ඉග්නේෂස් තුමා ෆිලඩෙල්ෆියානුවන් වෙත ලියන ලද ලිපිය

Ignatius of Antioch, Epistle to the Philadelphians

ඉග්නේෂස් තුමා ෆිලඩෙල්ෆියානුවන් වෙත ලියන ලද ලිපිය

ඉග්නේසියස් තියෝෆොරෝස් වන මා, ආසියාවේ ෆිලඩෙල්ෆියාවෙහි තිබෙන පියාණන් වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වන දෙවියන් වහන්සේගේ සභාවට ලියන හසුනයි. ඔබට දෙවියන් වහන්සේගේ දයාව දැනී ඇති අතර, දෙවියන් වහන්සේ සමග එක්වී එහි ස්ථිරව පැවතෙන්නෙහුය. එසේම බහුල දයාව තුළින් උන් වහන්සේගේ උත්ථානය පිළිබඳ ඔබට පූර්ණ සහතිකයක් ලබා දීම තුළින්, අපගේ ස්වාමින් වහන්සේගේ උද්‍යෝගයෙන් යුතුව ප්‍රීතියෙන් විඳ දරාගන්නෙහුය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය තුළ මම ඔබට ආචාර කරමි. ඔබේ සභාව මට නොනවතින හා නොබි‍ඳෙන ප්‍රීතියට හේතුවකි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මනසට අනුව පත් කරන ලද රදගුරු තුමා සහ එතුමාගේ පූජකයන් හා උපස්ථායකයන් සමග සියල්ලන්ම එක්ව සිටියහොත් එම ප්‍රීතිය ඊටත් වඩා වැඩි වනු ඇත. මේ මනුෂ්‍යයන් සියල්ලන්ම උන් වහන්සේගේම කැමැත්ත ඉටු කරන අය වන අතර, උන් වහන්සේ තමන් වහන්සේගේ ශුද්ධාත්මයාණන් වහන්සේ කරණකොටගෙන ඔවුන් ස්ථීර අය බවට තහවුරු කර ඇති සේක.

1. ඔබේ රදගුරු තුමාට ඔහුගේ දේව සේවය ලබා දී ඇත්තේ පොදු යහපත උදෙසා බවත්, ඔහුගේම හෝ අන් අයගේ කිසිදු උත්සාහයකින් හෝ නිෂ්ඵල මහිමයෙන් නොව, පියාණන් වන දෙවියන් වහන්සේට සහ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ඇති ප්‍රේමය තුළින් වන බවත් මම දනිමි. කථා කරන අයට වඩා, නිහඬතාව තුළින් වැඩි යමක් කළ හැකි මිනිසෙකුගේ මිහිරි සාධාරණත්වය පිළිබඳ මම ප්‍රශංසා කරමි. වීණාවක් එහි තත්වලින් සුසර කර ඇති ආකාරයට, ඔහු දෙවියන් වහන්සේගේ ආඥාවලට සුසර වී ඇත. එම නිසා, දෙවියන් වහන්සේ කෙරෙහි ස්ථිරව සිටින ඔහුගේ අධිෂ්ඨානයට මාගේ ආත්මය ආශිර්වාද කරයි. එය කොතරම් ගුණවත් හා පරිපූර්ණද, කොතරම් ශාන්ත හා සන්සුන්ද, ඔහුගේ ජීවිතය දෙවියන් වහන්සේ පිළිබඳ මිහිරි සාධාරණත්වය මත කෙතරම් ආදර්ශයක්ද යන්න මම දනිමි.

2. ඔබ සත්‍යයේ දරුවෝය; මතභේද සහ මිථ්‍යාදෘෂ්ටියෙන් පළා යන්න. එ‍ඬේරා විසින් මෙහෙයවනු ලබන ඕනෑම තැනකට යන බැටළුවන් මෙන් ඔහු අනුගමනය කරන්න. දෙවියන් වහන්සේගේ බැතිමතුන් නපුරු සන්තුෂ්ටියෙන් කොටු කර ගැනීමට සිටින වෘකයෝ බොහෝ වෙති. කෙසේ වෙතත්, ඔබ අතර ඇති එකමුතුකම මගින් ඔවුන්ට ඉඩක් නොලැබෙනු ඇත.

3. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් සී නොසාන ලද පසක වැඩෙන විෂ වල් පැළෑටිවලින් ඈත්ව සිටින්න. මන්ද ඒවා පියාණන් වහන්සේ විසින් සිටුවන ලද පැළ නොවන බැවිනි. අපිරිසිදු කාරණා පෙරා ඉවත් කිරීම හැරුණුකොට ඔබ අතර කිසිදු භේදයක් මට හමු වී නැත. මන්ද, දෙවියන් වහන්සේට හා යේසුස් ක්‍රිස්තුස් වහන්සේට අයිති සියල්ලෝම රදගුරු තුමා සමග සිටිති. එසේම යේසුස් ක්‍රිස්තුස් වහන්සේට එකඟව ජීවත් වීම සඳහා පසුතැවිලි වී, සභාවේ එක්සත්කමට නැවත පැමිණි, දෙවියන් වහන්සේට අයත් පිරිසද එතුමා සමග සිටිති. සහෝදරවරුනි, මෙය හොඳින් තේරුම් ගන්න. භේදයට හේතු වන කාරණාවලට යම් අයෙකු මගපෙන්වන කිසිවෙකුට දේවරාජ්‍යය උරුම වන්නේ නැත. මිථ්‍යාදෘෂ්ටික ධර්මය අනුගමනය කරන කිසිවෙකු දුක් විඳීමේ පැත්තේ නැත.

4. එසේ නම්, එකම සත්ප්‍රසාදය පැවැත්වීම තුළ ජ්වලිතව සිටින්න. මක්නිසාද ඇත්තේ අපගේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එක් මාංසයක් සහ උන් වහන්සේගේ රුධිරය තුළ ඒකත්වයට පත් කරන එක කුසලානයක්ද වන නිසාය. මාගේ හවුල් සේවකයින් වන පූජකයන් හා උපස්ථායකයන් සමග එක රදගුරු තුමෙකු සිටින්නාක් සේ ම, ඇත්තේ එක පූජාසනයකි. එබැවින් ඔබ විසින් කරනු ලබන ඕනෑම දෙයක් දෙවියන් වහන්සේගේ නාමයෙන් සිදු කරනු ලැබේවා.

5. ආදරණීය සහෝදරවරුනි, ඔබ කෙරෙහි තිබෙන මාගේ ප්‍රේමය සම්පූර්ණ, එමෙන්ම පිරී ඉතිරී යන්නක්ද වේ. එසේ මහත් ප්‍රීතියකින් යුක්තව, මට හැකි සැම සහතිකයක්ම මම ඔබට ලබා දෙමි. එහෙත්, එසේ කරන්නේ මා නොවේ; මා බැඳුම් ලබා සිටින්නේ කවුරුන් උදෙසාද, ඒ යේසුස් ක්‍රිස්තුන් වහන්සේය. මක්නිසාද යත්, මම පරිපූර්ණත්වයට වඩා ඉතා දුරින් සිටින නිසා වඩාත් බිය වෙමි. කෙසේ වෙතත්, ඔබ දෙවියන් වහන්සේට කළ යාච්ඤාව තුළ උන් වහන්සේ මා පරිපූර්ණ කරනු ඇත. එවිට දෙවියන් වහන්සේගේ දයාව මගින් මට ලබා දී ඇති උරුමය මට ලැබෙනු ඇත. එසේ වන්නේ, මම ශුභාරංචියේ රැකවරණය සහ අපොස්තුළුවරුන් තුළ සභාවේ පූජකයන්, යේසුස් වහන්සේගේ ශරීරය මෙන් භාර ගතහොත් පමණි. එම නිසා, අපිත් අනාගතවක්තෘවරුන්ට ඒ හා සමාන ලෙසම ප්‍රේම කරමු. මක්නිසාද ශුභාරංචිය පුරෝකථනය කළේත්, උන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටියේත්, උන් වහන්සේගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියේත් ඔවුන් වන බැවිනි. ඔවුන්ගේ ඇදහිල්ල තුළ හා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග ඒකත්වයක්ව පැවතීම කරණකොටගෙන ඔවුහු ගලවනු ලැබූහ. ඔවුන්ගේ ශුද්ධකම හේතුකොටගෙන ප්‍රේමය ලැබීමට සහ අගය කරනු ලැබීමට ඔවුහු සුදුසු වෙති. ඔවුහු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් අනුමත කරන ලද අය වන අතර, අපගේ පොදු බලාපොරොත්තුව පිළිබඳ ශුභාරංචිය සමග අප සමග ගණන් ගනු ලැබ ඇත.

6. එහෙත්, තවමත් යමෙක් ඔබට යුදෙව් ක්‍රමයක් දේශනා කරන්නේ නම්, ඔහුට ඇහුම්කන් නොදෙන්න. චර්මච්ඡේදනය වූ අයෙකු විසින් දේශනා කරනු ලබන ක්‍රිස්තියානි ධර්මයට ඇහුම්කන් දීම, චර්මඡේදනය නොවූ අයෙකු විසින් දේශනා කරනු ලබන යුදාගමට ඇහුම්කන් දීමට වඩා යහපත්ය. දෙදෙනාම එක හා සමාන වේ. මන්ද ඔවුන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශනා කිරීමට අපොහොසත් වුවහොත්, මට ඔවුන් පෙනෙන්නේ මිනිසුන් නැති සොහොන් ගල් හා සොහොන් කොත්වල හුදෙක් මිනිසුන්ගේ නම් කොටා ඇතිවාක් මෙන්ය. මේ ලෝකයේ කුමාරයාගේ උපක්‍රම හා උගුල්වලින් පරෙස්සම් වන්න. එසේ නොමැති වුවහොත්, ඔබ ඔහුගේ උපායන්වලට ගොදුරු වී, ඒවා කෙරෙහි ආදරයෙන් බැඳී සිටිනු ඇත. හදවතේ එකමුතු බවෙන් යුතුව, ඔබ සියලු දෙනා එකට එකතු වන්න. මාගේ හෘදය සාක්ෂිය පැහැදිලි නිසා මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙමි. මක්නිසාද යත්, විශාල හෝ කුඩා හෝ ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් මා යමෙකුට බරක් වී ඇති බවට රහසිගතව හෝ විවෘතව ප්‍රකාශ කළ හැකි කිසිවෙකු ඔබ අතර නොමැති බැවිනි. මා කථා කළ කිසිම කාරණයක්, කිසිවෙකුට විරුද්ධව සාක්ෂියක් ලෙස නොගන්නා පිණිස මම යාච්ඤා කරමි.

7. මා රැවටීම සඳහා බාහිරව උත්සාහ කළ සමහර අය සිටිය හැකිය. එහෙත්, දෙවියන් වහන්සේගෙන් පැමිණි ආත්මයාණන් වහන්සේ නොරැවටෙන සේක. එය පැමිණෙන්නේ කොතැනින්ද යන්නත්, එය යන්නේ ‍කොතැනටද යන්නත් උන් වහන්සේ දන්නා සේක. එසේම උන් වහන්සේ සැඟවී ඇති දේ පැහැදිලි කර දෙන සේක. මම ඔබ අතරේ හඬා වැලපුණෙමි. එසේම මම මහ හඬින්, එනම් දෙවියන් වහන්සේගේ හඬින් කථා කළෙමි: රදගුරු තුමාට, පූජකවරුන්ට හා උපස්ථායකයන්ට සවන් දෙන්න. මා මෙය පැවසූ විට, ඉදිරි කාලයේ සිදු වන මතභේදයට පෙර එය මා දැනගෙන සිටි බව සැක කළ අයද ඔබ අතර සිටියහ. එහෙත් උන් වහන්සේ මාගේ සාක්ෂිකරුවාණන් වහන්සේ වන සේක. මා බැඳුම්වල සිටින්නේ උන් වහන්සේ උදෙසා වන අතර, මා මෙය කිසිම මනුෂ්‍යයෙකුගෙන් දැන නොගත් බව උන් වහන්සේ දැන සිටි සේක. එම වචන ප්‍රකාශ කළේ ආත්මයාණන් වහන්සේය: රදගුරු තුමාගෙන් තොරව කිසිවක් කිරීමට ඉඩ නොදෙන්න. දෙවියන් වහන්සේගේ මාලිගාවක් මෙන් ඔබේ ශරීරය ආරක්ෂා කරගන්න. එකමුතුකමට ප්‍රේම කරන්න. භේදවලින් පළා දුවන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන් වහන්සේගේ පියාණන් වහන්සේ අනුකරණය කළා සේ ම, ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අනුකරණය කරන්න.

8. භේදයක් හෝ කෝපයක් ඇති ස්ථානයෙහි දෙවියන් වහන්සේට ඉඩක් නොමැති නිසා, සමගිය ඇති කිරීම සඳහා පත් කරන ලද මැදිහත්කරුවෙකු මෙන් මම මගේ කාර්යභාරය ඉටු කළෙමි. ඔවුන්ගේ පසුතැවිල්ල දෙවියන් වහන්සේ සමග සමගි වීම හා රදගුරු තුමා සමග සහභාගිකම් පැවැත්වීම සඳහා හැරෙන තාක් කල්, පසුතැවිලි වන සියල්ලන්ට දෙවියන් වහන්සේ සමාව දෙන සේක. මට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහය පිළිබඳ ඇදහිල්ල ඇත. උන් වහන්සේ ඔබේ සියලුම බැඳීම් බිඳ දමන සේක. සියලු දේම ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් අනුව සිදු කරන ලෙස සහ භේද වූ ආත්මයකින් යුක්තව කිසිවක් නොකරන ලෙස මම ඔබගෙන් ඉල්ලා සිටිමි. සමහර අය මෙසේ කියනු මා අසා ඇත: මා එය ලේඛනවලින් නුදුටුවහොත්, දේශනා කළ දේ මම විශ්වාස නොකරමි. එය ලිඛිත වචනය යැයි මා පැවසූ විට, ගැටලු සහගත කාරණය වන්නේ එය යනුවෙන් ඔවුහු මට පිළිතුරු දුන්හ. මට නම්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යනු ලිඛිත වචනයයි. උන් වහන්සේගේ කුරුසිය, මරණය, උත්ථානය සහ උන් වහන්සේ තුළින් වන ඇදහිල්ල යන කාරණා මගින් උන් වහන්සේ වෙනුවෙන් වෙනස් ආකාරයේ ලේඛන සකස් වී ඇත. ඔබගේ යාච්ඤාවල උපකාරයෙන්, මේවා තුළින් මම ධර්මිෂ්ඨ වීමට කැමැත්තෙමි.

9. පූජකයෝ යහපත්ය. එහෙත් ශුද්ධස්ථානය කැප කර ඇත්තා වූ, දෙවියන් වහන්සේගේ අබිරහස් පවරා දුන් උත්තම පූජකයා, වඩා යහපත්ය. ආබ්‍රහම්, ඊසාක්, යාකොබ් සහ අනාගතවක්තෘවරුන්, අපෝස්තුළුවරුන් මෙන්ම සභාව යන සියල්ලෝම ඇතුළු වන, පියාණන් වහන්සේගේ දොරටුව උන් වහන්සේ වන සේක. මේ සියල්ලෝම දෙවියන් වහන්සේගේ එක්සත්කමට ඇතුළු වෙති. එහෙත් ශුභාරංචියෙහි ඇති වෙනස වන්නේ ගැලවුම්කරුවාණන් වහන්සේ වන, අපගේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම, උන් වහන්සේගේ දුක් විඳීම සහ උන් වහන්සේගේ උත්ථානය එහි අන්තර්ගත වීමයි. ආදරණීය අනාගතවක්තෘවරුන්ගේ දේශනාවලින් උන් වහන්සේගේ පැමිණීම ප්‍රකාශ කරනු ලැබිණි. ශුභාරංචිය යනු සදාකාල ජීවනයේ පරිපූර්ණත්වයයි. මේ සියලු දේම එකට ගත් කල, ඔබේ ඇදහිල්ල ඔබේ නිර්මලකමෙන් යුක්තව පවතින තාක් කල් මේ සියල්ල යහපත් වනු ඇත.

10. ඔබගේ යාච්ඤාව සහ ඔබ දැක්වූ අනුකම්පාව පිළිබඳ ආරංචිය මා වෙත ලැබී ඇති අතර, ඒ පිළිබඳ මම ඔබට ස්තුතිවන්ත වෙමි. සිරියාවේ අන්තියෝකියේ සභාව, ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ සාමය භුක්ති විඳිති. දෙවියන් වහන්සේගේ සභාවක් වශයෙන්, දෙවියන් වහන්සේගේ තානාපතිවරයෙකු ලෙසත්, යේසුස් වහන්සේගේ නාමයේ මහිමය සඳහාත්, ඔවුන් එක්රැස් වන විට ඔවුන්ට සුබ පැතීම උදෙසාත්, එහි යාම පිණිස උපස්ථායකයෙකු තෝරා ගත යුතු බව මට හැ‍ඟෙයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ මේ දේව සේවයට වටිනා අයෙකු ලෙස හඳුනාගනු ලබන තැනැත්තා භාග්‍යවන්තයෙකි. ඔහු යවන ඔබටත් ප්‍රශංසා කරමි. අසල්වැසි සභාවල උපස්ථායකයන් හෝ පූජකයන් සහ සමහර සභාවලින් රදගුරුවරුන් යැව්වාක් මෙන්, ඔබටද දෙවියන් වහන්සේගේ නාමය උදෙසා මෙය කළ හැකි වන්නේ, එසේ කිරීම පිණිස ඔබ තෝරා ගන්නේ නම් පමණි.

11. සිලීසියාවේ ෆිලෝ නමැති උපස්ථායකවරයා, යහපත් නමක් ඇති මිනිසෙක් වන අතර, දැන් දේව වචනයෙන් මට සේවය කරන්නේය. එසේම සිරියාවේ කැපී පෙනෙන පුද්ගලයෙකු වන, මා අනුගමනය කිරීම සඳහා ඔහුගෙ වර්තමාන වෘත්තීන් අතහැර දැමූ, රේයස් අගතෝපස්, ඔබ ගැන ඉතා ඉහළින් කථා කරන්නේය. සමිඳාණන් වහන්සේ විසින් ඔබට පෙන්වන ලද කරුණාවෙන්, ඔබ මට දැක්වූ කරුණාව පිළිබඳ ඒවා පිළිගැනීම කරණකොටගෙන මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙමි. එහෙත්, ඔවුන්ට අඩු ගෞරවයක් ලබා දුන් අයට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහය කරණකොටගෙන සමාව ලැබේවා. ත්‍රෝවසයේ සහෝදරයෝ ‍ප්‍රේමයෙන් යුක්තව ඔබට ආචාර කරති. මා මෙහි සිට, ගෞරවයේ සංකේතයක් ලෙස මා සමග සිටීමට එපීසයේ සහ ස්මර්ණාවේ සභාවන් විසින් යවන ලද බුර්හස්ගේ අතින් මෙය ලියමි. ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ශරීරය, ප්‍රාණය හා ආත්මය තුළ මෙන්ම ඇදහිල්ල සහ ප්‍රේමය තුළත්, එකඟතාවයෙන් යුක්තවත්, බලාපොරොත්තුවෙන් සිටින අයට උන් වහන්සේ විපාක දෙනු ඇත. අපගේ පොදු බලාපොරොත්තුව වන ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ, ආයුබෝවන්.