මතේටස් විසින් ඩයොග්නෙටස් වෙත යවන ලද ලිපිය

Mathetes, Epistle to Diognetus

මතේටස් විසින් ඩයොග්නෙටස් වෙත යවන ලද ලිපිය

1 වන පරිච්ඡේදය- ලිපියෙහිදැක්වෙන සිදුවීම

අති උත්තම ඩයොග්නෙටස්තුමනි: කිතුනුවන් තම දෙවියන් වහන්සේට නමස්කාර කරන්නේ කෙසේද යන්න දැනගැනීමට ඔබ දැඩි ලෙස ආශා කරන බව මට පෙනේ. ඔබ ඔවුන් පිළිබඳ ඉතා පරිස්සමින් හා උනන්දුවෙන් විමසා ඇත: ඔවුන් විශ්වාස කරන දෙවියන් වහන්සේ පිළිබඳ කුමක් කිව හැකිද?ඔවුන් පිළිපදින ආගමේ ස්වරූපය කරණකොටගෙන ලෝකයේ දේවල් පහත් කොට සලකන අතර, ඔවුන් අදහන දේ උදෙසා මරණය විඳීමටත් ඔවුන්ට සිදු වෙයි. ඔවුන් ග්‍රීක දෙවිවරුන් හා යුදෙව් මිථ්‍යා විශ්වාසයන් යන දෙකම ප්‍රතික්ෂේප කරන්නේ ඇයි?ඔවුන් සියලු දෙනාම එකිනෙකා කෙරෙහි දක්වන සෙනෙහස පිළිබඳ කුමක් කිව හැකිද?මෙම නව කණ්ඩායම සහ ඔවුන්ගේ හැසිරීම් සහ භාවිතයන් මීට බොහෝ කලකට පෙර සිදු නොවී වර්තමානයේ ජීවය ලැබුවේ කෙසේද?

කිතුනුවන් සම්බන්ධ දැනගැනීමට ඇති ඔබගේ මෙම ආශාව මම ඉතා ප්‍රිය කරමි. කථා කිරීමට මට අවස්ථාව ලබා දෙන ලෙසත්, සියල්ලටම වඩා, ඔබ උගන්වනු ලැබ සන්නද්ධ කර ඇති බව මට ඇසීමට ලැබෙන පිණිසත්, කථා කිරීමට හා ඇසීමට අපට උපකාර කරන දෙවියන් වහන්සේගෙන් මම අයැද සිටිමි. මන්ද ඔබ ඒ දේවල් අසා, හැසිරීම දියුණු කර ගත් බව ඇසීමෙන් ඔබට මේ දේවල් පැවසීම පිළිබඳ පසුතැවීමට හේතුවක් මට නැති වනු ඇත. 

2 වන පරිච්ඡේදය – පිළිමවල නිෂ්ඵලභාවය

එසේ නම්, ඔබගේ මනසෙහි තිබෙන සියලු පූර්ව නිගමන සහ මතවලින් ඔබ නිදහස් වී, ඔබ හුරුපුරුදු වී ඇති දේ ඔබ රවටනු ලබන දෙයක් සේ සලකා ඒවා පසෙකට දැමූ විට, ආරම්භයේ සිටම වූ පරිදි, නව මිනිසෙකු බවට පත් වන්නෙහිය. එසේ ඔබගේ ප්‍රකාශයට අනුව ඔබ නව ධර්ම නියාමක අසන්නෙකු බවට පත් වනු ඇත. එන්න, ඇවිත් ඔබදෙවිවරුන් යැයි ප්‍රකාශ කරන සහ සලකන අයගේ තත්වය සහ ස්වරූපය ඔබේ ඇස්වලින් පමණක් නොව, ඔබේ අවබෝධයෙන් යුක්තව කල්පනා කර බලන්න. 

එයින්එක් කෙනෙක් අප පාගා දමන ගලකට සමා ගලක් නොවේද? දෙවන පිත්තල පිළිමයෙහි අපගේ එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය භාවිතය සඳහා සාදා ඇති උපකරණවලට වඩා වෙනසක් තිබේද? තුන්වැන්න දැනටමත් දිරා ගිය ලීයක් නොවේද? සිව්වැන්න සොරකම් නොකරනු ලබන පිණිස මිනිසෙකු විසින් රැක බලාගත යුතු රිදී නොවේද? පස්වැන්න මළකඩ බැ‍ඳෙන යකඩ නොවේද? හයවැන්න, තමා පාවිච්චි කරන අවශ්‍යතාව අනුව මිස වෙනත් කිසිම වටිනාකමක් නොමැති මැටි නොවේද?

මේ සියල්ල විනාශ වන ද්‍රව්‍යමය දේවල් නොවේද?ඒවා යකඩවලින් හා ගින්දර භාවිතයෙන් නිර්මාණය කරන ලද ඒවා නොවේද?එයින් එකක් නිර්මාණය කළේ මූර්ති ශිල්පියා නොවේද? දෙවැන්න පිත්තල කර්මාන්තකරුවා නොවේද? තුන්වැන්න නිර්මාණය කළේ රිදීකරුවා නොවේද? හතරවැන්න නිර්මාණය කළේ කුඹල්කරුවා නොවේද? මෙම කලාකරුවන් සහ ශිල්පීන් විසින් ඒවා [දෙවිවරුන්ගේ] හැඩයට පත් කරනු ලැබීමට පෙර සැම දෙයක්ම වෙනස් වන ස්වභාවයේ තිබූ ද්‍රව්‍යයන් නොවේද? දැන් දෙවිවරුන් වන සියලු දේ මීට පෙර එකම ද්‍රව්‍යයකින් සාදනු ලැබ පිළිම බවට පත් වූ ඒවා නොවේද? ඒවා කලාකරුවන්ගේ නිර්මාණ නොවන්නේද? දැන් ඔබ වන්දනාමාන කරන මේවා අනෙක් උපකරණ සේම මනුෂ්‍යයින් විසින් සාදන ලද නිර්මාණ නොවේද? ඔවුන් සියල්ලෝම බිහිරි අය නොවේද? ඔවුන් සියල්ලෝම අන්ධ අය නොවේද?ඔවුන් පණ නැති පිළිම නොවේද? ඔවුන් හැඟීම්වලින් තොර අය නොවන්නේද?ඔවුන් එක් තැනකින් වෙනත් ස්ථානයකට ගමන් කිරීමට අසමත් පිළිම නොවේද?ඒවා සියල්ලම දිරාපත් වීමේ අවදානමක් ඇති ඒවා නොවේද? ඒවා සියල්ලම විනාශ වන දේවල් නොවේද?

ඔබ මේ දේවල් දෙවිවරුන් යයි හඳුන්වන්නෙහිය. ඔබ සේවය කරන්නේ මේවාටය; ඔබ නමස්කාර කරන්නේ මේවාටය; එසේ ඔබ එම පිළිම හා සමාන අය බවට පත් වන්නෙහිය. මේ හේතුව නිසා එනම් ඒවා දෙවිවරුන් යයි නොසලකන හෙයින් ඔබ කිතුනුවන්ට වෛර කරන්නෙහිය. එසේ වූවත් ඔබ දැන් [දෙවිවරුන් යැයි සිතන] යැයි සිතන දේවලටඔවුන්ට [කිතුනුවන්ට] වඩා බොහෝ සෙයින් අපහාස කරන්නේ නැද්ද? ඔබ රිදී හා රත්රන්වලින් සාදන ලද පිළිම ආරක්ෂා කරන පිණිස දහවල් කාලයේ මුරකරුවන් පත් කර, රාත්‍රියේදී ඒවා අගුළු දමා වසා තබමින් ඒවා සොරකම් නොකරන පිණිසත ආරක්ෂක පියවර ගන්නා අතරම, ගල් හා මැටිවලින් සාදන ලද ඒවා ආරක්ෂා කිරීමට කිසිවෙකු පත් නොකර සිටීමෙන්, එම පිළිමවලට නමස්කාර කරන ඔබ කිතුනුවන්ට වඩා ඒවාට අපහාස කරමින් සමච්චල් කරනවා නොවේද? ඒ ආකාරයෙන් ඔබ ඔවුන්ට ත්‍යාග ඔප්පු කිරීමට අදහස් කරන කල, ඇත්තෙන්මඒවාට සිහිකල්පනාව තිබේ නම්, ඔවුන්ට ගෞරවයට කරනවා වෙනුවට දඬුවම් කරන්නේ නැද්ද? එහෙත්, අනෙක් අතට, ඔවුන්ට කිසි දෙයක් නොහැ‍ඟෙන නිසා ඔවුන්ට ඒවා ඒත්තු ගැන්වීම පිණිස ඔබ ඔවුන්ට ලේ සහ දුම් පූජා කරමින් නමස්කාර කරන්නෙහිය. එවැනි අවමානයක් සිදු කරන ඕනෑම කෙනෙකුට දුක් විඳින්නට සිදු වේ! එවැනි දෙයක් තමාට කරනවාට ඔබෙන් කිසිවෙකුත් කැමතිද? එහෙත්, කිසිම මිනිසෙකු බල කරනු ලැබීමෙන් මිස, එවැනි ලෙස සැලකීම දෙයක් විඳ දරාගන්නේ නැත. මන්ද ඔහුට හැඟීමක් දැනීමක් මෙන්ම තාර්කික ඥානයද ඇති බැවිනි. කෙසේ වෙතත්, ගලක් තමාට සිදු කරන අවමානය කැමැත්තෙන් දරා ගැනීම එයට හැඟීමක් දැනීමක් නොමැති බව පෙනී යයි. ඇත්තෙන්ම ඔබේ හැසිරීමෙන් ඔබේ දෙවිවරුන්ට සිහිකල්පනාවක් ඇති බව ඔබ පෙන්නුම් කරන්නේ නැත. කිතුනුවන් එවැනි දෙවිවරුන්ට සේවය කිරීමට පුරුදු වී නැති නිසා, මට කීමට තවත් බොහෝ දේවල් පහසුවෙන් සොයාගත හැකිය. එහෙත් මේ දක්වා පවසා ඇති දේ පවා කිසිවෙකුට ප්‍රමාණවත් නොවන බව පෙනේ නම්, තවදුරටත් කිසිවක් කීම නිෂ්ඵල යැයි මම සිතමි.

3 වන පරිච්ඡේදය – යුදෙව්වන්ගේ මිථ්‍යා විශ්වාස

මී ළඟට, ඔබ මේ කාරණය පිළිබඳ තව දුරටත් යමක් ඇසීමට කැමති බව මම සිතමි. එනම් කිතුනුවෝ යුදෙව්වන් හා සමාන ලෙස දෙවියන් වහන්සේට නමස්කාර කිරීමේ ක්‍රම අනුගමනය නොකරන බවයි. එසේ නම්, යුදෙව්වන්, ඉහත විස්තර කර ඇති ආකාරයේ නමස්කාරය කිරීමෙන් සහ සේවය කිරීමෙන් වැළකී, එකම දෙවියන් වහන්සේ වන සියල්ලෙහි ස්වාමින් වහන්සේට නමස්කාර කිරීම නිවැරදි බව සිතන්නේ නම්, සහ ඔවුන් උන් වහන්සේට අප විස්තර කළ ආකාරයෙන් නමස්කාර කරන්නේ නම්, ඔවුන්ට මහත් වැරදීමක් සිදු වී ඇත. මක්නිසාද අන්‍ය ජාතීහු, එවැනි දේ කිසිවක් නොදැනෙන නොඇසෙන සහ නොපෙනෙන අයට පූජා ඔප්පු කිරීමෙන් උමතු වූවන් ලෙස ක්‍රියා කරති. අනෙක් අතට, මේ දේවල් දෙවියන් වහන්සේට අවශ්‍ය යැයි සිතා ඒවා ඔප්පු කිරීමට සිතීමෙන් ඔවුහු එය දිව්‍යමය නමස්කාරයකට වඩා මෝඩ ක්‍රියාට පෙරළා ගනිති. මක්නිසාද අහසත් පොළොවත් සැදූ එහි ඇති සියල්ලද නිර්මාණය කළ තැනැන් වහන්සේට, අපට අවශ්‍ය සියලු දේ අපට ලබා දෙන තැනැන් වහන්සේට,නිසැකවම උන් වහන්සේ විසින් අපට ලබා දෙන ලද දේවල් කිසිවක් නැවත උන් වහන්සේට ලබා ගැනීමට සිතීමේ අවශ්‍යතාවක් නැත. එහෙත් රුධිර පූජා, දවන පූජා, දුම් පූජා ඔප්පු කරන අය, දෙවියන් වහන්සේට පිළිගත හැකි පූජා ඔප්පු කරන්නේ යයි කල්පනා කරන අය, එවැනි ගෞරව කිරීමක් සිදු කරමින් උන් වහන්සේට ගෞරවය දක්වති, එසේ කිරීමෙන් කිසිවක්ම අපෙන් කිසිම දෙයක් අවශ්‍ය නැති තැනැන් වහන්සේට ඕනෑම දෙයක් දිය හැකි යැයි ඔවුහු සිතති. එවන් අයට මාගේ කිසි ගෞරවයක් නැති අතර, ඔවුන්ද හැඟීම් දැනීම් නැති නිසා එවන් ගෞරවයක් භුක්ති විඳීමට නොහැකි දේවලට පූජා ඔප්පු කරන අයගෙන් කිසිසේත් වෙනස් වන්නේ නැත.

4 වන පරිච්ඡේදය – යුදෙව්වන්ගේ අනෙකුත් නමස්කාර ක්‍රම

එහෙත්, ආහාර සම්බන්ධයෙන් ඔවුන් තුළ ඇති විශේෂිත ක්‍රම සහ සබත් දවස සම්බන්ධයෙන් ඇති ඔවුන්ගේ මිථ්‍යා විශ්වාස,මෙන්මචර්මච්ඡේදනය පිළිබඳ ඔවුන්ගේ පුරසාරම් දෙඩීම, නිරාහාරව සිටීම සහ නව සඳ දින සම්බන්ධ ඔවුන්ගේ පිළිවෙත්, හාස්‍යජනක මෙන්ම ඒවා ප්‍රකාශ කිරීමටද නුසුදුසුය. ඒවා පිළිබඳ ඔබට මගෙන් කිසිවක් ඉගෙනගත යුතුව ඇතැයි මම නොසිතමි. මක්නිසාද යත්, දෙවියන් වහන්සේ විසින් මනුෂ්‍යයන්ට පිළිපැදීම උදෙසා ලබා දී ඇති අණ පනත් සමහරක් පිළිගැනීම සහ තවත් සමහරක් අනවශ්‍ය සේ සලකා ප්‍රතික්ෂේප කිරීම නිෂ්ඵලය. මෙය නීත්‍යානුකූල වන්නේ කෙසේද? සබත් දවසේදී යහපත් දේ කිරීමට උන් වහන්සේ අපට තහනම් කළාක් මෙන් දෙවියන් වහන්සේ පිළිබඳ බොරු කථා කිරීම, – මෙය අගෞරව කිරීමක් නොවන්නේද? තමන් තෝරා ගනු ලැබීම පිළිබඳ සාක්ෂියක් ලෙස මාංසයේ චර්මච්ඡේදනය වීම සම්බන්ධ උසස් කොට දැක්වීම සහ, ඔවුන් චර්මඡේදනය ලැබීම හේතුවෙන් ඔවුන් දෙවියන් වහන්සේගේ විශේෂ ආදරයට ලක් වූ අය මෙන් සැලකීම – එය හෙළා දැකීමට සුදුසු කරුණක් නොවන්නේද? ඔවුන් මාස හා දින සම්බන්ධ පවත්වන චාරිත්‍ර ගලාති 4:10තාරකාවන් හා සඳ ගැන බලා සිටීම හා ඔවුන්ගේම සිතේ කල්පනාවන්ට අනුව, දෙවියන් වහන්සේ විසින් නියම කරන ලද දේවල් සහ ඍතුවල වෙනස්කම් ගැන සැලකීම, සමහරක් අය උත්සව ගැන උනන්දු වන අතර වෙනත් අය වැලපීමට යොමු වීම ආදි චාරිත්‍ර පැවැත්වීම – මෙය අනුවණ ක්‍රියාවක් මිස දිව්‍යමය නමස්කාරයේ කොටසක් ලෙස සලකන්නේ කවුද? එසේ නම්, කිතුනුවන් [යුදෙව්වන්ට හා අන්‍යජාතීන්ට] පොදු වූ නිෂ්ඵල චාරිත්‍රවලින් සහ වැරැදි නමස්කාරයෙන් වැළකී සිටින බවත්, කාර්යබහුල ආත්මයෙන් හා යුදෙව්වන්ගේ පුරසාරම් දෙඩීමෙන් වැළකී සිටින බවත් ඔබට ප්‍රමාණවත් පරිදි ඒත්තු ගොස් ඇතැයි මම සිතමි. එහෙත්, කිසිම මනුෂ්‍යයෙකුගෙන් දෙවියන් වහන්සේට නමස්කාර කිරීමේ ඔවුන්ගේ සුවිශේෂී ක්‍රමයේ අභිරහස ඉගෙන ගැනීමට ඔබ බලාපොරොත්තු නොවිය යුතුය.

5 වන පරිච්ඡේදය -කිතුනුවන්ගේ ආචාර විධි

මක්නිසාද කිතුනුවන් අනෙක් මිනිසුන්ගෙන් වෙන් කොට හඳුනාගෙන ඇත්තේ රට, භාෂාව හෝ ඔවුන් පිළිපදින සිරිත් විරිත් අනුව නොවේ. මක්නිසාද ඔව්හු තමන්ගේම නගරවල වාසය නොකරති, විශේෂිත ලෙස කථා ​​ස්වරූපයක් අනුගමනය නොකරති, කිසිම අපූර්වත්වයේ කැපී පෙනෙන ජීවිතයක් ගත නොකරති. ඔවුන් විසින් අනුගමනය කරනු ලබන චර්යා රටාව මනුෂ්‍යයින්ගේ කිසිදු අනුමාන කල්පනාවකින් හෝ පරිකල්පනයකින් සැලසුම් කර නැත; සමහරුන් මෙන් ඔවුහු හුදු මිනිස් මූලධර්මවල අනුශාසකයෝ වන බවට ප්‍රකාශ නොකරති. එහෙත්, මෙහි වසන ග්‍රීක්වරු සහ ම්ලේච්ඡ නගරවල සිටින අය ඔවුන් එකිනෙකා විසින් තීරණය කරනු ලැබ ඇති ආකාරයට ස්වදේශිකයන්ගේ චාරිත්‍ර වාරිත්‍ර අනුගමනය කරමින්, ඇඳුම්, ආහාර සහ ඔවුන්ගේ සාමාන්‍ය හැසිරීම මගින් අපට ඔවුන් ඉතා අපූරු චාරිත්‍ර අනුගමනය කරන බවත් ඔවුන්ගේ ජීවන ක්‍රමය සිත් ඇදගන්නා එකක් වන බවත් දක්වති. ඔවුන් වාසය කරන්නේ ඔවුන්ගේම රටවලය. එහෙත් හුදෙක් විදේශිකයන් ලෙසය. පුරවැසියන් වශයෙන්, ඔවුන් සැම දෙයක්ම අන් අය සමඟ බෙදාගන්නා නමුත්, විදේශිකයන් මෙන් සියල්ල විඳ දරා ගනී. ඔවුහු සැම විදේශීය රටක්ම ඔවුන්ගේ මව් රට ලෙසද, එසේම ඔවුන් උපන් සැම දේශයක්ම විදේශීයන් සිටින දේශයක් ලෙසද සලකති. අන් සියලුම දෙනා මෙන්ම ඔවුහු විවාහ වෙති; ඔවුහු දරුවන් බිහි කරති; එහෙත් ඔව්හු තමන්ගේ දරුවන් විනාශ නොකරති. ඔවුන්ට ඇත්තේ පොදු මේසයක් මිස පොදු ඇඳක් නොවේ. ඔවුහු මාංසයේ සිටින නමුත්, මාංසය‍ට අනුව ජීවත් නොවෙති. 2කොරින්ති 10.3. ඔවුහු පොළොවෙහි දවස් ගත කරන නමුත්, ඔවුහු ස්වර්ගයේ පුරවැසියෝ වෙති. පිලිප්පි 3.20. ඔවුහු පවතින නීතිවලට කීකරු වන නමුත්, ඒ සමඟම ඔවුන්ගේ ජීවිත මගින් නීති ඉක්මවා යන ජීවිතයක් ගත කරති. ඔවුහු සියලු මිනිසුන්ට ප්‍රේම ති. එසේම ඔවුන්ට සියල්ලන් විසින්ම පීඩා කරනු ලැබේ. ඔවුහු කිසිවෙකුත් විසින් නොදන්නා අතර හෙළා දකිනු ලැබූ අය වෙති. ඔවුහු මරණයට පත් කරනු ලබති. එහෙත් නැවත ජීවනයට පමුණුවනු ලබති. 2කොරින්ති 6.9. ඔවුහු දුප්පත් වූවද, බොහෝ දෙනෙක් ධනවත් අය බවට පත් කරති; 2කොරින්ති 6.10. ඔවුන්ට සියලු දෙයින්ම අඩුපාඩු තිබුණත් ඔවුහු සියලු දෙයින්ම බහුලත්වයට පැමිණ සිටිති. ඔවුහු අගෞරවයට පත් වූවත්, ඔවුන්ගේ අගෞරවයෙන් මහිමයට පත් වෙති. ඔවුන් පිළිබඳ නපුරු ලෙස කථා කළත්, ඔවුහු ධර්මිෂ්ඨ කරනු ලැබූ අය වෙති. ඔවුන්ට නිග්‍රහ කරනු ලැබූවද, ඔවුහු ආශිර්වාද ලත් අය වෙති. 2කොරින්ති 4.12. ඔවුන්ට අපහාස කරනු ලැබේ. එසේ වූවත් ඔවුහු අපහාස කරන අයට ගෞරවයෙන් සලකති. ඔවුහු යහපත කළත් නපුරුකම් කරන්නන් ලෙස දඬුවමට ලක් වෙති. ඔවුන්ට දඬුවම් කරනු ලැබූ විට, ඔවුන්ගේ ජීවනයට ඉක්මනින් පැමිණියාක් මෙන් ඔවුහු ප්‍රීති වෙති. යුදෙව්වන් විසින් විදේශිකයන්ට මෙන් ඔවුන්ට පහර දෙනු ලබන අතර ග්‍රීකයන් විසින් ඔවුන්ට පීඩා කරනු ලැබේ. එහෙත් ඔවුන්ට වෛර කරන අය, එසේ ඔවුන්ට වෛර කරන්නේ මන්දැයි කිසිදු හේතුවක් දැක්වීමට අසමත් වෙති.

6 වන පරිච්ඡේදය -කිතුනුවන්ගේ මේ ලෝකයට ඇති සම්බන්ධය

සියල්ල එක වචනයකින් සාරාංශ කරන්නේ නම්, – ශරීරය තුළ ආත්මය ඇත්තේ කෙසේද,මේ ලෝකය තුළකිතුනුවන්ද එසේමය. ශරීරයේ සියලුම අවයව හරහා ආත්මය විසිරී ඇති අතර, කිතුනුවෝද ලෝකයේ සියලුම නගර පුරා විසිරී සිටිති. ආත්මය ශරීරය තුළ වාසය කරයි, එහෙත් ආත්මය ශරීර‍යෙන් වූවක් නොවේ; කිතුනුවෝ මේ ලෝකයේ වාසය කරන නමුත් මේ ලෝක‍යට අයත් නොවෙති. අදෘශ්‍යමාන ආත්මය දෘශ්‍යමාන ශරීරය මගින් ආරක්ෂා කරනු ලැබේ. එසේම කිතුනුවන් සැබවින්ම ලෝකයේ සිටින බව අනෙක් ය දන්නා නමුත්, ඔවුන්ගේ දේවභක්තිය අදෘශ්‍යමානය. මාංසය ආත්මයට වෛර කරමින් එයට විරුද්ධව යුද්ධ කරයි.1පේත්‍රැස් 2.11. එයට කිසිදු හානියක් සිදු නොවන්නේ එය විනෝදය භුක්ති විඳීමෙන් වළක්වනු ලබන හෙයිනි. ලෝකය කිතුනුවන්ටද එසේම වෛර කරති. මන්ද ඔවුහු තුවාල නොලැබුවද, ලෝකයේ සැප සම්පත් සහ විනෝදය ලැබීම පිළිකුල් කරන බැවිනි. ආත්මය එයට වෛර කරන මාංසයට ප්‍රේම කරන අතර, එහි සාමාජිකයන්ටද ප්‍රේම කරයි. කිතුනුවෝද ඒ ආකාරයටම ඔවුන්ට වෛර කරන අයට ප්‍රේම කරති. ආත්මය ශරීරයේ සිරගතව සිටියද, ආත්මය මගින් මුළු ශරීරයම එකට තබා ගනී. කිතුනුවන් ලෝකය තුළ සිරගෙයක මෙන් කොටු වී සිටියත් ඔවුහු ලෝකය එකට තබා ගනිති. අමරණීය ආත්මය මරණීය කූඩාරමක වාසය කරයි; කිතුනුවෝ විනාශ වන සුලු [ශරීරවල] වාසය කරන අය ලෙස වාසය කරති. එසේ කරන්නේ ස්වර්ගයේ දිරා නොයන වාසය කිරීම ලබා ගැනීම උදෙසාය. ආත්මය, ආහාර සහ බීම සපයා ඇති විට, වඩා හොඳ තත්වයට පත් වේ; ඒ හා සමානව, කිතුනුවන් දිනෙන් දින දඬුවම් විඳින කල පවා, සංඛ්‍යාත්මකව වර්ධනය වේ. දෙවියන් වහන්සේ ඔවුන්ට මෙම කීර්තිමත් තනතුර පවරා ඇති සේක. එය අත්හැර දැමීම නීති විරෝධී වූවකි.

7 වන පරිච්ඡේදය -ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රකාශ වීම

මක්නිසාද යත්, මා පැවසූ පරිදි, මෙය ඔවුන්ට ලබා දුන් හුදු භූමික සොයා ගැනීමක් නොවේ, එසේම හුදෙක් මානව මතවාදී පද්ධතියක්ද නොවේ.එසේ වූවත් ඔවුහු එය ඉතා පරිස්සමින් සංරක්ෂණය කිරීම සඳහා ක්‍රියා කරන්නේ හුදෙක් මිනිසුන් විසින් ඔවුන් වෙත ලබා දී ඇති අභිරහසක් ආරක්ෂා කිරීම පිණිස නොවේ. එහෙත් සර්වබලධාරි, සියල්ලේ මැවුම්කරුවාණන් වහන්සේ සහ අදෘශ්‍යමාන දෙවියන් වහන්සේ විසින් ඔවුන් වෙත ලබා දී ඇති දෙයක් නිසාය. උන් වහන්සේ සැබවින්ම ස්වර්ගයෙන් එවන ලද, මිනිසුන් අතර වාසය කළ, සත්‍යතාවේ තැනැන් වහන්සේ සහ ශුද්ධ හා තේරුම්ගත නොහැකි වාක්‍යාණෝ වන සේක. උන් වහන්සේ ඔවුන්ගේ හදවත් තුළ ස්ථිරව පිහිටුවනු ලැබ ඇත. යමෙක් කල්පනා කරන ආකාරයට, උන් වහන්සේ කිසිම සේවකයෙකු, දේවදූතයෙකු හෝ පාලකයෙකු හෝ භූමික දේ කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන කිසිවෙකු හෝ ස්වර්ගයේ දේවල් පාලනය කරන අයෙකු මනුෂ්‍යයින් වෙත නොයැවූ සේක. එහෙත් උන් වහන්සේ පොළොවට යැව්වේ සියල්ලේ මැවුම්කරුවාණන් වහන්සේ සහ නිර්මාණකරුවාණන් වහන්සේය – උන් වහන්සේ කරණකොටගෙන ස්වර්ගයන් මවන ලදී – උන් වහන්සේ කරණකොටගෙන මුහුද එහි නියමිත සීමාවන් තුළ කොටු කර තබන ලදී. – උන් වහන්සේගේ ආඥා සියලු තාරකාවෝ විශ්වාසවන්තව පිළිපදිති. – සූර්යයා තම දෛනික ගමන් මගෙහි සීමාවන් ලබාගෙන ඇත්තේ උන් වහන්සේ වෙතිනි. – සඳ කීකරු වන්නේ රාත්‍රියේ දීප්තියෙන් බැබළෙන ලෙස අණ කරන උන් වහන්සේටය.සඳ මෙන්ම තාරකාද කීකරු වන්නේ උන් වහන්සේටය. උන් වහන්සේ කරණකොටගෙන සියලු දේම පිළිවෙලට සකස් කරනු ලැබ ඇත. එසේම සියලු දේම ඒවාට නියමිත සීමාවෙහි තබා ඇත. උන් වහන්සේට සියලු දේම, එනම් අහස සහ එහි ඇති දේවල්, පොළොව සහ එහි ඇති දේ සියල්ල, මුහුද සහ එහි ඇති දේ සියල්ලම ගින්න , වාතය සහ අගාධය යන සියලු දේ යටත් වේ. උස් ස්ථානයේ ඇති දේවල්, ගැඹුරේ ඇති දේවල් සහ ඒවා අතර ඇති දේවල් යන සියල්ල උන් වහන්සේට යටත් වේ. උන් වහන්සේ මේ [දූතයා] ඔවුන් වෙත යැවූ සේක. එසේ පිළිසිඳ ගන්නා ලද්දේ යමෙක් පාලනය කිරීමේ අරමුණින්ද, නැතහොත් භීතිය හා භීෂණය ඇති කිරීමේ අරමුණ පෙරදැරි කරගෙනද? ඒ කිසිවක් කරණකොටගෙන නොවසමාව හා නිහතමානීකමේ බලපෑම යටතේය. රජෙක් තම පුත්‍රයා එවන්නාක් මෙන් දෙවියන් වහන්සේ රජෙකු වන යේසුස් වහන්සේ එවූ සේක. දෙවියන් වහන්සේ ලෙස උන් වහන්සේ එවා වදාළ සේක. මිනිසුන් උදෙසා උන් වහන්සේ එවා වදාළ සේක. ගැලවුම්කරුවෙකු ලෙස උන් වහන්සේ එවා වදාළ සේක. එසේ කිරීමෙන් අපට බල කිරීමට නොව, ඒත්තු ගැන්වීමට උත්සාහ කළ සේක; මක්නිසාද දෙවියන් වහන්සේගේ ස්වරූපයෙහි ප්‍රචණ්ඩත්වයට ඉඩක් ඇත්තේ නැත. අප කැඳවන පිණිස උන් වහන්සේ එවනු ලැබූ සේක. එසේ කළේ පළිගැනීමට අප ලුහුබැඳ යන පිණිස නොවේ. දෙවියන් වහන්සේ අපට ඇති ප්‍රේමය කරණකොටගෙන යේසුස් වහන්සේ එවූ සේක. උන් වහන්සේ පැමිණියේ අප විනිශ්චය කිරීමට නොවේය. මක්නිසාද උන් වහන්සේ අප විනිශ්චය කරන පිණිස අනාගතයේදී එවනු ඇත, උන් වහන්සේගේ පැමිණීම දරාගත හැකි වන්නේ කාටද?මලාකි 3.2

මෙහිදී සැලකිය යුතු පරතරයක් අත් පිටපත්වල දක්නට ලැබේ

ස්වාමින් වහන්සේ ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් පෙලඹවීම උදෙසා වන මෘගයින් වෙත ඔවුන් ගෙන යනු ලබන බවත්, එසේ වූවත් ඔවුන්ට ජයගත නොහැකි බවත් ඔබට නොපෙනේද? ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට දඬුවම් ලැබෙන බව ඔබට පෙනෙන්නේ නැද්ද?එසේ කරන විට ඔවුන්ගේ ගණන සංඛ්‍යාත්මකව වැඩි වේ. මෙය මිනිසාගේ කාර්යයක් ලෙස නොපෙනේ: මෙය දෙවියන් වහන්සේගේ බලයයි; උන් වහන්සේගේ ප්‍රකාශ වීමේ සාක්ෂි මේවාය.

8 වන පරිච්ඡේදය -වාක්‍යාණෝ පැමිණීමට පෙර මිනිසුන්ගේ දුක්ඛිත තත්වය

මක්නිසාද උන් වහන්සේගේ පැමිණීමට පෙර දෙවියන් වහන්සේ යනු කවුරුන්ද යන්න තේරුම්ගත් මනුෂ්‍යයෙකු වේද? විශ්වාසවන්ත දාර්ශනිකයන් ලෙස සලකනු ලබන අයගේ නිෂ්ඵල හා මෝඩ ඉගැන්වීම් ඔබ පිළිගන්නවාද? ඔවුන්ගෙන් සමහරු ගින්නට දෙවියන් වහන්සේ යැයි කියති. එසේ පවසමින්, එම දෙවියන්ට මඳ කලකින් පැමිණිමට යයි පවසති. ඇතැම් අය ජලයට දෙවියන් වහන්සේ යයි කියති. තවත් අය දෙවියන් වහන්සේ විසින් මවන ලද ඇතැම් දේවල් දෙවිවරුන් ලෙස හඳුන්වති. එහෙත් මෙම න්‍යායන්ගෙන් එකක් හෝ අනුමත කිරීමට සුදුසු නම්, මවන කරන ලද අනෙක් සියලුම දේවල් දෙවිවරුන් යයි හැඳින්විය හැකිය. එහෙත් එවැනි ප්‍රකාශ හුදෙක් රැවටිලිකාරයන්ගේ අරුම පුදුම වැරදි ප්‍රකාශයන් වේ. කිසිම මිනිසෙක් කවදාවක් දෙවියන් වහන්සේ දැක නැත, නැතහොත් උන් වහන්සේ කිසිම මනුෂ්‍යයෙකුට ප්‍රකාශ කරනු නොලැබූ සේක. එහෙත් උන් වහන්සේ විසින්ම තමන් වහන්සේ ප්‍රකාශ කරනු ලැබූ සේක. උන් වහන්සේ ඇදහිල්ල කරණකොටගෙන ප්‍රකාශ වූ සේක. එසේ ඇදහිල්ලේ පවතින අයට පමණක් දෙවියන් වහන්සේ දැකීමට ඉඩ ලබා දී ඇත. සියල්ල නිර්මාණය කළ සහ සියල්ලෙහි ස්වාමින් වන දෙවියන් වහන්සේ, ඒවාට නියමිත කාර්යන් පැවරූ දෙවියන් වහන්සේ, උන් වහන්සේ හුදෙක් මනුෂ්‍ය වර්ගයාගේ මිතුරෙකු පමණක් නොව, [ඔවුන් සමඟ ගනුදෙනු කිරීමේදී] බොහෝ ඉවසිලිවන්ත දෙවියන් වහන්සේ බව ඔප්පු කළ සේක. ඔව්, උන් වහන්සේ ඊයෙත්, අදත්, මතු සැමදාමත් එබඳු චරිතයකින් යුක්ත වන සේක.උන් වහන්සේ කරුණාවන්ත, යහපත් මෙන්මඋදහසින් තොර දෙවියන් වහන්සේය. උන් වහන්සේ සත්‍ය වූ, එකම [පරම] යහපත් තැනැන් වහන්සේ වන සේක. මතෙව් 19.17. එසේම උන් වහන්සේ උතුම් හා කිව නොහැකි තරම් සංකල්පයක් උන් වහන්සේගේ මනසෙහි ඇති කළ සේක. එය උන් වහන්සේ තමන් වහන්සේගේ පුත්‍රයාට පමණක් සන්නිවේදනය කළ සේක. ඒ කාලයේ සිටම, උන් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රඥාවන්ත උපදෙස් සඟවා තබාගෙන ආරක්ෂා කරමින් සිටි සේක. උන් වහන්සේ අප නොසලකා හැරියාක් මෙන් පෙනෙන්නට තිබුණි. අප පිළිබඳ සැලකිල්ලක් නොදක්වන බවක් පෙනෙන්නට තිබුණි. එහෙත් උන් වහන්සේ සිය ආදරණීය පුත්‍රයාණන් වහන්සේ කරණකොටගෙන ලෝකයේ ආරම්භයට පෙර සිටම පිළියෙල කර තිබූ දේවල් එළිදරව් කොට විවෘත කළ සේක. උන් වහන්සේ සියලුම ආශිර්වාදයක්ම එක් වරම අපට ප්‍රදානය කළ සේක. එසේ කළේ අප උන් වහන්සේගේ වරප්‍රසාද භුක්ති විඳිමින් ඒවාට හවුල් වන පිණිසත්, ඒවා දැක උන් වහන්සේගේ සේවයේ ක්‍රියාශීලීව සිටින පිණිසත්ය. අපෙන් කවරෙකු අතරින් කෙදිනක හෝ හෝ මේ දේවල් බලාපොරොත්තු වන්නට ඇත්තේ කවුද? උන් වහන්සේ පමණක්,උන් වහන්සේගේ පුත්‍රයාද සමග, ඔවුන් අතර පවතින සම්බන්ධතාවයට අනුව උන් වහන්සේගේ මනසෙහි ඇති සැම දෙයක්ම දැන සිටි සේක.

9 වන පරිච්ඡේදය – පුත්‍රයාණන් වහන්සේ මෙතරම් ප්‍රමාද වී එවනු ලැබුවේ මන්ද?

ඒ තාක් කල්, කාලයක් අප නොහික්මුණු ආවේගයන්ගෙන් ගෙන යනු ලැබීමටත්, අපගේම ආශාවන් සහ විවිධ තෘෂ්ණාවන්ගෙන් ගෙන යනු ලැබීමටත් උන් වහන්සේ අපට ඉඩහැරිය සේක. එසේ කළේ උන් වහන්සේ අපගේ පාප පිළිබඳ කිසිසේත් සතුටු වූ නිසා නොවේ. එහෙත් උන් වහන්සේ ඒවා විඳ දරාගත් සේක. උන් වහන්සේ එවකට පැවති අයුක්තිය රජ කළ කාලය අනුමත නොකළ සේක. එහෙත් ධර්මිෂ්ඨකම පිළිබඳ හැඟීමක් ඇති මනසක් ඇති කර ගැනීමට උන් වහන්සේ උත්සාහ කළ සේක. එසේ කළේ අපගේම ක්‍රියාවන් තුළින් ජීවනය ලබා ගැනීමට අපට නොහැකි බව අප විසින් ඒත්තු ගන්වනු ලැබ, එය අපට ලබා දී ඇත්තේ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය කරණකොටගෙන අපට ඒත්තු ගන්වනු ලැබීමෙනි. අපට අපගේම හැකියාව කරණකොටගෙන දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට නොහැකි වූ බව දන්වා දී, දෙවියන් වහන්සේගේ බලය කරණකොටගෙන උන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට හැකියාව ලැබී ඇති බව ප්‍රකාශ කළ සේක. එහෙත් අපගේ දුෂ්ටකම එහි උච්චතම අවස්ථාව කරා ළඟා වූ විට, සහ එහි විපාකය ලෙස දඬුවම සහ මරණය අප කෙරෙහි පැමිණෙමින් තිබෙන බව පැහැදිලිව පෙන්නුම් විය. දෙවියන් වහන්සේ තමාගේ කරුණාව හා බලය ප්‍රකාශ කිරීම සඳහා කලින් නියම කර තිබූ කාලය පැමිණි විට,දෙවියන් වහන්සේට ඇති එක් ප්‍රේමයක්, මිනිසුන් කෙරෙහි ඕනෑවට වඩා සැලකිල්ල දැක්වීම තුළින්, අපට වෛර නොකර, අප ඉවතට තල්ලු නොකර, අපට විරුද්ධව අප කළ අපරාධය මතක තබා නොගෙන, අප කෙරෙහි බොහෝ ඉවසිලිවන්ත ලෙස ක්‍රියා කරමින්, අප දරාගෙන, උන් වහන්සේම අපගේ අයුතුකම්වල බර උන් වහන්සේ වෙත දරාගත් සේක. උන් වහන්සේ තමන් වහන්සේගේම පුත්‍රයාණන් වහන්සේ අප වෙනුවට මිදීමේ මිලයක් ලෙස දුන් සේක. ශුද්ධ තැනැන් වහන්සේ පව්කරුවන් වෙනුවෙන් දුන් සේක. නිර්දෝෂී තැනැන් වහන්සේ පවිටු අය උදෙසා දුන් සේක. ධර්මිෂ්ඨ තැනැන් වහන්සේ අධර්මිෂ්ඨ අය උදෙසා දුන් සේක. දූෂිත නොවූ තැනැන් වහන්සේ දූෂිත අය උදෙසා දුන් සේක. අමරණීය තැනැන් වහන්සේ මැරෙන සුලු මනුෂ්‍ය වර්ගයා උදෙසා දුන් සේක. මක්නිසාද උන් වහන්සේගේ ධර්මිෂ්ඨකම හැරුණුකොට අපගේ පාප පියවා ගැනීමට හැකි වෙනත් දෙයක් තිබේද?දුෂ්ට හා අභක්තිකයන් වන අප ධර්මිෂ්ඨ කරනු ලැබිය හැකි වන්නේ දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයාණන් වහන්සේ කරණකොටගෙන මිස අන් කවරෙකු කරණකොටගෙනද? එය මිහිරි හුවමාරුවකි! එය සොයාගත නොහැකි මෙහෙයුමකි! සියලු අපේක්ෂාවන් ඉක්මවා යන ප්‍රතිලාභ හිමි වන්නකි! එසේ සිදු වූයේ බොහෝ දෙනෙකුගේ දුෂ්ටකම ධර්මිෂ්ඨ වූ එකම තැනැන් වහන්සේ තුළ සඟවනු ලබන පිණිසත්, එසේම එකම ධර්මිෂ්ඨ තැනැන් වහන්සේ තුළ වරදකරුවන් බොහෝ දෙනෙක් ධර්මිෂ්ඨ කරනු ලබන පිණිසත්ය. එම නිසා අපගේ ස්වභාවයට ජීවනය ලබාගත නොහැකි බව අපට පූර්ව කාලවලදී ඒත්තු ගැන්වීමෙන් සහ දැන් අපට කලින් ගලවනු ලැබිය නොහැකි වූ දේවල්වලින් පවා අප ගැලවීමට හැකි ගැලවුම්කරුවාණන් වහන්සේ අපට එළිදරව් කරනු ලැබීමෙන් යන කාරණා දෙක මගින්ම දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ කරුණාව කරණකොටගෙන අපට මගපෙන්වීමට කැමති වූ සේක. එසේ කළේ උන් වහන්සේ අපගේ පෝෂණය කරන තැනැන් වහන්සේ, පියාණන් වහන්සේ, ගුරුවරයාණන් වහන්සේ, උපදේශනය කරන තැනැන් වහන්සේ, සුව කරන තැනැන් වහන්සේ, අපගේ ප්‍රඥාව, ආලෝකය, ගෞරවය, මහිමය, බලය සහ ජීවනය වන තැනැන් වහන්සේ ලෙස උන් වහන්සේට ගෞරවය දීම උදෙසාත් අපගේ ඇඳුම් හා ආහාර පිළිබඳ අප කනස්සල්ලට පත් නොවීම උදෙසාත්ය.

10 වන පරිච්ඡේදය – ඇදහිල්ල කරණකොටගෙන ගලා එන ආශිර්වාද

ඔබත් මෙම ඇදහිල්ල ලබාගැනීමට කැමත්තෙහි නම්, ඔබටත් පළමුවෙන්ම පියාණන් වහන්සේගේ දැනගැන්ම ලැබෙනු ඇත. මක්නිසාද දෙවියන් වහන්සේ මනුෂ්‍ය වර්ගයාට ප්‍රේම කළ සේක. එසේ මනුෂ්‍යයා උදෙසා උන් වහන්සේ ලෝකය මැවූ සේක. එහි ඇති සියලු දේ උන් වහන්සේ මනුෂ්‍යයාට යටත් කර භාර දුන් සේක. උන් වහන්සේ මනුෂ්‍යයාට තාර්කික බව සහ තේරුම් ගැනීම ලබා දුන් සේක. මනුෂ්‍යයාට පමණක් උන් වහන්සේ දෙස වරප්‍රසාදය උන් වහන්සේ ලබා දුන් සේක. මනුෂ්‍යයා පමණක් උන් වහන්සේගේ ස්වරූපයට අනුව උන් වහන්සේ නිර්මාණය කළ සේක. උන් වහන්සේ තමන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාණන් වහන්සේ මනුෂ්‍යයා උදෙසාය එවනු ලැබු සේක. උන් වහන්සේ මනුෂ්‍යයාට ස්වර්ගයේ රාජ්‍යයක් පොරොන්දු වූ සේක. උන් වහන්සේ එම රාජ්‍යයඋන් වහන්සේට ප්‍රේම කළ අයට ලබා දෙනු ඇත. ඔබ මෙම දැනගැන්ම ලබා ගත් පසුව, ඔබ කුමනාකාර ප්‍රීතියකින් පිරී යනු ඇතැයි ඔබ සිතන්නේද? නැත්නම්, ඔබට මුලින්ම ඒ ආකාරයේ ප්‍රේමයකින් ප්‍රේම කළ තැනැන් වහන්සේට ඔබ කෙලෙස ප්‍රේම කරන්නෙහිද? ඔබ උන් වහන්සේට ප්‍රේම කරන්නෙහි නම්, ඔබ උන් වහන්සේගේ කරුණාව අනුකරණය කරන්නෙකු බවට පත් වනු ඇත. මිනිසෙක් දෙවියන් වහන්සේ අනුකරණය කරන්නෙකු බවට පත්වීම පිළිබඳ පුදුම නොවන්න. මන්ද පුද්ගලයෙකු එසේ කිරීමට කැමති නම් ඔහුට එය කිරීමට හැකිය. මක්නිසාද යත්, එය සිදු කරන්නේ සතුට ලැබීම උදෙසා ඔහුගේ අසල්වැසියන් පාලනය කිරීමෙන් හෝ දුර්වල අය කෙරෙහි ආධිපත්‍යය දැරීමට උත්සාහ කිරීමෙන් හෝ ධනවත් වීමෙන් තමන්ට වඩා පහත් අයට හිංසා කිරීමෙන් නොවේ. මේ දේවල් කිරීමෙන් කිසිවෙකුට දෙවියන් වහන්සේ අනුකරණය කරන්නෙකු විය නොහැකිය. එසේම මේ සියල්ල කිසිසේත්ම උන් වහන්සේගේ මහිමාන්විත බව ප්‍රකාශ නොකරයි. ඊට පරස්පර ලෙස ඔහුතම අසල්වැසියාගේ බර උසුලාගෙන යා යුතුය. ඕනෑම ආකාරයකින් තමා උසස් යැයි සිතන තැනැත්තා දුර්වල අයෙකුට ප්‍රයෝජනයක් උපකාරයක් වීමට සූදානම්ව සිටිය යුතුය. දෙවියන් වහන්සේගෙන් තමාට ලැබී ඇති ඕනෑම දෙයක්, අගහිඟකම් ඇති අයට බෙදා දීමෙන්, [ඔහුගේ ප්‍රතිලාභ] ලබන අයට දෙවියෙකු බවට පත් වෙයි. එසේ එම පුද්ගලයා දෙවියන් වහන්සේ අනුකරණය කරන්නෙකු වනු ඇත. එවිට ස්වර්ගයේ සිටින දෙවියන් වහන්සේ [විශ්වය] පාලනය කරන බව පොළොවේ ජීවත්ව සිටියදීම ඔබ දකිනු ඇත. එවිට ඔබ දෙවියන් වහන්සේගේ අභිරහස් කතා කිරීමට පටන් ගනු ඇත. එවිට දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප නොකිරීම හේතුකොටගෙන දඬුවම් විඳින අයට ඔබ ප්‍රේම කරමින් ඔවුන් අගය කරනු ඇත. සැබවින්ම ස්වර්ගයේ ජීවත් වීම යනු කුමක්දැයි ඔබ දැන ගන්නා විට, ඔබ ලෝකයේ ඇති වංචාව සහ රැවටිලිකාරකම හෙළා දකිනු ඇත. මෙහි මරණය ලෙස සලකනු ලබන දේ හෙළා දකින විට, සැබවින්ම මරණය යනු කුමක්දැයි දැනගෙන සදාකාලික ගින්නෙන් වරදට පත් කරනු ලබන අයට වෙන් කර ඇති මරණය දැක ඔබ එයට බිය වනු ඇත. ඒ සඳහා කැපවී සිටින අවසානය දක්වාම එයින් පීඩාවට පත් වනු ඇත. ඔබ එම සදාකාල ගින්නෙහි ස්වභාවය ඔබ දැනගත් විට, ධර්මිෂ්ඨකම උදෙසා මොහොතකට පමණක් වන ගින්නට ගොදුරු වීම හා හය විඳ දරා ගැනීමේ සතුට ඔබ අගය කරනු ඇත.

11 වන පරිච්ඡේදය -මේ දේවල් දැන ගැනීම හා විශ්වාස කිරීම වටින්නේය

මට අමුතු කාරණා පිළිබඳ මම කතා නොකරමි, නිවැරදි තාර්කික දෙයට පටහැනි කිසිවක් මා ඉලක්ක නොකරමි; එහෙත් අපෝස්තුළුවරුන්ගේ ගෝලයෙකු වූ මම අන්‍ය ජාතීන්ගේ ගුරුවරයෙකු වී සිටිමි. සත්‍යය ලැබීමට සුදුසු වූ ගෝලයන්ට මට භාර දෙන ලද දේවලින් මම ‍සේවය කරමි. මක්නිසාද යත්, ප්‍රේමණීය වාක්‍යාණෝ කරණකොටගෙන නිවැරදි ලෙස උගන්වන ලද සහ උපත ලැබූ තැනැත්තා, වාක්‍යාණෝ කරණකොටගෙන තම ගෝලයන්ට පැහැදිලිව පෙන්වා ඇති දේවල් නිවැරදිද යන්න ඉගෙන ගැනීමට උත්සාහ නොකරනු ඇත. ඔවුන්ට වාක්‍යාණෝ ප්‍රකාශ කරනු ලැබ එළිදරව් කරනු ලැබූ සේක. නොඇදහිල්ල කරණකොටගෙන සැබවින්ම තේරුම් නොගත්තා වූ අයට පැහැදිලිව සරලව කථා කරමින්, ගෝලයන් සමඟ සංවාදයේ යෙදෙමින්, උන් වහන්සේ විසින් විශ්වාසවන්ත සලකනු ලැබූ, පියාණන් වහන්සේගේ අභිරහස් පිළිබඳ දැනුමක් ලබාගත්තේ කවුද? උන් වහන්සේ ලෝකයට ප්‍රකාශ වන පිණිස උන් වහන්සේ වාක්‍යාණන් වහන්සේ එවන ලද්දේ කවර හේතුවක් නිසාද? උන් වහන්සේ, යුදෙව්වන් විසින් හෙළා දකින ලදී. උන් වහන්සේ අපෝස්තුළුවරුන් විසින් දේශනා කරනු ලබන විට, අන්‍යජාතීහු විශ්වාස කළහ. උන් වහන්සේ මුල සිටම සිටියා වූ තැනැන් වහන්සේය. උන් වහන්සේ අලුත් කෙනෙකු මෙන් පෙනී සිටි සේක. වැඩිහිටියෙකු ලෙස සිටි සේක. එසේ වූවත් උන් වහන්සේ ශුද්ධවන්තයින්ගේ හදවත් තුළ නැවතත් නැවුම් ලෙස ඉපදුණු සේක. උන් වහන්සේ සදාකාලයටම වැඩ වසන තැනැන් වහන්සේ වන වර්තමානයේ පුත්‍රයාණන් වහන්සේ ලෙස හඳුන්වන තැනැන් වහන්සේ වන සේක. උන් වහන්සේ කරණකොටගෙන සභාව පොහොසත් කරනු ලැබ, අනුග්‍රහය පුළුල්ව පතුරුවනු ලැබ, ශුද්ධවන්තයින් වැඩි කරනු ලැබ ඇත. එසේම උන් වහන්සේ කරණකොටගෙනඅවබෝධය ලබා දීම, අභිරහස් හෙළි කිරීම, කාලයන් සහ ප්‍රස්තාවන් ප්‍රකාශ කිරීම, ඇදහිලිවන්තයන් පිළිබඳ ප්‍රීති වීම, සොයන අයට දීම සිදු වේ. උන් වහන්සේ කරණකොටගෙන ඇදහිල්ලේ සීමාවන් බිඳ දමනු ලැබූ අතර පියවරුන් විසින් නියම කරන ලද සීමාවන් ඉක්මවා යන ලදී. එවිට නීතියට බය නැති විය. අනාගතවක්තෘවරුන්ගේ කරුණා අනුග්‍රහය ප්‍රකාශයට පත් කරන ලදී. ශුභාරංචිය කෙරෙහි ඇදහිල්ල ස්ථාපිත කරන ලදී. අපෝස්තුළුවරුන්ගේ සම්ප්‍රදාය ආරක්ෂා කරන ලදී. සභාවේ කරුණාව ප්‍රීතියෙන් උතුරා ගියේය. ඔබ දුක් නොවන්නේ නම්,ඔබට ඇත්තේ කුමන අනුග්‍රහයක්ද? උන් වහන්සේ කැමති අය සහ උන් වහන්සේ කැමති වේලාවේදී වචනය උගන්වන දේ ඔබ දැනගන්නවා ඇත. මක්නිසාද යත්, අපට අණ කරන වචනයේ කැමැත්තෙන් කීමට අප පෙලඹෙන ඕනෑම දෙයක්, අපි ඔබට වේදනාකාරී ලෙස දන්වා සිටිමු. එසේම අපට එළිදරව් කර ඇති දේවලට ඇලුම් කරන්නෙමු.

12 වන පරිච්ඡේදය – සැබෑ ආධ්‍යාත්මික ජීවිතයට දැනුමේ වැදගත්කම

ඔබ මේවා කියවා ඒවාට හොඳින් සවන් දුන් විට, දෙවියන් වහන්සේට නිසි ලෙස ප්‍රේම කරන අයට උන් වහන්සේ ලබා දී ඇති දේවල් ඔබ දැනගනු ඇත. ඔබ ප්‍රීතියේ පාරාදීසයක් ලෙස නිර්මාණය කර, සියලු වර්ගවල ඵල නිෂ්පාදන දරන ගසක් සහ ඔබ කරමති වන ආකාරයේ ඵලවලින් සමෘධිමත් වීම වැනි දේවලින් උන් වහන්සේ ඔබ ලබා දෙන දේ ඔබ දැන ගනු ඇත. මක්නිසාද මේ ස්ථානයේ දැනගැනීමේ ගසද ජීවන වෘක්ෂයද රෝපණය කර තිබේ. එහෙත් විනාශ කරන්නේ දැනගැනීමේ ගස නොවේ – එහෙත් විනාශය කරා ගෙන යන්නේ අකීකරුකමයි. දෙවියන් වහන්සේ ආරම්භයේදීම පාරාදීසය මැද ජීවන වෘක්ෂය රෝපණය කළ ආකාරය, දැනුම තුළින් ජීවනයට යන මාර්ගය හෙළි කළ ආකාරය ආදිය පිළිබඳ ලියා ඇති වචන සැබවින්ම වැදගත්කමක් උසුලයි. මුලින්ම මවන ලද අය මෙම [දැනුම] නිසි ලෙස භාවිත නොකළ අවස්ථාවේදී ඔවුන් සර්පයාගේ වංචාවෙන් නිරුවත් කරනු ලැබූහ. මක්නිසාද දැනුමෙන් තොරව ජීවිතය පැවතිය නොහැකිය,එසේමජීවිතය නොමැතිව දැනුම පවතින්නේද නැත. එබැවින් ඒ ගස් දෙකම ඉතා සමීපයෙන් රෝපණය කරන ලදී. අපොස්තුළුතුමන්, [මෙම සංයෝජනයේ] බලපෑම වටහාගෙන, සැබෑ ධර්ම නියාමකවලින් තොරව, ජීවිතයට බලපෑම් කරන බව පිළිගත් දැනගැන්ම පිළිබඳ දක්වමින් ප්‍රකාශ කරන්නේ, දැනගැන්ම පහ වී යන බවත්, එසේ වූවත් ප්‍රේමය කරණකොටගෙන ශික්ෂණය සහ උපදේශනට ලැබෙන බවත්ය. මක්නිසාද යත්, සැබෑ දැනගැන්මක් නොමැතිව යමෙක් තමා කිසිවක් දන්නේ යැයි සිතන්නේ නම්, එවැනි අය ජීවනයේ ගසෙන් සාක්ෂි ලබා ඇති කිසිවක් නොදන්නා, එහෙත් ජීවිතයට ප්‍රේම නොකරන පිණිස සර්පයා විසින් රවටනු ලැබූ අය වෙති. එහෙත් දැනගැන්ම සහ බිය යන කාරණා දෙකම හේතුකොටගෙන ජීවිතය සොයන තැනැත්තා ඵල බලාපොරොත්තුවෙන් යමක් රෝපණය කරයි. ඔබේ සිතෙහි ඔබේ ප්‍රඥාව තිබේවා;එසේමඔබේ ජීවිතය අභ්‍යන්තරයෙන් ලැබුණා වූන සැබෑ දැනගැන්මෙන් යුක්ත වේවා. මෙම ගස ඵල දරමින් එහි ඵල විදහා දක්වමින්, ඔබ සැම විටම දෙවියන් වහන්සේ ආශා කරන ආකාරයේ, සර්පයාට ළඟා විය නොහැකි, රවටනු ලැබීමට පත් නොවන ආකාරයේ දේවල් රැස් කළ යුතුය. එවිට ඒව දූෂිත අයෙකු වූයේ නැත. එහෙත් කන්‍යාවක් ලෙස විශ්වාස කරනු ලැබූ ඇය තුළ ගැලවීම ප්‍රකාශ කරන ලදී. ප්‍රේරිතයන් අවබෝධයෙන් පිරී, ස්වාමින් වහන්සේගේ පාස්කු උත්සවය පැමිණි අවස්ථාවේදී, සියලුම සේනාවන් එක් රැස් කොට, නිසි පිළිවෙළට සකස් කර ඇති අතර, ශුද්ධවන්තයින්‍ගේ ඉගැන්වීම සම්බන්ධයෙන් වචනය ප්‍රීතියට පත් වේ. උන් වහන්සේ කරණකොටගෙන පියාණන් වහන්සේ මහිමයට පත් වූ සේක. උන් වහන්සේට සදාකාලයටම මහිමය වේවා. ආමෙන්.