ඉග්නේෂස් තුමා මැග්නේසියන්වරුන් වෙත ලියන ලද ලිපිය

Ignatius of Antioch, Epistle to the Magnesians

ඉග්නේෂස් තුමා මැග්නේසියන්වරුන් වෙත ලියන ලද ලිපිය

අපගේ ගැලවුම්කරුවාණන් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් පියාණන් වහන්සේ වන දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයෙන් ආශිර්වාද ලත්, මැන්ඩර් අසල පිහිටි මැග්නේසියාවේ සභාවට, ඉග්නේසියස් තියෝෆොරෝස් වන, මා විසින් ලියනු ලබන හසුනයි. පියාණන් වහන්සේ වන දෙවියන් වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ සැම ප්‍රීතියක්ම අත් වන පිණිස මම ඔබට ආචාර කරමි.

1. දෙවියන් වහන්සේ කෙරෙහි ඔබ දක්වන ප්‍රේමයේ පරිපූර්ණ පිළිවෙළ ගැන මම අසා ඇත්තෙමි. ඒ නිසා ඉතා ප්‍රීතියෙන් හා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ වන ඇදහිල්ල කරණකොටගෙන මම ඔබට ආමන්ත්‍රණය කිරීමට තීරණය කළෙමි. දෙවියන් වහන්සේට එතරම්ම ආදරණීය නමක් ඇති බැවින් ගෞරවයට පාත්‍ර වීමි. මම, මා වෙත ඇති බැඳුම් සමගින් සභාවන්ට ප්‍රශංසා කරමි. එසේම අපගේ සදාකාල ජීවනය වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මාංසය හා ආත්මය තුළ සභාවල එකමුතුකමක් ඇති වේවා යයි මම යාච්ඤා කරමි. එනම්, අන් සියල්ලන්ටම වඩා ඇදහිල්ල හා පුණ්‍ය කටයුතු පිළිබඳ එකමුතුවක් සඳහා ආශා විය යුතු අතර, මෙලොව කුමාරයාගේ අනවශ්‍ය ප්‍රහාරවලින් අප බේරී පළා ගියහොත් පමණක්, අපි දෙවියන් වහන්සේ වෙත ළඟා වන නිසා, විශේෂයෙන්ම, යේසුස් වහන්සේ හා පියාණන් වහන්සේ සමග ඒකත්වයක් ඇති වන පිණිස මම යාච්ඤා කරමි.

2. ඔබගේ භක්තිමත් රදගුරු තුමා වන දේමස් සහ වටිනා පූජකවරුන් වන බාසස් සහ අපොලෝනියස් සහ මගේ හවුල් සේවකයා වන උපස්ථායක සොෂන් යන අය තුළ ඔබ දැක ගැනීමට මට හැකි විය. ඔහු රදගුරු තුමාට දෙවියන් වහන්සේගේ වරප්‍රසාද‍යට මෙන් කීකරු වන බැවින්, හා පූජකයන්ට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ව්‍යවස්ථාව මෙන් කීකරු වන බැවින්, ඔහු නිසා මම නොකඩව ප්‍රීති වෙමි.

3. ඔබගේ රදගුරු තුමා තරුණ නිසා ඔහුට සාමාන්‍ය ආකාරයෙන් සැලකීම ඔබට අයහපතක් වේ. පියාණන් වන දෙවියන් වහන්සේගේ අධිකාරියට ගරු කිරීම පිණිස ඔබ එතුමා හට සියලු ගෞරවයෙන් සැලකිය යුතුය. මෙය මට වැටහෙන කාරණයක් වන අතර, ශුද්ධ පූජකයන්ටද එය වැටහේ. එතුමාගේ තරුණ පෙනුම නිසා ඔවුන්ට කිසි ප්‍රයෝජනයක් නොමැති වූවත්, දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රඥාවන්ත කෙනෙකු ලෙස ඔවුහු එතුමාට යටත් වෙති. ඇත්ත වශයෙන්ම, එමගින් එතුමාට පමණක් නොව, සියල්ලන්ටම ඉහළින් සිටින අගරදගුරු තුමා වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පියාණන් වහන්සේට යටත් වෙති. ඔබට ප්‍රේම කරන තැනැන් වහන්සේගේ ගෞරවය පිණිස, ඔබ කිසිදු අවිනිශ්චිතභාවයකින් තොරව එතුමාට කීකරු විය යුතුය. මක්නිසාද යත්, අදෘශ්‍යමාන කෙනෙකු අභිබවා යාමට උත්සාහ කරන අයෙකු ලෙස යමෙකු බිෂොප්වරයෙකු මෙතරම් රවටන්නේ නැත. එවැනි අවස්ථාවකදී එම පුද්ගලයා මිනිසෙකු ලෙස නොව, අපගේ සැඟවුණු සිතුවිලි දන්නා දෙවියන් වහන්සේ ආකාරයට සැලකිය යුතුය.

4. නාමික ලෙස පමණක් කිතුනුවන් වීම ප්‍රමාණවත් නොවේ; ඇත්ත වශයෙන්ම එවැනි අය වීමටද අපට සුදුසු වේ. ඉතින්, රදගුරු තුමාගේ නාමය දරන අය සිටින අතර, ඔහුගේ ක්‍රියාව සම්බන්ධයෙන් ඔවුහු කිසිදු තැකීමක් නොකරති. එවැනි මිනිසුන්ට හොඳ හෘදයසාක්ෂියක් නොමැති බව මට පෙනේ. මන්ද අණ කර ඇති පරිදි ඔවුන් නිතිපතා රැස් නොවන බැවිනි.

5. සැම දෙයකටම අවසානයක් ඇති බව දැක, අපගේ තෝරාගැනීම උදෙසා කරුණු දෙකක් එනම් ජීවිතය සහ මරණය යෝජනා කර තිබේ. අප සැම කෙනෙකුම අපගේ සුදුසු ස්ථානයට යා යුතුව ඇත. දෙවියන් වහන්සේගෙන් එකක් සහ ලෝකයෙන් වෙනත් එකක් ලෙස මුදල් වර්ග දෙකක් තිබෙන අතර, සැම එකක්ම එයට නියමිත ආකාරයෙන් මුද්‍රා කර ඇත. එබැවින් නොඇදහිලිවන්තයන්ට ලෝකයේ මුද්‍රාව ඇත. පුණ්‍ය කටයුතුවල යෙදෙන අය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් පියාණන් වන දෙවියන් වහන්සේගේ මුද්‍රාව ඇති අය බව විශ්වාස කරති. උන් වහන්සේ කරණකොටගෙන උන් වහන්සේගේ ආශාව උදෙසා අප මරණයට පත් වීමට තෝරා ගැනීමෙන් තොරව, උන් වහන්සේගේ ජීවිතය අප තුළ ඇත්තේ නැත.

6. මා සඳහන් කළ පුද්ගලයන් තුළ ඇදහිල්ල මා දැක ඇති අතර, මම ඔවුන්ගේ ප්‍රේමය ලත් අයෙක්මි. එසේම ඔවුන් ඔබේ මුළු ප්‍රජාවටම ප්‍රේම කරන බව දැක ඇත්තෙමි. එබැවින් දෙවියන් වහන්සේගේ එකඟතාවයෙන් යුක්තව සැම දෙයක්ම කිරීමට වගබලා ගන්නා ලෙස මම ඔබට අවවාද කරමි. දෙවියන් වහන්සේගේ ආදර්ශයට අනුව ප්‍රමුඛත්වය රදගුරුතුමාට තිබෙන අතර, පූජකවරුන්ට අපොස්තුළුවරුන්ගේ අනුශාසනාවේ ආදර්ශය ඇත්තේය. එසේම (මා හට එතරම් ආදරණීය වූ) උපස්ථායකයන් හට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ, එනම් සදාකාලිකව පියාණන් වහන්සේ සමග සිටි, අවසානයේදී අපට පෙන්නුම් කරනු ලැබූ තැනැන් වහන්සේගේ සේවය භාර දී ඇත. දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුකූලව අපි එකිනෙකාට ගරු කරමු. අපි කිසිවෙක් තමාගේ අසල්වැසියා දෙස මාංසමය ඇස්වලින් නොබලා, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔවුන් දෙස බලමින්, සැම විටම එකිනෙකාට ප්‍රේම කරමු. ඔබ භේදයට ලක් කරන ආකාරයේ කිසිවක් ඔබ අතරේ නොතිබේවා. එහෙත් රදගුරු තුමා හා ඔබට ඉහළ තනතුරුවල සිටින අය සමග එක් අයෙකු මෙන් වී, අමරණීය ජීවිතය පිළිබඳ ආදර්ශයක් හා ඉගැන්වීමක් ලබා දෙන්න.

7. සමිඳාණන් වහන්සේ, පියාණන් වහන්සේ සමග එක් අයෙකු ලෙස සිටිමින්, පියාණන් වහන්සේ නොමැතිව, තමාගේම පුද්ගලත්වය තුළ හෝ අපෝස්තුළුවරුන් මාර්ගයෙන් කිසිවක් නොකළ සේ ම, ඔබද රදගුරු තුමා සහ පූජක පිරිස නොමැතිව කිසිවක් නොකළ යුතුය. යම් දෙයක් හුදෙක් ඔබට පෞද්ගලික ලෙස සාධාරණව පෙනෙන නිසා, එය කිරීමට ඔබ උත්සාහ නොකළ යුතුය. එහෙත් පොදුවේ එකම යාච්ඤාවක්, එකම ඉල්ලීමක්, එකම මනසක්, එකම බලාපොරොත්තුවක්, සියලු දෙනා අතරින් උසස් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ වූ ප්‍රේමය, අමිශ්‍ර වූ ප්‍රීතිය ඔබ අතරේ පවතීවා. ඔබ සැවොම දෙවියන් වහන්සේගේ එක් දේව මාලිගාවකට, එක් පූජාසනයකට, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතට පමණක් යොමු වන්නට ඉක්මන් වන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එක පියාණන් වහන්සේ වෙතින් පැමිණි අතර, පියාණන් වහන්සේ තුළ උන් වහන්සේ පවතින සේක; එසේම පියාණන් වහන්සේ වෙතට නැවත ගිය සේක.

8. දැන් නිෂ්ඵල බවට පත්ව ඇති නව මූලධර්ම හෝ පැරණි ප්‍රබන්ධ මගින් නොමගට හැරී නොයන්න. මක්නිසාද යත්, යුදෙව් චාරිත්‍ර පිළිපැදීම යනු අපට කරුණා අනුග්‍රහය ලැබී ඇති බව ප්‍රතික්ෂේප කිරීමක් වන බැවිනි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේට අනුකූල ලෙස ශුද්ධ වූ අනාගතවක්තෘවරුන් ජීවත් වූ බවත්, ඒ හේතුව නිසා ඔවුන්ට පීඩා කරන ලද බවත් මතකයේ තබාගන්න. ඇත්තේ එක දෙවියන් වහන්සේ පමණක් බවට නොඇදහිලිවන්තයන්ට පූර්ණ සහතිකයක් ලැබෙන පිණිස උන් වහන්සේගේ අනුග්‍රහය මගින් ඔවුහු පොලඹවනු ලැබූහ. උන් වහන්සේ තමන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ තමන් වහන්සේම ප්‍රකාශ වූ සේක. උන් වහන්සේ නිශ්ශබ්දතාවයෙන් යුක්තව ඉදිරියට යන උන් වහන්සේගේ වචනයාණෝ වන අතර, උන් වහන්සේ යවනු ලැබූ තැනැන් වහන්සේ සියලුම කාරණාවලදී උන් වහන්සේ කෙරෙහි ප්‍රසන්න වන සේක.

9. එසේ නම්, අනාගතවක්තෘවරුන් ආත්මයාණන් වහන්සේ තුළ උන් වහන්සේගේ ගෝලයන් වූ බවත්, උන් වහන්සේ ඔවුන්ගේ ස්වාමියා ලෙස අපේක්ෂා කළ බවත්, පරණ පිළිවෙළට හැදී වැඩුණු බොහෝ දෙනෙක් බලාපොරොත්තුවේ අලුත් තත්වයට පැමිණ ඇති බවත් දැක, අපට උන් වහන්සේගෙන් වෙන්ව ජීවත් විය හැක්කේ කෙසේද? ඔවුහු තවදුරටත් යුදෙව් සබත නොපවත්වන්නෝය. එහෙත් ස්වාමින් වහන්සේගේ දවස ශුද්ධව පවත්වති. එම දිනය වනාහි, උන් වහන්සේ කරණකොටගෙන, උන් වහන්සේගේ මරණය තුළින් අපගේ ජීවිතය නැගිටෙවූ දවසය. එසේ මෙම අබිරහස නිසා – සමහරු උන් වහන්සේ ප්‍රතික්ෂේප කළත්, අපට අපගේ ඇදහිල්ල ලැබී ඇත. එබැවින් අපගේ එකම ස්වාමියා වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයන් බවට පත්වීමේ බලාපොරොත්තුවෙන් අපි නොපසුබටව සිටිමු. එසේම මෙම අබිරහස කරණකොටගෙන, අනාගතවක්තෘවරුන් නිවැරදිව බලා සිටි තැනැන් වහන්සේ පැමිණ ඔවුන් මළවුන්ගෙන් උත්ථාන කළ සේක.

10. එබැවින්, අපි උන් වහන්සේගේ කරුණා දයාව පිළිබඳ අකෘතඥ නොවෙමු. මන්ද, අප උන් වහන්සේ කෙරෙහි ක්‍රියා කරන ආකාරයටම උන් වහන්සේ අප කෙරෙහි ක්‍රියා කළහොත් අප විනාශ විය යුතුය. එබැවින් අපි උන් වහන්සේගේ ගෝලයෝ වෙමු. ක්‍රිස්තියානි ධර්මයෙන් කැඳවා ඇති ආකාරයේ ජීවිතයක් ගත කිරීමට අපි ඉගෙන ගනිමු. මෙය හැර වෙනත් නාමයක් ඇති කිසිවෙකුත් දෙවියන් වහන්සේට අයිති විය නොහැකිය. එබැවින්, පරණ හා නරක් වූ මුහුන් ඉවත් කර, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නමැති නව මුහුන් බවට හැරෙමු. ඔබගෙන් කිසිවෙකුත් ඔබේ රසය නැති නොවන පිණිස, උන් වහන්සේ තුළ ලුණු බවට පත් වන්න. මන්ද ඔබ විනිශ්චයට පත් වන්නේ ඔබේ රසයට අනුව වන බැවිනි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශනා කරමින් යුදෙව් ආගම ඇදහීම නොගැළපෙන කාරණා දෙකකි. මක්නිසාද යත්, ක්‍රිස්තියානි ධර්මය යුදෙව් ආගම විශ්වාස නොකළ නමුත්, යුදෙව් ආගම ක්‍රිස්තියානි ධර්මය කෙරෙහි විශ්වාස කළ බැවිනි. සැම භාෂාවකම මිනිසුන් දෙවියන් වහන්සේ තුළ විශ්වාස කොට, එකට එක් වූයේ මේ හේතුව නිසාය.

11. මාගේ ආදරණීය සහෝදරවරුනි, ඔබ අතරින් කිසිවෙකු යුදෙව් ආගම අනුගමනය කරන බවට මා දැනගෙන ඇති බව නොසිතන්න. එහෙත් මම මේ දේවල් කියමි. ඔබ හා සසඳන කල, හිස් ධර්මයක උගුලට හසු නොවී සිටීමට ඔබට අනතුරු ඇඟවීම පිණිස මම ඉතා කුඩා අයෙක්මි. පොන්තියුස් පිලාත්ගේ ආණ්ඩුකාර ධූර කාලය තුළ සිදු වූ උපත සහ සේවය සහ නැවත නැඟිටීම පිළිබඳ ඔබට පූර්ණ ඒත්තු ගැන්වීමක් ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. මේ දේවල් සැබවින්ම හා සත්‍ය වශයෙන්ම අපගේ බලාපොරොත්තුව වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් සිදු කරනු ලැබීය. ඔබගෙන් කිසිවෙකු මෙම බලාපොරොත්තුව කෙරෙන් ඉවතට හැරී යාම දෙවියන් වහන්සේ වළක්වන සේක්වා.

12. මම සුදුස්සෙක් නම්, සැම ආකාරයකින්ම ඔබ තුළ ප්‍රීතියක් ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. මම බැඳුම්වල සිටින බව සත්‍යයකි. එහෙත් නිදහසේ සිටින ඔබෙන් කවර අයෙකු හෝ සමග සසඳන විට මම කිසිවෙකුත් නොවෙමි. මක්නිසාද ඔබ තුළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වැඩ සිටින බැවින් ඔබ නිෂ්ඵල නොවන බව මම දනිමි. මම ඔබට ප්‍රශංසා කරන විට වෙන කවරදාකටත් වඩා ඔබ ඔබටම තරවටු කර ගන්නා බව මම දනිමි. මක්නිසාද යත්, ‘ධර්මිෂ්ඨ මනුෂ්‍යයා තමාගේම චූදිතයාය’ යනුවෙන් ලියා තිබේ.

13. එබැවින්, අපගේ ස්වාමින් වහන්සේගේ හා උන් වහන්සේ‍ගේ ප්‍රේරිතයන්ගේ ආඥාවලින් නිසැක වන පිණිස, උනන්දු වන්න. ‘ඇදහිල්ලෙන් හා ප්‍රේමයෙන් යුක්තව, ශරීරය හා ආත්මය තුළ, පුත්‍රයාණන් වහන්සේ, පියාණන් වහන්සේ හා ශුද්ධාත්මයාණන් වහන්සේ තුළ ඔබ කරන ඕනෑම කාරණයක් සඵල වේවා. ආරම්භයේදී හා අවසානයේදී ඔබේ මහත් ගෞරවයට ලක් වූ රදගුරු තුමා සහ පූජකයන් සමඟ සමෘද්ධිමත් වේවා. – දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන් වන එතුමාට සහ වැඩිමහල්ලන්ට එය ලැබීම යෝග්‍යය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මිනිස් ස්වභාවය තුළ උන් වහන්සේ පියාණන් වහන්සේට යටත් වූ ආකාරයටම, ප්‍රේරිතයන් ක්‍රිස්තුස් වහන්සේට හා පියාණන් වහන්සේට යටත් වූ ආකාරයටම, ඔබේ රදගුරුතුමාට හා එකිනෙකාට කීකරු වන්න. මේ ආකාරයෙන් ශරීරයේ හා ආත්මයේ එකමුතු බවත් ඇති වනු ඇත.

14. ඔබ දෙවියන් වහන්සේගෙන් පූර්ණ වී සිටින බව මා දන්නා බැවින් මම ඔබ ලුහුඬු ලෙස ධෛර්යවත් කළෙමි. මා දෙවියන් වහන්සේ වෙත ළඟා වන පිණිසත්, සිරියාවේ සභාවට ළඟා වන පිණිසත්, ඔබගේ යාච්ඤාවලදී මා සිහි කරන්න. එයට නුසුදුසු වූවත්, මම එම සිරියාවේ සභාවේ සාමාජිකයෙක් වෙමි. සිරියාවේ සභාව ඔබගේ උද්‍යෝගිමත් යාච්ඤාවේ ආශිර්වාදයෙන් සාරවත් වන පිණිස, මට ඔබගේ එකමුතු යාච්ඤාව සහ දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රේමය අවශ්‍යය.

15. මා ඔබට මෙම ලිපිය ලියන ස්මර්ණාවෙහි සිටින එපීසවරු ඔබට ආචාර කරති. දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා ඔබ මෙන්ම ඔවුන්ද මා සමග සිටින අතර, එය මට මහත් සැනසීමක් වී ඇත. එසේම ස්මර්ණාවෙහි ජනයාගේ රදගුරු පොලිකාප් තුමාද, අනෙකුත් සියලුම සභාවන්ද යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ඇති ගෞරවය කරණකොටගෙන ඔබට ආචාර කරති. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වන එක්සත්කමේ ආත්මය ඇතිව, දෙවියන් වහන්සේගේ සමගිය තුළ ඔබ රැ‍ඳෙනු ඇතැයි විශ්වාස කරමි. ආයුබෝවන්.