ඉග්නේෂස් තුමා රෝමවරුන් වෙත ලියන ලද ලිපිය

Ignatius of Antioch, Epistle to the Romans

ඉග්නේෂස් තුමා රෝමවරුන් වෙත ලියන ලද ලිපිය

ඉග්නේසියස් තියෝෆොරෝස් වන මා විසින්, උත්තම පියාණන් වහන්සේගේ සහ උන් වහන්සේගේ එකම පුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මහිමය සහ දයාව ලැබූ සභාවට, අපගේ දෙවියන් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඇදහිල්ලෙන් හා ත්‍යාගශීලීභාවයෙන් ආදරණීය හා ආලෝකවත් වූ සභාවට ලියනු ලැබේ. උන් වහන්සේගේ කැමැත්තෙන්, උන් වහන්සේ තුළ සියලු දේම පැවතීම පිණිස පියාණන් වහන්සේ ආශා කළ සේක. එනම්, රෝමවරුන්ගේ රටෙහි ප්‍රමුඛස්ථානය හිමි සභාව තිබෙන පිණිස උන් වහන්සේ කැමති වූ සේක. පියාණන් වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මම ඔබට ආචාර කරමි. ඔබ දෙවියන් වහන්සේට වටිනා, ගෞරවය, ප්‍රශංසාව හා අභිනන්දනය ලැබීමට වටිනා සභාවකි. එසේම දෙවියන් වහන්සේ වෙත ළඟා වීමට සුදුසු, කැළැල් රහිත, ප්‍රේමයේ ප්‍රජාවේ ප්‍රමුඛතාවය ඇති සභාවකි. ක්‍රිස්තුස් වහන්සේගේ ව්‍යවස්ථාවට කීකරු, පියාණන් වහන්සේගේ නාමය දරන්නාවූ සභාවකි. උන් වහන්සේගේ සම්පූර්ණ ආඥාව තුළම පවතින, කරුණාවෙන් පිරී සිටින, දෙවියන් වහන්සේ සමග එක්වී සිටිමින් අනෙකුත් විදේශීය කැළැල් පළවා හැර ඇති සභාවකි. අපගේ දෙවියන් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ සැම නිහතමානි ප්‍රීතියම ඔබට ලැබෙනු ඇතැයි මම ප්‍රාර්ථනා කරමි.

1. මගේ යාච්ඤාවට පිළිතුරු වශයෙන් සහ මා ඉල්ලා සිටි සියල්ලටම වඩා ඉහළින්, බොහෝ කාලයක් තිස්සේ දැකීමට මා බලා සිටි මුහුණු මම දැකගත්තෙමි. මා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් බැඳුම් ලබා සිටින අතරතුර, මගේ ඉලක්කය කරා ළඟා වීමට උන් වහන්සේගේ කැමැත්ත අනුව මට කරුණාව ලබා දෙන සේක් නම් පමණක්, ඔබට ආචාර කිරීමට බලාපොරොත්තු වෙමි. කිසිම බාධාවකින් තොරව, අවසානයේදී, මට උරුමය ලබා ගැනීමට නම්, ආරම්භය පුදුම තරම් වාසනාවන්ත බව මම දැනගනිමි. එහෙත් ඔබේ ප්‍රේමය මගින් මට වරදක් සිදු විය හැකි බැවින්, මම ඔබේ ප්‍රේමයට බිය වෙමි. ඔබ‍ට ඔබේම මාර්ගයක් තිබීම පහසුය. එහෙත් ඔබ මට යටත් නොවන්නෙහු නම්, එය මට දෙවියන් වහන්සේ වෙත ළඟා වීමට අපහසුතාවක් වනු ඇත.

2. ඇත්තෙන්ම, ඔබ සිදු කරන පරිද්දෙන්, මිනිසුන්ට වඩා දෙවියන් වහන්සේ සතුටු කිරීමට ඇති ඔබගේ සිතිවිල්ල පිළිබඳ මම සතුටු වෙමි. මක්නිසාද පසු කාලයකදී දෙවියන් වහන්සේ වෙත ළඟා වීමට මට මෙවැනි අවස්ථාවක් නොලැබෙනු ඇත. එසේම ඔබ නිශ්ශබ්දව සිටීම කරණකොටගෙන පමණක් එය කළ හැකි. එසේ සිටීම මගින් ඔබට එයට වඩා යහපත් ක්‍රියාවක් මා වෙනුවෙන් කළ නොහැකි වනු ඇත. ඔබ මා වෙනුවෙන් කිසිවක් නොපවසන්නෙහු නම්, මම දෙවියන් වහන්සේගේ වචනයක් බවට පත් වන්නෙමි. එහෙත්, අපගේ ආදරය මගේ ශරීරයට පමණක් වන්නේ නම්, මම නැවත වරක් හුදු වචනයක් පමණක් වන්නෙමි. පූජා කරන ස්ථානය සූදානම්ව තිබෙන මේ අවස්ථාවේදී, දෙවියන් වහන්සේට පූජා වීමට මට ඉඩ හරිනවාට වඩා මහත් කරුණාවක් මට පෙන්වීමට ඔබට නොහැකිය. එසේ කිරීමෙන්, ඔබ ප්‍රේමයේ ගායනයක් බවට පත් වෙමින්, සූර්යයා පෑයූ වේලාවේ සිට එහි බැස යාම දක්වා, දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය සිරියාවේ රදගුරුතුමාට ලබා දුන් නිසා, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ පියාණන් වහන්සේට ගායනා කළ හැකිය. දෙවියන් වහන්සේ උදෙසා ලෝකය අත්හැර දමා උන් වහන්සේ තුළ නැගී සිටීම යහපත් කාරණාවකි.

3. ඔබ කිසි විටෙකත් කිසිවෙකුට ඊර්ෂ්‍යා කර නැත. ඔබ අන් අයගේ ගුරුවරුන් වී ඇත. ඔබ අනුන්ට උගන්වා ඇති සහ නියම කර ඇති දේ දැන් ඔබටම අදාළ කර ගත හැකි යැයි මම විශ්වාස කරමි. මම කිතුනුවෙකු යන නමින් පමණක් නොව, ඇත්ත වශයෙන්ම ක්‍රියාවෙන්ද, වචනයෙන් පමණක් නොව කැමැත්තෙන්ද එසේ වීමට අභ්‍යන්තර හා බාහිර ශක්තියක් ඇති වන ලෙස ආයාචනා කරමි. එසේ ආයාචනා කර සිටින්නේ, මා ලෝකයෙන් තුරන් වී බොහෝ කලකට පසුව පවා, මා එවැනි ආකාරයේ විශ්වාසවන්ත ජීවිතයක් ගත කළ අයෙකු ලෙස හඳුනාගනු ලබන පිණිසය. හුදෙක් පෙනෙන දේවල් කිසිවක් යහපත් නැත. මන්ද අපගේ දෙවියන් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, දෙවියන් වහන්සේ තුළ සැඟවී සිටින නමුත්, දැන් උන් වහන්සේ වැඩියෙන් විද්‍යමාන වන බැවිනි. ක්‍රිස්තියානි ධර්මය යනු ඒත්තු ගැන්වීමේ කාර්යයක් නොවේ. එහෙත්, එය ලෝකයාගෙන් වෛරයට ලක් වන සැම විටම, එය බලයේ කාර්යක් වේ.

4. ඔබ එය වළක්වන්නේ නැත්නම්, මම සියලු සභාවලට, මාගේ මුළු හදවතින්ම, මාගේ සම්පූර්ණ සත්තාවෙන්, දෙවියන් වහන්සේ උදෙසා මැරෙන ලෙස ඔවුන්ට පවසන පිණිස ලියමි. ඔබගේ කරුණාව වැරදි වේලාවේ භාවිත නොකරන ලෙසට මම ඔබගෙන් ඉල්ලා සිටිමි. කරුණාකර මා වන මෘගයන් වෙතට දැමීමට ඔවුන්ට ඉඩ හරින්න. එවිට ඔවුන් තුළින් මට දෙවියන් වහන්සේ වෙතට ළඟා විය හැකිය. මම දෙවියන් වහන්සේගේ තිරිඟු වෙමි; මම ක්‍රිස්තුස් වහන්සේගේ නිර්මල ආහාරය ලෙස අවසන් වන පිණිස, වන මෘගයන්ගේ දත්වලින් පොඩි කරනු ලැබ සිටිමි. මගේ ශරීරයෙන් කිසිවක් ඉතිරි නොවන පරිදි, මාගේ ශරීරය කා දැමීමට ඉඩ දීමෙන්, තිරිසනුන් එය අනුභව කර, මගේ සොහොන් ගෙය බවට පත්වීම පිණිස මා කා දැමීමට තිරිසනුන් පොලඹවන්නට යමක් තිබේ නම්, ඒ මගින් මා මිය ගිය පසු මා කිසිවෙකුටත් හිරිහැරයක් නොවනු ඇත. මගේ ශරීරය තරම් ලෝකයට තවදුරටත් මා නොපෙනෙන විට, මම සැබවින්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයෙක් වන්නෙමි. එසේ නම්, මා දෙවියන් වහන්සේට මේ ආකාරයේ වූ පූජාවක් වන පිණිස මා වෙනුවෙන් සමිඳාණන් වහන්සේට අයැද සිටින්න. පේතෘස් තුමා සහ පාවුල් තුමා සිදු කළාක් මෙන් මම ඔබට අණ නොකරමි. ඔවුහු අපෝස්තුළුවරු වූහ; මම හෙළා දකින ලද මිනිසෙක්මි. ඔවුහු නිදහස් මිනිස්සු වූහ; මම තවමත් වහලෙක්මි. එහෙත්, මම දුක් විඳින්නෙම් නම්, මට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණකො‍ටගෙන විමුක්තිය ලැබෙනු ඇත. එසේම මගේ නැවත නැගිටීමේදී මා නිදහස් වනු ඇත. එහෙත් දැන් මා බැඳුම් කරණකොටගෙන ඉගෙන ගන්නේ මටම කිසි ආකාරයේ කැමැත්තක් ‍ඇති කර නොගැනීමටය.

5. මම දැනටමත් සිරියාවේ සිට රෝමයට යන ගමනේදී, මෘගයන් සමග පොරබදමින් සිටිමි. ගොඩබිමේදී සහ මුහුදේදීත්, රාත්‍රියේදී සහ දිවා කාලයේදීත් මා සිටින්නේ දිවියන් දස දෙනෙකු මධ්‍යයේ දම්වැල්වලින් බැඳ දමාය. නැතහොත්, අවම වශයෙන් මුර සෙබළු කණ්ඩායමක් සමගය. ඔවුන්ට වඩා හොඳින් සලකනු ලබන විට ඔවුහු වඩාත් කුරිරු වෙති. කෙසේ වෙතත්, ඔවුන් මා හට කරන වැරදි, මා වඩාත් හොඳ ගෝලයෙකු බවට පත් කරන්නේය. ‘එහෙත් මගේ ධර්මිෂ්ඨකම ඇත්තේ එතැන නොවේ.’ මා වෙනුවෙන්ම සූදානම් කරන ලද තිරිසනුන් තුළ මගේ ප්‍රීතිය මට ලැබේවා! මගේ යාච්ඤාව නම්, ඔවුන් මා සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඉක්මන් වන ලෙසයි. සමහර අවස්ථාවල සිදු වූවාක් මෙන්, ප්‍රමාදයකින් තොරව මව ගිල දැමීමටත්, මා ස්පර්ශ කිරීමට බිය නොවීමටත් මම ඔවුන් පොලඹවන්නෙමි. මා සූදානම් වූ විට, ඔවුන් පසුබට වුවහොත්, මට පහර දීමට මම ඔවුන් කුපිත කරන්නෙමි. ඒ සම්බන්ධයෙන් මට සමාව දෙන්න. මන්ද මට යහපත් දේ කුමක්දැයි මම දනිමි. මම දැන් ගෝලයෙකු වීම ආරම්භ කර ඇත්තෙමි. දෘශ්‍යමාන හෝ අදෘශ්‍යමාන කිසිවක් මා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතට පැමිණීම වළක්වනු නොලැබේවා. ගින්නෙන් හා කුරුසියෙන් හා තිරිසනුන් සමග පොරබදමින් (ඔවුන්ගේ පහුරු ගැසීම, ඉරා දැමීම), ඇටකටු කඩා දැමීම සහ අවයව තළා පොඩි කර දැමීම, මගේ මුළු සිරුරම අඹරා දැමීම, යක්ෂයාගේ දුෂ්ට වධ හිංසා – මට පමුණුවනු ලබන කල, මා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතට යන තුරුම, ඔවුන් සියල්ලන්ටම මට පහර දීමට ඉඩ හරින්න.

6. මේ ලෝකයේ රාජධානිවලින් හෝ විශ්වයේ මායිම්වලින් මට කිසිම ප්‍රයෝජනයක් ඇත්තේ නැත. පොළොවේ අවසාන කෙළවර දක්වා පාලනය කරනවාට වඩා, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් මිය යාමට මම කැමති වෙමි. මාගේ සෙවීම අප උදෙසා මිය ගිය තැනැන් වහන්සේ උදෙසාය; මාගේ ප්‍රේමය අපගේ ගැලවීම උදෙසා නැගිටි තැනැන් වහන්සේ උදෙසාය. අලුතින් උපත ලැ‍බීමේ වේදනාව මා මත තිබේ. සහෝදරවරුනි, මට සමාව දෙන්න. මෙම නව ජීවිතය වැළැක්වීමට කිසිවක් සිදු නොකරන්න. මා විනාශ වනවාට ආශා නොවන්න. දෙවියන් වහන්සේ කෙරෙහි සිත යොමු කර ඇති මිනිසෙකු ලෝකයට භාර නොදෙන්න. ද්‍රව්‍යමය දේවලට මා නොපොලඹවන්න. නිර්මල ආලෝකය ලබා ගැනීමට මට ඉඩ දෙන්න. මම එය කරා ළඟා වූ විට, මම සම්පූර්ණයෙන්ම මිනිසෙක් බවට පත් වන්නෙමි. මගේ දෙවියන් වහන්සේගේ දුක් විඳීමේ අනුගාමිකයෙකු වීමට මට ඉඩ දෙන්න. උන් වහන්සේ තමන්ගේ හදවතේ රඳවාගෙන සිටින අය, මා උනන්දු කරන්නේ කුමක්ද යන්න තේරුම් ගනීවා; මා තෝරා ගන්නා දේ අවබෝධ කර ගනීවා; මගේ හැඟීම් තේරුම් ගනීවා.

7. දෙවියන් වහන්සේ කෙරෙහි යොමු කර ඇති මගේ කැමැත්ත දුර්වල කිරීම පිණිස, මේ ලෝකයේ කුමාරයා මා කැබලිවලට ඉරා දැමීමට උනන්දු වෙයි. සටන දෙස බලා සිටින ඔබ කිසිවෙකු ඔහුට අනුබල නොදෙන්න. මගේ පැත්තට ඇතුළට එන්න, මන්ද එය දෙවියන් වහන්සේගේ පැත්ත වන බැවිනි. ඔබේ තොල් යේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසා සහ ඔබේ හදවත ලෝකය උදෙසා දෙන්නට ඉඩ නොදෙන්න. ඊර්ෂ්‍යාවට ඔබ අතර කිසි ඉඩක් නොදෙන්න. මා පැමිණි විට පවා, මම ඔබෙන් බැගෑපත්ව ඉල්ලා සිටින්නේ ඊර්ෂ්‍යාවට අවධානය යොමු නොකරන ලෙසයි. මම දැන් ඔබට ලියන දේ විශ්වාස කරන්න යයි ඔබට මම කියමි.

8. මා ඔබට ලියන මේ මොහොතේ ජීවතුන් අතර සිටියද, මා තුළ ඇති ආශාව මිය යාම උදෙසායි. මා තුළ ඇති ආශාව කුරුසියට ඇණ ගසා ඇති අතර, ද්‍රව්‍යමය දේවලට ආශා වීමේ අංශු මාත්‍රයක් පවා මා වෙත ඉතිරිව නැත. මා තුළ කථා කරන්නේ ජීවමාන ජලය පමණක් වන අතර, එය මෙසේ පවසයි: පියාණන් වහන්සේ වෙත යාමට ඉක්මන් වන්න. විනාශ වන ආහාරවල කිසි රසයක් හෝ මේ ජීවිතයේ සැප සම්පත් ගැන කිසිම ආශාවක් හෝ මට ඇත්තේ නැත. දාවිත්ගේ වංශයට අයත්, ක්‍රිස්තුස් වහන්සේගේ මාංසය වන දෙවියන් වහන්සේගේ රොටිය මට අවශ්‍යය; එසේම පානය පිණිස විනාශ කිරීමට නොහැකි වූ ප්‍රේමය, එනම් උන් වහන්සේගේ රුධිරය පානය කිරීමට මම කැමැත්තෙමි.

9. තවදුරටත් මිනිස් ජීවිතයක් ගත කිරීමට මා තුළ කැමැත්තක් නැත; ඔබ ඒ පිළිබඳ සැලකිලිමත් වුවහොත් මාගේ මෙම ආශාව ඉටු කිරීමට හැකිය. ඔබ යමක් තෝරා ගන්නෙහු නම්, මෙය ඔබේ තෝරා ගැනීම බවට පත් කර ගන්න. මම මගේ ආයාචනය වචන කිහිපයකින් ඉදිරිපත් කරමි. කරුණාකර මා විශ්වාස කරන්න; මා සත්‍යය කථා කරන බව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබට පැහැදිලි කර දෙන සේක. මක්නිසාද පියාණන් වහන්සේ සැබවින්ම කථා කළ, වංචාවෙන් තොර වචන සහිත මුඛය උන් වහන්සේ වන බැවිනි. ශුද්ධාත්මයාණන් වහන්සේ කරණකොටගෙන මා අසමත් නොවන පිණිස, මා උදෙසා ආයාචනා කර ඉල්ලන්න. මා ඔබට ලියා ඇත්තේ මිනිසුන්ගේ ක්‍රියා කලාපය අනුව නොව, දෙවියන් වහන්සේගේ මනසට අනුවය. මම මැරුණහොත්, ඔබ මට ප්‍රේම කළ බව එයින් ඔප්පු වේ. මා ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත්, ඒ ඔබ මට වෛර කළ නිසාය.

10. දැන් මා වෙනුවට දෙවියන් වහන්සේ සභා පාලකවරයා වන සිරියාවේ සභාව පිළිබඳ ඔබගේ යාච්ඤාවලදී සිහි කරන්න. ඔබගේ ප්‍රේමය සමග යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එහි එකම රදගුරු තුමා වනු ඇත. මා රදගුරුවරුන්ගෙන් එක් අයෙකු ලෙස හඳුනා ගැනීමට මම ලජ්ජා වෙමි. මක්නිසාද යත්, ඔවුන් අතර අන්තිම තැනැත්තා වීම හේතුකොටගෙන, නියමිත වේලාවෙන් තොරව උපත ලැබීම නිසා මා නොවටිනා අයෙකු නිසාය. මම දෙවියන් වහන්සේ වෙත ළඟා වුවහොත්, මම උන් වහන්සේගේ දයාව කරණකොටගෙන පමණක් යම් ආකාරයක පුද්ගලයෙක් වන්නෙමි. මගේ ආත්මය, ඒ සමගම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මා පිළිගත් සභාවලට ඇති ප්‍රේමය, ඔබට ආචාර කරයි. ඔවුහු මට ඔවුන් පසු කර යන්නා වූ වන්දනාකරුවෙකුට වඩා ඉහළින් සැලකූහ. මක්නිසාද යත්, මා යන මාර්ගයේ නොපැමිණි ප්‍රජාවන් පවා මා නගරයෙන් නගරයට කැඳවාගෙන ගිය බැවිනි.

11. මම ඔබට මෙම ලිපිය ලියන්නේ, ස්මර්ණාවෙහි වෙසෙන එපීසියාට් අතිනි. ඔහු සියලු ප්‍රශංසාව ලැබිය යුතු අයෙකි. මා සමග සිටින තවත් බොහෝ අය අතර මගේ ආදරණීය මිතුරා වන ක්‍රොකස්ද සිටියි. දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා සිරියාවේ සිට රෝමයට මට කලින් ගිය අය ඔබ දැන හඳුනාගෙන ඇති බවට මම විශ්වාස කරමි. කරුණාකර ඔවුන්ට මම සමීපයේම සිටින බව පවසන්න. ඔවුන් සියල්ලෝම දෙවියන් වහන්සේට සහ ඔබටද වටිනා අය වෙති. ඔබ ඔවුන්ට සැම ආකාරයකින්ම උදව් කිරීම පිණිස අවශ්‍ය සියලු දේම කරනු ඇත. මෙම ලිපිය ලිවීමේ දිනය වන්නේ සැප්තැම්බර් මස දින දර්ශනයට පෙර නවවන දිනයයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ අවසානය දක්වා උත්සාහ කරන්න. ආයුබෝවන්.