවකින් පෙළෙන බවත්, තමා  වයසට ගොස් ඇති නිසාත් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටින්නේ ඔගස්ටීන් හිපෝහි කතෝලික සභාවේ රදගුරු තනතුරට හස්තාලේප කරන මෙන්ය. මෙය ක්‍රියාත්මක වුවහොත් එම අනුප්‍රාප්තික රදගුරුට,ඊළඟට හිස්වන රදගුරු තනතුරු ලබාගැනීමට නොහැකි වනු ඇත. එහෙත් ඔගස්ටීන්ට දැරිය හැකි වන්නේ සම-අනුප්‍රාප්තික රදගුරු තනතුර පමණි. එතුමාගේ සිතේ තිබුණු ආශාව සහ එතුමා බලාපොරොත්තු වූ දෙය එතුමාට සාර්ථක පිළිතුරක ආකාරයෙන් ලැබුණි. ඒ අනුව පසුව දිනකදී, එකල නියුමිඩියාවේ අග්‍රරදගුරු ලෙස සේවය කළ දැන් කලාමාහි රදගුරු තුමා වශයෙන් කටයුතු කරන මෙගලියස් තුමන් එතුමාගේ ආරාධනාව පිළිගෙන හිපෝහි දේවස්ථානයට පැමිණියේය. එහෙත් රදගුරු වැලේරියස් තුමා එම අවස්ථාවේදී කිසිවෙකු හෝ බලාපොරොත්තු නොවූ මෙම අලූත් ආරංචිය සහ තමා අරමුණු කළ කරුණ එතැනට පැමිණි සියලූ රදගුරුවරුන්ට දැන්වීය. එපමණක් නොව හිපෝහි සිටින අන් සැම පූජකයෙකුටම ද සෙනඟට ද ඒ බව දැන්වීය. මේ බව දැනගත් සියලූදෙනා ප්‍රීතිඝෝෂා පවත්වමින් එය එසේම සිදුවිය යුතු යැයි ප්‍රකාශ කරන අතරතුරදී මෙම පූජකයා, දේව සභාවේ චාරිත්‍රවලට පිටතින් ගොස් එම රදගුරු පදවිය ලබාගැනීමට තම අකමැත්ත ප්‍රකාශ කළේය. මක්නිසාද එතුමාගේ රදගුරු තුමා තවමත් ජීවතුන් අතර සිටී. එහෙත් මෙවැනි දේ අප්‍රිකාවේ හා මුහුදින් එතෙර තිබෙන සභාවන්හි ද සාමාන්‍යයෙන් සිදුවන බව උදාහරණ දක්වමින් ඔවුහු එතුමාට ඒත්තු ගැන්වූහ. බලවත් පෙළඹවීම් සහ බලපෑම් යටතේ ඔගස්ටීන් තුමන් එම අයට අවනත වී ඉහළ තනතුරට හස්තාලේපය ලබා ගත්තේය. පසු කාලයකදී ද එතුමා මුවින් ප්‍රකාශ කර සහ ලිඛිතව දන්වා සිටියේ එවැනි දෙයක් සිදුනොවිය යුතු බවයි. එතුමා හස්තාලේපය ලබාගත් පසු අධ්‍යයනය කළ අලූත් කාරණයක් වන්නේ ජගත් මන්ත්‍රණ සභා නීතිවලට අනුව එසේ පත්වීම් ලබාදීම තහනම් ලෙස සඳහන්ව ඇති බව ය. එතුමා මෙවැනි දෙයක් ගැන පසුතැවිල්ලට පත්වූ අතර තමා විසින් වෙන කිසිවකුට එවැනි දෙයක් නැවත නොකරන බවට තීරණය කර ගත්තේය. එහෙයින් රදගුරුවරුන් පාලනය වන තීන්දු ප්‍රකාශ කරන සභාවන් සියල්ලන්ගෙන්ම ඉතා උවමනාවෙන් ඉල්ලා සිටියේ පූජකවරුන්ට අදාළ වන සැම නීතියකම පදවිය ලබාගැනීමට ඉදිරිපත් වන රදගුරුවරුන්ට කලින් දන්වා සිටිය යුතු අතර දැනට හස්තාලේපය ලබා සිටින රදගුරුවරුන් ද ඒ බව දැනගෙන සිටිය යුතු බවයි. එය එසේම ක්‍රියාත්මක විය.

9 වන පරිච්ඡේදය

ඩොනාටියානුවාදීන් සමඟඑතුමා වාද කිරීම.

රදගුරුවරයෙකු ලෙස එතුමා සදාකාලික ගැළවීම ලබාදෙන වචනය දේශනා කළේ ඉමහත් උනන්දුවකින් සහ උද්යෝගිමත්ව සහ වඩාත් තදබල ආධිපත්‍යයකිනි. එතුමාගේ දේශනයන් පැවැත්වූයේ එක දිස්ත්‍රික්කයක් තුළ පමණක් නොව, එතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් එතුමාට ආරාධනා කළ සෑම තැන්හිම එතුමා දේශන පැවැත්වීය. එතුමා දෙවියන් වහන්සේ කෙරෙහි තබා ඇති ඇදහිල්ලට සහ බලාපොරොත්තුවට පසුබිම් වූ හේතුව ප්‍රකාශ කිරීමට සෑම කෙනෙකුම ඉදිරියේ, සෑම වේලාවකදීම සූදානම් වී සිටියේය. දෙවියන් වහන්සේගේ සභාව ඉතා ශීඝ්‍රව,ශක්තිමත්ව, වැජඹෙමින් වර්ධනය වීමට පටන් ගත්තේය. ඩොනාටියානු කණ්ඩායම් හිපෝ නගරය තුළ සහ අසල්වැසි නගර තුළ පදිංචිව සිටි බැවින් එතුමා ප්‍රකාශ කළ දේවල් සහ ලියූ දේවල් ඔවුන්ගේ රදගුරුවරුන් වෙත ඉදිරිපත් කළහ. ඔවුන් එම පණිවිඩවලට සවන් දුන්නේ නම් ඔවුන් ඒවාට පිළිතුරක් දෙන්නට හෝ නොදෙන්නට පුළුවන. එසේත් නැතිනම් ඔවුන්ගේම අනුගාමිකයන් විසින් ඔවුන්ට අභියෝග කරනු ලබනවා ඇත. එසේත් නොමැති නම් ඒවාට පිළිතුරු කෙලින්ම ශුද්ධ වූ ඔගස්ටීන් තුමාට ලැබෙන්නට සලස්වනු ඇත. එතුමා ඒවා නැවත විමසිලිමත්ව කියවා බැලූවේ ඉතාමත් ඉවසීමෙන් සහ ශාන්තභාවයෙනි (දේව වචනයේ ලියා තිබෙන පරිදි එතුමා භයෙන් සහ වේව්ලමින් ගැළවීම ලබාගැනීමට කටයුතු කළේය. එතුමා කළ ඉගැන්වීම් වැරදි යැයි කිසිම ආකාරයකින් එතුමාට අභියෝග කිරීමට කිසිවකුටත් හැකි නොවීය. එසේ හෙයින්, සභාව තුළින් හඳුන්වා දෙනු ලබන ධර්මය කෙතරම් නිර්මල ද, පැහැදිලිව අවබෝධ කරගත හැකිද යන්න පෙන්වීය). මේ සම්බන්ධව ඔගස්ටීන් තුමන් දිවා සහ රාත්‍රි කාලවලදී වෙහෙසට පත්ව කරුණු සොයා බැලීය. එතුමා ප්‍රමුඛ ස්ථානවල සිටි රදගුරුවරුන්ට සහ ගිහියන්ට පවා මෙම දෝෂ ගැන ලියුම් ලියා දැන්වීය. වැරදි තැන් පෙන්වා දෙමින්, අවවාද අනුශාසනා කරමින් එතුමා ඉතා ඕනෑකමින් කියා සිටියේ මෙම වැරදි ඉගැන්වීම් පසුපස තවත් නොගොස් අතහැර දමන ලෙසටත්, එසේත් නැතිනම් තමා සමඟ සාකච්ඡා කිරීමට හෝ පැමිණෙන ලෙසටත් ය. ඔවුන්ගේ විශ්වාසය මදිකම නිසා, ඔවුන් කිසිවිටෙක ඔගස්ටීන් තුමන්ට ලිඛිතව පිළිතුරු එව්වේ නැත. එහෙත් එතුමාට පිටුපසින් සහ ප්‍රසිද්ධියේ තද කෝපයෙන් ඔවුන් දිගටම කියා සිටියේ ඔගස්ටීන් යනු ආත්මයන් නොමඟ යවන සහ රවටන කෙනෙකු බවයි. ඔවුන් පෙන්වා දුන්නේ බැටළු රැළ බේරා  ගැනීමට වෘකයා මරා දැමිය යුතු බවයි. ඔවුන් තම අනුගාමිකයන්ට ඒත්තු ගැන්වීමට උත්සාහ කළේ,එසේ කිරීමට හැකි වන ඕනෑම කෙනෙකුට තමාගේ සෑම පාපයකටම දෙවියන් වහන්සේ සමාව ලබා දෙන බවයි. මේ අතරතුරදී ඔගස්ටීන් තුමා සැම දෙනෙකුටම පෙන්වාදීමට උත්සාහ කළේ ඩොනාටියානුවන්ට ඔවුන්ගේම විශ්වාසයන් පවත්වාගෙන යාමට තරම්වත් ආත්ම ශක්තියක් නැති බවයි. කෙසේ නමුත් මහජන සම්මන්ත්‍රණවලදී ඔවුන් ඔගස්ටින් තුමා සමඟ වාද විවාද කිරීමට සිටියේ පුදුම භයකිනි.

10 වන පරිච්ඡේදය

සර්කම්සෙලියන්වරුන්ගේ උමතුභාවය

ඩොනාටියානුවන්ගේ සැම දේව සභාවක් තුළම එක්තරා අසාමාන්‍ය අදහස් ඇති පිරිසක් සිටියහ. ඔවුන්ගේ ස්වරූපය ඉතාමත් අදම්‍ය සහ සාහසික වූ අතර ඔවුන් ක්‍රියාකළේ තමුන් කැපවී සිටින පිරිසක් ලෙසට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමිනි. ඔවුහු අනේක වශයෙන් සමුහයන් ලෙසට වෙන් වී, අප්‍රිකාවේ සැම ප්‍රදේශයකම විසිරී සිටියහ. ඔවුන් දිරිමත් කරනු ලැබුවේ නපුරු ගුරුවරුන්ය. ඔවුන්ගේ අහංකාරකමෙන් පිරුණු නිර්භීතකම සහ නීතිය අතට ගෙන කරන සැහැසිකම් නිසා, ඔවුහු තමන්ගේම කණ්ඩායම්වල හෝ අමුත්තන් හට කිසිම අවස්ථාවක් නොදී ඔවුන්ගේ අයිතිවාසිකම් සහ සාධාරණත්වය උල්ලංඝනය කර මිනිසුන්ගේ මානව අයිතිවාසිකම්වලට එරෙහිව කටයුතු කළහ. ඔවුන්ට කීකරු නොවුණහොත් ඉතා බරපතළ ඵල විපාක සහ තුවාළවීම්වලට මුහුණදීමට අන්‍යයන්ට සිදුවිය. ඔවුන්ගේ අත්වලට අවි ආයුධ හසුවූ විට ඔවුහු උමතුවෙන් මෙන් ගොවිපොළවල් හා වතුපිටි විනාශ කරමින්, මිනිස් ජීවිත පවා නැතිකරමින් ලේ වගුරුවමින් භයානක ලෙස ඉදිරියට ගමන් කළහ. ඉතා ඕනෑකමින් දේව වචනය දේශනා කරන අවස්ථාවන්හිදී සාමයට එරෙහිව කටයුතු කරන පුද්ගලයන්ට සාමයෙන් කාලය ගතකිරීමට යම් සැලසුමක් යෝජනා කරනවිට ඒ ගැන කථා කරන කවරෙකුට වුවද ඔවුහු සිත් සේ අඩන්තේට්ටම් කළහ. ඔවුන්ගේ ඉගැන්වීම්වලට පරස්පරව සත්‍ය කවරේද යන වග කෙනෙකුට අවබෝධ වුවහොත් එම පුද්ගලයන් එළිපිට ඔවුන්ගෙන් වෙන් වී යන්නේය. එසේත් නැතිනම් ඔවුන්ගේ මිත්‍රයන් හැකි තරම් ගණනක් එකතුකරගෙන රහසිගතව හෝ වෙන්වී යාමට දැරූ උත්සාහයන් හේතුකොට ගෙන සභාවට සාමය සහ එකමුතුබව අනුගත විය. මේ හේතුවෙන් ඔවුන්ගේ දුර්මතවාදී සභාවන් ක්‍රමයෙන් අඩුවී යන බව වටහා ගත් ඔවුන් ඉතාමත් දරුණු ආකාරයකට කුපිත වී ඔවුන්ට සහය දෙන අනෙකුත් පාක්ෂිකයන් සමඟ එකතු වී සභාවන්හි එකමුතුකම කෙලෙසා දමන්නට ඒවාට දරා ගත නොහැකි පීඩාවන් එල්ල කළහ. ඔවුහු දිවා කාලයේ ද රාත්‍රී කාලයේදී ද කතෝලික පූජකවරුන්ට සහ දේවගැතිවරුන්ට පවා පහර දීමට පටන්ගෙන ඔවුන් සතු සියලූ දේපල මංකොල්ල කෑහ. ඔවුහු ඉතා දරුණු වධහිංසා දී දෙවියන් වහන්සේගේ සේවකයන් බොහෝ දෙනෙකු අබ්බගාතයන් ද කළහ. සමහරුන්ගේ දෑස්වලට විනාකිරි සමඟ මිශ්‍රකළ හුනු විසි කළහ. සමහරුන් ඝාතනය කළහ. එහෙයින් මෙවැනි දුෂ්ට ආකාරවලින් නැවත බව්තීස්ම කරන ඩොනාටියානුවෝ අවසානයේදී ඔවුන්ගේම කණ්ඩායම්වලට අප්‍රසන්න වූහ.

11 වන පරිච්ඡේදය

ඔගස්ටීන් තුමා කරණකොටගෙන සභාවේ වර්ධනය.

දැන් දිව්‍ය ඉගැන්වීම් සඵලත්වයට පැමිණෙනවාත් සමඟම ශුද්ධ වූ ඔගස්ටීන් තුමා සමඟ සහ එතුමා යටතේ හිපෝ නගරයේ සභාවන් තුළ සේවය කළ පූජකවරු සහ තාපසාරාමයේ රැඳී සිටි අය හස්තාලේපය ලැබීමට පටන්ගත්හ. කතෝලික සභාවන් ඉගැන්වූ සත්‍ය වචනය, දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ දාසයන් ගත කළ ජීවිතය, ඔවුන් කැපවී සිටි ආකාරය සහ ගත කළ පහත්ම දුගී ජීවිත ගැන කොයි කවුරුත් වැඩි වැඩියෙන් දැනගන්නට පැමිණි අතර ඔවුහු දිනපතා එය සැමරුවෝය. සභාව එහි සාමය සහ එකමුතුකම රැකගැනීමට ශුද්ධ වූ සහ අමතක කළ නොහැකි මෙම ඔගස්ටීන් තුමා කරණකොටගෙන ආරම්භ කළ හා පවත්වාගෙන යෑමට සහ වර්ධනය වීමට සමත් වූ තාපසාරාමයෙන් රදගුරුවරුන් සහ පූජකවරුන් ලබාදෙන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලාසිටි අතර පසුව ඉල්ලීම සපුරන ලදි. එහි ශුද්ධ වූ සහ ගෞරවනීය, කැපවී සේවයෙහි යෙදී සිටින උගත් දාසයන් දහදෙනෙකු පමණ සිටි අතර විවිධ සභාවලින් කළ එම ඉල්ලීම ආශීර්වාද ලත් ඔගස්ටීන් තුමා සැපයුවේය. ඔවුන්ගේ ඇතැම් අය තවමත් ඉතාමත් ප්‍රසිද්ධියක් දරන අය වෙති. එයාකාරයෙන් සහයකත්වයෙන් එකමුතු වී සේවයෙහි යෙදෙන ශුද්ධ වූ මිනිසුන් හේතුකොට ගෙන දේව සභාව ද වර්ධනය විය. තාපසාරාම ද ක්‍රමයෙන් වැඩි වූ අතර දෙවියන් වහන්සේගේ වචනය අන්‍යයන් සමඟ බෙදාගැනීමට ඔවුන් තුළ ඇතිවූ උද්යෝගය ද වර්ධනය වූ හෙයින් වෙනත් සභාවල අවශ්‍යතාවන් සපුරාලීමට ඔවුහු තම සහෝදරත්වයෙන් සාමාජිකයන් පිටත්කර යැවූහ. ඔවුහු එම සභාවන් විසින් පූජකවරුන් ලෙස හස්තාලේප කරනු ලැබූහ. එහෙයින් මෙම යහපත සලසාදෙන ඇදහිල්ල, බලාපොරොත්තුව සහ සභාව තුළින් ගලා එන ප්‍රේමය බොහෝදෙනා අතර ප්‍රචලිත වූ අතර බොහෝ දෙනා දැනුම්වත් ද වූහ. මෙම ව්‍යාප්ත වීම සිදුවූයේ අප්‍රිකාවේ සෑම ප්‍රදේශයක් තුල පමණක් නොව, මුහුදින් එතෙර රටවල ඇති සභාවන්හි ද දැකගත හැකි විය. බොහෝ අවස්ථාවන්හිදී එම ශුභාරංචි පණිවිඩය වෙනත් රටවල පැතුරුණේ ග්‍රීක භාෂාවට පරිවර්තනය කළ මුද්‍රිත පොත් මාර්ගයෙනි. එසේ එක පුද්ගලයෙකුගෙන් පටන්ගෙන ඔහුගෙන් බොහෝ දෙනෙකුට ද අනතුරුව දෙවියන් වහන්සේගේ අනුග්‍රහය තුළින් දේව වචනය ගැන මහජනයා දැනුවත් කිරීමට ද සමර්ථ විය. එහෙයින් දේව වචනයෙහි ලියා ඇති පරිදි, “අධර්මිෂ්ඨයා එය දැක ශෝකයට පත්විය. ඔහු දත්මිටිකමින් නැති වී ගියේය.”නමුත් ලියා ඇති පරිදි ඔබගේ දාසයන් සාමය පසුපස ගිය අතර, එයට විරෝධය පෑ අය සමඟ ද සාමය පැතූහ. එහෙයින් ඔවුන් කෙතරම් හරහට සිටියත් සිය කැමැත්තෙන් ඔවුන් තමන් යටතට ගෙන ආවේය.

12 වන පරිච්ඡේදය

තම මගපෙන්වන්නාගේ අත්වැරදීමකින් තමාට එරෙහිව පැවති සැඟව සිට පහරදීමකින් ඔගස්ටීන් තුමා බේරීයයි.

බොහෝ අවස්ථාවන්හිදී මෙම සර්කම්සෙලියන්වරුන් ඔගස්ටීන් තුමාට පවා පහර දීමට ආයුධ සන්නද්ධව මාර්ගවල රැක සිටියහ. මක්නිසාද අවස්ථාවක් ලැබුණු වහාම එතුමා නිතරම කතෝලික ඇදහිලිවන්තයන්ට උපදෙස් දීමට සහ අනුශාසනා කිරීමට පැමිණෙන ලෙසට ඔවුන් ඉල්ලීමක් කළ විට පිටත් විය. එක්තරා අවස්ථාවකදී ඔවුන් තම සම්පූර්ණ බලය යොදාගනිමින් මග රැඳී සිටිය ද ඔවුන්ට එතුමන් තම උගුලට අසුකර ගැනීමට නොහැකි විය. එතුමාට මගපෙන්වූ තැනැත්තාගේ අත්වැරදීමකින් හෝ වෙනත් ලෙසකට කියතොත් දෙවියන් වහන්සේගේ ආරක්ෂාවෙන් එදින ඔගස්ටීන් තුමා සහ එතුමාගේ ගෝල පිරිස යායුතු ස්ථානයට පැමිණියේ වෙනත් මාර්ගයකින් ය. පසුව එතුමාට ආරංචි වූ ආකාරයට මෙම වරද නිසා ඔවුන් සර්කම්සෙලියන්වරුන්ගේ අධර්මිෂ්ඨ දෑත්වලින් ගැලවී ගමන් කර ඇත. ඔවුහු සියලූදෙනාම එකතුවී ඔවුන් මුදවා ගත් දෙවිඳුන්ට ස්තුති කළහ. ප්‍රසිද්ධ වාර්තාවලට අනුව ඔවුන්ගේ චාරිත්‍රවලට අනුව ගිහියන්ට හෝ පූජකයන්ට වුවද ඔවුන්ගෙන් කිසිම සමාවක් නොලැබේ.

දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා මහත් බලවත් උනන්දුවකින් ක්‍රියා කළ මෙම පුද්ගලයා විසින් අත්පත් කරගන්නා ලද දේවල් ගැන, විශේෂයෙන් මෙවැනි අවස්ථාවලදී අප නිහඬවී නොසිටිය යුතුය. ඔහු දේව සභාව තුළ මහත් ඉහළින් පිළිගත් පුද්ගලයෙකු වූ අතර  ඉහත සඳහන් කළ “නැවත බව්තීස්මය”කිරීම වැනි මිථ්‍යාවන් ඇදහූ ඩොනාටියානුවන්ට විරුද්ධව නැගී සිට එතුමන් මහත් උද්යෝගයකින් දේව සභාව ආරක්ෂා කළේය. එක් වතාවකදී එතුමා යටතේ පැවති කලාමාහි දේව සභාවෙහි රදගුරු වසමට එතුමාගේ තාපසාරාමයෙන් රදගුරු කෙනෙකු සහ පූජකවරුන් පිටත් කර යැවූ විට මෙවැනි අවාසනාවන්ත සිද්ධියක් ඇති විය. එම රදගුරු තුමා දේව සභාවේ සාමය ආරක්ෂා කිරීම උදෙසා දුර්මතයට විරුද්ධව තමා ඉගෙන ගත් කරුණු උපයෝගී කරගෙන විවේචනය කළේය. ඔවුන් ගමන් කළ අතරමගදී මෙම සර්කම්සෙලියන්වරුන්ගේ උගුලකට  ඔවුන් අසුවිය. එහෙත් එකී රදගුරු තුමන් තමාගේ සගයන් සමඟ පණ බේරාගෙන එතැනින් පැන ගත්තේය. එහෙත් ඔවුන් සතු සියලූ සතුන් සහ බඩු බාහිරාදිය ඔවුන් විසින් මංකොල්ලකනු ලැබිණි. එපමණක් නොව ඔවුන්ට තද බල ලෙස පහරදෙමින් දරුණු ලෙස තුවාල ද සිදු කළහ. කෙසේ හෝ සභාවේ වර්ධනය සහ සාමයට ඇතිවූ බාධාවන් නිහඬව පැත්තකට වී බලා නොසිට සභාව ආරක්ෂා කිරීමට කැපවු මෙතුමා නීති මාර්ගයට පිවිසියේය. කලාමා ප්‍රදේශයේ පිහිටි නගරයෙහි ඩොනාටියානුවන්ගේ රදගුරුවන, වරක් උගතෙකු ලෙස පිළිගත් ක්‍රිස්පයිනස්ට මෙසේ තරයේ අවවාද කරනු ලැබුවේ දුර්ලබ්ධීන්ට  විරුද්ධව පනවා ඇති සිවිල් නීතිවලට අනුව ඔහු වරදකරු බව නැවත සනාථ වුවහොත් වන්දි වශයෙන් ගෙවීමට ඔහුට සිදුවන්නේ රත්තරන් ආශ්‍රිතයෙන් බවයි. ඔහු එම නීතිවලට විරෝධය පා ඇති හෙයින් ආණ්ඩුකාරයා ඉදිරියට ගෙනා කල පැවසුවේ ඔහු දුර්මතධාරියෙකු නොවන බවයි. 

එම අවස්ථාවේදී සභාව වෙනුවෙන් පෙනී සිටි ආරක්ෂකයා වු ඔගස්ටීන් තුමා පසු බැසීමට තීරණය කළහොත් ඔහු වෙනුවෙන් වෙනත් කතෝලික රදගුරු තුමකු ඉදිරිපත් වී, ඔහු මිථ්‍යාලබ්ධිකයකු නොවන බවට කළ ප්‍රකාශය අසත්‍ය බවත් ඔහු වරද පිළිගත යුතු බවත් ඒත්තු ගැන්වීමට අවශ්‍ය විය. ඔහුගේ කුහක උත්සාහය සාර්ථක වූයේ නම්, ඔහු කතෝලික රදගුරු කෙනෙකු ලෙස නූගත් ඇදහිලිවන්තයන් අනිවාර්යෙන්ම පිළිගනු ඇත. එවැනි දෙයක් මඟ හැරීමෙන් සිදුවන්නේ දුර්වල කතෝලිකයන් ඉදිරියේ ඔවුන්ගේ ගමනට බාධාකරන දෙයක් තැබීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීමයි. එහෙයින් සත්කීර්තිමත් ඔගස්ටීන් රදගුරු තුමා ඉතා දැඩි ලෙස ඒ වෙනුවෙන් පෙනී සිටීමට තීරණය කළේය. කලාමා හි රදගුරුවරුන් දෙදෙනාම සාකච්ඡා කිරීමට මුණගැසුණි. තුන් වැනි වතාවටත් ඔවුන්ගේ වෙනස් ආකාර නිකායන් ගැන කලහයන් ඇති විය. මේ අතරතුරදී කාර්තේජ් නුවර ක්‍රිස්තු භක්තිකයන් විශාල සංඛ්‍යාවක් සහ අප්‍රිකාව පුරා පැතිර සිටි අන් ඇදහිලිවන්තයෝ ද එම නඩු විවාදයේ ප්‍රතිඵල දැනගැනීමට පුල පුලා බලා සිටියහ. ආණ්ඩුකාර තුමා විසින් ක්‍රිස්පිනස් දුර්මතධාරියෙකු ලෙස ඔප්පු කරන ලැබූ අතර ඔහුට දඩය ගෙවීමට නියම කළේය. එහෙත් කතෝලික රදගුරු තුමන් මැදිහත් වී දඩය රත්තරන්වලින් අය නොකරන ලෙසට ඉල්ලීමක් කළේය. එතුමා කළ ඉල්ලීමට ආණ්ඩුකාරතුමා කැමැත්ත දුන්නේය. එහෙත් කෙළෙහි ගුණ නොදන්නා ඩොනාටියානු රදගුරු තුමා ඉතාමත් කාරුණික රාජකුමාරයා වෙත ද අභියාචනයක් ඉදිරිපත් කළේය. එයට අවසාන තීන්දුව බලාපොරොත්තු වූයේ අධිරාජයා වෙතිනි. ඒ අනුව ඔහු  නියෝග කළේ ඩොනාටියානු දුර්මතධාරීන්ට කිසිම අවස්ථාවකදී මොනම අයිතිවාසිකමක් හෝ නොතිබෙන බවත් දුර්මතධාරීන්ට විරුද්ධව පනවා තිබෙන සෑම නීතියකටම ඔවුන් යටත් වන බවත් ය. මෙම නියෝගය මත ඩොනාටියානු රදගුරු තුමාගේ විනිශ්චයකාර තුමා ඇතුළු උසාවියේ සියලූ නිලධාරීන්ට සහ ක්‍රිස්පයිනස්තුමාට ද භාණ්ඩාගාරයට රත්තරං රාත්තල් 10ක් වන්දි මුදලක් ලෙස ගෙවීමට නියම වුණි. ඒ සමඟම තවත් ප්‍රමාද නොවී, විශේෂයෙන් ඔගස්ටීන් තුමා ඇතුළු කතෝලික රදගුරුවරුන් සියලූදෙනා රැස්වී උත්සාහ කළේ, මෙසේ සියලූදෙනා අන්‍යයන් ඉදිරියේ හෙළා දැකීමට පත්වූ තත්වය අධිරාජයා විසින්ම විසඳා දමන ලෙසටය. දෙවියන් වහන්සේගේ කරුණාවෙන් එය ද එසේම ඉටු විය. මෙසේ අවධානයෙන් සිට දිව්‍යමය ලෙස උද්යෝගිමත් වීම හේතුකොට ගෙන දේව සභාව වර්ධනය විය.

13 වන පරිච්ඡේදය

ඔගස්ටීන් තුමා කරණකොටගෙන සභාවට සාමය ලැබීම.

ඔගස්ටීන් තුමන් සභාවට සාමය ගෙන ඒම සඳහා ඉතා වෙහෙස වී කටයුතු කළ අතර දෙවියන් වහන්සේ එතුමාට මෙලොවදීම අත දිගුකර එතුමා වෙනුවෙන් උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නමැති ඔටුන්න වෙන්කර තැබූසේක. දේව සභාවේ සහෝදරත්වය ලෙස සැලකෙන සමාදානයේ එකමුතුකම ක්‍රිස්තුස් වහන්සේගේ මැදිහත්වීම තුළින් දිනෙන් දින වර්ධනය වී බහුල විය. මෙය විශේෂ ආකාරයකට දියුණු කරනු ලැබුවේ මද කලකට පසු කාර්තේජ් හි සියලූ කතෝලික රදගුරුවරුන් සහ ඩොනාටියානු නිකායට අයත් එම රදගුරු කණ්ඩායම සමඟ පැවති සම්මන්ත්‍රණයෙන් අනතුරුව ය. එය පැවැත්වීමට අණ ලැබුණේ ඉතාම මහිමවත් සහ භක්තිමත් කෙනෙකු ලෙස කවුරුත් දන්නා ඔනෝරියස් අධිරාජයාගෙන්ය. මෙය සාර්ථකව පැවැත්වීම සඳහා ඔහුගේම රාජ සභාවේ නිලධාරියෙකු සහ නොතාරිස්වරයෙකු වූ මාසිලිනස් නමැත්තා එහි විනිශ්චයකාර තුමා ලෙසට පෙනී සිටීම සඳහා අප්‍රිකාවට පිටත් කළේය. මෙම සම්මන්ත්‍රණයෙහිදී කතෝලිකයෝ ඔවුන් ගමන් කරන මාර්ගය දුර්ලබ්ධික මාර්ගයක් ලෙස පෙන්වා දීමෙන් හා ඔවුන් වරදකරුවන් බව ඔවුන්ටම ඔප්පුකර පෙන්වා දීමෙන් ඔවුන් සම්පුර්ණයෙන් නිහඬකළහ. විනිශ්චයකාර තුමාගේ තීන්දුවට අනුව ඔවුන්ට තදින් අවවාද කෙරිණි. ඔවුන් අභියාචනයක් ඉදිරිපත් කළ පසු මෙම අධර්මිෂ්ඨ පිරිස දුර්මතධාරීන් ලෙසට ද අපවාදයට පත්විය. එම අවසාන තදබල නියෝගය ඉදිරිපත් කරන ලද්දේ ඉතාමත් දැහැමි එම පාලකයාම විසිනි. මෙම කාරණය මුල් කරගෙන ඔවුන්ගේ රදගුරුවරු තම පූජකවරු ද කැටුව මහත් ආශාවෙන් අපගේ නිකාය සහ කතෝලික සාමය රකිමින් පවත්වාගෙන ගියහ. ඒ අතරතුරේදී මුහුණ දීමට වූ  පීඩාවන් නිසා සමහරෙකුට ජීවිත සහ අත් පා ද අහිමි විය. මෙම යහපත් උත්සාහය ආරම්භ කළේ ද කෙළවර කළේ ද මා පැවසු ආකාරයට ඒ ශුද්ධ වූ මිනිසා විසින්ය. අපගේ සහෝදර රදගුරුවරු එයට අනුමැතිය ලබා දී එකා මෙන් සතුටට පත්වුහ.

14 වන පරිච්ඡේදය

එමිරිටස් නමැති ඩොනාටියානු රදගුරු යටත් කිරීම.

එහෙත් මෙම ඩොනාටියානුවන් සහභාගී වූ සම්මන්ත්‍රණය අවසන් වූ පසුව වුවද සමහර ඩොනාටියානු පාක්ෂිකයන් ප්‍රකාශ කළේ ඔවුන්ගේ නිකායේ රදගුරුවරුන්ට නිදහසේ තමාට අවශ්‍ය පරිදි අදහස් ප්‍රකාශ කිරීමට නඩුව ඇසූ විනිශ්චයකාර තුමා ඉඩ නොදුන් බවයි. ඔවුන් කියා සිටියේ විනිසුරු තුමා කතෝලික සභාවට අයත් කෙනෙකු නිසා ඔහු අයිති සභාවට පක්ෂපාතීව තීරණ ගත් බවයි. එහෙත් ඔවුන් මෙවැනි නිදහසට කරුණු පෙන්වූයේ කාර්තේජ් හිදී පැවති සම්මන්ත්‍රණයෙන් ඔවුන් පරාජයට පත්වූ පසුවය. මක්නිසාද මෙම සම්මන්ත්‍රණය පැවැත්වීමට පෙර එතුමන් කතෝලික නිකාය අදහන කෙනෙකු බවත් ඔවුන්ට ආරාධනා කළේ මහජනයා ඉදිරියේ විවාදයකට බවත් හොඳින්ම දැන සිට එයට එකඟ විය. ඇත්ත වශයෙන්ම ඔවුන්ට සැකයක් තිබුණේ නම් එයට සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීමට ඔවුන්ට ඉඩ ප්‍රස්ථාව තිබුණි. එහෙත් දෙවියන් වහන්සේගේ උපකාරය ඔගස්ටීන් තුමන්ට එළිදරව් විය. එතුමන් මොරිටේනියාවේ කායිසාරියා නුවර ටික දිනක් නැවතී සිටින අතරතුරදී සභාවේ සිටින අනෙකුත් රදගුරුවරුන් මුහුණ පා ඇති ගැටලූ විසඳීමට තමා ඉදිරිපත්වීම අත්‍යවශ්‍යම නොවන බව දන්වා අපෝස්තලික පීතෘ රදගුරු තුමන්ගෙන් එතුමාට ලිපි ලැබුණි. සියල්ල සිදුවිය යුතු ආකාරයට ඔගස්ටීන් තුමාට එමිරිටස් නමැති ඩොනාටියානුවන්ගේ රදගුරුවරයා මුණගැසුණේ මේ අවස්ථාවෙහිදීය. සම්මන්ත්‍රණයේ දී ඔහු හඳුනාගනු ලැබුවේ එම නිකාය ආරක්ෂා කිරීමට එය වෙනුවෙන් පෙනී සිටින චරිතය වන බවයි. ඔහු සමඟ පල්ලියේ දී සියලූදෙනා ඉදිරිපිට විවිධ නිකායන්ට අයත් සෙනඟ ඉදිරියේ ඔගස්ටීන් තුමා අදහස් හුවමාරු කරගත්තේය. ඔගස්ටීන් තුමා ඔවුන්ට අභියෝග කළේ සභාවේ නිල ලේඛන මතය. එහෙයින් එමිරිටස්ට තම සිහියට ආ පමණින් සම්මන්ත්‍රණය පවතින අතරතුරේ දී කිසිවක් පැවසීමට අවසර නොලැබුණි. එහෙත් දැන් ඔහුට ආරක්ෂා සහිතව කිසිම නඩුකාරයෙකුගේ ඇඟිලි ගැසීම් හෝ අඩන්තේට්ටම්වලට බිය නොවී තමා සිටින නගරය තුළම සිට තම නිකායේ ආරක්ෂාව වෙනුවෙන් නිදහසේ තමාගේම රටේ පුරවැසියන් ඉදිරිපිට දැඩි ආත්ම විශ්වාසයකින් තම නිකාය රකිමින් කථාකිරීමට නිදහස තිබේ. කෙසේ නමුත් මෙවැනි උනන්දු කිරීමක් සහ තම දෙමාපියන්ගේ සහ නගරවැසියන්ගෙන් කන්නලව් කිරීමක් තිබුණ ද ඔහු අවනත නොවීය. ඔවුන් දිගින් දිගටම කියා සිටියේ ඔවුන් ඔහුගේ සභාව නැවත පිළිගන්නා බවයි. එසේ කළහොත් ඔවුන්ගේ දේපළ සහ ලෞකික සුභසාධනය පවා නොලැබී යා හැකි බව ඔවුන් දැන සිටියත් කළ එකම ඉල්ලීම වූයේ ඔහු කතෝලිකයන් සමඟ වාද විවාදවලට සහභාගී නොවන ලෙසටයි. එහෙත් කැමැත්තක් දැක්වූයේ ද නැත. එහෙත් පැවති වාර්තාවලට ඔහුට යමක් එකතුකිරීමට වුවමනාවක් හෝ හැකියාවක් නැති බව ද ඔහු දැන සිටියේය. ඔහු පැවසූ එකම දෙය නම් කාර්තේජ් හි සිටින රදගුරුවරුන් පිළියෙල කර ඇති එම වාර්තාවලින් ඔප්පු කර පෙන්වීමට හැකි වන්නේ අප ජයග්‍රහාකයන් ද නැතිනම් පරාජිතයන් ද යන කාරණයයි. තවත් වතාවකදී වාර්තාකරුවෙකු පිළිතුරක් ලබාදෙන ලෙසට ඔහුට පෙළඹවීමක් කළ විට ඔහු කථාකර නැවත නිහඬවිය. ඔහු දැන් සිටින ස්ථානය කවරාකාරදැයි ඔහුගේ වික්ෂිප්ත භාවයෙන් හඳුනාගත හැකි විය. අනෙක් අතට පෙන්නුම් කළේ දෙවියන් වහන්සේගේ සභාව ශක්තිමත්ව වර්ධනය වන ආකාරයයි. ඔගස්ටීන් තුමාගේ උද්යෝගිමත්භාවය සහ ඔහු වෙහෙස වූ ආකාරය දැනගැනීමට කැමති ඕනෑම කෙනෙකුට මෙම වාර්තාවන් කියවා බැලිය හැකිය. ඔගස්ටීන් තුමා ඔහු ඇවිස්සීමට, දිරිගැන්වීමට හෝ මෙම උගත් සත්කීර්තිමත් කථාවෙහි දක්ෂ පුද්ගලයාට තම නිකාය රැක ගැනීමට ඕනෑම දෙයක් පැවසීමට ඉඩ ප්‍රස්ථාව දුන් නමුත් අවසාන නිගමනය ලෙසට දැකගත හැකි වන්නේ එමිරේටස් පරාජිත වූ බවයි.

15 වන පරිච්ඡේදය

ඔගස්ටීන් තුමාගේ දේශනාවක මාතෘකාවෙන් පිට පැන්න අවස්ථාවක එයින් ඇදහිලිවනතයෙකු වූ වෙළෙන්දෙකු වන ෆර්මුස්.

දිනක් හිපෝ හි දේව සභාවේ ශුද්ධ වූ ඔගස්ටීන් තුමා සමඟ එකට ජීවත් වන අප සහෝදර පිරිස සහ දේව සේවකයන් මේසයක් වටා හිඳගෙන සිටින විට එතුමා මෙසේ ප්‍රශ්නයක් ඇසුවේය: “අද මම පල්ලියේ දේශනා කරන විට, මගේ සාමාන්‍ය චාරිත්‍රයට පටහැණිව මා දේශනාව අවසන් කළේ පටන්ගත් මාතෘකාවට පරස්පර විරෝධීව බව ඔබට තේරුම් ගියේ නැද්ද? මම ආරම්භයේදී ගෙනහැර පෑ දෙය පැහැදිලි කිරීමෙන් දේශනාව අවසන් නොකර එය දෙගිඩියාවෙන් අවසන් කළා.”අපි එයට පිළිතුරු දෙමින් “ඔව් අප ඒ බව දැනගත්තා. මතක හැටියට ඒ මොහොතේදී අපටත් පුදුම හිතුණා”යි පැවසීමු. එවිට එතුමා මෙසේ කීවේය: “මා සිතන විදියට දෙවියන් වහන්සේගේ සැලැස්මට අනුව අපේ අමතක වීම් සහ අතපසු වීම් පවා උන්වහන්සේ යහපත් අතට හරවනවා ඇත. මෙම අවස්ථාවේදී කවුරුන් හෝ මංමුළාවී සිටින පුද්ගලයෙකුට අප තුළින් කථාකොට ඔහුට නිවැරදි මග පෙන්වා සුවකිරීමට පියවර ගෙන ඇත. මකින්සාද අප සියල්ලන් සිටින්නේ උන්වහන්සේගේ අත් මතය. ඒ ලෙසම අප උච්චාරණය කරන සැම වචනයක්ම උන්වහන්සේ එසේ පැවසීමට සකස් කළ, මුල සිටම සූදානම් කළ වචන වේ. මා දේශනා කිරීමට සූදානම් වූ ප්‍රශ්නය ගැන නැවත හැරී විමර්ශනය කරන විට මට පෙනී ගියේ මා විෂයයෙන් පිටතට ගොස් වෙනත් දෙයක් මතුපිටට ඇද දමා ඇති බවයි. මා කීමට සූදානම් වූ දෙය කියා නිම කරනවා වෙනුවට මගේ දේශනය අවසන් කර තිබුණේ මැනිකියානු කණ්ඩායමේ වැරදි මාර්ගයන් ගැන හාරා අවුස්සා ඔවුන්ට දොස් පැවරීමෙනි. මම ආරම්භයේදී ඔවුන් ගැන කිසිවක් සඳහන් කිරීමට තීරණය නොකළෙමි. මට ඕනෑ කර තිබුණේ මා සාකච්ඡා කිරීමට සූදානම් කරගෙන තිබූ දේ පැහැදිලි කිරීමට පමණි.”මේ සියල්ල කථාබහ කරමින් සිහියට නංවමින් ගතවූයේ දින 2ක් පමණී. පසුවදා හෝ ඊටත් පසු දිනයේදී ශුද්ධ වූ ඔගස්ටීන් අසුන් ගෙන සිටි තාපසාරාමයට ෆර්මුස් නමැති එක්තරා වෙළෙන්ඳෙකු පැමිණියේය. ඔහු අප ඉදිරියේම ඔගස්ටීන් තුමන් අභිමුවේ දණින් වැටී, බිම වැතිර කඳුළු සලමින් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටියේ එතුමන් සහ සිය ශුද්ධ සහකරුවන් ඔහුගේ පාප වෙනුවෙන් දෙවිඳුන්ගේ සමාව ඉල්ලාසිටිමින් මැදිහත් වන ලෙසටයි. ඔහු පාපෝච්චාරණය කරමින් කියා සිටියේ තමා මැනිකීයවරුන්ගේ නිකායේ සෑහෙන කාලයක් සිටි කෙනෙකු බවයි. ඔහු නිකරුණේ මැනිකීයවරුන් වෙනුවෙන් සෑහෙන මුදලක් වියදම් කර ඇත. ඔවුන් තම කණ්ඩායම හඳුන්වාදෙන්නේ තෝරාගත් සෙනඟ ලෙසටය. එහෙත් මෑතදී දේව කරුණාව හේතුකොටගෙන ඔගස්ටීන් තුමන්ගේ දේවස්ථානයට පැමිණි ඔහු එතුමාණන්ගේ මුවින්ම දේව වචනය අසන්නට ලැබුණ අවස්ථාවකදී තෘප්තියට පත්ව කතෝලික ආගම පිළිගත්තේය. එම මොහොතේ ඔගස්ටීන් තුමා සහ අප සියල්ලන් ඔහුගෙන් ඉතා කුතුහලයකින් ප්‍රශ්න කළේ “තමා වැරදි බව තමාගේම සිතට තට්ටුකරනු ලැබුවේ එම දේශනයේ කුමන දෙයක් ගැන එතුමන් පවසන විටද?”යනුවෙනි. එවිට ඔහු සියල්ල අප හට කීවේය. එවිට එදා කළ දේශනය මුල සිට අගට අපට ද නැවත කළේය. ආත්මයන් ගළවා ගැනීම සඳහා උන්වහන්සේ යොදා ගන්නා විස්මිත සැලසුම් ගැන අපි පුදුමයට හා විස්මයට පත්වීමු. අපි උන්වහන්සේගේ ශුද්ධ වූ නාමය මහිමයට පත් කරමින් ආශීර්වාද කළෙමු. උන්වහන්සේ කැමති අවස්ථාවට, උන්වහන්සේ කැමති වන පුද්ගලයා තුළින් ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්ව උන්වහන්සේ කැමති ක්‍රමයෙන් ආත්ම ගැළවීමට ක්‍රියාකරන සේක. එම මොහොතේ සිට ෆර්මුස් දෙවියන් වහන්සේගේ අනෙකුත් දාසයන් මෙන් උන්වහන්සේට ජීවිතය භාරදී කටයුතු කිරීමට පටන්ගත්තේය. ඔහු වෙළෙන්ඳෙකු ලෙස කළ ව්‍යාපාරය අතහැර තම සභාවෙහි අනෙකුත් සාමාජිකයන් අතර ආධ්‍යාත්මික වර්ධනය වෙමින් ජීවිතය ගත කළේය. ඔහු දේව සේවයට කැඳවනු ලැබූ අතර පූජකයෙකුගේ තනතුර ලබාදී වෙනත් ප්‍රදේශයකට පමණක් සීමාකර තබනු ලැබීය. ඔහු මුළු ජීවිත කාලය පුරාම දැඩි වීර්යයකින් තම ශුද්ධත්වය රැක ගනිමින් කාලය ගත කළේය. සමහර විට ඔහු තවමත් මුහුදෙන් එතෙර ක්‍රියාශිලී ජීවිතයක් ගතකරනවා විය හැකිය.

16 වන පරිච්ඡේදය

මැනිකීයවාදීන්ගේ නින්දිත සහ ලජ්ජාසහගත ක්‍රියාවෙන් අනාවරණය කිරීම.

කාර්තේජ් නගරයෙහි දී රාජ මාලිගයෙහි කතෝලික භක්තිය අදහන උර්සුස් නම් නියෝජිතවරයෙකු වතාවක්, තෝරාගත් සෙනඟ ලෙස තමාම හඳුන්වාදෙන මෙම මැනිකීයවරුන්ගේ සභාවට පැමිණ ඇත. ඔහු මෙම නිකායේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම රදගුරුවරුන් විසින් සෝදිසි කර බැලීමට කතෝලික සභාව කරා ගෙන ගියේය. ඔවුන්ට විරුද්ධව විධිමත් වාර්තාවක් දැනටමත් ඇති බව සිහිපත් කරදෙමින් ඔවුන්ට සවන් දුන්නේය. මෙම නීච කණ්ඩායම ගැන වෙන කිසිවෙකුටත් වඩා හොඳින් දන්නා ඔගස්ටීන් තුමන් ද මෙම රදගුරු කණ්ඩායම අතරේ සිටියේය. ඔවුන්ගේ නින්දීත බොරු දිවුරුම් ද සමහර පොත්පත්වල ඒ මේ තැන්වල සඳහන් වී ඇති අයුරු එළිපිට ඔවුන්ට පෙන්වා දී එය පිළිගන්නා ලෙස සහ පාපෝච්චාරණය කරන ලෙස පෙළඹවීය. එහි සිටි තෝරාගත් යැයි සඳහන් වන කාන්තාවන් පවා ගත කළ පහත් සහ වටිනාකමක් නැති ඔවුන්ගේම අයහපතට ක්‍රියාකරන දේවල් පූජකයන් පිළිබඳ සටහන් වී ඇති විනයානුගත වාර්තාවන්හි  පෙන්වා දී ඇත. එහෙයින් එඩේරු දෙවියන් වහන්සේගේ බැටළු රැළ ගැන නිතරම සෝදිසියෙන් සිටි අතර හොරුන් සහ මංකොල්ලකරුවන්ගෙන් ඔවුන් ආරක්ෂා කර තබා ගැනීමට දැඩි ආරක්ෂාකාරී පිළිවෙත් ක්‍රියාත්මක කළහ.

මෙම තෝරාගත් සෙනඟ ලෙස හැඳින්වෙන මැනිකීයවරුන් අතර ෆීලික්ස් නමැති සාමාජිකයෙක් සිටියේය. ඔගස්ටීන් තුමා හිපෝ සභා භූමිය තුළදී වාර්තාකරුවන් සහ අනෙකුත් මහජනයා ඉදිරියේ ඔහු සමඟ විවාද කළේය. 2 වැනි හෝ 3 වැනි හමුවීමෙන් පසු එම නිකායේ හිස් භාවය සහ දුෂිත තැන් අනාවරණය විය. මෙම ලියවිලි විමසා බැලූවහොත්,තම වරද පිළිගත් එම මැනිකීයවරයා අපේ කතෝලික ඇදහිල්ල සහ සභාව පිළිගත් බව පෙන්නුම් කරනු ඇත.

17 වන පරිච්ඡේදය

ඒරියන් ජාතික රදලයෙකු වූ පැසෙන්ටියස් මහජන විවාදයකදී වැරදි බව ඔප්පු කිරීම.

එපමණක් නොව රාජකීය ගෘහයේ ඒරියන් ජාතික පැසෙන්ටියස් රදලයෙකු ද වී සිටියේය. ඔහු බදු එකතු කරන්නෙකු වූ අතර ඉතාමත් කඩිසර කෙනෙකු විය.

ඔහුට පවරා ඇති තනතුරෙහි බලය අයුතු ලෙස යොදාගනිමින් ඔහු කතෝලික සභාවට ඉතා දරුණු ආකාරයෙන් සහ නිතර නිතර පහර දුන්නේය. ඉතා සැහැල්ලූ ජීවිතයක් ගත කරමින් ඇදහිල්ලෙන් ජීවත් වන බොහෝ පූජකවරුන්ට ද ඔහුගේ සමච්චලය සිතට සහ කයට මහත් පීඩාවක් ගෙන දුන්නේය. ඔහු ඔගස්ටීන් තුමාට ද අභියෝග කළ හෙයින් කාර්තේජ් හිදී ඉතාමත් ගෞරවනීය සහ පිළිගත් පුද්ගලයන් ඉදිරියේ ඔහුට මුහුණ දුන්නේය. සාකච්ඡාවට පෙර ද සාකච්ඡාව පැවැත්වෙන අතරතුර ද තමා මෙන් පුවරුවක් සහ පෑනක් වහාම අතේ තබා ගත යුතුම යැයි අපගේ ගුරුතුමා මතක් කර දුන් නමුත් මෙම දුර්ලබ්ධිකයා එය සහමුලින්ම ප්‍රතික්ෂේප කළේය. ඔහු එසේ ප්‍රතික්ෂේප කිරීම ගැන කරුණු දැක්වූයේ එවැනි වාර්තාවලින් මහජන නීතිරීති අනාවරණය වුවහොත් එහි ඇති භයානකකම ගැන සඳහන් කරමිනි. ඔහු ප්‍රේක්ෂකයන්ගෙන් ද බැගෑපත්ව ඉල්ලා සිටියේ ඒ දෙයම ය. එවිට රදගුරු ඔගස්ටීන් තුමා සාකච්ඡාවට සහභාගී වූ අනෙකුත් සහෝදර රදගුරුවරුන්ගේ ඉල්ලීම පරිදි මෙම විවාදය ලිඛිත වාර්තාවලින් තොරව පුද්ගලිකව විවාද කිරීමට තීරණය කළේය. පසුව සිදුවූ දෙය එතුමා  අනාවැකියක් මෙන් සාකච්ඡාව ආරම්භ කිරීමට පෙරම සඳහන් කළේය. එනම් වාර්තාවක් ලිඛිතව නොතිබුණ හෙයින් සම්මන්ත්‍රණය යම් නිගමනයකට පැමිණි පසු ඕනෑම කෙනෙකුට තමා පැවසු දෙයක් නොපැවසූ බව හෝ නොපැවසූ දෙයක් පැවසූවේ යැයි කීමට නිදහස තිබේ. ඔගස්ටීන් තුමා ඔහු සමඟ විවාදය ආරම්භ කළේය. ඔහු කියා සිටියේ ඔහු විශ්වාස කරන්නේ කුමක්ද කියා ඔහු අසා තිබෙන බව ය. ඔගස්ටීන් තුමා සඳහන් කළේ, තමා විශ්වාස කරන දෙය පදනම් වී ඇත්තේ ඇදහිල්ලේ අත්තිවාරම මත බවත් පැසෙන්ටියස්ගේ මතයන් ගොඩ නඟා ඇත්තේ කිසිදු ආකාරයකින් සත්‍යය මත නොවන බවත් කිසිසේත් ශුද්ධ වූ ලියවිල්ලේ ආධිපත්‍යය යටතේ නොවන බවත් පෙන්වාදෙමිනි. එසේ ඔහුට කරුණු පැහැදිලි කර ඔහු වැරදි බව ඔප්පු කර පෙන්වීය. විවාදය අවසන් වී කණ්ඩායම් දෙක වෙන්ව යන විට පැසෙන්ටියස් සිටියේ කෝපයෙන් පිපිරෙමිනි. ඔහුගේ ව්‍යාජ ඇදහිල්ල ආරක්ෂා කරගැනීමට බොහෝ අසත්‍ය දේවල් ප්‍රකාශ කළේය. ඔහු මහ හඬින් කියා සිටියේ පැමිණි බොහෝ දෙනා ඔගස්ටීන් තුමාට ප්‍රශංසා කළ නමුත් ඇත්ත වශයෙන්ම ඔහු ඔගස්ටීන් තුමන් පරාජය කළ බව ය. සිදුවන සියල්ල වසන් නොකර මහජනයා දැනගත යුතුමයැයි ඔගස්ටීන් තුමා තීරණයකට පැමිණියේය. තමා විසින්ම පැසෙන්ටියස්ට ලිපියක් යැවීමට ඔගස්ටීන් තුමා තීරණය කළේය. එහෙත් සම්මන්ත්‍රණයට සහභාගී වූ අනෙක් අයගේ නම්, ඔවුන් තුළ ඇති බිය නිසා සඳහන් නොකළේය. එතුමා ලියූ ලිපි සියල්ල තුළ දෙපාර්ශ්වයම සාකච්ඡා කළ සියලූ දේවල් අකුරෙන් අකුරට එතුමා සඳහන් කළේය. ඒවා බොරු ලෙස පැසෙන්ටියස් හෝ වෙන කෙනෙකු ප්‍රකාශ කරතොත් ඔගස්ටීන් තුමා වෙනුවෙන් සාක්ෂි ඉදිරිපත් කිරීමට කැමති ඕනෑතරම් සත්කීර්තිමත් සහ ගෞරවනීය පුද්ගලයෝ එම අවස්ථාවට සහභාගී වී සිටියහ. ඔහුට ලියු එක ලිපියකට ඔහු ප්‍රතිචාර දැක්වූයේ ඔගස්ටීන් තුමාට අපහාසාත්මක ලෙස බැණ වැදෙමින්ය. ඒ වෙනුවට ඔහුට ලියන්නට තිබුණේ තම නිකායේ මතය කුමක්ද යන්න පමණි. එම ලිපිය කියවා බැලීමට කැමැත්ත දක්වන පුද්ගලයන්ට එය පිළිගත හැකි ය. 

ගොත්වරු කැටුව අප්‍රිකාවට ඒරියානුවාදීන්ගේ මැක්සිමිනස් නමැති රදගුරු කෙනෙකු පැමිණි අවස්ථාවේ බොහෝ උගත් සහ සත්කීර්තිමත් පුද්ගලයන්ගේ ඉල්ලීම මත ඔගස්ටීන් තුමා හිපෝ හිදී සම්මන්ත්‍රණයක් පැවැත්විය. සෑම පාර්ශ්වයක්ම ප්‍රකාශ කළ දේවල් වාර්තා කෙරිණි. එකී වාර්තාවන් ගැඹූරින් අධ්‍යයනය කිරීමට කැමති ඕනෑම කෙනෙකුට අවබෝධ කරගත හැකි පොදු කාරණයක් තිබේ. එනම් කතෝලික සභාව දිගටම පවත්වාගෙන යන සහ දිව්‍යමය ත්‍රිත්වය සම්බන්ධව උගන්වන කරුණු මොනවාද යන වගත් ඔවුන්ගේ ඉතා අසාධාරණ ලෙස ඉදිරිපත් කරන එම දුර්ලබ්ධිය කෙතරම් රැවටිලි සහගත ද කෙනෙකු නොමඟ යවන්නෙහි ද යන කරුණු පැහැදිලිව දැක ගත හැකි වේ. එහෙත් මෙම දුර්ලබ්ධිකයා හිපෝ හි සිට නැවත කාර්තේජ් වෙත ගිය විට ඔහු සම්මන්ත්‍රණයේදී දොඩමළු වී කියැවූ දේවල් සිහිපත් කරමින් පවසා  සිටියේ ඔහු විවාදය ජය ගෙන නැවත පැමිණි බවයි. එහෙත් මෙය අසත්‍යයකි. (එහෙත් ඔහු කී දේවල සත්‍ය අසත්‍ය බව විභාග කර බැලීමට කෙනෙකු සිටියේ නැත. එම ප්‍රකාශයන් විනිශ්චය කරනු ලැබූ පුද්ගලයෝ ද දිව්‍යමය ව්‍යවස්ථාව කවරේද යන වග කෙසේවත් දැන නොසිටියහ.) ඔගස්ටීන් තුමා පසු අවස්ථාවකදී තමා සමඟ සම්මන්ත්‍රණයේදී සාකච්ඡා කළ සියලූ කරුණු නැවත සාරාංශ ගත කෙරේ. එතුමා ඉදිරිපත් කළ  චෝදනා සහ ඒවාට ලැබුණු පිළිතුරු තමා අතින්ම සටහන් කර ගත්තේය. ගෙන ආ චෝදනාවලට පිළිතුරු සපයන ලදී. සම්මන්ත්‍රණය පැවති කෙටි කාලය තුළදී ඉදිරිපත් කළ නොහැකි වූ හෝ ලියා පෙන්වීමට අපහසු වූ කරුණු පැහැදිලිව පෙන්වා දී ඇත. ඔහු කොතරම් කපටි කෙනෙකු ද කීවොත් සම්මන්ත්‍රණය පැවැත්වුණු සුළු කාලය තුළදීම දිගම කථාව මුළු දවස පුරාම වාගේ පැවැත්වූයේ ඔහු විසිනි.

18 වන පරිච්ඡේදය

නව පෙලාගියානු නිකාය පරාජය කර හෙළාදැකීම.

පෙලාගියන් නමැති නව දුර්ලබ්ධික නිකාය සමඟ ද ඔගස්ටීන් තුමා වසර 10ක පමණ කාලයක් ලිපි මඟින්, බොහෝ පොත් ප්‍රකාශයට පත් කරමින් සහ නිතර නිතර සභාව තුළ ද තර්ක කිරීමෙන් සටන් කළේය. ඔවුන් තර්ක කිරීමට ඉතාමත් දක්ෂ පිරිසක් වූ අතර ඔවුන් ලියූ ලිපි ඊටත් වඩා විචක්ෂණ සහ හානිකර  විය. ඔවුන් බොහෝ විට ඔවුන්ගේ විකාර මත ඉදිරිපත් කළේ නිවෙස්වලට පැමිණ හෝ මහජනයා රැස්වන ස්ථානවලය. ඔවුන් ඉතා අගතිගාමී ලෙසට චාටු බස් යොදාගනිමින් උත්සාහ කළේ රදගුරු තුමන්ට අයත් ප්‍රදේශවලට පවා පැමිණ, ඔවුන්ගේ ව්‍යාජ ආගමික ධර්මයන් පිළිගැන්වීමටයි. ඔවුන් කවුරුන්දැයි ඉතා ධනාත්මක ලෙස ඉන් පසුව පිහිටෙවු අප්‍රිකානු රදගුරුවරුන් සමන්විත මන්ත්‍රණ සභා මඟින් විසඳා දී ඇති අතර කතෝලික දේව සභාව ඔවුන් ඉතාමත් පිළිකුල් ලෙස සලකන බව ද මුලින්ම ඒත්තු ගැන්වූයේ එවකට එම නගරයෙහි විසූ ඉනසන්ට් පාප්වහන්සේ ය. ඒ සමඟම එතුමාට පසුව පත්වූ ශුද්ධ වූ ශොසිමස් [Zosimus]තුමන්ට ද පෙලාගියන් යනු කතෝලික දහම විසින් හෙළාදැකිය යුතු කණ්ඩායමක් බව පැහැදිලි කර දුනි. රදගුරු යටතේ තිබුණූ එම ප්‍රදේශයෙහි ජීවත්වූ රදගුරුවරු නොයෙක් අවස්ථාවන්හිදී මෙම දුර්ලබ්ධිකයන්ට විරුද්ධව දෝෂාරෝපණය කළහ. ඔවුන් සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් කරන ලදී. ඔවුන් කතෝලිකයන් ලෙස නියෝජනය කිරීම තහනම් කෙරිණි. ඔවුන් බටහිර පිහිටි අපි්‍රකානු දේව සභාවලට සහ නැගෙනහිර තිබුණු දේව සභාවලට ද දන්වා සිටියේ හෝ තීන්දු කළේ ඔවුන් අතිශයින්ම පිළිකුල් නිකාය ලෙසට සලකා සියලූම කතෝලිකයන් විසින් ඔවුන් මඟහරිනු ලැබිය යුතුය යන කාරණයයි. මෙම කතෝලික දේව සභාවේ තීන්දුව ගැන ඉතාමත් ශ්‍රද්ධාවත් හොනෝලියස් අධිරාජයාට සැලවූ වහාම ඔහු නියෝගයක් නිකුත් කරමින් සැමදෙනාටම දන්වා සිටියේ ඔහු යටතේ ඇති නීතිමාලාවලට අනුව ඔවුන් දැනටමත් වරදකරුවන් වී ඇති බවත් ඔවුන් දුර්ලබ්ධිකයන් ලෙස ඉදිරියේදී හඳුන්වාදිය යුතු බවත් ය. ඔවුන්ගෙන් සමහරෙක් ඔවුන්ගේ ශුද්ධ මවු සභාවට නැවත පැමිණියහ. අනෙක් පිරිස අව්‍යාජ ඇදහිල්ලේ ආලෝකය නොනිවී දැල්වෙමින් තිබෙන නිසා ක්‍රමයෙන් නැවත හැරී එමින් සිටී. එය එම පිළිකුල් වැරදි යටපත් කරමින් ඉදිරියට ගමන් කරයි.

ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය තුළ ජීවත්ව සිටි අමතක කළ නොහැකි මෙම පුද්ගලයා එහි ඉතාමත් ගෞරවනීය සාමාජිකයෙකු ලෙස සැලකේ. එතුමා විශ්වීය දේව සභාවෙහි යහපත පිණිස නිතරම අයැදමින් අවදිව සිටියේය. එතුමාට දෙවියන් වහන්සේගේ වරප්‍රසාද පිට තමා මෙලොවේදී වපුරන ලද දෙයෙහි පල මෙලොවෙහිදී ම සතුටින් භූක්ති විදීමට අවස්ථාව ලබාදී ඇත. එයට මුල්වූ ප්‍රධාන හේතුව හිපෝ සහ එය අවට එතුමාගේ ආධිපත්‍යය යටතේ පිහිටි සමස්ත දේව සභාව තුළ එකමුතුකම සහ සමාදානය එතුමා නිසා ප්‍රතිස්ථාපිත විය. එපමණක් නොව අප්‍රිකාවේ අනෙකුත් ප්‍රදේශවල ද එතුමාගේම උත්සාහයෙන් හෝ අන්‍යන්ගේ උත්සාහයෙන් හෝ වේවා එතුමා විසින් යවන ලද පූජකවරුන්ගේ උත්සාහයෙන් එවැනිම යහපත් ප්‍රතිඵල දැකගත හැකිවිය. මේ සැමට වඩා මැනිකීයවරුන්, ඩොනාටියානුවන්, පෙලාගියන්වරුන් සහ අනෙකුත් දුර්මතධාරීන් විශාල වශයෙන් අඩුවී දෙවියන් වහන්සේගේ සභාව සමඟ එකමුතු වී කටයුතු කිරීම නිසා කි්‍රස්තුස් වහන්සේගේ දේව සභාව වර්ධනය සහ ගුණනය වනු දැක එතුමා ඉතා සතුටට පත්විය. එතුමා සතුටට පත්වූ තවත් කාරණයක් වන්නේ, එතුමා අධ්‍යයනය කරමින් සිටි දේ අනුව යාමෙන් සහ සෑම යහපත් දෙය ගැනම ප්‍රීතියට පත් වෙමිනි. එතුමාගේ කරුණාවන්තකම නිසා එතුමා වටා සිටි අනෙකුත් සහෝදර පූජක පක්ෂයට අයත් අයගේ අඩුපාඩු ඉවසූ අතර අධර්මිෂ්ඨයන්ගේ නපුරුකම් ගැන ශෝකයට පත්විය හැකි වුවද මා පැවසු ආකාරයට එතුමා නිතරම කාලය ගතකළේ දෙවිඳුන්ට වාසිවූ දෙය ගැන ප්‍රීති වෙමින් සහ සමිඳුන්ගෙන් ඈත් කරන දේවල් ගැන කනගාටු වෙමිනි.

සභාව තුළ බොහෝ දේවල් පිළිබඳව එතුමා අනුලේඛනය කරනු ලැබූ අතර ප්‍රකාශයට ද පත්කරනු ලැබීය. තවත් බොහෝ කරුණු සම්බන්ධව සභාව තුළ සාකච්ඡා පැවැත්වීය. තවත් දේවල් ලියා දක්වා හෝ සංශෝධනය කරනු ලැබීය. ඒවායින් සමහරක් විවිධ දුර්ලබ්ධිකයන්ට විරුද්ධව සකස් කළ අතර අනෙකුත් ඒවා සභාව තුළ ශුද්ධවන්තයන්ගේ උපදේශය සඳහා ආගම ධර්මයට අයත් ග්‍රන්ථවලින් විස්තර විග්‍රහ දක්වන ඒවා විය. ඒ සියලූම ලියකියවිලි කියවා නිම කර සියලූ කරුණු අවබෝධ කරගැනීමට හැකිවන්නේ ස්වල්ප දෙනෙකුට ය. එහෙත් දේව වචනය තුළ අන්තර්ගතවී ඇති සත්‍යය විපරම් කිරීමට ඉතාමත් කුතුහලයෙන් සිටින ඕනෑම කෙනෙකු අසීරුතාවට පත් නොකර සිටින ලෙස මා ද වගබලා ගත යුතු නිසා මම මෙසේ තීරණය කළෙමි: මෙම වෑයම අවසාන වනවාත් සමගම දෙවියන් වහන්සේගේ උපකාරය ද ලබාගෙන සියලූම පොත් ධර්මෝපදේශයන් සහ හසුන් යනාදියෙහි නම් සඳහන් ලැයිස්තුවක් සකස් කිරීමට මම බලාපොරොත්තු වෙමි. මෙලොව තාවකාලික ධනයට වඩා දෙවියන් වහන්සේගේ වචනයට ප්‍රිය කරන අය මෙම ග්‍රන්ථාවලිය [Indiculis]කියවා බැලු විට, තමාම කියවිය යුත්තේ කුමක්ද යන්න තේරුම් ගන්නවා ඇත. ඒවායේ පිටපත් ලබාගැනීමට අවශ්‍ය නම්, හිපෝ හි දේව සභාව වෙත යොමු වීමෙන් හෝ වෙනත් ස්ථානයකින් ඉතා උසස් තත්වයේ පිටපත් ලබා ගත හැකිය. එවැනි පිටපත් ලබාගෙන ඒවා ඉතා සුරක්ෂිතව රැකබලාගෙන එවැනි පිටපත් ලබාගැනීමට කැමති තවත් අය සිටිනවා නම් ඔවුන්ට එම පිටපත් තාවකාලිකව දීමට හැකිය.

19 වන පරිච්ඡේදය

ඔගස්ටීන් තුමා විනිශ්චකාරයකු ලෙස.

එතුමා විනිශ්චය කළේ අපෝස්තුළුවරයා ඉගැන්වූ  ආකාරයටය. ශුද්ධවූ ලියවිල්ලේ මෙසේ සඳහන් වේ: “ඔබගේ සහෝදරයා සමඟ ආරවුලක් හටගත් විට එය විනිශ්චය කිරීමට කිතුනු සෙනඟ ඉදිරියට නොගොස්, කිතුනු නොවන උසාවියක් ඉදිරියට යන්න භය නැද්ද? කිතුනු සෙනඟ ලෝකයා විනිශ්චය කරන බව ඔබ නොදන්නහු ද? ලෝකයා විනිශ්චය කරන්නේ ඔබ නම්, සුළු ආරවුලක් විසඳීමට ඔබ අපොහොසත් ද? අප දේව දූතයන් පවා විනිශ්චය කරන්නට යන බව ඔබ නොදන්නහු ද? එසේ නම් එදිනෙදා ජීවිතයට අයත් දේ විනිශ්චය කිරීම අපට කළ නොහැකිද? එබඳු කාරණා මතු වූ විට, ඒවා විසඳීම සඳහා, සභාව කිසිසේත් ගණන් නොගන්නා අය වෙත ඔබ යන්නහු ද? මෙය මොන තීන්දුවක් ද? ඇත්තට ම සහෝදරයන් අතර ආරවුලක් විසඳීමට සමත් එක නැණවතෙක් වත් ඔබ අතර නැද්ද?එක සහෝදරයෙකු තවත් සහෝදරයකුට විරුද්ධ නඩු කියා ගැනීමට, විශේෂයෙන් මිසදිටුවන් ඉදිරියට නඩු කියාගැනීමට යෑම සුදුසු ද?”[1කොරි. 6:1-6]

ඒ අනුව කිතුනුවන් හෝ වෙනත් නිකායකට අයත් පුද්ගලයන් ආයාචනා කළ විට එතුමා විභාග කිරීම් කරනු ලැබුවේ ඉතාමත් විමසිලිමත්ව සහ යුතුකමක් ඉටු කරන ආකාරයකිනි. එතුමා නිතරම මෙනෙහි කළේ එක්තරා පුද්ගලයකු පැවසූ මෙම කාරණාවයි: මිත්‍රයන් අතර ආරවුල්වලට සවන් දීමට වඩා තමා ප්‍රිය කළේ, තම තමන් කවුරුන්දැයි නොදන්නා අය අතර ඇති වූ ප්‍රශ්නවලට සවන් දීමට බවත් නාඳුනන පුද්ගලයන් අතර නඩු විභාගය සාධාරණව තීන්දු දෙන තැනැත්තා හෝ ඔහුට මිත්‍රව සිටින බවත්ය. එලෙසම විනිශ්චය තමාට අවාසි ලෙස තීන්දු වුවහොත් එම තැනැත්තා තමාට අහිමි වී යයි. සමහර අවස්ථාවලදී මෙම නඩු විභාග කිරීම් ආහාර ගන්නා වේලාව තෙක් ඇදෙමින් පවතී. අනෙක් අවස්ථාවලදී මුළු දවසම එතුමාට නිරාහාරව සිටීමට සිදුවනවා ඇත. එහෙත් එතුමා එම සෑම ආරවුලක් ගැනම කරුණු හරියාකාරව සොයා බලා, දෙපාර්ශ්වයම ඇදහිල්ල රකින සහ යහපත් ක්‍රියාවලින් වර්ධනය වී ඇතිද නැතිනම් පිරිහි ඇතිද ක්‍රිස්තියානි මූලධර්මවලට අනුව ඔවුන්ගේ ජීවිත කොතරම් වටින්නේ ද යන සියලූ කරුණු පදනම් කරගෙන තීන්දුව දුන්නේය. අවස්ථාවක් ලැබුණු විට එතුමා දිව්‍ය නීතියේ සත්‍යතාව සිත් තුළ කාවද්දමින් ඔවුන්ට සදාකාලික ජීවනය කරා යන මාර්ගය සිහිපත්කර දෙමින් දෙපාර්ශ්වයටම උපදෙස් දුන්නේය. එතුමා, තම කාලය ගැන අන්‍යයන්ගෙන් ඉල්ලා සිටි එකම ත්‍යාගය නම්, දෙවිඳුන්ට සහ මනුෂ්‍යයාට තමා විසින් දැක්විය යුතු ක්‍රිස්තියානි කීකරුකම සහ භක්තියයි. එතුමා සියලූදෙනා ඉදිරියේ පාපිෂ්ඨයන්ට තරවටු කළේ අන් අය භය ගැන්වීම සඳහා ය. දෙවියන් වහන්සේ “ඉශ්රායෙල් වංශය කෙරෙහි මුරකරුවෙකු ලෙස කෙනෙකු පත්කළ”සේක [එසෙ. 3:17]යන්න සිහියට නගමින් එතුමන් තම රාජකාරිය ඉටු කළේය. එසේ කිරීමේදී දේව වචනය සෑම විටම, සුදුසු හෝ නොසුදුසු යැයි සිතන අවස්ථාවලදී පවා දේශනා කළේ එයට විරුද්ධව ක්‍රියා කරන අයට දෝෂාරෝපණය කිරීමෙන්, තරවටු කිරීමෙන් හා අවවාද කිරීමෙන් ය. සමහර විට ධර්මය ප්‍රචාරය කිරීමේදී ඉවසා දරාගත නොහැකි අවස්ථාවන්ට ද මුහුණ දීමට එතුමාට සිදුවිය. අන්‍යයන්ට ඉගැන්වීමට දක්ෂතාව ඇති අයට උපදේශනය දීමට එතුමන් මහත් කැපවීමක් කළේය. සමහරෙකුට ඔවුන්ගේ ඉල්ලීම මත, ඔවුන්ගේ තාවකාලික ප්‍රශ්න ගැන එතුමන් ලිව්වේය. එහෙත් මීට වඩා හොඳ යැයි එතුමා සිතා සිටි රාජකාරිවලින් තමාට බාධා පැමිණි විට, එ්වාට තැන දුන්නේ අනිවාර්යයෙන් කළයුතු දෙයක් ලෙසිනි. මක්නිසාද එතුමාගේ සතුට නිතරම රඳා පැවතුණේ දෙවියන් වහන්සේගේ කාරණා තුළ හෝ ඉතා කුලූපග මිත්‍රශීලි, සහෝදරත්වය සමඟ සම්බන්ධව සිටීමෙන් අනුශාසනා දීමට හෝ සම්භාෂණයේ යෙදී සිටීම තුළයි.  

20 වන පරිච්ඡේදය

එතුමා සිරකරුවන් වෙනුවෙන් මැදිහත්ව කටයුතු කළ ආකාරය.

අප හොඳින් දන්නා තවත් කාරණාවක් නම්, එතුමාගේ ඉතාමත් කුලූපග මිතුරන් සිවිල් සමාජයේ වැසියන් වෙනුවෙන් මැදිහත් වන බව පෙන්වීමට ලිපි ඉල්ලා සිටි විට, එතුමා එසේ නොදී සිටියේය. එතුමා තවදුරටත් ඔවුන්ට පෙන්වා දුන්නේ, එක්තරා පඬිවරයකු ගැන ලියා ඇති ආකාරයට, ඔහු ගත් ක්‍රියා මාර්ගය තමා ද පිළිපදින එක ප්‍රඥාවන්ත බවයි. ඔහු පැවසුවේ, තමාගේ ආත්ම ගෞරවය රැකගැනීම උදෙසා තම මිත්‍රයන් වෙනුවෙන් වුවද වගකීම් භාර ගැනීමට තමා අකැමැති බවයි. එහෙත් ඔගස්ටීන් තුමන් එයට තමන්ගේ මතය ද ඉදිරිපත් කරමින් කියා සිටියේ, එවැනි නීතියක් යටතේ කටයුතු කිරීම ඉතා හොඳ බව ය. මක්නිසාද බොහෝ විට අයැදීම් ඉදිරිපත් කළ බලධාරීන්ම, පසුව පීඩාකාරී අයුරින් හැසිරෙන බව පෙනී ගොස් තිබෙන බැවිණි. එහෙත් ඔවුන් වෙනුවෙන් මැදිහත් වන ලෙස එතුමාගෙන් ඉල්ලා සිටි විට,එතුමා කෙතරම් අවංකව සහ ස්ථානෝචිත ලෙස ක්‍රියා කළේ ද කියතොත්, එතුමා කෝපයට පත් වී හෝ තරහා උපදවන ආකාරයකින් කිසි විටක හැසිරෙනු දැක නැත. එතුමා තුළ එවිට දැකීමට හැකිවූයේ ඉතාමත් ප්‍රශංසනීය භාවයකි. යම් අවස්ථාවකදී එතුමාට ඉතාම දැඩි අවශ්‍යතාවක් ඇතිවී, මැදිහත් වන ලෙස ඉතාමත් බැගැපත්ව ඉල්ලීමක් කළ පුද්ගලයෙකු වෙනුවෙන් එතුමා අප්‍රිකාවේ ප්‍රධාන රදගුරු ලෙස කටයුතු කළ මැසිඩෝනියාස් තුමන්ට ලිපියක් යැවීය. මැසිඩෝනියාස් එයට ප්‍රතිචාරය දක්වමින් ඔගස්ටීන් තුමා වෙත ලියා එවු පිළිතුරෙහි මෙසේ සඳහන් කළේය: “ඔබ ප්‍රකාශයට පත්කර ඇති පොත්වල ද විපතට පත් වී සිටින අය වෙනුවෙන් කරදරයක් යැයි නොසිතා ඔබ මට එවා ඇති  ලිපියෙහි ද ඇති ඔබගේ ප්‍රඥාව ගැන මම මවිතයට පත් වෙමි. ඔබ කලින් ලියා ඇති දේවල් අනුව මාගේ පූජනීය ස්වාමීවූ සහ උතුම් පියෙකු ලෙස සැලකිය හැකි ඔබ තුමන්ට ප්‍රඥාව සහ ශුද්ධ වූ බව අතින් කිසිම අඩුවක් නොතිබෙන බැවිනුත් පසුව ලියා ඇති දේවල් ඉතා නිහතමානීව නිම කර ඇති බැවිනුත් ඔබ ඉල්ලා සිටි දෙය මා ඉටු නොකළොත් මට මා ගැනම දොස් පවරා ගැනීමෙන් තොරව නොසිටිය හැකිය. ඔබේ තරාතිරමේ සිටින වෙනත් බොහෝ අය මෙන් මැදිහත්වීම ඉල්ලූම් කරන පුද්ගලයාගේ සියලූ කරණුවලට මට උපදේශනය ලබා දිය යුතුම යැයි ඔබ බලපැමක් නොකරන බව මට පෙනේ. එහෙත් ඉතා සාධාරණ යැයි සිතා සිටිමින් විනිශ්චයකරුවකුට අවධානයට ගත යුතු රාජකාරීන් බහුලව තිබෙන නිසා, ඔබ ඉතා යටහත් පහත්ව නිහතමානිව අවවාද අනුශාසනා දීම තුළින් පෙනී යන්නේ ඔබට යහපත් පුද්ගලයන් අතර මතුවන ගැටලූ සාර්ථක ලෙස විසඳා දීමට හැකියාවක් තිබෙන බවයි. එහෙයින් ඔබ යෝජනා කළ ඉල්ලීම ඉටුකර දීමට මා පසුබට නොවන බවට ඔබට බලාපොරොත්තු තැබිය හැකිය.”

21 වන පරිච්ඡේදය

සම්මේලනවලට සහභාගි වන විට එතුමා සිතු ආකාරය.

හැකි සෑම අවස්ථාවකදීම ඔගස්ටීන් තුමන් විවිධ ප්‍රදේශවල පැවැත්වුණු ශුද්ධවූ පූජකයන්ගේ සම්මේලනවලට සහභාගි විය. එවැනි ස්ථානවලදී එතුමන් තමාගේ කාරණාවලට වඩා සිත යොමුකළේ ක්‍රිස්තුස් වහන්සේගේ කාරණා සෙවීමට ය. එවිට ශුද්ධ වූ කතෝලික සභාවේ අදූෂිත බව රැකගෙන සභාවෙන් සාධාරණව හෝ අසාධාරණ ලෙසට නෙරපා දමා තිබුණ පූජකවරුන් සහ අනෙක් පැවිදි පිරිස වරදින් නිදොස් කොට හෝ ප්‍රතික්ෂේප කොට සභාව ඉදිරියට ගෙනයා හැකි වන බව එතුමන් දැන සිටියේය. පූජකවරුන් සහ අනෙකුත් පැවිදි පිරිස හස්තාලේප කරන අවස්ථාවන්හිදී එතුමා සිතු ආකාරයටම ක්‍රිස්තියානි බහුතරයක එකඟතාව සහ සභාවේ චාරිත්‍රවලට අනුකුලව සියල්ල සිදුවිය යුතුය.

22 වන පරිච්ඡේදය

ඔගස්ටීන් තුමාගේ ආහාරපාන සහ ඇඳුම්-පැළඳුම්.

ඔගස්ටීන් තුමාගේ ඇඳුම් සහ පාවහන් මෙන්ම එතුමාගේ ඇඳ ඇතිරිලි පවා සාමාන්‍ය මුදලක් වියදම් කර ගත් ඒවා බව පෙනේ. බොහෝදෙනා මෙවැනි දේ තුළින් තමන්ගේ තත්වය ගැන මහත් ආඩම්බරයෙන් උදම් ඇනීමට හෝ ඒවා සම්පූර්ණයෙන් අතහැර දුගී ජීවිතයක් ගතකරන බව පෙන්වීමට වෑයම් කරයි. එම දෙවිධියෙන්ම ඔවුන් තැත් කරන්නේ තමන්ගේ මමත්වය ගැන ප්‍රදර්ශනය කිරීමට මිස ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය මහිමයට පත්කිරීමට නොවේ. එහෙත් ඔගස්ටීන් තුමා ගත කළ ජීවිතය වමට හෝ දකුණට බර නොවූ මධ්‍යස්ථ ජීවිතයකි. එතුමා ගත් ආහාරපාන ද ඉතා චාම්, පිරිමැස්මෙන් යුතු, අත්‍යවශ්‍ය දෙයින් වැළකෙන දේවල් වුවද පලා වර්ග සහ ධාන්‍ය වර්ග එයට එකතු කරගත්තේය. සමහර විට අමුත්තන්ට සංග්‍රහ කිරීමට සහ තමාට වඩා දුර්වල සහෝදරයන් වෙනුවෙන් පිළියෙල කිරීමට මස් වර්ග යොදා ගත්තේය. එහෙත් එතුමා ළඟ නිතරම මුද්‍රිකපානය තිබිණි. මක්නිසාද එතුමා අපොස්තුළුවරයා ප්‍රකාශ කළ වචන වන, “දෙවියන් වහන්සේ මවා ඇති සියල්ල ම යහපත් ය. ස්තුතිවන්ත ව පිළිගන්නවා නම් කිසිවක් ප්‍රතික්ෂේප නොකළ යුතු ය. මන්ද ඒවා දේව වචනයෙන් ද යාච්ඤාවෙන් ද සංස්කාර කරනු ලබන්නේය”[1තිමෝති 4:4]යන්න දැන සිටියා පමණක් නොව, අන්‍යයන්ට ද ඉගැන්වූයේය. ඔගස්ටීන් තුමා ම, confessions[පාපෝච්චාරණ]යන නමින් ප්‍රකාශයට පත් කළ එතුමාගේ පොත්වල මෙසේ සඳහන් කර ඇත: “මස්වල ඇති අපවිත්‍රභාවය ගැන මම භය වන්නේ නැහැ. නමුත් රාගය තුළ ඇති අපවිත්‍රකමට මම බිය වෙමි. මම දන්නවා නෝවාට ආහාරයක් ලෙස ප්‍රයෝජනයට ගත හැකි නම් සෑම වර්ගයකම මාංසයන් අනුභව කිරීමට අවසර ලැබී තිබේ: එලියා ද මස් වර්ගයක් අනුභව කිරීමෙන් ප්‍රාණවත් වුණි: යොහන් ට බොහෝ දේවලින් වැළකී සිටීමට දීමනාවක් තිබුණ නමුත්, සත්වයන් නිසා ඔහු අපවිත්‍ර වූයේ නැත. ඔහුගේ ආහාරය වශයෙන් ඔහුට තිබුණේ, පැලැටි කා විනාශ කරන, පලාගිරව් වැනි පක්ෂි වර්ගයකි. මම දන්නවා ඒසව් වුවද උගුලට හසුවූයේ ධාන්‍ය වර්ගයකින් සාදාගන්නා සුවඳැති හොද්දකට තිබූ අධික ආශාව නිසා බව. දාවිත් රජු තමාට ජලයට ඇති අධික ආශාව නිසා තමාට ම තරවටු කර ගත්තේය. අපේ රජතුමන් ආශා කළේ මස් වර්ග අනුභව කිරීමට නොවේ, නමුත් රොටිවලටය. එසේම කාන්තාරයේදී සෙනඟ විනිශ්චයට ලක් වූයේ ඔවුන් මස් අනුභව කිරීමට ආශා කළ නිසා නොවේ, එහෙත් ඔවුන් කෑමට තිබුණ අධික ආශාව නිසා දෙවියන්ට විරුද්ධව කෙඳිරි ගෑවේය.”අපෝස්තුළුවරයා, තිමෝතිට මුද්‍රික පානය ගැන කළ ප්‍රකාශයෙහි නියෝගයන් ඇත. “වතුර පමණක් නොබී, කෑම දිරවීම පිණිසත්, නිතර ඇතිවන අසනීප ගතිය නිසාත්, මිදියුස ටිකක් භාවිත කරන්න”[1තිමෝති 5:22].

රිදීවලින් නිම කර තිබුණේ එතුමාගේ හැඳි පමණි, කැම තබා ගත්තේ මැටි භාජන තුළය. එසේත් නැති නම් ලී හෝ කිරිගරුඬභාජනවලය: මෙසේ සකස් කළේ එතුමාට වෙන විකල්පයක් නොතිබුණ නිසා නොවේ. එහෙත් එතුමාගේම කැමැත්තෙන් එසේ තෝරා ගත්තේය. එතුමා නිතර ආගන්තුක සත්කාරය දැක්වූයේය. මේසය වටා වාඩිවී සිටින විට, කෑම අනුභව කිරීමට සහ බීමට වඩා එතුමා ප්‍රිය කළේ කියැවීමට සහ සාකච්ඡා කිරීමටය. එහෙත් මනුෂ්‍යයන් පුරුද්දක් වශයෙන් කළ යම් දෙයක් මග හැරවීමට මේසයෙහි යමක් ලියා තිබුණි. 

“මෙතැන නොසිටින මිත්‍රයකු ගැන විවේචනය කරන්නා, 

මෙම මේසයෙහි ආගන්තුකයෙකු ලෙස සහභාගි නොවී සිටීවා.”

එයාකාරයෙන් එතුමා සෑම අමුත්තෙකුටම අවවාද කළේ, අනවශ්‍ය සහ අනුන්ට හිංසා ගෙන දෙන දේවල් කථාකිරීමෙන් වැළකි සිටින ලෙසටයි. වරක් එතුමාට ඉතා ලෙන්ගතු සහෝදර රදගුරුවරුන් පිරිසක් එම අවවාදය නොතකා කථාබහ කළ විට, ඔගස්ටීන් තුමා අධික ලෙස කෝපයට පත්වී එම පිරිසට තරවටු කරමින් කියා සිටියේ එම අන්තර්ලේඛණය මේසයෙන් ඉවත් කළ යුතුයි, නැතිනම් තමා කෑම අනුභව කිරීම නවතා තමාගේ කුටියට යන බවයි. එදා මේසය වටා රැස් ව සිටි මම සහ අනිත් අය එම සිද්ධිය ඇසින් දුටුවෙමු.

23 වන පරිච්ඡේදය

එතුමා දේව සභාවේ ආදායම් පරිහරණය කළ අයුරු.

එතුමා නිතරම තමාට මුණගැසෙන දුගී පුද්ගලයන් ගැන සිතා බලා කටයුතු කළේය. ඔවුන් වෙනුවෙන් වියදම් කළ මුදල් තමාගේ සහ තමා සමඟ සිටින අනිත් අයගේ ද වියදම සඳහා වෙන් කර තිබුණු ඒවාය. ඒවා දේව සභාවේ ආදායම්වලින් ලබා ගත් අරමුදල් හෝ අනෙක් විශ්වාසී පුද්ගලයන් දුන් සම්මාදම් මුදල් වේ. එහෙත් බොහෝ විට මුහුණ දීමට වූ ආකාරයට, එතුමා සන්තකයේ තිබුණ දේවල් ගැන අනික් පූජකවරුන් අතර ඊර්ෂ්‍යාවක් හට ගත්තේය. ඔගස්ටීන් තුමා දෙවියන් වහන්සේගේ සෙනඟට දන්වා සිටියේ වෙනත් දේපළවලින්, තමාම රැකබලාගැනීමෙන් සහ මග පෙන්වාදීම ලබා ගැනීමෙන් දුෂ්කරතාවට පැමිණෙනවාට වඩා, එතුමා වඩා කැමති වන්නේ දෙවියන් වහන්සේගේ සෙනඟ දෙන මූල්‍ය ආධාරවලින් ජීවත් වීමට බවයි. එහෙයින් තමා ළඟ තිබෙන එවැනි සියලූ දේවල් ආපසු දීමට එතුමා කැමැත්තෙන් සිටියේය. ඉන්පසු පැරණි ගිවිසුමේ පෙන්වා දුන් ආකාරයට දෙවියන් වහන්සේට සේවය කරන සියලූ දාසයන්ට සහ පූජකවරුන්ට තමා සේවය කරන පූජාසනයේ කෑම බීම ලැබිය හැකිය. ගිහියන් එයට කෙසේවත් කැමති වූයේ නැත.  

24 වන පරිච්ඡේදය

ගේදොර කටයුතු.

දේව සභාවේ ගොඩනැගිල්ල නඩත්තු කිරීම සහ එහි ඇති දේපළ රැකගැනීම, වඩා සුදුසු යැයි සිතු පූජකවරුන්ට එතුමා පැවරුවේය. ඔගස්ටීන්  තුමා කිසිදිනෙක යතුර අතට ගත්තේවත් එතුමාගේ මුද්ද පැලඳ ගත්තේවත් නැත. එහෙත් ලැබුණු සෑම දෙයක්ම සහ ඒවා වියදම් කළ ආකාරය දේව සභාවේ එම අධීක්ෂකයෝ සටහන් කර ගත්හ. වසර අවසානයේ ඔවුන්, කෙතරම් ප්‍රමාණයක් ලැබී ඇත්ද කෙතරම් වියදම් වූයේ ද හෝ කෙතරම් ප්‍රමාණයක් ඉතිරි වී තිබේ ද යන ගිණුම් වාර්තාවක් එතුමන්ට කියවනු ලැබුණි. බොහෝ බිල්පත් සම්බන්ධයෙන් එතුමා කැමති වූයේ ගිණුම් වාර්තා පරීක්ෂා කර බැලීමට වඩා අධීක්ෂකයාගේ විශ්වාසවන්තකම මත රඳාසිටීමටය. එතුමා කිසිම අවස්ථාවක නිවසක්, ඉඩමක් හෝ වතුයායක් මිලදී ගැනීමට කැමති වූයේ නැත. එහෙත් එවැනි දෙයක් කවුරුන් විසින් හෝ දේව සභාවට සිය කැමැත්තෙන්ම පරිත්‍යාග කළොත් හෝ සභාවේ උරුමයක් ලෙසට පැවරුවහොත් එය ප්‍රතික්ෂේප නොකර භාර ගන්නා ලෙසට එතුමා උපදෙස් දුන්නේය. එහෙත් මා දන්නා පරිදි එවැනි සමහර උරුමයන් එතුමා ප්‍රතික්ෂේප කළේය. එසේ කළේ ඒවා දුගී අයට භාවිතයට ගැනීමට නොහැකි නිසා නොව, තමන්ගේ අන්තිම කැමැත්ත දක්වන පත්‍රයකින් එම දේපළ හිතා මතා තම දරුවන්ට,දෙමව්පියන්ට හෝ ඥාතීන්ගේ නමට පවරා දීමට මිය ගිය පුද්ගලයන් අකැමති වී ඇති බව හැඟී ගිය බැවිනි. එහෙයින් ඔහු සිතු ආකාරයට ඒවා හි අයිතිවාසිකම සැබැවින්ම භුක්ති විදිය යුතු වන්නේ ඔවුන් ය. ඇත්ත වශයෙන් වරක් හිපෝ හි කාර්තේජ් හි පදිංචි ප්‍රභූවරයකු, තමාගේ සියලූ දේපළ, හිපෝ හි දේව සභාවට පරිත්‍යාග කිරීමට කැමැත්තෙන් සිටියේය. ඔහු බලාපොරොත්තු වූයේ තමාට එයින් ලැඛෙන ඵලදාව පමණක් භුක්ති විඳීමට අවසර දෙන ලෙසටයි. ඔහු එයට අදාළ ලියකියවිලි අත්සන් තබා සහතික කර ඔගස්ටීන් තුමා වෙත යවනු ලැබුවේය. එතුමන් ඔහු කළ පූජාව මහත් සතුටින් භාරගෙන, ඔහුට ප්‍රශංසා කරමින් කියා සිටියේ ඔහු සදාකාලික ජීවිතය ගැන දැඩි ඇල්මකින් කටයුතු කරන අයෙකු බවයි. එහෙත් වසර කිහිපයකට පසු අප නැවත ඔගස්ටීන් තුමා මුණගැසීම පිණිස එතුමාගේ නිවසට ගිය විට අපට මෙවැනි දෙයක් දැක ගත හැකි විය. මෙසේ විශාල පරිත්‍යාගයක් කළ පුද්ගලයා ඔගස්ටීන්  තුමාට තමාගේ පුතා මගින් ලිපියක් භාරදෙනු ලැබීය. එහි සඳහන් කර තිබුණේ පැවරීමේ ලියවිලි නැවත ඔහුගේ පුතාගේ නමට හරවන ලෙසටයි. ඒසමඟම ඔහු පෙන්වා දුන්නේ දුගීන්ට දෙන පිණිස ඔහුට රන්කාසි 100ක් අවශ්‍යව තිබෙන බවයි. මේ බව ආරංචි වූ වහාම මෙම සාන්තුවරයා ඉතාම දුකට පත් විය. ඇත්තටම ඔහු පරිත්‍යාගය කර ඇත්තේ රැවටිලි සහගතවය. එසේත් නැතිනම් තමා කළ යහපත් පරිත්‍යාගය ගැන පසුව ඔහු දුක් වන්නට ඇත. ඔහු සිදුකළ අධර්මිෂ්ඨ ක්‍රියාව ගැන ඉතාමත් ශෝකයට පත්වූ එතුමන්, එතුමාගේ හදවතට දෙවියන් වහන්සේ මග පෙන්වූ ආකාරයට ඔහුට අවවාද කිරීමට සහ තරවටු කිරීමට කටයුතු කළේය. එතුමා වහාම තමාට එවනු ලැබූ එම සහතික සහ ලියකියවිලි කිසිම කෙනෙකුගේ ඉල්ලීමකින් හෝ පෙළඹවීමකින් තොරව ස්ව කැමැත්තෙන්ම, පැමිණි පුද්ගලයා අතේම ආපසු යැවීය. ඔහු ඒවෙනුවෙන් වියදම් කළ මුදල් වගකීමක් ලෙස සලකා පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කළේය. එතුමන් ලිපියක් මාර්ගයෙන් ඔහුට තරවටු කර, දෝෂාරෝපණය කර පිළිතුරක් සැපයීය. එතුමා එම පුද්ගලයාගෙන් ඉල්ලා සිටියේ තමාගේ දෙගිඩියාව ගැන සහ අධර්මිෂ්ඨකම ගැන යටහත්ව පසුතැවිලි වී දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ලා සමාදානය අයැදින ලෙසටයි. ඔහු මේ ජීවිතයෙන් සමුගන්න මොහොතේ එවැනි බරපතළ පාපයකින් නිදහස් වී සිටිය යුතු බව සිහිපත් කර දුන්නේය. එතුමා නිතරම පැවසුවේ, දේව සභාව මැරුණු පුද්ගලයන්ගේ බූදලය භාරගන්නා විට වඩාත් ආරක්ෂිතව සහ සුරක්ෂිතව එසේ කළ යුතු බව ය. මක්නිසාද ජීවත්වන පුද්ගලයන් ලබා දෙන උරුමයන් පවා සිත්තැවුල්වලට සහ අහිමිවී යාම් වැනි දේවලට ගොදුරු විය හැකි බැවිනි. තවද ජීවත්වන පුද්ගලයන් එසේ පූජා කරන උරුමයන්, ස්වේච්ඡාවෙන් කළ යුතු අතර සභාවන් පෙළඹවීම් හෝ ආයාචනා තුළින් ලබා ගැනීමෙන් වැළකි සිටිය යුතු බව එතුමන් දැන්වූයේය. එතුමාට භාරකාර ඔප්පුවක් සහිතව ලබා දෙන්නට තැත් කළ කිසිවක් එතුමා භාර නොගත්තේය. එසේම එවැනි පූජාවන් භාර නොගන්නා ලෙසට, ඒවා භාර ගැනීමට කැමත්ත දැක්වූ පූජකයන්ට අවහිර කළේ ද නැත. එතුමා දේව සභාවට අයත් දේපළ ගැන ඕනෑවට වඩා ඇලූම් කළේවත් ඒවා ගැන පැටලිලි සහිත ප්‍රශ්නවලට කාලය කැප කළේ වත් නැත. එතුමාට ඇත්ත වශයෙන්ම ඇතුලාන්තයෙන් පිපාසයක් තිබුණේ තව තවත් ආධ්‍යාත්මික වර්ධනය ඇතිකර ගැනීමට වුවත් සමහර විට සාදාකාලික දේවල් ගැන භාවනා කිරීමෙන් මොහොතකට ඉවත්වී තාවකාලික දේවල් කෙරෙහි සිත යොමු කළේය. එහෙත් එවැනි දේ පිළිවෙලකට පත්කරගත් පසු එතුමාට හැඟී යන්නේ තමාගේ ශක්තිය වැය වන, සිතට පීඩා දෙන ප්‍රශ්නවලින් තමා නිදහස්වූ බවයි. ඒසමඟම එතුමාගේ ආත්මය ආපසු හැරී පැමිණෙන්නේ එතුමාගේ මනස තුළ තිඛෙන කුලූපග සහ උදාර සිතුවිලිවලට ය. 

එවිට එතුමා එතුළින් ලබාගත් දිව්‍යමය සත්‍ය ගැන මෙනෙහි කිරීමට පටන් ගනියි, නැතිනම් එතුමා සොයාගත් දෙය ලියාගැනීමට හෝ කලින් ලියාගෙන පිටපත් කිරීමට අණ දුන් සමහර දේවල වෙනස්කම් කරන ලෙසට සහ එය නැවත පිටපත් කරන ලෙසට අණ දෙයි. මෙසේ කිරීමට නිපුණත්වයක් එතුමා ලබා ගත්තේ මුළු දිවා කාලය සහ රාත්‍රිය පුරා වෙහෙසීමෙන්ය. එතුමා දේව සභාවක් ඉතා ඉහළ මට්ටමක සිටින ආකාරයක් පෙන්වා දුන් අතර එය සමාන කළ හැකි වන්නේ ඉතාමත් මහිමයට පත් මරියා උන්වහන්සේගේ වචනයට සවන්දීමට ක්‍රිස්තුස් වහන්සේගේ දෙපා මුලට පැමිණ හිඳගත්තාය යන්න ලියා දැක්වූ ස්ථානය සමඟ ය: එහෙත් ඇයගේ සොයුරිය මාර්තා ඒවෙලේ සිටියේ උන්වහන්සේට සංග්‍රහ කිරීමට බොහෝ වෙහෙසට පත්වෙමින් සිටි අතර ඇයට උපකාර වීමට තම සොයුරිය නොපැමිණි නිසා ඇය කෙඳිරිගාමින් සිටින විටදී, මෙවැනි දෙයක් උන්වහන්සේගේ මුවින් පිටවෙනවා ඇයට ඇසුණි: “මාර්තා, මාර්තා, මරියා යහපත් දේ තෝරාගෙන ඇත, එය ඇය කෙරෙන් පැහැරගනු නොලැබේ”[ලුක් 10:11-12]. නව ගොඩනැගිලි ඉදිකිරීමට හෝ ඉවත් කරගැනීමට එතුමන්ට කිසිම ආශාවක් තිබුණේ නැත. එතුමාගේ ආත්මය එවැනි දේවල් සමඟ පටලවා ගැනීමෙන් වැළකී සිටියේය. තාවකාලික දේවල් නිසා ඇති විය හැකි සිත් පීඩාවලින් නිදහස්ව ජීවත් වීමට එතුමා නිතරම අධිෂ්ඨාන කළේය. කෙසේ නමුත් එවැනි දේවලට ප්‍රිය කරන හෝ ඉදිකිරීමට ආශාකරන පුද්ගලයන්ට එතුමන් බාධා කළේ ද නැත. එහෙත් එසේ කිරීමේදී ප්‍රමාණය ඉක්මවා කටයුතු නොකෙරෙන ලෙසට එතුමන් වග බලා ගත්තේය. සමහර අවස්ථාවල දේව සභාව තුළ මුදල් හිඟතාවක් ඇති වී ඇත. එවිට එතුමා එහි පැමිණෙන ක්‍රිස්තියානි ජනයාට දැනුම් දුන්නේ, දුප්පතුන්ට දීමට එතුමා ළඟ කිසිවක් නොමැති බවයි. සමහර සතුරන් අතට පත්වූ පුද්ගලයන් වෙනුවෙන් සහ අවශ්‍යතාවන් තිබුණු බොහෝ දෙනා වෙනුවෙන් ශුද්ධ වූ භාජන පවා කඩාදමා, උණුකර දිය කිරීමෙන් ඔවුන් අතර එය ඛෙදා දෙන මෙන් එතුමා අණ කළේය. මා මේ බව එළිපිට කීමට ඉදිරිපත් වූයේ එසේ කිරීම සමහර අයගේ මාංසික විනිශ්චයට විරුද්ධව සිදුවන දෙයක් ලෙසට හඳුනාගත් නිසා ය. පූජනීය ඇම්බ්‍රොස් තුමන් ද ඒ ගැන සඳහන් කරමින් ලියා පෙන්වූයේ, එවැනි උග්‍ර අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවන විට එය තවත් කල් නොදමා තීරණ ගත යුතු බවයි. ඔගස්ටීන් තුමා පෙන්වා දුන් තවත් කාරණයක් නම්, සමහරවිට පූජාසනයට අවශ්‍ය දේ සපයන මුදල් භාණ්ඩාගාරය සහ පාලක සභාව ද විශ්වාසවන්තයන් විසින් අතපසු කරනු ලබන බවයි. එවිට එතුමන් දේව සභාව තුළදී මේ සම්බන්ධව ඇදහිලිවන්තයන්ට සිහිපත් කර දෙනු ඇත. එතුමා අපට පහදා දුන්නේ ආශීර්වාද ලත් ඇම්බ්‍රොස් තුමන් ද මෙම විෂය සම්බන්ධව වරක් සභාවට සිහිපත් කර දී ඇති බවයි.

25 වන පරිච්ඡේදය

ගෘහස්ථ විනය.

එතුමා පදිංචි වී සිටි නිවසේම එතුමා සමඟ එකට මේසයේ සිටින පූජකයන්ට ද එතුමා ලබන පොදු ආදායමින් නිතරම ආහාර සපයා දුන් අතර ඇඳුම් පැලඳුම් ද ලබා දුනි. එතුමා දේව සභාවට පැමිණෙන සෙනඟට නිතරම දේශනා කළේ, ඔවුන්ගෙන් කිසිකෙනෙකු කිසිමවිටකදී දිවුරුම් නොදෙන ලෙසටයි. එතුමාගේ මේසය වටා සිටින පූජකවරුන්ට මෙම කාරණය නිතරම එතුමා සිහිපත් කර දුන්නේය. එතුමන් පැවසුවේ කෙනෙකු යාම්තමින් හෝ දිවුරුමකින් තමාම හෙළාදැක්මට (දෝෂාරෝපණයට) යටත් වන බව ය. කෙනෙකු මෙම නීතිය කැඩුවොතින් ඔහුට එක බීම කෝප්පයක් අඩුවෙන් ලැබේ. මක්නිසාද එතුමා සමඟ සිටින, කා බී එකට ජීවත් වන සෑම පුද්ගලයකුටම පානය කිරීමට ලැබෙන කෝප්ප සංඛ්‍යාව කලින්ම තීරණය කරනු ලබයි. මෙවැනි නීතියක් තිබියදී ඔහු සමඟ සිටින සමහර පූජකවරු එම නීතිය උල්ලංඝනය කරති. එවිට තම හෘදසාක්ෂියට අනුව ඔවුන් වරද කර ඇති බවට ඔවුන්ට තේරුම් යනවිට, ඔවුන් වරදට ගැළපෙන ලෙසට විවේචනය කර, වරද නැවත නොකරන ලෙසට අවවාද කරනු ලබයි. එවැනි අවස්ථාවලදී එතුමා කියා සිටියේ, කිසි කෙනෙකු නපුරු වචන භාවිත කිරීමෙන් තමාගේ හදවත පාපයට යොමු නොකළ යුතු බවත් එවැනි පාපයක් කර නිදහසට කරුණු නොකියන ලෙසටත් ය. කෙනෙකු පඬුරු රැගෙන අල්තාරයට පැමිණි විට, පඬුරු අල්තාරය පසෙකින් තබා, තම සහෝදරයා වෙත ගොස් ඔහු හා සමගි වී, ඉන්පසු පැමිණ පඬුරු පූජා කරන්න යන දේව උපදේශය [මතෙව් 5:23-24]අනුන්ට සිහිපත් කර දුන්නේය. එහෙත් කෙනෙකු තම සහෝදරයාට විරුද්ධව යමක් ඔහුට පැවසීමට ඇති නම්, ඔහු ළඟට පැමිණ, ඔහු කළ වරද රහසිගතව ඔහුට පෙන්වා දෙන්න. ඔහු එය පිළිගතහොත් ඔබ එම සහෝදරයා දිනා ගන්නේය. එහෙත් ඔහු වරද පිළිගන්නේ නැතිනම් සාක්ෂිකරුවන් දෙතුන් දෙනෙක් සමඟ ගොස් නැවත වරද පෙන්වා දෙන්න. එහෙත් ඔහු එය නොපිළිගන්නේ නම් ඔහු සභාව අභිමුඛයට ගෙන එන්න. සභාවත් ඔහු ප්‍රතික්ෂේප කරයි නම්, ඔහු සැලකිය යුතු වන්නේ නොඇදහිලිකාරයකු හෝ අයබදු එකතු කරන්නෙකු ලෙසටයි [මතෙව් 18:15-17].එතුමා සිහිපත් කර දුන් තවත් කාරණයක් නම්, ඔබේ සහෝදරයා ඔබට වරදක් කර සමාව, හත් වතාවක් නොව, 70 වතාවක් හෝ අයැදියි නම් ඔහුට සමාව දෙන්න, එවිට ඔහුට සමාව ලැඛෙනු ඇත[ලුක් 17:4]. අප ද එයාකාරයෙන් වැරදිවලට දිනපතා දෙවිඳුන්ගෙන් සමාව ඉල්ලන්නෙමු.  

26 වන පරිච්ඡේදය

කාන්තාවන් ආශ්‍රය කිරීම පිළිබඳව.

ඔගස්ටීන් තුමාගේ නිවසේ කිසිම කාන්තාවක් වාසය නොකළේය. එතුමාගේම සහෝදරිය, වැන්දඹු කාන්තාවක් වූ අතර දීර්ඝ කාලයක් දෙවිඳුන්ට සේවය කළාය. ඇය ඔගස්ටීන් තුමාගේ මෙහෙකාරියන් භාරව සිට වයස් ගත වී මරණයට පත්වන තෙක් ජීවත්වූයේ එතුමන්ගේ නිවසින් පිටතය. ඒ හැරෙන්නට, එතුමාගේ සහෝදරිය මෙන්ම, දෙවියන් වහන්සේට සේවය කළ, තම සහෝදරයන්ගේ දූවරුන්ට වුවද එතුමාගේ නිවසට පැමිණීමට ඉඩ නුදුන්නේය. එහෙත් රදගුරුවරුන්ගේ කවුන්සිලයේ සාමාජිකයෝ එම පුද්ගලයන්ට විශේෂ ආකාරයෙන් සංග්‍රහ කළහ. එතුමා කියා සිටියේ කිසිම විටෙක තමා සමඟ තමාගේ සොයුරිය සහ සහෝදරයාගේ දූවරුන් සිටින එක ගැන දුෂ්ට සැකයක් ඇති නොවන නමුත් ඔවුන්ට සේවය කිරීමට වෙනත් කාන්තාවන් අත්‍යවශ්‍ය නිසා එම අවශ්‍යතාව සපුරාලීම පිණිස පිටස්තර ස්ත්‍රීන් පැමිණෙනවා ඇත. සමහර ස්ත්‍රීන් අමුත්තන් ලෙස ද පැමිණෙනවා ඇත. එහෙයින් දුර්වල උදවියට මෙසේ ස්ත්‍රීන් සමඟ සම්බන්ධ වීම බාධාවක් හෝ පාපයට වැටීමට ප්‍රවණතාවක් ඇති විය හැකිය. එතුමා පැවසු තවත් කාරණාවක් නම්, මෙහි නැවතී සිටින සහ පැමිණෙන සියලූ කාන්තාවන් නිසා, එම ස්ථානයට රදගුරුවරුන් සහ පූජකවරුන් මුණගැසීමට එන අනෙකුත් පිරිමි අය ද පාපයට වැටීමට පුළුවන. එසේත් නැතිනම්, අනිත් අයගේ සැකයන් නිසා ඉතා ලජ්ජා සහගත ලෙසට අපකීර්තියට පත්විය හැකිය. කාන්තාවන් එම නිවස තුළ නොසිටිය යුතුය යන්න එතුමා තීරණය කළේ ඒ නිසා ය. දෙවියන් වහන්සේට සේවය කරන දාසයන් සමඟ ඔවුන් කොතරම් දුරට පතිදම් රකින අය වුවද ඔවුන් දුබල නම් ඔවුන්ට වැටීමට බාධාවක් ඇති නොකළ යුතුයි. යම් අවස්ථාවකදී කාන්තාවකට එතුමා මුණගැසීමට හෝ එතුමාට ආචාර කිරීමට අවශ්‍ය නම්, ඇය එතුමා අභිමුඛයට පැමිණිය යුතු වන්නේ සාක්ෂි වශයෙන් වෙනත් පූජකවරුන් ද සමඟ වේ. එතුමා කිසිම වේලාවක ඔවුන් සමඟ තනිව සිට කථා බහා නොකළේය. රහසිගත දෙයක් සාකච්ඡා කිරීමේදී පවා එසේ කළ යුතු වූයේ සාක්ෂිකරුවන් ඉදිරිපිටය.

27 වන පරිච්ඡේදය

දුගී අයට සහ ලෙඩුන්ට කරන සේවය.

එතුමා බැහැදැකීම් සඳහා පිටත්වීමේදී අපෝස්තුළු පාවුලූ තුමා පනවා තිබූ නීතිවලට අනුව මුණගැසුණේ පීඩාවට පත් වැන්දඹු ස්ත්‍රීන් සහ අනාථ දරුවන් පමණි. එය එසේවුවද ඕනෑම වේලාවක අසනීපයට පත් වූ කෙනෙකු ඔහුට පුද්ගලිකව පැමිණ අත තබා යාච්ඤා කිරීමට ඉල්ලීමක් කළහොත් එතුමා අප්‍රමාදව එහි ගියේය. එහෙත් එතුමා කාන්තාවන්ගේ තාපසාරාමවලට ගියේ ඉතාමත් හදිසි අවස්ථාවන්හිදී පමණි. 

එහෙත් එතුමා අනෙක් පූජකවරුන්ට කියා සිටියේ පූජනීය ඇම්බ්‍රොස්  තුමා අනුගමනය කළ එක්තරා නීතියක් තමා ද පිළිගෙන ඒ අනුව ජීවත් වීමට තමා උත්සාහ කරන බවයි. එතුමාගේ මතයට අනුව දෙවියන් වහන්සේට සේවය කරන පුද්ගලයකුගේ ජීවිතයේ පුරුදු කරගත යුතු යම් විනයන් ඇත. ඒවා නම් වෙනත් පිරිමියෙකුට භාර්යාවක් සොයාදීමට යෑමෙන් වැළකිය යුතුය. එලෙසම යුද්ධයකට යෑමට සැරසෙන කෙනෙකුට එවැනි දෙයකට තමා මැදිහත් නොවිය යුතුය. අවසාන වශයෙන් තමාගේම සමාජ කොටසෙහි පවත්වන උත්සවයකට ආරාධනාවක් ලැබුණු විට තමා එහි යෑමෙන් වැළකි සිටිය යුතුය. එතුමා එසේ පැනවූ නීතිවලට හේතුව එතුමන්ම පෙන්වා දුන්නේය. යම්හෙයකින් ස්වාමි පුරුෂයා සහ බිරිඳ අතර අමනාපයක් ඇති වී අඬදබර කළොත්, ඔවුන් මුලින්ම දොස් පවරන්නේ ඔවුන් එකට ගෙන ආ පුද්ගලයාට ය. එහෙත් ඔවුන්ම විවාහ වීමට කලින් තීරණය කරගෙන සිටියේ නම් ඔවුන්ගේ විවාහ වීමට මැදිහත් වූ පූජකයා ඔවුන්ට තමන් එකඟ වූ දෙයට කීකරු ව කටයුතු කරන ලෙසටත් එය ස්ථීර කර, ආශිර්වාදය ලබා ගන්නා ලෙසට සිහිපත් කර දිය යුතුවේ. දෙවනුව දුන් අවවාදය නම්,යම් කෙනෙකු හමුදා සේවයට ස්වේච්ඡාවෙන් බැඳී, සේවයෙහි යෙදී සිටින අතරතුරේදී යම් අනතුරකට මුහුණපෑමට සිදුවුවහොත්, එය තමාගේම වැරදි තීරණය නිසා සිදුවූ දෙයක් හෙයින් කිසිවෙකුට දොස් පැවරිය නොහැකිය: අවසාන වශයෙන් උත්සවවලදී සිදුකරන විවිධ චාරිත්‍රයන් සමඟ තමාද නිතර නිතර අත්වැල් බැඳගැනීමෙන් කරගන්නේ, ආත්ම සංයමයෙන් සිටීමට කළ දිව්රීම උල්ලංඝනය කිරීමකි.

එතුමා විසින් අප හට පවසන ලද තවත් කාරණාවක් නම්, එතුමාගේ ජීවිතයේ අවසාන කාලයේදී එක්තරා සත්කීර්තිමත් පූජනීය නායකයකුගේ මුවින් පිට වුණු ප්‍රඥාවන්ත සහ දිව්‍යමය පිළිතුරක් සම්බන්ධව ය. එතුමා එකී වදන්, ඉතා උණුසුම්ව, වර්ණනා කොට, මහත් සේ ප්‍රශංසාවෙන් පිළිගත්තේය. එකී නායකයාට මුහුණ දීමට වූ අන්තිම අසනීපයේදී මෙම උතුම් පූජනීය නායකයා සැතපී සිටි කවිච්චිය වටා, දේව සභාවේ ප්‍රධාන සාමාජිකයෝ රොක් වී සිටියහ. එතුමා කුමන මොහොතේ හෝ මෙලොවින් සමුගෙන දේව අභිමුඛයට යන බව හොඳින් දැන සිටි ඔවුහු මහත් කම්පනයකින් එතුමා දෙස බලා සිටියහ. දේව සභාවට හිමි මෙවැනි ශ්‍රේෂ්ඨ දේවගැතිවරයකු අහිමි වී යනු බලා සිටීම ඔවුන්ට දරා ගත නොහැකි විය. එපමණක් නොව, එකී නායකයා දේව වචනය සහ දේව ප්‍රසාද නිධානය, දේව නියමයට අනුවම ඉටු කළ කෙනෙකි. ඔවුන් ඉතා බැගෑපත්ව එතුමන්ගෙන් එම මොහොතේදී ඉල්ලා සිටියේ, එතුමාගේ ජීවත් වීමට ඇති කාලය දීර්ඝ කරන ලෙසට දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටින ලෙසටයි. එයට පිළිතුරු වශයෙන් එතුමා ඔවුන්ට මෙසේ පැවසීය: “මා ඔබලා අතර ජීවත් වූ ආකාරය ගැන මට කිසිසේත් ලජ්ජා වීමට අවශ්‍ය නැහැ. එහෙත් මා මරණයට මුහුණ දීමට බය නැහැ. මක්නිසාද මට සිටින්නේ යහපත් දෙවි කෙනෙකි”. අපේ ඔගස්ටීන් තුමාද එතුමාගේ අවසාන කාලයේදී, එකී පූජකවරයා පැවසු ගැඹුරු වචන අගය කරමින් ප්‍රශංසා කළෝය. ඇම්බ්‍රොස්  තුමා දෙවනුව කී වදන වන “මා මරණයට මුහුණ දීමට භය නැහැ, මක්නිසාද මට සිටින්නේ යහපත් දෙවි කෙනෙකි”යන්න අප ද මතක තබා ගත යුතු බව ඔගස්ටීන් තුමා පැවසීය. එතුමා තමන් ජීවත් වුණු ක්‍රමය ගැන සහ ශුද්ධාත්මය ගැන ඕනැවට වඩා විශ්වාසය තබා, “මා ඔබ අතර ජීවත් වුණු ආකාරය ගැන මට කිසිසේත් ලජ්ජා වීමට අවශ්‍ය නැහැ”යන වදන් පැවසුවා නොවේ. එතැනදී එතුමා අදහස් කළේ මිනිසුන් අනෙක් අය විනිශ්චය කිරීම සංසන්දනය කිරීමෙනි. එහෙත් දිව්‍යමය විනිශ්චය ගැන එතුමන් විශ්වාස කළේ දෙවිඳුන් කෙරෙහිය. එහෙයින් එතුමා දිනපතාම “අපේ පව් කමා කළ මැනවි”යැයි අයැදුම් කළේය. 

ඔගස්ටීන් තුමාගේ ජීවිතයේ අන්තිම කාලය ළඟාවෙත්ම එතුමාගේ කුලූපග මිත්‍රයකු සහ සහෝදර රදගුරු කෙනෙකු පැවසු මෙවැනි වදන් එතුමා ද නිතර නිතර පැවසීය. එතුමන් එම මිත්‍රයා මරණයට ඉතාමත් සමීප දින කිහිපය තුළදී බොහෝ වතාවක් බැලීමට ගියේය. එතුමා ඔගස්ටීන් තුමාට අතින් සංඥා කර පෙන්වූයේ තමා ඉතා ඉක්මනින් මෙලොව හැර යන බවයි. ඔගස්ටීන් තුමා එතුමාට එවනවිටත් කියා සිටියේ ඔහු තව කල් ජීවත් වුවහොත් දේව සභාවට මහත් සේ ප්‍රයෝජනවත් වන බවයි. එහෙත් ඔහු දුන් පිළිතුරට අනුව තේරුම් ගියේ තමා මෙලොව ජීවිතය අල්ලා ගෙන සිටීමට කැමති වූ කෙනෙක් ලෙසට කිසිවකු තේරුම් ගත යුතු නැත කියාය: “මම නොමැරී සැමදාම ජීවත්වනවා නම් කොපමණ හොඳද: නමුත් කවදා හෝ මට මරණයට මුහුණ දීමට සිදුවෙනවා නම්, ඇයි එයට දැන්ම මා සූදානම් නොවන්නේ? ඔහුගේ මෙම මෘදුභාවය ගැන ඔගස්ටීන් තුමා ඔහුට ඉතා ගෞරව කළා පමණක් නොව එය තමාගේම මුවින් ප්‍රකාශ කිරීම ගැන ඔහුට ප්‍රශංසා කළේය. ඔහු දෙවියන්ට භයෙන් සේවය කළ අතර ඉපදී හැදුණේ වැඩුණේ කුඩා නගරයකය. ඔහු එතරම් දුරට අධ්‍යාපනයක් නොලැබු කෙනෙකු වූ අතර කියැවීම අතින් ඉතා දුර්වල කෙනෙක් විය. අනිත් අතට අසනීප වී මරණාසන්න දිනය ඉතා ළංව තිබියදී එක්තරා රදගුරු තුමකු ගැන සහ ඔහුගේ ආකාල්ප ගැන ශුද්ධ වූ ප්‍රාණත්‍යාගියකු වූ සිප්‍රියන් [Cyprion]ඔහුගේ Mortality[මැරෙන සුලූ බව]නමැති කෘතියෙහි දෙදෙනා අතර සංසන්දනාත්මකව ලියා ඇති කරුණු කියවා බලන්න. අපේ එක්තරා සහෝදර පූජක පක්ෂයට අයත් මිත්‍රයෙකු, ඉතා අබල දුබලතාවට පත්වී, ඔහුගේ ජීවිත කාලය දීර්ඝ කරන ලෙසට අයදිමින් සිටියේය. ඔහු මෙසේ මරණාසන්න මොහොතේ යාච්ඤා කරමින් සිටියදී මහිමයෙන් සහ තේජසින් පිරුණු තරුණයකු තමා ළඟ සිටගෙන සිටිනවා ඔහු දුටුවේය. මෙම තරුණයා ඉතා උස, දීප්තිමත් පෙනුමක් ඇති කෙනෙකු විය. ඔහු දෙස සාමාන්‍ය මිනිස් ඇස්වලින් බලා සිටීමට වත් අපහසු විය. එම මොහොතේ මෙලොවින් සමුගැනීමට ආසන්නව සිටි පූජකයාට වුවද එවැනි කෙනෙකු දෙස බලා සිටීමට ශක්තියක් ලැබුණි. මෙම තරුණයා තරමක් කෝපයට පත්වූ ආත්මයකින් සහ කටහඬකින්, එම රදගුරු තුමාට තරවටු කරමින් මෙසේ කීවේය: “ඔබ දුක්විඳින්නට අකැමැතියි, ඔබ මැරෙන්නටත් අකැමැතියි; මොනවද මම දැන් ඔබට කළයුතු වන්නේ?”

28 වන පරිච්ඡේදය

ඔගස්ටීන් තුමා මිය යාමට පෙර ප්‍රකාශයට පත්කළ පොත්.

එතුමන්ගේ මරණයට දින කිහිපයකට පෙර, එතුමා අනුලේඛනය කර පළ කළ පොත් නැවත කියවා බලා සංශෝධනය කළේය. එම කාණ්ඩයට අයත් පොත් සමහරක් එතුමා පූජකයකු වීමට පෙර ගිහියෙකුව සිටි අවධියේදී ලියූ එවා වේ. එහෙත් දෙවිඳුන්ට ජීවිතය භාර දීමට තීරණ කර තිබුණි. අනෙක් පොත් එතුමා වැඩිමහල්ලකු ලෙස හෝ රදගුරුවරයකු වශයෙන් සේවය කරන විට ලියන ලදි. එතුමා විසින් අනුලේඛනය කළ සමහර කෘතීන් මුලින් නිම කරන ලද්දේ විනයානුකූල ජීවිතය ගැන එතුමාට එතරම් දැනීමක් නොතිබුණ විටය. එතුමා එම නීතිවල එකඟතාවක් නොදැක්වූ කවර දෙයක් හෝ විවේචනය කර පසුව නිවැරදි කරන ලදී. එහෙයින් On the Revision of Books  [පොත්වල සංශෝධනය කළ කරුණු] යනුවෙන් වෙනම ග්‍රන්ථ දෙකක් නිම කරන ලදී. එතුමා ලියා තිබුණු සමහර පොත්, ඒවා නැවත කියවා බලා තමා විසින් සංශෝධනය කිරීමටද පෙර අනෙකුත් සහෝදර රදගුරුවරුන් විසින් ඒවා රැගෙන ගොස් ඇති බවට එතුමා චෝදනා කළේය. එහෙත් ඒවා පසුව එතුමා විසින් සංශෝධනය කර ඇත. එතුමා මරණයට පත්වන විට එතුමා ලියන්නට පටන් ගත් සමහර පොත් නිම කර තිබුණේ නැත. සැම කෙනෙකුටම, එනම් බොහෝ පොත් කියැවීමට හැකියාව ඇති සහ කියැවීමට එතරම් නොතේරෙන අයට පවා උපකාර කිරීමට එතුමන්ට මහත් ආශාවක් තිබුණි. ඒ අය වෙනුවෙන් ශුද්ධවූ නව සහ පැරණි ගිවිසුමේ දිව්‍යමය අණ සහ තහනම් පනවා තිබූදේ ගැන, පාඨයන් සඳහන් කර,ජීවිතය ගත කළ යුතු ආකාරය ගැන, එයට අතිරේක ප්‍රස්තාවනාවක් එකතු කර ග්‍රන්ථයක් සකස් කළේය. එම ග්‍රන්ථය කියවා බලා, කෙනෙකුට තමා දෙවියන් වහන්සේට කෙතරම් දුරට කීකරුව ගමන් කරනවාද, නැතිනම් දෙවියන් වහන්සේට කෙතරම් අකීකරුව ජීවත් වනවාද යන්න තේරුම් ගැනීමට හැකි වේ. මෙම කෘතියට එතුමා විසින් තෝරාගත් නම Mirror[කැඩපත]විය. 

කෙටි කාලයකට පසු දේව කැමත්ත සහ අණ පරිදි මිලේච්ඡ සතුරා විශාල සේනාවක් දුෂ්ට මිනිසුන් සමුහයක් ද වැන්ඩල්වරුන් ද ඇලන්වරුන් සහ ගොත් ගෝත්‍රිකයන් කණ්ඩායමක් ද කැටුව, තව වෙනත් විවිධ ජාතීන් එකතු කරගෙන, ස්පාඤ්ඤය අවට පලාත්වලින් නැව්වලින් මුහුද හරහා පැමිණ අප්‍රිකාව පුරා පැතිරී එරට වැනසුවේය. ඔවුන් සතුව නොයෙකුත් වර්ගයේ ආයුධ තිබුණු අතර යුද ක්‍රම ගැන මනා පුහුණුවක් ඔවුන්ට තිබුණි. ඔවුන් මොරිටේනියා [Mauretania]පලාතෙහි සෑම තැනම පැතිර සිටියහ. ඔවුහු එතැන සිට අවට පලාත්වලට මෙන්ම විශාල ප්‍රදේශවලට ගමන් කළහ. ඔවුහු එසේ ගමන් කරන අතර තමන්ට හමුවන සෑම කෙනෙකුම කෘෘර සහ ඉතා දරුණු වධ හිංසාවලට යටත් කර, සෑමදෙයක්ම කොල්ල කැවේය. එපමණක් නොව භයානක ලෙස මිනිමැරීම් සිදුකරමින්, විවිධාකාර දරුණු වධහිංසා මධ්‍යයේ මහත් යුද බියක් ලැව්ගින්නක් මෙන් ඇති කරමින් නමක් කීමට පවා නොහැකි දරුණු අපරාධ සෑම තැනම සිදුකළහ. ඔවුන්ගේ ග්‍රහණයට හසුවුණු කිසිවකු වයස් භේදයකින් තොරව, ස්ත්‍රී පුරුෂ භාවය නොතකා, දෙවියන් වහන්සේගේ පූජකයන් ඇතුලූ සියලූ දෙනාම විනාශ කළහ. දේව සභාවන් පැවැත්වූ ගොඩනැගිලි සහ පූජා භාණ්ඩ ද වෙනත් සැරසිලි භාණ්ඩ ද කඩා බිඳ දැමුහ. එහෙත් සතුරාගෙන් මෙලෙස එල්ල වූ දරුණු පහරදීම්වලට සහ වැනසීමට මුහුණ දීමට වූ හේතුව ගැන ඔගස්ටීන් තුමා නිරීක්ෂණය කළේ අනෙක් පුද්ගලයන් මෙන් නොව, වෙනත් පැතිකඩකිනි. එහෙත් සිදුවන සියල්ල ගැඹුරින් සහ විචක්ෂණ බුද්ධියකින් සලකා බැලූ එතුමන්ට දැකගත හැකිවූයේ ආත්මවලට එල්ල වී ඇති භයානක තර්ජනය සහ ආත්ම විනාශ වී යෑමයි (“දැනුම වැඩි වෙත්ම ශෝකය වැඩි වේ”, [ධර්ම. 1:18]. “තේරුම් ගත හැකි හදවත ඇටකටු විනාශ කරන පණුවකු වැනිය”යැයිද ලියා තිබේ). එතුමා එම දින කිහිපය ගත කළේ ඉතාමත් කනගාටුදායක ලෙසටය. දිවා සහ රාත්‍රි සැලු කඳුළු එතුමාගේ ආහාරය විය. ඒ සියල්ල දැන් අවසාන වී ඇති නමුත්, එතුමා වයස් ගතවී සිටින මොහොතේ දුටු ඉතාම තිත්ත සහ දුක්ඛිත සිද්ධීන් යැයි කිව හැකිය. සම්පූර්ණ නගර එහි පදිංචි වී සිටි පුරවැසියන්, ඔවුන්ගේ නිවෙස් සහ ඉඩම් සමඟ විනාශ වී යන අයුරුද සතුරා විසින් නගරවාසී ජනයා ඝාතනය කරනු ලැබීමද අර්ධ වශයෙන් නිරුද්ධ වූ පසු පණ ගලවා ගැනීමට සෑම අතකටම දුවමින් විසිරී යන අයුරුද එතුමා දුටුවේය. එතුමා දුටු තවත් දෙයක් නම් සියලූ පූජකයන්,දේව දාසයන්, ශුද්ධ වූ කන්‍යා සොයුරියන් සහ තාපසාරාමවල ජීවත්වූවන් සෑම තැනම විසිරී සිටින ආකාරයයි. මෙසේ සෑම දේව සභාවක් පාහේම විනාශයට පත්කර තිබුණි. තවද ඔහු සියැසින් දුටු තවත් දේවල් නම් සමහරුන් දරුණු වධ හිංසා පීඩාවලට ලක්වී මැරී යන අයුරු, තවත් සමහරුන් කඩුපහරින් ඝාතනය කරන අන්දම,තවත් සමහරුන් තමන්ගේ ශරීරය සහ ආත්මයට අත්වුණු දරුණු අමානුෂික වද හිංසා නිසා තමාගේ අවිහිංසක භාවය සහ ඇදහිල්ලත් නැති වී ගොස් නපුරු වහල් ජීවිතයකට ගොදුරු වී සිටින ආකාරයයි. දේව සභාවලින්, දෙවියන්ට ගැයූ ගීතිකා සහ ප්‍රශංසාවන් සතුරා විසින් නිහඬකරන ලදී. බොහෝ තැන්වල දේව සභාවන් කඩා බිඳ දමා, ගිනිබත් කොට තිබුණි. දේව සභාවන් හිදී නිතර නිතර පැවැත්වුණු දේව මෙහෙයන් තවත් දුරට අසන්නට වත්, දකින්නට වත් නොතිබුණි. දිව්‍යමය සක්‍රමේන්තුව ලබා ගැනීමේ ආශාවෙන් බලා සිටින කිසිවකු දකින්නට නොලැබුණි. එය ලබා ගැනීමට කෙනෙකු ආශාවෙන් සිටියද එය ලබා දීමට කෙනෙක් නොසිටියේය. ඔවුහු ජීවිත බේරාගැනීමට කඳුකර වනාන්තරවලට, පර්වතවල පිහිටි ලෙන් සහ ගුහාවලට හෝ බේරී ගොස් විවේකීව සිටිය හැකි නොයෙකුත් ස්ථාන කරා පැන ගියහ. එසේ පැන ගිය සමහරු අල්ලා මරනු ලැබූහ. අනෙක් අය මංකොල්ලකනු ලැබුවෝය. හිරකර තැබූ සමහරු ජීවත්වීමට ආහාර පාන යනාදිය නොලැබීමෙන්, කුසගින්නෙන් මිය ගියහ. පල්ලිවල සිටි රදගුරුවරු සහ පූජකයන්, සමහරු දෙවියන් වහන්සේගේ රැකවරණයෙන් සතුරා මුණ නොගැස්සුවේය. එසේ මුහුණට මුහුණ හමුවු පූජ්‍ය පක්ෂයට පවා ඔවුන් කිසිම සමාවක් නොදී, ඔවුන් සතු සෑම දෙයම මංකොල්ල කා තනිකර හිඟකමට පත් කළහ. දේව සභා විශාල ගණනකින් දෙවියන් වහන්සේගේ අනුග්‍රහය යටතේ විනාශ නොවී තිබුණේ කාර්තේජ් හිපෝ සහ සර්ටා [Cirta]හි තිබුණ දේව සභාවන් පමණි. එම නගර, දේව සහ මනුෂ්‍ය ආරක්ෂාව යටතේ තවමත් පවතින නිසා දැකගත හැකි වේ. එහෙත් ඔගස්ටීන් තුමාගේ මරණින් පසු, හිපෝ හි සිටි පදිංචිකරුවන් අතහැර දමා ගිය පසු, සතුරා විසින් එයට ගිනි තබන ලදී. මෙම ව්‍යසනයන් සිදුවන අතරතුරදී එතුමන් එක්තරා ප්‍රඥාවන්ත කෙනෙකු කී වදන් සිතට නගමින්, සිත සනසා ගත්තේය. එම කියමන නම් “පරාල සහ ගල් කඩා වැටී, මනුෂ්‍යයා මැරෙන විට ඒ ගැන පුදුමයට පත් වන මිනිසා, ශ්‍රේෂ්ඨ පුද්ගලයකු ලෙස පිළිගැනීමට බැරි ය.”

එහෙත් ඔගස්ටීන් තුමා ඉතාම නුවණැති කෙනෙකු වූ අතර, මෙම සිද්ධීන් ගැන දිනපතාම වැලපුණේය. එතුමා වඩාත්ම දුකට පත්වූයේ මෙතෙක් දුරට තත්වය ආරක්ෂා කරගෙන සිටි හිපෝ රීජියානුවන්ගේ නගරය ද සතුරා විසින් වටලන ලද විටය. මෙම අවස්ථාවේදී එහි  ආරක්ෂාව සඳහා නැසී ගිය සිටුවර බොනිෆස් [Baniface]ට පැවරි තිබුණ වගකීම ඉටුකිරීමට, මිත්‍රශීලි ගොත් යුද හමුදාවක් ද ලබා දී තිබුණි. මාස 14ක කාලයක් පුරා එම නගරය වටලා තිබුණු අතර: එයට ප්‍රවේශ වීමට තිබූ වෙරළබඩ ප්‍රදේශයටද අවහිර දමා තිබුණි. අපි පවා අවට ප්‍රදේශවල සිටි අපේ අනෙකුත් සහෝදර රදගුරුවරුන් සමඟ එම නගරය තුළ රැකවරණය ගත්තෙමු. වටලා තිබූ මුළු කාලය තුළදීම අපි එහි රැඳී සිටියෙමු. අප නිතරම එකට කථාබහ කළේ සහ භාවනා කළේ අප ඇස් ඉදිරියේ පෙනෙන්නට තිබුණු දෙවියන් වහන්සේගේ අතිශයින් භයානක විනිශ්චයන් ගැනය: අප පැවසුවේ: “ඔබ ධර්මිෂ්ඨයි දෙවිඳුනි, ඔබේ විනිශ්චයන්ද සාධාරණයි.”අප සියලූ දෙනාටම පොදු ශෝක වීම්, කෙඳිරිගෑම් සහ කඳුළුවලට මුහුණ දෙමින්, කරුණාව දෙන, සියලූ අවස්ථාවන්හි අප හට අනුකම්පාව පෙන්වන, මහත් විපත්වලදී, අපට අනුග්‍රහය දැක්වීමට පොරොන්දු වූ දෙව්පියාණන්ට අපි කන්නලව් කළෙමු. 

29 වන පරිච්ඡේදය

ඔගස්ටීන් තුමාට වැලඳුණු අවසාන රෝගය.

දිනක් අප අහම්ඛෙන් මෙන් මුණගැසී, එතුමන් සමඟ මේසය වටා හිඳගෙන සාකච්ඡා කරමින් සිටින විටදී එතුමන් අපට මෙසේ පැවසීය: “මම ආසයි, මෙම අවාසානවන්ත මොහොතේදී,මා දෙවිඳුන්ගෙන් ඉල්ලා සිටි දෙය ඔබලා ද දැනගන්නවාට: එක්කෝ උන්වහන්සේ මෙම සතුරා විසින් වටකරන ලද නගරය නිදහස් කරදීමට ප්‍රසන්න වේවි. එසේත් නොමැතිව ඊට වඩා උතුම් දෙයක් වන උන්වහන්සේගේ දාසයන් නිර්භිතව, උන්වහන්සේගේ කැමැත්ත භාරගනීවි. එසේත් නැතිනම් අඩුම ගණනේ, මෙලොවින් මා උන්වහන්සේ ළඟට කැඳවන්න.”එතුමන් මෙම වචන ප්‍රකාශ කළ පසු අපි එකා මෙන් එතුමන්,මෙම නගරය තුළ හිරවී සිටි අනෙකුත් රදගුරුවරුන් සහ ජනයා වෙනුවෙන් ආයාචනා කළෙමු. මෙම වැටලීම ආරම්භ කර තුන් වැනි මාසයේදී, ඔගස්ටීන් තුමාට උණ රෝගය වැලඳීමෙන්, එතුමාගේ අවසාන රෝගය තුළින් එතුමා මෙලොවින් සමුගත්තේය. සැබැවින්ම දෙවිඳුන් තමන් වහන්සේගේ දාසයාගේ යාච්ඤාවට පිළිතුරු නොදී නොසිටි සේක. තමා සහ නගරය වෙනුවෙන් කඳුළු වගුරවමින් කළ එම යාච්ඤාවට පිළිතුරු නියමිත වේලාවට එතුමන්ට ලැබුණි. එතුමන් වැඩිමහල්ලකු සහ රදගුරු ලෙස සේවය කළ අවස්ථා දෙකෙහිදීම, යක්ෂාවේශ වුණු සමහරුන්ට යාච්ඤා කරන ලෙස ඉල්ලූ විට, එතුමා කඳුළු වගුරුවමින් දෙවිඳුන්ගෙන් එම ඉල්ලීමට පිළිතුරු දෙන ලෙසට ඉල්ලා සිටි අයුරු මට සිහිපත් වේ. එවිට එම පුද්ගලයන්ගෙන් යක්ෂාත්ම දුරුවිය. ඒ ලෙසම එතුමා රෝගාතුර වී, ඇඳේ දිගා වී සිටින විට, එක්තරා මිනිසෙකු අසනීප ඥාතියකු සමඟ එහි පැමිණ, ඔහු මත අත තබා සුවවෙන ලෙසට යාච්ඤා කරන මෙන් ඉල්ලා සිටියේය. එහෙත් ඔගස්ටීන් තුමා පිළිතුරු දුන්නේ තමා එවන් බලයක් තිබුණා නම් ඉන් මුලින්ම තමාම ප්‍රයෝජනය ලබාගන්නා බවයි. එවිට අමුත්තා කියා සිටියේ ඔහු දර්ශනයක් දුටු බවත් සිහිනයකින් මෙම වචන ඔහු වෙත ආමන්ත්‍රණය කළ බවයි. “ඔබ මත අත තබන පිණිස ඔගස්ටීන් රදගුරු තුමන් වෙත යන්න. එවිට ඔබ සුව කරනු ලබන්නේය.”මෙය ඇසූ ඔගස්ටීන් තුමා නොපමාව එසේ කළේය. එසැණින් දෙවියන් වහන්සේ රෝගී මිනිසා සුවපත් කර නැවත නිවෙස බලායාමට සැලසූ සේක.

30 වන පරිච්ඡේදය

පරසතුරු සේවාවන් ළඟාවීම හේතුවෙන් සභාවන්ගෙන් දරගුරුවරුන් ඉවත් කරගැනීම පිළිබඳ උපදෙස්.

ඉහත සඳහන් සතුරු සේනාවන් අපට තර්ජනයක් එල්ල කළ අවස්ථාවේදී ඔවුන්ගේ ළඟාවීම හේතුවෙන් රදගුරුවරුන් හා පූජකවරුන් සභාවන්ගෙන් ඉවත්කර ගතයුතුද නැද්ද යන කාරණාව ශුද්ධවන්ත මිනිසෙකු හා තියාබි සභාව භාර අපගේ සහෝදර රදගුරුවරයෙකු වූ ඔනොරාතුස් තුමන් ලිපි මගින් ඔගස්ටීන් තුමාගෙන් විමසූ වග මා කිසි අයුරකින් වත් නිහැඬියාවෙන් මග නොහැරිය යුතුය. රොමානියාව වැනසූ එම සතුරාගෙන් අප වඩාත් බිය විය යුතු කාරණාව වෙත එතුමාගේ පිළිතුරෙන් අප යොමු කළේය. දෙවියන් වහන්සේගේ පූජකවරුන්ට හා සේවකයන්ට උචිත වන ක්‍රියාකලාපය දැනගැනීම උදෙසා එම ලිපිය සැබවින්ම ඉතා ප්‍රයෝජනවත් හා අත්‍යවශ්‍ය වන හෙයින් මෙම විස්තරයට එකතු කිරීමට මම කැමැත්තෙමි.

“අප ශුද්ධවන්ත සහෝදර හා සම-රදගුරු ඔනොරාතුස් වෙත සමිඳාණන් තුළ ඔගස්ටීන් ආචාරය පිළිගන්වයි.”

  1. අප සහෝදර හා සම-රදගුරු ක්වෝඩ්වලට්දෙයුස් තුමාට මා ලියූ ලිපියේ පිටපතක් ඔබ තුමාටත් යැවීමෙන් අපගේ කාලයේ සිදුවී ඇති උවදුරු මැද ඔබ කළ යුතු දේ කුමක්දැයි මාගෙන් උපදෙස් අසා මා පිට තබා ඇති බරින් නිදහස් වේ යැයි මම සිතුවෙමි. මා එම ලිපිය කඩිනමින් ලියූ නමුත් පිළිතුරක් ලෙස කීමට අවශ්‍ය කාරණා අඩුවකින් තොරව ද දැන් මාගෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන අයටත් සෑහෙන පරිදි ද ලියූ බවත් මම විශ්වාස කරමි. සුරක්ෂිත ස්ථානයන් කරා ඉවත්වී යාමට කැමති අයට එසේ කළ හැකි නම්, බාධා නොකළ යුතු බවත්, අප සේවය කළ යුතු සභාවන් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමයෙන් අතරමං නොකරන පිණිස අප බැඳී ඇති සේවයේ වගකීම් පැහැර නොහැරිය යුතු බවත් ය. එම ලිපියේ මා ලියූ වදන් මේවාය. ‘එසේ නම්, අප සමඟ සිටින දෙවියන් වහන්සේගේ ජනතාව සුළු පිරිසක් වුවද ඔවුන්ට අපගේ සේවය එතරම් අවශ්‍ය වන්නේ නම් එය නොලැබී සිටීමට ඉඩනොතබා, මෙලෙස ස්වාමීන් වහන්සේට යාච්ඤාකිරීම අපට භාර වේ. “ඔබ වහන්සේ අපට දෙවි කෙනෙකුද,  ආරක්ෂකයෙකුද,රක්ෂාස්ථානයක්ද වෙත්වා!”’
  2. එහෙත් මෙම අනුශාසනාව ඔබට නොසෑහෙන බව ඔබ ලියා එවයි. නගරයෙන් නගරයට පලා යායුතු බවට උගන්වන සමිඳාණන් වහන්සෙගේ ආඥාව හා ආදර්ශයට පටහැණිව ක්‍රියා කිරීමට අප උත්සාහ කරන්නේදැ යි ඔබ සැක කරයි. අප උන්වහන්සේගේ වදන් මතකයට නගමු. “ඔවුන් එක් නුවරක දී ඔබට පීඩා කළහොත්, ඊළඟ නුවරට දිව යන්න.”උන්වහන්සේ ස්වකීය ලෙයින් මුදා ගත් බැටළු රැළවලට අවශ්‍ය උපස්ථානය නොමැතිව ජීවත්වන්නට නොහැකි වූ අවස්ථාවන්හි දී මෙසේ සිදු කළ යුතුයැ යි ස්වාමීන් වහන්සේ පතනා බවට විශ්වාස කරන්නේ කවුද? ස්වාමීන් වහන්සේට, අතරමං කිරීමට තරම් රැස්කරගත් ප්‍රජාවන් කිසිවක් නොතිබුණු උන්වහන්සේගේ ළදරු වියේදී දෙමව්පියන් විසින් දරාගෙන මිසරයට පලා ගිය අවස්ථාවේදී උන්වහන්සේ මෙසේ කළසේක් ද? පාවුල් අපෝස්තුළුවරයා කවුළුවෙන් කූඩයකට බස්සා සතුරාට හසු නොවන ලෙස බේරී ගිය අවස්ථාවේදී එතුමන්ගේ සේවය අවශ්‍යව සිටි කිසිදු සභාවක් අතරමං වූවාද?අවශ්‍ය කළ සියල්ලක්ම එහි පදිංචි අනෙක් සහෝදරවරුන්ගෙන් සැපයුණා නොවේ ද? සැබවින්ම එතුමා මෙසේ කළේ සභාවට එතුමා ඉතුරු වන පිණිස ඔවුන්ගේ ඉල්ලීම මත ය. මන්ද, පීඩාකාරයාට අවශ්‍ය වූයේ එතුමා පමණි. වචනයේ හා සක්‍රමේන්තුවේ උපස්ථායකයන් වන ක්‍රිස්තුස් වහන්සේගේ සේවකයෝ උන්වහන්සේ උගන්වා අවසර දී ඇති පරිදි ක්‍රියා කරත්වා. පීඩාකාරයන් විසින් අල්ලා ගැනීමට විශේෂයෙන් ඉලක්ක වූ අයෙකු ඔවුන් අතර සිටින්නේ නම් ඔවුන්ට නගරයෙන් නගරයට පලා යෑමට ඉඩ දෙන්න. එහෙත් එසේ කළ යුත්තේ පීඩාවට විශේෂයෙන් ඉලක්ක නොවූ අනෙක් අය තම හවුල් සේවකයන්ගේ ආහාරය සපයා නොදීම නිසා ඔවුන්ට ජීවත්වීමට නොහැකි වන බැවින් සභාව අතරමං නොකර සිටින්නේනම් පමණි. එහෙත් රදගුරුවරුන් ද දේවගැතිවරුන් ද ගිහියන් ද යන සැමටම උපද්‍රවය පොදු වන්නේනම්,අවශ්‍ය කරන අය මගින් අවශ්‍යතා ඇති අය අතරමං නොවිය යුතුය. මේ අනුව, සෑම දෙනා සුරක්ෂිත ස්ථාන වෙත ඉවත්වී යා යුතුය. එසේ නැතිනම් රැඳීසිටීමට සිදුවන අයගේ ශාසනික අවශ්‍යතා සපයන අය විසින් අතරමං නොකළ යුතුය. මෙමගින් සියලු දෙනාම ජීවත්විය යුතුය. නැතිනම් ඔවුන් විසින් දැරිය යුතු බවට පියාණන් වහන්සේ අභිමත කරන දේ එකට විඳිය යුතුය. 
  3. එහෙත් සමහරුන් වැඩියෙන් ද අනෙකුන් අඩුවෙන් ද වද විඳීමට සිදුවන්නේ නම්, ඉන් ඔප්පුවන්නේ ඔවුන් එම කරදරයන්ගෙන් පලායාමට අවස්ථාව තිබුණ ද අසරණ වූ අවස්ථාවේ දී අනෙකුන් අතරමං නොකර රැඳී සිට ඔවුන් උදෙසා දුක් විඳිනා බවයි. අපෝස්තුළුවර යොහන් නිර්දේශ කළ ප්‍රේමය විශේෂයෙන් අදර්ශවත් වේ. “ප්‍රේමය යනු කිමෙක් දැ යි අප දන්නේ, ක්‍රිස්තුන් වහන්සේ සිය ජීවිතය අප උදෙසා පරිත්‍යාග කළ බැවිනි. අප ද,සහෝදරයන් උදෙසා අපේ ජීවිත පරිත්‍යාග කළ යුතු ය”(1යොහන් 3:16). මන්ද යත්, පලා යන අවස්ථාවේදී හෝ වගකීම් නිසා පලා යාමට නොහැකිව අල්ලාගනු ලැබූ අය යම් පීඩාවන් විඳීමට සිදුවුවහොත් ඔවුන් එම දුක්වේදනා විඳින්නේ සහෝදරයන් වෙනුවෙන් නොව ඔවුන් වෙනුවෙන්ම ය. එහෙත් ඔවුන්ගේ ක්‍රිස්තියානි සුභසිද්ධිය උදෙසා උපස්ථානය අවශ්‍ය සහෝදරයන් අත්හැර යෑමට අකමැති වීම නිසා දුක්විඳීමට පත්වන අය නිසැකවම තම ජීවිත පරිත්‍යාග කරන්නේ තම සහෝදරයන් වෙනුවෙනි.
  4. “වේදසාක්ෂිකරුවන්ගේ පරිත්‍යාගය හිමිකරගත හැකි පීඩාවන්ගෙන් පලා යාමට ස්වාමීන් වහන්සේ අපට අණකර ඇති සේක් නම් ම්ලේච්ඡයන්ගේ සතුරු ආක්‍රමණවලින් සිදුවන මෙම නිෂ්ඵල දුක්විඳීම්වලින් කොතරම් වැළකිය යුතුදැ”යි එක්තරා රදගුරුවරයෙකු කළා යැයි අප ඇසූ ප්‍රකාශය සැබවින්ම සත්‍ය හා පිළිගත හැකි වුවද, එසේ වන්නේ ශාසනික වගකීම්වලින් බැඳී නැති අය පමණකි. බේරී යෑමට අවස්ථාවක් තිබියදීත් සතුරු ප්‍රහාරයෙන් පලා නොගොස් (එය නැතිවීම නිසා මනුෂ්‍යයන්ට ක්‍රිස්තියානි ජීවිතයක් පවත්වාගෙන යාමටවත් ක්‍රිස්තියානි වීමටවත් නොහැකිවන තරම් වැදගත්වන) ක්‍රිස්තුන් වහන්සේගේ සේවය අත්හැර නොදමන පුද්ගලයා තම සහෝදරයන් උදෙසා නොව තමාගේම අවශ්‍යතාව වෙනුවෙන් පලායන්නාට වඩා මහත් ප්‍රේමයේ පරිත්‍යාගයක් සොයා ගන්නේය. ඔහු අල්ලාගනු ලැබූවිට ද ක්‍රිස්තුන් වහන්සේ පාවා නොදී වේදසාක්ෂික මරණය විඳින්නේය.
  5. එහෙත් ඔබ කලින් ලිපියේ කුමක් ලියුවේ ද? “අප සභාවන් තුළ රැඳී සිටිය යුතුනම් මිනිසුන් අප ඇස් පනා පිට කපා දැමීමත්, කාන්තාවන් අවනම්බු කරනු ලැබීමත්, සභා ගොඩනැගිලි ගිනිබත් වීමත්, අපට නැති දේ අපෙන් ඉල්ලූවිට අප ද වදහිංසා ලබමින් විනාශවීමත් හැර අපටවත් අනෙක් මිනිසුන්ටවත් ඉන් ඇති ප්‍රයෝජනයක් මම නොදකින්නෙමි.”සැබවින්ම උන්වහන්සේගේ දරුවන්ගේ යාච්ඤා ඇසීමටත් ඔවුන් බියට පත්කරවන දේ තුරන් කිරීමටත් දෙවියන් වහන්සේට පුළුවන. එසේ වුවද අවිනිශ්චිතකම් නිසා අපට නිශ්චිතව පවරා ඇති දේ අතපසු කිරීමෙන් අප වැරදිකරුවන් බවට පත්නොවිය යුතුය. එනම් අප කළ යුතු උපස්ථානයන් නොසලකා නොහැරිය යුතුය. මේ ජීවිතයේ දේවල් නොව, මීට වඩා ඉමහත් භක්තියකින් හා උත්සුක වීමකින් සැලකිය යුතු මතු ජීවිතයේ දේවල් පිළිබඳ නොතැකීමෙන් මනුෂ්‍යයන්ගේ විනාශය නියත වන්නේය. අප ඉන්නා ස්ථාන වෙතට නපුරුකම් නිසැකවම පැමිණෙන බව දැන බියවැදී සියලු දෙනාම අපට කලින් පලා ගියේ නම් ඔවුන් වෙනුවෙන් තවදුරටත් රැඳී සිටීමේ වගකීමෙන් අපි නිදහස් වන්නෙමු. සේවය අවශ්‍ය කිසිවෙකු රැඳී නොසිටිනා ස්ථානයක සේවකයන් රැඳී සිටිය යුතු යැයි කිසිවෙක් නොකියන්නේය. සැබවින්ම ජනයා පළා යාමට උත්සාහ කරන අවස්ථාවේදී හෝ නගර වැටලීමේදී සතුරන් විසින් ඝාතනය වූ පසු හෝ සෙසු ජනයා වහල් බවට පත්වී විසිර ගියාට පසුව ශුද්ධ රදගුරුවරුන් ස්පාඤ්ඤයෙන් පලා ගියේ එලෙසිනි. එහෙත් ඊට වඩා වැඩි රදගුරුවරු පිරිසක් මෙම උවදුරු මධ්‍යයේ රැඳී සිටියෝය. මන්ද ඔවුන් උපස්ථාන කළයුතු ජනයා එතැන්හි සිටි නිසාය. යම් දෙනෙක් ඔවුන්ගේ ජනයා අතරමං කළේ නම්, ඒ පිළිබඳව කළ යුතු දේ මෙසේ ය. මන්ද ඔව්හු දිව්‍යමය අධිකාරියෙන් ලැඛෙන මගපෙන්වීමට අවනත නොවී මනුෂ්‍ය මුසාවාදවලින් මුළාවීමට හෝ බියට පත්වීම නිසා අධෛර්යවීමට ලක් වුහ.
  6. බැටළුවන් කෙරෙහි සැලකිලිමත් නොවන නිසා වෘකයා එනවා දැක පලායන කුලී සේවකයාගේ උපමා කතාව අසා වෙවුලන්නේ නැතිව, නගරයෙන් නගරයට පලායන්නටැ යි ඔවුන් කියවන ආඥාව අවිචාරාත්මකව පිළිපැදිය යුතුයැ යි ඔවුන් සිතන්නේ ඇයි? ස්වාමීන් වහන්සේගේ මෙම එකිනෙකට ගැළපෙන ඉගැන්වීම් දෙක එලෙසම වටහා ගැනීමට උත්සාහ නොගන්නේ ඇයි? එකකින් පලායෑමට අවසර දෙනු ලැබේ හෝ ආඥා කෙරේ. අනෙකින් පලායාම හෙළාදකිනු ලැබේ හෝ තහනම් කෙරේ. මේවා පරස්පර විරෝධී නොවන බවට සොයා දැනනොගන්නේ ඇයි? ඉහත මා විග්‍රහ කළ දෙයට අවධානය යොමු නොකළහොත් එය සොයාගනු ලබන්නේ කෙසේ ද? ක්‍රිස්තුස් වහන්සේගේ සේවකයන් වන අප පීඩාවේ ආතතිය නිසා අප ඉන්නා ස්ථාන අතහැර යා යුත්තේ සේවය ලැබීමට කිතුනුවන් කිසිවෙකු නැති වූ අවස්ථාවේදී හෝ පලායෑමට විශේෂ හේතුවක් නොමැතිව අවශ්‍ය සේවාවන් ඉටු කිරීමට අනෙක් අය සිටිනා නිසා පමණි. මා ඉහත සඳහන් කළ අපෝස්තුළුවරයා කූඩයකින් පහත් කර පලාගියේ එතුමා පමණක් අල්ලාගැනීමට පීඩාකාරයා උත්සාහ කළ නිසා ය. අනෙක් අයට එලෙස පලා යෑමට අවශ්‍ය නොවී ය. එමනිසා එහි සේවාවන් හකුළාගැනීමටවත් සභාවන් අතහැර දැමීමටවත් අවශ්‍ය වූයේ නැත. මෙලෙස ඇලෙක්සැන්ඩ්‍රියාවේ රදගුරු වූ ශුද්ධවන්ත ඇතනේසියුස් තමා පමණක් අල්ලාගැනීමට තැත්කළ කොන්ස්තන්තියුස් අධිරාජයාගෙන් පලාගියේය. සෙසු සේවකයන් ඇලෙක්සැන්ඩ්‍රියාවේ රැඳී සිටි කතෝලික ජනයා කිසිසේත් අතරමං කළේ නැත. එහෙත් ජනතාව රැඳී සිටින කල සේවකයන් පලායාමෙන් උපස්ථාන සේවා හකුළාගැනීමෙන් සිදුවන්නේ බැටළුවන් පිළිබඳ සැලකිල්ලක් නැති කුලී සේවකයන්ගේ දුෂ්ට පලායාම නොවේ ද? මන්ද, එන්නාවූ වෘකයා මනුෂ්‍යයකු නොව යක්ෂයා ය. ඔහු බොහෝ විට ස්වාමීන් වහන්සේගේ ශරීරයේ උපස්ථානය දිනපතා ලබාගැනීමට නොහැකි වූ ඇදහිලිවන්තයන්ට තම ඇදහිල්ල පාවාදෙන තැනට පත්කර ඇත. ක්‍රිස්තුස් වහන්සේ දිවිපිදූ ඔබේ දුර්වල සහෝදරයා විනාශ වන්නේ ඔබේ දැනුම නිසා නොව ඔබේ නොදැනුවත්කම නිසා ය.
  7. දෙවිඳුන්ගේ ප්‍රේමය දැල්වෙන විට සිදුවන්නේ මෙයයි. එහෙත් ලෝකයේ ආශාවන් අනුව යමින් ඇවිලෙන විට එසේ සිදු නොවේ. ප්‍රේමය මෙසේ පවසයි: “යමෙක් දුර්වල නම් මා හට එම දුර්වලකම නොදැනේද? යමෙකුට වරදක් සිදුවන්නේ නම් මා හට එහි වේදනාව නොදැනේද? ප්‍රේමය දෙවිඳුන්ගෙන්ය. එමනිසා මෙම ප්‍රේමය අපෙන් අණ කරනා තැනන් වහන්සේගෙන් එය සපයාදෙන ලෙස අපි අයදිමු. එමනිසා ක්‍රිස්තුස් වහන්සේගේ බැටළුවන් යම් දවසක මිය යෑම නියත බැවින් අපි යකඩ කඩුවෙන් ශාරීරිකව නසනු ලැබීම වෙනුවට ආත්මීය නපුරුකමේ කඩුවෙන් හදවතේ විනාශය සිදුනොවේවායි පතමු. ස්ත්‍රීන් බලහත්කාරකම්වලින් ශාරීරික අපයෝජනයට හසුවනවාට වඩා ඇදහිල්ලේ පවිත්‍රභාවය පලුදුවීමෙන් ඇතුලාන්ත ස්වභාවය දූෂණයට ගොදුරුවීම ගැන අපි වැඩියෙන් කම්පා වෙමු. මාංසික තෘෂ්ණාවේ ක්‍රියාවලට ලජ්ජාකාරීව සහභාගී නොවන්නේ නම් වරද සිදුවන්නාගේ ශාරීරික නිර්මල භාවයට හානියක් නොවන්නේය. අපි සිටින කල භෞතික ගොඩනැගිලි සාදා ඇති ගල් හා දැව විනාශවීමට වඩා අපි නොසිටින කල ජීවමාන ගල් විනාශයට ලක්වීම ගැන අපි වඩා කම්පා වෙමු. සතුරාගේ ප්‍රහාරයට ගොදුරුවී අප ශරීරයේ අවයවයන්ට ලැබෙන වදහිංසාවලට වඩා ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ අවයවයන්ට අවශ්‍ය ආත්මීය පෝෂණය අහිමිකිරීමෙන් ඒවා වියෝවට පත්වීම ගැන අපි වඩා බියසුලු වෙමු. හැකි අවස්ථාවලදී මෙවැනි දේ විඳීමෙන් නොවැළකීම නොව වැදගත් වන්නේ දේවගරුබිය දැක්වීමෙන් තොරව මෙවැනි දේ වැලැක්වීමට නොහැකි අවස්ථාවන්හි ඒවා විඳදරාගැනීමට හැකිවීමයි. නැතහොත් ජනයාගේ භක්තියට අවශ්‍ය දේවගැති උපස්ථානය අත්‍යවශ්‍ය වූ මොහොතේ එම සේවය ඉවතට ගෙනයාමෙන් දේවගැතිවරයා අභක්තික නොවන්නේද?
  8. මෙම උපද්‍රවයන් උපරීමයට නැගුණු අවස්ථාවලදී පලායාමට තවදුරටත් ඉඩක් නොමැති වූ කල්හි බව්තීස්මය ලබන්නටත් සමාදානවීමටත් පසුතැවිලිවීමටත් ස්ත්‍රී ද පුරුෂ බාල මහලු කොතරම් සෙනඟක් සභා තුළට එකතුවනවාදැයි නොවැටහෙන්නේද? එවන් මොහොතක දේවගැතිවරුන් ජනයා අතර නොමැති නම් නව ජීවනය අත්කරගැනීමට අවස්ථාවක් නොලැබී පාපයෙන් නිදහස්වීමට නොහැකිව මෙලොවින් වෙන්වී යන මනුෂ්‍යයන් ගිලගන්න විනාශය කොතරම් ත්‍රාසජනකද? ඇදහිල්ල තුළ තම සහෝදරයන්ව සිටි අයගේ ආශ්‍රය සදාකාලයටම අහිමිවීමේ ශෝකය කොතරම් ඉමහත් වන්නේද? අහෝ දේවගැතිවරුන් හා ඔවුන්ගේ සේවය නොමැතිවීම නිසා ද එමනිසා සමහරුන් දෙවියන් වහන්සේට කරනා නිග්‍රහ අපහාස නිසා ද සිදුවන විපතේ මහත තාවකාලික නපුරුකම් නිසා ඇති කෙරෙන බියවැදීමත් ඉන් හටගන්නා මහත් සදාකාලික ශෝකයත් අවධාරණය කරන්න. එහෙත් දේවගැතිවරුන් රැඳීසිටීම දෙවියන් වහන්සේ දෙන ශක්තිය අනුව සියලුදෙනාටම පිහිටක් වන්නේය. සමහරුන් බව්තීස්මය ලබන අතර අනෙකුන් සිත් සමාදානය ලබයි. කිසිවෙක් ස්වාමින් වහන්සේගේ ශරීරයේ සහභාගිත්වයෙන් බැහැර නොවන්නේය. ඔවුන් බියගන්වන සියල්ලක්ම වළක්වන්නට බලය ඇති දෙවියන් වහන්සේගෙන් අයැද සිටීමට සියල්ලෝම සැනසුම ලබන්නෝය, ගොඩනැගෙන්නෝය, දිරිගැන්වෙන්නෝය. නපුරක් කරන්නට අධිෂ්ඨාන නොකරන දෙවියන් වහන්සේගේ කැමැත්ත සිදුවන පිණිස දුක්විඳීමේ කුසලානය තමාගෙන් ඈත් නොවුවද එම අවස්ථා දෙකටම ජනයා පෙර සූදානමකින් සිටින්නේය. 
  9. ඔබ කලින් නොදුටු දේ සැබවින්ම දැන් ඔබට පෙනෙනවා ඇත. එනම්, ක්‍රිස්තුන් වහන්සේගේ දේවගැතිවරුන් රැඳීසිටීම නිසා වත්මන් භීෂණයේදී ක්‍රිස්තියානි ප්‍රජාවට කොතරම් විශාල අස්වැසිල්ලක් වන්නේද යන්නයි. දේවගැතිවරුන් ක්‍රිස්තුන් වහන්සේගේ කාර්යය වෙනුවට තම සුභසිද්ධිය බලා රැඳී නොසිටීම නිසා ප්‍රජාවට කොතරම් හානියක් වන්නේදැයි ඔබට වැටහෙනු ඇත. “තමාගේම කාරණා සොයන්නේ නැත යි කියූ ප්‍රේමය ඔවුන් තුළ නැත”(1කොරින්ති 13:5).“මම නම් මාගේම ප්‍රයෝජන නොසොයා බොහෝදෙනෙකුගේ ගැළවීම පිණිස ඔවුන්ගේ ප්‍රයෝජනය සොයා කැපවන්නෙමි”යි කී අපෝස්තුළුවරයා අනුගමනය නොකරන්නේය. මන්ද, එතුමා අනෙකුන් හට බොහෝසේ අවශ්‍ය නොවුයේ නම් පීඩාකාරී රජුගේ ග්‍රහණයෙන් මිදී පලානොයන්නේය. එමනිසා එතුමා “මම මේ දෙක මැද හිරවී සිටිමි. මාගේ ආශාව නම් මෙලොවින් තුරන්ව ගොස් ක්‍රිිස්තුන් වහන්සේ සමඟ විසීම ය. මෙය වඩාත් හොඳය. එහෙත් ඔබ උදෙසා මිහි පිට විසීම ඊටත් වඩා අවශ්‍ය වේ”(පිලිප්පි 1:23)යයි පවසයි.
  10. වඩා සාමකාමී කාලයක් උදාවූ අවස්ථාවේදී සභාවට ප්‍රයෝජනවත් වන පිණිස දේවගැතිවරුන් මෙවන් උවදුරුවලින් බේරී සිටීමට පලා යායුතු බවට ඇතැමෙකු පෙන්වාදිය හැකිය. සභාවේ උපස්ථානය සැපයීමට වෙනත් අය සිටින්නේ නම් මෙසේ කල්පනා කිරීම නිවැරදිය. ඉහත කී පරිදි ඇතනේසියුස් තුමා පලා ගියේ මෙවන් තත්වයන් තුළය. මන්ද, කතෝලික ඇදහිල්ල ඇරියුස්වාදී දුර්මතයෙන් ආරක්ෂා කරගැනීමට එතුමාගේ හඬහා ජ්වලිතය කොතරම් ප්‍රයෝජනවත්දැයි ප්‍රත්‍යක්ෂ කරගනිමින්ම අත්‍යවශ්‍ය පියවරක් ලෙස පිළිගනු ලැබිණි. එනමුත් උවදුර සැමටම පොදු තර්ජනයක් වන කල ද සේවය කිරීමට ආශාවකින් නොව මැරුම් කෑමට බියෙන් පමණක් මීට හේතු වන්නේ නම් කිසිම අවස්ථාවකදී පලායාම නුසුදුසුය. තවද, ජීවත්වීමේ වුවමනාවෙන් යහපතක් සිදුවීමට වඩා පලායාමේ ආදර්ශය හානිකර වන්නේ නම් එසේ නොකළ යුතුය. අවසාන වශයෙන් ශුද්ධවන්ත දාවිත් තුමා යුධ පිටියේ උපද්‍රවයන්ට ලක් නොවන පිණිසත් ශුද්ධ ලියවිල්ලේ සඳහන් පරිදි “ඉශ්රායෙල් ආලෝකය නිවා නොදැමෙන පිණිසත්”තම අනුගාමිකයන්ගේ පෙරැත්ත මත සටනින් අහක්ව ගියේය. එතුමා මෙසේ කළේ තමන්ගේ ආත්ම ආරක්ෂාවට නොව. නැතිනම් සෙසු සේනාව ගැන නොසිතා බියෙන් පසුබටවී තම වාසියට ක්‍රියා කළේයයි සිතා බොහෝදෙනෙකු යුධ පිටියෙන් පලා යාමට පෙළඹෙන්නට ඉඩ තිබුණි.  
  11. අප සුළුකොට නොසැලකිය යුතු තවත් කාරණාවක් ඉස්මතු වන්නේය. උපද්‍රවයෙන් බේරුණු සෙසු අයට උපස්ථාන කිරීම සඳහා ඇතැම් දේවගැතිවරුන් පිරිසක් පලායාමෙන් යම් ප්‍රයෝජනයක් ඇත්තේ නම්, සියල්ලන් නිතැතින්ම විනාශ වන්නේ යැයි පැහැදිලි වූ අවස්ථාවක කුමක් කරන්නේද? පීඩාවෙන් ජයගැනීම සභාවේ දේවගැතිවරුන් මත පමණක් රැඳී පවතින්නේ නම් දේවගැතිවරුන් පලායාමෙන් සිදුවන පාඩුව ඔවුන් මැරුම් කෑමෙන් සිදුවන පාඩුවට වඩා සාධාරණ යයි තර්ක කළ හැකිද? එහෙත් ගිහියන් මුහුණ දෙන පීඩාව මාරාන්තික නොවන්නේ නම් වෙනයම් ක්‍රමයකින් හෝ ඔවුන්ගේ රදගුරුවරුන් හා දේවගැතිවරුන් සභාව රැකගන්නෝය. සියල්ල දෙවියන් වහන්සේගේ පාලනය යටතේ පවතින බැවින් පලානොයන අය ද උන්වහන්සේගේ විශේෂ බලයෙන් බේරාගැනීමට උපකාර කරන සේක. එහෙත් සෑම අවස්ථාවකදීම දිව්‍යමය හාස්කම් මත යැපීමෙන් දෙවියන් වහන්සේ පරීක්ෂාවට ලක් නොකර ක්‍රියා කරන්නේ කෙසේදැයි අපි විමසන්නෙමු. එබැවින්ම ගිහියන් හා දේවගැතිවරුන් සාමූහිකව මුහුණදෙන මෙම උපද්‍රවය එකම නැවක යන වෙළෙන්දන් හා නාවිකයන් මුහුණදෙන කුණාටුවක් මෙන් නොවන්නේය. නියමුවා ප්‍රමුඛ නාවිකයෝ නැව ගිලෙන්නට අතහැර කුඩා බෝට්ටුවකින් හෝ පිහිනා යෑමෙන් පණ බේරාගන්නෝය. එසේ කිරීමෙන් ඔවුහු එම නැව සුළුකොට සලකති. දෙවියන් වහන්සේ සභාවට මෙසේ සිදුවීම වළක්වන සේක්වා. අපගේ අතහැර යාම නිසා විනාශයට පත්වන අයගේ ශාරීරික මරණය ගැන අප කම්පා නොවෙමු. ශාරීරික මරණය යම් දිනක පැමිණෙන බව නිශ්චිතය. අප බියවිය යුත්තේ යම් වැළැක්විය හැකි සදාතනික මරණයෙන් ගිහියන් විනාශවීමේ විපතයි. පරසතුරු ආක්‍රමණයකදී සිදුවන පොදු උවදුරින් දේවගැතිවරුන් සියල්ලෝම මරණයට පත්වන නමුත් ගිහියන් සියලුදෙනා එලෙස මරණයට පත්නොවී ජීවත්වන බවටත් විශ්වාස කරන්නේ මන්ද? ගිහියන් අතරින් යම් ගණනක් ඝාතනයෙන් මිදී ජීවත්වන සේම දේවගැතිවරුන් අතරින් ද ඔවුන්ට සේවය කිරීම සඳහා ඉතිරිවන්නේයැයි අපට බලාපොරොත්තු විය නොහැකිද?
  12. සියල්ලන්ගේ පලායාම නිසා සභාව අතරමං නොවන පිණිස රැඳීසිටීමට දේවගැතිවරුන් අතර තරග වැදීමක් ඇතිවන්නේ නම් කොතරම් භාග්‍යයක්ද? එසේම සියල්ලන් මරණයට පත්වීම නිසා සභාව අතරමං නොවන පිණිස පලා යායුත්තේ කවුද කියා ඔවුන් අතර තරග වැදීමක් ඇතිවන්නේ නම් කොතරම් ආදර්ශවත් වන්නේද? ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ග දෙකටම නැඹුරුවන දෙපාර්ශ්වයම ප්‍රේමයේ ගින්නෙන් දැල්වී ප්‍රේමයේ ආඥාවට කීකරු වන්නේ නම් සැබවින්ම මෙවන් තරගකාරිත්වයක් හටගන්නේය. මේ විවාදය වෙනත් අන්දමකින් විසඳාගත නොහැකිනම් මා දකින අන්දමට රැඳීසිටිය යුත්තේ කවුරුන්ද පලායායුත්තේ කවුරුන්ද යන්න තීරණය කළ යුත්තේ දාදු දැමීමෙනි. මන්ද, බේරී සිටිය යුත්තේ තමන් යැයි කියා සිටින්නෝ ළඟාවන උපද්‍රවයට මුහුණදීමට බියව සභාවේ සේවයට වඩා ප්‍රයෝජනවත් වන්නේ ඔවුන් යැයි කියාගනිමින් උඩඟු සිතක් පෙන්වන්නේය. තවදුරටත් සුදුසුකමින් වැඩි අය සහෝදරත්වය වෙනුවෙන් ජීවිතය පරදුවට තබා රැඳීසිටින්නට ඉදිරිපත් විය හැකි අතර නුසුදුසු වන ප්‍රඥාවෙන් හා පරිපාලනයෙන් දුර්වල අය පලාගොස් මිදෙන්නටත් ඉඩ තිබේ. තවද, යහපත් හා ප්‍රඥාවන්ත අය රැඳීසිට මියයෑමට තෝරාගන්නා අයගේ තීරණයට විරුද්ධවී ඔවුන් පලා යායුතු යැයි විවාද කරන්නේය. එමනිසා ලියා ඇති  පරිද්දෙන්“පස ඇටය තරගය නවත්වා බලවතුන් අතරේ බේරුම් කරයි”(හිතෝ. 18:18).මන්ද මෙවන් ගැටලුවලදී මනුෂ්‍යයන්ට වඩා දෙවියන් වහන්සේ වඩාත් ප්‍රඥාවන්ත විනිශ්චයකාරයෙක් වන සේක. වැඩි හැකියාවන්ගෙන් ආශිර්වාද ලැබූවන්ට වේදසක්ෂිකභාවයේ තිළිණය පිරිනමන්නටත් දුර්වලයන් ඉන් නිදහස් කර දුෂ්කරතාවලට මුහුණදීමට ශක්තිමත් කිරීමටත් අනෙක් අය තරම් සභාවට ප්‍රයෝජනයක් නැති අය මෙලොවින් වෙන්කරගැනීමටත් දෙවිඳුන් ප්‍රඥාවන්ත වන සේක. මෙම තීරණ ගැනීම සඳහා දාදු භාවිත කර ඇත්තේ නම් එය අසාමාන්‍ය පිළිවෙලකි. එහෙත් එය ප්‍රශ්න කරන්නේ කවුද? අනුවණ හා ඊර්ෂ්‍යාකාරී පුද්ගලයෙකු හැරෙන්නට එම තීරණයට නිසි අනුමැතිය හා ප්‍රශංසාව ලැබිය යුතුය. එනමුත් මෙම ක්‍රමය කොතැනකවත් භාවිත නොකිරීම නිසා සතුටුදායක නැතැයි තීරණය වුවහොත් මුහුණදෙන උපද්‍රවය මැද පලායාමෙන් සභාවේ සේවයට බාධාවක් සිදුනොවිය යුතුය. යම් දිව්‍යමය හැකියාවන් නිසා විශිෂ්ට වීම හේතුවෙන් තමන් ජීවත්වීමට සුදුසුවන හෙයින් පලායායුතු බව කීමෙන් කිසිවෙකු තමාගේ පුද්ගලත්වය නොසලකත්වා! මන්ද, මෙසේ සිතන්නා නිසැකවම තමා විසින් තමාම ප්‍රසාදයට පත්කරගන්න අතර ඒ බව ප්‍රකාශ කරන්නා සියල්ලන්ගේම අප්‍රසාදයට පත්වන්නේය. 
  13. මෙවන් උවදුරු මැද පලා නොගොස් රැඳීසිටින රදගුරුවරුන් හා දේවගැතිවරුන්ගේ ආදර්ශය ඔවුන් ද අනුගමනය කළ යුතු යැයි ඇතැම් ජනයා වරදවා තේරුම්ගත හැකිවන බව සාධාරණ සැකයකි. එහෙත් එම ජනයාට කරුණු පැහැදිලිකර දීමෙන් එම චෝදනාව ද දෝෂාරෝපණය ද පහසුවෙන් වැළැක්විය හැකිය. අප මෙතැනින් පලායාමට හේතුව ඔබ වරදවා තේරුම් නොගන්න. ක්‍රිස්තුන් වහන්සේ තුළ ඔබේ ගැළවීමට අවශ්‍ය වන ඕනෑම දෙයක් සපයාදීමට අපි රැඳීසිටින්නේ ඔබේ අවශ්‍යතාව නිසා මිස අපගේ අවශ්‍යතාව නිසා නොවේ. ඔබ පලායාමට කැමති වන්නේ නම් අප රැඳීසිටින වගකීම්වලින් ද ඔබ අප නිදහස් කරනු ඇතැයි පැහැදිලි කළ හැකිය. වඩාත් සුරක්ෂිත ස්ථානවලට ඉවත්වී යාම සැබවින්ම බුද්ධිගෝචර අවස්ථාවලදී කිවයුතුය. මෙම වචන ඇසීමෙන් පසුවත් ඔවුන් ප්‍රතිඋත්තර දෙමින්: අපි කොතන ගියත් දෙවිඳුන්ගේ කෝපය හෝ කරුණාව ගෙනෙන දේව බලය ඈත්වීමට නොහැකිය. වගකීම් නිසා හෝ වෙනත් ස්ථානයකට යාමෙන් නිශ්චිතවම ආරක්ෂාව ලැබේ යැයි බලාපොරොත්තු විය නොහැකි නිසාත් අපි මෙතැනම රැඳීසිටිමු යි තීරණය කරන්නේ නම් ඔවුන්ට ලබාදිය යුතු කිතුනු උපස්ථානය ඔවුන්ගෙන් ඉවත් නොකළ යුතුය. එහෙත් දේවගැතිවරුන්ගේ වචන ඇසීමෙන් පසුව ජනයා විසිර යාමට තීරණය කළහොත් දේවගැතිවරුන් තවදුරටත් රැඳීසිටීමට බැඳී නැත. 
  14. සභාවේ උපස්ථානය අහිමි නොකර පලායන්නා ස්වාමින් වහන්සේගේ ආඥාව හෝ අවසරය පිළිපදින්නේය. එහෙත් ක්‍රිිස්තුන් වහන්සේගේ රැළ තනි කර, ඔවුන්ගේ පෝෂණය අහිමි කරමින් පලායන බැටළුවන් ගැන තැකීමක් නැති, වෘකයා ළඟා වනවිට පලා යන කුලීකාරයෙක් වන්නේය. 

මාගේ ප්‍රේමවන්ත සහෝදරයාණෙනි, සත්‍යය හා අව්‍යාජ ප්‍රේමය කරණකොටගෙන මේ  කාරණා ඔබ වෙත ලියා එවූයේ ඔබ මගේ උපදෙස් විමසූ බැවිනි. එනමුත් මීට වඩා සාර්ථක විසඳුමක් සොයාගැනීමට හැකි වුවහොත් මාගේ විරෝධයක් නැත. කෙසේ වෙතත් මෙම උවදුරු මැද අප කෙරෙහි දෙවි සමිඳාණන් වහන්සේගේ කරුණාව අයැද යාච්ඤා කිරීමට වඩා සාර්ථක පිළියමක්‌ වෙන නැත. මෙලෙස ඇතැම් ප්‍රඥාවන්ත හා ශුද්ධවන්ත මනුෂ්‍යයෝ දෙවියන් වහන්සේගේ පිහිටෙන් සභා අතරමං නොකරමින් ද ප්‍රතිවිරුද්ධ උපදෙස් නිසා පැකිළීමට පත්නොවෙමින්ද තම අධිෂ්ඨානය තුළ ස්ථීරව ක්‍රියා කළෝය. 

31 වන පරිච්ඡේදය

අභාවය සහ භූමදානය

ශුද්ධ සභාවේ සුභසිද්ධිය හා ප්‍රීතිය උදෙසා දෙවියන් වහන්සේ දුන් ශුද්ධවන්ත මනුෂ්‍යයා දීර්ඝ ජීවිතයක් ගත කළේය. එතුමා ජීවත් වූ වසර හැත්තෑ හයෙන්, වසර සතළියක් පමණ දේවගැතිවරයෙකු හෝ රදගුරුවරයෙකු වශයෙන් සේවය කළේය. බව්තීස්මය ලැබීමෙන් පසුවත් ආදර්ශවත් කිතුනුවන් හා දේවගැතිවරුන් නිසි මනස්ථාපනයෙන් තොරව මෙම ජීවිතයෙන් සමුනොගත යුතු බව නිතර අපට පැවසුවේය. එතුමාගේ අභාවයට තුඩුදුන් අවසාන රෝගාතුරවීමේ කාලයේදීත් එම පිළිවෙත අනුගමනය කළේය. එතුමා දාවිත්ගේ කෙටි මනස්ථාපන ගීතිකා පිටපත් කර ගෙනෙන මෙන් අණ කළේය. රෝගාතුරව සිටි කාලය පුරා සැතපී සිටි සයනය අසල බිත්තියෙහි එල්ලා තිබූ මෙම පත්‍ර දෙස බලමින් ඒවා කියවමින් හඬාවැලපුණේය. 

එතුමා ශරීරයෙන් වෙන්වී යාමට දින දහයකට පමණ කලින් එතුමා පරීක්ෂා කිරීමට වෛද්‍යවරුන් පැමිණෙන හෝ ආහාර ගෙනෙන වේලාවන්ට අමතරව කිසිවෙකු තම අවධානයට බාධා නොකරන පිණිස එතුමා බැහැදැකීමට කිසිවෙකුට ඉඩ නොදෙන ලෙස අපගෙන් ඉල්ලා සිටියේය. මෙය එලෙසම ඉටුකර දුන් අතර අපි එතුමාට යාච්ඤාවේ යෙදී සිටීමට අවශ්‍ය මුළු කාලය සලසා දුන්නෙමු. මෙම අවසාන රෝගාතුර වීම දක්වා එතුමා සභාවේ අඛණ්ඩව ද ජවසම්පන්නව ද බලවත්ව ද ඉපැහැදිලි මනසින් හා විචක්ෂණ බුද්ධියෙන් දේව වචනය දේශනා කළේය. 

ශරීරයේ සියලු අවයවයන්ට හානියක් නොමැතිව ද පෙනීමේ හා ඇසීමේ දුර්වලතාවක් නොමැතිව ද අප එතුමා වටා සිටගෙන රැකගෙන යාච්ඤා කරමින් සිටියදී ලියා ඇති පරිදි එතුමා වයසින් පූර්ණව තම පියවරුන් සමඟ සැතපුණේය. අප ඉදිරියේ එතුමාගේ ශරීරය සමාදානයේ සැතපේවායි දෙවියන් වහන්සේට මෙහෙයක් පූජා කළ පසු අපි එතුමන් භූමදානය කළෙමු. දෙවියන් වහන්සේගේ දුප්පත් මනුෂ්‍යයෙකු වීම හේතුවෙන් එතුමා සතුව කිසිවක් නොතිබීම නිසා එතුමා අන්තිම කැමති පත්‍රයක් සැකසුවේ නැත. අනාගත පරම්පරා වෙනුවෙන් සභාවේ පුස්තකාලය ද සියලු පොත පත ද ප්‍රවේසම්ව සුරක්ෂා කරනා ලෙස එතුමා නැවත නැවත අපට අණ කළේය. සභාවේ තිබුණ තරම් වත්කම් හා සැරසිලි එතුමා සභා ගොඩනැගිල්ලේ නඩත්තුව භාරව සිටි පැවරුවේය. එතුමා ජීවත්ව සිටි කාලයේ දී මෙන්ම මරණාසන්න කාලයේදීත් එතුමාගේ ජීවන රටාව අනුගමනය කළ හෝ නොකළ ඥාතීන්ට වැඩි සැලකිල්ලක් නොකළේය. එතුමා අවශ්‍යතා ඇතිවූ අවස්ථාවන්හි අන්‍යයන්ට දුන් දෙයම සිය ඥාතීන්ට ද බෙදා දුන්නේය. එසේ කළේ ඔවුන්ට ධනය ලැබීම පිණිස නොව හිඟකමට වැටීම, නැතහොත් යම් තරමකින් හිඟකම අවම කරනා පිණිසය. එතුමා සභාවට බොහෝසේ ප්‍රමාණවත් පූජක පිරිසක් ද පුරුෂ හා කාන්තාවන්ගෙන් සමන්විත වූ තාපසාරාම ද ඒවා පාලනය කරන්නට දැමුණු  අධීක්ෂකයන් ද දායාද කළේය. එතුමා සභාවේ කොතරම් ශ්‍රේෂ්ඨ වූවාද යන්නත් මෙම දායාදයන් හේතුවෙන් භක්තිවන්තයන්ට දෙවියන් වහන්සේගේ පිහිටෙන් එතුමාගේ ජීවමාන උපස්ථානයත් සෑම කාලයටම සොයාගැනීමට හැකිවනු ඇත. 

එක්තරා ලෞකික කවියකු තමා වෙනුවෙන් ඉදිකිරීමට නිර්දේශ කළ ප්‍රසිද්ධ ස්මාරකයේ කෙටූ වචන මීට අදාළ වේ. 

“අහෝ, පසුකර යන මගියාණෙනි, මරණින් පසුව ද කවියා ජීවත් වන බව ඔබ දන්නේ ද? 

බලව, ඔබ කියවන මෙම වදන් මාගේය, කියවීමේදී ඔබගේ හඬ මාගේ හුස්මයි.”

දෙවියන් වහන්සේ විසින් ප්‍රේම කරනු ලැබුවාවූ ද පිළිගනු ලැබුවාවූ ද මෙම දේවගැතිවරයාගේ ලියවිලිවලින් නිතැතින්ම පැහැදිලි වන්නේ එතුමා විශ්වීය සභාවේ ඇදහිල්ලත් බලාපොරොත්තුවත් ප්‍රේමයත් තුළ ධර්මිෂ්ඨව ද තැන්පත්ව ද ජීවත් වූ බවයි. සත්‍යයේ ආලෝකයෙන් එතුමාට අවබෝධ කරගැනීමට වරම් ලැබූ ප්‍රමාණයට දිව්‍යමය කාරණා පිළිබඳ එතුමන්ගේ කෘතීන් කියවන්නෝ ඒවායින් ප්‍රතිලාභ සපුරාගන්නෝය.

එතුමන් සභාවේ දේශනා කරන කල්හි සජීවීව එතුමන් ඇසීමටත් දැකීමටත් ලැබුණු පිරිසට මෙයටත් වඩා යහපතක් ලබාගැනීමට හැකි වූවායි මම විශ්වාස කරමි. මේ අතුරින් එතුමාගේ ජීවිත රටාව හොඳින් දැනසිටි අය විශේෂයෙන් භාග්‍යවන්තයෝය.“එතුමා තමාගේ ගබඩාවෙන් අලුත් දෙයත් පරණ දෙයත් පිටතට ගෙනෙන්නා වූ ගෙදර ස්වාමියෙකුට සමාන වූ ස්වර්ග රාජ්‍යය සඳහා ගෝලයකුවී සිටින යම් ලියන්නෙක්”[මතෙ. 13:52] වුවා පමණක් නොව “ඉතා අනර්ඝ වූ එක මුතු ඇටයක් සම්භවී වහා ගොසින් තමා සන්තක සියල්ල විකුණා ඒක මිල දී ගත් වෙළෙන්දා මෙන් ද විය”[මතෙ. 13:42]. “තවද (නිදහස්කමේ ව්‍යවස්ථාවකින් විනිශ්චය කරනු ලබන්ට සිටින තැනැත්තන් මෙන්) කථා කරන්න, ක්‍රියා කරන්න”[යාකො. 2:12]යනුවෙන් ලියා තිඛෙන ක්‍රියාකලාපය එතුමාගේ චරිතයෙන් පිළිබිඹු විය. “එලෙසම (ව්‍යවස්ථාවේ ආඥා) පවත්වන්නාවූ උගන්වන්නාවූ කවරෙක් නුමුත් ස්වර්ග රාජ්‍යයෙහි උතුම් යැයි කියනු ලබන්නේය”[මතෙ. 5:19]යන ස්වාමින් වහන්සේගේ ප්‍රකාශය ද එතුමන්ට අදාළ වන්නේය.

වත්මන් හා අනාගත කාලයේ, ළඟ හා දුර වෙසෙන මනුෂ්‍යයන්ගේ දැනගැනීම උදෙසා මෙම කාරණා ඉදිරිපත් කිරීමේ අභිප්‍රායට අවබෝධය ද හැකියාව ද දුන් ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරනා ඔබ මා සමඟ එක්වී සව්බලැති දෙවියන් වහන්සේට ස්තූති දෙන පිණිසත් මා සමඟත් මා වෙනුවෙනුත් යාච්ඤා කරන පිණිසත් මම ඔඛෙන් ඇයද සිටිමි. 

වත්මන් හා අනාගත කාලයේ ළඟ හා දුර වෙසෙන මනුෂ්‍යයන්ගේ දැනගැනීම උදෙසා මෙම කරුණු කාරණා ලියා ඉදිරිපත් කිරීම අභිප්‍රායට අවබෝධය හා හැකියාව දුන් ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරමින් සව්බලැති දෙවියන් වහන්සේට ස්තූති පුදන මෙන් මෙම වදන් කියවන ඔබගේ කරුණාව මම උනන්දුවෙන් ඉල්ලාසිටිමි. වසර සතළිසකට ආසන්න කාලයක් පුරා අමිහිරි විරුද්ධවාදීකමින් තොර සමීප ලෙන්ගතු මිත්‍රත්වයෙන් දැන් අභාවයට පත්වූ මෙම මනුෂ්‍යයා සමඟ ජීවත්වීමට මා හට දෙවියන් වහන්සේගේ කරුණා අනුග්‍රහය ලැබුණු පරිද්දෙන්ම මේ ලෝකයේ එතුමා අනුගමනය කරමින් ද ආදර්ශයට ගනිමින් ද ජීවත් වන ලෙසත් ලබන්නාවූ ලෝකයේ එතුමා සමඟ සව්බලැති දෙවියන් වහන්සේගේ පොරොන්දු භුක්ති විඳීමට වරප්‍රසාද ලැඛෙන ලෙසත් මා සමඟත් මා උදෙසාත් යාච්ඤා කරන මෙන් ඔබගෙන් ඉල්ලාසිටිමි.

ආමෙන්!