ඉග්නේෂස් තුමා ස්මර්ණයේ සභාව වෙත ලියන ලද ලිපිය

Ignatius of Antioch, Epistle to the Smyrnaeans

ඉග්නේෂස් තුමා ස්මර්ණයේ සභාව වෙත ලියන ලද ලිපිය

ඉග්නේසියස් තියෝෆොරෝස් වන මා, පියාණන් වන දෙවියන් වහන්සේගේ සහ ආදරණීය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සභාවට, එනම් ආසියාවේ තිබෙන ස්මර්ණාවෙහි සභාවට ලියන හසුනයි. නොකැළැල් ආත්මයකින් හා දෙවියන් වහන්සේගේ වචනයෙන් සැම ප්‍රීතියක්ම මම ඔබට ප්‍රාර්ථනා කරමි. ඔබේ සභාව සැම ත්‍යාගයකින්ම දයානුකම්පිකව ආශිර්වාද ලබා ඇති අතර, ඔබට කිසිවකින් අඩුවක් ඇත්තේ නැත. ඔබේ සභාව ඇදහිල්ලෙන් හා ත්‍යාගශීලීභාවයෙන් පිරී තිබේ. එය දෙවියන් වහන්සේට වඩාත්ම වටිනා අතර ශුද්ධකම තුළ ඵලදායී එකකි.

1. එබඳු ප්‍රඥාවකින් ඔබ පෙලඹවූ දෙවියන් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේට මම මහිමය දෙමි. අපගේ ස්වාමින් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියට, ශරීරයෙන් හා ආත්මයෙන් ඇණ ගසන ලද මිනිසුන් මෙන්, නොසැලෙන ඇදහිල්ලෙන් ඔබ පරිපූර්ණ වී ඇති බව සහ ඔබගේ ප්‍රේමය ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරයෙන් තහවුරු වී ඇති බව මම හොඳින් දනිමි. අපගේ ස්වාමින් වහන්සේ සම්බන්ධයෙන් නම්, උන් වහන්සේ මාංසයට අනුව දාවිත්ගේ වංශයට අයත් බවත්, උන් වහන්සේගේ කැමැත්තෙන් හා බලයෙන් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ බවත් ඔබට මනා සේ ඒත්තු ගැන්වී ඇත. එසේම උන් වහන්සේ සැබවින්ම කන්‍යාවකගෙන් උපත ලැබූ අතර, යොහන් විසින් බව්තීස්ම කරනු ලැබූ සේක. එසේ කළේ චාරිත්‍ර නිසි සේ පිළිපැදීම උන් වහන්සේ විසින් සම්පූර්ණ කරනු ලබන පිණිසය. උන් වහන්සේ මාංසයෙන් අප උදෙසා කුරුසියෙහි ඇණ ගසනු ලැබුවේ පොන්තියස් පිලාත් සහ ආණ්ඩුකාරයා වූ හෙරොද් යටතේය. උන් වහන්සේගේ අතිශයින්ම ආශිර්වාද ලත් දුක් විඳීමෙහි ඵල වන්නේ අපයි. එසේ වූයේ උන් වහන්සේගේ උත්ථානය තුළින් උන් වහන්සේ සියලු යුගවලදී, යුදෙව්වන් හෝ අන්‍යජාතීන් අතර හෝ ශාන්තුවරයන්ට සහ ඇදහිලිවන්තයන්ට එක් ප්‍රමිතියක් ලෙස, එක් ශරීරයක් වන උන් වහන්සේගේ සභාව උත්ථාන කරනු ලබන පිණිසය.

2. මක්නිසාද අපගේ ගැලවීම පිණිස උන් වහන්සේ මේ සියල්ල අප උදෙසා වින්ද සේක. උන් වහන්සේ සැබවින්ම දුක් වින්දා සේ ම, සැබවින්ම උන් වහන්සේම මළවුන්ගෙන් උත්ථාන වූ සේක. සමහර නොඇදහිලිවන්තයන් පවසන ආකාරයට, – ඔවුන් ‍දුක් විඳින්නාක් මෙන් පෙන්වන ලෙසට, උන් වහන්සේ දුක් විඳින්නාක් මෙන් හුදෙක් පෙන්නුම් කළේ නැත. මක්නිසාද එය ඔවුන්ගේ ඇදහිල්ලට අනුකූලව, ශරීරයෙන් තොරව පැවතීම සහ අවතාරයක් මෙන් වීම වැනි වූ ඉරණමකි.

3. මා සම්බන්ධයෙන් ගත් කල, උන් වහන්සේගේ උත්ථානයෙන් පසුව පවා උන් වහන්සේ මාංසයේ සිටි බව මම දනිමි. එසේම එය සත්‍යයක් යැයි මම විශ්වාස කරමි. මක්නිසාද උන් වහන්සේ පේතෘස් සමග සිටි අය වෙතට පැමිණි කල, උන් වහන්සේ ඔවුන්ට මෙසේ කී සේක. “මා ස්පර්ශ කර, මා ශරීරයක් නැති ආත්මයක් නොවන බව බලන්න.” තවද, ඔවුහු උන් වහන්සේට අත තබා උන් වහන්සේගේ මාංසය හා උන් වහන්සේගේ හෘදය ස්පන්දනය දැනුණු විගස ඔවුහු විශ්වාස කළහ. ඔවුන් මරණය හෙළා දුටුවේත්, මරණයට වඩා තමන් උසස් බව පෙන්වූයේත් මේ හේතුව නිසාය. උන් වහන්සේ තමන් වහන්සේගේ පියාණන් වහන්සේ හා සමග එක ආත්මයක් වූ නමුත්, උන් වහන්සේගේ උත්ථානයෙන් පසුව, ශරීරයක් ඇති අන් අය කරන්නාක් මෙන්, උන් වහන්සේ ඔවුන් සමග ආහාර පාන අනුභව කළ සේක.

4. ආදරණීය සහෝදරවරුනි, ඔබ උන් වහන්සේ පිළිබඳ මේ දේවල් විශ්වාස කරන බව මා දැන සිටියත්, මම ඔබට අනතුරු අඟවමි. මිනිසුන්ගේ ස්වරූපයෙන් සිටින මෘගයන් පිළිබඳ මම ඔබ කල් තබා දැනුවත් කරමි. ඔබට එසේ කළ හැකි නම්, ඔබ ඔවුන් වැඩිපුර හමු නොවී සිටීම වඩා යහපත්ය. එසේ වූවත්, ඔවුන් පිළිගන්න. කෙසේ වෙතත්, ඔබ ඔවුන් වෙනුවෙන් යාච්ඤා කළ යුතුය. එය දුෂ්කර වූවත්, ඔවුන් කෙසේ හෝ පසුතැවිලි වනු ඇත. අපගේ සැබෑ ජීවිතය වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේට මෙය කළ හැකිය. අපගේ ස්වාමින් වහන්සේ කළ දේවල් උන් වහන්සේ විසින් කරන ලද්දේ හුදෙක් පෙනෙන පිණිස නම්, මම බැඳුම්වල සිටින්නේ පෙනෙන්නට පමණි. එසේ නම්, මා මරණය විඳීම උදෙසා ගින්නට, කඩුවට, වන මෘගයන්ට මාගේ ජීවිතය පුද කරන්නේ මන්ද? මෙහි ඇති කාරණය නම්, කඩුව සමීපයේ ඇති විට, එය දෙවියන් වහන්සේට සමීපව සිටීමක් වීමය. මෘගයන් අතර සිටියද, දෙවියන් වහන්සේ සමග සිටීමය. එය පමණක් මට ලබා දෙන ලදුව, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මම උන් වහන්සේ සමග දුක් විඳින්නෙමි. මම සියල්ල විඳ දරාගනිමි. මක්නිසාද පරිපූර්ණ මනුෂ්‍යයා වන උන් වහන්සේ මාගේ ශක්තිය වන සේක.

5. සමහරු උන් වහන්සේ නොදන්නා බැවින් උන් වහන්සේ ප්‍රතික්ෂේප කරති. නැතහොත්, ඔවුන් සත්‍යයට වඩා මරණයට කැමති නිසා උන් වහන්සේ විසින් ඔවුහු ප්‍රතික්ෂේප කරනු ලැබ සිටිති. මෙම මිනිසුන් මේ වන තුරු අනාවැකි මගින් හෝ මෝසෙස්ගේ ව්‍යවස්ථාව මගින් හෝ අවම වශයෙන් ශුභාරංචිය මගින් හෝ අපෙන් කිසිවෙකුගේ විශේෂිත වූ දුක් විඳීම නිසා හෝ ඒත්තු ගැන්වී නැත. මක්නිසාද ඔවුන් උන් වහන්සේ ගැන සිතන ආකාරයටම අප ගැනද සිතන බැවිනි. කෙසේ වෙතත්, මාගේ ස්වාමින් වහන්සේට ශරීරයක් තිබූ බව ප්‍රතික්ෂේප කිරීමෙන් උන් වහන්සේ පිළිබඳ අයහපත් ලෙස කථා කරන්නේ නම්, මා යහපත් බවට එම මිනිසා සිතා සිටීමෙන් ඇති වන ප්‍රයෝජනය කුමක්ද? මෙය ප්‍රතික්ෂේප කරන ඕනෑම කෙනෙක් සම්පූර්ණයෙන්ම උන් වහන්සේ ප්‍රතික්ෂේප කරන අතර, එම හේතුව නිසා ඔහු මැරී සිටින්නේය. එවැනි මිනිසුන් නොඇදහිලිවන්තයන් වන තාක් කල්, ඔවුන්ගේ නම් කීම සුදුසු යැයි මම නොසිතමි. ඇත්ත වශයෙන්ම, අපගේ නැවත උත්ථානයේ මහත් ආශාව කෙරෙහි ඔවුන් ඇදහිල්ල කරා නැවත පැමිණෙන තෙක් මම ඔවුන් මතකයට ගෙනෙන්නේ නැති බව මම විශ්වාස කරමි.

6. කිසිම මනුෂ්‍යයෙකු නොරැවටෙන පිණිස බලාගන්න. ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය කෙරෙහි විශ්වාස නොකරන්නේ නම්, ස්වර්ගික සත්තාවන්ට, මහිමාන්විත දේවදූතයන්ට සහ දෘශ්‍යමාන හෝ අදෘශ්‍යමාන හෝ අධිපතීන්ට පවා විනිශ්චය ක්‍රියාත්මක විය යුතුය. එය ලබාගත හැකි තැනැත්තා හට එය ලබා ගැනීමට ඉඩ දෙන්න. කිසිවෙකුගේ තනතුර හේතුකොටගෙන ඔහු උඩඟු අයෙකු නොවේවා. මක්නිසාද ඇදහිල්ල හා ත්‍යාගශීලීභාවය සියල්ලෙන් සියල්ල වන බැවිනි. ඒවාට කැමති වන තැනැත්තාට කිසිවක් නැත. අප වෙත පැමිණ තිබෙන දෙවියන් වහන්සේගේ අනුග්‍රහය සම්බන්ධයෙන් බලන කල, විපරිත ධර්මයන් දෙවියන් වහන්සේගේ මනසට කෙතරම් පරස්පර විරෝධී වන්නේදැයි සලකා බලන්න. ඔවුන්ට ත්‍යාගශීලීභාවය පිළිබඳ කිසිම තැකීමක් නැත. එනම්, වැන්දඹුව, අනාථයා, පීඩිතයා, සිරගෙදර සිටින මිනිසා, කුසගින්නෙන් හෝ පිපාසයෙන් සිටින තැනැත්තා කෙරෙහි කිසි සැලකිල්ලක් ඔවුන්ට ඇත්තේ නැත. සත්ප්‍රසාදය අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මාංසය බවත්, එම මාංසයෙන් උන් වහන්සේ අපගේ පාප උදෙසා දුක් විඳි බවත්, පියාණන් වහන්සේ උන් වහන්සේගේ කරුණාවෙන් එම ශරීරය මළවුන්ගෙන් උත්ථානය කළ බවත් නොපිළිගන්නා නිසා ඔවුහු සත්ප්‍රසාදය ලබා ගැනීමෙන් හා යාච්ඤා කිරීමෙන් වැළකී සිටිති.

7. එලෙස දෙවියන් වහන්සේගේ දීමනාව ප්‍රතික්ෂේප හේතුවෙන්, ඔවුන්ගේ විවාදාත්මක බව නිසා මේ මිනිස්සු විනාශ වෙති. ප්‍රේම කිරීම හා නැවත නැගී සිටීම ඔවුන්ට වඩා යහපත් වනු ඇත. එවැනි පුද්ගලයින්ගෙන් ඈත්ව සිටීමත්, ඔවුන් පිළිබඳ පෞද්ගලික ලෙස හෝ ප්‍රසිද්ධියේ කථා නොකිරීමත් ඔබට යහපතකි. දුක් විඳීම ඉදිරිපත් කර තිබෙන සහ උත්ථානය සම්පූර්ණ වූ කාරණාවක් සේ දක්වා තිබෙන අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලට සහ විශේෂයෙන්ම ශුභාරංචියට අනුකූලව ජීවත් වීම වඩා යහපත් වේ.

8. භේද කරදරවල මූලාශ්‍රය ලෙස සලකා එයින් පළා දුවන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන් වහන්සේගේ පියාණන් වහන්සේ අනුගමනය කළාක් මෙන් සහ පූජකයන් අපොස්තුළුවරුන් අනුගමනය කළාක් මෙන්, අපි සියලු දෙනා රදගුරු තුමා අනුගමනය කරමු. ඔබ දෙවියන් වහන්සේගේ අණ පිළිපදින ආකාරයට, උපස්ථායකයන්ට ගෞරව කරන්න. රදගුරු තුමා නොමැතිව සභාවට අදාළ කිසිදු කාර්යයක් කිසිවෙකු විසින් ඉටු කරනු නොලැබිය යුතුය. රදගුරු තුමා විසින් හෝ රදගුරු තුමා විසින් මෙම කාර්ය භාර දී ඇති අයෙකු විසින් පමණක් ලබා දෙනු ලබන සත්ප්‍රසාදය වලංගු වේවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යම් ස්ථානයක සිටින සේක්ද, එහි කතෝලික සභාව තිබෙන්නාක් මෙන්, රදගුරු තුමා පෙනී සිටින යම් ස්ථානයක් වේද, එහි ජනතාව සිටිය යුතුය. රදගුරු තුමාගේ අවසරයකින් තොරව බෞතීස්ම කිරීම හෝ දිව්‍ය සත්ප්‍රසාදය ලබා දීම නීත්‍යනුකූල නොවේ. අනෙක් අතට, එතුමාගේ අනුමැතිය ඇති ඕනෑම දෙයක් දෙවියන් වහන්සේට ප්‍රසන්න වේ. මේ අනුව, ඔබ කරන ඕනෑම දෙයක් ආරක්ෂිත මෙන්ම වලංගු දෙයක්ද වන්නේය.

9. දැන් සිටම නැවතත් සන්සුන්භාවයට පත් වීම, තවත් කාලය ඉතිරිව තිබියදීම දෙවියන් වහන්සේ කෙරෙහි අපගේ මනස යොමු කිරීම අපට යහපත්ය. දෙවියන් වහන්සේ සහ රදගුරු තුමා පිළිගැනීම යහපත් කාරණයකි. රදගුරු තුමාට ගෞරව කරන මිනිසෙක් නිසැකවම දෙවියන් වහන්සේගේ ගෞරවයට පාත්‍ර වන්නේය. රදගුරු තුමාගේ අනුදැනුමකින් තොරව කටයුතු කරන මිනිසෙක් යක්ෂයාට සේවය කරන්නේය. එබැවින්, සියල්ලන්ටම, ඔබට ලැබීමට සුදුසු ආකාරයට අනුග්‍රහය කරණකොටගෙන, කරුණාව ඔබ අතර බහුල වේවා. ඔබ මට සැම අතින්ම සැනසීමක් ලබා දී ඇත. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබටත් එසේම සැනසීම වන සේක්වා. මම ඔබ සමග සිටියද, නැතද ඔබ මට ප්‍රේම කළෙහුය. දෙවියන් වහන්සේ ඔබටද එලෙසම නැවත දෙන සේක්වා. ඔබ උන් වහන්සේ උදෙසා සියල්ල දරාගන්නෙහු නම්, ඔබ කෙදිනක හෝ උන් වහන්සේ සමග සිටිනවා ඇත.

10. ෆිලෝ සහ රයියස් අගතෝපස් දෙවියන් වහන්සේගේ උපස්ථායකයන් ලෙස පිළිගැනීම ඔබගේ යහපත් ක්‍රියාවකි. මන්ද ඔවුහු දෙවියන් වහන්සේ උදෙසා මා අනුගමනය කළහ. ඔබ ඔවුන්ට දුන් සැනසිල්ල වෙනුවෙන් ඔවුහු ඔබ වෙනුවෙන් සමිඳාණන් වහන්සේට ස්තුති කරති. ඔබ දුන් කිසිවක් ඔබට අහිමි නොවනු ඇත. මාගේ ජීවිතය ඔබ උදෙසා සහ මාගේ බැඳීම් වෙනුවෙන් පූජා නොකරමි. එය ඔබ හෙළා නොදකින්නෙහුය. ඔබ ඒවා ගැන ලජ්ජාවට පත් වන්නේද නැත. විශ්වාසවන්තව සිටින යේසුස් ක්‍රිස්තුස් වහන්සේද ඔබ ගැන ලජ්ජා නොවනු ඇත.

11. ඔබගේ යාච්ඤාව සිරියාවේ අන්තියෝකියේ සභාව දක්වා ළඟා වී ඇත. කෙසේ වෙතත්, නොවටිනා නමුත්, එම සභාවට මම අයිති වන අතර, එහි සිටින අය අතරින් අඩුම තැනැත්තා මම වෙමි. දෙවියන් වහන්සේට ප්‍රසන්න වන බැඳුම් ලැබ, මම එහි සිට පැමිණෙන අතර, මම ඔබ සැමට ආචාර කරමි. ඔබගේ යාච්ඤාව තුළින් මට දෙවියන් වහන්සේ වෙත ළඟා විය හැකි බවට දිව්‍යමය කැමැත්තට අනුව මට සහතික වී තිබේ. මෙය මාගේ කිසිම සුදුසුකමක් තුළින් නොව, දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන් මට ලැබුණකි. එසේම අවසාන අනුග්‍රහයද මට ලබා දෙන ලෙස මම යාච්ඤා කරමි. ඔබ ස්වර්ගයේ හා පොළොවෙහි ඔබගේ වැඩ කටයුතු පරිපූර්ණ ලෙස සිදු කර ඇත්නම්, ඔබේ සභාව දෙවියන් වහන්සේගේ මහිමය සඳහා සිරියාවට යන පිණිසත්, එහි ගොස් ඔවුන්ගේ නියම මුහුකුරා යාමට නැවතත් පැමිණ, සාමකාමී හැසිරීමෙන් සිටීම ගැන ඔවුන්ට සුබ පතන පිණිසත් දෙවියන් වහන්සේගේ තානාපතිවරයෙකු පත් කළ යුතුය. ඔබගෙන් කෙනෙකු ලිපියක් සමග ඔවුන් වෙත යැවීමේ ක්‍රියාව සුදුසු බව මට පෙනේ. එසේ කිරීමෙන් ඔහුට ඔවුන් වෙත පැමිණ ඇති සන්සුන් ස්වභාවය පිළිබඳ සහ ඔබගේ යාච්ඤා හේතුකොටගෙන ඔවුන් එයට ළඟා වීම පිළිබඳ දෙවියන් වහන්සේට මහිමය දීමට හැකි වනු ඇත. ඔබේ පරිපූර්ණත්වය, පරිපූර්ණ විසඳුම් ඔබෙන් ඉල්ලා සිටින්නේය. ඔබ යහපත පමණක් කිරීමට සූදානම් නම්, එය සිදු කිරීමට ඔබට උදව් කිරීමට දෙවියන් වහන්සේ සූදානම් වනු ඇත.

12. ත්‍රෝව‍සයෙහි සිටින සහෝදරයන්ගේ ප්‍රේමය ඔබට ආචාර කරන්නේය. මා මෙහි සිට ලියන්නේ, ඔබ සහ එපීසයේ ඔබේ සහෝදරයන් විසින් මා සමග සිටීම පිණිස එවන ලද බර්හස්ගේ අතිනි. බර්හස් මට බොහෝ ආකාරවලින් සැනසීමක් ලබා දී ඇත. ඔහු දෙවියන් වහන්සේගේ සේවයේ ආදර්ශයක් වන අතරම, සැම කෙනෙක්ම ඔහු අනුකරණය කරනු ඇතැයි මම ප්‍රාර්ථනා කරමි. දෙවියන් වහන්සේගේ කරුණාව ඔහුගේ සියලු කරුණාවන්ට වන්දි ගෙවනු ඇත. ඔබගේ ශාන්තුවරයා වූ රදගුරු තුමාට සහ ඔබගේ ගෞරවනීය පූජකයන්ට මෙන්ම මාගේ සෙසු හවුල් සේවකයන් වන උපස්ථායකවරුන්ට මම ආචාර කරමි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්ද, උන් වහන්සේගේ මාංශයෙන් හා රුධිරයෙන්ද, උන් වහන්සේගේ ශරීරය හා ආත්මය තුළ දුක් විඳීම සහ උත්ථානයෙන්ද, දෙවියන් වහන්සේ හා ඔබ සමග ඇති එකමුතුකමින්ද මම ඔබට ආචාර කරමි. අනුග්‍රහය ඔබ වෙත පවතීවා. එසේම කරුණාව, සාමය සහ ඉවසීම සැම විටම ඔබට ලැබේවා.

13. මාගේ සහෝදරයන්ගේ පවුල්වල අයට, ඔවුන්ගේ භාර්යාවන්ට හා දරුවන්ට සහ වැන්දඹුවන් ලෙස හඳුන්වන කන්‍යාවන්ට මම ආචාර කරමි. පියාණන් වහන්සේගේ බලයෙන් යුක්තව මම ඔබගෙන් සමුගනිමි. මා සමග සිටින ෆිලෝ, ඔහුගේ සුබ පැතුම් ඔබ වෙත එවන්නේය. ගාවියාගේ පවුලේ අයට මම ආචාර කරමි. ඇය ශරීරය හා ආත්මය තුළ ඇදහිල්ලෙන් හා ත්‍යාගවන්තකමෙන් මුල් බැස ගන්නා ලෙස මම යාච්ඤා කරමි. මට ආදරණීය අයෙකු වන ඇලෙක් සහ කිසිවෙකුට සමාන කළ නොහැකි ඩැෆ්නස් සහ යුටෙක්නස් සහ සැම කෙනෙකුටම ඔවුන්ගේ නමින් මම ආචාර කරමි. දෙවියන් වහන්සේගේ අනුග්‍රහය තුළ, සමුගැනීම පිණිස ආයුබෝවන්.