ඉග්නේෂස් තුමාට්‍රැලියන්වරුන් වෙත ලියන ලද ලිපිය

Ignatius of Antioch, Epistle to the Trallians

ඉග්නේෂස් තුමාට්‍රැලියන්වරුන් වෙත ලියන ලද ලිපිය

ඉග්නේසියස් තියෝෆොරෝස් වන මා විසින්, ආසියාවේ ට්‍රැල්ස්හි පිහිටි ශුද්ධ සභාව වෙත,

ප්‍රේමණීය සහෝදරවරුනි, ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පියාණන් වහන්සේ වන දෙවියන් වහන්සේ කරණකොටගෙන වන්නහුය. එසේම උන් වහන්සේ විසින් තෝරා ගන්නා ලද අය මෙන්ම උන් වහන්සේට වටිනා අය වන්‍නහුය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීම තුළින් ඔබට බාහිර හා අභ්‍යන්තර සමාදානය ඇත. අපගේ නැවත නැගිටීම තුළින් උන් වහන්සේ වෙතට යාමට උන් වහන්සේ තුළ අපට බලාපොරොත්තුවක් ඇත්තේය. අපෝස්තුළුවරුන් කළ පරිදි, මම ඔබට දෙවියන් වහන්සේගේ පූර්ණත්වය තුළ ආචාර කරමි. එසේම මම ඔබට සැම ආකාරයකම ප්‍රීතිය ප්‍රාර්ථනා කරමි.

1. දෙවියන් වහන්සේගේ හා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කැමැත්තෙන් ඔබේ රදගුරු තුමා වන පොලිබියස්, ස්මර්ණාහි සිටින මා වෙත පැමිණ ඇත. පුරුද්ද අනුව නොව, ස්වභාවයෙන්ම ඔබ ඉවසිලිවන්තව හා ඉවසීමෙන් අධිෂ්ඨානයෙන් යුක්තව සිටින බව ඔහු මට පවසයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් මාගේ බැඳුම් නොතකා, ඔහු තුළ තිබෙන මහත් සැනසීම ඔහු මට ලබා දුන් අතර, එසේ කිරීම හේතුකොටගෙන ඔහු තුළ ඔබේ මුළු ප්‍රජාවම දැක ගැනීමට මට හැකි විය. ඔහු තුළින් ඔබගේ ආධ්‍යාත්මික කරුණාව පිළිගනිමින්, මා අසා ඇති පරිදි, ඔබ දෙවියන් වහන්සේ අනුකරණය කරන්නන් බව දැන මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වීමි.

2. මක්නිසාද යත්, ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට මෙන් ඔබගේ රදගුරුතුමාට කීකරු වන විට, ඔබ ජීවත් වන්නේ මනුෂ්‍ය ආකාරයකින් නොව, අප උදෙසා මිය ගිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේට අනුව බව මට පෙනෙන බැවින් එසේ කරමි. උන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන ඔබ මරණයෙන් ගැලවෙනු ඇත. එසේ නම්, ඔබ නොකඩවම රදගුරු තුමා නැතිව වෙන කිසිම දෙයක් නොකර සිටිය යුතුය. අපගේ බලාපොරොත්තුව වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේරිතයන්ට මෙන්, පූජකයන්ටද කීකරු වන්න. මන්ද අපි උන් වහන්සේ තුළ ජීවත් වන්නෙමු නම්, අප යහපත් අය බව පෙනෙනු ඇත. තවද, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අබිරහස්වල සේවකයන් වශයෙන්, උපස්ථායකයන් හැකි සැම ආකාරයකින්ම ඔවුන් සතුටු කළ යුතුය. එසේ කළ යුත්තේ ඔවුන් හුදෙක් ආහාර පාන සම්බන්ධයෙන් සේවකයන් නොවන නිසාත්, දෙවියන් වහන්සේගේ සභාවේ සේවකයන් වන නිසාත්ය. ගින්නෙන් පරෙස්සම් වන්නේ යම් සේද, ඒ ආකාරයටම ඔවුන් සියලුම නින්දා අපහාසවලින් වැළකී සිටිය යුතුය.

3. එලෙසම උපස්ථායකයින් පියාණන් වහන්සේ‍ට මෙන් රදගුරු තුමාට ගෞරව කරන ආකාරයට සහ ඔවුන් පූජකවරුන්ට දෙවියන් වහන්සේගේ සභාව ලෙස සහ අපෝස්තුළුවරුන්ට මෙන් ගෞරව කරන ආකාරයටම, සියලු දෙනාම යේසුස් ක්‍රිස්තුස් වහන්සේට මෙන් උපස්ථායකයන්ට ගරු කළ යුතුය. මේ දේවල් හැරුණු විට සභාවක් ලෙස හැඳින්විය හැකි වෙන කිසිවක් ඇත්තේ නැත. එවැනි කාරණාවලදී මට හැඟෙන පරිදිම ඔබටත් දැනෙන බව මට විශ්වාසය ඇත. මක්නිසාද යත්, මා සමග සිටින ඔබේ රදගුරු තුමා තුළ ඔබේ ප්‍රේමය පිළිබඳ නියැදියක් මට ලැබී ඇති බැවිනි. ඔහුගේ හැසිරීම උතුම් පාඩමකි. ඔහුගේ නිහතමානීකම ඔහුගේ බලය වේ. නොඇදහිලිවන්තයන් පවා ඔහු අගය කරන බව මට නිසැකය. මන්ද මා ඔබට ආදරය කරන නිසා, මම ඔබට මෘදු ලෙස සලකමි. එහෙත් ඔහු වෙනුවෙන් මට වඩාත් තියුණු ලෙස ලිවිය හැකිය. කෙසේ වෙතත්, මා සිරකරුවෙකු වන නිසා, මා අපොස්තුළුවරයෙකු ලෙස සිටින කල සිදු කළ ආකාරයට ඔබට අණ දීමට මට හැකියාවක් ඇත්තේ නැත.

4. දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය නිසා මම ප්‍රඥාවෙන් අඩු අයෙකු නොවෙමි. එහෙත් මාගේ පුරසාරම් දෙඩීම මරණීය දෙයක් නොවන පිණිස, මම මාගේ වචන පිළිබඳ සැලකිලිමත් වෙමි. ඇත්ත වශයෙන්ම, මට සමච්චල් කරන අය කෙරෙහි අවධානය යොමු කිරීමට වෙන කවරදාටත් වඩා මා බිය විය යුතුය. ඔවුන්ගේ වචනවලින් සිදු වන්නේ මට පහර දීමක් පමණි. මම දුක් විඳීමට ආශාවෙන් සිටිමි, එහෙත් මා එය විඳීමට සුදුසුදැයි මම නොදනිමි. බොහෝ මිනිසුන්ට මගේ දැඩි උද්යෝගය නොපෙනෙයි. එහෙත් මගේ පැත්තෙන් බලන කල එය නොවැළැක්විය හැකි තත්වයකට පත්වෙමින් තිබේ. මාගේ යාච්ඤාව වන්නේ මා නිහතමානි වීම කරණකොටගෙන මේ ලෝකයේ කුමාරයාගෙන් ජය ගන්නා පිණිසයි.

5. ස්වර්ගීය යථාර්ථයන් ගැන ඔබට ලිවීමට මට නොහැකි බව මෙයින් අදහස් නොවේ. එහෙත් ඔබ මෙන් දරුවන් හට මා හානියක් කරනු ඇතැයි මම බිය වෙමි. කරුණාකර මගේ විශ්වාසයන් ඒත්තු ගැන්වීම් අනෙක් අයටද පවසන්න. එසේ නොවුවහොත් ඔබට ගිල දැමීමට නොහැකි දෙය කරණකොටගෙන ඔබ යටපත් විය හැකිය. මා බැඳුම්වල සිටින නිසාත්, දේවදූතයන්ගේ හා ප්‍රධානීන්ගේ නියෝග ධූරාවලිය සහ දෘශ්‍යමාන හා අදෘශ්‍යමාන ලෝක පිළිබඳ එවැනි අබිරහස් ගැන සිතා බැලිය හැකි නිසාත්, හුදෙක් මා ගෝලයෙකු ලෙස පෙනී සිටීමට උත්සහා කරන්නේ නැත. දෙවියන් වහන්සේ අහිමි නොවීමට නම් අපට බොහෝ කාරණා අහිමි විය යුතුය.

6. එබැවින්, විදේශීය මිථ්‍යාදෘෂ්ටියේ ආහාර ඉවත දමා, සම්පූර්ණයෙන්ම ක්‍රිස්තියානි ආහාර පමණක් තබා ගන්නා ලෙස මම ඔබට අවවාද කරමි. කථා කරන්නේ මා නොව, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයයි. මක්නිසාද මිනිසුන් ඔවුන්ගේ දුෂ්ටකම පිළිබඳ ඉඟියක් ලබා නොදී, මිහිරි වයින්වල මිශ්‍ර කර මාරාන්තික ඖෂධයක් ලබා දෙන්නාක් මෙන්, මිථ්‍යාදෘෂ්ටිකයෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග විෂ මිශ්‍ර කරති. එවිට එම මාරාන්තික මිහිරි බව නිසා කිසිම බියකින් තොරව මිනිසෙක් තමාගේම මරණය පානය කරන්නේය.

7. එවැනි මිනිසුන්ගෙන් ඔබ පරෙස්සම් වන්න. ඔබ අහංකාර නොවන්නේ නම් සහ ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට හා රදගුරු තුමාට මෙන්ම අපොස්තුළුවරුන්ගේ ආඥාවලට සමීපව කීකරුව සිටින්නේ නම් මෙසේ කළ හැකි වනු ඇත. ශුද්ධස්ථානය තුළ සිටින ඕනෑම කෙනෙක් නිර්මලය, එසේම ශුද්ධස්ථානයෙන් පිටත සිටින ඕනෑම කෙනෙක් අපිරිසිදුය. එනම්, රදගුරු තුමා සහ පූජකයන් මෙන්ම උපස්ථායකයන්ගෙන් වෙන් වී ක්‍රියා කරන කිසිවෙකුට පැහැදිලි හෘදය සාක්ෂියක් ඇත්තේ නැත.

8. මා මේ දේවල් පවසන්නේ ඔබ ​​අතර මේ ආකාරයේ කිසිවක් ඇතැයි මා අසා ඇති නිසා නොවේ. එහෙත් මා ඔබට ප්‍රේම කරන නිසාත්, මා දැන් සිදු කරන පරිද්දෙන්, කල්තියාම ඔබ යක්ෂයාගේ මළපත්වලින් ආරක්ෂා කරන පිණිසත්ය. එබැවින්, ඉවසීමේ සන්නාහය පැලඳගෙන, ඇදහිල්ලෙන් නැවුම් වන්න. එනම් ස්වාමින් වහන්සේගේ ශරීරය තුළ සහ ප්‍රේමය තුළ, එනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයෙන් ඔබ ප්‍රබෝධමත් වන්න. කිසිවෙකුත් තම අසල්වැසියා පහත් කර නොසලකන්න. ස්වල්ප දෙනෙකුගේ මෝඩකම කරණකොටගෙන මිථ්‍යාදෘෂ්ටිකයන්ට ඔබගේ දැහැමි ප්‍රජාව නින්දාවට පත් කිරීමට අවස්ථාවක් ලබා නොදෙන්න. ‘හේතුවක් නොමැතිව මාගේ නාමය අන් අය ඉදිරියේ නින්දාවට පත් කළ තැනැත්තාට දුක් වේ!’

9. එබැවින්, දාවිත්ගේ වංශයෙන් පැමිණි, මරියාගේ පුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ හැරුණුකොට වෙන කිසිවෙකු තුළින් ඔබට යමෙකු කථා කරන විට එයට කන් වසාගෙන සිටින්න. උන් වහන්සේ සැබවින්ම උපත ලැබ, ආහාර අනුභව කොට, බීම පානය කළ සේක. උන් වහන්සේ පොන්තියුස් පිලාත් යටතේ සැබවින්ම පීඩා විඳි සේක. සැබවින්ම කුරුසියේ ඇණ ගසනු ලැබ, ‘ස්වර්ගයේත්, පොළොවෙහිත්, පොළොව යටත්’ සිටින අය ඉදිරියේ මිය ගිය සේක. එලෙසම උන් වහන්සේගේ පියාණන් වහන්සේගේ බලය කරණකොටගෙන උන් වහන්සේ නැවත උත්ථාන කරනු ලැබූ සේක. ඒ ආකාරයෙන්ම උන් වහන්සේගේ පියාණන් වහන්සේ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ, උන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන අය නැවත නගිටුවන සේක. උන් වහන්සේගෙන් තොරව අපට සැබෑ ජීවිතයක් ඇත්තේ නැත.

10. ඔවුන් ඇදහිල්ල නොමැති අය යන අර්ථයෙන් සමහරුන් පවසන පරිදි, ඔවුන් අභක්තිකයන් නම්, උන් වහන්සේ නිකරුණේ දුක් විඳින බවක් පෙනෙන්නට තිබේ – නිකරුණේ ජීවත් වන්නේ ඔවුන්මය – මා දම්වැල්වල සිටින්නේ මන්ද? මා වන මෘගයින් වෙත හෙළනු ලැබිය යුතු බවට මා යාච්ඤා කරන්නේ මන්ද? එසේ නම්, මා කිසිම අරමුණකින් තොරව මිය යනවා ඇත. එසේ නම් මම සමිඳාණන් වහන්සේට විරුද්ධව බොරු සාක්ෂි දරන අයෙකි.

11. එබැවින් මාරාන්තික ඵල ගෙන දෙන නපුරු පැළෑටිවලින් වළකින්න. හුදෙක් මෙම පලතුර රස බැලීම යනු හදිසියේ මරණයට පත් වීමකි. එවැනි ‍දේවල් පියාණන් වහන්සේගේ ශාක නොවේ. ඒවා පියාණන් වහන්සේගේ ඵල වූයේ නම්, ඒවා කුරුසියේ අතු ලෙස දිස් වන අතර ඒවායේ ඵල අමරණීය වනු ඇත. උන් වහන්සේගේ සාමාජිකයන් වන ඔබට උන් වහන්සේ ආරාධනා කරන්නේ කුරුසියෙනි; උන් වහන්සේගේ දුක් විඳීම කරණකොටගෙනය. හිසට එහි සාමාජිකයන් නොමැතිව උපත ලැබිය නොහැකිය. මන්ද උන් වහන්සේම ඔවුන් එකට තබා ගැනීමට පොරොන්දු වූ බැවින්, හිස දෙවියන් වහන්සේ වන නිසාය.

12. මම මෙම සුබ පැතුම් ස්මර්ණාවේ සිට ලියමි. මා සමග සිටින දෙවියන් වහන්සේගේ අනෙකුත් සභාවල අයගේ සුබ පැතුම්ද මේ සමග ඇත. ඔවුන් මට බොහෝ ආකාරවලින්, ශාරීරික හා ආධ්‍යාත්මික වශයෙන් සැනසීමක් ලබා දී ඇත. යේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසා සහ මා දෙවියන් වහන්සේ වෙත ළඟා වන ලෙස ඉල්ලා සිටින මගේ බැඳුම්වල සිට මම ඔබට අනුශාසනා කරමි. එකිනෙකා සමග එක්සිත්ව සිට සමගියෙන් සිටින්න. එසේම පොදු යාච්ඤාවලදී එක්සිත්ව සිටීමට උත්සාහ කරන්න. පියාණන් වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙන්ම අපෝස්තුළුවරුන් කෙරෙහි ඇති ගෞරවයෙන් යුක්තව රදගුරු තුමාගේ ආත්මය පවත්වා ගැනීමට විශේෂයෙන් පූජකවරුන් සහ ඔබ සියලු දෙනාම උදව් කළ යුතුය. මාගේ ලිපියට අනුව ත්‍යාගශීලී කටයුතු කෙරෙහි සැලකිල්ල දක්වන ලෙසට මම ඔබට ආයාචනා කරමි. එසේ කිරීමෙන් ඔබට විරුද්ධව මෙම ලිපිය සාක්ෂියක් නොවනු ඇත. මක්නිසාද දෙවියන් වහන්සේගේ දයාවෙන් ඔබගේ යහපත් ක්‍රියා මට අවශ්‍ය වන පිණිස මා උදෙසා යාච්ඤා කරන්න. අවසානයට මා සුදුස්සෙකු වීමට නම්, මා තරවටු කරනු නොලැබ, එය ලබා ගැනීම උදෙසා ආශාවෙන් සිටිමි.

13. ස්මර්ණයේ වාසය කරන අය සහ එපීසවරු ඔබට ආදරයෙන් ආචාර කරති. සිරියාවේ සභාව ඔබේ යාච්ඤාවලදී මතකයේ තබා ගන්න. මක්නිසාද මම එහි සාමාජිකයෙක් වන නිසාත්, ඔවුන් අතරින් අඩුම තැනැත්තා මා වන නිසාත්, එම සභාව මා තරම්ම නුසුදුසු වන නිසාත් එය සිහියේ තබාගන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ සමුගැනීමේ ආචාරය පතමි. [දෙවියන් වහන්සේගේ] ආඥාවලට කීකරු වන්නාක් මෙන් ඔබේ රදගුරුතුමාටත්, පූජකයන්ටත් කීකරු වන්න. නොබෙදුණු හදවතකින් ඔබ සැවොම එකිනෙකාට ප්‍රේම කරන්න. මම දෙවියන් වහන්සේ සමග සිටින විටත්, දැනුත්, මාගේ ජීවිතය ඔබ උදෙසා ඔප්පු කරමි. මම තවමත් අනතුරෙන් මිදී නැත. එහෙත් පියාණන් වහන්සේ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් ඔබගේ සහ මාගේ යාච්ඤාවලට පිළිතුරු දෙන බවට විශ්වාස කළ හැකිය. අපි උන් වහන්සේ ඉදිරියේ කිසිම දෝෂයක් නොමැති අය සේ ගණන් ගනු ලැබේවා.