ඉග්නේෂස්තුමාගේ ප්‍රාණ පරිත්‍යාගය

ඉග්නේෂස්තුමාගේ ප්‍රාණ පරිත්‍යාගය

1 වන පරිච්ඡේදය– ප්‍රාණ පරිත්‍යාගය සඳහා ඉග්නේෂස්ගේ ආශාව 

ට්‍රේජන් රෝම අධිරාජ්‍යයා බවට පත් වී වැඩි කලක් යන්නට මත්තෙන්, අපෝස්තුළු යොහන්තුමාගේ ගෝලයෙකු වූ, අපෝස්තුළුවරයෙකුගේ චරිතය සම්බන්ධයෙන් ගෞරවයට පාත්‍ර වූ ඉග්නේෂස්, අන්තියෝකියේ සභාව ඉතා සැලකිල්ලෙන් පාලනය කළේය. ඩොමීෂියන් අධිරාජ්‍යයාගේ සමයේ වූ බොහෝ පීඩාවලින් ඔහු මහත් අමාරුවෙන් බේරී, යහපත් මාර්ගෝපදේශකයෙකු ලෙස යාච්ඤාවෙන් සහ නිරාහාරව සිටීමෙන්, සහ මහත් උනන්දුවෙන් ඉගැන්වීමේ සේවයේ යෙදීමෙන්, ඔහුගේ නිරන්තර ආත්මික ක්‍රියාකාරීත්වය කරණකොටගෙන ඔහුට විරුද්ධව පැමිණි මහත් පීඩාවට එරෙහිව සටන් කළේය. එසේ කළේ ධෛර්ය මඳ කිසිවෙකුත් ඔහුට අහිමි නොවන පිණිසත්, ඔවුන්ගේ සරල බව නිසා පීඩා විඳීමට සුදුසු තත්වයට පත් පිණිසත්ය. එම නිසා, පීඩාව මඳ කලකට නතර වූ විට සභාවේ සන්සුන් තත්වය ගැන ඔහු ප්‍රීතියට පත් විය. එසේ වූවත් ඔහු තවමත් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි සැබෑ ප්‍රේමයක් නොමැතිව පසු වීම පිළිබඳ ශෝකයට පත් විය. එයට හේතුව වූයේ ඔහු තවමත් ශ්‍රාවකයෙකුගේ පරිපූර්ණ තත්වය කරා ළඟා වී නොතිබීමයි. මක්නිසාද ඔහුගේ අභ්‍යන්තරයෙන් පිළිබිඹු වූයේප්‍රාණ පරිත්‍යාගිවරයෙකු ලෙස ඔහු කරනු ලබන දිවි පිදීම මගින් ඔහු ස්වාමින් වහන්සේ සමග වඩාත් සමීප සම්බන්ධතාවයකට ගෙන එනු ඇති බවයි. එම නිසා, සභාවේ සමඟ තව වසර කිහිපයක් නොකඩව සේවය කිරීමෙන් සහ දිව්‍යමය පහනක් මෙන්, ශුද්ධලියවිලි එළිදරව් කිරීමෙන් සැම කෙනෙකුගේම අවබෝධය හා දැනගැන්ම පුළුල් කරමින් සේවය කළ ඔහු [දීර්ඝ කාලයක් පුරා] ආශා කළ පරිදි ඔහුගේ පරමාර්ථය කරා ළඟා විය.

2වනපරිච්ඡේදය ඉග්නේෂස් ට්‍රේජන් විසින් හෙළා දකිනු ලැබේ

ට්‍රේජන්, ඔහුගේ පාලන සමයේ නව වන අවුරුද්දේදී, සිතියන්වරුන් හා ඩේසියානුවන් සහ තවත් බොහෝ ජාතීන්ට එරෙහිව ලබාගත් ජයග්‍රහණයෙන් පසුව අහංකාර‍යට පත් වීකිතුනු ආගමික කණ්ඩායම තවමත් සම්පූර්ණයෙන්ම අවනත කරගැනීමට නොහැකි වූ බැවින් ඔවුන් තමන්ට මුළුමනින්ම යටත් කර ගැනීමට කල්පනා කළේය. එසේ අනෙක් සියලු ජාතීන් මෙන් ඔවුන්ද යක්ෂ නමස්කාරය සිදු කිරීමට එකඟ නොවන්නේ නම් ඔවුන්ට පීඩා කරන බවට තර්ජනය කිරීම කරණකොටගෙන දේවභක්තික ජීවිත ගත කරන සියල්ලන්ටම [පිළිමවලට] පූජා කිරීමට බල කෙරුණි. ඔවුන් එසේ පුජා නොකළහොත් ඔවුන්ට මිය යාමට සිදු විය. එබැවින් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් සොල්දාදුවා (ඉග්නේෂස්) අන්තියෝකියානු සභාව කෙරෙහි බියෙන් පසු වූ අතර ඔහුගේම කැමැත්තෙන් ඒ වන විට අන්තියෝකියේ නැවතී සිටි ට්‍රේජන් ඉදිරියට පමුණුවන ලදී. එහෙත් ඔහු ආර්මේනියාවට සහ පාර්තිවරුන්ට එරෙහිව යන්නට ඉක්මන් විය. ඔහු ට්‍රේජන් අධිරාජ්‍යයා ඉදිරියට ගෙනෙනු ලැබූ විට, [එම කුමාරයා] ඔහුට මෙසේ කීවේය: “නපුරු යක්ෂයා,අපගේ ආඥා තදබල ලෙස උල්ලංඝනය කරන ඔබ කවුද? එපමණක් නොව එසේ කරන මෙන් ඔබ අන් අයද පොලඹවන්නෙහිය. එ් අනුව ඔවුන්ද අවාසනාවන්ත ලෙස විනාශයට පත් වනු ඇත. ඉග්නේෂස් පිළිතුරු දෙමින් මෙසේ පැවසුවේය. කිසිවෙකු දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා (තියෝෆරස්) නපුරු යැයි නොකිය යුතුය. මන්ද, සියලු යක්ෂයෝ දෙවියන් වහන්සේගේ සේවකයන් වෙතින් නික්ම ගියහ.එහෙත්, මම මේ යක්ෂයන්ට සතුරෙකු බැවින්, ඔබ ඔවුන්ට ගෞරව කරන පිණිස මා දුෂ්ට අයෙකු යැයි කියන්නේ නම්, මම ඔබ සමඟ තරමක් දුරට එකඟ වෙමි. මක්නිසාද මා තුළ ස්වර්ගයේ රජ වන ක්‍රිස්තුස් වහන්සේ සිටින බැවින්, මම මේ යක්ෂයන්ගේ සියලු උපක්‍රම විනාශ කර දමමි. ට්‍රේජන් පිළිතුරු දෙමින් ඔහුට මෙසේ පැවසීය.“තියෝෆරස් යනු කවුද? ඉග්නේෂස් පිළිතුරු දෙමින්, “ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ හදවතේ ඇති තැනැත්තා යයි කීවේය. ට්‍රේජන් එයට මෙසේ කීවේය. “අපගේ සතුරන්ට එරෙහිව සටන් කිරීමේදී අපි දෙවිවරුන්ගේ උපකාරය භුක්ති විඳින බවත්, දෙවිවරුන් අපගේ මනසෙහි සිටින බවක් ඔබට නොපෙනේද?ඉග්නේෂස් පිළිතුරු දෙමින් මෙසේ කීවේය. “ඔබ ජාතීන්ගේ දෙවිවරුන් වන යක්ෂයින් දෙවිවරුන් ලෙස හඳුන්වන්නේ ඔබට වැරදීමක් සිදු වී ඇති බැවිනි. මක්නිසාද ඇත්තේ එකම දෙවියන් වහන්සේය. උන් වහන්සේ අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් මැවූ දෙවියන් වහන්සේය. එසේම දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයාණන් වහන්සේ යේසුස් ක්‍රිස්තුන් වහන්සේ වන සේක. මම උන් වහන්සේගේ රාජ්‍යය භුක්ති විඳිමි. එවිට ට්‍රේජන් ඔහුට මෙසේ පැවසීය. “ඔබ අදහස් කරන්නේ පොන්තියුස් පිලාත් යටතේ කුරුසියේ ඇණ ගසනු ලැබූ තැනැත්තාද? ඉග්නේෂස් පිළිතුරු දෙමින් මෙසේ පැවසුවේය.“මා අදහස් කළේ මාගේ පාපය කුරුසියේ ඇණ ගසනු ලැබූ තැනැත්තා පිළිබඳවයි. යක්ෂයාගේ සියලු වංචා සහ ද්වේෂය උන් වහන්සේ විනාශ කර දමා ඇති අතර, තමන්ගේ හදවත්වල උන් වහන්සේ දරාගෙන යන අයගේ පාද යටට යක්ෂයා පහතට දැමූ සේක. ට්‍රේජන්, “එසේ නම් ඔබ කුරුසියේ ඇණ ගසනු ලැබූ තැනැත්තා ඔබ තුළ උසුලාගෙන යනවාද? යයි ඇසුවේය. ඉග්නේෂස් පිළිතුරු දෙමින් මෙසේ පැවසුවේය. “ඇත්තෙන්ම මම එසේ කරමි. මන්ද, ‘මම ඔවුන් තුළ වාසය කරන්නෙමි. ඔවුන් තුළ හැසිරෙන්නෙමි’ යනුවෙන් ලියා තිබේ. 2කොරින්ති 6:16. එවිට ට්‍රේජන් මරණ දණ්ඩනය මෙසේ ප්‍රකාශයට පත් කළේය: කුරුසියේ ඇණ ගසනු ලැබූ තැනැත්තා තමා තුළ ඇති බවට තහවුරු කරන ඉග්නේෂස්,සොල්දාදුවන් විසින් බඳිනු ලැබ, ශ්‍රේෂ්ඨ රෝම නගරයට ගෙන යන ලෙසට අපි අණ කරමු. එහිදී ජනතාවගේ ප්‍රසාදය උදෙසා, ඔවුන් ඉදිරියේ ඉග්නේෂස් මෘගයින් විසින් ඉරා දමනු ලැබීමට සලස්වන්න. ශුද්ධ වූ ප්‍රාණ පරිත්‍යාගිවරයා මෙම මරණ දණ්ඩන ප්‍රකාශය ඇසූ විට ඉතාම ප්‍රීතියෙන් කෑ ගැසුවේය.ස්වාමිනි, ඔබ කෙරෙහි පරිපූර්ණ ප්‍රේමයකින් යුක්ත වීම උදෙසා මට ගෞරව කිරීමට ඔබ සහතික වී ඇති බවත්, ඔබගේ අපෝස්තුළුවරයා වූ පාවුල්තුමා මෙන් මාද යකඩ දම්වැල්වලින් බැඳ දමනු ලැබීමට ඉඩහැරිය නිසාත් මම ඔබට ස්තුතිවන්ත වෙමි. මෙසේ කතා කිරීමෙන් පසුව, මහත් ප්‍රීතියෙන් යුක්තව ඔහු තමාම දම්වැල්වලින් බැඳගත්තේය. ඔහු මුලින්ම සභාව උදෙසා යාච්ඤා කරමින් කඳුළු සලමින් සමිඳාණන් වහන්සේට එය භාර කළ අවස්ථාවේදී ම්ලේච්ඡ සොල්දාදුවන් විසින් ඔහුට ඉක්මනින් යන ලෙස බල කරනු ලැබිණි. භක්තිවන්ත රැළක නායකයෙකු වූ කීර්තිමත් බැටළුවෙකු මෙන්, ඔහු රෝමය වෙත ගෙන යනු ඇත. ඒ ලේ පිපාසිත මෘගයන්ගේ ආහාරය වන පිණිසය.

3 වන පරිච්ඡේදය – ඉග්නේෂස් ස්මර්ණාව වෙත යාත්‍රා කරයි

එමනිසා, ඔහු ඉතා දුක්ඛිතභාවයෙන් හා ප්‍රීතියෙන් දුක් විඳීමට ඇති ආශාව නිසා අන්තියෝකියේ සිට සිලුකියට පැමිණ එහි නැවතුණේය. ඉන්පසුව ඔහු බොහෝ දුක් විඳීමෙන් පසු ස්මර්ණාව වෙත පැමිණියේය. එහිදී ඔහු මහත් ප්‍රීතියෙන් ‍ගොඩ බැස, ශුද්ධ වූ පොලිකාප් දැකීමට ඉක්මනින් ගියේය. පොලිකාප් වනාහි ඔහු සමග කලින් එකට සේවය කළ ගෝලයන්ගෙන් අයෙක් වූ අතර මේ වන විට ස්මර්ණාවෙහි අගරදගුරු තුමා විය. මක්නිසාද ඔවුහු දෙදෙනාම අතීතයේදී ශුද්ධ වූ යොහන් අපොස්තුළුතුමාගේ ගෝලයෝ වූහ. පසුව ඔහු වෙතට ගෙනෙන ලදුව, ආත්මික දීමනා කිහිපයක් ඔහුට ලබා දුන්නේය. ඔහුගේ බැඳීම් කරණකොටගෙන මහිමයට පත් වූ ඔහු, ඔහුගේ හදවතේ මහත් ආශාව ඉටු කිරීම උදෙසා තමා සමඟ එකතු වී ක්‍රියා කිරීමට ඔහුගෙන් බැගෑපත්ව අයැද සිටියේය. ඇත්තෙන්ම ඔහු මුළු සභාවෙන්ද මෙය ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියේය. (ආසියාවේ නගර සහ සභා මේ ශුද්ධ මිනිසා ඔවුන්ගේ බිෂොප්වරුන්, වැඩිමහල්ලන් සහ උපස්ථායකයන් සමගින් සාදරයෙන් පිළිගත් අතර, සියල්ලෝම ඔහු හමුවීමට ඉක්මනින් ගියහ. එසේ ගියේ ඔවුන්ට කිසියම් ආත්මික දීමනාවක් ඔහු වෙතින් ලබා ගැනීමට හැකි වන පිණිසය.) එසේ වූවත් ශුද්ධ වූ පොලිකාප් ඔහු වෙත ගියේ වන මෘගයන් විසින් ඝාතනය කරනු ලැබීමෙන් ඉතා ඉක්මනින් ඔහු මෙලොවෙන් තුරන්ව ගොස්ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියෙහි ප්‍රකාශ වන්නට යන නිසාය.

4වන පරිච්ඡේදය – ඉග්නේෂස් සභාවලට ලියයි

ඔහු කථා කළ සහ සාක්ෂි දුන් මේ කාරණා හේතුකොටගෙන ඔහු ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇති තමාගේ ප්‍රේමය ප්‍රකාශ කළ අතර,එසේ ඔහුගේ යහපත් ජීවිතය තුළින් ස්වර්ගයේ සිටිනු ලැබීමට සූදානම්ව එහි දොරටු විවර කරගත්තේය. ඉදිරියේදී ඔහුට මුහුණපෑමට සිදු වන ව්‍යසනය සම්බන්ධයෙන් බොහෝ අය උනන්දුවෙන් යාච්ඤා කළහ. තමන්ගේ පාලකයින් මගින් අවසර ලබාගෙන ඔහු බැලීමට පැමිණි අයට සහ සභාවන්වලට යහපත් විපාකයක් ලබා දීම පිණිස ඔහු ඔවුන්ට ස්තුති කරමින් ලිපි යැවූ අතර ඔවුන්ට ආත්මික අනුග්‍රහය ලබා දෙමින් යාච්ඤාවෙන් සහ අනුශාසනා කිරීමෙන් ඔවුන් ධෛර්යවත් කළේය. එම නිසා, සියලු මිනිසුන් තමා කෙරෙහි එතරම් කාරුණිකව ක්‍රියා කරන බව දැක, එම සහෝදරත්වයේ ප්‍රේමය ස්වාමින් වහන්සේ කෙරෙහි ඇති ඔහුගේ ජ්වලිතයට බාධාවක් වේ යැයි බියෙන්, ප්‍රාණ පරිත්‍යාගිවරයෙකු වීම උදෙසා දොරක් ඔහුට විවෘත වූ අවස්ථාවේදීඔහු රෝමයේ සභාවට ලිපියක් ලිවීය. එම ලිපිය මෙහි දක්වා ඇත. 

5වන පරිච්ඡේදය – ඉග්නේෂස් රෝමයට ගෙන එනු ලැබිණි

එම නිසා, මෙම ලිපියෙන් [ඔහුගේ ප්‍රාණ පරිත්‍යාගය] සඳහා අකමැති වූ රෝමයේ සහෝදරයන් සමාදාන කරමින් ඔහුගේ කැමැත්ත පරිදි එය සිදු වන බව ලියා තිබිණි. පසුව ඔහු ස්මර්ණාවේ සිට යාත්‍රා කිරීම ආරම්භ කළේය (ශ්‍රේෂ්ඨ රෝම [නගරයේ] මහජන දර්ශනය සඳහා ඉක්මනින් යා යුතු බවට ක්‍රිස්ටෝෆොරස් සොල්දාදුවන් විසින් බල කරන ලදුව,ඔවුහු ගමන් ඇරඹූහ. එහිදීරෝමයේ ජනතාව ඉදිරිපිටදී ඔහු වන මෘගයන් වෙත හෙළනු ලබන අතර, ඔහු තමා ලබා ගැනීමට උත්සාහ කළ ඔටුන්න හිමි කර ගනු ඇත.) ඔහු ඊ ළඟට ත්‍රෝවස වෙත ගොඩ බැස්සේය. ඉන්පසු ඔහු එම ස්ථානයේ සිට නෙයාපොලිසය වෙත යාත්‍රා කර, එතැන් සිට පා ගමනින් පිලිප්පියේ සිට මසිදෝනියාව හරහා ගමන් ගත්තේය. එතැන් සිට එපිඩම්නස් අසල වූ එපිරස් වෙත ගියේය. එහිදී ඔවුන්ට එක් වරායක තිබූ නැවක් හමු වී ඇඩ්‍රියාටික් මුහුද හරහා යාත්‍රා කර, ටිරේන් නුවරට ඇතුළු වී, විවිධ දූපත් හා නගර පසුකර ගියේය. අවසානයේ පුටෙයොලි නගරය පෙනෙන විට,ඔහු එහි ගොඩබැසීමට ඉතාම උනන්දු විය. එයට හේතුව වූයේ අපෝස්තුළු පාවුල්තුමාගේ අඩිපාරේ ගමන් කිරීමට ඇති ආශාවයි. ක්‍රියා 28: 13-14. එහෙත් දරුණු සුළඟක් ඇති වීම හේතුවෙන් ඔහුට එහි යාමට නොහැකි විය. නැව වේගයෙන් ඉදිරියට ගසාගෙන යනු ලැබිණි. එම ස්ථානයේ සිටි සහෝදරයන්ගේ ප්‍රේමය ගැන සතුට ප්‍රකාශ කරමින් ඔහු යාත්‍රා කළේය. එසේ නොකඩවා හැමූ සුළං හේතුවෙන්, මෙම ධර්මිෂ්ඨ මිනිසා අපෙන් සමුගැනීමේ කාලය ළඟා වීම නිසා මහත් සේ වැලපෙමින් එක දවසක් හා රාත්‍රියක් ඉතාම වේගයෙන් යාත්‍රා කළෙමු. එහෙත් ඔහුට නම් ඒ සියල්ල සිදු වූයේ ඔහු ප්‍රාර්ථනා කළ ආකාරයටමය. මන්ද යත්, හැකි ඉක්මනින් මේ ලෝකයෙන් ඉවත්ව යෑම පිණිසත්, තමා ප්‍රේම කළ සමිඳාණන් වහන්සේ වෙත ළඟා වන පිණිසත් ඔහු ඉතා ආශාවෙන් සිටි නිසාය. පසුව අප රෝමයේ වරායට යාත්‍රා ක‍ළ අතර, එදින පැවති ක්‍රීඩා අවසන් වීමට ආසන්නව තිබීම නිසා සෙබළු අපගේ මන්දගාමී බව හා ප්‍රමාදය ගැන කෝප වීමට පටන් ගත්හ. එසේ වූවත් බිෂොප්වරයා ඉතා ප්‍රීතියෙන් ඔවුන්ගේ ඉක්මන් කිරීමට යටත් විය. 

6වන පරිච්ඡේදය ඉග්නේෂස් රෝමයේදී මෘගයින් විසින් කා දමනු ලැබේ

එබැවින් ඔවුන් පෝර්ටස් ලෙස හැඳින්වෙන ස්ථානයෙන් ඉක්මන් කර යවනු ලැබිණි. (ශුද්ධ වූ ප්‍රාණ පරිත්‍යාගිවරයා සම්බන්ධ කීර්තිය මේ වන විටත් විදේශවල සිටි සියලු දෙනාට දැනගැනීමට ලැබී තිබිණි.) ඉතාම බියෙන් හා ප්‍රීතියෙන් යුක්තව අපි සහෝදරයන් මුණගැසුණෙමු. ඇත්තෙන්ම ප්‍රීති වන්නේ ඔවුන් තියෝෆරස් හමු වීම වටිනා බව සිතූ නිසාය. එහෙත් භීතියට පත් වූයේ එතරම් ශ්‍රේෂ්ඨ මිනිසෙකු මරන්නට ගෙන යන බැවිනි. මෙ‍හිදී ඇතැම් අය ඔවුන්ගේ ජ්වලිතය කරණකොටගෙන මේ ධර්මිෂ්ඨ මිනිසා විනාශය නොකරන ලෙස ඔවුන් ජනතාවගෙන් අයැද සිටිය යුතු බව පැවසූ විට ඔහු ඒ අයට නිශ්ශබ්දව සිටීමට අණ කළේය. ඔහු ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන මේ බව වහාම දැනගෙන, ඔවුන් සියල්ලන්ටම ආචාර කර, තමා කෙරෙහි සැබෑ සෙනෙහසක් පෙන්වන ලෙස ඔවුන්ගෙන් අයැද සිටියේය. තවද, ඔහුගේ ලිපියෙන් මේ කාරණය සම්බන්ධ ඉතා දීර්ඝ ලෙස දක්වමින් සමිඳාණන් වහන්සේ වෙත ඉක්මනින් යාම ගැන ඔහුට ඊර්ෂ්‍යා නොකරන්නට ඔවුන් පොලඹවා ගත්තේය. පසුව ඔහු තමා සමග [ඔහු අසල]  සිටි සියලු සහෝදරයන් සමඟ දණ ගසා,සභාවට කරන පීඩාව නතර වන පිණිසත්,සහෝදරයන් අතර අන්‍යෝන්‍ය ප්‍රේමය නොකඩව වර්ධනය වන පිණිසත්, සභාවන් වෙනුවෙන් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේගෙන් බැගෑපත්ව අයැද සිටියේය. පසුව ඔහු ඉතාම ඉක්මනින් ප්‍රේක්ෂකාගාරය වෙත ගෙන යනු ලැබිණි. පසුව මීට ටික කලකට පෙර සීසර්ගෙන් ලද අණට අනුව, ක්ෂණයකින් මෘගයන් වෙත ගෙන යන ලදුව, මහජන ප්‍රේක්ෂකාගාරය වැසීමට ඉතා ආසන්නව තිබියදී, (මක්නිසාද යත්, එය ඔවුන් සිතූ පරිදි, එය ඔත්තේ සංඛ්‍යාවේ දිනයක් වූ හෙයිනි, එය රෝම භාෂාවෙන් දහතුන්වන ලෙස හැඳින්වේ. මනුෂ්‍යයින් එක්රැස්ව සිටියේ එවැනි දිනකය. සාමාන්‍ය සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් එහි එක්රැස් වී සිටියහ) දේවමාලිගාව අසල ඇති වන මෘගයන් වෙත ඔහු යවන ලදී. ශුද්ධ ප්‍රාණ පරිත්‍යාගවරයා වූ ඉග්නේෂස්ගේ ආශාව ඔවුන් කරණකොටගෙන සම්පූර්ණ විය. ඒ සම්බන්ධයෙන් මෙසේ ලියා ඇත. [දෙවියන් වහන්සේ] ධර්මිෂ්ඨයාගේ ආශාව පිළිගෙන ඉටු කරන සේක. හිතෝපදේශ 10:24. ඔහුගේ දේහය එක්රැස් කිරීම උදෙසා කිසිම සහෝදරයෙකුට කරදරයක් නොවන පිණිස, ඔහුගේ අවසානය කෙසේ සිදු විය යුතුද දක්වමින් ඔහු සිය ලිපියේ කලින් ඉල්ලීමක් කර තිබිණි. ඔහුගේ ශුද්ධ දේහයේ වඩා තද කොටස් පමණක් ඉතිරිව තිබූ අතර, ඒවා අන්තියෝකියට ගෙනැවිත් රෙදිවලින් ඔතා, නිධානයක් ලෙස ප්‍රාණ පරිත්‍යාගිකයාගේ කරුණාවෙන් ශුද්ධ සභාවට ලබා දෙන ලදී.

වන පරිච්ඡේදයඉග්නේෂස් ඔහුගේ මරණයෙන් පසු දර්ශනයකින් පෙනී සිටියි

දින දර්ශනයට අනුව මේ දේවල් සිදු වූයේ ජනවාරි මාසයට දහතුන් දිනකට පෙර දින, එනම් දෙසැම්බර් විසි වන දිනය. එ් සූරා සහ සෙනෙසියෝ දෙවන වරටත් රෝමයේ ආණ්ඩුකාරවරු ලෙස සිටින කාලයේදීය. මේ දේවල් ගැන ඇසින් දුටු සාක්ෂිකාරයින් ලෙස අපි, මුළු රාත්‍රියම නිවස තුළ කඳුළු සලමින් ගත කළ අතර, දණ ගසා යාච්ඤා කරමින් ස්වාමින් වහන්සේගෙන් බැගෑපත්ව අයද සිටිමින් උන් වහන්සේ දුර්වල මිනිසුන් වූ අප විසින් කළ යුතු දේවල් සම්බන්ධයෙන් පූර්ණ සහතිකයක් ලබා දෙන ලෙස උන් වහන්සේගෙන් ඉල්ලා සිටියෙමු. අපි කෙටි නින්දකට වැටෙද්දී, ආශිර්වාද ලත් ඉග්නේෂස් හදිසියේම අප අසල සිටගෙන අප වැලඳගෙන සිටිනු අප දුටු අතර, තවත් සමහරු ඔහු අප වෙනුවෙන් යාච්ඤා කරනු දුටූහ. තවත් සමහරු ඔහු ඉතා මහන්සියෙන් වැඩ කර පෙරළා පැමිණි කෙනෙකු මෙන් දහඩිය වගුරුවමින් ස්වාමින් වහන්සේ අසල ඔහු සිටගෙන සිටින අයුරු දුටුවෝය. එම නිසා, අපි ඉතා ප්‍රීතියෙන් මේ දේවල් දැක ඒ පිළිබද සාක්ෂි ලබා, අපගේ දර්ශන කිහිපයක් එකට සංසන්දනය කර බලා,සියලු යහපත් දේ ලබා දෙන දෙවියන් වහන්සේට ප්‍රශංසා ගී ගායනා කළෙමු. එසේශුද්ධ වූ [ප්‍රාණ පරිත්‍යාගිවරයාගේ] සතුට ප්‍රකාශ කිරීම අපි තේරුම් ගතිමු. [මේ දේවල් සිදු වූ දවස] සහ වේලාව යන දෙකම අපි දැන් ඔබට දැන්වූයෙමු. එසේ කළේ ඔහුගේ ප්‍රාණ පරිත්‍යාගය සිදු වූ කාලයේ අප සියල්ලන් එක්රැස් වන විට,ක්‍රිස්තුස් වහන්සේගේ ශූරයා සහ උදාර ප්‍රාණ පරිත්‍යාගිවරයා සමඟ අපට සහභාගිත්වය ඇති වන පිණිසය. ඔහු යක්ෂයා තමාගේ පාද යටට දමා, ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇති ප්‍රේමයෙන්, ඔහු මහත් සේ ආශා කළ ඔහුගේ වැඩය අපේ ස්වාමින් වන ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ සම්පූර්ණ කළේය. අපේ ස්වාමින් වන ක්‍රිස්තුස් යේසුස් වහන්සේ කරණකොටගෙන උන් වහන්සේටත්, පියාණන් වහන්සේටත්, ශුද්ධාත්මයාණන් වහන්සේටත්, සදාකාලයෙන් සදාකාලයටම මහිමය හා බලය වේවා! ආමෙන්.