ජස්ටින් තුමාගේ පළමු ධර්මාරක්ෂා ලියවිල්ල

Justin Martyr, Apology I

1 වන පරිච්ඡේදය: ආමන්ත්‍රණය

පලස්තීනයේ ෆ්ලාවියා නියපොලිස්හි වෙසෙන ප්‍රිස්කස්ගේ පුත්‍ර සහ බචියස්ගේ මුනුබුරා වන ජස්ටින් නමැති මම, සමස්ත රෝම වැසියන් සමගින්, ටයිටස් ඒලියස් ඇඩ්‍රියානස් ඇන්ටෝනිනස් පයස් ඔගස්ටස් සීසර්ට සහ ඔහුගේ පුත් දාර්ශනිකයා වන වෙරිසිමස්ට සහ දාර්ශනිකයා සහ ඉගෙනීමට මහත් ආශාවක් දක්වන සීසර්ගේ ස්වාභාවික පුත්‍රයා සහ පයස්ගේ දරුකමට හදාගත් පුත්‍රයා වන ලුසියස්ට සහ පූජනීය සෙනෙට් සභාවට, මෙයින් ආමන්ත්‍රණය කර, මා ඇතුළුව අසාධාරණ ලෙස වෛරයට හා අනවශ්‍ය ලෙස අපයෝජනයට ලක් වන සියලු ජාතීන් වෙනුවෙන්, මෙම ඉල්ලීම ඉදිරිපත් කරමි.

2 වන පරිච්ඡේදය: යුක්තිය ඉල්ලා සිටීම

සාම්ප්‍රදායික අදහස් නිෂ්ඵල නම් ඒවා අනුගමනය කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන්, සත්‍යයට පමණක් ගෞරව කිරීමට සහ ආදරය කිරීමට තර්කය සහ හේතු සාධක කරණකොටගෙන සැබවින්ම භක්තිවන්ත හා දාර්ශනික අය යොමු කෙරෙයි. මක්නිසාද යත්, වැරදි දෙයක් කළ හෝ වැරදි දෙයක් ඉගැන්වූ අයගේ මග පෙන්වීම ප්‍රතික්ෂේප කිරීමට බුද්ධිමය හේතු සාධක මගින් අප යොමු කරනවා පමණක් නොව, සියලු ආකාරයෙන්ම සත්‍යයට ඇලුම් කරන්නටද එයින් අප යොමු කරයි. එසේම මරණ තර්ජනයක් ඇති විට පවා, ඔහුගේම ජීවිතයට කලින්, හරි දේ කිරීමට සහ හරි දේ කථා කිරීමට තෝරා ගනියි. එසේ නම්, ඔබ භක්තිවන්ත අය හා දාර්ශනිකයන් ලෙස හඳුන්වනු ලබන බැවින්, ඔබ යුක්තියේ ආරක්ෂා කරන අය සහ ඉගෙනීමට ආදරය කරන අය වන්නහුද? හොඳින් අවධානය යොමු කර මාගේ දේශනයට සවන් දෙන්න. ඔබ සැබවින්ම එවැනි අය නම්, එය ප්‍රකාශයට පත් වනු ඇත. මක්නිසාද අපගේ අපේක්ෂාව වනාහි මෙම ලිපියෙන් ඔබ පැසසුමට ලක් කිරීම හෝ අපගේ කථාවෙන් ඔබ සතුටු කිරීම හෝ නොව, නිවැරදි හා නියම විමර්ශනයකින් පසුව, විනිශ්චයෙන් සමත් වන පිණිස ඔබට අයැදීමය. එසේ ඔබගේ පූර්ව මතවලට අනුව හෝ මිථ්‍යා ලබ්ධිකයින් සතුටු කරන්නන් ලෙස ක්‍රියා නොකර, එමෙන්ම අතාර්කික හේතූන්ගෙන් ගෙන යනු ලබන්නන් නොවී, බහුලව පවතින නපුරු කටකතාවලින් නොපෙලඹී, ඔබට විරුද්ධව කිසි අයහපතක් සිදු නොවන පරිදි තීන්දුව ලබා දෙන ලෙස අපි අයැද සිටිමු. මක්නිසාද අප ගැන නම් අප කිසි නපුරු දෙයක් නොකළ අය බවට ගණන් ගනු ඇත. අප නපුර කරන්නන් ලෙස ප්‍රත්‍යක්ෂ වී තිබේ නම්, හෝ අප දුෂ්ට මිනිසුන් ලෙස ඔබට ඔප්පු වී ඇත්නම් ඔබට අප මරා දැමිය හැකිය. එහෙත් ඔබට අප රිදවීමට නොහැකිය.

3 වන පරිච්ඡේදය: අධිකරණ විමර්ශනය සඳහා හිමිකම කියා සිටීම

එහෙත් කිසිවෙකුත් කිතුනුවන්ට එරෙහිව තිබෙන මෙම චෝදනා අතාර්කික සහ නොසැලකිලිමත් ප්‍රකාශයක් යැයි නොසිතා, විමර්ශනය කරන ලෙස අපි ඉල්ලා සිටිමු. එහිදී ඔවුන්ට විරුද්ධව ඇති කාරණා සනාථ වුවහොත් ඔවුන්ට නිසි පරිදි දඬුවම් ලබා දිය යුතුය. [නැතිනම් ඒ වෙනුවට, ඇත්තෙන්ම අපිම ඔවුන්ට දඬුවම් කරන්නෙමු.] එහෙත් කිසිවෙකුටත් කිසි දෙයක් සම්බන්ධයෙන් අප වරදකරුවන් බව ඔප්පු කිරීමට නොහැකි නම්, දුෂ්ට කටකතාවක් නිසා, නිර්දෝෂී මිනිසුන්ට වැරදි සිදු කිරීමට සත්‍ය හේතුව විසින් ඔබට තහනම් කරනු ඇත. ඇත්ත වශයෙන්ම විනිශ්චය මගින් නොව, මහත් ආශාවක් කරණකොටගෙන ඔබම කටයුතුවලට සෘජුව මැදහත් වී ක්‍රියා කිරීමට සිතන්නෙහිය. එසේම සිහි බුද්ධියක් සහිත සැම පුද්ගලයෙකුම මෙය එකම සාධාරණ හා එක විසඳුම සහිත ක්‍රමය ලෙස ප්‍රකාශ කරනු ඇත. මෙහිදී යටත් වැසියෝ තමන්ගේ ජීවිතය හා ධර්මය පිළිබඳ අසාමාන්‍ය විස්තරයක් ඉදිරිපත් කරති; අනෙක් අතට, පාලකයන් ප්‍රචණ්ඩත්වයට හා කෲරත්වයට ඔබින ලෙස නොව ශ්‍රද්ධාව හා දර්ශනයට ඔබින ලෙස තමන්ගේ තීරණය කීකරුකමෙන් ලබා දිය යුතුව ඇත. මක්නිසාද එසේ ක්‍රියා කිරීමෙන් පාලකයන්ට මෙන්ම පාලිතයන්ටද ප්‍ර‍යෝජන අත් වනු ඇත. මක්නිසාද යත්, යම් ස්ථානයක, පැරැන්නෙකු පවසා ඇති ආකාරයට, පාලකයන් සහ පාලිතයන් ‍යන දෙපිරිසම දාර්ශනිකයන් නොවන්නහු නම්, රාජ්‍යයන්ට ආශිර්වාද ලැබීම ඉතා අපහසු වනු ඇත. එබැවින් අපගේ ජීවිතය හා ඉගැන්වීම් පරීක්ෂා කිරීමට සියලු දෙනාටම අවස්ථාව ලබා දීම අපගේ කර්තව්‍යයයි; මන්ද අපගේ කටයුතු පිළිබඳව නොදැන සිටීමට හුරු පුරුදු වී සිටින අය නිසා, ඔවුන්ගේ මානසික අන්ධභාවය නිසා අපද දඬුවම් ලැබිය යුතුව ඇති නිසාය. ඔබ අපට ඇහුම්කන් දෙන විට, හේතු සාධකවලට අනුව, යහපත් විනිශ්චයකරුවන් වීම ඔබගේ කාර්යභාරය වනු ඇත. මක්නිසාද යත්, ඔබ සත්‍යය ඉගෙන ගත් පසු, ඔබ යුක්තිසහගත දේ නොකරන්නහු නම්, දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඔබට නිදහසට කරුණක් නොමැති වනු ඇත.

4 වන පරිච්ඡේදය: හුදෙක් කිතුනු යන නාමය නිසා ඔවුන් අසාධාරණ ලෙස හෙළා දකින ලදී

හුදෙක් නමක් භාවිත කිරීමෙන් එම නාමයෙන් ගම්‍ය වන ක්‍රියා හැරුණු විට හොඳ හෝ නරක කිසිවක්ම තීරණය වන්නේ නැත. ඇත්ත වශයෙන්ම, මේ වන තුරුම මනුෂ්‍යයින් අපට දෝෂාරෝපණය කරන නාමය සම්බන්ධයෙන් පවසන්නේ නම්, ඉතාම විශිෂ්ට මනුෂ්‍යයින් වන්නේ අපයි. එහෙත් අප නපුරු ක්‍රියා කරන්නන් ලෙස ඔප්පු කරනු ලැබුවහොත්, එම නාමය නිසා නිදොස් කොට නිදහස් කරන ලෙස අයැදීමට අපි නොසිතන්නෙමු. අනෙක් අතට, අප එසේ වැරදිකරුවන් ලෙස නම් කරනු ලැබුවද, අප කිසිදු වරදක් කර නොමැති බව පෙනී යන්නේ නම්, හෝ පුරවැසියන් ලෙස අපගේ හැසිරීම යහපත් වේ නම්, වරදකරුවන් ලෙස ඔප්පු කරනු නොලැබූ අයට විරුද්ධව අසාධාරණ දඬුවම් ක්‍රියාත්මක කිරීම වළක්වා සාධාරණ විනිශ්චය ස්ථාපිත කිරීම ඔබ‍ගේ පැත්තෙන් ඉතා උනන්දුවෙන් සිදු කළ යුතු කාර්යයක් වන්නේය. මක්නිසාද යත්, තාර්කික ලෙස බැලීමේදී ඉතා බලවත් කාරණයක් හෝ යම් පදනමක් සහිත ක්‍රියාවක් ඔප්පු කළහොත් මිස, හුදෙක් නාමයකින් ප්‍රශංසාව හෝ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නැත. එසේම ඔබ අතර චෝදනා ලැබ සිටින අයගේ වරද ඔප්පු කිරීමට පෙර ඔවුහු දඬුවම් නොලබති. එහෙත් අපගේ කාරණාවේදී නම්, ඔබ අපට විරුද්ධව සාක්ෂිය ලෙස නාමයක් ලබාගන්නෙහිය. මේ නාමය අපගේ චූදිතයන්ට දඬුවම් කිරීමට ඔබ යොදා ගන්නෙහිය. මක්නිසාද යත්, කිතුනුවන් වන නිසා අප චෝදනාවට ලක් කර ඇති අතර, විශිෂ්ට දේට වෛර කිරීම අයුක්ති සහගතය. නැවතත්, කිසියම් චූදිතයෙකු ඒ නම ප්‍රතික්ෂේප කළහොත්, සහ ඔහු කිතුනුවෙකු නොවන බව පැවසුවහොත්, ඔබ ඔහු නිදොස් කොට නිදහස් කරන්නෙහිය. මන්ද ඔහු වැරදිකරුවෙකු ලෙස ඔහුට විරුද්ධව කිසිදු සාක්ෂියක් නොමැති බැවිනි. එහෙත් තමා කිතුනුවෙකු බව යමෙක් පිළිගන්නේ නම්, එසේ පිළිගැනීම නිසා ඔබ ඔහුට දඬුවම් කරන්නෙහිය. ඔබතුමා යුක්තිය පසිඳලීම උදෙසා තමා කිතුනුවෙකු බවට පිළිගන්නා තැනැත්තාගේ මෙන්ම තමා කිතුනුවෙකු බව ප්‍රතික්ෂේප කරන තැනැත්තාගේ ජීවිතය ගැන විමර්ශනය කළ යුතු අතර, එසේ ඔවුන්ගේ ක්‍රියා කරණකොටගෙන ඔවුන් කුමනාකාර තැනැත්තන්ද යන්න ඔබට පැහැදිලි වනු ඇත. මක්නිසාද යත්, ක්‍රිස්තුස් වහන්සේ වන ගුරුවරයාණන් වහන්සේ විසින් සමහරුන්ට උන් වහන්සේ ප්‍රතික්ෂේප නොකරන ලෙසටත්, අනෙක් අයට ප්‍රශ්නයක් ඇති වූ විට ඔවුන් ධෛර්යමත් කරන ලෙසටත් උගන්වනු ලැබ ඇත. එබැවින් සියලු ආකාරයෙන්ම දුෂ්ට ජීවිත ගත කරන අය, කිසිදු සැලකිල්ලක් නොදක්වා සියලුම කිතුනුවන් දුෂ්ට සහ භක්තිමත් නොවන ජීවිත ගත කරන අය බවට චෝදනා කරති. මෙයද නිවැරදි නැත. දර්ශනය සම්බන්ධයෙන් ගත් කලද, සමහරු නාමය ගැන සලකා බලා ඔවුන් කිසිදු වටිනාකමකින් යුත් කාර්යක් සිදු නොකරන බවට කල්පනා කරති. එසේම පැරැන්නන්ගේ අදහස් හා ඉගැන්වීම් තරමක් විවිධාකාර වන නමුත් ඔවුන් සියල්ලන්ම දාර්ශනිකයන් යන පොදු නමකින් හැඳින්වෙන බව ඔබ ඉතාම හොඳින් දන්නහුය. ඔවුන්ගෙන් සමහරු අදේවවාදය ඉගැන්වූහ. ඔබ අතර ඇතැම් විශිෂ්ට කවීහූ ජුපිටර් ඔහුගේම දරුවන් සමග කළ කී අපවිත්‍ර දෑ සම්බන්ධයෙන් ඔහු සිනහවට ලක් කරති. එහෙත් දැන් එවැනි උපදේශ ලබා ගන්නා එම දේවල් සිදු කරන අය ඔබ විසින් වළක්වනු නොලැබේ. එහෙත්, ඊට පටහැනිව, ඔබ දෙවිවරුන්ට අපහාස කරන අයට ත්‍යාග හා ගෞරව පිරිනමන්නහුය.

5 වන පරිච්ඡේදය: කිතුනුවෝ අදේවවාදීහූ යයි චෝදනා ලබති

එසේ නම්, මෙය මේ ආකාරයට සිදු විය යුත්තේ ඇයි? අපගේ සිද්ධියේදී, කිසිම දුෂ්ටකමක් නොකරන බවට හෝ මෙම අදේවවාදී අදහස් දරන්නේ නැති බවට ප්‍රතිඥා දෙන අය, අපට එරෙහිව නගා ඇති චෝදනා ඔබ විභාග නොකරන්නෙහිය; එහෙත්, අසාධාරණ, අතාර්කික, තෘෂ්ණා සහිත සහ නපුරු යක්ෂයන්ගේ උසිගැන්වීම්වලට යටත් වෙමින්, ඔබ කිසි දෙයක් සලකා බැලීමෙන් තොරව හෝ විනිශ්චය කිරීමකින් තොරව අපට දඬුවම් කරන්නෙහිය. මක්නිසාද සත්‍යය කථා කරනු ලැබේ; අතීතයේ සිටම මෙම නපුරු යක්ෂයන්, ඔවුන් වෙනුවෙන්ම පෙනී සිටිමින්, කාන්තාවන් දූෂිත බවටත් සහ පිරිමි ළමයින් දූෂිත බවටත් පත් කර, එබඳු බියකරු දර්ශන පුරුෂයින්ට පෙන්නුම් කර ඇත. එසේ විනිශ්චය කිරීමේදී ඔවුන් විසින් සිදු කරන ලද ක්‍රියාවන්‍ට බලපෑ හේතූන් නොසලකන අය භීතියට පත් වූහ. ඔවුන් භීතියෙන් පොලඹවනු ලැබ, එසේ සිදු කරන්නේ යක්ෂයින් බව නොදැන, ඔවුන් දෙවිවරුන් යයි හඳුන්වමින් එක් එක් යක්ෂයන් ඔවුන්ට තෝරාගත් නාමය එකිනෙකාට ලබා දුන්හ. සැබෑ හේතූ සාධක සහ පරීක්ෂණ මගින් සොක්‍රටීස් මේ කාරණා හෙළිදරව් කරමින් මිනිසුන් යක්ෂයන්ගෙන් ගලවා ගැනීමට උත්සහා කළ විට, අයුක්තිය ගැන ප්‍රීති වූ මිනිසුන් කරණකොටගෙන එම යක්ෂයින් විසින්ම, අදේවවාදියෙකු හා මිථ්‍යා දෘෂ්ටියෙකු ලෙස සලකා, නව දේවත්වයන් හඳුන්වා දුන් බවට චෝදනා කරමින් ඔහු මරණයට පත් කරන ලදී. අපගේ කාරණයේදීද ඔවුහු ඒ හා සමාන ලෙසම ක්‍රියා කරන බව පෙනෙයි. මක්නිසාද යත්, සොක්‍රටීස් කරණකොටගෙන ලොගොස් හෙළා දැකීම ග්‍රීකයන් අතර සිදු වූ ආකාරයටම, ම්ලේච්ඡයන් අතරද හේතුව (හෝ වචනය, ලොගොස්) හෙළා දැකීම සිදු විය. එනම් මනුෂ්‍ය රූපයක් ගෙන මනුෂ්‍යයෙකු බවට පත් වූ තැනැන් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් ලෙස හඳුන්වනු ලබන තැනැන් වහන්සේ හෙළා දකිනු ලැබිණි. මෙවැනි දේ සිදු කළ අය දෙවිවරුන් බව අපි ප්‍රතික්ෂේප කරනවා පමණක් නොව, ඔවුන් දුෂ්ට හා අශිෂ්ට යක්ෂයින් බව උන් වහන්සේට කීකරු වන අපි තරයේ කියා සිටිමු. ඔවුන්ගේ ක්‍රියාවන් යහපත්කමට කැමති මිනිසුන්ගේ ක්‍රියා සමගවත් සැසඳිය නොහැකිය.

6 වන පරිච්ඡේදය: අදේවවාදීන් යන චෝදනාව ප්‍රතික්ෂේප කිරීම

එබැවින් අප අදේවවාදීන් ලෙස හඳුන්වනු ලබන බැවින්, මේ ආකාරයේ දෙවිවරුන් සම්බන්ධයෙන් සලකන කල අප අදේවවාදීන් බවට අපි පිළිගනිමු. එහෙත් ධර්මිෂ්ඨකමේ හා ඉවසීමේ මෙන්ම අනෙකුත් යහපත් ගුණාංග සහිත පියාණන් වහන්සේ සහ සියලු අපිරිසිදුකම්වලින් තොර තැනැන් වහන්සේ වන සැබෑ දෙවියන් වහන්සේට මෙය අදාළ නොවේ. එහෙත් උන් වහන්සේට සහ පුත්‍රයාණන් වහන්සේට (උන් වහන්සේ වෙතින් පැමිණි සහ අපට මේ කාරණා ඉගැන්වූ තැනැන් වහන්සේ සහ උන් වහන්සේ අනුගමනය කරන සහ උන් වහන්සේ මෙන් සාදා ඇති අනෙක් යහපත් දේවදූත සේනාවන්) සහ අනාවැකිමය ආත්මයාණන් වහන්සේ, සියල්ලෙහි හේතුව සහ සත්‍යය උන් වහන්සේ බව දැනගෙන, අපි උන් වහන්සේට නමස්කාර කරමින් ගෞරව කරන්නෙමු. එසේම අපට උගන්වා ඇති පරිදි ඉගෙනීමට කැමති සැම කෙනෙකුටම කිසි අකමැත්තකින් තොරව එය ප්‍රකාශ කරන්නෙමුව.

7 වන පරිච්ඡේදය: එකිනෙක කිතුනුවා තමාගේ ජීවිතයෙන්ම පරීක්ෂණයට ලක් විය යුතුය

එහෙත් දැන් ඇතැම් අය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් නපුරු ක්‍රියා කරන්නන් බව ඔප්පු වී ඇති බවට සමහරුන් පවසනු ඇත. මක්නිසාද යත්, එක් එක් චූදිතයාගේ ජීවිතය ගැන කිහිප වතාවක් විමසා බැලීමෙන් පසුව, ඔබ බොහෝ වාරයක් ඔවුන් හෙළා දකින නමුත්, අප විසින් කථා කරනු ලබන අය සම්බන්ධයෙන් ඔබ නොසලකා හරින්නෙහුය. එසේම ග්‍රීකයන් අතර මෙන්, තමන් කැමති පරිදි එවැනි න්‍යායන් උගන්වන සියල්ලන්ම එකම නමකින් එනම් දාර්ශනිකයා යනුවෙන් ඔබ හඳුන්වනු ලබන්නෙහිය. එහෙත් ඔවුන්ගේ මූලධර්ම විවිධාකාර බව අපි පිළිගනිමු. එසේම ම්ලේච්ඡයන් අතරද චෝදනා කරනු ලබන මෙම නාමය, ඔවුන්ගේ මෙන්ම ඥානවත්ත ලෙස පෙනෙන අයගේ පොදු දේපළකි. මක්නිසාද සියල්ලන්ම කිතුනුවන් ලෙස හැඳින්වෙන නිසාය. එබැවින්, චෝදනාවට ලක් වූ සියලු දෙනාගේ ක්‍රියාවන් විනිශ්චය කරන ලෙස අපි ඔබගෙන් ඉල්ලා සිටිමු. මන්ද එකිනෙක පුද්ගලයා වරදකරුවෙකු ලෙස දඬුවම් ලැබිය යුත්තේ ඔවුන් නපුරු දේවල් කිරීම හේතුකොටගෙන මිස, ඔවුන් කිතුනුවෙකු වීම නිසා නොවේ. එසේම යමෙකු නිර්දෝෂී බව පැහැදිලි වුවහොත්, ඔහු නිදොස් කොට නිදහස් කරනු ලැබිය යුතුය. මන්ද, හුදෙක් ඔහු කිතුනුවෙකු වීම හේතුකාටගෙන ඔහු කිසි වරදක් නොකරන බැවිනි. මක්නිසාද අපගේ චෝදනාවලට ලක් වූ අයට දඬුවම් කරන ලෙස අපි ඔබගෙන් ඉල්ලා නොසිටිමු. මන්ද ඔවුන්ගේ වර්තමාන දුෂ්ටකම සහ හරි දේ නොදැනුවත්කම හේතුකොටගෙන ඔවුන් දැනටමත් ප්‍රමාණවත් දඬුවම් ලැබ සිටින නිසාය.

8 වන පරිච්ඡේදය: කිතුනුවෝ දෙවියන් වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල ප්‍රකාශ කරති

අපි මේ කාරණා පවසන්නේ ඔබ උදෙසා යැයි සලකන්න. මක්නිසාද අප පරීක්ෂාවට ලක් කරනු ලැබූ විට අප ක්‍රිස්තියානීන් බව ප්‍රතික්ෂේප කිරීමට අපට බලය තිබේ. එහෙත් අපි බොරුවක් කියමින් ජීවත් නොවන්නෙමු. මක්නිසාද යත්, සදාකාලික හා නිර්මල ජීවිතයේ ආශාවෙන් පොලඹවන ලදුව, අපි සියල්ලන්ගේම පියාණන් වහන්සේ හා මැවුම්කරුවාණන් වහන්සේ වන දෙවියන් වහන්සේ සමග බැඳී සිටින පිණිස, අපගේ ඇදහිල්ල ප්‍රකාශ කිරීමට ඉක්මන් වෙමු. එසේ දෙවියන් වහන්සේට අපගේ ක්‍රියාවන් කරණකොටගෙන උන් වහන්සේ අනුගමනය කළ අය බවට සහ උන් වහන්සේ සමග බැඳී සිටීමට ආශා කළ අය ලෙසට ඒත්තු ගන්වනු ලදුව සහ එය ඔප්පු කරන ලදුව, කිසිම පාපයකින් බාධාවට පත් නොවී මේ දේවල් ලබා ගන්නා පිණිස ක්‍රියා කරමු. ඒ අනුව කෙටියෙන් පවසන්නේ නම්, අප ක්‍රිස්තුස් වහන්සේගෙන් බලාපොරොත්තු වන දේ මෙන්ම උන් වහන්සේගෙන් ඉගෙන ගෙන ඇති දේ සහ අප විසින් උගන්වනු ලබන දේ මෙය වේ. ඒ ආකාරයෙන්ම, ප්ලේටෝද කියා සිටියේ රදමන්තස් සහ මිනෝස් තමන් වෙත පැමිණි දුෂ්ටයන්ට දඬුවම් කරන බවයි; එසේම අපිද ක්‍රිස්තුන් වහන්සේත් ඒ දෙයම සිදු කරන බව පවසමු. එනම් දුෂ්ටයන්ට ඔවුන්ගේ ආත්මයන් සහ ඒකාබද්ධ වී ඇති ඔවුන්ගේ ශරීරවලට සදාකාලික දඬුවම විඳීමට සිදු වනු ඇත. එසේ දඬුවම් විඳීමට සිදු වන්නේ ප්ලේටෝ පැවසූ පරිදි, වසර දහසක කාලයක් සඳහා පමණක් නොවේ. මෙය ඇදහිය නොහැකි හෝ සිදු විය නොහැකි දෙයක් යැයි යමෙක් පවසන්නේ නම්, ඔබට කිසිදු හානියක් කිරීම සම්බන්ධයෙන් අප වරදකරුවන් බව ඔප්පු කළ නොහැකි තාක් කල් අපගේ මෙම දෝෂය අපට පමණක් සිදු වන දෙයක් වනු මිස, අනෙක් කිසි පුද්ගලයෙකු මත ක්‍රියාත්මක නොවනු ඇත.

9 වන පරිච්ඡේදය: රූප වන්දනාවේ අඥානකම

මිනිසුන් විසින් සාදන ලදුව, දේවාලවල තබා දෙවිවරුන් යයි හඳුන්වනු ලබන එවැනි දෙවිවරුන් හට බොහෝ පූජාවන් සිදු කරමින් හා මල් මාලා පලඳමින් අපි ගෞරව නොකරමු. මක්නිසාද යත්, ඒවා ප්‍රාණයක් නොමැති ඒවා වන බවත්, මළ ඒවා බවත්, දෙවියන් වහන්සේගේ ස්වරූපය නොමැති ඒවා බවත් අපි දකිමු (මක්නිසාද යත්, දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස ඇතැමුන් ඒවා අනුකරණය කරන බව පවසන ආකාරයට, දෙවියන් වහන්සේට කිසි ස්වරූපයක් ඇති බවක් අපි නොසලකමු). එහෙත් දෘශ්‍යමාන බවට පත් වූ එම දුෂ්ට යක්ෂයන්ගේ නම් සහ ස්වරූපයන් ඇත. මක්නිසාද යත්, කැටයම් ශිල්පීන් කුමන ස්වරූපයකට අනුව එම ද්‍රව්‍ය කපා, කැටයම් කර, වාත්තු වාත්තු කර ඒවා නිර්මාණය කරන්නේද යන්න ඔබ දැනටමත් දන්නා නිසා අප විසින් එය ඔබට පැවසිය යුත්තේ මන්ද? යෙසායා 44:9-20; යෙරෙමියා 10:3. බොහෝ විට අගෞරවනීය භාජනවලින්, හුදෙක් ස්වරූපය වෙනස් කිරීමෙන් පමණක් සහ අවශ්‍ය හැඩයේ රූපයක් සැදීමෙන්, ඔවුන් විසින් දෙවියෙකු ලෙස හඳුන්වන ලබන දේ සාදනු ලබයි. එය අපි නිරර්ථක දෙයක් ලෙස සලකනවා පමණක් නොව, අසමසම, මහිමයෙක් යුක්ත සහ කිසි ස්වරූපයක් නොදරන දෙවියන් වහන්සේට අපහාස කිරීමක් ලෙසද සලකන්නෙමු. එබැවින් උන් වහන්සේගේ නාමය දූෂිත දේවලට සහ නිරන්තරයෙන්ම මනුෂ්‍යයින්ගේ සේවය ලැබිය යුතු දේවලට සම්බන්ධ කිරීම දෙවියන් වහන්සේගේ නාමයට අපහාස කිරීමක් සේ අපි සලකමු. එසේම මේ දේවල් සාදන කලාකරුවන්ද බීමතින් ක්‍රියා කරන බවත් සහ පමණ ඉක්මවා යන තොරතුරු ඇතුළත් නොකිරීමට සැම උපක්‍රමයක්ම යොදා ගන්නා බවත් ඔබ හොඳින් දන්නෙහුය. ඔවුන් සමග වැඩ කරන ඔවුන්ගේම ගැහැනු ළමයින්ද ඔවුහු දූෂණය කරති. ඔබට නමස්කාර කිරීම පිණිස දෙවිවරුන් සැදිය යුතු යැයි එම අනාචාරයෙහි හැසිරෙන මිනිසුන්ට පැවසීම මොන තරම් මෝඩකමක්ද! එසේම මිනිසුන් දෙවිවරුන්ගේ භාරකරුවන් යැයි සිතීම හෝ පැවසීම පවා නීති විරෝධී බව හඳුනා නොගනිමින්, එවැනි පුරුෂයින් දේවාලවල භාරකරුවන් ලෙස පත් කිරීම කෙතරම් මෝඩකමක්ද?

10 වන පරිච්ඡේදය: දෙවියන් වහන්සේට සේවය කළ යුතු වන්නේ කෙසේද

එහෙත් මිනිසුන්ට දිය හැකි, පෙනෙන ආකාරයේ ද්‍රව්‍යමය පූජාවන් දෙවියන් වහන්සේට අවශ්‍ය නොවන බවට වන සම්ප්‍රදාය අපි ලබා ඇත්තෙමු. එයට හේතුව වන්නේ, ඇත්තෙන්ම සියලු දෙයක්ම අපට සපයන්නේ උන් වහන්සේම වන නිසාය. උන් වහන්සේ තමන් වහන්සේ තුළ වාසය කරන විශිෂ්ටත්වය, එනම් දරාගැනීම සහ සාධාරණ බව මෙන්ම පරාර්ථකාමීත්වය අනුකරණය කරන අය පමණක් පිළිගන්නා බවට, අපට උගන්වා ඇති අතර, ඒ පිළිබඳ අපට ඒත්තු ගන්වනු ලැබ ඇත. එසේම අපි එය විශ්වාස කරමු. මන්ද එම ගුණාංග බොහොමයක් කිසිම විශේෂිත නමකින් හඳුන්වනු නොලබන දෙවියන් වහන්සේට පමණක් අද්විතීය වන ගුණාංග වන නිසාය. උන් වහන්සේ ආරම්භයේදීම මනුෂ්‍යයා වෙනුවෙන් උන් වහන්සේගේ යහපත්කම ක්‍රියාත්මක කළ බවට අපට උගන්වා තිබේ. උන් වහන්සේ කිසිවක්ම නැතිව සියල්ලක්ම නිර්මාණය කළ සේක. උන් වහන්සේගේ නිර්මාණයක් වීමට තමන්ගේ ක්‍රියාවන් කරණකොටගෙන තමන් සුදුසු යැයි මිනිසුන් පෙන්වන්නේ නම්, ඔවුන් සුදුස්සන් යැයි සලකනු ලැබේ. එබැවින් උන් වහන්සේ සමග රජකම් කිරීම, දූෂණයෙන් හා දුක් විඳීමෙන් මිදීම අපට ලැබී තිබේ. මක්නිසාද ආරම්භයේදී අප පැවතීමට කලින් උන් වහන්සේ අප මැවූ ලෙස, ඒ හා සමානව, උන් වහන්සේට ප්‍රසන්න දේ තෝරා ගන්නා අය, ඔවුන්ගේ තෝරා ගනීම නිසා, දූෂිත නොවී සිටීමට සහ උන් වහන්සේ හා සමග සහභාගීකම් පැවැත්වීමට සුදුසු යැයි සලකනු ලැබේ. මක්නිසාද යත්, ආරම්භයේදීම අප සත්තාවක් බවට පත් වූයේ අපේම බලයෙන් නොවන බැවිනි. එසේම උන් වහන්සේ සතුටු කරන දේ අප විසින් අනුගමනය කරනු පිණිස, උන් වහන්සේ විසින්ම අපට ලබා දී ඇති තාර්කික හැකියාවන් මගින් ඒවා තෝරා ගැනීම උදෙසා, උන් වහන්සේම අප ඒත්තු ගන්වන අතර, ඇදහිල්ල කරා අප මගපෙන්වන සේක. එසේ සියලු මිනිසුන්ගේ යහපත උදෙසා අපි සිතන්නේ ඔවුන් මේ කාරණා ඉගෙනීමෙන් වැළකී නොසිටින ලෙසටය. එම නිසා ඒවා ඉගෙනීම උදෙසා අපි ඔවුන් උනන්දු කරමු. වාක්‍යාණෝ, උන් වහන්සේ දිව්‍යමය තැනැන් වහන්සේ වන නිසා, එසේ ඉගෙනීමෙන් වැළකී සිටීමට සිදු කරන මිනිස් නීතියකින් කිසි බලපෑමක් ඇති වන්නේ නැත. සැම මනුෂ්‍යයෙකු තුළම ඇති දුෂ්ටකමේ රාග තෘෂ්ණාව සමග දුෂ්ට යක්ෂයින් ඒකාබද්ධ වෙමින්, විවිධාකාර වූ සියලු දුසිරිත්වලට ඔවුන් ඇදගෙන, අපට කිසි සේත්ම සම්බන්ධ නොවන බොහෝ අසත්‍ය හා අසභ්‍ය චෝදනා අප පිළිබඳ පතුරුවා හරිති.

11 වන පරිච්ඡේදය: කිතුනුවන් අපේක්ෂා කරන්නේ කුමන රාජ්‍යයද

අප රාජ්‍යයක් දෙස බලා සිටින බව ඔබට ඇසෙන විට, කිසිම විමසීමක් නොකර, අප මිනිස් රාජ්‍යයක් පිළිබඳ කථා කරන බව ඔබ සිතන්නෙහිය. එහෙත් කිතුනුවන් වීම හේතුවෙන් චෝදනා ලැබ සිටින අය විසින් කරන ලද ඇදහිල්ල පිළිබඳ ප්‍රකාශවලින්ද පෙනෙන ආකාරයට, අප කථා කරන්නේ දෙවියන් වහන්සේ සමග වන රාජ්‍යයක් පිළිබඳවයි. ඔවුහු තමුන් එසේ ප්‍රකාශ කිරීම නිසා ලැබෙන දඬුවම වන්නේ මරණය බව දැන දැනම එසේ පවසති. මක්නිසාද අපි මනුෂ්‍ය රාජ්‍යයක් බලා සිටින්නෙමු නම්, අප මරණයට පත් නොකරනු ලබන පිණිස අප විසින් අපගේ ක්‍රිස්තුස් වහන්සේද ප්‍රතික්ෂේප කරනු ලැබිය යුතුව ඇත. එසේම අප බලාපොරොත්තු වන දේ ලබා ගන්නා පිණිස අප සොයා ගනු ලැබීමෙන් වැළකීමට උත්සහා කළ යුතුව ඇත. එහෙත් අපගේ සිතුවිලි වර්තමානය මත ස්ථාපිත වී නොමැති බැවින්, මිනිසුන් විසින් අප අත්හරිනු ලැබීම සම්බන්ධයෙන් අපි කිසි තැකීමක් නොකරමු. මන්ද මරණය යනු සැම අවස්ථාවකම ගෙවිය යුතු ණයක් වන නිසාය.

12 වන පරිච්ඡේදය: කිතුනුවන් ජීවත් වන්නේ දෙවියන් වහන්සේ බලාගෙන සිටිනවා මෙන්ය

අනෙක් සියලු මිනිසුන්ට වඩා සාමය ප්‍රවර්ධනය කිරීම උදෙසා අපි ඔබගේ සහායකයෝ වෙමුව. අප මෙම මතය දරන බව දැකීමෙන් දුෂ්ටයන්ට, වංචාකාරයින්ට, කුමන්ත්‍රණකරුවන්ට මෙන්ම ගුණවත් අයට දෙවියන් වහන්සේගේ අවධානයෙන් ගැලවීම කිසිසේත් කළ නොහැකිය. මන්ද සැම මිනිසෙකුම තම ක්‍රියාවන්ගේ වටිනාකමට අනුව සදාකාල දඬුවමට හෝ ගැලවීමට පත් වන නිසාය. එසේ සියලු මනුෂ්‍යයන් මෙය දැන සිටින්නේ නම්, ඔවුන් සදාකාල ගින්නෙහි දඬුවමට පත් වන බව දැනගෙන, කිසිවෙකුත් ටික කලකට හෝ දුෂ්ටකම් කිරීම තෝරා නොගන්නවා ඇත. ඒ වෙනුවට, ඔහු දෙවියන් වහන්සේගේ යහපත් ත්‍යාග ලබාගන්නා පිණිස සහ දඬුවම්වලින් මිදීමට හැකි වන පරිදි, දුෂ්ටකම් කිරීමෙන් වැළකී, ගුණවත්කමින් පූර්ණව සිටිනවා ඇත. මන්ද ඔබ විසින් පනවනු ලබන නීති සහ දඬුවම් හේතුවෙන්, ඔවුන් සිත් රිදීමට පත් වූ විට, ඔවුන් සොයා ගනු ලැබීමෙන් බේරීමට උත්සාහ කරන අයට (ඔබ හුදෙක් මනුෂ්‍යයෙකු වන නිසා, ඔබ විසින් සොයා ගනු ලැබීමෙන් වැළකී සිටීමට හැකි බව සිතා, ඔවුහුද සිත් රිදීම් සිදු කරති), එම පුද්ගලයින්, ඇත්ත වශයෙන්ම ඔවුන් සිදු කරන හෝ අභිප්‍රාය කරන කිසිවක් දෙවියන් වහන්සේගේ දැනගැන්මෙන් වැළැක්විය නොහැකි බව ඔවුන්ට උගන්වනු ලැබ, ඒත්තු ගැන්වූයේ නම්, ඔබම පිළිගන්නා පරිදි, ඔවුන්ට ලැබෙන දඬුවම් ගැන තර්ජනය කරනු ලැබූ විට, සැම ආකාරයකින්ම විනීතව ජීවත් වනු ඇත. එහෙත් ඔබට තවදුරටත් දඬුවම් කිරීමට කිසිවෙක් නැති වන නිසා සියලු මිනිසුන් ධර්මිෂ්ඨ බවට පත්වනු ඇතැයි ඔබ බියට පත් වන බව පෙනේ. ප්‍රසිද්ධ මරණ දණ්ඩනය නියම කරන්නන්ගේ අවධානයද එයම වේ. එහෙත් යහපත් කුමාරවරුන්ගේ අවධානය නම් එය නොවේ. එහෙත්, අප කලින් කී පරිදි, මේ දේවල් පොලඹවනු ලබන්නේ අසාධාරණ ලෙස ජීවත් වන අයගෙන් පවා පූජාවන් සහ සේවය ඉල්ලා සිටින නපුරු ආත්මයන් විසින් බව අපට ඒත්තු ගැන්වී ඇත; එහෙත් ඔබ, භක්තිවන්තකම සහ දර්ශනය කිසිම අහේතුක දෙයක් නොකරනු ඇතැයි අරමුණු කරන බව පෙනේ. එහෙත්, ඔබද මෝඩයන් මෙන් සත්‍යයට චාරිත්‍ර ඉටු කිරීමට කැමත්තෙහි නම්, ඔබට කිරීමට බලය ඇති දේ සිදු කරන්න. කොල්ලකරුවන්ට කාන්තාරයක බලය තිබෙන්නේ යම් ආකාරයකද, එසේම සත්‍යයට වඩා මතය අගය කරන පාලකයන්ට මහත් බලයක් තිබේ. තවද, වාක්‍යාණෝ, එනම් දෙවියන් වහන්සේගෙන් උපත ලැබූ තැනැන් වහන්සේගෙන් ඔබට ජය ගැනීමට නොලැබෙනු ඇත. මන්ද උන් වහන්සේ මෙන් වූ වෙනත් රජෙකු හෝ සාධාරණ පාලකයෙකු පිළිබඳ අපි නොදනිමු. මක්නිසාද යත්, සියල්ලන්ටම ඔවුන්ගේ පියවරුන්ගේ දුප්පත්කම හෝ දුක් වේදනා හෝ අපැහැදිලි තත්වයන්ගෙන් ජය ගැනීමට නොහැකි හෙයින්, වාක්‍යාණෝ අපට තෝරා ගැනීම තහනම් කරන කොයි දෙයක් නමුත්, බුද්ධිමත් මිනිසා තෝරා නොගන්නවා ඇත. මේ සියලු දේ ඉටු විය යුතු බවට අපගේ ගුරුවරයාණන් වහන්සේ කලින්ම පවසා ඇති බව මම කියමි. උන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ සහ දූතයා වන අතර, සියල්ලන්ගේ පියාණන් වහන්සේ සහ පාලකයාණන් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වන සේක. අපට කිතුනු යන නාමය ලැබී ඇත්තේද උන් වහන්සේගෙනි. මන්ද, උන් වහන්සේ කලින් පවසා ඇති ආකාරයට සැම දෙයක්ම ඉෂ්ට විය යුතු බැවින් සහ එය සැබවින්ම සිදු වන බව පෙනෙන නිසා, උන් වහන්සේ අපට ඉගැන්වූ සැම දෙයක් සම්බන්ධයෙන්ම අපට වඩාත් නිසැක විය හැකිය. යමක් සිදු වීමට කලින් එය පැවසීම වනාහි දෙවියන් වහන්සේගේ කාර්යයකි. එසේම කලින් පවසන ලද පරිදි එය සිදු වන බව පෙන්නුම් කිරීම උන් වහන්සේගේ කාර්යයකි. අප සාධාරණ සහ සත්‍යය දේ පිළිගන්නා බව පවසමින්, මෙතැනින්මෙම කථාව නවතා දමා මෙයට කිසිවක් එකතු නොකර සිටීම අපට පහසු කාරණයකි. එහෙත් නොදැනුවත්කමින් යුත් මනසක් හදිසියේ වෙනස් කිරීම පහසු නොවන බව අප හොඳින් දන්නා නිසා, සත්‍යය ඉදිරිපත් කිරීමෙන් නොදැනුවත්කම ඉවත් කිරීම කළ නොහැකි බව දැන දැනම, සත්‍යයට ආදරය කරන අයට ඒත්තු ගැන්වීම උදෙසා කරුණු කිහිපයක් එකතු කිරීමට අපි අදහස් කරමු.

13 වන පරිච්ඡේදය: කිතුනුවෝ දෙවියන් වහන්සේට සිහි බුද්ධියෙන් යුතුව සේවය කරති

එසේ නම්, විශ්වයේ මැවුම්කරුවාණන් වහන්සේට අප නමස්කාර කරමින්, අපට උගන්වා ඇති පරිදි, උන් වහන්සේට රුධිරය හා දියර පූජාවන් සහ සුවඳ දුම් අවශ්‍ය නොවන බව ප්‍රකාශ කරන නිසා, සන්සුන් මනසක් ඇති මනුෂ්‍යයා අප අදේවවාදීන් නොවන බවට නොපිළිගනියි. අපගේ යාච්ඤාවෙන් සහ අපට සපයා තිබෙන සියලුම දේ සම්බන්ධයෙන් ස්තුති කිරීම මගින් අපගේ උපරිම බලයෙන් අපි උන් වහන්සේට ප්‍රශංසා කරන්නෙමු. අපට උගන්වා ඇති පරිදි, උන් වහන්සේට ලැබිය යුතු එකම ගෞරවය අප පෝෂණය කිරීම උදෙසා උන් වහන්සේ ලබා දී ඇති දේ ගින්නෙන් දවා දැමීම නොවන අතර, ඒවා අප උදෙසා සහ අවශ්‍යතා ඇති අය උදෙසා භාවිත කිරීම වන්නේය. එසේම අප මැවීම නිසාත්, අපගේ සියලු යහපත් සෞඛ්‍ය තත්වයන් නිසාත් විවිධ වර්ගවල දේවල් සහ විවිධ ගුණාංග නිසාත්, වෙනස් වන ඍතු නිසාත් උන් වහන්සේට කෘතඥතාව පළ කරමින්, යාච්ඤාවෙන් සහ ගීතිකා මගින් ස්තුති කිරීම වන්නේය. එසේම උන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන අප නැවත වරක් නිර්දෝෂී ලෙස පෙනී සිටින පිණිස ඉල්ලීම් ඉදිරිපත් කිරීමටත්ය. මේ දේවල් පිළිබඳ අපගේ ගුරුවරයා වන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේය. උන් වහන්සේද මේ සඳහා උපත ලැබූ අතර, තිබේරියස් සීසර්ගේ කාලයේදී යුදයේ ආණ්ඩුකාරයා වූ පොන්තියුස් පිලාත් යටතේ උන් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ‍ සේක. අපි උන් වහන්සේ සැබෑ දෙවියන් වහන්සේගේම පුත්‍රයාණන් වහන්සේ බව දැනගෙන, උන් වහන්සේට හේතුවක් ඇතිව නමස්කාර කරන්නෙමු. එසේම උන් වහන්සේ දෙවන ස්ථානයේ තබමින්, සහ ප්‍රොපේතමය ආත්මයාණන් වහන්සේ තුන් වන ස්ථානයේ තබමින් අපි එය ඔප්පු කරන්නෙමුව. සියල්ලන්ගේ මැවුම්කරුවාණන් වහන්‍සේ වන නොවෙනස් වන්නාවූ හා සදාකාලික දෙවියන් වහන්සේට දෙවන ස්ථානය කුරුසියේ ඇණ ගසනු ලැබූ මිනිසෙකුට ලබා දෙන නිසා, ඔවුහු අපට පිස්සු යයි ප්‍රකාශ කරති. මක්නිසාද යත්, මෙහි ඇති අභිරහස ඔවුන් වටහා නොගන්නා හෙයිනි. එනම් අපි ඔබට පැහැදිලි කර දෙන දෙයට මහත් අවධානය යොමු කරන මෙන් ඔබට ආයාචනා කර සිටිමු.

14 වන පරිච්ඡේදය: යක්ෂයෝ ක්‍රිස්තියානි ධර්මය වැරදි ලෙස නිරූපණය කරති

මක්නිසාද අප පවසන දේ කියවීමෙන් හා අවබෝධ කර ගැනීමෙන් ඔබ වළක්වන පිණිස අප විසින් චෝදනා කරනු ලබන යක්ෂයින් ඔබ රවටා නොගන්නා ලෙස, අපි ඔබට කලින් අවවාද කරමු. ඔවුහු තමන්ගේ වහලුන් හා දාසයන් ලෙස ඔබ රඳවා තබා ගැනීමට වෙහෙසෙති. මක්නිසාද සමහර විට සිහිනවලින් පෙනී සිටීමෙන් හා සමහර විට ඉන්ද්‍රජාලික පැනවීම් කරණකොටගෙන තමන්ගේම ගැලවීම සඳහා දැඩි ප්‍රතිවිරුද්ධ උත්සාහයක් නොගන්නා සියල්ලන් යටත් කර ගනිති. එසේම අපි වචනය මගින් අප ඒත්තු ගන්වනු ලැබූ බැවින්, ඔවුන්ගෙන් (නිදසුන්: යක්ෂයින්ගෙන්) වෙන්ව සිටිමින්, මවනු නොලැබුවාවූ දෙවියන් වහන්සේ සහ උන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ අනුගමනය කරමු. කලින් වේශ්‍යාකමට ප්‍රිය කළ අපි, දැන් නිර්මලකම පමණක් වැලඳගෙන සිටිමු. කලින් ඉන්ද්‍රජාලික කලාවන් භාවිත කළ අපි, මවනු නොලැබුවාවූ දෙවියන් වහන්සේට අපම කැප කර ගනිමින් යහපත් ක්‍රියාවලට කැප වී සිටිමු. කලින් සියල්ලටම වඩා ධනය හා දේපළ අත්පත් කර ගැනීමට ආශා කළ අපි, දැන් අප සතුව ඇති දේ පොදු කාරණා උදෙසා ගෙනැවිත්, අවශ්‍යතා ඇති සැම කෙනෙකුටම බෙදා දෙන්නෙමු. එකිනෙකාට වෛර කරමින් ඔවුන් විනාශ කළ සහ මනුෂ්‍යයින් වෙනත් ගෝත්‍රයකට අයිති නිසාත් ඔවුන්ගේ වෙනස් පුරුදු නිසාත් එම මිනිසුන් සමග ජීවත් නොවූ අපි, දැන්, ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමේ සිට, ඔවුන් සමග සුපුරුදු ආකාරයට ජීවත් වෙමින්, අපගේ සතුරන් වෙනුවෙන් යාච්ඤා කරමු. එසේම ක්‍රිස්තුස් වහන්සේගේ යහපත් ශික්ෂාවලට අනුකූලව ජීවත් වීම නිසා අපට අසාධාරණ ලෙස වෛර කරන අයට, අප සියල්ලන්ගේ පාලකයාණන් වහන්සේ වන දෙවියන් වහන්සේගෙන් ලැබෙන ත්‍යාගයක් පිළිබඳ ප්‍රීතිමත් බලාපොරොත්තුවට අප සමග හවුල්කරුවන් බවට පත්වන පිණිස අවසානය දක්වාම ඔවුන්ට ඒත්තු ගැන්වීමට උත්සාහ කරන්නෙමු. එහෙත් අපි තර්ක විතර්ක කරන බවක් නොපෙනෙන ලෙස, පොරොන්දු වූ ආකාරයට පැහැදිලි කිරීමක් ඔබට ලබා දීමට පෙර, ක්‍රිස්තුස් වහන්සේ විසින්ම දෙන ලද ශික්ෂා පද කිහිපයක් උපුටා දැක්වීම නිවැරදි යැයි අපි සලකමු. ඇත්තෙන්ම අපට උගන්වා ඇති කාරණා සහ ඔබට උගන්වන ලද කාරණා විමසා බැලීම බලවත් පාලකයන් වශයෙන් ඔබගේ කාර්යයකි. මක්නිසාද උන් වහන්සේ බොරු තර්ක කරන්නෙක් නොවූ නිසා, සංක්ෂිප්ත හා ලුහුඬු වචන උන් වහන්සේ වෙතින් අපට ලැබිණි. එහෙත් උන් වහන්සේගේ වචනය දෙවියන් වහන්සේගේ බලය විය.

15 වන පරිච්ඡේදය: ක්‍රිස්තුස් වහන්සේම ඉගැන්වූ දේවල්

නිර්මලකම සම්බන්ධයෙන් උන් වහන්සේ මෙවැනි හැඟීම් ප්‍රකාශ කළ සේක. ස්ත්‍රියක් දෙස රාගයෙන් බලන ඕනෑම කෙනෙක්, දෙවියන් වහන්සේ ඉදිරියෙහි දැනටමත් ඔහුගේ සිතින් කාමමිථ්‍යාචාරය කර ඇත. ඔබේ දකුණු ඇස ඔබට බාධා වන්නේ නම් එය කපා දමන්න. මන්ද, ඇස් දෙකක් ඇතිව සදාකාල ගින්නට හෙළනු ලැබීමට වඩා, එක ඇසක් ඇතිව ස්වර්ග රාජ්‍යයට ඇතුළු වීම ඔබට හොඳය. යමෙක් වෙනත් ස්වාමි පුරුෂයෙකුගෙන් දික්කසාද වූ තැනැත්තියක් විවාහ කරගන්නේ නම්, ඔහු කාමමිථ්‍යාචාරය කරයි. තවද, සමහරුන් ස්වර්ග රාජ්‍යය උදෙසා තමාම නපුංසකයින් බවට පත් කරගෙන ඇති අතර, සමහරුන් නපුංසකයින් ලෙස උපත ලබා ඇත. එහෙත් සියල්ලන්ටම මෙම කියමන ලැබිය නොහැකිය. මතෙව් 19:12. එබැවින් මිනිස් නීතියට අනුව දෙවරක් විවාහ වී සිටින සියල්ලෝම අපගේ ස්වාමින් වහන්සේගේ ඇස් හමුයෙහි පව්කාරයෝ වෙති. එසේම ස්ත්‍රියක් දෙස රාගයෙන් බලන ඕනෑම කෙනෙක් පව්කාරයෙකි. මක්නිසාද යත්, කාමමිථ්‍යාචාරය කරන තැනැත්තා පමණක් නොව, කාමමිථ්‍යාචාරය කිරීමට කැමති තැනැත්තාද උන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ. මන්ද අපගේ ක්‍රියා පමණක් නොව, අපගේ සිතුවිලිද දෙවියන් වහන්සේ ඉදිරියෙහි විවෘතව පවතින බැවිනි. කුඩා කල සිටම ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයන් වූ බොහෝ පුරුෂයෝ හා ස්ත්‍රීහු, වයස අවුරුදු හැටක් හෝ හැත්තෑවක් වන විටද නිර්මලව ජීවත් වෙති. එසේම සැම මනුෂ්‍ය ජාතියකින්ම එවැනි අය නිර්මාණය කළ හැකි බවට මම පාරට්ටු කරගනිමි. මෙවන් පමණ ඉක්මවා යන පුරුදු ඇති කරගත් සහ මේ කාරණා ඉගෙනගත් බොහෝ ගණනක් වූ සෙනග සම්බන්ධයෙන් මම කුමක් කියන්නද? මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේ ධර්මිෂ්ඨ අය හෝ නිර්මල අය පසුතැවිල්ලට කැඳවූයේ නැත. උන් වහන්සේ පසුතැවිල්ලට කැඳවූයේ අධර්මිෂ්ඨයින්, අභක්තිකයින් සහ අයුක්තිය කරන මනුෂ්‍යයින්ය. ඒ සම්බන්ධයෙන් උන් වහන්සේගේ ප්‍රකාශ කළ වචන මේවාය: එනම් මා පැමිණියේ ධර්මිෂ්ඨයන් නොව පව්කාරයන් පසුතැවිල්ලට කැඳවීමටය. මතෙව් 9:13. මක්නිසාද ස්වර්ගික පියාණන් වහන්සේ පව්කාරයාට දඬුවම් කිරීමට වඩා ඔහු පසුතැවිලි වනවාට කැමති වන සේක. සියල්ලන්ට ඇති අපගේ ප්‍රේමය ගැන උන් වහන්සේ මෙසේ ඉගැන්වූ සේක: ඔබට ප්‍රේම කරන අයටම ඔබ ප්‍රේම කරන්නේ නම්, එයින් ඇති වන යහපත කුමක්ද? මක්නිසාද වේශ්‍යාකම් කරන්නෝ පවා එසේ කරති. එහෙත්, මම ඔබට කියමි, ඔබේ සතුරන් උදෙසා යාච්ඤා කරන්න, ඔබට වෛර කරන්නන්ට ප්‍රේම කරන්න, ඔබට ශාප කරන්නන්ට ආශිර්වාද කරන්න, අයුතු‍ ලෙස ඔබගෙන් ප්‍රයෝජන ලබන අය වෙනුවෙන් යාච්ඤා කරන්න. මතෙව් 5:46, 44; ලූක් 6:28. තවද, අපි අගහිඟකම් ඇති අයට උපකාර කළ යුතු වෙමු. එසේම තමාගේම ගෞරවය ලැබීම උදෙසා කිසිවක් සිදු නොකරන්න. උන් වහන්සේ කතා කොට, “ඉල්ලන්නන්ට දෙවියන් වහන්සේ දෙන සේක, ණයට ගන්නා තැනැත්තාට පිටුනොපාන්න. මක්නිසාද ඔබ ලැබීමට බලාපොරොත්තුවෙන් ඔවුන්ට ඔබ ණයට දෙනවා නම්, ඔබ කරන අලුත් දේ කුමක්ද? අයබදු එකතු කරන්නෝ පවා එසේ කරති. කාවුන් කන සහ මළකඩවලින් දිරාපත් වන, මංකොල්ලකරුවන් මංකොල්ල කන මෙම පොළොවෙහි ඔබගේ වස්තු රැස්කර නොතබන්න. කාවුන් නොකන සහ මළකඩවලින් දිරාපත් නොවන, මංකොල්ලකරුවන් මංකොල්ල නොකන ස්වර්ග රාජ්‍යයෙහි ඔබගේ වස්තුව රැස්කර තබන්න. මක්නිසාද මිනිසෙකු මුළු ලෝකයම ලබාගෙන තමාගේම ප්‍රාණය නැති කරගතහොත් ඔහුට ලැබෙන යහපත කුමක්ද? නැතිනම් මනුෂ්‍යයෙකු තමාගේ ජීවිතය වෙනුවට ලබා දෙන්නේ කුමක්ද? එම නිසා කාවුන් නොකන සහ මළකඩවලින් දිරාපත් නොවන, මංකොල්ලකරුවන් මංකොල්ල නොකන ස්වර්ග රාජ්‍යයෙහි ඔබගේ වස්තුව රැස්කර තබන්න. එසේම ඔබේ පියාණන් වහන්සේද කරුණාවන්ත සහ දයානුකම්පිත වන බැවින් ඔබද කරුණාවන්තව දයානුකම්පාවෙන් ක්‍රියා කරන්න. උන් වහන්සේ පව්කාරයන්, ධර්මිෂ්ඨයන් සහ දුෂ්ටයන් කෙරෙහි උන් වහන්සේගේ හිරු උදා කරවන සේක. ඔබ කන්නේ කුමක්ද, නැත්නම් අඳින්නේ කුමක්ද යන්න ගැන නොසිතන්න: ඔබ කුරුල්ලන් හා තිරිසනුන්ට වඩා බොහෝ වටිනවා නොවේද? දෙවියන් වහන්සේ උන් පෝෂණය කරන සේක. එබැවින් ඔබ කන්නේ කුමක්ද යන්න ගැනවත් ඔබ අඳින්නේ කුමක්ද යන්න ගැනවත් නොසිතන්න. මක්නිසාද මේ දේවල් ඔබට අවශ්‍ය බව ඔබේ ස්වර්ගික පියාණන් වහන්සේ දන්නා සේක. එහෙත් පළමුකොට දෙවියන් වහන්සේගේ රාජ්‍යය සොයන්න, එවිට මේ සියල්ල ඔබට එකතු කරනු ඇත. මක්නිසාද මිනිසෙකුගේ වස්තුව ඇත්තේ කොතැනකද, ඔහුගේ සිත ඇත්තේත් එතැනය. ඔබ කරන යහපත් දේවල් මිනිසුන්ට නොපෙනේවා. එසේ නොමැති නම් ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් වහන්සේගෙන් ඔබට විපාකයක් නොලැබෙනු ඇත.” මතෙව් 6:1.

16 වන පරිච්ඡේදය: ඉවසීම සහ දිවිරීම සම්බන්ධ කාරණා

අපට තුවාල වූ විට ඉවසිලිවන්තව සිටීම සහ සියල්ලන්ටම සේවය කිරීමට සූදානම්ව සිටීම සම්බන්ධයෙන් මෙන්ම කෝප නොවී සිටීම සම්බන්ධයෙන් උන් වහන්සේ පැවසූ දේ මෙයයි. “ඔබේ එක් කම්මුලකට පහර දෙන තැනැත්තාට අනෙක් කම්මුලද හරවන්න. ඔබේ සළුව හෝ කබාය උදුරා ගන්නා තැනැත්තාගෙන් එය වළක්වා නොගන්න. යමෙක් කෝප වන්නේ නම්, ඔහු සිටින්නේ ගින්නෙහි අනතුරේය. ඔහු සමග සැතපුමක් යන්නට බල කරන සැම කෙනෙක් සමගම සැතපුම් දෙකක් යන්න. එසේම ඔබේ යහපත් ක්‍රියා මිනිසුන් ඉදිරියෙහි බබළවන්න. එවිට ඔවුන් ඒවා දැක ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් වහන්සේ මහිමයට පත් කරනු ඇත.” අප දුෂ්ට මිනිසුන් අනුකරණය කරන්නන් වීම පිළිබඳ උන් වහන්සේ කැමති නොවන නිසා එසේ කිරීමට අප උත්සාහ නොකළ යුතුය. එහෙත්, ලජ්ජා සහගත දේවලින් හා නපුරට ප්‍රේම කිරීමෙන් වැළකී සිට, ඉවසීමෙන් හා මෘදුකමින් යුක්තව සියලු මිනිසුන්ට නායකත්වය දෙන පිණිස උන් වහන්සේ අපට අවවාද කළ සේක. කලක් ඔබේ චින්තනය අනුව ගත කළ, එහෙත් ඔවුන්ගේ අසල්වැසියන්ගේ ජීවිත තුළ ඔවුන් දැක ඇති ස්ථාවරත්වය හෝ අසාමාන්‍ය ලෙස ඉවසිලිවන්තව සිටීමෙන් ඔවුන් සමග ගමන් කළ අන් අය වංචා කරන විට වංචාවෙන් තොරව ජීවත් වීම හෝ ඔවුන් සමග ගනුදෙනු කිරීමේදී ඔවුන් තුළ පැවති අවංකභාවය නිරීක්ෂණය කිරීමෙන් හෝ ඔවුන්ගේ ප්‍රචණ්ඩකාරී හා කුරිරු ආකල්පය වෙනස් කරගෙන ඇති බොහෝ අය සම්බන්ධයෙන් මෙය සැබවින්ම සනාථ වේ. අප කිසිසේත්ම දිවිරීම නොකළ යුතු බව සහ සැම විටම සත්‍යය කථා කළ යුතු බව සම්බන්ධයෙන් උන් වහන්සේ පහත පරිදි අණ කළ සේක: කිසිසේත් නොදිවුරන්න; එහෙත්, ඔබගේ එසේය කීම එසේය සහ නැත කීම නැත යන්න පමණක් වේවා. මක්නිසාද මේවාට වඩා වැඩි යමක් ඇත්නම් එය නපුරාගෙන් පැමිණෙන්නේය. මතෙව් 5:34,27. තවද, අප දෙවියන් වහන්සේට පමණක් නමස්කාර කළ යුතු බවට උන් වහන්සේ අපට ඒත්තු ගැන්වූ සේක. ඉතා උතුම් ආඥාව නම්, ඔබේ මුළු හදවතින් සහ ඔබේ මුළු ශක්තියෙන් ඔබේ දෙවි වූ සමිඳාණන් වහන්සේට පමණක් නමස්කාර කරන්න, ඔබ සැදූ ස්වාමින් වන දෙවියන් වහන්සේට පමණක් සේවය කරන්න යනුයි. මාර්ක් 12:30. එක්තරා මිනිසෙක් උන් වහන්සේ ළඟට ඇවිත් “යහපත් ස්වාමිනි” යයි උන් වහන්සේට කීවේය. උන් වහන්සේ පිළිතුරු දෙමින්, “සියල්ල සැදූ දෙවියන් වහන්සේ හැරෙන්නට යහපත් වෙන කිසිවෙක් නැත. මතෙව් 19: 6,17. තවද, උන් වහන්සේ ඉගැන්වූ ලෙසට ජීවත් නොවන අය, ක්‍රිස්තුස් වහන්සේගේ ශික්ෂා පද ඔවුන්ගේ තොල්වලින් ප්‍රකාශ කළද, කිතුනුවන් නොවන බව තේරුම්ගත යුතුය. මක්නිසාද තමා කිතුනුවෙක් බවට ප්‍රකාශ කරන අය නොව, එසේ ජීවත් වන අය පමණක් ගලවනු ලබන්නෝය. උන් වහන්සේගේ වචනයට අනුව, මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන තැනැත්තා මිස මට ස්වාමිනි, ස්වාමිනි, කියන සැම කෙනෙක්ම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නෝය. මක්නිසාද මට සවන් දී මාගේ වචනවලට අනුව ජීවත් වන තැනැත්තා, මා එවූ තැනැන් වහන්සේට සවන් දෙන්නේය. බොහෝ දෙනෙක් මට කතා කොට, “ස්වාමිනි, අපි ඔබේ නාමයෙන් ආහාර අනුභව කොට පානය නොකෙළෙමුද? ඔබගේ නාමයෙන් පුදුම ක්‍රියා නොකළෙමුද? යයි කියනු ඇත. එවිට මම ඔවුන්ට කියමි: අයුතුකම් කරන්නෙනි, මා වෙතින් ඉවත් වන්න. එහි දත්මිටි කෑමද වැලපීමද වන්නේය. ධර්මිෂ්ඨයා සූර්යයා මෙන් බබළන කල, දුෂ්ටයෝ සදාකාල ගින්නට යවනු ලබන්නෝය. මක්නිසාද බොහෝ දෙනෙක් මාගේ නාමයෙන් පැමිණෙනු ඇත. ඔවුන් පිටතින් බැටළුවන්ගේ වස්ත්‍රවලින් සැරසී සිටියත්, ඇතුළතින් කෑදර වෘකයන් මෙන් වේ. ඔවුන්ගේ ක්‍රියාවලින් ඔබ ඔවුන් හඳුනාගන්නවා ඇත. හොඳ ඵල නොදරන සැම ගසක්ම කපා ගින්නට දමනු ලැබේ. උන් වහන්සේගේ මෙම ඉගැන්වීම්වලට අනුකූලව ජීවත් නොවන එහෙත් නාමිකව පමණක් කිතුනුවන් වන අයට දඬුවම් කරන ලෙසට අපි ඔබගෙන් ඉල්ලා සිටිමු.

17 වන පරිච්ඡේදය: ක්‍රිස්තුස් වහන්සේ භක්තිවන්ත කීකරුකම ඉගැන්වූ සේක

සැම තැනකදීම, අපි සියලු මිනිසුන්ට වඩා ඉතා සූදානමින් යුක්තව, උන් වහන්සේ විසින් අපට උගන්වා ඇති පරිදි, ඔබ විසින් පත් කරන ලද අයට සාමාන්‍ය හා අසාමාන්‍ය ආකාරයට බදු ගෙවීමට උත්සාහ කරමු. මන්ද, ඒ අවස්ථාවේදී සමහරු උන් වහන්සේ ළඟට ඇවිත්, සීසර්ට බදු ගෙවිය යුතුදැයි උන් වහන්සේගෙන් ඇසූහ. උන් වහන්සේ උත්තර දෙමින්, “මෙම කාසියේ ඇත්තේ කාගේ ස්වරූපයද?” කියා ඇසූ සේක. ඔව්හු, “සීසර්ගේ” යයි කීවෝය. උන් වහන්සේ නැවත උත්තර දෙමින්, “ එබැවින් සීසර්ට අයිති දේ සීසර්ටත් දෙවියන් වහන්සේට අයිති දේ දෙවියන් වහන්සේටත් දෙන්න” යයි කීසේක. එසේ අපි දෙවියන් වහන්සේට පමණක් නමස්කාරය කරන්නෙමු. එහෙත් අනෙක් කාරණාවලදී ඔබ රජවරුන් හා මිනිසුන්ගේ පාලකයන් ලෙස පිළිගෙන, අපි ඔබට සතුටින් සේවය කරමු. එසේම ඔබගේ රාජකීය බලය ක්‍රියාත්මක කිරීමේදී ඔබ හොඳ විනිශ්චයක් ලබා දෙන පිණිස අපි ඔබ වෙනුවෙන් යාච්ඤා කරමු. එහෙත් ඔබ අපගේ යාච්ඤාවන් සහ පැහැදිලි කිරීම් නොසලකා හරින්නෙහි නම්, අපට ඉන් කිසිදු පාඩුවක් සිදු නොවනු ඇත. මන්ද සැම මිනිසෙකුම තමන්නේ ක්‍රියාවලට අනුව සදාකාලික ගින්නෙන් දඬුවම් විඳිය යුතු බව සහ දෙවියන් වහන්සේගෙන් ඔහුට ලැබී ඇති බලය අනුව ගණන්දිය යුතු බව අපි විශ්වාස කරමු (හෝ ඇත්තෙන්ම, ඒත්තු ගන්වනු ලැබ ඇත). ක්‍රිස්තුස් වහන්සේ පහත ප්‍රකාශය පැවසූ විට එය අවධාරණය කළ සේක. “දෙවියන් වහන්සේ යමෙකුට වැඩිපුර දී ඇත්තේද, ඔහුගෙන් වඩාත් අය කරනු ලබන්නේය.” ලූක් 12:48.

18 වන පරිච්ඡේදය: අමරණීයභාවය සහ නැවත නැගිටීම පිළිබඳ ඔප්පුව

මක්නිසාද යත්, එක් එක් රජවරුන්ගේ අවසානය ගැන මෙනෙහි කරන කල, එනම් ඔවුන් මිය ගිය ආකාරය සහ ඔවුන් සියල්ලන්ටම මරණය පොදු වූ බවත් මෙනෙහි කරන කල, ඒ ගැන අසංවේදීතාවයෙන් පසු වන්නේ, සියලු දුෂ්ටයන් වෙත ඔවුන් දෙවියන් වෙතින් පැමිණි අය වනු ඇත. එහෙත් මෙතෙක් ජීවත් වූ සියල්ලන්ට (එනම් දුෂ්ටයන්ට), සංවේදනය ඇති හෙයින් හා සදාකාලික දඬුවම් නියම කර ඇති හෙයින්, ඒත්තු ගන්වනු ලැබීම ඔබ නොසලකා හැර ඇති බවත්, මේ කාරණා සත්‍ය බව ඔබ විශ්වාස කරන බවත් බලන්න. මක්නිසාද යත්, අපිරිසිදු දරුවන් විසින් සිදු කරන භූත විද්‍යාවන් සහ පේන කීම් සහ මැරුණු අයගේ මිනිස් ආත්මයන් ගෙන්වන අය සහ මන්ත්‍රකරුවන් ලෙස හඳුන්වනු ලබන අය, සිහින යවන්නා සහ සහායක ආත්මයන් (හොඳින් දන්නා අය) සහ ඒ සම්බන්ධයෙන් ඉතා දක්ෂ අය විසින් සිදු කරනු ලබන එවන් වූ කාරණා සියල්ල කරණකොටගෙන – මරණින් පසුව පවා ආත්මයන් සංවේදී තත්වයක සිටින බවට ඒවා මගින් ඔබට ඒත්තු ගන්වයි. මළවුන්ගේ ආත්මයන් විසින් අල්ලා ගනු ලැබූ සහ ඔවුන් අතරින් පහ කරන ලද කරන අය, ඔවුන් සියල්ලන්ම යක්ෂාත්ම හෝ පිස්සු මිනිසුන් යැයි හඳුන්වනු ලබති. එසේම ඔබ ගෞරව දක්වන හඬවල් වන ඇම්ෆිලොකස්, දෝඩානා, පයිතෝ සහ තවත් එවැනි අය මෙන්ම එම්පෙඩොක්ලීස් සහ පයිතගරස්, ප්ලේටෝ සහ සොක්‍රටීස්, හෝමර් යන ඔබේ කතුවරුන්ගේ අදහස් සහ යුලිසෙස්ගේ සම්භවය යන මේ කාරණා සහ ඒ හා සමාන ආකාරයකින් ප්‍රකාශ කර ඇති සියල්ල පරීක්ෂා කර බැලීම ඔබ විසින් සිදු කළ යුතුය. ඔබ ඔවුන්ට දෙන අනුග්‍රහය, ඔවුන්ට ලබා දෙනවාට වඩා අඩු මට්ටමින් නොව, වඩාත් ස්ථිර ලෙස දෙවියන් වහන්සේ විශ්වාස කරන අය වන අප හටද ඒ සමාන ලෙසම ලබා දෙන්න. අපගේ ශරීර මැරී ඒවා පොළොවට හෙළනු ලැබූවද, අපගේ ශරීර නැවත ලබා ගැනීමට අප අපේක්ෂා කරන හෙයින්, සියල්ල කළ හැකි දෙවියන් වහන්සේ සමගින් අපි ඒවා නඩත්තු කරමු.

19 වන පරිච්ඡේදය: නැවත නැගිටීම සිදු විය හැකිය

ඕනෑම සිහිකල්පනාව ඇති පුද්ගලයෙකුට අප ශරීරයේ නොසිටීම මෙන් ඇදහිය නොහැකි ආකාරයේ වෙනත් දෙයක් නොතිබෙන්නට පුළුවන. ඉතා කුඩා මිනිස් බීජයකින්, අප දකින ආකාරයේ මිනිස් ශරීරයක්, අස්ථි පද්ධතියක් සහ ස්නායු බන්ධන මෙන්ම මාංශය නිර්මාණය වීම සිදු විය හැකි බවට සමහරුන්ට පැවසිය හැකිය. මක්නිසාද යත්, මෙය දැන් අපි උපකල්පිත ලෙස පවසමු. ඔබ දැන් ඔබ පවතින ලෙස නොසිටින්නෙහි නම්, එනම් ඔබගේ දෙමාපියන්ගෙන් (ඔවුන් කරණකොටගෙන) උපත නොලැබුවෙහි නම් සහ ඔබට යමෙකු මනුෂ්‍ය බීජයක් සහ මිනිසෙකුගේ පින්තූරයක් පෙන්නා, එවැනි ද්‍රව්‍යයකින් මෙවැනි ජීවයක් නිපදවිය හැකි බවට නිසැක ලෙස පවසන්නේ නම්, එහි සැබෑ නිෂ්පාදනය දැකීමට පෙර ඔබ එය විශ්වාස කරනවාද? එහෙත් දැන් [එවැනි විශ්වාසයන් ඉක්මවා ගිය ප්‍රකාශයක්] ප්‍රතික්ෂේප කිරීමට කිසිවෙකුත් අභියෝග නොකරනු ඇත. ඒ හා සමාන ලෙසම, මළ මිනිසෙකු නැවත නැගිටිනවා ඔබ දැක නැති නිසා, ඔබ දැන් ඇදහිය නොහැකි තතත්වයේ පසු වන්නහුය. එහෙත්, කුඩා බීජයකින් එවැනි පුද්ගලයින් බිහි කළ හැකි බවද මුලදී ඔබ විශ්වාස නොකළ අතර, දැන් ඔවුන් එසේ නිර්මාණය කරනු ලැබ ඇති බව ඔබට පෙනේ. ඒ ආකාරයටම, පොළොවේ බීජ විසුරුවා හරින්නාක් මෙන්, මිනිසුන්ගේ ශරීර විසුරුවා හැරීමෙන් පසුව, දෙවියන් වහන්සේ විසින් නියම කරන ලද කාලය තුළ නැවත නැගිටීමට පත් කිරීමට සහ විනාශ නොවී පැවතීමට පත් කළ නොහැකිද යන්න විනිශ්චය කරන්න. මන්ද, සැම දෙයක්ම නිපදවූ දෙයට නැවත පැමිණෙන බවත්, ඉන් ඔබ්බට දෙවියන් වහන්සේටවත් කිසිවක් කළ නොහැකි බවත් පවසන අය දෙවියන් වහන්සේට කුමන බලයක් ඇති බව සිතන්නේද? අපට එය තේරුම්ගත නොහැකිය. එහෙත් මෙය අපට පැහැදිලිව පෙනේ. එනම් මුළු ලෝකයේම සිදු වන දේ ඔවුන්ම දකින පරිදි, ඔවුන් එවැනි ද්‍රව්‍යවලින් නිපදවා ඇති බවට සහ ඒ තත්වයට පත් විය හැකි බවට ඔවුන් විශ්වාස නොකරන්නට පුළුවන. ලෝකයේ සෙසු මනුෂ්‍යයින් මෙන් අවිශ්වාස කරනවාට වඩා, අපේම ස්වභාවයට හා මිනිසුන්ට කළ නොහැකි දේ පවා විශ්වාස කිරීම යහපත් බව අපි ඉගෙන ගෙන ඇත්තෙමු. මක්නිසාද මනුෂ්‍යයන්ට කළ නොහැකි දේ දෙවියන් වහන්සේට කළ හැකි බව අපගේ ස්වාමින් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැවසූ බව අපි දනිමු. මතෙව් 19:26. එසේම “ඔබ මරණයට පත් කරන්නට මිස වෙනත් කිසිවක් කළ නොහැකි අයට බිය නොවන්න. එහෙත් මරණයෙන් පසු ආත්මය හා ශරීරය නිරයට හෙළිය හැකි තැනැන් වහන්සේට බිය වන්න, යයි උන් වහන්සේ පැවසූ සේක. මතෙව් 10:28. නිරය යනු දුෂ්ට ලෙස ජීවත් වූ අය සහ ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේ අපට ඉගැන්වූ කාරණා ඉටු වනු ඇතැයි විශ්වාස නොකරන අයට දඬුවම් ලැබෙන ස්ථානයකි.

20 වන පරිච්ඡේදය: කිතුනු ධර්මයට සමාන මිථ්‍යා දෘෂ්ටික ඇදහිලි

දූෂිත දේ දෙවියන් වහන්සේ විසින් විසුරුවා හැරිය යුතු බව සිබිල් සහ හිස්ටැස්පස් පැවසූහ. එසේම දෙවියන් වහන්සේ පවා ගින්නෙන් විසුරුවා හැරිය යුතු බවත්, එම විප්ලවයෙන් ලෝකය අලුතින් බිහි විය යුතු බවත් ස්ටොයික්ස් දාර්ශනිකයෝ උගන්වති. එහෙත් සියල්ලෙහි මැවුම්කරුවාණන් වහන්සේ වන දෙවියන් වහන්සේ වෙනස් කළ යුතු දේවලට වඩා උසස් බව අපි අවබෝධ කරගනිමු. එබැවින්, ඔබ ගෞරව කරන කවීන් හා දාර්ශනිකයන් මෙන් අපිත් ඒ සමාන කරුණු උගන්වන්නෙමු නම් සහ අපගේ ඉගැන්වීම්වල අනෙක් කරුණු පූර්ණ හා වඩාත් දිව්‍යමය වේ නම්, අප ප්‍රකාශ කරන දේ පිළිබඳ සාක්ෂි අපි පමණක් දක්වන්නෙමු නම්, අනෙක් සියල්ලන්ම අපට අසාධාරණ ලෙස වෛර කරන්නේ මන්ද? මක්නිසාද යත්, දෙවියන් වහන්සේ විසින් සියල්ල මවනු ලැබ ලෝකයක් බවට පත් කර ඇති බව අප පවසන කල, අප ප්ලේටෝගේ ධර්මය පවසන බවක් පෙනේ; එසේම සියල්ලන්ම දැවී යනු ඇතැයි අප පවසන කල, එවිට අප ස්ටොයිකයන්ගේ මූලධර්මය පවසන බවක් පෙනේ. තවද, දුෂ්ටයන්ගේ ආත්මයන් මරණයෙන් පසුව පවා වේදනාවෙන් පෙළෙන බවත්, ඔවුන්ට දඬුවම් ලැබෙන බවත් සහ යහපත් අය දඬුවමින් මුදනු ලැබ ආශිර්වාද ලත් ජීවිතයක් ගත කරනු ලබන බවත් අප පවසන කල, අප කවියන් හා දාර්ශනිකයන් ප්‍රකාශ කළ දේම පවසන බවක් පෙනේ. මිනිසුන් තම අත්වල කාර්යන්ට නමස්කාර නොකළ යුතු බව අප විශ්වාස කරන කල, විකට කවියෙකු වන මෙනන්ඩර් සහ වෙනත් ඒ හා සමාන ලේඛකයින් විසින් පවසා ඇති දේම අපිත් කියමු. මක්නිසාද යත්, වැඩයට වඩා වැඩකරුවා ශ්‍රේෂ්ඨ බව ඔවුන්ද ප්‍රකාශ කර ඇති බැවිනි.

21 වන පරිච්ඡේදය: ක්‍රිස්තුස් වහන්සේගේ ඉතිහාසයට ඇති සමානකම්

දෙවියන් වහන්සේගේ පළමු උපත වන වාක්‍යාණෝ, ලිංගික එකමුතුවකින් තොරව නිපදවන ලද්දක් බවත්, ඒ තැනැන් වහන්සේ එනම්, අපගේ ගුරුවරයා වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබ මිය ගිය බවත්, උන් වහන්සේ නැවත නැගිට ස්වර්ගයට නැගුණු බවත් අප කියන කල, ඔබ ජුපිටර්ගේ පුතුන් ලෙස සලකන අය සම්බන්ධයෙන් ඔබ විශ්වාස කරන දෙයට වඩා වෙනස් දෙයක් අප පවසන්නේ නැත. මක්නිසාද යත්, ඔබේ ගෞරවනීය ලේඛකයින් කොපමණ පුතුන් ගණනක් ජුපිටර්ගේ බවට පැවස‍ුවේද යන්න ඔබ දන්නහුය: මර්ක්‍යුරි, සියලු දෙනාගේ පරිවර්තන වචනය සහ ගුරුවරයා; ඇස්කලේපියස් ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයකු වුවද, ගිගුරුම් හඬකින් පහර දෙන ලදුව ස්වර්ගයට නැංගේය. ඔහුගේ අත් පා ඉරා දැමූ පසුව බාකස්ද; හර්කියුලිස් ඔහුගේ වෙහෙස මහන්සියෙන් දුරු වීම උදෙසා ගින්නට පැන්න විට සහ ලේඩාගේ ඩයොස්කුරිගේ පුත්‍රයෝ මෙන්ම ඩැනේගේ පුත් පර්සියස් සහ බෙලෙරොෆොන් යන අය මනුෂ්‍යයන්ගෙන් පැවත ආ අය වූවද, පෙගසස් නම් අශ්වයා පිට ස්වර්ගයට නැඟී ගියේය. ඇරිඩ්නේ සහ ඇය මෙන් ඔවුන් තාරකා අතර තබා ඇති බව ප්‍රකාශ කළ අය සම්බන්ධයෙන් මම කුමක් කියන්නද? ඔබ දේවත්වයට සුදුසු යැයි සිතූ ඔබ අතර සිට මිය ගිය අධිරාජ්‍යයන් ගැන කුමක් කිව හැකිද? දැවෙන අවමංගල්‍ය කුළුණෙන් සීසර් ස්වර්ගයට නැගී ගිය බව දුටු බවට දිවුරුම් දෙන අය ඔබ නිර්මාණය කරන වි‍ට ඒ ගැන කුමක් කියන්නද? මේ ජුපිටර්ගේ එක් එක් පුතුන් ගැන කුමන ආකාරයේ ක්‍රියා සටහන් වී ඇත්ද යන්න දැනටමත් ඒ පිළිබඳ දන්නා අයට පැවසීම අවශ්‍ය නොවේ. මෙය පමණක් කිව හැකිය. එනම්, ඒවා ලියා ඇත්තේ ඔබගේ තරුණ විශාරදයන්ගේ වාසිය සහ දිරිගැන්වීම සඳහා බවය; දෙවිවරුන් අනුකරණය කිරීම ගෞරවනීය දෙයක් ලෙස සියලු දෙනා සලකති. දෙවිවරුන් පිළිබඳව එවැනි සිතුවිල්ලක් ඇති කර ගැනීම සැම යහපත් ප්‍රාණයකින්ම දුරු වේවා. එනම්, පීතෘ ඝාතකයෙකු වන සහ පීතෘ ඝාතකයෙකුගේ පුත්‍රයෙකු වන ජුපිටර් සියල්ලේ පාලකයා සහ මැවුම්කරුවා වන බව සිතීම ඔබගෙන් දුරු වේවා. ගැන්මිඩ් ඔහු විසින් දූෂණය කරන ලද අනෙකුත් බොහෝ කාන්තාවන් වෙත රාග ප්‍රේමයෙන් සහ ලජ්ජා සහගත ආශ්වාදයන් සමග පැමිණියේය. එසේම ඔහුගේ පුත්‍රයෝද ඒ ආකාර ක්‍රියාවන් සිදු කළහ. එහෙත් අප ඉහත කී පරිදි, දුෂ්ට යක්ෂයන් විසින් මේ වැරදි දේවල් කරනු ලැබිණි. ශුද්ධකමෙන් හා ගුණවත්කමින් දෙවියන් වහන්සේට සමීපව ජීවත් වූ අය පමණක් දේවත්වයට පත් වන බව අපි ඉගෙන ගතිමු. එසේම දුෂ්ට ලෙස ජීවත් වන සහ පසුතැවිලි නොවන අය සදාකාල ගින්නෙන් දඬුවම් කරනු ලබන බව අපි විශ්වාස කරමු.

22 වන පරිච්ඡේදය: ක්‍රිස්තුස් වහන්සේගේ පුත්‍රත්වයට තිබෙන සමානකම්

තවදුරටත් දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස හදුන්වනු ලබන යේසුස් වහන්සේ, සාමාන්‍ය පරම්පරා වංශයට අනුව මිනිසෙකු වුවද, උන් වහන්සේගේ ප්‍රඥාව නිසා දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස හැඳින්වීමට සුදුසුය; මක්නිසාද සියලු ලේඛකයෝ දෙවියන් වහන්සේ හඳුන්වන්නේ මිනිසුන්ගේ හා දෙවිවරුන්ගේ පියාණන් වහන්සේ ලෙසයි. දෙවියන් වහන්සේගේ වාක්‍යාණෝ දෙවියන් වහන්සේගෙන් උපත ලැබුවේ සාමාන්‍ය පරම්පරාවට වඩා වෙනස් ආකාරයකින් යැයි අපි තරයේ කියා සිටිමු නම්, ඉහත සඳහන් කළ පරිදි, මර්ක්‍යුරි යනු දෙවියන් වහන්සේගේ දේවදූත වචනය යැයි පවසන ඔබට එය අසාමාන්‍ය දෙයක් නොවනු ඇත. එහෙත් උන් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබුවා යන්නට යමෙක් විරුද්ධ වන්නේ නම්, මේ අවස්ථාවේදීද අප දැන් සලකා බලා ඇති ආකාරයට දුක් විඳි උන් වහන්සේ ඔබගේ ජුපිටර්ගේ පුතුන් හා සමාන වේ. මක්නිසාද මරණයේදී ඔවුන් විඳින දුක් වේදනා සියල්ලම එක හා සමාන නොවන බවත් ඒවා වෙනස් වන බවත් වාර්තා වේ. එම නිසා, උන් වහන්සේගේ දුක් වේදනාවල සුවිශේෂත්වය නිසා පවා උන් වහන්සේ ඔවුන්ට වඩා පහත් යැයි නොපෙනේ. එහෙත්, ඊට පටහැනිව, මෙම කතිකාවේ පෙර කොටසේදී අප පොරොන්දු වූ පරිදි, අපි දැන් උන් වහන්සේ උසස් බව ඔප්පු කරන්නෙමු – නැතහොත්, උන් වන්නේ සියල්ලන්ට වඩා උසස් බව අපි දැනටමත් ඔප්පු කර ඇත්තෙමු. මන්ද ශ්‍රේෂ්ඨ බව උන් වහන්සේගේ ක්‍රියාවලින් ඔප්පු කර තිබෙන නිසාය. උන් වහන්සේ කන්‍යාවකගෙන් උපත ලැබූ බව අපි සහතික කළහොත්, ඔබ පර්සියස් සම්බන්ධයෙන් පිළිගන්නා දෙයට මෙය සමාන වන බව පිළිගන්න. උන් වහන්සේ කොරුන් සහ අංශභාග රෝගීන් සුව කළ බව සහ අන්ධව උපත ලැබූ අය සම්පූර්ණයෙන් සුව කළ බව අපි කියන කල, ඇස්කුලපියස් විසින් කරන ලද ක්‍රියාවන්ට බොහෝ සමානකම් ඇති දේවල් අප පවසන බව අපට පෙනේ.

23 වන පරිච්ඡේදය: විවාදය

මෙය (පළමුවෙන්) ක්‍රිස්තුස් වහන්සේ විසින් අපට උගන්වා ඇති කාරණා හා උන් වහන්සේට කලින් පැමිණි අනාගතවක්තෘවරුන් විසින් අප විසින් උගන්වා ඇති කාරණා පමණක් සත්‍යය වන බවත්, එසේම දැනට සිටින සහ කලින් සිටි සියලුම ලේඛකයින්ට වඩා එම ලියවිලි පැරණි බවත් දැන් ඔබට පැහැදිලි වනු ඇත. අප ඔබට පවසන්නේ මෙම ලේඛකයින් පැවසූ දේම අප පවසන නිසා අප පවසන කාරණා පිළිගන්නා ලෙස නොව, එහෙත් අප සත්‍යය කාරණා පවසන නිසා ඒවා පිළිගන්න කියාය. එසේම (දෙවනුව) දෙවියන් වහන්සේගෙන් උපත ලැබූ එකම වටිනා පුත්‍රයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බව සහ උන් වහන්සේගේ වාක්‍යාණෝ වන බව සහ උන් වහන්සේගෙන් උපත ලත් පළමුවැන්නා බව – මෙන්ම බලය වන බව අපි පවසමු. තවද, උන් වහන්සේගේ කැමැත්තට අනුව මනුෂ්‍යයෙකු බවට පත් වීමෙන්, මනුෂ්‍ය වර්ගයාගේ හැරීම හා ප්‍රතිෂ්ඨාපනය උදෙසා උන් වහන්සේ අපට මේ කාරණා ඉගැන්වූ සේක. (තෙවනුව) උන් වහන්සේ මිනිසුන් අතර මිනිසෙකු වීමට පෙර, සමහරු, කලින් සඳහන් කළ, යක්ෂයින් විසින් බලපෑම් කරන ලදුව, කවීන්ගේ උපාංග කරණකොටගෙන කලින් සම්බන්ධ වූහ. එම තත්වයන් සැබවින්ම සිදු වී ඇති අතර, ඒවා කල්පිත ලෙස සකස් කර, නාට්‍යමය වශයෙන් දක්වා ඇත. ඒ හා සමාන ආකාරයෙන්ම, ඒවා අපහාසාත්මක හා අශිෂ්ට ක්‍රියාවන් පිළිබඳ අපහාසාත්මක වාර්තා ගොතන ලද ඒවා බවට පත් කිරීමට හේතු වූ ආකාරයට විස්තර කර ඇත. ඒ සම්බන්ධයෙන් ඔප්පු හෝ සාක්ෂි ඇත්තේ නැත. අපි පහත සාක්ෂි ඉදිරිපත් කරමු.

24 වන පරිච්ඡේදය: මිථ්‍යාදෘෂ්ටික නමස්කාරයේ ප්‍රභේද

මුලින්ම [අපි සාක්ෂි ඉදිරිපත් කරමු], මන්ද, ග්‍රීකයන් පවසන දේට සමාන දේ අප පැවසුවද, අපට වෛර කරනු ලබන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ නාමය නිසා පමණක් වන අතර, අප කිසි වරදක් නොකළත්, අප පව්කාරයන් ලෙස මරණයට පත් කරනු ලැබේ. වෙනත් ස්ථානවල වෙනත් මිනිස්සු ගස් හා ගංගා, මීයන්, බළලුන් සහ කිඹුලන් සහ අතාර්කික සතුන් වන්දනාමාන කරති. එකම සත්තු වර්ගය සියල්ලන් විසින් ගෞරවයට පත් කරනු නොලැබේ; එහෙත් එක් සතෙක් එක් ස්ථානයකදීද, තවත් සතෙක් වෙනත් ස්ථානයකදීද වන්දනාවට ලක් කෙරේ. එසේ එකම වස්තුවටම නමස්කාර නොකිරීම නිසා, සියල්ලෝම එකිනෙකා විනිශ්චය කරති. ඔබ අපට විරුද්ධව කරන එකම චෝදනාව මෙයයි. එනම් ඔබ විසින් ගෞරව කරනු ලබන දෙවිවරුන්ට අපි ගරු නොකරන නිසාත්, මිය ගිය තැනැත්තන්ට පූජාවන් සහ තෙල් පූජා නොකරන නිසාත්, ඔවුන්ගේ ප්‍රතිමාවලට ඔටුනු නොපලඳවන නිසාත්, ඒවාට පූජා ඔප්පු නොකරන නිසාත් ඔබ අපට චෝදනා කරන්නහුය. එසේම එම සතුන්ම සමහර අය ගෞරවනීය දෙවිවරුන් සමගත්, අනෙක් අය වන මෘගයන් සමගත්, තවත් අය පූජා කරනු ලබන ගොදුරු බවටත් ඔබ විසින්ම සලකනු ලබන බව ඔබ හොඳින් දන්නා කරුණකි.

25 වන පරිච්ඡේදය: කිතුනුවන් විසින් බොරු දෙවිවරු අතහැර දමනු ලැබ ඇත

දෙවනුව, අපි – මිනිසුන්ගේ සැම ජාතියකින්ම, සෙමෙලේගේ පුත් බාකස්ට සහ ලැටෝනාගේ පුත් ඇපලෝට (ඔවුන් මිනිසුන් සමග ආදරයෙන් කළ දේ ගැන සඳහන් කිරීම පවා ලජ්ජා සහගතය), එසේම ප්‍රොසර්පයින් සහ වීනස්ට (ඇඩෝනිස්ගේ ආදරයෙන් උමතු වූ අය වන අතර, ඔබ ඔවුන්ගේ අබිරහස්ද සමරන්නහුය) සහ හෝ එස්ක්‍යුලේපස්, හෝ දෙවිවරුන් ලෙස හඳුන්වනු ලබන අයගෙන් සමහරකට නමස්කාර කළෙමුව. එහෙත් දැන් අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන ඒවා හෙළා දැකීමට ඉගෙනගෙන ඇත්තෙමුව. එසේ අපට ඒ වෙනුවෙන් මරණ තර්ජන ඇති වූවත්, මවනු නොලැබූ සහ සියල්ලම කළ හැකි දෙවියන් වහන්සේට කැපවී සිටිමු. උන් වහන්සේ කිසි විටෙකත් ඇන්ටියොප්ගේ හෝ වෙනත් කාන්තාවන්ගේ හෝ ගැනිමේඩ්ගේ රාග තෘෂ්ණාවෙන් පෙලඹී නැති බවත්, තේටිස්ගෙන් ආධාර ලබාගෙන සිය ගණනක් යෝධයන් මගින් බේරා නොගත් බවත්, ඇගේ පුත් අචිලස් ඔහුගේ උපභාර්යාව වූ බ්‍රයිසිස් නිසා කනස්සල්ලට පත්වී ග්‍රීකයන් බොහෝ දෙනෙකු විනාශ කළාක් මෙන් දේවල් නොකළ බවත් අපට ඒත්තු ගැන්වී තිබේ. මේ කාරණා විශ්වාස කරන අය පිළිබඳ අපි අනුකම්පා කරමු. එසේම ඒවා නිර්මාණය කළ අය යක්ෂයන් බවද අපි දනිමු.

26 වන පරිච්ඡේදය: කිතුනුවෝ ඉන්ද්‍රජාලිකයන් විශ්වාස නොකරති

තෙවනුව, ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගයට නැගීමෙන් පසු යක්ෂයන් තමන් දෙවිවරුන් යැයි පැවසූ ඇතැම් මිනිසුන් ඉදිරිපත් කළ අතර, ඔවුහු ඔබට පීඩා කළා පමණක් නොව, ඔවුහු ගෞරවයට සුදුසු යැයි සලකනු ලැබූහ. ක්ලෝඩියස් සීසර්ගේ පාලන සමයේදී, ඔබේ රාජකීය නගරය වන රෝමයේ, ඔහු තුළ ක්‍රියාත්මක වූ යක්ෂයන්ගේ කලාව නිසා බලවත් මැජික් ක්‍රියා කළ ගිටෝ නම් ගමේ පදිංචිව සිටි සයිමන් නම් සමාරිත ජාතිකයෙකු සිටියේය. ඔහු දෙවියෙකු ලෙස සලකනු ලැබූ අතර, දෙවියෙකු ලෙස පිළිමයක් සාදා ඔහු ගෞරවයට පාත්‍ර කළ අතර, එම පිළිමය ටයිබර් ගඟේ පාලම් දෙක අතර ඉදිකර ඇත. එහි රෝම භාෂාවෙන් මෙම සෙල්ලිපිය දක්වා ඇත: සිමෝනි ඩියෝ සැන්කෝ, සයිමන් නමැති ශුද්ධ දෙවියන් හට, සියලුම සමාරිතවරු හා වෙනත් ජාතීන්ගෙන් කිහිප දෙනෙක්ම නමස්කාර කරති. එසේම ඔහු පළමු දෙවියා ලෙස පිළිගනිති. එවකට ඔහු සමග ගිය, කලින් ගණිකාවක්ව සිටි හෙලේනා නම් කාන්තාවක් පවසන්නේ ඔහු විසින් ජනනය කරන ලද පළමු අදහස බවයි. එසේම සයිමන්ගේ ගෝලයෙකු වන යක්ෂයන්ගෙන් ආනුභාව ලත් කපරේටියා නගරයේ සමාරිතයෙකු වන මෙනන්ඩර් මිනිසෙක්, ඔහු අන්තියෝකියේ සිටියදී ඔහුගේ ඉන්ද්‍රජාලික කලාව කරණකොටගෙන බොහෝ දෙනෙකු රවටා ඇති බව අපි දනිමු. තමාට අනුගත වූ අය කිසි විටෙකත් මිය නොයන බවට ඔහු ඒත්තු ගැන්වීය. එසේම දැනට පවා ඔහුගේ මතය දරණ සමහරු ජීවත්ව සිටිති. එ‍සේම මේ දිනවල පවා ජීවතුන් අතර සිටින පොන්තස්හි මිනිසෙකු වන මාෂියන්, මැවුම්කරුවාණන් වහන්සේට වඩා වෙනත් දෙවියෙකු උතුම් බව විශ්වාස කිරීමට තම ගෝලයන්ට උගන්වයි. ඔහු යක්ෂයන්ගේ ආධාරයෙන්, සැම ජාතියකම බොහෝ දෙනෙකුට අපහාස කථා කිරීමටත්, දෙවියන් වහන්සේ මේ විශ්වයේ නිර්මාතෘවරයා බව ප්‍රතික්ෂේප කිරීමටත්, උන් වහන්සේට වඩා උතුම් වෙනත් සත්තාවක් ශ්‍රේෂ්ඨ ක්‍රියා කර ඇති බවට ප්‍රකාශ කිරීමටත් මිනිසුන් පොලඹවා ඇත. මෙම මිනිසුන්ගෙන් අදහස් ලබා ගන්නා සියල්ලන්ම, අප කලින් කී පරිදි, දාර්ශනිකයන් වන ඔවුන්ගේ මූලධර්ම සමග එකඟ නොවන අය, කිතුනුවන් ලෙස හඳුන්වනු ලබති. එසේ වූවත්, අනෙක් සියල්ලන්ටම පොදුවේ දාර්ශනිකයන් යන නම ලබා දී ඇත. පහන් දැල්වීම, අනියම් සංසර්ගය සහ මිනිස් මාංශ අනුභව කිරීම වැනි අපූරු හා නින්දිත ක්‍රියාවන් කරණකොටගෙන ඔවුන් වරදක් සිදු කරන්නේද යන්න අපි නොදනිමු. එහෙත් අවම වශයෙන් ඔවුන්ගේ අදහස් නිසා ඔවුන්ට ඔබ පීඩා නොකරන බව හෝ මරණයට පත් නොකරන බව අපි දනිමු. එහෙත් දැනටමත් රචනා කර ඇති සියලුම මිථ්‍යාදෘෂ්ටිකයන්ට එරෙහිව මට නිබන්ධනයක් ඇත. එය කියවීමට ඔබ කැමති නම් මම ඔබට ලබා දෙන්නෙමි.

27 වන පරිච්ඡේදය: ළමයින් නිරාවරණය කිරීමේ වරද

එහෙත් අපට උගන්වා ඇත්තේ අලුත උපන් දරුවන් නිරාවරණය කිරීම දුෂ්ට මිනිසුන්ගේ ක්‍රියාවල කොටසක් බවයි; කිසිවෙකුට හානියක් නොවන ලෙස ජීවත් වීමටත්, දෙවියන් වහන්සේට විරුද්ධව පව් නොකිරීමටත් අපට උගන්වා ඇත. පළමුව, එසේ නිරාවරණය වන සියල්ලන්ම (ගැහැනු ළමයින් පමණක් නොව පිරිමි ළමයින්ද) ගණිකා වෘත්තියට ගෙන එනු ලබන බව අපට පෙනේ. පැරැන්නන් ගවයන්, එළුවන්, බැටළුවන් හෝ විකිණීම පිණිස අශ්වයන් හෝ ඇති දැඩි කළ බව කියනු ලැබේ. එහෙත් දැන් ඔබ දරුවන් ඇති දැඩි කරන්නේ මෙම නින්දිත ප්‍රයෝජනය සඳහා පමණක් බව අපට පෙනේ. එසේම මෙම දූෂණය සඳහා කාන්තාවන් සහ ද්වි ලිංගිකයින් විශාල ප්‍රමාණයක් මෙන්ම, කිව නොහැකි ආකාරයේ අයුතුකම් කරන අය විශාල ගණනක් සැම ජාතියකම දක්නට ලැබේ. එහෙත් ඔබගේ තනතුරෙහි සිටිමින් ඔබ විසින් පරීක්ෂා කරනු ලැබිය යුතු මේ අයගෙන් ඔබ කුලී වැඩ කරගන්නා අතර, ඔවුන්ගෙන් තීරුබදු සහ වෙනත් බදු ලබා ගන්නෙහුය. අදේවභක්තික හා කුප්‍රකට හා අපිරිසිදු සංසර්ගයට අමතරව, එවන් කෙනෙකු භාවිතයට ගන්නා ඕනෑම අයෙකු, තමාගේම දරුවා හෝ ඥාතියෙකු හෝ සහෝදරයෙකු හෝ සමග සංසර්ගයේ යෙදෙන අයෙකු වන්නට පුළුවන. සමහරු තමන්ගේම දරුවන් හා භාර්යාවන් පවා ගණිකා වෘත්තියේ යොදවති. එසේම ඇතැම් අය සම ලිංගික සේවනය හේතුවෙන් විවෘතව විකෘති වී සිටිති. ඔවුන් මෙම අභිරහස් දෙවිවරුන්ගේ මව වෙත යොමු කරන අතර, ඔබ දෙවිවරුන් ලෙස සලකන සැම කෙනෙකු සමලම සර්පයෙකුගේ විශාල සංකේතයක් හා අභිරහසක් පින්තාරු කර ඇත. ඇත්ත වශයෙන්ම, දිව්‍ය ආලෝකය පෙරළා දමා, එය නිවා දමා ඇත්තාක් මෙන්, ඔබ විවෘතව හා අත්පොළසන් දෙමින් කරන දේවල් නිසා ඔබ අපගේ චෝදනාවට යටත් වන්නහුය. සැබවින්ම, එවැනි කිසිවක් කිරීමෙන් වෙන් වී සිටින අපට ඒවා මගින් කිසි හානියක් සිදු නවේ. එහෙත් හානිය සිදු වන්නේ එවැනි දේවල් කරන අයට සහ අපට විරුද්ධව බොරු සාක්ෂි දරන්නන්ට පමණි.

28 වන පරිච්ඡේදය: දෙවියන් වහන්සේ මිනිසුන් කෙරෙහි දක්වන සැලකිල්ල

මක්නිසාද අප අතර දුෂ්ට ආත්මයන්ගේ අධිපතියා සර්පයා, සාතන් සහ යක්ෂයා ලෙස අපි හඳුන්වන බව අපගේ ලියවිලි දෙස බැලීමෙන් ඔබට දැනගත හැකිය. තවද, ඔහුගේ සේනාව සහ ඔහු අනුගමනය කරන මිනිසුන් සමග ඔහු ගින්නට හෙළනු ලබන බවත්, නිමක් නැති කාලයකට දඬුවම් කරනු ලබන බවත් ක්‍රිස්තුස් වහන්සේ කලින්ම පැවසූ සේක. දෙවියන් වහන්සේ මෙය කිරීමට ප්‍රමාද වීමට හේතුව වන්‍නේ උන් වහන්සේ මනුෂ්‍ය වර්ගයා කෙරෙහි දක්වන සැලකිල්ලයි. මක්නිසාද සමහරුන්, ඇතැම් විට තවමත් ඉපදී නැති අය පවා, පසුතැවිල්ල කරණකොටගෙන ගැලවීම ලැබිය යුතු බව උන් වහන්සේ කලින්ම දන්නා සේක. ආරම්භයේදී උන් වහන්සේ මනුෂ්‍ය වර්ගයා මැව්වේ චින්තන ශක්තිය සහ සත්‍යය තෝරාගැනීමට සහ හරි දේ කිරීමට හැකියාව ඇතිවය. මක්නිසාද ඔවුන් උපතින්ම තාර්කික හා කල්පනාකාරීව උපත ලබා ඇති හෙයින්, සියලුම මනුෂ්‍යයින්ට දෙවියන් වහන්සේ ඉදිරියෙහි සමාවට කරුණක් නොමැති වේ. දෙවියන් වහන්සේ මේ කාරණා ගැන සැලකිලිමත් වන බව යමෙක් අවිශ්වාස කරන්නේ නම්, එමඟින් ඔහු දෙවියන් වහන්සේ නොපවතින බව අවධාරණය කරනු ඇත. නොඑසේ නම්, උන් වහන්සේ සිටියත්, උන් වහන්සේ දුෂ්චරිතය සම්බන්ධයෙන් සතුටු වන බවටත්, නැතිනම්, උන් වහන්සේ ගලක් මෙන් පවතින බවත්, උන් වහන්සේට කිසිම ගුණවත්කමක් හෝ යහපත් චරිතයක් නොමැති බවත්, මෙම කාරණා යහපත හෝ නපුර ලෙස සලකන්නේ මනුෂ්‍යයින්ගේ මතයට අනුව පමණක් බවත් ඔහු දක්වනු ඇත. මෙය මහත්ම අසභ්‍යකම හා දුෂ්ටකම වන්නේය.

29 වන පරිච්ඡේදය: කිතුනුවන්ගේ යහපත් චර්යාව

නැවතත් [දරුවන් නිරාවරණය කිරීමට අපි බිය වෙමු], ඔවුන්ගෙන් සමහරෙකු තෝරා නොගනු ඇති නමුත්, මිය යනු ඇත, එවිට අපි මිනීමරුවන් බවට පත්වෙමු. එහෙත් අපි විවාහ වුණත්, එය අපි සිදු කරන්නේ දරුවන් ඇති දැඩි කිරීම උදෙසා පමණි. නැත්නම් අපි විවාහය ප්‍රතික්ෂේප කළත් අපි සංවරව ජීවත් වන්නෙමු. අනපේක්ෂිත සංසර්ගය අපගේ අභිරහසක් නොවන බව ඔබට වැටහෙනු ඇත. මඳ කලකට පෙර ඇලෙක්සැන්ඩ්‍රියාවේ ආණ්ඩුකාර ෆීලික්ස් වෙත අපගෙන් කෙනෙක් පෙත්සමක් ඉදිරිපත් කළ අතර, එහි දක්වා තිබුණේ ඔහු නපුංසකයෙකු කිරීමට ශල්‍ය වෛද්‍යවරයෙකුට අවසර දිය යුතුය යනුවෙනි. මක්නිසාද යත්, එහි සිටි ශල්‍ය වෛද්‍යවරුන් කියා සිටියේ ආණ්ඩුකාරවරයාගේ අවසරයකින් තොරව කෙනෙකු නපුංසකයෙකු බවට පත් කිරීම ඔවුන්ට තහනම් බවයි. ෆීලික්ස් එවැනි අවසරයකට අත්සන් කිරීම නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කළ විට, තරුණයා තනිකඩව සිටි අතර, ඔහුගේම හෘදය සාක්ෂියට අනුව එයට එකඟවීම සහ එයට එකඟ වන බවට ඔහු සිතූ අයගේ එකඟත්වය තුළ සෑහීමකට පත් විය. එය මේ කාරණයෙන් බැහැර දෙයක් නොවේ. අපි මෙහිදී ඇන්ටිනෝස් පිළිබඳ සඳහන් කිරීමට සිතමු. ඔහු ජීවතුන් අතර සිට මෑතකදී මිය ගියේය. ඔහු කවුද සහ ඔහුගේ ආරම්භය කුමක්ද යන්න දැන සිටියද, ඔවුහු බියෙන් පොලඹවනු ලැබ, දෙවි කෙනෙකුට මෙන් ඔහුට නමස්කාර කරති.

30 වන පරිච්ඡේදය: ක්‍රිස්තුස් වහන්සේ ඉන්ද්‍රජාලිකයෙක් නොවේද?

එහෙත් කිසිවෙකු අපගෙන් මෙම ප්‍රශ්නය ඇසීමට අප මුණනොගැසේවා. එනම් මනුෂ්‍යයන්ගෙන් උපන් මිනිසෙකු වූ, අප ක්‍රිස්තුස් ලෙස හඳුන්වන තැනැත්තා, උන් වහන්සේගේ බලවත් ක්‍රියා ලෙස හඳුන්වන දේවල් ඉන්ද්‍රජාලික කලාවෙන් ඉටු කළ බවත්, එසේ කිරීමෙන් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් ලෙස පෙනී සිටි බවත් කීමෙන් අප වළක්වන්නේ කුමක්ද? අපි දැන් එයට සාක්ෂි ඉදිරිපත් කරන්නෙමු. හුදු ප්‍රකාශයන් විශ්වාස නොකර, මේ කාරණා සිදුවීමට පෙර [උන් වහන්සේ ගැන] අනාවැකි පැවසූ අය කී දේ ඒත්තු ගන්වනු ලැබීමෙන්, සිදු වූ දේවල් සහ දැන් සිදු වන දේවල් ඒවා කලින් කී ලෙසම සිදු වන බව අපගේම ඇස්වලින් දුටිමුව. මෙය ඔබට පවා වඩාත් ප්‍රබල හා සත්‍ය සාක්ෂියක් සේ පෙනෙනු ඇතැයි අපි සිතමු.

31 වන පරිච්ඡේදය: හෙබ්‍රෙව් අනාගතවක්තෘවරුන් පිළිබඳ

එසේ නම්, යුදෙව්වන් අතර දෙවියන් වහන්සේගේ අනාගතවක්තෘවරුන් වූ සමහර මනුෂ්‍යයන් සිටි අතර, ඔවුන් කරණකොටගෙන අනාගතවක්තෘ ආත්මයාණන් වහන්සේ විසින් එම කාරණා සිදු වීමට බොහෝ කලින් සිදු වන කාරණා පිළිබඳ ප්‍රකාශයට පත් කරන ලදී. ඔවුන්ගේ අනාවැකි, ඒවා කථා කරන විට හා ඒවා පැවසූ විට, අනාගතවක්තෘවරුන් විසින්ම ඔවුන්ගේම හෙබ්‍රෙව් භාෂාවෙන් පිළියෙළ කරන ලද පොත්පත්, යුදෙව්වන් අතර රජකම් කළ රජවරු විවිධ වකවානුවලදී සංරක්ෂණය කළ අතර, ඒවා පරෙස්සමෙන් ඔවුන් සන්තකයේ තබාගෙන සිටියහ. ඊජිප්තුවේ ටොලමි රජ පුස්තකාලයක් පිහිටුවා සියලුම මිනිසුන්ගේ ලියවිලි එකතු කිරීමට වෑයම් කළ අවස්ථාවේදී, ඔහු මෙම අනාගතවක්තෘවරුන් ගැනද අසා, එවකට යුදෙව්වරුන්ගේ රජ වූ හෙරොද්‍ගෙන්, අනාගතවක්තෘවරුන්ගේ පොත් ඔහු වෙත එවන මෙන් ඉල්ලා පණිවුඩ යැවුවේය.‍ හෙරොද් රජු කලින් පවසන ලද ආකාරයට හෙබ්‍රෙව් භාෂාවෙන් ලියා තිබූ එම පොත් ඔහු වෙත යැව්වේය. ඒවායේ අන්තර්ගතය ඊජිප්තුවරුන්ට නොතේරෙන බව දැනගත් විට, ඔහු යළිත් පණිවිඩ යවා ඒවා ග්‍රීක භාෂාවට පරිවර්තනය කිරීමට මිනිසුන් පත් කරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියේය. පසුව එසේ සිදු කරන ලද අතර, එම පොත් අද දක්වාම ඊජිප්තුවරුන් සමගම තිබේ. එසේම ඒවා ලොව පුරා සිටින සියලුම යුදෙව්වන් සන්තකයේද ඇත. එහෙත් ඒවා ඔවුන් විසින් කියවනු ලැබූවද, එයින් පැවසෙන දේ ඔවුන්ට වටහාගත නොහැකිය. එසේ වූවත් අප සතුරන් හා විරෝධීන් ලෙස ඔවුහු සලකන්නෝය. එසේම ඔබට විශ්වාස කළ හැකි පරිදි, ඔබලා මෙන් ඔවුහුද බලය ඇති සැම අවස්ථාවකදීම අප මරණයට පත් කර, දඬුවම් කරති. මක්නිසාද යත්, මෑතකදී සිදු වූ යුදෙව් යුද්ධයේදී, යුදෙව්වන්ගේ කැරැල්ලේ නායකයා වූ බාර්චොචෙබාස්, කිතුනුවන්ට පමණක් ඔවුන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රතික්ෂේප කොට අපහාස කිරීම නවත්වන්නේ නැතිනම්, කුරිරු දඬුවම් ලබා දිය යුතු බවට අණ දුන්නේය. මෙම ග්‍රන්ථවල, අනාගතවක්තෘවරුන් අපගේ ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම, කන්‍යාවකගෙන් උපත ලැබීම, මිනිසුන් අතර මිනිසෙකු මෙන් වර්ධනය වීම, සැම රෝගයක්ම හා සැම ලෙඩක්ම සුව කිරීම, මළවුන් නැඟිටුවීම, වෛරයට ලක්වීම සහ උන් වහන්සේ මනුෂ්‍යයින් විසින් හඳුනා නොගැනීම සහ කුරුසියේ ඇණ ගසනු ලැබීම සහ මරණයට පත් වීම, නැවත නැඟිටීම සහ ස්වර්ගයට නැඟීම මෙන්ම දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස හඳුන්වනු ලැබීම යන සියලු කාරණා ගැන කලින්ම පවසා ඇත. එසේම මේවා ප්‍රකාශයට පත් කිරීම සඳහා ඇතැම් පුද්ගලයන් උන් වහන්සේ විසින් සැම ජාතියකටම යවනු ලබන බවත්, අන්‍යජාතීන් අතර [යුදෙව්වන් අතරට වඩා] මිනිසුන් උන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන බවත් පුරෝකථනය කර ඇත. එසේම උන් වහන්සේ පෙනී සිටීමට පෙරම, පරම්පරාවෙන් පරම්පරාවට නැගිටුණු අනාගතවක්තෘවරයෙකුට පසුව තවත් අනාගතවක්තෘවරයෙකු වශයෙන්, පළමුව අවුරුදු 5000කට පෙරද, නැවතත් අවුරුදු 3000කට පෙරද, නැවත වසර 2000කට පෙර සහ නැවතත් වසර 1000කට පෙර සහ නැවත 800කට පෙර ආදී වශයෙන් උන් වහන්සේ පිළිබඳ කලින් පවසනු ලැබ ඇත.

32 වන පරිච්ඡේදය: ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ මෝසෙස් විසින් පුරෝකථනය කරන ලදී

අනාගතවක්තෘවරුන්ගෙන් පළමුවැන්නා වූ මෝසෙස් මේ වචනවලින්ම මෙසේ කීවේය. “ෂීලෝ එන තෙක් යූදා කෙරෙන් ජයකොන්තයවත් ඔහුගේ පාද අතරෙන් ආණ්ඩුකාරයාගේ සැරයටියවත් පහ නොවන්නේය; මනුෂ්‍ය වර්ගයන්ගේ කීකරුකම ඔහුට වන්නේය. ඔහු තමාගේ කොටළු පැටවා මුද්‍රික වැලේද තමාගේ කොටළු වස්සා සාරවූ මුද්‍රික වැලේද බඳිමින් තමාගේ වස්ත්‍ර මුද්‍රිකපානයෙන්ද තමාගේ සළුව මුද්‍රික යුසයෙන්ද සේදුවේය.” උත්පත්ති 49:10. යුදෙව්වන්ට ඔවුන්ගේම නීතිදායකයෙකු හා රජෙකු සිටියේ කුමන කාලයේදැයි නිවැරදිව විමසා බලා, සොයා දැනගැනීම ඔබේ යුතුකමය. අපට ඒ වන තාක් කල් අවබෝධ වී නොතිබුණු අනාවැකි අපට ඉගැන්වූ සහ එම අනාවැකි අර්ථකථනය කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කාලය දක්වා [ඔවුන්ට නීති සම්පාදකයෙක් සිටියේය], ශුද්ධ වූ හා දිව්‍යමය ආත්මයාණන් වහන්‍සේ මෝසෙස් කරණකොටගෙන පුරෝකථනය කළ පරිදි, රාජ්‍යය වෙන් කර ඇති තැනැත්තා වන උන් වහන්සේ එන තෙක් පාලකයෙකු යුදෙව්වන් අත්හැර නොදමන බව දක්වා ඇත (මන්ද යුදෙව්වන්ගේ මුතුන්මිත්තා යූදා විය. යුදෙව්වන්ගේ නාමය ඔවුන්ට ලැබී ඇත්තේද ඔහුගෙනි). උන් වහන්සේගේ (එනම්, ක්‍රිස්තුස් වහන්සේගේ) පැමිණීමෙන් පසුව, ඔබ යුදෙව්වන් පාලනය කිරීමට පටන්ගෙන, ඔවුන්ගේ සියලු භූමිය අත්පත් කර ගත්තහුය. අනාවැකිය වූයේ, උන් වහන්සේ ජාතීන්ගේ අපේක්ෂාව වනු ඇති බවයි. එයින් ඇඟවෙන්නේ සියලු ජාතීන්ගෙන් සමහර අය උන් වහන්සේගේ නැවත පැමිණීම බලා සිටින බවය. මෙය ඇත්ත වශයෙන්ම ඔබටම දැකගත හැකි අතර, ඒ කාරණය සම්බන්ධයෙන් ඔබට ඒත්තුගත හැකිය. මක්නිසාද යත්, සියලු ජාතීන් අතරෙහි, යූදාහි කුරුසියේ ඇණ ගසනු ලැබූ උන් වහන්සේ ගැන බලා සිටින අය ඇති අතර, උන් වහන්සේගේ කුරුසිපත් වීමෙන් පසුව දේශය කෙලින්ම යුද්ධ කොල්ලයක් ලෙස ඔබට භාර විය. එසේම අනාවැකිය, ඔහු තමාගේ කොටළු පැටවා මුද්‍රික වැලේද තමාගේ කොටළු වස්සා සාරවූ මුද්‍රික වැලේද බඳිමින් තමාගේ වස්ත්‍ර මුද්‍රිකපානයෙන්ද තමාගේ සළුව මුද්‍රික යුසයෙන්ද සේදුවේය යන්න ක්‍රිස්තුස් වහන්සේට සිදු විය යුතු දේ සහ උන් වහන්සේ කළ යුතු දේ පිළිබඳ වැදගත් සංකේතයක් විය. මක්නිසාද කොටළු ‍පැටියෙකු ගමක දොරටුව අසල මිදි වැලකට ගැට ගසා බැඳ තිබූ අතර, ඌ උන් වහන්සේ වෙතට ගෙන එන ලෙස උන් වහන්සේ තම ගෝලයන්ට අණ කළ සේක. ඌ රැගෙන ආ විට, උන් වහන්සේ කොටළුවා මත හිඳගෙන යෙරුසලමට ඇතුළු වූ සේක. එහි යුදෙව්වන්ගේ විශාල දේවමාලිගාව තිබූ අතර එය පසුකාලීනව ඔබ විසින් විනාශ කරන ලදී. එයින් පසුව අනෙකුත් අනාවැකි ඉටු වන පිණිස, උන් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ සේක. මක්නිසාද යත්, උන් වහන්සේගේ වස්ත්‍රය මිදි යුෂවලින් සේදීම, උන් වහන්සේ තුළ අදහන අය උන් වහන්සේගේ ලේවලින් පවිත්‍ර කරන බවත්, උන් වහන්සේගේ දුක් වේදනා විඳ දරාගන්නා බවත් පුරෝකථනය කිරීමකි. මක්නිසාද දිව්‍යමය ආත්මයාණන් වහන්සේ අනාගතවක්තෘවරයා කරණකොටගෙන උන් වහන්සේගේ වස්ත්‍රය ලෙස හැඳින්වූ දෙය වන්නේ, දෙවියන් වහන්සේගේ වංශය වන, උන් වහන්සේගේ වචනයට බද්ධ වූ සහ උන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන අයය. එසේම මිදි යුෂ ලෙස හැඳින්වූ දෙයින් ඇඟවෙන්නේ, පෙනී සිටින තැනැත්තාට මිනිසාගේ වංශයෙන් නොව දෙවියන් වහන්සේගේ බලය කරණකොටගෙන වන රුධිරය තිබිය යුතු බවයි. සියල්ලන්ගේ පියාණන් වහන්සේ සහ ස්වාමින් වහන්සේ වන දෙවියන් වහන්සේට පසුව ඇති පළමු බලය වන්නේ වාක්‍යාණෝය. උන් වහන්සේ පුත්‍රයාණන් වහන්සේද වන සේක. එසේම අපිද උන් වහන්සේ කරණකොටගෙන වෙමුව. උන් වහන්සේ මාංසය ගෙන මනුෂ්‍යයෙකු වූයේ කෙසේද යන්න පහත සඳහන් කරුණුවලින් අපි විස්තර කරමු. මක්නිසාද දෙවියන් වහන්සේ මිස මිනිසා මිදි යුෂ සාදන්නේ නැත. එම නිසා, ඉහත අප සඳහන් කළ පරිදි රුධිරය මිනිස් බීජයෙන් නොව දිව්‍යමය බලයෙන් විය යුතු බව මෙයින් ඇඟවේ. තවත් අනාගතවක්තෘවරයෙකු වන යෙසායා ඒ දේම වෙනත් වචනවලින් පුරෝකථනය කරමින් මෙසේ පවසා ඇත. තවද යෙස්සේගේ කඳින් අංකුරයක් නික්මෙන්නේය, ඔහුගේ මුල්වලින් වූ පැළයක් ඵල දරන්නේය. යෙසායා 11:1. යෙස්සේගේ කඳින් අංකුරයක් නික්මෙන්නේය, ඔහුගේ මුල්වලින් වූ පැළයක් ඵල දරන්නේය – මේ ක්‍රිස්තුස් වහන්සේය. මක්නිසාද දෙවියන් වහන්සේගේ බලයෙන් උන් වහන්සේ පිළිසිඳ ගත්තේ යූදාගේ පියා වූ යාකොබ්ගේ වංශයේ කන්‍යාවක් තුළිනි. යාකොබ් අප පෙන්වා ඇති පරිදි යුදාගේ පියාය. යුදා යුදෙව්වන්ගේ පියාය. වචනයට අනුව යෙස්සේ උන් වහන්සේගේ මුතුන් මිත්‍තාය. එසේම උන් වහන්සේගේ පරම්පරා වංශයට අනුව උන් වහන්සේ යාකොබ් සහ යුදාගේ පුත්‍රයාය.

33 වන පරිච්ඡේදය: ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිදු වන ආකාරය පිළිබඳ පුරෝකථනය කර ඇත

උන් වහන්සේ කන්‍යාවකගෙන් උපත ලැබිය යුතු යැයි යෙසායා ප්‍රකාශ කර ඇති ආකාරය නැවත බලන්න. මක්නිසාද ඔහු මෙසේ කීවේය: එබැවින් ස්වාමින් වහන්සේම නුඹලාට ලකුණක් දෙන සේක; බලව, කන්‍යාව ගර්භිණීව පුත්‍රයෙකු වදා, එම්මානුවෙල් එනම් ‘දෙවියන් වහන්සේ අප සමග’ යන නම ඔහුට තබන්නීය. යෙසායා 7:14. ඇදහිය නොහැකි හා මිනිසුන්ට කළ නොහැකි යැයි පෙනෙන මේ කාරණා, දෙවියන් වහන්සේ අනාවැකි ආත්මයාණන් වහන්සේ මගින් ඒවා සිදු වන බවට ප්‍රකාශයට පත් කර ඇත. එසේ කළේ ඒවා ඉෂ්ට වූ කල, එම කාරණා කලින්ම ප්‍රකාශ කර ඇති බැවින්, ඒ පිළිබඳ අවිශ්වාස නොකර විශ්වාස කරන පිණිසය. එහෙත් සමහරු, දැන් සඳහන් කළ අනාවැකිය තේරුම් නොගෙන, අප චෝදනා කරන කවීන් විසින් පවසා ඇති ජුපිටර් රාගයෙන් පොලඹවනු ලදුව ස්ත්‍රීන් වෙතට ගිය කාරණය පිළිබඳ අප කථා කරන බවට සහ අප ඒ ගැන පැහැදිලි කිරීමක් සිදු කරන බවට අපට චෝදනා කරති. මෙන්න, කන්‍යාවක් ගර්භනීව යන්නෙන් අදහස් කරන්නේ කන්‍යාවක් සංසර්ගයකින් තොරව පිළිසිඳ ගත යුතු බවයි. මක්නිසාද යත්, ඇය යමෙකු සමග සංසර්ගයේ යෙදී ඇත්නම් ඇය තවදුරටත් කන්‍යාවක් නොවන නිසාය. එහෙත් දෙවියන් වහන්සේගේ බලය කන්‍යාව මතට පැමිණ ඇය යටපත් කර, කන්‍යාවක්ව සිටියදීම පිළිසිඳ ගැනීමක් ඇති කළ සේක. එසේ එම කන්‍යාව වෙත යවන ලද දෙවියන් වහන්සේගේ දූතයා ඇයට ශුභාරංචියක් රැගෙන පැමිණියේය. “මෙන්න, ඔබ ශුද්ධාත්මයාණන් වහන්සේ කරණකොටගෙන පිළිසිඳගෙන පුත්‍රයෙකු බිහි කරනු ඇත. උන් වහන්සේට මහෝත්තමයාණන්ගේ පුත්‍රයා යැයි කියනු ලැබේ. මක්නිසාද උන් වහන්සේ තම සෙනඟගේ පාපවලින් ඔවුන් ගලවාගන්නා සේක”, ලූක් 1:32; මතෙව් 1:21 – අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉගැන්වූ කාරණා පිළිබඳ වාර්තා කර ඇති අය පවසා ඇති කාරණා අප විශ්වාස කරන අතර, අප දැන් මෙහි දක්වා ඇති පරිදි යෙසායා මගින්ද ඒවා ප්‍රකාශයට පත් කර ඇත. එනම් අනාවැකි ආත්මයාණන් වහන්සේ ප්‍රකාශ කළේ අප කලින් දැනුම් දුන් ආකාරයට උන් වහන්සේ උපත ලැබිය යුතු බවයි. එම නිසා, දෙවියන් වහන්සේගේ කුලුඳුලා වන වචනය හැර අන් කිසිවක් ලෙස ආත්මයාණන් වහන්සේ හා දෙවියන් වහන්සේගේ බලය තේරුම් ගැනීම වැරදිය. අප කලින් කී ලෙස, අනාගතවක්තෘ මෝසෙස් ප්‍රකාශ කළ පරිදි, දෙවියන් වහන්සේගේ බලය කන්‍යාව මතට පැමිණ ඇය වසාගත් විට, ඇය පිළිසිඳ ගැනීමට හේතු වූයේ සංසර්ගය මගින් නොව බලය කරණකොටගෙනය. හෙබ්‍රෙව් භාෂාවෙන් යේසුස් යන නමේ අර්ථය ග්‍රීක භාෂාවෙන් Σωτήρ (ගැලවුම්කරුවා) යන්නය. එබැවින් දේවදූතයා කන්‍යාවට කතා කොට, “උන් වහන්සේගේ සෙනඟ ඔවුන්ගේ පාපවලින් ගලවන බැවින් ඔබ උන් වහන්සේට යේසුස් යන නාමය තබන්නැ”යි වදාළ සේක. අනාගතවක්තෘවරුන් දිව්‍යමය වචනය කරණකොටගෙන මිස වෙන කිසිවකින් ආනුභාවය නොලද අතර, මා සිතන පරිදි ඔබට පවා එය ලැබෙනු ඇත.

34 වන පරිච්ඡේදය: ක්‍රිස්තුස් වහන්සේගේ උපන් ස්ථානය සම්බන්ධයෙන් පුරෝකථනය කර ඇත

උන් වහන්සේ ඉපදීමට යන්නේ පොළොවේ කුමන කොටසෙහිද යන්න, තවත් අනාගතවක්තෘවරයෙකු වන මීකා පුරෝකථනය කර ඇත. ඔහු මෙසේ පැවසුවේය: නුමුත් බෙත්-ලෙහෙම් එප්‍රාතා, යූදාගේ දහස් ගණන් අතරෙහි සිටීමට කුඩාව සිටින නුඹෙන්, ඉශ්‍රායෙල් කෙරෙහි ආණ්ඩුකාරයා වීමට මා වෙතට කෙනෙක් නික්ම එන්නේය; මීකා 5:2. දැන් යුදෙව්වන්ගේ දේශයේ, යෙරුසලමේ සිට සැතපුම් තිස් පහක් දුරින්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපත ලද ගම්මානය ඇත. යූදාහි ඔබේ පළමු ප්‍රසම්පාදකයා වන සිරේනියස් යටතේ බදු අය කිරීමේ ලේඛනයෙන්ද එය ඔබට නිසැකව දැනගත හැකිය.

35 වන පරිච්ඡේදය: සම්පූර්ණ වූ වෙනත් අනාවැකි

ක්‍රිස්තුස් වහන්සේ ඉපදුණු පසුව, ඔහු මිනිසෙකු ලෙස වැඩෙන තෙක් අනෙක් මිනිසුන්ගේ අවධානයෙන් වෙන්ව ජීවත් වන බවද දක්වා ඇති අතර, එයද සම්පූර්ණ විය. මේ සම්බන්ධයෙන් පුරෝකථනය කර ඇති දේ අසන්න. ඒ පිළිබඳ පහත සඳහන් අනාවැකි තිබේ: මක්නිසාද අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙන ලද්දේය; ආණ්ඩුවද උන් වහන්සේගේ කර පිට තිබෙන්නේය. උන් වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවියන් වහන්සේය, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයා යයි කියනු ලබන්නේය. යෙසායා 9:6. එයින් කුරුසියේ බලය පිළිබඳ දක්වා ඇත. මක්නිසාද යත්, උන් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ විට, උන් වහන්සේගේ උරහිස් භාවිත කළ සේක. ඒ සම්බන්ධයෙන් ඊ ළඟ දේශනාවේදී වඩාත් පැහැදිලිව දක්වා ඇත. නැවතත් එම අනාගතවක්තෘවරයාම එනම්, යෙසායා අනාගතවාක්‍ය ආත්මයාණන් වහන්සේගෙන් පොලඹවනු ලදුව, කැරලිකාරවූ, තමුන්ගේ යෝජනා අනුව හොඳ නැති මාර්ගයක යන්නාවූ සෙනඟක් දෙසට දවස මුළුල්ලේම මාගේ අත් විදහාගන සිටියෙමි. යෙසායා 65:2, යෙසායා 58:2. තවත් අවස්ථාවක වෙනත් අනාගතවකෘවරයෙකුගේ වචනවලින් උන් වහන්සේ මෙසේ පවසා ඇත. මක්නිසාද බල්ලෝ මා වට කළෝය. නපුරන් රැළ මා වටලා ගත්තුය; ඔව්හු මාගේ අත්පා සිදුරු කළෝය. මාගේ ඇට සියල්ල ගණන් කළ හැක්කෙමි; ඔව්හු මා දෙස රවා බලති. මාගේ වස්ත්‍ර ඔවුන් අතරේ බෙදා ගනිති, මාගේ සළුව පිණිස පසඇට දමති. ඇත්තෙන්ම මේ කාරණා පැවසූ රජතුමා සහ අනාගතවක්තෘවරයා වූ දාවිත් මේ කිසිම දුක් වේදනාවක් වින්දේ නැත. එහෙත් යුදෙව්වන් විසින් කුරුසියේ ඇණ ගසනු ලැබූ කල, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමන් වහන්සේගේ දෑත් දිගු කළ සේක. යුදෙව්වරු උන් වහන්සේට විරුද්ධව කථා කරමින් උන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බව ප්‍රතික්ෂේප කළහ. ඔව්හු උන් වහන්සේට වධ දී, විනිශ්චය අසුනේ උන් වහන්සේ ඉන්දවා, “අප විනිශ්චය කරන්නැ”යි කියන බව අනාගතවක්තෘවරයා පැවසුවේය. ඔව්හු මාගේ අත්පා සිදුරු කළෝය යන්නෙන් අදහස් වන්නේ, කුරුසියේ ඇණ ගැසීමේදී උන් වහන්සේගේ අත් සහ පාදවලට ඇණ ගැසූ බවයි. උන් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ පසු ඔව්හු උන් වහන්සේගේ වස්ත්‍රය උදෙසා දාදු දැමූ අතර, එය ඔවුන් අතරේ බෙදා ගත්හ. මේ කාරණා සිදු වූ බව ඔබට පොන්තියුස් පිලාත්ගේ ක්‍රියාවලින් දැනගත හැකිය. එසේම තවත් අනාගතවක්තෘවරයෙකු වන සෙකරියාගේ අනාවැකිමය ප්‍රකාශයන් අපි උපුටා දක්වන්නෙමු. උන් වහන්සේ කොටළු දෙනක මත හිඳගෙන යෙරුසලමට ඇතුළු වන බව පැහැදිලිවම පුරෝකථනය කර තිබුණි. ඔහුගේ වචන මේවාය: සියොන් දියණියෙනි, බොහෝ සෙයින් ප්‍රීතිමත් වෙයන්න; යෙරුසලම් දියණියෙනි, ශබ්ද පවත්වාපන්න. බලව, නුඹේ රජ නුඹ වෙතට එන සේක. උන් වහන්සේ ධර්මිෂ්ඨය, ගැලවීම ඇත්තාය; උන් වහන්සේ යටහත්ය, කොටළුවෙකු එනම් කොටළු දෙනෙකුගේ පැටියෙකු පිට නැගී එන සේක. සෙකරියා 9: 9.

36 වන පරිච්ඡේදය: විවිධ අනාවැකි ක්‍රම

එහෙත් අනාගතවක්තෘවරුන්ගේ වචන ඔවුන් පිළිබඳ පෞද්ගලිකව පැවසූ කාරණා ලෙසින් ඔබට ඇසෙන විට, ඔවුන් කථා කළේ ඔවුන් විසින්ම ආනුභාවය ලැබීමෙන් නොවන බවත්, එහෙත් ඔවුන් පොලඹවන ලද දිව්‍යමය වචනය මගින් බවත් ඔබ දැනගත යුතුය. මක්නිසාද සමහර විට උන් වහන්සේ ඉදිරියේදී සිදු වීමට යන දේ ප්‍රකාශ කරන්නේ අනාගතය ගැන පුරෝකථනය කරන කෙනෙකු සිදු කරන ආකාරයටය. සමහර විට උන් වහන්සේ කථා කරන්නේ සමිඳාණන් වහන්සේ හා සියලු දෙනාගේ පියාණන් වහන්සේ වන දෙවියන් වහන්සේ කථා කරන ආකාරයටය. සමහර විට ක්‍රිස්තුස් වහන්සේ නමැති පුද්ගලයා මෙන්ය. සමහර විට ඔබේම ලේඛකයන් තුළ පවා ඔබට පෙනෙන පරිදි, ස්වාමින් වහන්සේට හෝ උන් වහන්සේගේ පියාණන් වහන්සේට පිළිතුරු දෙන මිනිසුන් අතර සිටින පුද්ගලයෙකු මෙන්ය. එනම් එක් මිනිසෙක් සමස්ත ලේඛනයේම ලේඛකයා ලෙසින් සිටින අතර, ඔහු විසින් එය ප්‍රකාශ කරන පුද්ගලයා හඳුන්වා දෙනු ලබන්නාක් මෙනි. එබැවින් ක්‍රිස්තුස් වහන්සේ පැමිණි විට පවා ඔවුන් උන් වහන්සේ හඳුනාගත්තේ නැත. එපමණක් නොව ඔවුහු, කලින් ප්‍රකාශ කර ඇති පරිදි, උන් වහන්සේ පැමිණ ඇති බවත්, යුදෙව්වන් විසින් උන් වහන්සේ කුරුසිපත් කරන ලද බවත් පවසන සහ එය ඔප්පු කරන අපට වෛර කරති.

37 වන පරිච්ඡේදය: පියාණන් වහන්සේගේ වචන

පියාණන් වහන්සේ වන පුද්ගලයාගේ වචන යෙසායා අනාගතවක්තෘවරයා තුළින් පහත සඳහන් වචනවලින් කථා කරන ලද බවද ඔබට පැහැදිලිය. ගොනා උගේ අයිතිකාරයාද කොටළුවා උගේ ස්වාමියාගේ පට්ටියද දනියි. එහෙත් ඉශ්‍රායෙල් දන්නේ නැත, මාගේ සෙනඟ කල්පනා කරන්නේ නැතැයි කියන සේක. අනේ පාපිෂ්ඨ ජාතියක්ය, අයුතුකමෙන් බර වූ සෙනඟක්ය, නපුරුකම් කරන වංශයක්ය, දූෂ්‍ය ලෙස ක්‍රියා කරන දරුවෝය. ඔව්හු ස්වාමින් වහන්සේ අත්හැර, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන් වහන්සේ එපා කොට, වෙන් වී පස්සට හැරී ගියෝය. එසේම තවත් ස්ථානයක, එම අනාගතවක්තෘවරයා පියාණන් වහන්සේගෙන් ඒ ආකාරයෙන්ම කථා කරමින් මෙසේ පවසයි. ස්වාමින් වහන්සේ මෙසේ කියන සේක: අහස මාගේ සිංහාසනයය, පොළොව මාගේ පාපුටුවය. නුඹලා කෙබඳු ගෘහයක් මට සාදන්නහුද? නොහොත් මාගේ නිවාසස්ථානය කොතැනද? යෙසායා 66:1. නැවතත්, වෙනත් තැනක, නිෂ්ඵල පූජා තවත් නොගෙනෙල්ලා; දුම් පූජාව මට පිළිකුලක්ය; අමාවකද සබත් දවසද සභා රැස්කිරීමද එසේමය. දුෂ්ටකම සහිත මංගල්‍ය රැස්වීම මට ඉවසන්ට බැරිය. නුඹලාගේ අමාවක්වලටද නියම මංගල්‍යවලටද මාගේ ආත්මය ද්වේෂ කරයි. ඒවා මට බරක්ය; ඒවා උසුලා වෙහෙසව සිටිමි. නුඹලාගේ අත් විදහන කල මාගේ ඇස් නුඹලාගෙන් සඟවාගන්නෙමි. එසේය, නුඹලා යාච්ඤා බොහොමයක් කරන කල්හිත් මම නොඅසන්නෙමි. නුඹලාගේ අත් ලෙයින් පිරී තිබේ. නුඹලා සෝදාගෙන පවිත්‍ර වෙයල්ලා; නුඹලාගේ ක්‍රියාවල නපුරුකම මාගේ ඇස් ඉදිරියෙන් පහකර නපුරුකම් කිරීමෙන් වැළකියල්ලා. යහපත්කම් කරන්ට ඉගෙනගනිල්ලා; යුක්තිය සොයා, බලාත්කාරය මැඩපවත්වාපල්ලා, මවුපියන් නැත්තාට යුක්තිය කර, වැන්දඹුවගේ නඩුව අසාපල්ලා. මා විසින් තෝරාගත් උපවාසය නම් දුෂ්ටකමේ විලංගු මුදාහැරීමත්, වියගහේ බැඳුම් ලිහීමත්, බලාත්කාරය විඳින්නන් නිදහස් කර හැරීමත්, සියලුම වියගස් නුඹලා විසින් කඩාදැමීමත් නොවේද? බඩගිනි ඇත්තන්ට නුඹේ කෑම බෙදාදීමත්, ගෙයක් දොරක් නැති අසරණයන් නුඹ විසින් නුඹේ ගෙදරට පැමිණවීමත්, නිර්වස්ත්‍ර කෙනෙක් දුටු විට ඔහුට ඇඳුම් දීමත්, නුඹේම නෑසියන්ගෙන් නොසැඟවී සිටීමත් නොවේද? යයි දක්වා ඇත. යෙසායා 1:14, යෙසායා 58:6. අනාගතවක්තෘවරුන් තුළින් දෙවියන් වහන්සේ (නමැති පුද්ගලයා) තුළින් කුමනාකාර කාරණා උගන්වා ඇතිදැයි ඔබට දැන් තේරුම්ගත හැකියි.

38 වන පරිච්ඡේදය: පුත්‍රයාණන් වහන්සේගේ වචන

අනාවැකියේ ආත්මයාණන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ නමැති පුද්ගලයාගෙන් කථා කරන විට, පවසන ලද වචන මේ ආකාරය: කැරලිකාරවූ, තමුන්ගේ යෝජනා අනුව හොඳ නැති මාර්ගයක යන්නාවූ සෙනඟක් දෙසට දවස මුළුල්ලේම මාගේ අත් විදහාගන සිටියෙමි. යෙසායා 65: 2. නැවතත්: මම මාගේ පිට තළන්නන්ටත් මාගේ කම්මුල් රැවුල් උදුරන්නන්ටත් දුනිමි. මාගේ මුහුණ නින්දාවෙනුත් කෙළ ගැසීමෙනුත් සඟවා නොගතිමි. මක්නිසාද ස්වාමි වූ දෙවියන් වහන්සේ මට උපකාර වන සේක; එබැවින් වියවුල් නොවෙමි. එබැවින් මාගේ මුහුණ ගිනි ගලක් මෙන් තබාගන සිටිමි, මා ලජ්ජාවට නොපැමිණෙන බව දනිමි. මා ධර්මිෂ්ඨ කරන තැනන් වහන්සේ ළංව සිටින සේක; මට එදිරිව සිටින්නේ කවුද? යෙසායා 50: 6. නැවතත් ඔහු මේසේ කීවේය. “ඔව්හු මාගේ අත්පා සිදුරු කළෝය. මාගේ ඇට සියල්ල ගණන් කළ හැක්කෙමි; ඔව්හු මා දෙස රවා බලති. මාගේ වස්ත්‍ර ඔවුන් අතරේ බෙදා ගනිති, මාගේ සළුව පිණිස පසඇට දමති. මම වැදෙහව නිදාගතිමි; මම පිබිදුණෙමි; මක්නිසාද ස්වාමින් වහන්සේ මා දරනසේක.” එසේම තවත් තැනක මෙසේ පවසා ඇත. “මග යන්නෝ තමුන්ගේ හිස් වන වනා උන් වහන්සේට නින්දා කරමින්: දේවමාලිගාව කඩා දමා තුන් දවසකින් ගොඩනගන්නාවූ නුඹ නුඹම ගලවාගනින්න. නුඹ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් කුරුසියෙන් බැසපන්නැ”යි කීවෝය. මේ සියල්ල ක්‍රිස්තුස් වහන්සේට යුදෙව්වන් අතින් සිදු වූ බව ඔබට නිසැක ලෙස දැනගත හැකිය. මක්නිසාද උන් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ විට, ඔවුන් තමුන්ගේ හිස් වන වනා උන් වහන්සේට නින්දා කරමින්: දේවමාලිගාව කඩා දමා තුන් දවසකින් ගොඩනගන්නාවූ නුඹ නුඹම ගලවාගනින්න. ඔහු අනුන් මළවුන්ගෙන් නැගිටවීය. නුඹ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් කුරුසියෙන් බැසපන්නැයි කීවෝය. මතෙව් 27:39.

39 වන පරිච්ඡේදය: ආත්මයාණන් වහන්සේගේ සෘජු අනාවැකි

ඉදිරියේදී සිදුවීමට නියමිත දේ ගැන අනාවැකි කීමට ආත්මයාණන් වහන්සේ කථා කරන විට, උන් වහන්සේ මේ ආකාරයට කථා කරන සේක. බොහෝ ජනයෝද පිටත්ව කථා කොට: වරෙල්ලා, ස්වාමින් වහන්සේගේ කන්දටත් යාකොබ්ගේ දෙවියන් වහන්සේගේ ගෘහයටත් යමු; උන් වහන්සේ තමන්ගේ මාර්ග අපට උගන්වන සේක, අපිද උන් වහන්සේගේ මාවත්වල යන්නෙමු යයි කියන්නෝය. මක්නිසාද ව්‍යවස්ථාව සියොනෙන්ද ස්වාමින් වහන්සේගේ වචනය යෙරුසලමෙන්ද නික්ම යන්නේය. උන් වහන්සේ ජාතීන් අතරේ විනිශ්චය කොට, බොහෝ ජනයන්ගේ කාරණා නිශ්චය කරන සේක. ඔව්හු තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් තවත් යුද්ධ ඉගෙන ගන්නේවත් නැත. යෙසායා 2:3. එයද ඉටු වූ බවට අපට ඔබ හට ඒත්තු ගැන්විය හැකියි. මක්නිසාද ගණනින් දොළොස්දෙනෙක් වූ නූගත්, කතා කිරීමේ හැකියාවක් නැති මිනිස්සු, යෙරුසලමේ සිට ලෝකය වෙත පිටත් වී ගිය නමුත්, ඔවුහු තමන් දෙවියන් වහන්සේගේ වචනය ඉගැන්වීම උදෙසා දෙවියන් වහන්සේගේ බලයෙන් ඔවුහු ක්‍රිස්තුන් වහන්සේ විසින් එවන ලද බවට සියලු මනුෂ්‍ය වර්ගයාට ප්‍රකාශ කළහ. එසේම කලින් එකිනෙකා ඝාතනය කිරීමට පුරුදුව සිටි අපි දැන් අපගේ සතුරන්ට විරුද්ධව යුද්ධ කිරීමෙන් වැළකී සිටිනවා පමණක් නොව, අපගේ පරීක්ෂකයින්ට බොරු නොකියා, ඔවුන් නොරවටා, ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ කරමින් මිය යාමට පවා කැමැත්තෙන් සිටිමු. මක්නිසාද යත්, දිවෙන් දිවුරුම් දී ඇතත්, මනස දිවුරුම් දී නැත යන්න මේ කාරණයේදී අප විසින් අනුකරණය කළ යුතුව ඇත. එහෙත්, ඔබ විසින් බඳවා ගන්නා ලද සොල්දාදුවන් වන හමුදාවේ දිවුරුම් දුන් අය, ඔවුන්ගේම ජීවිතයට, දෙමව්පියන්ට සහ සියලු ඥාතීන්ට සහ රටට පක්ෂපාතී වීමට වැඩි කැමැත්තක් දක්වන නමුත් ඔබට ඔවුන්ට කිසි හානියක් කළ නොහැකිය. එහෙත් අප කැමති දේ අපට ලබා දිය හැකි තැනැන් වහන්සේගෙන් ඒ දේ ලබා ගැනීම උදෙසා, විනාශ නොවීම උදෙසා මහත් ඕනෑකමින් බලා සිටින අය ලෙස, අප විසින් සියල්ල විඳ දරා නොගතහොත් එය ඇත්තෙන්ම හාස්‍යජනක වනු ඇත.

40 වන පරිච්ඡේදය: ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම පුරෝකථනය කර ඇත

උන් වහන්සේගේ ධර්මය ප්‍රකාශයට පත් කර ඇති ආකාරය සහ උන් වහන්සේගේ ස්වරූපය ප්‍රකාශ කළ අය එය පුරෝකථනය කළ ආකාරය අසන්න. එසේම ඉහත සඳහන් අනාගතවක්තෘවරයා සහ රජතුමා අනාවැකි ආත්මයෙන් කථා කළ ආකාරය බලන්න. දවාල දවාලට කථා කරයි, රාත්‍රිය රාත්‍රියට ඥානය දක්වයි. කථාවක්වත් වචනයක්වත් නැත; ඒවායේ ශබ්දය නොඇසෙයි. ඒවායේ මායිම පොළොව මුළුල්ලේද ඒවායේ වචන ලෝකයේ කෙළවර දක්වාද පැතිර ගියේය. එහි උන් වහන්සේ සූර්යයාට මණ්ඩපයක් පිහිටෙවු සේක. ඔහු තමාගේ භවනයෙන් නික්මෙන මනමාලයෙකු වැනිය, තමාගේ ගමන දුවන්ට ශක්තිමත් කෙනෙකු මෙන් ප්‍රීති වෙයි. මේවාට අමතරව දාවිත් විසින් පවසන ලද අනාවැකිමය ප්‍රකාශයන් කිහිපයක් සඳහන් කිරීම නිවැරදි මෙන්ම අදාළ යැයි අපි සිතමු. මන්ද අනාගත වාක්‍යයේ ආත්මයාණන් වහන්සේ මිනිසුන්ට ජීවත් වීමට අවවාද කරන්නේ කෙසේද යන්නත්, යුදෙව්වරුන්ගේ රජ වූ හෙරොද් සහ යුදෙව්වන් මෙන්ම ඔවුන් අතර ඔබේ ආණ්ඩුකාරයා වූ පිලාත් විසින් ඔහුගේ හේවායින් හා සමග ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධව ඇති කරන ලද කුමන්ත්‍රණය ගැන උන් වහන්සේ පුරෝකථනය කළ ආකාරයත්, එසේම සැම ජාතියකම මිනිසුන් විසින් උන් වහන්සේ අදහාගනු ලැබිය යුතු ආකාරයත්, දෙවියන් වහන්සේ, උන් වහන්සේ තමන් වහන්සේගේ පුත්‍රයා යයි හැඳින්වූ ආකාරයත්, උන් වහන්සේගේ සියලු සතුරන් උන් වහන්සේගේ යටතට පත් කරන බව ප්‍රකාශ කළ ආකාරයත්, එවිට ඔබට දැනගත හැකිය. එසේම සියලු දේවල පියාණන් වහන්සේ හා ස්වාමින් වහන්සේ වන දෙවියන් වහන්සේගේ බලයෙන් හා ක්‍රිස්තුස් වහන්සේගේ බලයෙන් මිදීමට යක්ෂයන් හැකි තරම් උත්සාහ කළේ කෙසේද යන්නත්, විනිශ්චය දවස පැමිණීමට පෙර දෙවියන් වහන්සේ සියල්ලන් පසුතැවිලි වීමට කැඳවන්නේ කෙසේද යන්නත්, ඔබට දැනගත හැකිය. මේ කාරණා මෙසේ ප්‍රකාශ කර ඇත. දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නාවූ, පව්කාරයන්ගේ මාර්ගයෙහි නොසිටින්නාවූ, නින්දා කරන්නන්ගේ ආසනයෙහි නොහිඳින්නාවූ, ස්වාමින්ගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීති වන්නාවූ, උන් වහන්සේගේ ව්‍යවස්ථාව රෑ දාවල් මෙනෙහි කරන්නාවූ, මනුෂ්‍යයා ආශිර්වාද ලද්දේය. ඔහු දිය ඇළවල් ළඟ හිඳුවූ, නියම කලට ඵල දෙන, නොමැලෙවන කොළ ඇති ගසක් හා සමාන වන්නේය; ඔහු කරන සියල්ල සඵල වෙයි. දුෂ්ටයෝ එසේ නොව, සුළඟින් විසිර යන බොල් හා සමානය. එබැවින් දුෂ්ටයෝ විනිශ්චයෙහිද පව්කාරයෝ ධර්මිෂ්ඨයන්ගේ සමාගමෙහිද නොසිටින්නෝය. මක්නිසාද ස්වාමින් වහන්සේ ධර්මිෂ්ඨයන්ගේ මාර්ගය දන්නා සේක. නුමුත් දුෂ්ටයන්ගේ මාර්ගය විනාශ වන්නේය. මනුෂ්‍ය ජාතීහු කුමට කෝලාහල කෙරෙද්ද? මනුෂ්‍ය වර්ගයෝ කුමට නිෂ්ඵල දෙයක් යෝජනා කෙරෙද්ද? ස්වාමින්ටද උන් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තාණන්ටද විරුද්ධව පොළොවේ රජවරු සැරසෙති, අධිපතියෝද එක්ව මන්ත්‍රණය කෙරෙති. අපි ඔවුන්ගේ බැමි කඩා දමා, ඔවුන්ගේ ලනු අප කෙරෙන් ඉවතලමු යයි කියති. ස්වර්ගයෙහි හිඳින තැනන් වහන්සේ සිනාසෙන සේක. ස්වාමින් වහන්සේ ඔවුන්ට පරිහාස කරන සේක. එකල්හි උන් වහන්සේ කෝපයෙන් ඔවුන්ට කථා කොට, තමන් උදහසින් ඔවුන් කලඹන සේක්: මම සියොන් නම් මාගේ පිරිසිදු කන්ද මතුයෙහි මාගේ රජ්ජුරුවන් පිහිටුවීමියි කියන සේක. මම නියමය ප්‍රකාශ කරන්නෙමි. ස්වාමින් වහන්සේ මට කථා කොට: නුඹ මාගේ පුත්‍රයෙහිය; අද නුඹ ජනිත කෙළෙමි. මාගෙන් ඉල්ලව, එවිට නුඹේ උරුමයට ජාතීන්ද නුඹේ කොටසට පොළොවේ සීමාන්තය දක්වාද දෙන්නෙමි. නුඹ ඔවුන් යදණ්ඩකින් බිඳ, කුඹලෙකුගේ භාජනයක් මෙන් ඔවුන් සුණු කරන්නෙහි යයි කී සේක. එබැවින් රජ දරුවෙනි, දැන් ඥානවත්ව සිටිව්. පොළොවේ විනිශ්චයකාරයෙනි, ගුරුකම් ගනිව්. ස්වාමින්ට භයින් මෙහෙ කරව්, වෙවුලුම් සහිතව ප්‍රීති වව්. පුත්‍රයාණන් සිඹිව්, නැතහොත් උන් වහන්සේ උදහස් වන සේක, නුඹලාද මාර්ගයේදී විනාශ වන්නහුය, මක්නිසාද උන් වහන්සේගේ උදහස වහාම ඇවිලෙන්නේය. උන් වහන්සේ සරණ කොට ගන්න සියල්ලෝ ආශිර්වාද ලද්දෝය.

41 වන පරිච්ඡේදය: කුරුසිපත් කිරීම පුරෝකථනය කර ඇත

තවත් අනාවැකියක, අනාවැකියේ ආත්මයාණන් වහන්සේ, දාවිත් තුළින්ම, ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ පසු, රජකම් කළ යුතු බව දන්වා මෙසේ පවසා ඇත. පොළොවේ සියල්ලෙනි, ස්වාමින්ට ගීතිකා කරව්. ස්වාමින්ට ගීතිකා කරමින් උන් වහන්සේගේ නාමයට ප්‍රශංසා කරව්; උන් වහන්සේ දෙන ගැලවීම දිනෙන් දින ප්‍රකාශ කරව්. උන් වහන්සේගේ මහිමය ජාතීන් අතරේද උන් වහන්සේගේ ආශ්චර්ය ක්‍රියා සියලු මනුෂ්‍ය වර්ගයන් අතරේද ප්‍රකාශ කරව්. මක්නිසාද ස්වාමින් වහන්සේ උතුම්ය, බොහෝ ප්‍රශංසනීයය; උන් වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා භයංකරය. මනුෂ්‍ය වර්ගයන්ගේ සියලු දෙවිවරු පිළිම පමණක්ය. නුමුත් ස්වාමින් වහන්සේ ආකාශ මණ්ඩලය සැදූ සේක. ගෞරවයත් මහිමතාවත් උන් වහන්සේ ඉදිරියෙහිය. ශක්තියත් අලංකාරයත් උන් වහන්සේගේ ශුද්ධස්ථානයෙහිය. මනුෂ්‍ය වර්ගයෙනි, ස්වාමින්ට දෙව්, මහිමයත් බලයත් ස්වාමින්ට දෙව්. ස්වාමින්ගේ නාමයට දිය යුතු මහිමය දෙව්. පූජාවක් රැගෙන උන් වහන්සේගේ මණ්ඩපවලට ඇතුල්වව්. ශුද්ධකමේ අලංකාරයෙන් ස්වාමින්ට නමස්කාර කරව්. පොළොවේ සියල්ලෙනි, උන් වහන්සේ ඉදිරියෙහි වෙවුලමින් සිටිව්. ස්වාමින් වහන්සේ රජකම් කරන සේක කියාත්, නොසෙලවෙන ලෙස ලෝකය පිහිටා තිබේය කියාත්, උන් වහන්සේ මනුෂ්‍ය වර්ගයන් සාධාරණකමින් විනිශ්චය කරන සේක කියාත් ජාතීන් අතරේ කියව්.

42 වන පරිච්ඡේදය: අතීත කාලය භාවිත කරමින් කළ අනාවැකි

එහෙත් අනාගත වාක්‍යයේ ආත්මයාණන් වහන්සේ සිදු වීමට නියමිත කාරණා දැනටමත් සිදු වී ඇති ආකාරයට කථා කරන සේක – දැනටමත් මා විසින් උපුටා දක්වා ඇති ඡේදවල පවා මෙය නිරීක්ෂණය කළ හැකිය – මෙම තත්වය පාඨකයින්ට [ඒවා වැරදි ලෙස අර්ථකථනය කිරීමට] නිදහසට කරුණක් නොවන අතර, අපි මෙය සරලව පැහැදිලි කරන්නෙමු. නිසැකවම ඉටු වනු ඇති බවට උන් වහන්සේ දන්නා දේවල්, දැනටමත් ඉටු වී ඇති බවට උන් වහන්සේ පුරෝකථනය කරන සේක. ඒ අනුව එම ප්‍රකාශයන් ලැබී ඇති බව ඔබ ඒවා පිළිබඳ අවධානය යොමු කළහොත් ඔබ දැනගනු ඇත. ඉහත සඳහන් වචන දාවිත් පැවසුවේ ක්‍රිස්තුස් වහන්සේ මිනිසෙකු වීමට හා කුරුසියේ ඇණ ගසනු ලැබීමට වසර 1500කට පෙරය. ඔහුට පෙර ජීවත් වූ කිසිවෙකු හෝ ඔහුගේ සමකාලීනයන්ගෙන් කිසිවෙකු හෝ කුරුසියේ ඇණ ගසනු ලැබීමෙන් අන්‍ය ජාතීන්ට ප්‍රීතිය ලබා දුන්නේ නැත. එහෙත් අපගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලදුව, මරණයට පත් වී, මරණින් උත්ථාන වී ස්වර්ගයට නැඟී රජකම් කරන සේක. ප්‍රේරිතයන් විසින් උන් වහන්සේගේ නාමයෙන් සියලු ජාතීන් අතර ප්‍රකාශයට පත් කරන ලද දේවලින්, උන් වහන්සේ විසින් පොරොන්දු වූ අමරණීයභාවය අපේක්ෂා කරන අයට ප්‍රීතිය ලැබේ.

43 වන පරිච්ඡේදය: ස්ථිර ලෙසම ලබා දී ඇති වගකීම

එහෙත් අප විසින් පවසා ඇති දේවල්, සමහරුන් කලින් දන්නා පරිදි, පුරෝකථනය කර ඇති නිසා, සිදු වූ කාරණාවලින් කුමන දෙයක් වූවද සිදු වූයේ ඉරණමට අනුව යයි සිතන්නේ නම්, මෙයද අපි පැහැදිලි කරමු. දඬුවම් සහ යහපත් විපාක එක් එක් මිනිසාගේ ක්‍රියාවන්ට අනුව ලැබෙන බවට අපි අනාගතවක්තෘවරුන්ගෙන් ඉගෙනගෙන ඇති අතර, එය සත්‍යයක් ලෙස අපි සලකන්නෙමු. එය එසේ සිදු නොවුණා නම්, එහෙත් සියල්ල සිදු වන්නේ ඉරණමට අනුව බවත්, අපගේම බලයෙන් කිසිවක්ම සිදු නොවන බවත් කියමු. නිදසුනක් ලෙස මෙම මිනිසා, යහපත් ලෙස ජීවත් වී මේ අනෙක් නපුර විඳීම සිදු වූවා නම්, කලින් යහපත් තැනැත්තාට හෝ දෙවැනි නපුරු දෙයට දොස් පැවරිය යුතු නැත. නැවතත්, මිනිස් වර්ගයාට නපුරෙන් වැළකී නිදහස් තේරීමෙන් යහපත තෝරා ගැනීමේ බලය නොමැති වී නම්, ඔවුන් කුමන ආකාරයට ජීවත් වූවත්, ඔවුන් විසින් කරනු ලබන ක්‍රියාවන්ට ඔවුන් වගකිව යුතු නොවේ. එහෙත් නිදහස් තෝරාගැනීම නිසා නිවැරදිව අවංකව ලෙස ජීවත් වීමත්, පැකිළී යාමත් සිදු වන බව අපි දැන් පෙන්නුම් කරමු. එකම මිනිසා ප්‍රතිවිරුද්ධ දේවලට මාරු වන බව අපට පෙනේ. දැන්, ඔහු යහපත් හෝ අයහපත් හෝ විය යුතු යැයි ඉරණමට අනුව නියම කර තිබුණේ නම්, ඔහුට කිසි විටෙකත් යහපත හා නපුර යන ප්‍රතිවිරුද්ධ කාරණා දෙකම සිදු කිරීමටත්, ඉක්මනින් අනෙක් දෙයට මාරු වීමටත් හැකියාවක් නොතිබෙනු ඇත. මන්ද ඉරණමට අනුව නපුරු දේ සිදු වීමට හේතු වන බවත්, ඉරණම එයටම ප්‍රතිවිරුද්ධ ආකාරයට ක්‍රියා කරන බවත් අප පැහැදිලි කර පෙන්නුම් කළ නිසා, සමහරු යහපත් අය සහ තවත් අය අයහපත් අය නොවනු ඇත. නොඑසේ නම්, දැනටමත් ප්‍රකාශ කර ඇති දෙය සත්‍යය බව පෙනේ. එනම් ගුණවත්කම හෝ නපුර යනුවෙන් කිසිවක් නැති බවත්, එහෙත් කාරණා යහපත් හෝ අයහපත් ලෙස සලකනු ලබන්නේ මතයට අනුව පමණක් බවත්ය. එය සත්‍යය වචනයෙන් පෙන්නුම් කරන පරිදි, විශාලම ද්‍රෝහිකම සහ දුෂ්ටකම වේ. එහෙත් මෙය අනිවාර්ය ඉරණම බවට අපි තරයේ කියා සිටින්නෙමු නම්, එනම් යහපත තෝරා ගන්නා අයට වටිනා විපාක ඇති බවත්, එයට ප්‍රතිවිරුද්ධ දේ තෝරා ගන්නා අයට ඔවුන්ගේ ක්‍රියාවට අනුව ප්‍රතිඵල ලැබෙන බවත් කියමු නම්, තමාගේ තෝරා ගැනීමට අනුව හැසිරිය නොහැකි ගස් සහ සතුන් මෙන් දෙවියන් වහන්සේ විසින් මිනිසා මවනු ලැබ ඇත. මක්නිසාද ඔහු එවන් ආකාරයට මවා ඇති නම්, යහපත් දේ තෝරාගැනීම සිදු නොකළ බැවින්, ඔහු විපාකය හෝ ප්‍රශංසාව ලැබීමට සුදුසු අයෙකු නොවනු ඇත. ඔහු නපුරු නම්, ඔහු විසින්ම නපුරුකම් කිරීම හේතුවෙන් ඔහු දඬුවම් ලැබීමට සුදුස්සෙකු නොවනු ඇත. මන්ද තමා මවනු ලැබූ දෙයට වඩා වෙන කිසිවක් වීමට ඔහුට නොහැකි වීම නිසාය.

44 වන පරිච්ඡේදය: අනාවැකි මගින් අහෝසි නොකෙරේ

අනාගතවාක්‍යයේ ශුද්ධාත්මයාණන් වහන්සේ අපට මෙය උගන්වා ඇත. එනම් දෙවියන් වහන්සේ උන් වහන්සේ විසින් මුලින්ම මවන ලද මනුෂ්‍යයාට මෙසේ පැවසූ බව මෝසෙස් කරණකොටගෙන අපට පවසා ඇත. බලව, ඔබ ඉදිරියේ ඇති යහපත් සහ අයහපත් දේ අතරෙන් යහපත් දේ තෝරා ගන්න. එසේම නැවතත්, තවත් අනාගතවක්තෘවරයෙකු වන යෙසායා කරණකොටගෙන පහත සඳහන් ප්‍රකාශය කරනු ලැබුවේ පියාණන් වහන්සේ හා සියලු දෙනාගේ ස්වාමින් වහන්සේ වන දෙවියන් වහන්සේ සිදු කරන ප්‍රකාශයක් පරිදිය. “නුඹලාගේ අත් ලෙයින් පිරී තිබේ. නුඹලා සෝදාගෙන පවිත්‍ර වෙයල්ලා; නුඹලාගේ ක්‍රියාවල නපුරුකම මාගේ ඇස් ඉදිරියෙන් පහකර නපුරුකම් කිරීමෙන් වැලකියල්ලා. යහපත්කම් කරන්ට ඉගෙනගනිල්ලා; යුක්තිය සොයා, බලාත්කාරය මැඩපවත්වාපල්ලා, මවුපියන් නැත්තාට යුක්තිය කර, වැන්දඹුවගේ නඩුව අසාපල්ලා. ඉතින් වරෙල්ලා, අපි කාරණා කථා කරගනිමු යයි ස්වාමින් වහන්සේ කියන සේක. නුඹලාගේ පව් රතු පාට මෙන් තිබෙන නුමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේය; ඒවා ලාක්ෂා මෙන් රතුව තිබෙන නුමුත් සුදු ලොම් මෙන් වන්නේය. නුඹලා කැමතිව කීකරු වන්නහු නම්, දේශයේ සාරවත්කම භුක්ති විඳින්නහුය. නුඹලා අකමැතිව කැරලිගසන්නහු නම්, කඩුවෙන් මැරුම් කන්නහුය. මක්නිසාද ස්වාමින් වහන්සේගේ මුඛය එය වදාළ සේක.” යෙසායා 1:16. කඩුවෙන් මැරුම් කන්නහුය යන ප්‍රකාශයෙන් අකීකරු තැනැත්තා කඩුවෙන් මරා දමනු ඇතැයි අදහස් නොකෙරේ. ඒ වෙනුවට දෙවියන් වහන්සේගේ කඩුව ගින්නක් බවත්, එයින් දුෂ්ටකම් කිරීමට තෝරාගන්නා අය දවා දමන බවත් අදහස් වේ. එබැවින් උන් වහන්සේ මෙසේ කියන සේක. ස්වාමින් වහන්සේගේ මුඛය එය වදාළ සේක. කපන හා වෙන් කරන කඩුවක් ගැන උන් වහන්සේ කතා කළ සේක් නම්, කඩුවෙන් මැරුම් කන්නහුය යනුවෙන් උන් වහන්සේ නොපවසනු ඇත. එසේම, ප්ලේටෝද, “වරද තෝරාගන්නා තැනැත්තාගේය, දෙවියන් වහන්සේ නිර්දෝෂීය” යනුවෙන් මෝසෙස් අනාගතවක්තෘවරයාගෙන් ගෙන එය පැවසුවේය. මක්නිසාද මෝසෙස් සියලු ග්‍රීක ලේඛකයන්ට වඩා පැරැන්නෙකි. ආත්මයේ අමරණීයභාවය, හෝ මරණින් පසු දඬුවම් ලැබීම, හෝ ස්වර්ගීය කාරණා ගැන මෙනෙහි කිරීම හෝ ඒ හා සමාන ඉගැන්වීම් පිළිබඳව දාර්ශනිකයන් හා කවියන් යන දෙපාර්ශ්වයම පවසා ඇති කාරණා, ඔවුන් පවසා ඇත්තේ අනාගතවක්තෘවරුන්ගෙන් ඔවුන්ට ලැබී ඇති එවැනි යෝජනා, තේරුම් ගැනීමට සහ අර්ථ නිරූපණය කිරීමට ඔවුන්ට හැකි වීම නිසාය. එබැවින් සියලු මිනිසුන් අතර සත්‍යයේ බීජ ඇති බව පෙනේ. එහෙත් ඔවුන් ඒවා පරස්පර විරෝධී බව ප්‍රකාශ කරන විට [සත්‍යය] නිවැරදිව වටහා නොගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වේ. එ‍ම නිසා අනාගත සිදුවීම් සම්බන්ධ පුරෝකථනය කිරීම ගැන අප පවසන කාරණා, ඒවා ඉරණමට අනුව සිදු විය යුතු කාරණා සිදු වූවාක් මෙන් අපි නොකියමු. එහෙත් දෙවියන් වහන්සේ සියලු මනුෂ්‍යයන් විසින් කරනු ලබන සියල්ල කල්තියාම දැනගෙන, මිනිසුන්ගේ අනාගත ක්‍රියාවන් සියල්ලම ඔවුන්ගේ වටිනාකමට අනුව යහපත් විපාකයක් බවට පත් කිරීමට ඇති උන් වහන්සේගේ ආශාවට අනුව, උන් වහන්සේ අනාවැකි ආත්මයාණන් වහන්සේ මගින් පුරෝකථනය කරන්නේ එකිනෙකා විසින් කරනු ලබන ක්‍රියාවලට අනුව උන් වහන්සේ ඔවුන්ට විපාක ලබා දෙන බවය. උන් වහන්සේ මිනිසුන් ගැන සැලකිලිමත් වන බව දක්වමින්, සැම විටම මිනිස් සංහතියට ඒ සඳහා උත්සහා කිරීමට හා එය මතකයේ තබා ගැනීමට උනන්දු කරමු. එහෙත් යක්ෂයින්ගේ නියෝජිතයින් විසින් හිස්ටැස්පස්ගේ හෝ සිබිල්ගේ හෝ අනාගතවක්තෘවරුන්ගේ පොත් කියවීමෙන් මිනිසුන් යහපත පිළිබඳ දැනුම ලැබීමෙන් වළක්වන පිණිස, බිය හේතුකොටගෙන ඒවා කියවන අයට එරෙහිව මරණ දණ්ඩනය නියම කරනු ලැබ ඇත. එසේ ඔවුහු මිනිසුන් ඔවුන්ගේ වහලුන් ලෙස තබාගැනීම උදෙසා එය සිදු කරති. කෙසේ වෙතත්, ඒවා සැම විටම බලපැවැත්විය නොහැකිය. මක්නිසාද යත්, අපි ඒවා නිර්භයව කියවනවා පමණක් නොව, ඔබ දකින ආකාරයට, ඒවායේ අන්තර්ගතය සැමට ප්‍රියමනාප වන බව දැන දැන, ඒවා ඔබේ පරීක්ෂාවට ගෙන එන්නෙමුව. එසේම අප විසින් කිහිප දෙනෙකුට හෝ ඒත්තු ගන්වන්නේ නම්, අපගේ විපාකය මහත් වනු ඇත. මක්නිසාද යහපත් ගොවියන් වශයෙන් අපට ස්වාමියාගෙන් විපාකය ලැබෙන බැවිනි.

45 වන පරිච්ඡේදය: ක්‍රිස්තුස් වහන්සේගේ ස්වර්ගයේ සැසිය පුරෝකථනය කර ඇත

සියලු දෙනාගේ පියාණන් වහන්සේ වන දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් නැඟිටුවීමෙන් පසු ස්වර්ගයට ගෙන එනු ලබන බවත්, උන් වහන්සේ තම සතුරන් වන යක්ෂයන් යටත් කරන තෙක් සහ යහපත් හා ගුණවත් අය ලෙස උන් වහන්සේ විසින් පුරෝකථනය කරන ලද අයගේ සංඛ්‍යාව සම්පූර්ණ වන තෙක් උන් වහන්සේ එහි තබාගන්නා බවත් කලින් පවසා ඇත. උන් වහන්සේ තවමත් සම්පූර්ණ කිරීම ප්‍රමාද කර ඇත්තේ උන් වහන්සේ නිසා බවත් – අනාගතවක්තෘ දාවිත් පැවසූ පරිදි අසන්න. ඔහුගේ වචන මේවාය: ස්වාමින් වහන්සේ මාගේ ස්වාමින්ට කථා කොට: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරන තෙක් මාගේ දකුණු පැත්තෙහි හිඳින්නැයි කී සේක. ස්වාමින් වහන්සේ සියොන්හි සිට ඔබගේ ශක්තිය නමැති සැරයටිය එවන සේක. ඔබගේ සතුරන් මැද ආණ්ඩු කළ මැනව. ඔබගේ පරාක්‍රමයේ දවසේදී ඔබගේ සෙනඟ කැමැත්තෙන් පූජා වෙති. උදය ගර්භයෙන් නිකුත් වූ, ශුද්ධකමේ අලංකාරයෙන් යුක්තවූ ඔබගේ යෞවනකමේ පිනි ඔබට ඇත්තේය. උන් වහන්සේගේ ප්‍රේරිතයන් යෙරුසලමෙන් පිටත් වී සෑම තැනකම දේශනා කළ බලවත් වචනය ගැන පුරෝකථනය කරන්නේ ස්වාමින් වහන්සේ සියොන්හි සිට ඔබගේ ශක්තිය නමැති සැරයටිය එවන සේක යනුවෙන් පවසමිනි. ක්‍රිස්තුස් වහන්සේගේ නාමය උගන්වන හෝ කිසියම් දෙයක් ඒ පිළිබඳ ප්‍රකාශ කරන අයට එරෙහිව මරණ දණ්ඩනය නියම කරනු ලැබුවද, අපි සැම තැනකම එය වැලඳගන්නා අතර එය උගන්වන්නෙමු. එසේම ඔබත් මේ වචන සතුරු ස්වභාවයකින් කියවන්නේ නම්, මා කලින් කී පරිදි, අප මරා දමනවාට වඩා දෙයක් ඔබට කළ නොහැකිය. එය ඇත්ත වශයෙන්ම එයින් අපට කිසිදු හානියක් සිදු නොවේ. එහෙත් ඔබටත්, අසාධාරණ ලෙස අපට වෛර කරන, පසුතැවිලි නොවන සියල්ලන්ටත්, සදාකාලික ගින්නෙන් දඬුවම් ලැබෙනු ඇත.

46 වන පරිච්ඡේදය: ක්‍රිස්තුස් වහන්සේට පෙර ලෝකය තුළ තිබූනු වචනය

එහෙත් සමහරු කිසිම හේතුවක් නොමැතිව සහ අප උගන්වන දේ විකෘති කිරීම පිණිස, ක්‍රිස්තුස් වහන්සේ අවුරුදු එකසිය පනහකට පෙර සිරේනියස් යටතේ උපත ලැබූ බවත්, පසුව පොන්තියුස් පිලාත්ගේ කාලය වන තුරු සිටි බවත්, උන් වහන්සේ අපට ඉගැන්වූ දේ අප උගන්වන බවත්, එම නිසා උන් වහන්සේට පෙර ඉපදුණු සියලුම මිනිසුන් වගකීම් විරහිත අය මෙන් අපට විරුද්ධව මොරගැසිය යුතු බවත් කියති. – එසේ අපි මේ ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමු කර එය විසඳා ගනිමු යයි පවසති. ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ කුළුඳුලා බව අපට උගන්වනු ලැබ ඇත. එසේම උන් වහන්සේ සැම මනුෂ්‍ය වර්ගයක්ම සැම ජාතියක්ම භුක්ති විඳින වාක්‍යාණෝ වන බවත්, අපි ඉහත සඳහන් කර ඇත්තෙමු. එ‍සේම අදේවවාදීන් යැයි සිතුවද, සාධාරණව ජීවත් වූ ග්‍රීකයන් අතර විසූ සොක්‍රටීස් සහ හෙරක්ලිටස් සහ එවැනි මිනිස්සු කිතුනුවෝ වෙති. එසේම ම්ලේච්ඡයන් අතරින්, ආබ්‍රහම්, අනනියස්, අසාරියාස්, මිසෙල්, එලියාස් සහ තවත් එවැනි අපට ක්‍රියාවන් සහ නම් මතක් කරන්නට නොහැකි බොහෝ අය පිළිබඳ විස්තර කිරීම අපි නොකරමු. මන්ද එය වෙහෙසකර බව අප දන්නා නිසාය. ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියෙහි සාධාරණ ලෙස ජීවත් වූ ,අය කිසිම හේතුවක් නොමැතිව පවා දුෂ්ට අය හා ක්‍රිස්තුස් වහන්සේට සතුරු අය විසින් මරා දමන ලදී. එහෙත්, වචනයේ බලයෙන්, සියල්ලන්ගේ පියාණන් වහන්සේ හා ස්වාමින් වහන්සේ වන දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව, උන් වහන්සේ කන්‍යාවකගෙන් මිනිසෙකු ලෙස ඉපදී, යේසුස් ලෙස හඳුන්වනු ලදුව, කුරුසියේ ඇණ ගසනු ලැබ, මිය ගොස් නැවත නැඟිට, ස්වර්ගයට නැගි බවට බුද්ධිමත් මිනිසෙකුට දැනටමත් බොහෝ දුරට පවසා ඇති දෙයින් වටහාගත හැකි වනු ඇත. තවද, මෙම විෂය පිළිබඳ ඔප්පු කිරීමට ඇත්තේ මඳ අවශ්‍යතාවයක් බැවින්, හදිසි කාරණා සනාථ කිරීම සඳහා වර්තමානය වෙත යමු.

47 වන පරිච්ඡේදය: යුදය පාළුවට පත් වීම පිළිබඳ පුරෝකථනය කර ඇත

යුදෙව්වන්ගේ දේශය නාස්ති විය යුතු බවට අනාවැකි ආත්මයාණන් වහන්සේ විසින් පවසන ලද දේ අසන්න. එම වචන කතා කරනු ලැබුවේ සිදු වූයේ කුමක්දැයි කල්පනා කරන මනුෂ්‍යයින් අතර සිටින පුද්ගලයෙකු මෙන්ය. ඒවා මෙසේය: ඔබ වහන්සේගේ ශුද්ධ නුවරවල් කාන්තාරයක් වී, සියොන් කාන්තාරයක් වී, යෙරුසලම පාළු වී තිබේ. අපේ පියවරුන් විසින් ඔබ වර්ණනා කළා වූ අපේ ශුද්ධ වූ අලංකාර ගෘහය ගින්නෙන් දවා තිබේ; අපේ සියලු ප්‍රසන්න දේවල් නාස්ති වී තිබේ. ස්වාමින් වහන්ස, ඔබ මේවා තිබෙද්දීත් නිකම් සිටින සේක්ද? ඔබ නිශ්ශබ්දව සිට අප තද දුකට පමුණුවන සේක්ද? යෙසායා 64: 10-12. කලින් පවසා ඇති පරිදි යෙරුසලම නාස්ති වී ඇති බව ඔබට නිසැකය. එහි පාළු වීම ගැනත් කිසිවෙකුට එහි වාසය කිරීමට ඉඩ නොදීම ගැනත් යෙසායාගේ අනාවැකිය පහත පරිදි විය. නුඹලාගේ දේශය පාළු වී තිබේ; නුඹලාගේ නුවරවල් ගින්නෙන් දවා දමා තිබේ; නුඹලාගේ භූමිය නුඹලා ඉදිරියේදී විදේශකයෝ නාස්ති කෙරෙති, ඒක විදේශීන්ගේ වැනසීමක් ලෙස පාළුවක් වී තිබේ. යෙසායා 1:7. තවද, කිසිවෙකු එහි වාසය නොකරන පිණිස එය ඔබ විසින් ආරක්ෂා කරනු ලබන බවත්, යුදෙව්වෙකු එයට ඇතුළු වුවහොත් ඔහුට මරණ දණ්ඩනය නියම වන බවත් ඔබ හොඳින් දන්නෙහිය.

48 වන පරිච්ඡේදය: ක්‍රිස්තුස් වහන්සේගේ කාර්යය සහ මරණය පිළිබඳ පුරෝකථනය කර ඇත

අපගේ ක්‍රිස්තුස් වහන්සේ සියලු රෝග සුව කළ යුතු බවත්, මළවුන් නැඟිටුවිය යුතු බවත් පුරෝකථනය කර ඇති අතර ඒ පිළිබඳ පැවසූ දේ අසන්න. එම වචන මෙසේය: උන් වහන්සේම ඇවිත් නුඹලා ගලවන සේකැයි කියාපල්ලා. එකල අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේය, බිහිරන්ගේ කන්ද ඇරෙන්නේය. එකල කොරා මුවෙකු මෙන් පැන යන්නේය. ගොළුවාගේ දිව ගී කියන්නේය. ලාදුරු රෝගීන් පවිත්‍ර වනු ඇත; මළවුන් නැඟිට ඇවිදිනු ඇත. යෙසායා 35: 6. උන් වහන්සේ ඒ දේවල් කළ සේක. ඒ බව පොන්තියුස් පිලාත්ගේ ක්‍රියාවලින් ඔබට ඉගෙනගත හැකියි. උන් වහන්සේ සහ උන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටි අය මරා දැමිය යුතු බවට අනාවැකි ආත්මයාණන් වහන්සේ පුරෝකථනය කළ ආකාරය, යෙසායා පැවසූ දේ අසන්න. ඒ වචන මෙසේය: ධර්මිෂ්ඨයා පහව යන්නේය, නුමුත් කිසිවෙක් එය සිතට නොගන්නේය; භක්තිවන්ත මනුෂ්‍යයෝද පහකරනු ලබති, නුමුත් ධර්මිෂ්ඨයා විපත්තිය ඉදිරියෙන් ගෙන යනු ලබන බව කිසිවෙක් කල්පනා කරන්නේ නැත. ඔහු සමාදානයට පැමිණෙයි; තමුන්ගේ අවංකකමින් හැසිරෙන්නෝ තමුන්ගේ යහන්වල නිශ්චලව සිටින්නෝය. යෙසායා 57: 1.

49 වන පරිච්ඡේදය: යුදෙව්වන් උන් වහන්සේ ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ පුරෝකථනය කර ඇත

එසේම නැවතත්, උන් වහන්සේ සොයන්නේ නැති අන්‍යජාතික ජාතීන් උන් වහන්සේට නමස්කාර කළ යුතු බවත්, එහෙත් උන් වහන්සේ බලාපොරොත්තුව සිටි යුදෙව්වන් උන් වහන්සේ පැමිණෙන විට උන් වහන්සේ හඳුනා නොගන්නා බවත් යෙසායා විසින්ම පවසනු ලැබ ඇත. එම වචන කථා කර ඇත්තේ ක්‍රිස්තුස් වහන්සේ නම් පුද්ගලයා කථා කරන ආකාරයටය. මා ගැන විභාග නොකළ අයට ප්‍රකාශ වුණෙමි; මා නොසෙවු අයට සම්බ වුණෙමි. මාගේ නාමය නොදැරූ ජාතියකට: මම මෙහිය, මම මෙහි යයි කීවෙමි. කැරලිකාර වූ, තමුන්ගේ යෝජනා අනුව හොඳ නැති මාර්ගයක යන්නාවූ සෙනඟක් දෙසට දවස මුළුල්ලේම මාගේ අත් විදහාගන සිටියෙමි. ඒ සෙනඟ මා ඉදිරියේදී නිතරම මා කෝප කරති, උයන්වල පූජා කරති, ගඩොල් පිටද සුවඳ දුම් ඔප්පු කරති. යෙසායා 65: 1-3. මක්නිසාද යුදෙව්වන් වෙත අනාවැකි තිබූ අතර, ක්‍රිස්තුස් වහන්සේ පැමිණෙනු ඇතැයි අපේක්ෂාවෙන් සිටියද ඔවුන් උන් වහන්සේ හඳුනාගත්තේ නැත. එපමණක් නොව, ඔවුහූ උන් වහන්සේට නින්දිත ලෙස සැලකූහ. එහෙත් ක්‍රිස්තුස් වහන්සේ ගැන කිසිවක් අසා නැති අන්‍ය ජාතීහු, ප්‍රේරිතයන් යෙරුසලමෙන් පිටත් වී උන් වහන්සේ ගැන දේශනා කරමින්, ඔවුන්ට අනාවැකි ලබා දුන් කල, ප්‍රීතියෙන් හා ඇදහිල්ලෙන් පිරී ඔවුන්ගේ පිළිම ඉවත දමා, ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන මවනු නොලැබුවා වූ දෙවියන් වහන්සේට තමන්ම කැප වූහ. ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ කරන අයට එරෙහිව මෙම නින්දිත දේවල් ප්‍රකාශ කරනු ලබන බවත්, උන් වහන්සේට අපහාස කළ අය සහ පුරාණ චාරිත්‍ර වාරිත්‍ර ආරක්ෂා කිරීම හොඳ යැයි පැවසූ අය කාලකණ්ණි විය යුතු බවත් පිළිබඳ යෙසායා කෙටියෙන් පැවසූ දේ අසන්න. එය මෙසේය. මිහිරි දෙය තිත්ත යයි පවසන අයට සහ තිත්ත දෙය මිහිරි යයි පවසන අයට දුක් වේ. යෙසායා 5:20.

50 වන පරිච්ඡේදය: උන් වහන්සේට නින්දා කරනු ලැබීම පුරෝකථනය කර ඇත

එහෙත්, අප උදෙසා මනුෂ්‍යයෙකු බවට පත් වීමෙන්, උන් වහන්සේ දුක් විඳීම හා අගෞරවයට පත්වීම විඳ දරාගත් සේක. එසේම උන් වහන්සේ නැවත තේජසින් යුක්තව පැමිණෙනු ඇත. මේ සම්බන්ධ අනාවැකි අසන්න. ඒවා මෙසේය: එබැවින් මම බොහෝ දෙනෙකු අතරෙහි උන් වහන්සේට කොටසක් බෙදා දෙන්නෙමි, බලවන්තයන් සමගද උන් වහන්සේ කොල්ලය බෙදාගන්නවා ඇත; මෙසේ වන්නේ තමන් ප්‍රාණය මරණයට වගුරුවා දී, වරදකාරයන් සමග ගණන්ගනු ලැබ, උන් වහන්සේම බොහෝ දෙනෙකුගේ පාප උසුලාගත් නිසාය, වරදකාරයන් උදෙසාද උන් වහන්සේ මැදහත්කම් කරන සේක. බලව, මාගේ සේවකයා නුවණින් ක්‍රියා කරමින් උසස් වී උතුම් වී, ඉතා උත්කෘෂ්ට වෙනවා ඇත. උන් වහන්සේගේ පෙනීම කිසි මනුෂ්‍යයෙකුටත් උන් වහන්සේගේ ස්වරූපය මනුෂ්‍ය පුත්‍රයන්ටත් වඩා අවලක්ෂණව තිබුණු බැවින් බොහෝ දෙනෙක් උන් වහන්සේ නිසා විස්මපත් වුණාක් මෙන්ම, බොහෝ ජාතීන්ගෙන් බුහුමන් ලබනවා ඇත. උන් වහන්සේ බොහෝ ජාතීන්ට ඉසිනවා ඇත; රජවරු උන් වහන්සේ නිසා තමුන්ගේ මුඛ වසාගන්නවා ඇත. මක්නිසාද ඔවුන්ට කියා නුදුන් දේ ඔවුන් දකිනවා ඇත, ඔවුන් නොඇසූ දේ තේරුම්ගන්නවා ඇත. අප විසින් දැන්වූ දේ විශ්වාස කළේ කවුද? ස්වාමින් වහන්සේගේ හස්තය කාට එළිදරව් වීද? මක්නිසාද උන් වහන්සේ ළා පැළයක් මෙන්ද වියළි බිමින් මතු වෙන අංකුරයක් මෙන්ද ඔවුන් ඉදිරියෙහි හටගත්‍ සේක. උන් වහන්සේට රුවවත් ශෝභනකමවත් නැත; අප විසින් උන් වහන්සේ දකින විට උන් වහන්සේ කෙරේ ආශා වීමට ලක්ෂණකමක්ද නැත. උන් වහන්සේ මනුෂ්‍යයන් විසින් සුළු කොට එපා කරනු ලැබූ සේක; වේදනා ඇත්තාවූ දුක දන්නාවූ මනුෂ්‍යයෙක්ය. මනුෂ්‍යයන් විසින් තමුන්ගේ මුහුණ සඟවාගන්න කෙනෙකු මෙන්, උන් වහන්සේ සුළු කරනු ලැබූ සේක, අපිද උන් වහන්සේ නොසැලකුවෙමුව. සැබවින්ම උන් වහන්සේ උසුලාගත්තේ අපේ දුක්ය, දරාගත්තේ අපේ ශෝකය. එසේ වී නුමුත් උන් වහන්සේ දඬුවමද දෙවියන් වහන්සේගෙන් පහරද පීඩාවද ලැබූ කෙනෙකැයි අපි සිතීමුව. නුමුත් උන් වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩි කරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙන දෙන දඬුවම උන් වහන්සේ පිටට පැමුණුණේය; උන් වහන්සේගේ පහරවලින් අපට සුවය ලැබී තිබේ. අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුළා වී, එකිනෙකා තම තමාගේම මාර්ගයට හැරී ගියෙමුව; ස්වාමින් වහන්සේද අප සියල්ලන්ගේ අයුතුකම උන් වහන්සේ පිට තැබූ සේක. උන් වහන්සේට පීඩා කළ විට, උන් වහන්සේ යටත් වී තමන්ගේ මුඛය නෑර සිටි සේක; මරන්ට ගෙන යන බැටළු පැටවකු මෙන්ද බැටළු දෙනක් ලෝම කපන්නන් ඉදිරියෙහි නිශ්ශබ්දව සිටින්නාක් මෙන්ද උන් වහන්සේ තමන් මුඛය නෑර සිටි සේක. උන් වහන්සේ බලාත්කාරකමෙන්ද විනිශ්චයෙන්ද පහකරනු ලැබූ සේක. ජීවත්ව සිටින්නන්ගේ දේශයෙන් උන් වහන්සේ සිඳදමනු ලැබූ බව උන් වහන්සේගේ පරම්පරාවෙහි කවරෙක් කල්පනාකළේද? උන් වහන්සේ තළනු ලැබුවේ මාගේ සෙනඟගේ වරද නිසාය. යෙසායා 52: 13-15, යෙසායා 53: 1-8. ඒ අනුව, උන් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ පසු, සහ උන් වහන්සේ හඳුනන සියලු දෙනා පවා උන් වහන්සේ ප්‍රතික්ෂේප කළෝය. එයට පසුව, උන් වහන්සේ මළවුන්ගෙන් නැඟිට ඔවුන්ට දර්ශනය වී, මේ සියල්ල සිදුවනු ඇතැයි පුරෝකථනය කර ඇති අනාවැකි කියවීමට ඔවුන්ට ඉගැන්වූ සේක. උන් වහන්සේ ස්වර්ගයට නගින බව ඔවුන් දුටු විට, විශ්වාස කොට, එතැන් සිට උන් වහන්සේ විසින් ඔවුන් වෙත එවන ලද බලය ලැබී, සියලු මනුෂ්‍ය වර්ගයා වෙත ගොස්, ඔවුන් මේ කාරණා ඉගැන්වූ අතර, ඔවුහු ප්‍රේරිතයෝ යනුවෙන් හඳුන්වනු ලැබූහ.

51වන පරිච්ඡේදය: ක්‍රිස්තුස් වහන්සේගේ මහිමය

මේ දේවල්වලින් පීඩා විඳින තැනැන් වහන්සේට කිව නොහැකි ආකාරයේ සම්භවයක් ඇති බවත්, උන් වහන්සේගේ සතුරන් පාලනය කරන බවත්, අනාවැකි ආත්මයාණන් වහන්සේ මගින් අපට හඟවන පිණිස, උන් වහන්සේ මෙසේ කතා කළ සේක. උන් වහන්සේ බලාත්කාරකමෙන්ද විනිශ්චයෙන්ද පහකරනු ලැබූ සේක. ජීවත්ව සිටින්නන්ගේ දේශයෙන් උන් වහන්සේ සිඳදමනු ලැබූ බව උන් වහන්සේගේ පරම්පරාවෙහි කවරෙක් කල්පනා කළේද? උන් වහන්සේ තළනු ලැබුවේ මාගේ සෙනඟගේ වරද නිසාය. ඔව්හු උන් වහන්සේගේ මිනී වළ දුෂ්ටයන් අතරෙහි තිබෙන්ට නියම කළෝය, නුමුත් උන් වහන්සේගේ මරණයේදී එය වස්තුකාරයන් සමග විය; මක්නිසාද උන් වහන්සේ අධර්මිෂ්ඨකමක් කළේවත් උන් වහන්සේගේ මුඛයෙහි කිසි ප්‍රයෝගයක් තිබුණේවත් නැත. එහෙත් උන් වහන්සේ පොඩි කරන්ට ස්වාමින් වහන්සේ කැමතිව දුකට පත් කළ සේක. ඔබ උන් වහන්සේගේ ප්‍රාණය පාප පූජාවක් කරන විට උන් වහන්සේ තමන්ගේ වංශය දැක තමන් දවස් වැඩි කරන සේක, ස්වාමින් වහන්සේගේ කැමැත්තද උන් වහන්සේගේ අතෙහි සඵල වන්නේය. උන් වහන්සේ තමන් ආත්ම වේදනාවේ ඵල දැක තෘප්තියට පැමිණෙන සේක. මාගේ ධර්මිෂ්ඨ සේවකයා ස්වකීය දැනගැන්ම කරණකොටගෙන බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨ කරනවා ඇත. ඔවුන්ගේ අයුතුකම්ද උන් වහන්සේම දරාගන්නවා ඇත. එබැවින් මම බොහෝ දෙනෙකු අතරෙහි උන් වහන්සේට කොටසක් බෙදා දෙන්නෙමි, බලවන්තයන් සමගද උන් වහන්සේ කොල්ලය බෙදාගන්නවා ඇත; මෙසේ වන්නේ තමන් ප්‍රාණය මරණයට වගුරුවා දී, වරදකාරයන් සමග ගණන්ගනු ලැබ, උන් වහන්සේම බොහෝ දෙනෙකුගේ පාප උසුලාගත් නිසාය, වරදකාරයන් උදෙසාද උන් වහන්සේ මැදහත්කම් කරන සේක. යෙසායා 53: 8-12. අනාවැකි අනුව උන් වහන්සේ ස්වර්ගයට නගින්නේ කෙසේදැයි පවසා ඇති ආකාරයද අසන්න. එය පවසා ඇත්තේ මෙසේය: ද්වාරයෙනි, තොපගේ හිස් ඔසවව්; සදාකාලික ද්වාරයෙනි, උස්වව්. තේජසේ රජ්ජුරුවෝ ඇතුල් වන සේක. තේජසේ රජ්ජුරුවෝ කවුද? බලපරාක්‍රම සහිත ස්වාමින් වහන්සේය, යුද්ධයෙහි බලසම්පන්නවූ ස්වාමින් වහන්සේය. ද්වාරයෙනි, තොපගේ හිස් ඔසවව්. එසේය, සදාකාලික ද්වාරයෙනි, හිස් ඔසවව්. තේජසේ රජ්ජුරුවෝ ඇතුල් වන සේක. මේ තේජසේ රජ්ජුරුවෝ කවුද? සේනාවල ස්වාමින් වහන්සේය, තේජසේ රජ්ජුරුවෝ උන් වහන්සේය. අනාගතවක්තෘ යෙරෙමියා මේ ගැන පැවසූ දේ අසන්න. ඔහුගේ වචන මෙසේය: බලව, අහසේ වලාකුල් සහිත මනුෂ්‍ය පුත්‍රයෙකුට සමාන කෙනෙක් ඇවිත් පුරාතන තැනන් වහන්සේ වෙතට පැමින්නේය, ඒ තැනන් වහන්සේ ඉදිරියට උන් වහන්සේ පමුණුවනු ලැබූ සේක. උන් වහන්සේගේ දේව දූතයෝ උන් වහන්සේ සමග පැමිණෙති. දානියෙල් 7:13.

52 වන පරිච්ඡේදය: අනාවැකි සමහරක් සම්පූර්ණ වීම

එතැන් පටන්, දැනටමත් සිදු වී ඇති සැම දෙයක්ම අනාගතවක්තෘවරුන් විසින් ඒවා සිදු වීමට පෙර පුරෝකථනය කරන ලද බව අපි ඔප්පු කර ඇත්තෙමු. ඒ හා සමානව පුරෝකථනය කර ඇති නමුත් තවමත් සිදු වීමට නියමිත කාරණා නිසැකවම සිදු වනු ඇතැයි යන්න අපි විශ්වාස කළ යුතුය. ඒවා නිසැකයෙන්ම සම්පූර්ණ වනු ඇත. මක්නිසාද පුරෝකථනය කර තිබෙන කාරණා මේ වන විටත් සම්පූර්ණත්වයට පත්ව ඇති බැවිනි. එසේම ඒවා නොදැන සිටියද, ඉතිරිව ඇති කාරණා නොදන්නා හා ඒවා විශ්වාස නොකළද, ඒවා සම්පූර්ණත්වයට පත් වනු ඇත. මක්නිසාද අනාගතවක්තෘවරුන් උන් වහන්සේගේ පැමිණීම් දෙකක් ප්‍රකාශ කර ඇත: එකක් නම්, නින්දා ලබන හා දුක් විඳින මිනිසෙකු ලෙස උන් වහන්සේගේ පැමිණීම වන අතර, එය දැනටමත් ඉටු වී තිබෙන අතීත සිදුවීමකි. දෙවැන්න වන්නේ, අනාවැකියට අනුව, උන් වහන්සේගේ දේව දූත සේනාව සමග තේජසින් යුක්තව ස්වර්ගයෙන් පැමිණෙන විට, උන් වහන්සේ ජීවත්ව සිටි සියලු මනුෂ්‍යයන්ගේ සිරුරු මරණයෙන් උත්ථාන කරනු ඇත යන්නයි. එසේම අමරණීයභාවය ලබන්නට සුදුසු අයට එය ලබා දෙනු ඇත. එසේම දුෂ්ටයන් සදාකාලික ගින්නෙන් පීඩාවට පත් කිරීමට දුෂ්ට යක්ෂයන් සමග සදාකාල ගින්නට යවනු ඇත. සිදු වීමට නියමිතව ඇති තවමත් සිදු වී නොමැති මේ කාරණා පුරෝකථනය කර ඇති බව අපි ඔප්පු කරමු. අනාගතවක්තෘ එසකියෙල් මෙසේ පැවසීය: සන්ධිය සන්ධියකට බද්ධ වනු ඇත. අස්ථිවලට අස්ථි බද්ධ වනු ඇත. මාංශය නැවත වැඩෙනු ඇත. සැම දණහිසක්ම සමිඳාණන් වහන්සේ ඉදිරියේ දණ නමනු ඇත. සැම දිවක්ම උන් වහන්සේ ස්වාමින් වහන්සේ බව ප්‍රකාශ කරනු ඇත. එසකියෙල් 37: 7-8; යෙසායා 45:24. දුෂ්ටයන් කෙබඳු ආකාරයේ වේදනාවකින් දඬුවම් ලැබිය යුතුද යන්න සම්බන්ධයෙන් මේ ආකාරයෙන් පවසා ඇත. එයට සවන් දෙන්න. මක්නිසාද ඔවුන්ගේ පණුවා නහින්නේවත් ඔවුන්ගේ ගින්න නිවෙන්නේවත් නැත. යෙසායා 66:24. එවිට ඔවුන්ට එයින් යහපතක් සිදු නොවන කල, ඔවුන් පසුතැවිලි වනු ඇත. උන් වහන්සේ තේජසින් යුත්කව පැමිණෙන බව දකින විට යුදෙව්වන් පවසන හා කරන දේ අනාගතවක්තෘ සෙකරියා විසින් පුරෝකථනය කර ඇත්තේ මේ ආකාරයටය: විසිරී සිටින දරුවන් එක්රැස් කරන ලෙස මම සුළං සතරට අණ කරන්නෙමි. උතුරු සුළඟට ඒවා ගෙනෙන ලෙසත්, දකුණු සුළඟ නැවත නොපැමිණෙන ලෙසත් මම අණ කරන්නෙමි. එවිට යෙරුසලමේ මහත් විලාපයක් ඇති වනු ඇත. එනම් මුඛයේ හෝ තොල්වල විලාපය නොව හදවතේ විලාපය වේ. ඔව්හු තමන්ගේ වස්ත්‍ර නොව ඔවුන්ගේ හදවත් ඉරා ගන්නවා ඇත. ගෝත්‍රයෙන් ගෝත්‍රිකයන් වැලපෙනු ඇත. ඉන්පසු ඔවුන් තමන් විසින් සිදුරු කරන ලද තැනැත්තා දෙස බලනු ඇත. එවිට ඔවුන්, “ස්වාමිනි, ඔබ අප ඔබගේ මාර්ගයෙන් වැරදිකරුවන් බවට පත් කළේ ඇයි? අපේ පියවරුන් ආශිර්වාද කළ මහිමය අප ලජ්ජාවට පත් කර තිබේ යනුවෙන් පවසනු ඇත.

53 වන පරිච්ඡේදය: අනාවැකිවල සාරාංශය

අපට තවත් බොහෝ අනාවැකි ඉදිරිපත් කළ හැකි වුවද, ඇහුම්කන් දීමට කන් සහ තේරුම් ගැනීමට හැකියාව ඇති අයට ඒත්තු ගැන්වීම උදෙසා මේවා ප්‍රමාණවත් බවට නිශ්චය කරමු. එවිට මේ මනුෂ්‍යයින්ට, ජුපිටර්ගේ පුතුන් ගැන කියැවෙන ප්‍රබන්ධයන් මෙන්, අප සාක්ෂි ඉදිරිපත් කිරීමට නොහැකි කාරණා ප්‍රකාශ නොකරන බව දැකගත හැකි බවද සලකන්න. කුරුසියේ ඇණ ගසනු ලැබූ මනුෂ්‍යයෙකු, මවනු නොලැබූ දෙවියන් වහන්සේගේ කුළුඳුල් පුත්‍රයා වන බව සහ උන් වහන්සේ පැමිණ මුළු මනුෂ්‍ය වර්ගයා විනිශ්චය කරනු ඇත යැයි අප විශ්වාස කළ යුත්තේ කවර හේතුවක් නිසාද යන්න අපි දක්වමු. උන් වහන්සේගේ පැමිණීමට පෙර සහ මනුෂ්‍යයෙකු ලෙස උපත ලැබීමට පෙර උන් වහන්සේ පිළිබඳ මෙම සාක්ෂි ප්‍රකාශන නොවූයේ නම් සහ ලියා ඇති දේවලට අනුව ඒ අනුව දේවල් සිදු වී ඇති බව අප දුටුවේ නැත්නම් අපි එය විශ්වාස නොකරමු. එනම් යුදෙව්වන්ගේ දේශය විනාශ කරනු ලැබීම සහ සැම ජාතියකම මිනිසුන් ප්‍රේරිතයන් තුළින් උන් වහන්සේගේ ඉගැන්වීම් කරණකොටගෙන ඒත්තු ගන්වනු ලැබීම සහ ඔවුන්ගේ පැරණි පුරුදු ප්‍රතික්ෂේප කරනු ලැබීම යනාදිය අපි දුටුවෙමු. එහිදී රැවටීමට ලක්ව සිටි ඔවුන්ගේ වෙනස්වීම් දුටු කල, ඇත්තෙන්ම අපි පවා, අන්‍ය ජාතීන් අතර සිටින කිතුනුවන් යුදෙව්වන් හා සමාරියයන් අතර සිටින කිතුනුවන්ට වඩා වැඩි බව සහ ඔවුන් වඩාත් සත්‍ය බව දැනගෙන එය දැක ඇත්තෙමු. මක්නිසාද අනෙක් සියලුම මනුෂ්‍ය වර්ගයා අන්‍ය ජාතීන් ලෙස හඳුන්වනු ලබන්නේ අනාවැකි ආත්මයාණන් වහන්සේ විසිනි. එහෙත් යුදෙව් සහ සමාරිත යන ජාතීහූ ඉශ්‍රායෙලයේ ගෝත්‍රය ලෙසත්, යාකොබ්ගේ වංශය ලෙසත් හඳුන්වනු ලබති. යුදෙව්වන් හා සමාරිත ජාතිකයන්ට වඩා අන්‍ය ජාතීන්ගෙන් ඇදහිලිවන්තයන් සිටිය යුතු බවට පුරෝකථනය කර ඇති අනාවැකිය අපි ඉදිරිපත් කරන්නෙමු. එය මෙසේය: දරුවන් නොවැදූ වඳ තැනැත්තිය, ගී කියාපන්න; විළිරුජාව නොවින්ද තැනැත්තිය, ගී හඬ නගා ශබ්ද පවත්වාපන්න. මක්නිසාද පුරුෂයෙක් ඇති තැනැත්තීගේ දරුවන්ට වඩා අත්හරිනු ලැබූ තැනැත්තීගේ දරුවෝ බොහෝ යයි ස්වාමින් වහන්සේ කියන සේක. යෙසායා 54:1. මක්නිසාද සියලුම අන්‍ය ජාතීන් සැබෑ දෙවියන් වහන්සේගෙන් හුදෙකලා වූ අය වන අතර, ඔවුහූ අහක්ව ගොස් ඔවුන්ගේ අත්වල ක්‍රියා කළෝය. එහෙත් යුදෙව්වන් හා සමාරිතයන්, දෙවියන් වහන්සේගේ වචනය අනාගතවක්තෘවරුන් විසින් ඔවුන්ට ලබා දී, ක්‍රිස්තුස් වහන්සේ නිතරම බලාපොරොත්තුවෙන් සිටි අය වූ අතර, උන් වහන්සේ පැමිණෙන විට ඔවුන් උන් වහන්සේ හඳුනාගත්තේ නැති අයයි. එහෙත් සමහර අය පමණක් උන් වහන්සේ විශ්වාස කළ අතර, ඔවුන් ගලවනු ලැබූ බවට යෙසායා අනාගතවක්තෘවරයා කරණකොටගෙන අනාවැකියේ ආත්මයාණන් වහන්සේ මෙසේ දක්වා ඇත. එය ඔවුන්ගෙන් පුද්ගලයෙකු කථා කරන්නා සේ දක්වා ඇත: සේනාවල ස්වාමින් වහන්සේ අපට ස්වල්ප දෙනෙක් ඉතුරු කර නුදුන් සේක් නම් අපි සොදොම මෙන් වී ගොමොරාවටද සමාන වන්නෙමුව. යෙසායා 1:9. මක්නිසාද සොදොම් සහ ගොමෝරා මෝසෙස් විසින් අභක්තික මිනිසුන්ගේ නගර බවට දක්වා ඇත. ඒවා දෙවියන් වහන්සේ ගින්නෙන් හා ගෙන්දගම්වලින් පුළුස්සා දමා විනාශ කර දැමූ සේක. එහි සිටි ආගන්තුකයෙකු සහ උපතින් කල්දියානුවෙකු වූ ලොත් නම් මිනිසෙකු සහ ඔහුගේ දූවරුන්ද හැරෙන්නට ඔවුන්ගේ දේශයේ වාසය කළ වැසියන්ගෙන් කිසිවෙකු බේරාගනු නොලැබිණි. මෙය සැලකිල්ලෙන් බලන අයට ඔවුන්ගේ මුළු රටම පාළුවට ගොස් ඇති බවත්, පුළුස්සා දමා නිසරු බවට පත්ව ඇති බවත් දැකගත හැකිය. අන්‍ය ජාතීන් අතර සිටින අය වඩාත් සත්‍ය හා විශ්වාසවන්ත අය ලෙස පුරෝකථනය කර ඇති ආකාරය පෙන්වීමට, යෙසායා අනාගතවක්තෘවරයා පැවසූ දේ අපි උපුටා දක්වමු. මක්නිසාද ඔහු මෙසේ කීවේය. ඉශ්‍රායෙලය හදවතේ චර්මච්ඡේදනය ලබා නැති අතර, අන්‍ය ජාතීන් මාංසයේ චර්මච්ඡේදනය ලබා නැත. එබැවින් සත්‍යය වැලඳ ගන්නා අය කෙරෙහි ඔප්පු කිරීමට හා විශ්වාසයක් ඇති කිරීමට ප්‍රමාණවත් වන බොහෝ කාරණා ඔවුන් ඔවුන්ගේ ඇස්වලින් දකින විට, ඔවුන්ගේ මතවලට අනුව මෝඩ ලෙස හෝ ඔවුන්ගේ අභිලාෂයන් මගින් පාලනය නොවේ.

54 වන පරිච්ඡේදය: අන්‍යජාතික මිථ්‍යා කථාවල ආරම්භය

එහෙත් කවීන් විසින් නිර්මාණය කරන ලද මිථ්‍යාවන් භාර දෙන අය, ඒවා ඉගෙන ගන්නා තරුණයින්ට ඒ පිළිබඳ කිසිදු සාක්ෂියක් ලබා නොදෙති; එසේ දුෂ්ට යක්ෂයන්ගේ බලපෑමෙන් ඔවුන් විසින් ඒවා පවසනු ලැබ ඇති බවත්, මිනිස් වර්ගයා රැවටීමට හා නොමඟ යැවීමට ඒවා සාදා ඇති බවත් අපි දක්වමු. ක්‍රිස්තුස් වහන්සේ පැමිණීමට නියමිත බවත්, මිනිසුන් අතර අභක්තිකයන්ට ගින්නෙන් දඬුවම් කරනු ලබන බවත් අනාගතවක්තෘවරුන් කරණකොටගෙන ප්‍රකාශ කර ඇති බව ඔවුන් අසා, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තමන් ජුපිටර්ගේ පුත්‍රයන් ලෙස හඳුන්වා ගනිති. එයට හේතුව වන්නේ එසේ පැවසීම කරණකොටගෙන ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව පවසා ඇති කාරණා කවීන් විසින් පවසන ලද අපූර්ව කතාන්දර මෙන් වූ කතා පමණක් බවට මනුෂ්‍යයින් තුළ අදහසක් ඇති කිරීමයි. ක්‍රිස්තුස් වහන්සේ විශේෂයෙන් විශ්වාස කරනු ඇතැයි අනාගතවක්තෘවරුන් විසින් පවසනු ලැබූ ග්‍රීකයන් අතරත්, සියලු ජාතීන් අතරත් (යක්ෂයන්) මේ දේවල් පවසා ඇත. එහෙත් අනාගතවක්තෘවරුන් පැවසූ දේ ඇසීමෙන් ඔවුහු එය නිවැරදිව වටහා නොගත් අතර, වැරදි තේරුම් ගැනීමක සිටින මිනිසුන් මෙන්, ක්‍රිස්තුස් වහන්සේ ගැන පැවසූ දේ අනුකරණය කළහ. එය අපි සරලව පැහැදිලි කරන්නෙමු. අප දැනටමත් පවසා ඇති පරිදි, මෝසෙස් අනාගතවක්තෘවරයා, සියලුම ලේඛකයින්ට වඩා පැරණි කෙනා වන අතර, අප කලින් පවසා ඇති පරිදි, ඔහු මෙසේ පුරෝකථනය කර ඇත: ෂීලෝ එන තෙක් යූදා කෙරෙන් ජය කොන්තයවත් ඔහුගේ පාද අතරෙන් ආණ්ඩුකාරයාගේ සැරයටියවත් පහ නොවන්නේය; මනුෂ්‍ය වර්ගයන්ගේ කීකරුකම ඔහුට වන්නේය. ඔහු තමාගේ කොටළු පැටවා මුද්‍රික වැලේද තමාගේ කොටළු වස්සා සාර වූ මුද්‍රික වැලේද බඳිමින් තමාගේ වස්ත්‍ර මුද්‍රිකපානයෙන්ද තමාගේ සළුව මුද්‍රික යුසයෙන්ද සේදුවේය. උත්පත්ති 49:10. යක්ෂයන්, මේ අනාවැකිමය වචන ඇසූ විට, බාකස් ජුපිටර්ගේ පුත්‍රයා යැයි පවසා, ඔහු මිදි වැල සොයාගත් බව ප්‍රකාශ කළ අතර, මිදි යුෂ (හෝ කොටළුවා) ඔවුන්ගේ අබිරහස් අතර තබා ඇත. එසේම ඔහු කෑලි කෑලිවලට ඉරනු ලැබ දමා ස්වර්ගයට ඔසවා ගන්නා ලද බව ඔවුහු ඉගැන්වූහ. මෝසෙස්ගේ අනාවැකියෙහි, පැමිණීමට නියමිත තැනැත්තා දෙවියන් වහන්සේගේ පුත්‍රයාද යන්නත්, උන් වහන්සේ කොටළුවා මත නැගී යන්නේ පොළොවේ රැඳී සිටින කාලයේද, නැතහොත් ස්වර්ගයට නගින අවස්ථාවේද යන්නත් පැහැදිලිව ප්‍රකාශ කර නොතිබූ නිසාත්, කොටළුවා යන්නට දක්වා ඇති වචනය කොටළු පැටියෙකු හෝ අශ්ව පැටියෙකු හැඳින්වීම උදෙසා භාවිත කරන නිසාත්, පුරෝකථනය කරන ලද තැනැන් වහන්සේ කොටළු පැටියෙකු හෝ අශ්ව පැටියෙකු තමන් වහන්සේගේ පැමිණීමේ සංකේතයක් ලෙස රැගෙන එනවාද යන්න නොදන්නා නිසාත්, නැතහොත් උන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාද යන්න නොදන්නා නිසාත්, අප ඉහත කී පරිදි මිනිසුන් අතරින් අයෙක්ද යන්න නොදැන, මිනිසාගෙන් උපත ලද බෙලරොෆොන්, තම අශ්වයා වන පෙගසස් මත නැගී අහසට ඔසවා ගනු ලැබූ බව පවසා ඇත. තවත් අනාගතවක්තෘ කෙනෙකු වන යෙසායා කන්‍යාවකගෙන් උන් වහන්සේ උපත ලැබිය යුතු බවත්, උන් වහන්සේම ස්වර්ගයට නැඟිය යුතු බවත් ඔවුන් ඇසූ විට, ඔවුහූ එය පර්සියස් සම්බන්ධයෙන් දක්වා ඇති බවට මවා පෑහ. ඉහත සඳහන් කළ පරිදි, කලින් ලියා ඇති අනාවැකිවල, උන් වහන්සේ තමන්ගේ ගමන දුවන්නට ශක්තිමත් යෝධයෙකු මෙන් යැයි ඔවුන් දැනගත් විට, ඔවුන් පැවසුවේ හර්කියුලිස් ශක්තිමත් බවත්, ඔහු මුළු පොළොව පුරාම ගමන් කළ බවත්ය. එසේම නැවතත්, උන් වහන්සේ සැම රෝගයක්ම සුව කළ යුතු බවත්, මළවුන් නැඟිටුවිය යුතු බවත් පුරෝකථනය කර ඇති බව ඔවුහු දැනගත් විට ඔවුහු ඇස්කුලපියස් නිර්මාණය කළහ.

55 වන පරිච්ඡේදය: කුරුසියේ සංකේත

එහෙත්, කිසිම අවස්ථාවක, කිසිවෙකුත් ජුපිටර්ගේ පුතුන් යැයි කියනු ලැබූ කිසිවෙකු හෝ කුරුසියේ ඇණ ගසනු ලැබුවේ නැත. මක්නිසාද එය ඔවුන් තේරුම් නොගත් ‍හෙයින්, ඒ සම්බන්ධයෙන් පවසා ඇති සියල්ල සංකේතාත්මකව තබා ඇත. අනාගතවක්තෘවරයා පුරෝකථනය කළ පරිදි මෙය, එනම් කුරුසිය, උන් වහන්සේගේ බලයේ හා කාර්යභාරයේ ශ්‍රේෂ්ඨතම සංකේතය වේ. අපගේ නිරීක්ෂණයට යටත් වන කරුණු මගින්ද එය සනාථ කර ඇත. මක්නිසාද යත්, මේ ආකාරයෙන් පැවතීමෙන් තොරව ඒවා පරිපාලනය කළ හැකිද, නැතහොත් කිසියම් ප්‍රජාවක් සිටිය හැකිද යන්න ලෝකයේ ඇති සියල්ල සලකා බලන්න. මක්නිසාද යත්, රුවල් නැවක් ලෙස හැඳින්වෙන කුසලානය නැවෙහි ආරක්ෂිතව තිබීමෙන් හැරෙන්නට මුහුද හරහා ගමන් කළ නොහැකිය. උපකරණයක් නොමැතිව පොළොව සී සෑම කළ නොහැකිය: කැණීම් කරන්නන් සහ කාර්මිකයන් මෙම හැඩය ඇති මෙවලම්වලින් හැරෙන්නට ඔවුන්ගේ වැඩ කරන්නේ නැත. මිනිස් ස්වරූපය අතාර්කික සතුන්ගේ ස්වරූපයට වඩා වෙනස් වන්නේ ඔවුන්ට කෙළින් සිටගෙන සිටීමට සහ දෑත් දිගු කිරීමට මෙන්ම නළලක් සහ නහයක් සහිතව මුහුණක් තිබීම සහ එම නහයෙන් ශ්වසනය කිරීමට ජීවියාට හැකි වීම නිසාත්ය. මෙය කුරුසියේ ස්වරූපය හැර වෙනත් ආකාරයක දෙයක හැඩයක් නොගනී. අනාගතවක්තෘවරයා මෙසේ කීවේය: “අපගේ හුස්ම ස්වාමින් වන ක්‍රිස්තුස් වහන්සේය. ඔබ නොදැනුවත්වම එසේ කළත්, බලයේ සංකේතය වන මෙය ඔබගේ රජයේ ලාංඡනය ලෙස භාවිත කරන අතර, ඔබේ සියලු රාජ්‍ය දේපළ සාදා ඇති, කුළුණු සහ කුසලාන ලෙස හඳුන්වන දේ මත මෙම සලකුණ ඇත. මෙම ස්වරූපයෙන් ඔබ ඔබේ අධිරාජ්‍යවරුන් මිය යන විට ඔවුන්ගේ රූප කැප කර, සෙල්ලිපිවලින් දෙවිවරුන් ලෙස නම් කරන්නහුය. එම නිසා, තර්කානුකූලව සහ පැහැදිලි ස්වරූපයෙන් සහ අපගේ උපරිම හැකියාවෙන්, අපි ඔබට මේ කාරණා පවසා සිටින්නේ ඔබ අවිශ්වාස කළත්, දැන් අපි අපේ කොටස සිදු කර අවසන් බැවින්, අපි නිර්දෝෂී බව දනිමු.

56 වන පරිච්ඡේදය: යක්ෂයෝ තවමත් මිනිසුන් නොමඟ යවති

එහෙත් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට පෙර, ජුපිටර්ගේ පුත්‍රයන් යැයි කියනු ලැබූ අය ඔහුගෙන් උපත ලබා ඇති බවට පැවසීම මගින් නපුරු ආත්ම සෑහීමකට පත් නොවූහ. එහෙත් උන් වහන්සේගේ පැමිණීමෙන් පසුව සහ මනුෂ්‍යයන් අතර ඉපදීමෙන් පසුව, අනාගතවක්තෘවරුන් විසින් උන් වහන්සේ පිළිබඳ පුරෝකථනය කර ඇති අයුරු ඔවුන් දැනගත් පසු, එනම් උන් වහන්සේ සැම ජාතියක් විසින්ම සොයනු ලබන බව සහ විශ්වාස කරනු ලබන බවත් දැනගත් පසු, ඔවුහු නැවතත්, ඉහත සඳහන් කළ පරිදි, වෙනත් මිනිසුන් ඉදිරිපත් කළහ. එනම්, මිනිසුන් බොහෝ දෙනෙකු රවටා, විජ්ජා මගින් බොහෝ බලවත් ක්‍රියා කරන, තවමත් ඔවුන් රැවටීමට ලක් කරන, සමාරිය ජාතිකයින් වන සයිමන් සහ මෙනන්ඩර් ඉදිරිපත් කළහ. අප කලින් කී පරිදි, ක්ලෝඩියස් සීසර්ගේ පාලන සමයේ රෝමයේ රාජකීය නගරයේ සීමොන් ජීවත්ව සිටි අතර, පූජනීය සෙනෙට් සභාව සහ රෝමවරුන්ගේ සෙනඟ පුදුමයට පත් කළේය. ඔබ දෙවියන් මෙන් සලකනු ලබන අන් දෙවිවරුන් මෙන් ඔහුද දෙවියෙකු මෙන් සලකා ඔහුට ගෞරවයෙන් සලකනු ලැබූ අතර, ඔහු උදෙසා පිළිමයක් ඉදි කර ඇත. එබැවින් පූජනීය සෙනෙට් සභාව මෙන්ම ඔබේ ජනතාව සහ ඔබත්, මෙම ස්මාරකය සම්බන්ධ විනිශ්චයකරුවන් විය යුතු යැයි අපි යාච්ඤා කරමු. එනම් එම මිනිසාගේ මූලධර්මවලට යමෙකු හසු වී ඇත්නම්, ඔහුට සත්‍යය ඉගෙනගෙන වැරැද්දෙන් මිදිය හැකි වන පරිදි, ඔබ කැමති නම්, එම පිළිමය විනාශ කර දමන්න.

57 වන පරිච්ඡේදය: පීඩාවට හේතුව

ක්‍රිස්තුස් වහන්සේ පැමිණීමෙන් පසු උන් වහන්සේ සැඟවී සිටිය යුතුය යන්නට කිසි බලපෑමක් කිරීමට ඔවුන්ට නොහැකි විය. දුෂ්ටයන්ට දඬුවම් කිරීමෙන් කිසිදු ගැටුමක් ඇති නොවන බවට මිනිසුන්ට ඒත්තු ගැන්වීමට යක්ෂයන්ට නොහැකිය. එහෙත් මෙය බලපැවැත්විය හැක්කේ, අතාර්කික ලෙස ජීවත් වන, දුෂ්ට සිරිත් විරිත්වලට අනුව දුෂ්ටකමේ හැදී වැඩුණු සහ ඔවුන්ගේම මතවලින් අගතියට පත් වන අය විසින් අප මරා දමා අපට වෛර කරනු ලැබීම මගිනි. අපි ඔවුන්ට වෛර කරන්නේ නැතිවා පමණක් නොව, අප විසින් ඔප්පු කරනු ලැබ ඇති පරිදි, ඔවුන් කෙරෙහි අනුකම්පා කරමින් ඔවුන් පසුතැවිල්ලට ගෙන ඒමට උත්සහාහ කරන්නෙමු. මක්නිසාද අප නිසැක ලෙසම මරණයට පත් විය යුතු බව පිළිගන්නා බැවින්, අපි මරණයට බිය නොවෙමු. එහි අලුත් දෙයක් ඇත්තේ නැත. එහෙත් පරිපාලනයේදී මේ කාරණා සියල්ල එක හා සමාන ලෙසම නොකඩවම සිදු වෙයි. මේ දේවල්වලින් ඔවුන් අවුරුද්දක්වත් තෘප්තියට පත්වුවහොත්, ඔවුන් අපගේ ඉගැන්වීම්වලට අවධානය යොමු කළ යුතුය. එවිට ඔවුන් සදාකාලික දුක් විඳීමෙන් හා අවශ්‍යතාවලින් නිදහස්ව ජීවත් වනු ඇත. එහෙත් මරණයෙන් පසු කිසිවක් නොමැති බව ඔවුන් විශ්වාස කරන්නේ නම් සහ මිය යන අය අසංවේදීභාවයට පත් වන බව ප්‍රකාශ කරන්නේ නම්, ඔවුන් මේ ජීවිතයේ දුක් වේදනා හා අවශ්‍යතාවලින් නිදහස් කරනු ලබන බවට පිළිගෙන ඔවුන් අපගේ ප්‍රතිලාභීන් බවට පත් වනු ඇත. එමෙන්ම ඔවුහු තමන්ම දුෂ්ට සහ අමානුෂික මෙන්ම ආත්මාර්ථකාමී අය බවට ඔප්පු කරති. මක්නිසාද ඔවුන් අප ගලවා ගැනීමේ අදහසින් තොරව අප මරා දමන බැවිනි. එහෙත් අපට ජීවිතය හා සතුට අහිමි වන පිණිස අප කපා දමන්න.

58 වන පරිච්ඡේදය: මිථ්‍යාදෘෂ්ටිකයන් නැගිටුවති

අප කලින් කී පරිදි, යක්ෂයෝ පොන්තස්ගේ මාෂියන් ඉදිරිපත් කරති. ඔහු දැන් පවා දෙවියන් වහන්සේ ස්වර්ගයේ හා පොළොවේ සැම දෙයක්ම මැවූ බවත් ප්‍රතික්ෂේප කිරීමටත්, අනාගතවක්තෘවරුන් විසින් පුරෝකථනය කරන ලද දෙවියන් වහන්සේගේ පුත්‍රයා ක්‍රිස්තුස් වහන්සේ බව ප්‍රතික්ෂේප කිරීමත් මිනිසුන්ට උගන්වන්නේය. එසේම සියල්ලන්ගේ මැවුම්කරුවාණන් වහන්සේ නොව වෙනත් දෙවියෙකු ගැන දේශනා කරන්නේය. ඒ ආකාරයෙන්ම වෙනත් පුත්‍රයෙකු ගැන දේශනා කරන්නේය. බොහෝ දෙනෙක් මේ මිනිසා විශ්වාස කරන්නේ, ඔහු පමණක්ම සත්‍යය දන්නා සේය. එසේම ඔවුහු ඔවුන් පවසන දෙයට සාක්ෂි නොමැති වුවද අපට සිනාසෙති. එහෙත් ඔවුහු අතාර්කික ලෙස, වෘකයෙකු විසින් ගෙන යනු ලබන බැටළු පැටවුන් ලෙස, අදේවවාදී ඉගැන්වීම්වල සහ යක්ෂයින්ගේ ගොදුරු බවට පත් වෙති. මක්නිසාද යක්ෂයන් ලෙස හඳුන්වනු ලබන අය, මනුෂ්‍යයින් ඔවුන්ගේ මැවුම්කාර දෙවියන් වහන්සේගෙන් සහ උන් වහන්සේගේ කුළුඳුලා වූ ක්‍රිස්තුස් වහන්සේගෙන් මිනිසුන් වෙනත් මගකට යොමු කිරීම හැරෙන්නට වෙනත් කිසිවක් නොකරති. පොළොවට ඉහළින් නැඟී සිටීමට නොහැකි වූ අයට, මේ ලෝකයේ දේවලටත්, ඔවුන්ගේම අත්වල වැඩයටත් නමස්කාර කරන පිණිස යක්ෂයෝ පහර දුන්නෝය. දැනුත් පහර දෙන්නෝය. එහෙත් දිව්‍යමය දේ ගැන මෙනෙහි කිරීමට කැපවන අය යක්ෂයින්ට රහසින් ප්‍රතිප්‍රහාර එල්ල කරති. මනුෂ්‍යයින්ට ප්‍රඥාවන්ත සිහිකල්පනාවෙන් යුත් මනසක් හා නිර්මල හා උද්‍යෝගිමත් ජීවිතයක් නොමැති නම්, යක්ෂයෝ අ‍දේවවාදය කරා ඔවුන් තල්ලු කරති.

59 වන පරිච්ඡේදය: ප්ලේටෝගේ මෝසෙස්ට ඇති අවනතභාවය

එය අපගේ ගුරුවරුන්ගෙන් ලැබුණු බව ඔබ ඉගෙනගන්නා පිණිසය – මෙයින් අපි අදහස් කරන්නේ අනාගතවක්තෘවරුන් හරහා ලබා දී ඇති වාර්තාවෙන් – ප්ලේටෝ ඔහුගේ ප්‍රකාශය ණයට ගත් බවය. එනම්, දෙවියන් වහන්සේ කිසි හැඩයක් නොතිබූ පදාර්ථ වෙනස් කර ලෝකය මැවූ බව කීමේදී මෝසෙස් තුළින් පැවසූ එම වචනම අසන්නට ලැබේ. ඉහත පෙන්වා ඇති දී ඇති පරිදි, මෝසෙස් පළමු අනාගතවක්තෘවරයා වූ අතර, ග්‍රීක ලේඛකයින්ට වඩා පැරණිම කෙනා විය. දෙවියන් වහන්සේ මුලින් ලෝකය නිර්මාණය කළේ කෙසේද සහ කුමන ද්‍රව්‍යවලින්ද යන්න නිරූපණය කරමින් අනාවැකියේ ආත්මයාණන් වහන්සේ මෝසෙස් තුළින් මෙසේ කථා කළ සේක: පටන්ගැන්මෙහිදී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවූ සේක. පොළොව වනාහි පාළුව හිස්ව තිබුණාය; ගැඹුර පිට අන්ධකාරය විය. දෙවියන් වහන්සේගේ ආත්මය ජල මතුයෙහි හැසිරෙමින් සිටි සේක. දෙවියන් වහන්සේ: එළිය වේවයි කී සේක; එවිට එළිය විය. එබැවින් ප්ලේටෝ සහ ඔහු සමඟ එකඟ වන අය මෙන්ම, අපද එය ඉගෙනගෙන ඇති අතර, ඔබටත් එය ඒත්තු ගැන්විය හැකිය. එනම්, මෝසෙස් කරණකොටගෙන කලින් කථා කළ ආකාරයට, දෙවියන් වහන්සේගේ වචනයෙන් මුළු ලෝකයම කිසිම දෙයක් ‍භාවිත නොකර සැදූ බවය. එරෙබස් ලෙස හඳුන්වන කවියාද, කලින් මෝසෙස් විසින් පවසන ලද දේ කී බව අපි දනිමු. ද්විතීය කථාව 32:22.

60 වන පරිච්ඡේදය: ප්ලේටෝගේ කුරුසියේ මූලධර්මය

ප්ලේටෝගේ ටිමියස් කෘතියෙහි, දෙවියන් වහන්සේගේ පුත්‍රයා පිළිබඳ භෞතික විද්‍යාත්මක සාකච්ඡාවේ එක් ස්ථානයක ඔහු දක්වන පරිදි, උන් වහන්සේ ඔහු විශ්වයේ හරස් අතට තැබූ සේක යන කාරණය කලින් වූ ලෙසින්ම, ඔහු මෝසෙස්ගෙන් ණයට ගෙන ඇත. මන්ද, මෝසෙස්ගේ ලියවිලිවල, ඉශ්‍රායෙලිතයන් මිසරයෙන් පිටත් වී පාළුකරයේ ගත කල කාලයේදී, මිනිසුන් මරණයට පත් කළ විෂ සහිත මෘගයන්ගෙන් සහ සැම වර්ගයකම සර්පයන්ගෙන් විනාශයට පත් වූයේ කෙසේද යන්න දක්වා ඇත. එයින් මිනිස්සු වෙනත් අතකට හරවන ලදහ. එහිදී මෝසෙස් දෙවියන් වහන්සේගේ ආනුභාවයෙන් හා බලපෑමෙන් යුක්තව, පිත්තල රැගෙන එයින් කුරුසියක රූපයක් සාදා, එය ශුද්ධ ශුද්ධ මණ්ඩපයේ තැබුවේය. පසුව ඔහු ජනතාවට කථා කොට මෙසේ කීවේය: “දෂ්ට කරනු ලැබූ කවරෙක් නුමුත් ඒ දෙස බලා විශ්වාස කළහොත් ඔබ ජීවත් වන්නෙහිය.” ගණන් කථාව 21:8. එසේ සිදු කළ විට, සර්පයන් මිය ගිය බවත්, එසේ ජනතාව මරණයෙන් බේරුණු බවත් වාර්තා කර ඇත. ප්ලේටෝ ඔහු විසින් කියවන ලද දෙය ඔහුට නිරවද්‍ය ලෙස අවබෝධ කර ගැනීමට නොහැකි වීමෙන්, ඔහු එය කුරුසියේ රූපය බවට තේරුම් නොගෙන, එය හරස් අතට තැබීමක් ලෙස සලකමින්, දෙවියන් වහන්සේට පසුව විශ්වයේ තිබෙන පළමුවන බලය හරස් අතට තබා ඇති බව ඔහු පැවසුවේය. ඔහු තුන්වැන්නෙක් සම්බන්ධයෙන් පවසන දේ පවසා ඇත්තේ, අප ඉහත කී පරිදි, දෙවියන් වහන්සේගේ ආත්මය ජල මතුයෙහි හැසිරෙමින් සිටි සේක, යන මෝසෙස් විසින් පවසන ලද දේ කියවා තිබෙන නිසාය. ඔහු ලොගොස්, එනම් දෙවියන් වහන්සේ සමග සිටින වාක්‍යාණන් දෙවන ස්ථානයේ තබමින් පවසන්නේ, උන් වහන්සේ විශ්වයේ හරස් අතට තබා ඇති බවයි. එසේම තුන්වන ස්ථානය ජල මතුයෙහි හැසිරෙමින් සිටින බවට කියනු ලැබූ ආත්මයාණන් වහන්සේට ලබා දෙන්නේ, විශ්වයේ තුන්වැන්නා බව පවසමිනි. එසේම ගින්නක් ඇති විය යුතු බවට අනාවැකියේ ආත්මයාණන් වහන්සේ මෝසෙස් තුළින් ඇඟවූ ආකාරය අසන්න. ඔහු මෙසේ කීවේය: මක්නිසාද මාගේ උදහසින් සදාකාලික ගින්නක් ඇවිළී, ගැඹුරු පාතාලය දක්වාම දැවී යන්නේය, ද්විතීය කථාව 32:22. ඒ අනුව, කිතුනුවන් වන අප අන් අය මෙන් එකම අදහස නොදරන නමුත්, ඔවුහු සියල්ලෝම අපගේ අදහස් අනුකරණය කරමින් කථා කරන්නෝය. අකුරුවල හැඩයක් පවා නොදන්නා, නූගත්, කථාවේ අදක්ෂ, එහෙත් ප්‍රඥාවන්ත හා මනසින් විශ්වාස කරන අයගෙන් අපට මේ දේවල් අසා දැනගත හැකිය. සමහරු, සැබවින්ම ආබාධිත සහ ඇස් පෙනීම නැති අයයි. ඒ අනුව, මේ දේවල් මිනිස් ප්‍රඥාවේ බලපෑමෙන් නොව දෙවියන් වහන්සේගේ බලයෙන් ප්‍රකාශ කරන ලද බව ඔබට වැටහෙනු ඇත.

61 වන පරිච්ඡේදය: කිතුනු බෞතීස්මය

අප ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන අලුත් කරනු ලැබූ කල, අප දෙවියන් වහන්සේට කැප වූයේ කෙසේද යන්නද මම විස්තර කරන්නෙමි. අප එම කරුණ මඟහැරියහොත්, අප කරන පැහැදිලි කිරීමට අප අයුක්තියක් සිදු කරන බවක් පෙනේ. අප උගන්වන කාරණා හා පවසන කාරණා සත්‍යය යැයි විශ්වාස කිරීමට බොහෝ දෙනා ඒත්තුගෙන ඇති නිසාත්, ඒ අනුව ජීවත් වීමට කටයුතු කරන නිසාත්, ඔවුන්ගේ අතීත පාපවලට සමාව දෙන ලෙසට දෙවියන් වහන්සේට යාච්ඤා කිරීමටත්, නිරාහාරව සිටීමටත් ඔවුන්ට උපදෙස් ලබා දෙන අතර, අපිද ඔවුන් සමග යාච්ඤා කරමින් නිරාහාරව සිටිමු. පසුව අපි ඔවුන් ජලය ඇති තැනකට ගෙන ගොස්, අපද නැවත උත්පාදනය කරනු ලැබූ ලෙසම, ඔවුන් නැවත උත්පාදනය කරමු. මක්නිසාද යත්, විශ්වයේ පියාණන් වහන්‍සේ හා ස්වාමින් වහන්සේ වන දෙවියන් වහන්සේගේ නාමයෙන් සහ අපගේ ගැලවුම්කාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ හා ශුද්ධාත්මයාණන් වහන්සේගේ නාමයෙන්, ඔවුන් වතුරෙන් සේදීම ලබන නිසාය. මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේද “ඔබ නැවත ඉපදුණොත් මිස ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නහුය, යනුවෙන් පැවසූ සේක. යොහන් 3:5. වරක් ඉපදුණු අයට, නැවතත් මව්වරුන්ගේ කුස ​​තුළට ඇතුළු විය නොහැකි බව අප සියලු දෙනාට දැන් පැහැදිලිව පෙනේ. එසේම මා ඉහත ලියා ඇති පරිදි, පව් කළ අය පසුතැවිල්ල කරණකොටගෙන ඔවුන්ගේ පාපවලින් නිදහස් වන්නේ කෙසේද යන්න, යෙසායා අනාගතවක්තෘවරයා විසින් ප්‍රකාශ කරනු ලැබේ. ඔහු මෙසේ ප්‍රකාශ කරයි: නුඹලාගේ අත් ලෙයින් පිරී තිබේ. නුඹලා සෝදාගෙන පවිත්‍ර වෙයල්ලා; නුඹලාගේ ක්‍රියාවල නපුරුකම මාගේ ඇස් ඉදිරියෙන් පහකර නපුරුකම් කිරීමෙන් වැලකියල්ලා. යහපත්කම් කරන්ට ඉගෙනගනිල්ලා; යුක්තිය සොයා, බලාත්කාරය මැඩපවත්වාපල්ලා, මවුපියන් නැත්තාට යුක්තිය කර, වැන්දඹුවගේ නඩුව අසාපල්ලා. ඉතින් වරෙල්ලා, අපි කාරණා කථා කරගනිමු යයි ස්වාමින් වහන්සේ කියන සේක. නුඹලාගේ පව් රතු පාට මෙන් තිබෙන නුමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේය; ඒවා ලාක්ෂා මෙන් රතුව තිබෙන නුමුත් සුදු ලොම් මෙන් වන්නේය. නුඹලා කැමතිව කීකරු වන්නහු නම්, දේශයේ සාරවත්කම භුක්ති විඳින්නහුය. නුඹලා අකමැතිව කැරලිගසන්නහු නම්, කඩුවෙන් මැරුම් කන්නහුය. මක්නිසාද ස්වාමින් වහන්සේගේ මුඛය එය වදාළ සේක. යෙසායා 1: 16-20.

අප ප්‍රේරිතයන්ගෙන් මෙම චාරිත්‍රය ඉගෙනගෙන තිබෙන්නේ මේ හේතුව නිසාය. අපේ දෙමව්පියන් එකට එකතු වී අප බිහි කළ නිසාත්, එසේම අප උපත ලබන අවස්ථාවේදී අප ඉපදුණේ අපේම දැනුමක් අනුව හෝ අපගේම තෝරා ගැනීමක් අනුව නොවන නිසාත්, අප අවශ්‍යතාවයේ හා නොදැනුවත්කමේ දරුවන් ලෙස නොසිටින පිණිසත්, අප නරක පුරුදු හා නපුරු පුහුණුව සහිතව ඇති දැඩි කරන ලද නිසාත්, තෝරාගැනීමේ හා දැනුමේ දරුවන් බවට පත්වීම උදෙසා සහ අප විසින් කලින් සිදු කරන ලද පාපවලට සමාව ලබා ගැනීම උදෙසා වතුරෙන් පවිත්‍ර වීම ලබා ගැනීම සඳහා, නැවත ඉපදීමට තෝරා ගන්නා සහ තමාගේ පාපවලට පසුතැවිලි වීමට තෝරාගන්නා තැනැත්තා, පියාණන් වහන්සේ වන දෙවියන් වහන්සේගේ සහ විශ්වයේ ස්වාමින් වහන්සේගේ නාමයෙන්, වතුරෙන් සෝදනු ලැබීමට ලක් වන පුද්ගලයා මෙම නාමයෙන් පමණක් කැඳවමින්, ඔහු ඒ සඳහා මගපෙන්වන පුද්ගලයා විසින් එම තැනැත්තා බෞතීස්ම කරනු ලැබේ. මක්නිසාද කිසිවෙකුට කිව නොහැකි තරම් උතුම් දෙවියන් වහන්සේගේ නාමය උච්චාරණය කළ නොහැකි බැවින්, වෙනත් කිසියම් නාමයක් ඇති බව පැවසීමට එඩිතර වන්නේ නම්, ඔහු බලාපොරොත්තු රහිත, උමතුවෙන් දොඩවන තැනැත්තෙකි. මේ දේවල් ඉගෙන ගන්නා අය ඔවුන්ගේ අවබෝධය තුළ ආලෝකවත් කරනු ලබන නිසා, මෙම සේදීම ආලෝකකරණය ලෙස හඳුන්වනු ලැබේ. එසේම පොන්තියුස් පිලාත් යටතේ කුරුසියේ ඇණ ගසනු ලැබූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්ද, අනාගතවක්තෘවරුන් තුළින් යේසුස් වහන්සේ පිළිබඳ සියල්ල පුරෝකථනය කළ ශුද්ධාත්මයාණන් වහන්සේගේ නාමයෙන්ද, ආලෝකවත් කරනු ලැබූ තැනැත්තා සෝදනු ලැබෙයි.

62 වන පරිච්ඡේදය: එය යක්ෂයින් විසින් අනුකරණය කරනු ලැබීමකි

ඇත්තෙන්ම, යක්ෂයෝ, අනාගතවක්තෘවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම සේදීම පිළිබඳ අසා, දේවාලවලට ඇතුළු වන අය නපුරට පොලඹවා, ඔවුන්ගේ රූප, පිළිම තබා ඇති දේවාලවලට මනුෂ්‍යයින් ඇතුළු වීමට පෙර දියර පූජා සහ දවන පූජා පවා ඔවුන් මත ඉසිනු ලැබීමට සලස්වති. පසුව මනුෂ්‍යයින් (පූජාවෙන්) ඉවත්ව යන විට, ඔවුන් මුළුමනින්ම ඔවුන්ම සෝදාගනු ලැබිය යුතු තත්වයට පත් කරති. දේවාලවලට ඇතුළු වී නමස්කාර කරන අයට ඔවුන්ගේ සපත්තු ගලවන ලෙසට පූජකයන් විසින් දෙන ලද නියෝගයද, යක්ෂයන්, ඉහත සඳහන් අනාගතවක්තෘ මෝසෙස්ට සිදු වූ දේ ඉගෙනගෙන ඒ දේවල් අනුකරණය කරමින් ලබා දී ඇත. මක්නිසාද යත්, එම අවස්ථාවේදී, මෝසෙස් අරාබි දේශයේ තම මාමාගේ රැළ රැකබලා ගනිමින් සිටියදී, මිසරයට ගොස් එහි සිටි ඉශ්‍රායෙල් ජනයා මුදාගෙන පැමිණෙන ලෙසට අණ ලැබූ විට, අපගේ ක්‍රිස්තුස් වහන්සේ ගිනි ගන්නා පඳුරකින් පෙනී සිටිමින් ඔහුට කථා කළ විට, “ඔබේ පා වහන් ගලවා, ළං වී සවන් දෙන්න” යයි පැවසූ සේක. ඔහු පා වහන් ගලවා එහි ළං වූ විට, ඔහු මිසරයට ගොස් එහි සිටි ඉශ්‍රායල් ජනයා මුදාගෙන මගපෙන්විය යුතු බව පවසනු ඔහුට ඇසුණේය. එසේම ඔහුට ගින්න මධ්‍යයෙන් පෙනී ඔහුට කථා කළ ක්‍රිස්තුස් වහන්සේගෙන් බලවත් බලය ලැබුණු අතර, ඔහු මිසරයට ගොස්, මහත් හාස්කම් සිදු කර, සෙනඟ පිටතට රැගෙන ගියේය. ඒවා දැන ගැනීමට ඔබ කැමති නම්, ඔබට ඔහුගේ ලේඛනවලින් ඒවා නිවැරදිව ඉගෙන ගැනීමට හැකිය.

63 වන පරිච්ඡේදය: දෙවියන් වහන්සේ මෝසෙස්ට දර්ශනය වූ ආකාරය

නමක් නැති දෙවියන් වහන්සේ මෝසෙස්ට කතා කළ බව සියලු යුදෙව්වරු අද පවා උගන්වති. එහෙත්, ඉහත සඳහන් කළ අනාගතවක්තෘ යෙසායා කරණකොටගෙන ඔවුන්ට චෝදනා කරමින් අනාවැකියේ ආත්මයාණන් වහන්සේ, ගොනා උගේ අයිතිකාරයාද කොටළුවා උගේ ස්වාමියාගේ පට්ටියද දනියි. එහෙත් ඉශ්‍රායෙල් දන්නේ නැත, මාගේ සෙනඟ කල්පනා කරන්නේ නැතැයි කියන සේක. යෙසායා 1:3. යේසුස් ක්‍රිස්තුන් වහන්සේද, පියාණන් වහන්සේ යනු කවරෙක්ද යන්න සහ පුත්‍රයාණන් වහන්සේ කවරෙක්ද යන්න යුදෙව්වන් නොදන්නා නිසා ඒ ආකාරයෙන්ම ඔවුන්ට චෝදනා කළ සේක. උන් වහන්සේම මෙසේ පවසූ සේක. පියාණන් වහන්සේ මිස අන් කිසිවෙක් පුත්‍රයා හඳුනන්නේ නැත; පුත්‍රයාත් පුත්‍රයා විසින් යමෙකුට පියාණන් වහන්සේ එළිදරව් කරන්ට සතුටු වන්නේද ඔහුත් හැර අන් කිසිවෙක් පියාණන් වහන්සේ හඳුනන්නේ නැත. මතෙව් 11:27. අප කලින් කී පරිදි, දෙවියන් වහන්සේගේ වාක්‍යාණෝ උන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේය. උන් වහන්සේ දේවදූතයා සහ අපොස්තුළුතුමා ලෙස හැඳින්වේ. මන්ද, අප විසින් දැනගත යුතු සියල්ල උන් වහන්සේ අපට ප්‍රකාශ කරන නිසාත්, එළිදරව් වන සියල්ල ප්‍රකාශ කිරීමට මනුෂ්‍යයින් එවන්නේ උන් වහන්සේ නිසාත්ය. මන්ද අපේ ස්වාමින් වහන්සේම මෙසේ පවසා ඇත. මට සවන් දෙන තැනැත්තා, මා එවූ තැනැත්තාට සවන් දෙන්නේය. ලූක් 10:16. මෝසෙස්ගේ ලියවිලිවලින්ද මෙය පැහැදිලි වේ. මක්නිසාද එම ලියවිලිවල මෙසේ ලියා ඇත. දෙවියන් වහන්සේගේ දූතයා මෝසෙස්ට පඳුරෙන් ගිනිදැල් මැදින් කතා කොට මෙසේ කී සේක. “නුඹලාගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ වන ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවිවූ ස්වාමින් වහන්සේ මමය. මිසරයට ගොස් මාගේ සෙනඟ එයින් මුදාගෙන රැගෙන එන්න. නික්මයාම 3:6. තවද ඉන්පසුව සිදු වූ දේ ඉගෙන ගැනීමට ඔබ කැමති නම්, එම ලියවිලිවලින්ම ඔබට එය ඉගෙනගත හැකිය. මක්නිසාද යත්, මෙහි සියලුම කාරණා සඳහන් කළ නොහැකි බැවිනි. එහෙත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බවත්, උන් වහන්සේගේ දූතයා බවත් ඔප්පු කිරීම පිණිස බොහෝ කාරණා මෙහි ලියා ඇත. උන් වහන්සේ පුරාණයේ වාක්‍යාණෝ වන අතර, සමහර විට ගින්දර ස්වරූපයෙන්ද, සමහර විට දේව දූතයන්ගේ ස්වරූපයෙන්ද පෙනී සිටින සේක එහෙත් දැන්, දෙවියන් වහන්සේගේ කැමැත්තෙන්, මනුෂ්‍ය වර්ගයා උදෙසා මනුෂ්‍යයෙකු බවට පත් වීමෙන් පසු, මෝඩ යුදෙව්වන් කරණකොටගෙන උන් වහන්සේට පමුණුවාලීමට යක්ෂයන් විසින් පොලඹවන ලද සියලු දුක් වේදනා විඳ දරාගත් සේක. එය මෝසෙස්ගේ ලියවිලිවල පැහැදිලිවම සනාථ කර තිබුණේය. එසේම දෙවියන් වහන්සේගේ දූතයා මෝසෙස්ට පඳුරකින් ගිනි දැල්වලින් කතා කොට මෙසේ කී සේක. දෙවියන් වහන්සේගේ දූතයා මෝසෙස්ට පඳුරක ගිනි දැල්ලකින් කතා කොට, “මම මමම වෙමි, මම, ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේද, ඊසාක්ගේ දෙවියන් වහන්සේද, යාකොබ්ගේ දෙවියන් වහන්සේද වෙමි”යි වදාළ සේක. එහෙත්, යුදෙව්වරු මෙය පැවසූ තැනැන් වහන්සේ වූ කලි පියාණන් වහන්සේ බවත්, විශ්වයේ මැවුම්කරුවාණන් වහන්සේ බවත් පවසති. අනාවැකියේ ආත්මයාණන් වහන්සේ ඔවුන්ට තරවටු කොට මෙසේ පැවසූ සේක. එහෙත් ඉශ්‍රායෙල් දන්නේ නැත, මාගේ සෙනඟ කල්පනා කරන්නේ නැත. යෙසායා 1:3. නැවතත්, අප දැනටමත් පෙන්වා ඇති පරිදි, යේසුස් වහන්සේ, ඔවුන් සමඟ සිටියදී, “පියාණන් වහන්සේ මිස අන් කිසිවෙක් පුත්‍රයා හඳුනන්නේ නැත; පුත්‍රයාත් පුත්‍රයා විසින් යමෙකුට පියාණන් වහන්සේ එළිදරව් කරන්ට සතුටු වන්නේද ඔහුත් හැර අන් කිසිවෙක් පියාණන් වහන්සේ හඳුනන්නේ නැතැ”යි පැවසූ සේක. මතෙව් 11:27. ඒ අනුව, යුදෙව්වරු, මෝසෙස්ට කථා කළ තැනැන් වහන්සේ සැබවින්ම දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ එනම්, දේවදූතයා සහ අපෝස්තුළුවරයා වන තැනැන්වහන්සේ වූවද, ඔහුට කතා කළේ විශ්වයේ පියාණන් වහන්සේ බවට මුල සිටම මතයක් දරාගෙන සිටින අතර, අනාවැකියේ ආත්මයාණන් වහන්සේ හා ක්‍රිස්තුස් වහන්සේ යන දෙදෙනාම විසින් යුදෙව්වරු පියාණන් වහන්සේ හෝ පුත්‍රයාණන් වහන්සේ නොදන්නා කාරණය හේතුවෙන් සාධාරණ ලෙස චෝදනාවට ලක් කරනු ලැබෙති. මක්නිසාද පුත්‍රයාණන් වහන්සේ පියාණන් වහන්සේ බව සනාථ කරන අය, පියාණන් වහන්සේ දැන හඳුනාගෙන නැති අතරම, ඔවුහු විශ්වයේ පියාණන් වහන්සේට පුත්‍රයෙකු සිටින බවත් නොදැන සිටිති. එසේම උන් වහන්සේ දෙවියන් වහන්සේගේ කුළුඳුලා වන වාක්‍යාණෝ බවද, උන් වහන්සේ දෙවියන් වහන්සේ බවද ඔවුහූ නොදනිති. පුරාණ කාලයේ උන් වහන්සේ ගින්නෙහි ස්වරූපයෙන්ද, දේවදූතයෙකුගේ ස්වරූපයෙන්ද මෝසෙස්ට හා අනෙක් අනාගතවක්තෘවරුන්ට දර්ශනය වූ සේක. එහෙත් දැන් ඔබගේ පාලන සමයේදී, අප කලින් කී පරිදි, පියාණන් වහන්සේගේ උපදෙස් අනුව, කන්‍යාවකගෙන් උපත ලද මනුෂ්‍යයෙකු බවට පත් වී සිටින සේක. එසේ කළේ උන් වහන්සේ කෙරෙහි අදහන අයගේ ගැලවීම උදෙසාය. උන් වහන්සේ කිසිවක්ම නැති අයෙක් වීම සහ දුක් විඳීම දරාගත් සේක. එසේ වූයේ, මරණයට පත් වීම හා නැවත නැඟිටීම මගින් උන් වහන්සේ මරණය ජය ගන්නා පිණිසය. පඳුර තුළින් මෝසෙස්ට පැවසූ දේ වන, මම මමම වෙමි, මම ඔබේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ වන ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේද, ඊසාක්ගේ දෙවියන් වහන්සේද, යාකොබ්ගේ දෙවියන් වහන්සේද වෙමි, නික්මයාම 3:6, යන්නෙන් ඔවුන් මිය ගිය අය වූ නමුත්, ඔවුන් ජීවත්ව සිටින බවක් ඇඟවේ. එසේම ඔවුන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේට අයත් මනුෂ්‍යයන් බව ඇඟවේ. මක්නිසාද දෙවියන් වහන්සේ සෙවූ සහ උන් වහන්සේ අනුගමනය කළ පළමු මිනිසුන් ඔවුන් වූ බැවිනි. මෝසෙස් ලියූ පරිදි, ආබ්‍රහම් ඊසාක්ගේ පියා වූ අතර, යාකොබ්ගේ ඊසාක්ගේ පියා විය.

64 වන පරිච්ඡේදය: සත්‍යය පිළිබඳ වැරදි අර්ථ නිරූපණය කිරීම් තවදුරටත්

මෝසෙස් පැවසූ දේ අනුකරණය කරමින් යක්ෂයන්, ප්‍රොසර්පයින් ජුපිටර්ගේ දියණිය බවට තරයේ කියා සිටි අතර, කෝරේ [කෝරා, එනම්, තරුණිය හෝ දියණිය] නමින්, ප්‍රධාන ස්ථානවල ඇය වෙනුවෙන් පිළිමයක් සැකසීමට ජනතාව පොලඹවා ගත් අයුරු, දැනටමත් පවසා ඇති කාරණාවලින් ඔබට තේරුම්ගත හැකිය. මක්නිසාද අප ඉහත ලියා ඇති පරිදි, “පටන්ගැන්මෙහිදී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවූ සේක. පොළොව වනාහි පාළුව හිස්ව පැවතුණාය. දෙවියන් වහන්සේගේ ආත්මය ජල මතුයෙහි හැසිරෙමින් සේක” යනුවෙන් මෝසෙස් පැවසුවේය. එමනිසා, දෙවියන් වහන්සේගේ ආත්මය ජල මතුයෙහි හැසිරෙමින් සිටි සේක, යන්න අනුකරණය කරමින් ප්‍රොසර්පයින් [හෝ කෝරා] ජුපි‍ටර්ගේ දියණිය බව ඔවුහු ප්‍රකාශ කළහ. ඒ හා සමානවම, මිනර්වා ලිංගික එකමුතුවකින් තොරව ඉපදුණු ජුපිටර්ගේ දියණිය බවටත්, කපටිකමින් යුක්තව බොරුවට ඇඟවූහ. එහෙත් දෙවියන් වහන්සේ වාක්‍යාණෝ කරණකොටගෙන පිළිසිඳගෙන ලෝකය මැවූ බව දැනගෙන, මිනර්වා යනු පළමු සංකල්පය බව [ἔννοια] ඔවුහු පවසති. එය එම සංකල්පයේ ස්වරූපය කාන්තා ස්වරූපයකින් ඉදිරියට ගෙන ඒමේ ඉතාම හාස්‍යජනක කාරණයක් ලෙස අපි සලකමු. ඒ හා සමානවම, ජුපිටර්ගේ පුත්‍රයන් ලෙස හඳුන්වන අනෙක් අයගේ ක්‍රියාවන් මගින්ම ඔවුන් නුසුදුසු අය බවට ප්‍රමාණවත් තරම් කරුණු ලැබේ.

65 වන පරිච්ඡේදය: සක්‍රමේන්තු ලබා දීම

එහෙත් අපි, අපගේ ඉගැන්වීම්වලින් ඒත්තු ගැන්වී එයට එකඟ වූ තැනැත්තා ඒ ආකාරයෙන් සෝදනු ලැබීමෙන් පසුව, සහෝදරයන් යැයි කියනු ලබන අය එක්රැස් වන ස්ථානයට ඔහු රැගෙන එමු. එවිට අප වෙනුවෙන් සහ බෞතීස්ම [ආලෝකමත්] වූ පුද්ගලයා වෙනුවෙන් සහ සියලුම ස්ථානවල සිටින අන් සියල්ලන් උදෙසාත්, පොදු හෘදයාංගම යාච්ඤාවන් සිදු කිරීමට අපට හැකිය. එවිට අප දැන් අප සත්‍යය ඉගෙනගෙන ඇති හෙයින්, අප වටිනා අය යැයි ගණන් ගනු පිණිස, දැන් අපගේ ක්‍රියාවලින් පවා යහපත් පුරවැසියන් හා ආඥා පිළිපදින්නන් ලෙස අපට පැවතීමට හැකි වන පරිදි, සදාකාලික ගැලවීමකින් අප ගලවා ගැනීමට හැකි දෙවියන් වහන්සේට ස්තුති කරමු. යාච්ඤා අවසන් කිරීමෙන් පසු අපි එකිනෙකාට සිඹීමකින් ආචාර කරමු. ඉන්පසු සහෝදරයන්ගේ මූලිකයා වෙත පාන් සහ වතුර සමග මිශ්‍ර කළ වයින් කෝප්පයක් ගෙන එනු ලබන අතර, ඔහු ඒවා රැගෙන, පුත්‍රයාණන් වහන්සේගේ හා ශුද්ධාත්මයාණන් වහන්සේගේ නාමයෙන් විශ්වයේ පියාණන් වහන්සේට ප්‍රශංසාව හා මහිමය ලබා දෙයි. එසේම, මේ දේවල් උන් වහන්සේගේ අතින් ලැබීමට සුදුස්සන් ලෙස අප ගණන් ගනු ලැබීම ගැන උන් වහන්සේට ස්තුතිවන්ත වෙමින් සැලකිය යුතු කාලයක් ගත කරයි. ඔහු යාච්ඤා සහ ස්තුති දීම් අවසන් කළ පසුව, එහි පැමිණ සිටි සියලු දෙනා ආමෙන් කියමින් ඔවුන්ගේ එකඟතාවය ප්‍රකාශ කරති. මෙම ආමෙන් යන වචනය හෙබ්‍රෙව් භාෂාවෙන් γένοιτο [එය එසේ වේවා] යනුවෙන් පිළිතුරු දීම වන්නේය. මූලිකයා ස්තුති කළ පසුව සහ සියලු ජනතාව එයට එකඟතාවය ප්‍රකාශ කළ පසුව, අප විසින් උපස්ථායකයන් ලෙස හඳුන්වනු ලබන අය, පැමිණ සිටි සැම කෙනෙකුටම, ස්තුති ප්‍රකාශය ප්‍රකාශ කළ පාන් සහ ජලය සමග මිශ්‍ර කළ වයින් පානය කිරීමට ලබා දේ. එසේම නොපැමිණි අය වෙනුවෙන් කොටසක් ඔවුහු රැගෙන යති.

66 වන පරිච්ඡේදය. සත්ප්‍රසාදය සම්බන්ධයෙන්

මෙම ආහාරය අප අතර [αριστία] සත්ප්‍රසාදය නමින් හැඳින්වේ. අප උගන්වන දේවල් සත්‍යය යැයි විශ්වාස කරන, පව් කමාව කරණකොටගෙන පාපයෙන් පවිත්‍ර වී ඇති, නැවත උත්පාදනය ලද සහ ක්‍රිස්තුස් වහන්සේ අණ කළ පරිදි ජීවත් වන අයට මිස, අන් කිසිවෙකුට මෙයට සහභාගි වීමට අවසර ඇත්තේ නැත. මක්නිසාද යත් අප මේවා ලබා ගන්නේ සාමාන්‍ය පාන් සාමාන්‍ය බීම ලෙසට නොවන නිසාත්, අපගේ ගැලවුම්කාරයාණන් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, දෙවියන් වහන්සේගේ වාක්‍යාණෝ කරණකොටගෙන මාංශවත් කරනු ලැබ, අපගේ ගැලවීම සඳහා මාංශය හා රුධිරය බවට පත් වී ඇති බැවින්, ඒ හා සමාන ලෙසම එය උන් වහන්සේගේ වචනයේ යාච්ඤාවෙන් ආශිර්වාද ලත් ආහාර බවට පත් කර ඇති බවට අපට උගන්වනු ලැබ ඇති නිසාත්ය. අපගේ රුධිරය හා මාංශය පරිවර්තනය මගින් පෝෂණය කරනු ලබන්නේ, මාංශයක් බවට පත් වූ යේසුස් වහන්සේගේ මාංසය හා රුධිරයයි. මක්නිසාද ප්‍රේරිතයන්, ඔවුන් විසින් රචනා කරන ලද සුවිශේෂයන් ලෙස හඳුන්වන ලද සටහන්වල, ඔවුන්ට අණ කළ දේ අපට භාර දී තිබේ. යේසුස් වහන්සේ රොටි ගෙන ස්තුති කොට කඩා, ඔවුන්ට දී: මේ නුඹලා උදෙසා දෙන ලද මාගේ ශරීරයය; මා සිහිකිරීම පිණිස මේක කරපල්ලා යයි කී සේක. ලූක් 22:19. එලෙසම රාත්‍රී කෑමට පසු කුසලාන දී: මේ කුසලාන නුඹලා උදෙසා වගුරුවන මාගේ ලෙයෙහි අලුත් ගිවිසුමය යයි පවසමින් ඔවුන්ට පමණක් එය ලබා දුන් සේක. එය දුෂ්ට යක්ෂයෝ මිත්‍රාස්ගේ අභිරහස්වලදී, ඒ දේම කළ යුතු බවට අණ කරමින්, අනුකරණය කරති. මක්නිසාද යත්, ඔවුන්ගේ ගුප්ත චාරිත්‍ර මගපෙන්වන තැනැත්තා මන්ත්‍ර ජප කරමින් පාන් සහ වතුර කෝප්පයක් තබන බව, ඔබ දැනටමත් දන්නවා ඇත. නොඑසේ නම් ඔබට එය දැනගත හැකිය.

67 වන පරිච්ඡේදය: කිතුනුවන්ගේ සතිපතා නමස්කාරය

ඉන්පසුව අපි එකිනෙකාට මේ දේවල් දිගින් දිගටම මතක් කරමු. අප අතර සිටින ධනවත්තු අගහිඟකම් ඇති අයට උපකාර කරති. එසේම අපට සපයා ඇති සැම දෙයක්ම අපි සැම විටම එක්ව තබාගනිමු. සියල්ලන්ගේ මැවුම්කරුවාණන් වහන්සේට උන් වහන්සේගේ පුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් සහ ශුද්ධාත්මයාණන් කරණකොටගෙන අපි ආශිර්වාද කරමු. එසේම ඉරිදා යනුවෙන් හැඳින්වෙන දිනයේ, නගරවල හෝ ගමෙහි හෝ වෙසෙන සියල්ලන්ම එක තැනකට රැස් වන අතර, අපට ලැබෙන කාලයට අනුව, ඔවුන්ගේ අපෝස්තුළුවරුන්ගේ සටහන් හෝ අනාගතවක්තෘවරුන්ගේ ලියවිලි එහිදී කියවනු ලැබේ. කියවන තැනැත්තා එය අවසන් කළ පසුව, මූලිකයා වාචිකව උපදෙස් දී, මෙම යහපත් දේ අනුකරණය කිරීමට ධෛර්ය දෙමින් අවවාද කරයි. ඉන්පසුව අපි සියලු දෙනාම නැගිට එකට යාච්ඤා කරමු. අප කලින් කී පරිදි, අපගේ යාච්ඤාව අවසන් වූ පසුව පාන්, ජලය මිශ්‍ර කළ වයින් ගෙන එනු ලබන අතර, මූලිකයා ඒ ආකාරයෙන්ම ඔහුගේ හැකියාවට අනුව යාච්ඤාවන් සහ ස්තුති පූජා පවත්වයි. එවිට එහි සිටින ජනතාව ආමෙන් කියමින් එයට එකඟ වෙති. පසුව එහි සිටින සැම දෙනාටම ඒවා බෙදා දෙනු ලැබේ. එයට සහභාගි වීමෙන් පසුව, ස්තුති දීම සිදු කරනු ලැබේ. එසේම නොපැමිණි අයට උපස්ථායකයන් අත ඒවා යවනු ලැබේ. පසුව දීමට හැකි අය සහ එයට කැමැත්තක් දක්වන අය විසින් ඔවුන්ගේ සිතෙන් නියම කරගත් ලෙස දෙනු ලබන දීමනා එකතු කරන අතර, එසේ එකතු කරන දීමනා මූලිකයාට ලබා දෙනු ලැබේ. ඔහු එයින් අනාථ දරුවන් සහ වැන්දඹුවන්ට උපකාර කරන අතර, අසනීප හෝ වෙනත් හේතුවක් නිසා අවශ්‍යතා ඇති අයට, එමෙන්ම බැඳුම්වල සිටින අයට සහ අප අතර වාසය කරන ආගන්තුකයන් හට ඒවා ලබා දෙයි. එසේම අවශ්‍යතා ඇති සියලු දෙනා සම්බන්ධයෙන්ම වචනයකින් සැලකිල්ල දක්වා කතා කරයි. එහෙත් අප සැවොම අපගේ පොදු රැස්වීම පවත්වන දිනය වන්නේ ඉරිදා දිනයි. මන්ද, දෙවියන් වහන්සේ අන්ධකාරයේ හා පදාර්ථයේ වෙනසක් සිදු කර ලෝකය මැවූ පළමු දිනය එය වන බැවිනි. එසේම අපගේ ගැලවුම්කාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූයේ එදින වන නිසාය. මක්නිසාද යත්, උන් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ දිනය සෙනසුරාදා බැවිනි. එය සූර්යයාගේ දවසයි. උන් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රේරිතයන්ට හා ගෝලයන්ට දර්ශනය වීමෙන් පසුව, උන් වහන්සේ ඔවුන්ට මේ දේවල් ඉගැන්වූ අතර, ඔබගේ සලකා බැලීම සඳහා අපි ඒවා ඔබට ඉදිරිපත් කර ඇත්තෙමු.

68 වන පරිච්ඡේදය: නිගමනය

මේ දේවල් ඔබට සාධාරණ හා සත්‍යය යැයි පෙනේ නම්, ඔවුන්ට ගෞරව කරන්න. එහෙත්, ඔවුන් විකාර අය ලෙස පෙනේ නම්, ඔවුන් විකාරයක් ලෙස හෙළා දකින්න. එහෙත් ඔබ සතුරන්ට විරුද්ධව සිදු කරන්නාක් මෙන් කිසිම වරදක් නොකළ අයට විරුද්ධව මරණ දණ්ඩනය නියම නොකරන්න. මක්නිසාද නුඹලා අයුක්තියෙහි යෙදුණොත් දෙවියන් වහන්සේගේ විනිශ්චයෙන් ඔබ බේරෙන්නේ නැති බව අපි ඔබට කලින්ම අනතුරු අඟවමු. එසේම දෙවියන් වහන්සේට ප්‍රසන්න දේ කිරීමට අපිම ඔබට ආරාධනා කරමු. ඔබේ පියාණන් වන ශ්‍රේෂ්ඨතම හා කීර්තිමත් අධිරාජ්‍යයා වන ඒඩ්‍රියන් අධිරාජ්‍යයාගේ ලිපියට අනුව, අප කැමති පරිදි තීන්දුව ලබා දෙන මෙන් නියෝග කරන ලෙසට අපට ඔබගෙන් ඉල්ලා සිටිය හැකිය. එසේ වූවත්, අපි මෙම අභියාචනය හා පැහැදිලි කිරීම කර ඇත්තේ ඒඩ්‍රියන්ගේ තීරණය පදනම් කරගෙන නොව, අප ඉල්ලන දේ සාධාරණ යයි අප දන්නා බැවිනි. එසේම, අපි මේ ගැන සැබෑ ලෙසම කථා කරන බව ඔබ දැනගන්නා පිණිස, ඒඩ්‍රියන්ගේ ලිපියේ පිටපතක්ද අපි මෙහි දක්වා ඇත්තෙමු. එහි පිටපත පහත දැක්වේ: –

උපග්‍රන්ථය

කිතුනුවන් වෙනුවෙන් ලියන ලද ඒඩ්‍රියන්ගේ හසුන

ඔබට කලින් සිටි නිලධාරියා වූ, ඉතාම කීර්තිමත් මනුෂ්‍යයෙකු වූ සෙරෙනියස් ග්‍රැනියානස් විසින් මා වෙත යොමු කරන ලද ලිපිය මට ලැබී ඇත. අහිංසක පුද්ගලයින්ට කරදරයක් නොවනු පිණිස, මෙම සන්නිවේදනය රහසින් සිදු කිරීමට මා අකමැති අතර, දුෂ්ටකම ක්‍රියාත්මක කිරීම සඳහා තොරතුරු සපයන්නන්ට අවස්ථාව ලබා දෙනු ඇත. ඒ අනුව, ඔබේ පළාතේ වැසියන් යම් අධිකරණයක සිටින කිතුනුවන්ට චෝදනා කිරීම සඳහා ඔවුන්ගේ මෙම ඉල්ලීම ඉදිරිපත් කරන්නේ නම්, ඔවුන් එසේ කිරීම මම තහනම් නොකරමි. එහෙත් හුදෙක් ආයාචනා සහ උද්ඝෝෂණ කිරීමෙන් දුක් විඳින්නට මම ඔවුන්ට ඉඩ දෙන්නේ නැත. මක්නිසාද යමෙක් චෝදනාවක් ඉදිරිපත් කිරීමට කැමති නම්, ඔබ ඒ ගැන විනිශ්චය කිරීම වඩා යුක්ති සහගතය. එබැවින්, යමෙක් චෝදනාවක් ඉදිරිපත් කරන්නේ නම් සහ එසේ චෝදනාවට ලක් වූ මනුෂ්‍යයින් යම් නීති විරෝධී දෙයක් සිදු කරන බවට සාක්ෂි ඉදිරිපත් කරන්නේ නම්, ඔබ එම වරදට සුදුසු දඬුවම් නියම කළ යුතුව ඇත. මේ සම්බන්ධයෙන්, හර්කියුලිස් මගින් ඔබ විශේෂ අවධානයක් යොමු කළ යුතුය. මන්ද කිසියම් මිනිසෙකු හුදෙක් අයුතු චෝදනාවක් නැගීමක් ලෙස මෙම පුද්ගලයන්ගෙන් කිසිවෙකුට හෝ විරුද්ධව චෝදනාවක් ඉදිරිපත් කරන්නේ නම්, ඔහුගේ දුෂ්ටකමට නිසි පරිදි ඔබ ඔහුට දැඩි දඬුවම් ලබා දිය යුතුය.

ආසියාවේ පොදු සභාවට ඇන්ටෝනිනස්ගේ හසුන

අධිරාජ්‍යයා වූ සීසර් ටයිටස් එලියස් ඇඩ්‍රියානස් ඇන්ටෝනිනස් ඔගස්ටස් පයස්, උත්තරීතර පොන්ටිෆ්, තුන්වන වතාවට ආණ්ඩුකාර ධූරය දරන, ඔහුගේ විනිශ්චය සභාවේ පහළොස්වන අවුරුද්දේදී, මාතෘ භූමියේ පියා වන, ආසියාවේ පොදු සභාවට සුබ පැතුම්: එවැනි වැරදිකරුවන් නොගැලවෙන බවට වග බලා ගැනීම දෙවිවරුන් විසින්ම කරනු ඇතැයි මා සිතිය යුතුව තිබුණි. මක්නිසාද ඔවුන්ට බලය තිබුණා නම්, ඔවුන්ට නමස්කාර කිරීම ප්‍රතික්ෂේප කරන්නන්ට ඔවුන් විසින්ම දඬුවම් කරනු ඇත. එහෙත් මෙම පුද්ගලයින්ට කරදර කරන්නේත්, අදේවවාදීන්ගේ දරන මතයට අනුව ඔවුන්ට චෝදනා කරන්නේත්, අපට ඔප්පු කිරීමට නොහැකි වෙනත් කරුණු ඔවුන් වෙත පවරන්නේත් ඔබයි. එහෙත් ඔවුන්ට චෝදනා කරනු ලබන දේ වෙනුවෙන් ඔවුන් මිය යනු ඇතැයි සිතීම ඔවුන්ට ප්‍රයෝජනවත් වනු ඇත. එසේ වූවත් ඔබ ඔවුන්ගෙන් ඉල්ලා සිටින කීකරුකමට යටත් නොවී ඔවුන් ගත කරන ජීවිත ගැන සතුටට පත් වීමෙන් ඔවුහු ඔබගෙන් ජය ගනිති. එසේම දැනටමත් සිදුවී ඇති හා දැන් සිදුවෙමින් පවතින භූමිකම්පා සම්බන්ධයෙන්, ඔබ ඒවා අපට මතක් කර ඇති බවක් පෙනෙන්නට නැත. ඒවා සිදු වූ සැම අවස්ථාවකම හදවත බිඳ වැටී, ඔවුන් ඔබ කෙරෙහි ඇතිවාට වඩා දෙවියන් වහන්සේ කෙරෙහි වැඩි විශ්වාසයක් තබා ඇති බැවින්, ඒ අනුව මෙම මිනිසුන්ගේ හැසිරීමට වඩා වෙනස්ව ඔබේ හැසිරීම සකසන්නෙහිය. එසේම ඇත්ත වශයෙන්ම, ඔබ එවැනි අවස්ථාවලදී දෙවිවරුන් නොසලකා හරින බවක් පෙනේ. එසේම ඔබ දේවාල නොසලකා හරින අතර, දෙවියන් වහන්සේට නමස්කාර කිරීම පිළිබඳ කිසිවක් පිළිගන්නේද නැත. එබැවින් උන් වහන්සේට සේවය කරන අයට ඔබ ඊර්ෂ්‍යා කරන අතර, ඔවුන් පීඩාවට පත් කර මරණයට පත් කරන්නෙහිය. එවැනි අය සම්බන්ධයෙන්, තවත් සමහර පළාත් ආණ්ඩුකාරවරුද මගේ දිව්‍යමය පියාට ලිපියක් යවා ඇත. රෝමානු රජයට එරෙහිව ඔවුන් කිසියම් උත්සාහයක් දරන බවක් පෙනෙන්නට තිබේ නම් මිස, ඔවුන්ට කිසිසේත් කරදර නොකළ යුතු යැයි ඔහු ඔවුන්ට පිළිතුරු දී ඇත. එසේම මටත්, එවැනි අය පිළිබඳ බොහෝ දෙනෙක් දැනුම් දීම් සිදු කර තිබෙන අතර, ඔවුන්ට මගේ පියාගේ විනිශ්චයට අනුව මමද පිළිතුරු ලබා දුනිමි. එහෙත් යමෙකුට මෙම පංතියේ ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව, හුදෙක් ඔහු එවැනි පුද්‍ගලයෙකු ලෙස පමණක් යම් කාරණයක් තිබේ නම්, ඔහු එවැනි පුද්ගලයෙකු බවට සොයා ගනු ලබුවහොත් හැරෙන්නට චූදිතයා චෝදනාවෙන් නිදහස් කළ යුතුය. එහෙත් චෝදනා කරන්නා යුක්තියට අවනත යුතු වේ.

ඔහුගේ ජයග්‍රහණයට හේතුව කිතුනුවන් බව ඔහු සාක්ෂි දෙන සෙනෙට් සභාවට මාකස් ඖරෙලියස්ගේ හසුන

සීසර් මාකස් ඖරෙලියස් ඇන්ටෝනිනස් අධිරාජ්‍යයා, ජර්මනිකස්, පාර්ටිකස්, සර්මාටිකස්, රෝම වැසියන්ට සහ පූජනීය සෙනෙට් සුබ පැතුම්: මගේ ශ්‍රේෂ්ඨ සැලසුම සහ ජර්මනියේ සතුරන්ගෙන් වට කරනු ලැබ සිටියදී මා ලබාගත් ප්‍රයෝජන, මම ඔබට පැහැදිලි කළෙමි. බොහෝ ශ්‍රමයෙන් හා දුක් වේදනා සහිතව, සතුරා විසින් මා වට කරන ලද අවස්ථාවේ ප්‍රතිඵලයක් ලෙස; සැතපුම් නවයක් ඈතින් පිහිටි කර්නුන්ටම්හි, හැත්තෑ හතර දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් විසින් මා වට කරනු ලැබීය. සතුරා ආසන්නයේම සිටි අතර, හේවායින් අප වෙත යොමු කරනු ලැබූ අතර සහ  අපගේ සේනාධිනායක පොම්පියානස් මිනිසුන් 977,000ක මිශ්‍ර සමූහයක් අප අසල සිටින බව අපට පෙන්වා දුන්නේය. ඇත්තෙන්ම අපි ඔවුන් දුටිමු. මෙම පළමු, දහවන, ද්විත්ව සහ නාවික හමුදාවන්ගෙන් සැදුම්ලත් බලඇණියක් සහිත හමුදා සේනාව මගින් මා නිහඬ කරන ලදී. එවකට මගේ ස්ථාවරය සහ මගේ සේනාව, ම්ලේච්ඡයන් සහ සතුරාගේ අතිමහත් සමූහය හා සසඳා බලන කල, මගේ රටේ දෙවිවරුන්ට යාච්ඤා කිරීමට මම ක්ෂණයකින්ම එළඹියෙමි. එහෙත් ඔවුන් විසින් නොසලකා හරිනු ලැබීමෙන් පසුව, අප අතර කිතුනුවන් යන නාමයෙන් හඳුන්වනු ලබන අය මම කැඳෙව්වෙමි. ඔවුන් පිළිබඳ විමසා බැලීමෙන් පසුව, මම ඔවුන්ගෙන් විශාල සංඛ්‍යාවකින් යුක්ත මහත් පිරිසක් සොයාගත් අතර, ඔවුන්ට විරුද්ධව යුද්ධ කළෙමි. එහෙත් එයට පසුව මම ඔවුන්ගේ බලය ඉගෙන ගතිමි. ඔවුන් සටන ආරම්භ කළේ ආයුධ, යුද්ධ ඇඳුම් හෝ හොරණෑ සූදානම් කිරීමෙන් නොවේ. මන්ද, ඔවුන්ගේ හෘදය සාක්ෂියට අනුව ඔවුන් දරණ දෙවියන් වහන්සේ නිසා එවැනි සූදානමකට ඔවුන් අකමැති නිසාය. එබැවින් අදේවවාදීන් යැයි අප සිතන අයට, ඔවුන්ගේ හෘදය සාක්ෂියට අනුව ඔවුන්ගේ පාලන බලය ලෙස දෙවියන් වහන්සේ සිටින සේක. ඔවුහූ දණ නමා වර්තමානයේ ඇති වී තිබෙන පිපාසයෙන් හා සාගතයෙන් මිදෙන පිණිස මා වෙනුවෙන් පමණක් නොව මුළු හමුදාව වෙනුවෙන්ම යාච්ඤා කළහ. මක්නිසාද දවස් පහක් පුරාවට අපට වතුර ලැබුණේ නැත. මන්ද එහි කිසිවෙකුත් නොසිටි නිසාය. එසේම  අප සිටියේ ජර්මනියේ හදවතෙහි සහ සතුරාගේ භූමියේ නිසාය. ඔවුන් බිම දණින් වැටී දෙවියන් වහන්සේට යාච්ඤා කිරීමත් (මා නොදන්නා දෙවියන් වහන්සේ කෙනෙකුට) සමඟම අහසින් ජලය ඇද වැටුණු අතර, ඒවා අප මත වඩාත් ප්‍රබෝධමත් සිසිල් ජලය ලෙසත්, රෝමයේ සතුරන් මත වියළි හිම කැට ලෙසත් පතිත විය. එසේ යාච්ඤාවට පසුව දෙවියන් වහන්සේගේ – එනම්, පරාජයට පත් කළ නොහැකි හා විනාශ කළ නොහැකි දෙවියන් වහන්සේ‍ගේ අභිමුඛය  අපි ක්ෂණයකින් හඳුනා ගත්තෙමු. එසේ නම්, ඔවුන් යාච්ඤා කර අපට විරුද්ධව එවැනි ආයුධයක් ලබා නොගන්නා පිණිස, එවන් මනුෂ්‍යයින් වූ කිතුනුවන් හට අපි සමාව දෙමු. යමෙක් කිතුනුවෙකු වීම නිසා එවැනි කිසිවෙකුට චෝදනා නොකළ යුතු යැයි මම උපදෙස් දෙමි. එහෙත් යමෙක් කිතුනුවෙකුට කිතුනුවෙකු වීම නිසා චෝදනාවට ලක් කරන බව හසු වුවහොත්, එසේ කිතුනුවෙකු ලෙස චෝදනා ලැබූ තැනැත්තා, කිතුනුවෙකු වීම ගැන හැරෙන්නට වෙන කිසිවක් පිළිබඳ චෝදනාවට ලක් වී නොමැති බවට ප්‍රකාශ වනු දැකීමට මම ආශා කරමි. එහෙත් ඔහුට චෝදනා කරන්නා පණ පිටින් පුළුස්සා දමනු ලැබිය යුතුය. පළාතේ රජයේ ආණ්ඩුකාර ධූරයට පත් වී ඇති තැනැත්තා, තමා කිතුනුවෙකු බවට ප්‍රකාශ කර සහතික කරන කිතුනුවන්ට පසුබැසීමට බල නොකරනු ඇතැයි සහ ඔහුද එයට අවනත නොවනු ඇතැයි මම තවදුරටත් ප්‍රාර්ථනා කරමි. සෙනෙට් සභාවේ නියෝගයකින් මේ දේවල් අනුමත වේවායි මම ආශා කරමි. එසේම මගේ ආඥාව, එය කියවනු ලබන පිණිස, ට්‍රෝජන් සංසදයේ ප්‍රකාශයට පත් කරන ලෙස මම අණ කරමි. එය අවට තිබෙන සියලුම පළාත්වලට සම්ප්‍රේෂණය වන බවටත්, එය භාවිත කිරීමට හෝ සන්තකයේ තබා ගැනීමට කැමති කිසිවෙකුට මා දැන් ප්‍රකාශයට පත් කරන ලියවිල්ලෙන් පිටපතක් ලබා ගැනීමට බාධාවක් නොවන බවටත් අධිපතියා වන විට්‍රැසියස් පෝලියෝ වග බලාගනු ඇත.