ඉග්නේෂස් තුමා පොලිකාප් තුමා වෙත ලියන ලද ලිපිය

Ignatius of Antioch, Epistle to Polycarp

ඉග්නේෂස් තුමා පොලිකාප් තුමා වෙත ලියන ලද ලිපිය

ඉග්නේසියස් තියෝෆොරෝස් වන මා, ස්මර්ණාවෙහි සභාවේ රදගුරු පොලිකාප් තුමා වෙත – නැතහොත්, පියාණන් වන දෙවියන් වහන්සේගේ හා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පුජකවරය යටතේ සිටින කෙනෙකුට යනුවෙන් මා පවසන්නද? මම ඔබට සැම ප්‍රීතියක් ප්‍රාර්ථනා කරමි.

1. සෙලවිය නොහැකි පර්වතයක් මෙන් ඔබේ මනස දෙවියන් වහන්සේ තුළ පිහිටා ඇති බව දැන ගැනීමට හැකි වීම පිළිබඳ මම සතුටු වෙමි. එහෙත් ඔබේ මුහුණ දැක ගැනීමට හැකි වීම ගැන මම අතිශයින් සතුටු වෙමි. දෙවියන් වහන්සේ තුළ එහි නිර්ව්‍යාජභාවය මට ප්‍රීතියක් වේවා. තරගයෙහි ඉදිරියට යාමට ඔබ සැරසී සිටින අනුග්‍රහය කරණකොටගෙන මම ඔබට ධෛර්ය දෙමි. අනෙක් සියල්ලන්ම ගැලවීම ලබන පිණිස ඔවුන් ධෛර්යවත් කරන්න. ඔබේ ප්‍රායෝගික හා ආධ්‍යාත්මික යුතුකම් කෙරෙහි නිරන්තර සැලකිල්ල දැක්වීම මගින් ඔබේ තනතුරට ඔබින ආකාරයට ජීවත් වන්න. මක්නිසාද එක්සත්කමට වඩා හොඳ වෙන කිසිවක් නැති නිසා, එක්සත්කම පිළිබඳ සිතෙහි තබා ගන්න. සමිඳාණන් වහන්සේ ඔබට උපකාර කරන ආකාරයටම අන් අයටත් උපකාර කරන්න. ඇත්තෙන්ම ඔබ දැනටමත් සිදු කරන ආකාරයටම සියලු දෙනා සමග ප්‍රේමයෙන් ඉවසීමෙන් සිටින්න. නිරන්තර යාච්ඤාව සඳහා කාලය සොයා ගන්න. ඔබට තිබෙන ප්‍රමාණයට වඩා ප්‍රඥාව ඉල්ලා සිටින්න. ඔබේ ආත්මය අවදියෙන් හා සෝදිසියෙන් තබාගන්න. එක් එක් පුද්ගලයාට තනි පුද්ගලයෙකු ලෙස කථා කිරීමේදී දෙවියන් වහන්සේගේ මාර්ග අනුගමනය කරන්න. පරිපූර්ණ තත්වයේ සිටින මලල ක්‍රීඩකයෙකු මෙන්, අසනීපව සිටින සියල්ලන්ට අත දෙන්න. වැඩිපුර වැඩ ඇති ස්ථානයෙහි බොහෝ විපාක තිබේ.

2. හොඳ සිසුන්ට කැමති වීම නිසා ස්තුතියක් නොලැබේ. සැබෑ කාර්ය වන්නේ ඔබට පීඩා කරන අය මෘදුකම කරණකොටගෙන කීකරුකමට ගෙන ඒමයි. සැම තුවාලයක්ම එකම ආලේපය මගින් සුවපත් වන්නේ නැත. වේදනාව තියුණු වන විට, එය ආලේප කිරීම මගින් සහනය ලබා දෙන්න. සැම කාරණයකදීම සර්පයා මෙන් ප්‍රඥාවන්ත වී, සැම විටම පරෙවියා තරම් අහිංසක වන්න. ඔබ මාංසයෙන් හා ආත්මයෙන් සාදනු ලැබ ඇතර, එම නිසා ඔබ වෙත පැමිණෙන ලෙස ඔබට පෙනෙන දේ ඒත්තු ගැන්වීමට ඔබට හැකියාව ඇත. අදෘශ්‍යමාන යථාර්ථයන් සම්බන්ධයෙන් නම්, ඒවා ඔබට එළිදරව් වන පිණිස යාච්ඤා කරන්න. මේ ආකාරයෙන් ක්‍රියා කිරීමෙන් කිසිවක් අඩු නොවනු ඇති අතර, ඔබට සැම ත්‍යාගයක්ම බහුල ලෙස ලැබෙනු ඇත. ගුවන් නියමුවන්ට සුළං අවශ්‍ය වන්නා සේ සහ කුණාටුවකට හසු වූ නැවියන්ට වරාය අවශ්‍ය වන්නා සේ, දෙවියන් වහන්සේ වෙත ළඟා වීමට නම්, මෙම යුගයට ඔබ අවශ්‍ය වේ. දෙවියන් වහන්සේගේ මලල ක්‍රීඩකයෙකු මෙන් සෞම්‍ය වන්න. ත්‍යාගය වන්නේ අමරණීයභාවය සහ සදාකාල ජීවනයයි. මේ සම්බන්ධයෙන් ඔබට කිසි සැකයක් ඇත්තේ නැත. මා සහ ඔබ ආදරය කළ මගේ බැඳුම් යන කාරණ‍ා දෙකම මම ඔබ වෙනුවෙන් පූජා කරමි.

3. සත්‍යය යැයි පෙනෙන්නට ඇති නමුත් මිථ්‍යාදෘෂ්ටික ඉගැන්වීම් උගන්වන සමහරු සිටිති. ඔබට බාධා කිරීමට ඔවුන්ට ඉඩ නොදෙන්න. ඔබ සැම විටම ශක්තිමත්ව ස්ථිරව සිටින්න. විශිෂ්ට බොක්සිං ක්‍රීඩකයෙක් ප්‍රහාරයන්ට ලක් වන නමුත්, ජයග්‍රහණය ලබන්නේය. අප ඕනෑම දෙයක්, විශේෂයෙන්ම දෙවියන් වහන්සේ උදෙසා ඉවසිය යුතුය. එවිට උන් වහන්සේ අප ගැනත් ඉවසනු ඇත. ඔබ දැන් සිටින පමණටත් වඩා ජ්වලිත බවට පත් වන්න. අප ජීවත් වන යුගය තේරුම් ගන්න. සැම කාලයකටම ඔබ්බෙන් සිටින තැනැන් වහන්සේ, සදාකාලික තැනැන් වහන්සේ, අප වෙනුවෙන් දෘශ්‍යමාන බවට පත් වූ අදෘශ්‍යමාන තැනැන් වහන්සේ, සැම දෙයක්ම දුර සිටම දන්නා තැනැන් වහන්සේ, වේදනා විඳිය නොහැකි එහෙත් අප වෙනුවෙන් දුක් විඳි තැනැන් වහන්සේ, අප වෙනුවෙන් සැම අපරාධයක්ම විඳ දරාගත් තැනැන් වහන්සේ සොයන්න.

4. වැන්දඹුවන් නොසලකා හරිනු ලැබීමට ඉඩ නොදෙන්න. දෙවියන් වහන්සේට පසුව, ඔබ ඔවුන්ගේ භාරකරුවා විය යුතුය. ඔබේ කැමැත්තෙන් තොරව කිසිවක් සිදු නොවීමට බලාගන්න; එසේම දැන් සිදු කරන ආකාරයටම, දෙවියන් වහන්සේගේ අනුදැනුම නොමැතිව ඔබම කිසිවක් නොකරන්නට නොකඩවම වගබලාගන්න. දුර්වල බවට පත් නොවන්න. ඔබේ රැස්වීම් නිතර නිතර පවත්වන්න. සියලු දෙනා සම්බන්ධයෙන්ම ඔවුන්ගේ නමින්ම සොයා බලන්න. එසේම පුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ වේවා, වහලුන් නොසලකා නොහරින්න. ඒ අතරම, ඔවුන් උඩඟු බවට පත් නොවී, දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා වඩා හොඳ සේවකයින් බවට පත් විය යුතුය. එසේ කිරීම හේතුකොටගෙන ඔවුන්ට දෙවියන් වහන්සේ විසින් ඊටත් වඩා හොඳ නිදහසක් ලබා දෙනු ඇත. සියලු දෙනාම තම තමන්ගේ ආශාවන්ගේ වහලුන් බවට පත් නොවීමට නම්, ඔවුන් මහජන වියදමින් නිදහස ලබා ගැනීමට ආශා නොවිය යුතුය.

5. මායාවන් වැනි දේවල් කිරීමෙන් වළකින්න. එහෙත් එවැනි දේ සම්බන්ධයෙන් ජනතාව සමග කථා කිරීමට පසුබට නොවන්න. සමිඳාණන් වහන්සේට ප්‍රේම කරන ලෙසත්, මාංසයෙන් හා ආත්මයෙන් ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්ගෙන් සෑහීමට පත් වන ලෙසත් මාගේ සහෝදරියන්ට පවසන්න. ඒ හා සමාන ලෙසම, ස්වාමින් වහන්සේ සභාවට ප්‍රේම කරන ආකාරයටම ඔවුන්ගේ භාර්යාවන්ට ප්‍රේම කරන්න යයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මාගේ සහෝදරයන්ට පවසන්න. සමිඳාණන් වහන්සේගේ මාංසයේ ගෞරවය වෙනුවෙන් නිර්මල බ්‍රහ්මචර්යාව පැවැත්වීමට යමෙකුට හැකියාව ඇත්නම්, ඔහු සියලු නිහතමානීකමෙන් යුක්තව එසේ කළ යුතුය. ඔහු ඒ ගැන පුරසාරම් දොඩන්නේ නම්, ඔහු නැති වූ අයෙකි. ඔහුට රදගුරු තුමාට වඩා ගෞරවයට පාත්‍ර විය යුතු නම්, ඔහුගේ පිවිතුරු බව නැති වී ගොස් ඇත. ස්ත්‍රීන් හා පුරුෂයන් විවාහ වන විට, ඔවුන් එකතු කළ යුත්තේ රදගුරු තුමාගේ කැමැත්තෙනි. එවිට විවාහය ස්වාමින් වහන්සේට අනුකූලව විය හැකි අතර, එය හුදෙක් තෘෂ්ණාව නිසා සිදු කරනු ලබන්නක් නොවනු ඇත. සියල්ල දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා සිදු කරනු ‍ලැබේවා.

6. දෙවියන් වහන්සේ ඔබට සවන් දීමට නම්, ඔබ රදගුරු තුමාට සවන් දෙන්න. රදගුරු තුමාට, පූජකයන්ට සහ උපස්ථායකයන්ට කීකරු වන අය වෙනුවෙන්, මම මාගේ ජීවිතය පූජා කරමි. දෙවියන් වහන්සේ තුළ ඔවුන් සමග සිටීම මාගේ කොටස වේවා. දෙවියන් වහන්සේගේ ගබඩාකරුවන්, සහායකයින් සහ සේවකයින් ලෙස එකට එකතු වී වෙහෙස මහන්සි වී පුහුණු වන්න, එක්ව දුවමින් එකට එකතු වී දුක් විඳින්න, එකට එකතු වී විවේක ගනිමින් ඒ සමගම එක්ව නැගී සිටින්න. ඔබ සේවය කරන නායකයාගෙන් ඔබේ වැටුප ලබන නිසා කරුණාකර ඔහු යටතේ සිටින්න. ඔබගෙන් කිසිවෙකු යුද්ධයෙන් පළා නොයන්න. සදාකාලයටම ඔබේ බෞතීස්මය ඔබේ පලිහත්, ඔබේ ඇදහිල්ල ඔබේ හිස් වැස්මත්, ඔබේ ත්‍යාගශීලීභාවය ඔබේ හෙල්ලයත්, ඔබේ ඉවසීම ඔබේ සකල සන්නාහයත් වේවා. ඔබට ගෙවිය යුතු මුදල ඔබට ලැබෙනු පිණිස, ඔබේ වැඩ තැන්පතුවන් වේවා. දෙවියන් වහන්සේ ඔබ කෙරෙහි නිහතමානීව සිටින ආකාරයටම, ඔබත් එකිනෙකා කෙරෙහි නිහතමානීව ඉවසිලිවන්ත වන්න. මට ඔබ තුළ සැම විටම ප්‍රීතිය ලැබේවා.

7. ඔබගේ යාච්ඤා තුළින් සිරියාවේ අන්තියෝකියේ සභාවට සමාදානය ලැබී ඇති බවට මට දැනගන්නට ලැබිණි. ඒ නිසා මම දෙවියන් වහන්සේ තුළ මහත් සැනසීමක් ලැබුවෙමි. එසේත් නැතිනම්, දුක් විඳීමෙන් පමණක් මම දෙවියන් වහන්සේ වෙතට පැමිණෙන්නෙම් නම්, ඔබගේ යාච්ඤාවල උපකාරයෙන් මා ගෝලයෙකු ලෙස සලකනු ලැබේවා. පොලිකාප් තුමනි, ඔබ දෙවියන් වහන්සේගෙන් බොහෝ සෙයින් ආශිර්වාද ලබා ඇති අයෙකි. එසේම විශේෂයෙන් ආදරය ලැබූ අයෙකු, වෙහෙස නොබලා වැඩ කරන ‍අයෙකු සහ දෙවියන් වහන්සේගේ පණිවිඩකරුවෙකු ලෙස නම් කිරීමට සුදුසු අයෙකු තෝරා පත් කර ගැනීම සඳහා ආගමික සභාවක් කැඳවීම සුදුසුය. එසේ තෝරාගත් තැනැත්තා දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා ඔබගේ නොනැවතී ක්‍රියා කරන ප්‍රේමය ගෞරවයට පත් කිරීම සඳහා, සිරියාවට යාම පිණිස පත් කරනු ලැබේවා. කිතුනුවෙකුගේ සියලුම කාලයන් දෙවියන් වහන්සේට අයිති බැවින්, කිතුනුවෙකු තමාගේම ස්වාමියා නොවේ. ඔබ මෙම කාර්ය කළ පසුව, එය දෙවියන් වහන්සේ සහ ඔබගේ කාර්යක් වනු ඇත. දෙවියන් වහන්සේගේ සේවය තුළ යහපත කිරීමට ඔබ සූදානම් බව උන් වහන්සේගේ අනුග්‍රහය තුළ මම විශ්වාස කරමි. සත්‍යය සඳහා ඔබ දක්වන උනන්දුව පිළිබඳ මා දන්නා නිසා, මම ඉතා කෙටි ලිපියකින් ඔබ ධෛර්යවත් කළෙමි.

8. දෙවියන් වහන්සේගේ නියම කර ඇති පරිදි, ත්‍රෝවසයේ සිට නෙයාපොලිසය දක්වා විගසින් මා යාත්‍රා කළ යුතු බැවින් මට සියලුම සභාවලට ලිවීමට නොහැකි වී ඇත. දෙවියන් වහන්සේගේ මනස දන්නා කෙනෙකු ලෙස, අසල්වැසි සභාවලට ලිවීමටත්, ඒ දේවල් කිරීම පිණිස ඔවුන්ට දැන්වීමටත් මම ඔබෙන් ඉල්ලා සිටිමි. පණිවුඩකරුවන් යැවිය හැකි සභාවලට පණිවුඩකරුවන් යවන්න. පණිවුඩකරුවන් යැවිය නොහැකි සභාවලට පණිවුඩකරුවන් මගින් ලිපි යවන්න. එසේ කිරීම කරණකොටගෙන කිසිදා අමතක නොවන කාර්යක් කිරීමේ ගෞරවය ඔබට හිමි වනු ඇත.

එපිට්‍රොපස්ගේ බිරිඳ සහ ඇයටත්, ඇගේ දරුවන්ටත් සේවය කරන සියලු දෙනා අමතක නොකර, ඔබ සියලු දෙනාට ඔබේ නමින් සුබ පතමි. මා ප්‍රේම කරන අත්තාලස්ට සහ සිරියාවට යාමට සුදුසු යැයි සිතන තැනැත්තාට මම සුබ පතමි. එසේ යන තැනැත්තා වෙත සහ ඔහු යවන පොලිකාප් තුමා වෙත සදහටම අනුග්‍රහය පවතීවා. අපේ දෙවියන් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ මම ඔබගෙන් සමුගනිමි. උන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේ සමග සහභාගිකම පවත්වා ගනිමින්, උන් වහන්සේගේ මගපෙන්වීම යටතේ නොපසුබට උත්සාහයක් දරන්න. මට ආදරණීය අයෙකු වන ඇල්ස්ට මම ආචාර කරමි. සමිඳාණන් වහන්සේ තුළ සමුගනිමු.